IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුහුණු පොතෙන් හඳුනා ගත් තරුණයාගේ අත ගන්න ගිය විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට

 

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් මුහුණු පොතෙන් දැන හඳුනා ගත් තරුණයකු සමග විවාහ වීමට උත්සාහ කළ කාන්තාවක් දුම්මලසූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ලැබීය. 


ඇය හැඩකාර කාන්තාවක් වන්නීය. 


මෙම කාන්තාව මුහුණු පොත හරහා දැන හඳුනා ගත් තරුණයන් හා විවාහක පුද්ගලයන් රැසක් සමග සමාජ සම්බන්ධකම් පවත්වා තිබෙන අතර ඒ අය අතර පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටින බව ඇය සතුව තිබිය දී පොලිස් බාරයට ගත් නවීන පන්නයේ ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේ දී පොලිසියට පෙනී ගොස් ඇත. 


පොලිස් බාරයට ගත් දා පටන් නඩු භාණ්ඩයක් ද වශයෙන් ඉදිරිපත් කිරීම කරන තෙක් තවමත් පොලිසියේ තිබෙන අන්තර්ජාල පහසුකම් සහිත නවීන පන්නයේ ඒ ජංගම දුරකථනයට නිරන්තරයෙන් ලැබෙන ඇමතුම්වලට විශේෂඥ වෛද්‍යවරියක ලෙස රංගනයක යෙදුණු මේ කාන්තාවට කොච්චර පිරිමින් සංඛ්‍යාවක් රැවටී ඇද්ද? යන්න කියන එකට කදිම නිදසුන් බව පොලිස් නිලධාරිහු පෙන්වා දෙති. 


ඇමතුම් ලබා දෙන්නේ ද ඇය පොලිසියට කොටු වී ඇති බව නොදැනය. 


ඔවුන් සිතා සිටිනවා ඇත්තේ ඇය විශේෂඥ වෛද්‍යවරියක් යැයි කියා විය යුතුය. 


මෙම කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය ළඟ වෙද නළාවක් විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටීමට ව්‍යාජ ලෙස සකස් කර ගෙන යන සහතිකයක් හා ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් ද තිබී පොලිස් බාරයට ගෙන තිබේ. 


ඒ ජාතික හැඳුනුම්පත් දෙකේම රැකියාව යන්න සඳහන් ස්ථානයට ඉදිරියෙන් විශේෂඥ වෛද්‍ය කියා ලියා ඇත.  


ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකේම ඇයගේ නම වශයෙන් යොදා තිබුණේ විමලධර්මසූරිය මුදියන්සේලාගේ ශ්‍රී සුභාෂිණී කෞශල්‍යා යනුවෙනි. 


වැටලීමක් සිදු කර හොර විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. 


මෙහෙයුමට පොලිස් සැරයන් සරත් චන්ද්‍ර (5326) පොලිස් කොස්තාපල්වරුන් ඩී.එච්.එන්. කරුණාරත්න (32098) සරත් (16755) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් සංජිවා (8984) මහත්මිය ද හවුල් වූවාය. 


මවුපියන් මියගොස් ඇති තමාට කාගෙන්වත් හව්හරණක් නොමැති නිසා කෙසේ හෝ කාව හරි පිරිමි කෙනෙක් සමග විවාහ වී රැකවරණයක් ලබා ගැනීමට මෙවැනි උපක්‍රමයක් යෙදු බව ඇය පොලිසිය ප්‍රකාශ කර ඇත. 


තමා අහිංසක තැනැත්තියක් බව ඇය පොලිසියේ මහත්වරුන් හා නෝනලා එක්ක පවසා ඇත්තේ දෙනෙත් කඳුළු පුරෝගෙනය.
උසස් පෙළ විභාගයට විද්‍යා අංශ වලින් පෙනී සිට ඇතත් වෛද්‍ය විද්‍යාලයට යාමට ලකුණු මදි වූ බවද ඇය පොලිසියට ප්‍රකාශ කරනු ලැබුවාය. 


ඇය අවසානයට පොලිසියට කොටු වූයේ දුම්මලසූරිය පොලිස් වසමේ ගමක ජීවත් වන බිරිඳ මිය ගොස් ඇති එක් දරුවෙක් සිටින අවුරුදු 28 ක තරම් වයසේ පසුවන අයෙක් සමග මුහුණු පොතෙන් හඳුනාගෙන විවාහ වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටි අතරවාරයේය. 


අපි ඒ පුද්ගලයාගේ නිවස සොයා ගෙන පසුගිය ඉරිදා ගියේ මේ ගැන වැඩි විස්තර ඔහුගෙන් හා ඔහුගේ මවුපියන්ගෙන් අසා දැන ගැනීම සඳහාය. 


දුම්මලසූරිය පොලිසියේ සැරයන් ජනක (45621) සහ කොස්තාපල් නිශාන්ත (38456) යන මහත්වරුන් ද අප ඒ නිවසට යන විටත් පැමිණ සිටියේ මේ සම්බන්ධව තව දුරටක් කරුණු කාරණා පවුලේ අයගෙන් දැන ගැනීමටය. 


අපිත් එක්ක මුලින්ම කතා බහට එක් වුයේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටි තරුණයා එක්කය. 


මොහු වඩු කාර්මික ශිල්පියෙක් මෙන්ම මුර්ති ශිල්පියෙක් ලෙසද රැකියාව කරන අයෙකි. 


මීට මාස කිහිපයකට විතර කලින් තමා ෆේස් බුක් එකෙන් කෞශල්‍යා කියා තරුණියක් හඳුනා ගත්තේ. මුලින්ම මම ඇයට කෞශල්‍යා මිස් කියා කතා කළා. ටික කාලයක් ඇපි දෙන්නා චැට් කළා. ඊට පස්සේ ඇය කිව්වා මම කොළඹ හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් වෝඞ් එකේ වැඩ කරන විශේෂඥ වෙද්‍යවරියක් කියා.


ඇයගේ ඩැඩී හා මමී මිය ගොස් ඇති බවත් සහෝදරයන් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගොස් ඇති බවත් කිව්වා. තමාට මේ රටේ කිසිදු ඥාතියෙක් නොමැති බවත් ඇය මාත් එක්ක කියා සිටියා. 


ඇය මාත් එක්ක විවාහ වෙන්න කැමති බව කිව්වා. මම වගේ දුප්පත් කෙනෙක් එක්ක විශේෂඥ වෛද්‍යවරියක් විවාහ වෙන්න යෝජනාවක් ගෙනා එක ගැන මට අදහා ගන්න බැරිව ගියා. ඇයි මම වගේ කෙනෙක්ව විවාහ වෙන්න තෝරා ගත්තේ මිස් කියා ඇසුවා. මම ඔයාට කැමතියි. ආදරයට සීමා මායිම් නැහැ. මටත් මේ රටේ කිසිම කෙනෙක් නැති නිසා ඔයා වගේ දුප්පත් කෙනෙක් බැඳගෙන නිව් සැනසිල්ලේ ඉන්න කැමැතියි කියා කිව්වා. මමත් කැමති වුණා. තාත්තාට විස්තරේ කිව්වා. අම්මාට මේ වගක් දැන්ම කියන්න එපා කියා පැවසුවා. 


පසුගිය අප්‍රේල් මාසේ 13 වැනිදා එයා අපේ දුම්මලසූරිය ගෙදර ආවා. මම මාදම්පේ පෙට්‍රල් ෂෙඞ් එක ළඟ තියන බස් හෝල්ට් එකේ ඉඳලා ත්‍රීවීල් එකකින් එයාව අපේ ගෙදරට එක්ක ආවා. බෑග් දෙකක් අරගෙනයි ආවේ. වෙද නළාවක් අරගෙන ඇවිත් තිබුණා. යැයි ද ඔහු පැවසීය. 


ඊළඟට අපිත් එක්ක විස්තර කියන්නට පටන් ගත්තේ ඒ තරුණයාගේ පියාය. 


පුතා දොස්තර නෝනා කෙනෙක් කියන ගැහැණු කෙනාව අපේ ගෙදරට එක්ක ගෙන එද්දි මගේ නෝනා සිංහල අලුත් අවුරුද්දට කැවුම් පිසිමින් හිටියේ. දොස්තර නෝනා ගෙට ගොඩ වුණ ගමන් අපි දෙන්නාට දණ ගසා වැන්දා. රෑ බෝවෙලා තමා අපේ ගෙදර ආවේ. දොස්තර නෝනාව ගෙදර නවත්වා ගන්න අපි දෙන්නම කැමති වුණේ නැහැ. ඒත් දොස්තර නෝනාට ගෙදර වෙනම කාමරයක් සූදානම් කර දුන්නා රෑට නිදා ගන්න. මට වෙනම කාමරයක් ඕනැ නැහැ. මමත් මෙයා ඉන්න කාමරයෙම නිදා ගන්න යනවා. අපි දෙන්නා ළඟදීම විවාහ වෙනවා කියා කිව්වා. එහෙම කියපු දොස්තර නෝනා පුතාගේ කාමරයට ගියා. 


මමයි මගේ බිරිඳයි දෙන්නම ඇසුවා ඇයි දොස්තර නෝනා කෙනෙක් වෙලත් අපි වගේ දුප්පත් පවුලකින් විවාහයක් කර ගන්න යන්නේ කියා. මගේ පුතා වඩු වැඩ කරන කෙනෙක් කියාත් කිව්වා. ආදරයට සීමා මායිම් නැහැ. මම ඔය ගොල්ලන්ගේ පුතාගෙ ගති ගුණවලට කැමතියි. ඒ නිසයි පුතා එක්ක විවාහ වෙන්න තීරණය කළේ කියා. ඊට පස්සේ දොස්තර නෝනා කෙනෙක් කියා ගැහැනු කෙනා නිතර නිතර අපේ ගෙදර ඇවිත් රෑට නවතිනවා. සමහර දවස් වලට දවස් තුන හතර අපේ ගෙදර නවතිනවා. දවස් දෙක තුනක් වැඩට යන්න මගේ අතේ සල්ලි නැහැ කියා රුපියල් 500 ගාණේ ඉල්ලා ගත්තා. මාසයකට රුපියල් 2,50,000 ක් පඩියක් ලැබෙන බවත් තමාට වැටුප් ලැබුණේ නැති බවත් ඇය අපිත් එක්ක කිව්වා. පසුගිය සතියේ දෙන්නා විවාහ වෙන්න අවශ්‍ය පොරොන්දු පත්‍රය බිබිලදෙනිය විවාහ රෙජිස්ටාර් මහත්තයාට බාර දුන්නා. ගෙදර වත්තේම කොටසක පුතාටයි දුවටයි විවාහ වෙලා ඉන්න ගෙයක් හදා ගන්න දෙන්නම සිතාගෙන සිටියා. 


අපි කිව්වා දුවේ ඔයාගේ නැදෑයෝ එක්කගෙන එන්න කියා. එක්ක ගෙන එනවා කිව්වාට කිසිම කෙනෙක්ව එක්කගෙන ආවේ නැහැ. මාමාලා දෙන්නෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බවත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නම කියා ඒ අපේ මාමා කියාත් ඇය කිව්වා. බඳින කම් අපේ ගෙදර එන්න එපා කියා කීවත් ඒ ගැහැනු කෙනා අපි කියන දේවල් ඇසුවේ නැහැ. බලෙන්ම වාගේ අපේ ගෙදර නැවතී සිටියා. මටයි මගේ බිරිඳටයි මේ ගැහැණු කෙනා ගැන ලොකු සැකයක් ඇති වුණා. මම ග්‍රාම සේවක මහත්තයාට මේ ගැන කිව්වා. 


ග්‍රාම නිලධාරි මහත්තයා පැමිණ ඇත්තේ ඔහු කළ ඒ දැනුම්දීම මතය. 


විශේෂඥ වෛද්‍යවරියක බව කියා සිටි කාන්තාවගේ විස්තර ග්‍රාම නිලධාරියා ලබා ගෙන ඇත. 


මේ කාන්තාවට නෑදෑයෝ එක්ක ගෙදර ඇවිත් විවාහ වෙන කම් අපේ ගෙදර එන්න එපා කියා නිතර දොස් කිව්වා. ඉස්පිරිතාලේ වැඩට යනවා කියා ගෙදරින් යන හැම දවසකම බිරිඳටයි මටයි දණ ගසා වැඳලා තමා යන්නේ. ගෙදර ඉන්න දවස්වලට උයන්න පිහන්න බිරිඳට උදව් වෙනවා. මමී ඉන්න කාලේ මට රහට උයන්න පුරුදු කරලා තියෙන්නේ, කියා ඇය කියනවා. නිතරම කළු පැහැති සන්ග්ල්ස් එකක් පැළඳගෙන හිටියේ. 


වැඩට යන්නේ නැති දවස්වලට ෆෝන් එකෙන් කාටදෝ කතා කරලා අද මට එන්න වෙන්නේ නැහැ. මාගේ වාට්ටුවේ ඉන්න ලෙඞ්ඩු ටික බලා ගන්න කියනවා. ෆෝන් එකෙන් ලෙඞ්ඩුන්ට දෙන්න ඕනෑ බෙහෙත්වල නම් කියනවා. සමහර දවස් වලට ඉංග්‍රීසියෙන් එහෙම මොනවාදෝ කාත් එක්ක කතා කරනවා එහෙම මම අහගෙන ඉඳලා තියනවා. දවසක් වැඩට යන්න සල්ලි නැහැ කියා කිව්වා. ගෙදර වත්තෙන් අහුලා ගෙන තිබු කජු ඇට විකුණලා රුපියල් 750 ක් ගත්තා. ඒ ගත්තු සල්ලි වලින් රුපියල් 500 ක් දුන්නා. ඒකත් අරගෙන යන්න ගියා. මට මේ ගෑනි ගැන ලොකු සැකයක් ඇති වුණා. දුම්මලසූරිය පොලිසියේ ලොකු මහත්තයාට මේ ගැන මම පැමිණිලි කළා. 


තවදුරටත් අප සමග තොරතුරු හෙළි කරමින් ඔහු මෙසේ ද කීය. 


වැඩට  යනවා කියා ගිය ගෑනි ගෙදර ආවේ නැහැ. නාඳුනන පුද්ගලයෝ දෙතුන් දෙනෙක් මෝටර් බයිසිකල් වලින් අපේ ගේ ළඟ කැරකෙන්න පටන් ගත්තා. මේ ගැනත් මා පොලිසියට පැමිණිලි කළා. පුතාට නිතරම කතා කර එයත් එක්ක යන්න එන්න කියන්න පටන් ගත්තා. පුතාටත් සැකයක් ඇති වෙලා ගෑනිව මඟ හරින්න පටන් ගත්තා. පුතා ගෑනිගෙන් එන කෝල්වලට කතා කළෙත් නැහැ. පුතාගේ මාර්ගයෙන් පොලිසිය ගෑනිට කතා කරලා වතුවත්ත ප්‍රදේශයේ තැනකට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත්තා. දුම්මලසූරිය පොලිසියේ ලොකු මහත්තයා ජයවීර මහත්තයා මෙයා කොටු කර ගන්න ලොකු මහන්සියක් ගත්තා. ඒ මහත්තයා ඇතුළු සියලුම නිලධාරින්ට ඒ ගැන ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඉක්මණින් අත්අඩංගුවට නොගන්න ඔය ගෑනි මගේ පුතාගේ ජීවිතයට අනතුරක් කරන්නත් ඉඩ තිබුණා. 


විශේෂඥ වෛද්‍යවරියක යැයි කියමින් කාන්තාවක් සමග විවාහ වීමට ගිය තරුණයා එක් දරු පියෙකි. බිරිඳ මිය ගොස් තිබෙන්නේ ඔහුත් එක්ක විදේශයක රැකියාවක් කරමින් සිටි අතරවාරයේය. 


ඉන් පසු ඔහු පුංචි පුතාත් එක්ක සදහටම මෙලොව තනි වී සිටියේය. ආයෙත් විවාහයක් නොකර ගන්නා බවට සිතා සිටි ඔහු නැවත විවාහයක් කර ගැනීමට පෙළඹුණේ ඇය විශේෂඥ වෛද්‍යවරියක වන නිසාය.  


ඇය ඒ ටික කාලයකට ඔහුගේ පුංචි පුතා සමග ද බෙහෙවින් ලෙංගතු වූවාය. 


මට කතා කරලා කිව්වාම තමා එයා මාව එක්කරගෙන යන්න හිතාගෙන වතුවත්තට ආවේ. ඒ වෙලාවේ පොලිසියෙන් අල්ලා ගත්තාම ගෑනි “අනේ මගේ සුදෝ. ඔයා මට මේ මොකද කළේ? ඇයි මාව පොලිසියට අල්ලා දුන්නේ ? කියා හඬා වැළපෙන්න පටන් ගත්තා. 
දවසක් අසනීපයි බෙහෙත් ගන්න යමු කියා මාවත් එක්ක කුලියාපිටිය ඉස්පිරිතාලයට ගියා. තමා කොළඹ ඉස්පිරිතාලේ විශේෂඥ වෛද්‍යවරියක කිව්වාම එතැන හිටිය සේරම අය නැගිට්ටා. සමහර දවස්වලට ගෙදරින් යන්නේ අද එන්න ලැබෙන්නේ නැහැ ඔපරේෂන් එකක් කරන නිසා කියා. තවත් සමහර දවස්වලට අද හදිසි ඔපරේෂන් එකක් කරන්න තියන නිසා ගෙදර එන්න ලැබෙන්නේ නැහැ කියාත් එම දුරකථයෙන් කතා කරලා කියනවා. මුල් කාලෙ නම් මට සැකයක් ඇති වුණේ නැහැ. පස්සේ නම් ඇති වුණා. 


ඒ විශේෂඥ වෙද්‍යවරියක් බව කියාගත් කාන්තාවක් විවාහ කර ගැනීමට ගිය තරුණයාගේ හඬයි. 


ෆේස් බුක් නිසා තමා මට මේ වගේ කරදරයක් වුණේ. ෆේස් බුක් යන කොයිකාගෙනුත් මම ඉල්ලන්නේ පරිස්සමින් කටයුතු කරන්න කියලයි. ඔහු පැවසීය. 


අත්අඩංගුවට ගත සැකකාර කාන්තාව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයට පත් කරණු ලැබූවාය.


කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එල්.එච්. ග්‍රෙගරි කුරේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ටී. ශිරෝමි ප්‍රියදර්ශන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.


(සාම විනිසුරු ප්‍රසන්න මදුරාවල මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුද කරමු.)

සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප මාදම්පේ එස්. හේරත්.



අදහස් (0)

මුහුණු පොතෙන් හඳුනා ගත් තරුණයාගේ අත ගන්න ගිය විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site