අභියෝග ජයගත් මිනිස්සු

 

උපාධිය, ලෝගුව අධ්‍යාපනයේ සුවිශේෂි හිමිකම් බව සැබෑවකි. එහෙත් පුද්ගලයකු ඊටත් වඩා සාර්ථක වන්නේ ප්‍රායෝගික වීමෙනි. සමන්ත ඒ ප්‍රායෝගික වීම ගැන වටහා ගත්තේ උපාධිය ලබා ගැනීමටත් පෙරදීය.   
පේරාදෙණිය සරසවි බිම ඔහුගේ අධ්‍යාපන ශිල්ප චාරිකාවේ අවසන් ගමනාන්තය විය. උපාධි ප්‍රතිඵල එනතෙක් නිකරුණේ කාලය ගත කිරීම කාලකණ්ණි වැඩක් යැයි සිතූ ඔහු සමාගමක රැකියාවකට එක්වූයේ 82 වසරේදීය. ඒ අලෙවි විධායකයකු ලෙසිනි.   


සිහින දකින්නෝ වෙලාවකට ඒ සිහින සැබෑකර ගනිති. ඒ කාලයේ හැටියට මාසික වැටුප රුපියල් 1250ක් යනු පොහොසත් වැටුපකි.   


 අලෙවි විධායක රැකියාව වෙනුවෙන් සමාගම එම වැටුප ලබා දෙන බව ගිවිසුමේ සඳහන්ව තිබිණි. ඉහ වහා ගිය සතුටින් සමන්ත වහාම පාටියක් ලැහැස්ති කෙළේය. සාමාන්‍යයෙන් එය ඒ කාලයේ හැටියට යාළුවන් වෙනුවෙන් පිළියෙල කරන දෙයකි. මේ විදියට හොඳ සාදයකුත් පවත්වා සමන්ත හා හා පුරා කියා තම ජීවිතයේ කුළුඳුල් රස්සාවට ගියේය.   


 ‘‘සමන්ත ඔබ රිසල්ට්ස් එනකල්නෙ මේ රස්සාවට ආවේ. අපි ඔබට රුපියල් 800 තමයි දෙන්නේ.’’ එම ආයතනයේ ප්‍රධානියෙක් කීවේය.   


‘‘රුපියල් අටසීයයක්... මොකක්ද මේ දිව දෙකේ කතාව?’’ සමන්තට අසූහාර දාහට නැග්ගේය.   


ඒ සල්ලිවලට වූ කෑදරකම නිසා නොවීය. ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙනි.   


‘‘තරුණ කොල්ලා උඹ කේන්ති නොගෙන හිටපන්’’ මේ තරුණයාගේ කේන්තියේ තරම දුටු ප්‍රධානියා කීය.   


‘‘පාටිත් දාලනේ ආවේ. දැන් ඉතින් මොනවා කරන්නද? ඔන්න ඔහේ මේ වැඩේ කරනවා’’ යැයි එවිට සමන්ත තමාටම මුමුනාගෙන රුපියල් 800 පඩියෙන් ස්වකීය ආර්ථික මූලාශ්‍ර සොයා යන ගමන පටන් ගත්තේය.   
එලෙසින් ජීවිතය පටන් ගත් සමන්ත කුමාරසිංහ නමැති මේ මිනිසා පසුකාලයක තමාගේම සමාගමක් බිහි කරමින්, නැගී සිටි දේශීය ව්‍යාපාරික චරිතයක් බවට පත්විණි.   


‘‘නේචර්ස් සීක්‍රට්’’ යනු මෙරට රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සඳහා ප්‍රකටව ඇති සමාගමකි. එහි සංකල්ප ප්‍රායෝගික කළ නිර්මාණකරුවා ඔහුම වෙයි. අභියෝග ජයගත් මිනිසුන් ගැන ලියැවෙන කතා මාලාවේ අද කතා නායකයා වන්නේ ඔහුය.   


සමන්ත සතිස්චන්‍ද්‍ර වන්නිආරච්චි කුමාරසිංහ යනු ඔහුගේ පෙළපත සමග වූ නාමයයි. නමුත් ගෙදර අය වගේම යාළු මිත්‍රයින් සියලු දෙනා ඔහු අමතන්නේ ‘සමන්ත’ යනුවෙනි. පවුලේ තෙවැනි දරුවා ලෙස ඔහු උපත ලැබුවේ මාතර මොරවකදීය. එවකට ඔහුගේ පියා මොරවක විදුහලේ විදුහල්පතිව සිටි අතර මව එම විදුහලේම ගුරුවරියක වූවාය. මව් පිය දෙදෙන ගුරුවරු වූ නිසාම වයස අවුරුදු හතරේදීම පාසල් ගමන ආරම්භ කිරීමට සමන්තට හැකිවිණි. කුඩා කාලයේ ඒ මතකය අදටද ඔහුගේ මනසේ රැඳී තිබේ.   


 ‘‘මගේ පාසල් ගමන පටන් ගත්තේ මොරවක විද්‍යාලයෙන්. දෙකේ පන්තියේ විතර සිටියදී කළ කී දේ ගැන හොඳට මතකයි. එදා මා වඩාත් ඇලුම් කළේ පොතපතට වඩා පරිසරයටයි. වැඩිපුර කාලය ගත කළේ. ඇළේ, දොළේ නාන්න ගිහින්. ගඟේ නාන්න ගිහින් මාළු ඇල්ලුවා. වනරොදේ ඇවිදිමින් සිතු සේ ඒ අසිරිය බුක්ති වින්ඳා.   


එක දවසක් පන්තිය ඇරෙන්නට කලින් යාළුවෝ එක්ක කට්ටි පැනලා ඇවිත් ගඟේ නාන්න ගියා. මේ විදියට ගිය දවසක ගහකට නගින්න ගිහින් වැටුණා. පපු පෙදෙස කම්බියක දැවටී කැපී ගියා. මේ වගේ දඟ වැඩවලට තාත්තාගෙන් නිතරම ලැබුණෙ බැණුම්. හැබැයි එදා ගහෙන් වැටිලා තුවාල වෙච්ච දවසෙ නම් දුන්නේ අපූරු දඬුවමක්. පාරක්වත් නොගහා සැර බෙහෙත් තුවාලවලට දැම්මා. ඒ වගේ වේදනාවක් මට කවදාකවත් දැනිලා නැහැ.   


 ඒ මොන විදියට ගෙවී ගියත් අපේ ගෙවුණු ළමා විය අතිශයින්ම සුන්දරයි.   


සුන්දර ළමා වියක හිමිකම් ඇති දරුවා අනාගතයේ වඩා නිර්මාණශීලී චරිතයක් වන්නේ යැයි මනෝ විද්‍යාඥයින් බොහෝ විට ප්‍රකාශ කරන්නකි. 1965 දී පමණ කුඩා සමන්තට මොරවක ග්‍රාමය අත්හැර මාතරට ඒමට සිදුවූයේ ළමා වියේ සුන්දරත්වය ගතපුරා - නෙතපුරා විඳිමින් සිටි පරිසරයකදීය. දේශපාලන හේතූන් මත තම විදුහල්පති පියා හට මාරුවක් ලැබී තිබිණි.   


ඉනික්බිතිව සමන්තට පාසල් ගමන යාමට සිදුවූයේ රාහුල විද්‍යාලය වෙතය. රාහුලයේදී පාසල් දිවියේ ප්‍රථම කඩඉමක් ලෙස අට වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ බව ඔහු පවසයි. එහි ඵලයක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමේ අවකාශයද ඔහුට ලැබිණි. මේ දඟකාර පුත්‍රයා එලෙසින් රාජකීය වෙත යාමේ වරම් ලැබීම නිසා සතුටට පත්වූයේ සමන්තට වඩා ඔහුගේ පියාය.   


 ළමා වියේදී සමහර අවස්ථාවලදී සරුංගල් යැවීමට ගොස් අනෙක් ළමුන් හා නිරන්තරයෙන් රණ්ඩුසරුවලට පැටලීම සමන්ත වෙතින් සිදුවූ දෙයකි.   


‘‘මම ඒ කාලයේ ශාරීරිකව ශක්තිමත් දරුවකු වුණේ නැහැ. බඩේ අමාරුවක් තිබුණු නිසා කෙසඟ සිරුරක් තිබුණෙ. අපේ ආත්තම්මාට කිරි ගව පට්ටියක් තිබුණා. මට මී කිරි පොවලා තමයි මගේ අසනීපය සුවපත් කළේ.’’   
එලෙසින් මී කිරිවලින් පෝෂණය වී දකුණේ අව්‍යාජ ගැමි සුවඳ විඳිමින් සිටි සමන්ත කොළඹ ආපසු වැඩිපුර කාලය ගත කළේ පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙනි. කොහොමටත් විෂය පථයටද ඔහු හපනෙකු විය. වෙසෙසින්ම සංයුක්ත ගණිතයට වඩා ඇලුම් කළේය. එමෙන්ම තම අයිතීන් වෙනුවෙන් නිතර පෙනී සිටි චරිතයක්ම විය.   


‘‘කුඩා කාලයේදී පවා මට තිබුණේ විශාල දේ කිරීමයි. සරුංගලයක් හැදුවත් ලොකුම සරුංගලය හදන්න ඕනෑ වුණා’’   


අමාරු දේ, අසීරු දේ කිරීම ළමා කාලයේදී ඔහු කර ඇත්තේ නොතේරුම්කමටය. නමුත් නොදැනුම්වත්ව හෝ ඔහු ගත් ඒ ප්‍රයන්තය නිසා ජීවිතයේ පසුගාමී බවක් දක්නට නොලැබිණි.   


‘‘ගමේදී ඇළේ දොළේ ගඟේ මුහුදේ පැනලා ජලයත් එක්ක මට තිබුණෙ ලොකු සමීප බවක්. රාජකීය විද්‍යාලයට ආවාම මුලින්ම මම දැක්කෙ නීල වන් පැහැයෙන් තෙවැනි මහලේ සිට බැලූ විට පෙනෙන පිහිනුම් තටාකයයි. උඩ ඉඳලා එ්කට පනින්නට තරම් මට ආසාවක් ඇතිවුණා. මේ ආසාව නිසාම පාසලේ පිහිනුම් ක්‍රීඩාවටත් එක්ව සිටියා’’.   


රාජකීයයේ එලෙසින් සිප්සතර හදාරමින් සිටි සමන්ත සාමාන්‍ය පෙළ සමත් වුවද උසස් පෙළ පළමු අවස්ථාවේදී සමත් නොවුණි. ඔහුට වැලදී තිබූ අසනීප තත්ත්වය ඊට හේතුවිය. නමුදු දෙවැනි වතාවේදී උසස් පෙළ සමත් වූවේ නිකම්ම නොවේ. සරසවි වරම් ලබමිනි. කුඩා කල සිටම ඔහුගේ යටි හිතේ තිබුණු සිහිනය වූවේ ඉංජිනේරුවරයකු වීමය. සරසවි වරම් ලබා තිබුණද නවක සිසුන් සඳහා ප්‍රවේශය ලැබීමට වසරක් බලා සිටීමට ඔහුට සිදුවිණි. එය නිරපරාදේ ගෙවා නොදමා මොරටු සරසවියෙන් ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව සඳහා උගෙන ගන්න යැයි පියා දුන් උපදෙස් විය.   


 එය ක්‍රියාත්මක කළ ඔහු සිවිල් ඉංජිනේරු අංශයේ ඩිප්ලෝමාවේ පළමු වසර සමත් වූවේය. සරසවි පිවිසුමේදී මොරටු සරසවියට ඔහු නොතේරීම ගැන ඔහුට තිබුණේ කලකිරීමකි.   


එදා එක් විෂයයකට මට සාමාන්‍ය සාමාර්ථයක් තිබුණෙ. එච්චර දක්ෂ වූ විෂයට එහෙම වෙන්නට විදියක් නැහැ. ඒ නිසා නැවත එය පරීක්ෂා කරන ලෙස අයැදුම් කර සිටියා. උත්තර පත්‍රයක් නිලධාරීන් අතින් නැතිවී ඇති වග දැන ගත්තේ ඉන් පසුවයි. එය මගේ වරදක් නො​ෙවයි. ඒ නිසා මම මේ ගැන මගේ පියාට කිව්වා. එවිට ඔහු අධ්‍යාපන නිලධාරියෙක් ලෙස කටුයතු කරමින් සිටියෙ. අපි මේ ගැන කොමිසන් සභාවටත් කිව්වා. මොරටුවට මාව යොමු කරවන්නම් කියා බලධාරීන් පොරොන්දු වුණා. ඒත් ඒ වන විට මම පේරාදෙණි සරසවියෙ සිටියේ. එතැන බොහොම සුන්දර තැනක්.   


නමුත් මොන විෂයයන්ද තෝරා ගන්නෙ කියන අදහසක් තිබුණෙ නැහැ. මගේ මිතුරකුගේ අයියා නිසා විෂයයන් තෝරා ගැනීම පහසුවක් වුණා.   


 මොරටුවේ තාක්ෂණික ඩිප්ලෝමාව කරද්දී මෙන්ම පේරාදෙණියේදිත් හොඳ රැගකුත් කාපු සමන්ත ඒවාට නොබියව මුහුණ දුන්නේ ආත්ම ශක්තිය ඇතිවය.   


 ‘‘දරුණු විදියට මම රැග් එකට අසුවුණා. ඒත් පලා ගියේ නැහැ. සරසවි ජීවිතයේ අත්දැකීම් ලැබීමට මා ප්‍රිය කළා’’.   


සොඳුරු මිහිරි ගුණැති සරසවි බිමට සමුදී සමන්ත ඉන් පිටව ගියේ බොහෝ අත්දැකීම් ලද තරුණයෙකු ලෙසිනි. මොරටුව ඉංජිනේරු පීඨයට නොතේරීම තමාගේ ජීවිතයේ ප්‍රථම දැවැන්ත අභියෝගය වූ බව ඔහු සිහිගන්වයි. නමුදු ඔහුට උරුම වූ තැන පේරාදෙණියම වන්නට ඇත.   

 

 

 හන්තාන සිහිලැල්ලේ ගත කළ සමය පරිසරය ගැන සෙවුම් බැලුම් ඇලුම් කරන සමන්ත හට ගෙන දී ඇත්තේ ලොකු ප්‍රබෝධයක්මය.   


රුපියල් 800 පඩියෙන් අලෙවි විධායක නිලධාරියකු ලෙස එදා සේවයට එක්වූ සමන්ත කුමාරසිංහ දක්ෂයකු වූ නිසාම රැකියාවේ උසස් වීම්ද ලැබීය. විටෙක පිටරටවලදී පුහුණුව සඳහා පවා යාමට අවස්ථා හිමිවිණි. ඔහු කටයුතු කළේ කර්මාන්ත සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය අලෙවි කිරීමේ කටයුතුවලය. එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙතින් බොහෝ දේ උගත් බව ඔහු ගෞරවයෙන් සිහිපත් කරයි. මේ වන විට වාහනයක්, ගෙයක් දොරක් හිමිකර ගෙන සිටි ඔහු විවාහ ජීවිතයටද එළැඹ සිටියේය. දරු දෙදෙනෙකු පවුලට එකතු වී සිටීම නිසා ඒ වගකීමද පැවරී තිබිණි. කෙසේ වෙතත් තමා සේවය කළ මෙම සමාගමේ උසස්වීම් ලැබ සිටියද ඉහළ කළමනාකාරීත්වයේ වෙනසක් සිදුව තිබිණි.   


‘‘මේ වෙනස් වීමත් එක්ක මටත් වෙනස් වෙන්න ඕනෑ වුණා. එහි කළමනාකාර අධ්‍යක්ෂවරයාගෙන් ලද ගුරුහරුකම් නිසාම මා ව්‍යාපාර ලෝකයේ ගමනකට මුල පිරුවා. මගේ ජීවිතයේ ස්වාධීන ගමනක ආරම්භය ගත්තෙ ඒ විදියටයි’’.   


වැරදීමට හෝ හරියාමට ආරම්භයක් ගත යුතුමය. තමා උගත් අංශයෙන් ලද දැනුම සහ කළ රැකියාවෙන් ලද ප්‍රායෝගික වීම ඔහු ඔහුගේ ජීවිතයට බද්ධ කර ගත්තේය. 

 
මම දකින දේ මට පෙනෙන දේ තව කෙනෙකුට දකින්න බැහැ. මගේ ව්‍යාපාර අංශයේ පෙනෙන දේ මට ප්‍රායෝගික කළ යුතු වුණා. අම්මා, තාත්තාගෙන් සහ සියලු උගත් දේ වෙතින් මට ඒ පන්නරය ලැබී තිබීම ප්‍රායෝගික කිරීමට වග බලාගත්තා.   
 එසේ පවසන සමන්ත කුමාරසිංහ තමාගේම ව්‍යාපාර ආයතනය එදා පටන් ගත්තේ මල්ටි කෙමි ඉන්ටර්නැෂනල් නමිනි. 1993 ජූලි 01 වැනිදා 8 දෙනෙකුගෙන් යුතු සේවක පිරිසක් සමඟ හෝකන්දර ඉතා කුඩා භූමියකදී ඊට මුල පිරීය. කාර්යාලය පවත්වාගෙන ගියේ BMICH පරිශ්‍රයේ කාමරයකදීය. ඩෑෂ් නමින් රථවාහන පිරිසිදු කරන පරිසර හිතකාමී නිෂ්පාදනයක් ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දීමට ඒ අනුව ඔහුට හැකිවිණි.   


අපට ඕනෑ වුණේ වෙළෙඳපොළට හොඳ දේ සහ පරිසරයට හිතකර දේ හඳුන්වා දීමටයි. 94 වන විට රෙදිපිළි නිෂ්පාදනයේදී නිමාව සඳහා අවශ්‍ය වන නිෂ්පාදනයක් හඳුන්වා දී එය ප්‍රථම වතාවට බංග්ලාදේශයට පවා ගෙන ගියා. පරිසර හිතකාමි කියලා එදා මහා ලොකුවට බොහෝ දෙනා කතා වුණාට, ප්‍රායෝගික වූයේ නැහැ. ඒත් අපි ප්‍රායෝගික වුණා. රසායන අංශයේ මා ලබා තිබූ උපාධිය වෙතින් උසස්ම දේ ගුණාත්මක දේ රටට දිය යුතුය යන සංකල්පයේ සිටි නිසා අපේ නිෂ්පාදන ජනතාව වැලඳ ගත්තා.   


කෙනෙකු සතු දැක්ම තව කෙනෙකුට නොමැති බව මේ සමන්ත ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූවෙකි. එදා මෙලෙසින් ව්‍යාපාරයක් ඇරඹීම කෙරෙහි මව්පියන් මෙන්ම බිරිඳ සහ ඥාතීන් පවා ඔහුට කීවේ ඊට වඩා හොඳට වැටුපක් ලබමින්, උසස්වීම් ලබමින් සිටින මේ රැකියාව කරගෙන හිටියොත් හොඳ යැයි කියාය. එහෙත් පරිසරයට සැබෑ ලෙස ආදරය කරන මේ මිනිසාට තමුන් සොයා යාමට සිත් විය.   


‘කළමනාකරණය’ යන දේ ගැන උපතින්ම ගෙනා දක්ෂතාවද තිබීම නිසා සමන්ත මේ ගමනට ප්‍රවේශය ලබා තිබේ. ඒ මහා ​ෙලාකු ධනයක් යටකර නොවේ. ඔහුගේ සාර්ථකත්වය වන්නේ එයයි.   


‘‘වෙළෙඳපොළට එන විට නිතරම තිබෙන්නෙ අභියෝග. ඒවා ජයගත්ත නම්? අපි අලුත් දේම කළ යුතුයි. අදටත් අප කරන්නෙ එයයි’’.   


අභියෝග ජයගැනීමට හිතන අලුත් පරම්පරාවට සමන්තගේ ඒ අදහස් රන් මසුරන් මෙනි. පරිසර හිතකාමි පිරිසිදුකාරක සංකල්පය 93 දී ගෙනා ඔහු ඉනික්බිතිව තම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය නිසා වසරේ සෑම දිනකම සේවය කිරීමට සිදුවිය. එක්කෝ ලංකාවේ තමාගේ සමාගමේ හෝ බංග්ලාදේශයේ ස්ථාපිත කළ සමාගමේ කටයුතු සොයා බැලීම සිදු කළේය. එක් වසරකදී ඔහු නිවාඩු ගෙන තිබුණේ එක් දිනක් බව පවසයි. සමාගමක් ගොඩනැංවීමේදී මූලිකව ඒ කැප කිරීම කළ යුතුය යන්න ඔහු ඉන් අදහස් කරයි.   


‘‘මම කරන දේට ආදරය කළා. මුදල නෙමෙයි ප්‍රධාන කර ගත්තෙ.   


එසේ පවසන සමන්තගේ ව්‍යවසායක දිවියේ විප්ලවීය වෙනස සිදුවූයේ ඉහත කී ටෙක්ස්ටයිල් කර්මාන්තය සඳහා නිෂ්පාදන හඳුන්වා දීම නිසාය. එයින් ලැබුණු මුදල ඔහු තවත් ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා යෙදවීමට වගබලා ගෙන තිබේ.   


‘‘මට අදටත් ලැබෙන මුදල් මගේ පුද්ගලික වියදමට ගන්නේ නැහැ. ඒවාටම වියදම් කළා. අදටත් මට තියෙන්නෙ එක ගෙදරයි. ඒක මේ ව්‍යාපාර කිරීමට පෙර තිබුණු ගෙඳ‌රයි. එය අලුත්වැඩියා කළේ විසි වසරකට විතර පසුවයි’’.   


ඔහු එලෙසින් කර ඇත්තේ මුදල් පොදි බැඳීමට ඇති ආශාව නිසා නොවේය. ස්වභාවධර්මයට වඩා අනුකූලව ජීවත්වන මිනිසකු වීම නිසාය.   


‘‘සොබාදහමේ රහස - ඔබේ රුවට’’ යන තේමාව රැගත් නේචර්ස් සීක්‍රට් රූපලාවණ්‍ය සහ රූපලංකරණ නිෂ්පාදන පෙළ ලාංකීය ජනතාවට හඳුන්වා දෙන්නේ එහි අරුත තවත් ප්‍රායෝගික කිරීම වෙනුවෙනි.   
'Nature’s Secret' නිෂ්පාදන වඩා ප්‍රකට වුණේ අපි ඉතා හොඳ දේ සහ ගුණ දේ සමාජගත කළ නිසයි.’’   


සමන්ත එසේ කීවද ලාංකීය ජනයා අතර බොහෝ විට දේශීය දේ කෙරෙහි ඇත්තේ අඩු තක්සේරුවක් බව ඔහුගේ හැඟීමය.   


‘‘කොහෙන් හරි ගෙනෙන ඕනෑම කුණු ගොඩක් ඉහළින් බාර ගන්න සමහරු කැමැතියි’’. සැබැවින්ම ඔහු පවසන ඒ අදහස වඩා නිවැරදිය. රුව සහ සමට වඩා ගැළපෙන ගුණාත්මක දේ හඳුන්වා දීම මෙන්ම ඒ ගැන කරුණු අළලා සමාජය දැනුම්වත් කරනු වස් ඔහු පොත පතද ලියා පළකර තිබේ. එකී සියල්ල අතරේ 2009 දී ලොකු ප්‍රශ්නයකට මුහුණ දීමට ඔහුට සිදුවුණි.   


 ‘‘2009 දී අපේ නිෂ්පාදන වට්ටෝරු මෙන්ම නිෂ්පාදන සූත්‍රකරණ සියල්ල සොරකමකට ලක්වුණා. අදටත් ඒ නඩුව පවතිනවා. අපි ඒ කිසිවකින් සැලුණේ නැහැ. සංකල්ප සහ නව අදහස් අරමුණු ඇතිව අපි තවත් ගුණාත්මක දේ වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. නමුත් 2009 දී සිදුවූ එම හානිය තමයි එදා අපට මුහුණ දීමට සිදු වූ බරපතළම දේ.   

 

 

එහෙම වුණා කියලා අපි බොරු වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළේ නැහැ. ගුණාත්මක නොවූ නිෂ්පාදන කළෙත් නැහැ. ස්වභාවධර්මයට අනුව යන අපි ස්වභාවධර්මය විසින්ම රකින බව වටහා ගෙන අපි අපේ ගමන ගියා’’.   
නේචර්ස් සීක්‍රට් නිෂ්පාදන ජනගත වීමේ රහස ගැන සමන්ත අර්ථ දක්වන්නේ එලෙසිනි. අද මේ රූපාලංකරණ නිෂ්පාදන සහ ඊට අදාළ අංශ විදේශීය ආක්‍රමණයන්ට නතුව ඇති බව ඔහු ලිපි මගින්ද පෙන්වා දී ති​බේ. ඖෂධීය අගය රැගත් බොහෝ දේ හඳුන්වා දීමට තමාගේ සමාගම ගත් පියවරෙන් පසුව ශ්‍රී ලංකාවේ එය වඩාත් ප්‍රචලිත වූ නිසා අද වන විට තවත් දේශීය සමාගම් බිහිවී තිබේ.

   
නමුත් දේශීය නිෂ්පාදන ක්‍රියාවලියෙහි යෙදෙන ශ්‍රී ලාංකීය ගුණය, විනය, සුවඳ, හුස්ම හඳුනා ගත් ව්‍යවසායකයින්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති වග ඔහුගේ දැක්මය.   


‘‘ලොව කිසිම රටක් විදේශිකයින් පැමිණ දියුණු කර දී නොමැත. විදේශිකයනට දේශීය සම්පත් කුණු කොල්ලයට විකිණීමෙන් දියුණු වූ රටක්ද මෙලොව නැත. එමෙන්ම දේශීය වෙළෙඳපොළ විදේශිකයන්ට පවරා දී එම විදේශිකයන්, දේශීය මුදල්වලින් උපයන ලාභය, විදේශ විනිමය ලෙසින් පිටරටවලට අමු අමුවේ ගෙන යාමට ඉඩ දුන් රටක් ද ආර්ථික දියුණුවක් ලබාගෙන නොමැත’’.   


‘‘ඉන්දියානු ආර්ථික ආක්‍රමණ හමුවේ ශ්‍රී ලංකාවේ අනාගතය’’ මැයෙන් ඔහු රචිත පොතක සඳහන්ව ඇත්තේ එලෙසිනි. එනයින් ඔහු හඬක් නගන්නේ ඔහු වැනි දේශීය ව්‍යවසායකයින්ට අද මුහුණ දීමට සිදුව ඇති ඉරණම ගැන සමාජය දැනුම්වත් කිරීම වෙනුවෙනි.   


‘‘අපි අලුත් ව්‍යපාරයක් ගොඩනැංවීමට හොරණ ප්‍රදේශයේ අක්කර ගණනාවක භූමියක් යොදාගෙන තිබෙනවා. දැන් බලධාරීන් එකතු වෙලා අපට ඒකට බාධක දාලා තියෙන්නෙ. දේශීය ව්‍යවසායකත්වය මේ විදියට ගියොත් නැත්තටම නැතිවෙලා යාවි’’.   


අනාගතයක් ගැන නොහිතන බලධාරීන් සිටින රටක් දියුණුව කරා නොයන වග දේශයට හිතැති, මේ අපූරු ව්‍යවසායකයාගේ අදහසය. අද ඔහුගේ සමාගම් ආසියානු කලාපයේ විවිධ රටවල ව්‍යාප්ත වී තිබේ. ඒවා එලෙසින් ව්‍යාප්ත වී තිබෙන්නේ නිෂ්පාදනවල ගුණාත්මක බව නිසාම යැයි කිව හැකිය. එපමණක්ද නොවේ. රටට වි​ෙද්ශ විනිමය ගෙන දෙන සමූහ සමාගමක් බවට ද අද ඔහුගේ නායකත්වයෙන් යුතු ඒ ව්‍යාපාර සමූහය පත්ව තිබේ.   
මෙලෙසින් අභියෝගවලට මුහුණ දෙමින් ව්‍යවසායකත්ව ලෝකයේ සම්මානනීය ගමනක යෙදෙන සමන්ත කුමාරසිංහ යනු උපාධිය හිස මත තබාගෙන සිටින හිස උදුම්මා ගත් මිනිසකුට වඩා, එයට වඩාත් අරුතක් සැපයූ මිනිසෙකි. ‘‘සරලය-ගැඹුරුය’’ යන්න ප්‍රකාශ වේ. සමන්ත යනු එවැනි ගුණයෙන් යුතු මිහිකතගේ දරුවෙක් නොවන්නේද?   

 

 

 

 

සටහන   
සඳුන් ගමගේ