IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


යු ටියුබ් නිර්මාණය වුණේ මෙහෙමයි

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • “යූ-ටියුබ්” ලොවට ද‌ායාද කළේ ස්ටීව් චෙන් චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම්
  • යූ-ටියුබ් මූලික සංකල්පය වූයේ මිතුරු හමුවක් ලෙස පවත්වාගෙන යාමයි

 

අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කටයුතු සිදුකිරීමේදී, නියමිත ක්‍රමවේදයක් තිබේ. උද‌ාහරණයක් ලෙස ගතහොත්, ඔබ අන්තර්ජාල සේවාවක් ඔස්සේ යුරෝපයෙන් හෝ වෙනත් රටකින් භාණ්ඩයක් ඇණවුම් කිරීමේදී, එකී රටවලට අද‌ාළ වූ මුදල් ඒකක මගින් ගනුදෙනු කිරීම සිදු කළ යුතු වේ. රුපියල් ඩොලර්වලට හරවා එම කටයුත්ත සිදු කරගත යුතුය.   


එලෙසින් වූ ක්‍රමවේදයේදී පේ-පෑල් (PayPal) යනු ඔන්ලයින් ඔස්සේ ගනු දෙනු සිදුකිරීමේදී, ගෙවීම් කටයුතු සඳහා මුදල් හුවමාරු කර දෙමින් එම කටයුත්ත නිවැරදිව සිදු කරදීමේ සේවාව ලබා දෙන ලෝ ප්‍රකට අන්තර්ජාල සේවා සපයන සමාගමකි. හැබැයි, අද අප කතා කිරීමට සූද‌ානම් වන්නේ එම පේ-පෑල් (PayPal) ගැන නම් නොවේ. අද වනවිට ලෝක ජනතාවගෙන් හරි අඩකට පමණ වන්නට වූ විශාල ජනකායක් හොඳින් දන්නා යූ-ටියුබ් (YouTube) සමාගම ගැනය.   

 


කුමක්ද මේ යු-ටියුබ් (YouTube) යන්න ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. කෙටියෙන්ම ඒ ගැන කිවහොත්, යූ-ටියුබ් යනු අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් ලෝක ජනතාවට නැරඹීමේ අවකාශය ලබාදුන් අපූරු සමාජ මාධ්‍යයකි. 

 
තවත් විදියකට කිවහොත්, වීඩියෝ නිර්මාණය කර ගනිමින් ඒවා බෙද‌ාහරිමින් නැරඹීමට අවකාශය ලබාදුන් අන්තර්ජාල සේවාවකි. ප්‍රකට සමාගම් ලොව දිනූ විශේෂාංගය වෙනුවෙන් අද අප කතා කිරීමට සූද‌ානම් වන්නේ මෙම යූ-ටියුබ් සමාගම ගැනය.   


පේ-පෑල් ආයතනයේ සේවය කළ සේවකයින් තිදෙනෙකුගේ අලුත් සංකල්පය   


මෙම සටහන ආරම්භයේදී අප පේ-පෑල් (PayPal) ආයතනය ගැන කතා කළේ, මෙම යූ-ටියුබ් සමාජ මාධ්‍යය සේවාව ඇරඹීමට පෙර තරුණ නිර්මාපකවරු තිදෙනා එවකට සේවය කළේ පේ-පෑල් ආයතනයේ වූ නිසාය. පේ-පෑල් හි විවිධ අංශ වලට සම්බන්ධව සේවය කරමින් සිටි. ස්ටීව් චෙන් (Steve Chen), චැඩ් හර්ලි (Chad Hurley) සහ ජාවෙඩ් කරීම් (Jawed Careem) යනු ඔවුනගේ නාමයන් වේ. හර්ලි පරිගණක අංශයේ සැලසුම් නිර්මාණය කිරීමෙහි ඉතා නිර්මාණාත්මක චරිතයක් වූ අතර, ඒ පිළිබඳව පෙනිසිල්වේනියාහි ඉන්දියානා සරසවියෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවෙකි.   


ස්ටීව් චෙන් සහ ජාවෙඩ් කරීම් පරිගණක විද්‍යාව සම්බන්දයෙන් ඉලිනොයිස්හි (අර්බානා සහ ෂැම්පේන්) සරසවියෙන් උසස් අධ්‍යාපනය ලැබුවෝ වෙති. පේ-පෑල් සමාගමේ සේවය කරමින් සිටියදී මේ තිදෙනා හොඳ මිතුරන් බවට පත් වූහ. ‘‘යූ-ටියුබ්’’ නිර්මාණය කිරීමට සමත් වූ මේ මිතුරන්ගේ වතගොත ගැන අපි ටිකක් විපරම් කර බලමු.   


ජාවෙඩ් කරීම් Jawed Careem   


‘‘යූ-ටියුබ්’’ සංකල්පය මුලින්ම ප්‍රායෝගික කළ පුද්ගලයා මේ ජාවෙඩ් කරීම් ලෙස සඳහන් කළ හැකිය. එනම් වීඩියෝ බෙදාහැරීමේ සංකල්පය ඔහුගේ මනසට ආ අපුරු අදහසක් විය. මේ අදහස දැරූ ජාවෙඩ් කරීම් කවුද?   
බංග්ලාදේශ සහ ජර්මානු සම්භවයක් ඇති කරීම් උපත ලැබුවේ 1979 ඔක්තෝබර් 28 වැනිද‌ා නැගෙනහිර ජර්මනියේ මර්ස්බර්ග් නගරයේදීය. ඔහුගේ පියා බංග්ලාදේශයෙන් ජර්මනියට පැමිණ සිටි අතර, ජර්මානු කාන්තාවක හා විවාහ වී තිබේ. මෙම යුවළට පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින අතර, ජාවෙඩ් කරීම් වැඩිමහල් පුත්‍රයාය.   


1980 දී, එනම් මේ ජාවෙඩ් හට යන්තමට අවුරුද්දක් පමණ සපිරි තිබිණි. එවකට ජර්මනිය නැගෙනහිර බටහිර ලෙස දෙකඩව රාජ්‍යයන් දෙකක් ලෙස ක්‍රියාත්මකව පැවැතියේය. ජාවෙඩ්ගේ පියාගේ අභිප්‍රායවූයේ නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය වෙත දේශසීමා තරණය කිරීමටය. පුංචි ජාවෙඩ් පුතු තුරුලු කරගෙන, ජීවිත ගැන තිබූ ආසාවද අතැර ජාවේඩ්ගේ පියා සහ මව එද‌ා දේශ සීමාව තරණය කළෝය. නමුදු එහිදීද කරීම් පවුලට මුහුණ දීමට සිදුවූයේ හරියට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන් වූ සිදුවීමකටය.   


එනම් එවකට ජර්මානුවන් අතර විදේශිකයින් හට තිබුණේ භීතියකි. වෙසෙසින්ම ආසියානුවන් සහ අප්‍රිකානුවන් වැනි අය මෙන්ම අනෙකුත් ජාතීන් කෙරෙහි ඔවුහු එතරම් තැකීමක් නොකළහ. 1990 වනතෙක් ජාවෙඩ් සහ ඔහුගේ පියා මෙන්ම ඒ පවුලට මෙම පීඩනය දරාගෙන ජීවත් වීමට සිදුවිණි. පසුව 1990 දී බටහිර - නැගෙනහිර ලෙස තිබූ ජර්මනිය එක් රාජ්‍යයක් බවට පත්වුවද, 1992 දී පමණ මේ පවුල ඇමරිකාවේ - මිනසෝටාහි ශාන්ත පාවුළු වෙත සංක්‍රමණය වූහ.   


කරීම් උපාධිය ලබා ගත්තේ ශාන්ත පාවුළුහි සෙන්ට්‍රල් උසස් විද්‍යාලයෙනි. ඉලිනොයිස්හි ඉහත සඳහන් කළ සරසවියෙන් පරිගණක නිර්මාණ සැලසුම් ශිල්පයෙහි උසස් අධ්‍යාපනය ලැබුවේ ඉනික්බිතිව ය. ස්ටැන්ෆර්ඩ් සරසවියෙන් පරිගණක විද්‍යා අංශයේ උපාධිය ලැබීමට පෙර පේ-පෑල්හි මුල්කාලීන සේවකයකු ලෙස කටයුතු කිරීමට ඔහු මග පාද‌ා ගත්තේය.   


පේ-පෑල්හි සිටින අතරේ ඇමරිකාවේ පරිගණක අංශයේ බොහෝ දේ සිදුවන, නිම්නය වන සිලිකන් වැලිහි සිලිකන් ග්‍රැෆික්හි සීමාවාසික පුහුණුව ලැබීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි. පේ-පෑල් ආයතනයට නැතුවම බැරි වැඩකාරයකු බවට පත්ව සිටින අතරේ, චැඩ් හර්ලි සහ ස්ටීව් චෙන් හමුවීමත් සමග කරීම්ගේ ගමනාන්තය වෙනස් වූ බව කිව හැකිය.   


යූ-ටියුබ් වෙතින් බොහෝ තරු සහ චරිත තමන්ගේ පුද්ගලික ජීවිතය ගැන විස්තර කෙරෙන වීඩියෝ දැකගත හැකි වුවද, ජාවෙඩ් කරීම් යනු තමාගේ පුද්ගලිකත්වය අතිශ්‍යයින්ම සුරකින පරිදි කටයුතු කරන චරිතයක් ලෙස සඳහන්ය. කෙසේ වෙතත් නිල නොවන තහවුරු කිරීම් යටතේ කටකතා පැතිර තිබුණේ,

නවකතාකාරියක වන කියා අබ්දුල්ලා සමග ඇසුරක් පැවැති බවය. කෙසේ නමුත් ජාවෙඩ් විවාහ වී සිටින්නේ කා සමගද යන්න නම් තවමත් කිසිම තැනෙක සඳහනක් නොවේ. එසේ නම්, යූ-ටියුබ් නිර්මාණය කිරීමට එක් වූ ස්ටීව් චෙන්, කවුද කියා ඊළඟට බලමු.   

 


ස්ටීව් චෙන්   


1978 අගෝස්තු 25 වැනිද‌ා ස්ටීව් චෙන් උපත ලැබුවේ තායිවානයේ තායිපේ නුවරදීය. ඔහුගේ පවුලේ උදවිය තායිවානයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ චෙන් හට වයස අටක් සපිරී තිබියදීය. ඇමෙරිකාවේ ඉලිනොයිස් පදිංචිය සඳහා මෙම පවුල තෝරාගෙන සිටි අතර, චෙන් රිවර් ට්‍රේල්ස් මිඩ්ල් පාසල වෙතින් මූලික අධ්‍යාපනය ලැබීය. ඉගෙනීමට හපනෙකු වූ චෙන්, වවිධ කඩඉම් පසුකරමින් ගොස්, අවසන පරිගණක විද්‍යා අංශයේ උපාධිය ලැබුවේ ඉලිනොයිස්හි (අර්බානා සහ ෂැම්පේන්) සරසවියෙනි. ඉන්පසුව පේ-පෑල්හි සේවයට එක්ව සිටි අතර ඊට පෙර, චෙන් ‘‘ෆේස්බුක්’’ හි ආරම්භක සේවකයකු ලෙස කටයුතු කර තිබිණි. එයින් ඉවත් වී ඇත්තේ පේ-පෑල්හි සේවය කරමින් සිටියදී හඳුනාගත් චැඩ් හර්ල් සහ කරීම් හඳුනාගැනීමත් සමග ‘යූ-ටියුබ්’ නිර්මාණයට එක් වූ නිසාය. යූ-ටියුබ් පටන් ගත් පසු එහි තාක්ෂණ අංශයේ එහි ප්‍රධාන චරිතය ලෙස කටයුතු කළේ මෙම චෙන්ය.   


2009 දී චෙන් විවාහ වූයේ ගූගල් හි කොරියානු නිෂ්පාදන අලෙවි අංශය බාරව සිටින පාක් ජී හියොන් (ජේමීචෙන්) සමගය. දරු දෙදෙනෙකුගේ මා පිය යුවළ වන මෙම චෙන් පවුල වෙසෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ අගනගරයේ ය. සැබැවින්ම කිවහොත්, මෙම චෙන් යනු ආසියාවෙන් ලෝකයට ද‌ායාද වූ පරිගණක විද්‍යා අංශයේ හොඳ මොළකාරයෙකි. ලෝ ප්‍රකට ‘ආසියානු විද්‍යා සඟරාව’ විටෙක ඔහුගේ නාමය ඇතුළත් කළේ ආසියාවේ හොඳම විද්‍යාඥයින් 15 දෙනා අතරට වීම විශේෂත්වයකි. මේ මොළකාරයාට එහා ගිය අනෙක් චරිතය වන්නේ චැඩ් හර්ලිය. එනම් යූ-ටියුබ් හි අනෙකුත් සම නිර්මාතෘවරයාය.   


චැඩ් හර්ලි   


චැඩ් හර්ලි උපන්නේ 1977 ජනවාරි 24 වැනිද‌ා ඇමරිකාවේ සුවිශාල ජනපදයක් වන පෙනිසිල්වේනියාහි රීඩ්න් නගරයේදීය. දොන් සහ යොහාන් හර්ලි යුවළගේ දෙවැනි දරුවා ඔහුය. හෙදර් නමින් වැඩිමහල් සහෝදරියක ඔහුට සිටින අතර මලණුවන්ගේ නම බ්‍රෙන්ටිය. කුඩා කාලයේදී හර්ලි දක්ෂතාව දක්වා ඇත්තේ චිත්‍ර ඇඳීමටය.   
ප්‍රාථමික අවදියෙන් පසුව, පරිගණක විද්‍යා අංශය සහ විද්‍යුත් මාධ්‍ය අංශය කෙරෙහි වඩාත් උනන්දු වී සිටියේය. හොඳ ධාවන ශූරයකු වූ ඔහු උසස් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියදී, ගම හරහා දිවීමේ තරග වලට සමවූ මැරතන් වැනි ඉසව්වලට සහභාගී වී ජයග්‍රහණ කිහිපයකටම උරුමකම් කීවේය. අවසන ඔහු පෙනිසිල්​ෙව්නියා හි ඉන්දියානා සරසවියෙන් පිටවූයේ ලලිතකලාවේදී ශාස්ත්‍රපති උපාධිය ලබා ගනිමිනි.   
චැඩ් හර්ලි විවාහ වී සිටින්නේ කැතී ක්ලාක් සමගය. කැතී ක්ලාක් යනු සිලිකන් නිම්නයෙහි ධනවත් ව්‍යවසායකයකු වන පරිගණක අංශයේ විද්‍යාඥයකු වන සිලිකන් ග්‍රැෆික්ස්, නෙට්ස්කේප්, මයිසීඑෆ්ඕ, ඇතුළු පරිගණක ජාලය හා සබැඳී ලෝ ප්‍රකට ආයතන කිහිපයක නිර්මාතෘවරයා වන, ජේම්ස් එච්. ක්ලාක්ගේ දියණියයි.   


යූ-ටියුබ් ගැන කෙටියෙන්   


යූ-ටියුබ් ජාලය ඇරඹියේ 2005 වසරේ පෙබරවාරි 14 වැනිද‌ාය. එද‌ා ගූගල් සමාගම බිහිකිරීමට ප්‍රධාන වශයෙන් ද‌ායක වූ චරිතයක් වන සුසාන් වොජ්ස්කි යූ-ටියුබ් හි ප්‍රධාන විධායිකාව ලෙස කටයුතු කරන්නීය. දීර්ඝ කාලයක් එම තනතුර දැරූ මහා චරිතය ඇයම වන්නීය.   


යූ-ටියුබ් මුලින්ම අන්තර්ජාලය ඔස්සේ මුද‌ාහැර ඇත්තේ ඩේටින් අඩවියක් හෙවත් සාමාජීයව මිනිසුන් එකිනෙකා හඳුනාගැනීමට අවකාශය සැලැස්වූ සමාජ ජාලා අඩවියක් ලෙසය.   


යූ-ටියුබය මුද‌ාහැරි ප්‍රථම වීඩියෝව 

 
මුලින්ම එකිනෙකා හඳුනා ගන්නා සමාජ ජාලා අඩවියක් ලෙස විකාශය වූ යූ-ටියුබ් ජාලය, වෙනස් ගමනකට අවතීර්ණ වූයේ මෙම ජාලයෙහි සම නිර්මාතෘවරයකු වන ජාවෙඩ් කරීම් විසින් යූ-ටියුබ් අඩවිය වෙත මුදාහළ ''ME AT THE ZOO'' හෙවත් සත්ව උද්‍යානය අසලදී මම’’ නමින් මුද‌ාහැරි වීඩියෝව ය. 2015 අප්‍රේල් 24 වැනිද‌ා මුද‌ාහළ මෙම වීඩියෝව මේ වනවිට කෝටි දහතුනක පමණ ජනකායක් නරඹා ඇති වග සඳහන් කළ හැකිය.   
එහි විකාශිත කාලය තත්ත්පර 18 ක වැනි සීමිත පරාසයකි. වත්මනෙහි බොහෝ දෙනා එය නරඹන්නේ යුටියුබය මුද‌ාහළ අතිශය ප්‍රථම වීඩියෝව කුමක්ද යන්න දැන ගැනීම වෙනුවෙනි. කෙසේ වෙතත් එහි සැඟ වූ රහසක් තිබේ. ජාවෙඩ් අහම්බයකින් එය සත්ව උද්‍යානයකදී රූගත කර තිබුණද, සෙල්ෆි හෙවත් තමා විසින්ම රූගත කළ එහි පිටුපස තිරයෙහි දැක්වෙන්නේ ඇතෙකු සහ ඇතින්නියකි. එනම් ඇත් ජෝඩුවකි.   
‘‘අලි’’ සම්ප්‍රද‌ායිකව වාසනාව ගෙනෙන බවත්, ධනාත්මක ශක්තියක් ඇති කරවන බවත්, බාධක මැදින් ඉදිරියට යා හැකි බවත්, රැකවරණයේ සංකේතයක් වශයෙන් ආදි බොහෝ දේ නිසා සංකේතාත්මකව එය ඉතා ඥ‌ානාත්මකව කළ යොද‌ා ගැනීමක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති.   


එද‌ා මෙලෙසින් වීඩියෝවක් මුද‌ා හැරීමට තමාට සිත් වූයේ, එවකට පොප් ගී රැජිනක වූ ජැනට් ජැක්සන් සහභාගී වූ ‘‘සුපර් බෝල්’’ වීඩියෝවේදී ජස්ටින් ටිම්බර්ලේත් එක්තරා අවස්ථාවක ඇයගේ ජැකට්ටුව පසෙකට ඇද දැමුවේය.   


එහිදී ඇයගේ පියයුරක් නිරාවරණය වී තිබෙනු දැකගත හැකිවිය. මෙය වීඩියෝවක් ලෙස වසර කීපයකට පෙරදි අන්තර්ජාලය කැලඹු විඩියෝවක් විය. එයින් තමාට යම් කිසි අදහසක් ඇති වූ බව කරීම් විටෙක සඳහන් කර තිබේ. 

 
ප්‍රථමයෙන් මිලියනයක් නැරඹු වීඩියෝව   


යූ-ටියුබය එද‌ා තත්ත්පර කීපයකින් සමන්විත Me at the Zoo වීඩියෝව මුදා හැරීමෙන් අනතුරුව සමාජ ජාලයක් ලෙස ප්‍රකට වූ පසු යූ-ටියුබය ඔස්සේ මුලින්ම මිලියනයක් දෙනා නැරඹූ වීඩියෝව ලෙස සඳහන් වන්නේ ‘‘Fred’’ ගේ (ළමා කටහඬකින් යුතු දෙබස් සහිතව විවිධ මාතෘකා ඔස්සේ මුද‌ා හරින යූ-ටියුබ් නිර්මාණකරුවෙකි) නිර්මාණයකි.   


මුලින්ම බිලියනයක් දෙනා නැරඹූ වීඩියෝව ‘‘ගංග්නම් ස්ටයිල්’’ නැටුම   


මීට වසර කීපයකට පෙරදි රැල්ලක් ලෙස ලෝකයට ගංග්නම් නමින් හැඳින් වූ නර්තනය මතකද? එය ඉදිරිපත් කළේ දකුණු කොරියානු රැප් ගායන ශිල්පියකු, ගීත රචකයකු සහ නර්තන ශිල්පියකු වන පාක් ජේ. සාන් හෙවත් (PSY) ලෙස කෙටි නාමයෙන් හැඳින්වෙන ශිල්පියා මුදහළ ගංග්නම් ස්ටයිල් වීඩියෝවය.   


2013 සිට 2017 දක්වා බොහෝ දෙනා පුරුදුව සිටියේ සුරතලයට ඇති කරවන බල්ලන් සහ බළලුන්ගේ ක්‍රියා ඇතුළත් වීඩියෝ මුද‌ාහැරීමටය. ඒ අනුව මුද‌ාහළ වීඩියෝ ප්‍රමාණය මිලියන ගණනාවකි. එමෙන්ම මිලියන ගණනාවක් ඒවා නරඹා තිබේ.   

 


චාලි මගේ ඇඟිල්ල හපනවා

   
මීට වසර දෙකතුනකට පෙරදී වාර්තා වූයේ යූ-ටියුබය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස ''Charlie Bit My Finger'' යන වීඩියෝවය. කුඩා ළමුන් දෙදෙනෙකු සිටින අතර අය්යා මල්ලිගෙ මුවට ඇඟිල්ලක් යොමු කළ පසු මල්ලි එය තදින් ‘සපන’ අයුරු එහි දැක්වේ. එය මිලියන 844 ක පමණ ප්‍රමාණයක් නරඹා ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් ලෝ ප්‍රකට ගායක ගායිකාවන්ගේ ගීත ඇල්බම ඇතුළත් වීඩියෝ නැරඹූ ප්‍රමාණයද ඉතා ඉහළය. 

 
මුදල් උපයා ගැනීමටත් හොඳ අංශයක් 

 
යූ-ටියුබය යනු අන්තර්ජාලය ඔස්සේ මුදල් කන්දරාවක් ඉපයීමට හොඳ අවකාශයක් ඇති සමාජ ජාලයකි. එහිදී කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි නොවන ලෙස සහ සමාජ වීරෝධි නොවන මෙන්ම, ළමා අපචාර මෙන්ම අසභ්‍ය දර්ශනවලින් තොරව නිර්මාණ මුද‌ාහැරීම යූ-ටියුබයට ලැදි කාගේත් අරමුණ විය යුතුය. යූ-ටියුබය ඔස්සේ සමාජ යහපත උදෙසා කළ හැකි දේ නම් බොහෝය.   


ඒ කෙසේ වෙතත් කාලයක් යන තෙක් ලෝකයේ රටවල් බොහොමයක් ‘යූ-ටියුබය’ තම රටේ පරිහරණය කිරීමේ මං අහුරා තිබිණි. අදට චීනය ඇතුළු රටවල් බොහොමයක් එලෙසින් ක්‍රියා කිරීමට කටයුතු යොද‌ා තිබේ.   


කෙසේ වෙතත් ‘‘හොඳ හොඳම වේය ලොව’’ යන්න අරුත්බර කරමින් යූ-ටියුබය ඔස්සේ කටයුතු කරන බොහෝ දෙනා​ගේ යහපත් සිතිවිල්ල වනුයේ හොඳම දේ ලෝකයට ලබා දීමටය. ලංකාවේ යහගුණය ලොවට ප්‍රකාශ කිරීමට ''You Tube'' යනු මහඟු අවකාශයකි.

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ



අදහස් (3)

යු ටියුබ් නිර්මාණය වුණේ මෙහෙමයි

sharm warn Tuesday, 24 November 2020 04:50 AM

කාලෙකින් දැනුමට යමක් එක් කල ලිපියක්. බොහොම ස්තුතියි.

:       5       39

Jayashan Wednesday, 25 November 2020 09:02 AM

දැනුමට යමක් එක් කල ලිපියක්. බොහොම ස්තුතියි.

:       5       25

Chandrasiri Saturday, 27 March 2021 02:28 PM

මම ඔයාලගෙන් ගොඩක් දේ ඉගෙනගත්තා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4729 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 160 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 877 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 267 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 321 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 148 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 997 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site