ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මගපෙන්වීමක් අවැසිය.
මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

අම්බලන්තොට එස්​. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි  

ඕදිරිස්ට දිවි අහිමි කිරීමට මග සැලසූ කරෝලිස්ට ද එම ඉරණමම අත්විය 


ඕදිරිස් හා කරෝලිස් එකම පවුලේ සහෝදරයන්ය. පවුලේ වැඩිමලා කරෝලිස් වූ අතර ඔවුන්ට තවත් සහෝදරියන් දෙදෙනෙකු සිටියේය. සහෝදරියෝ ඈත පළාත්වලට දීග ගොස් පදිංචි වූහ. කරෝලිස් හා ඕදිරිස් මව්පියන්ගෙන් උරුම වූ ඉඩමේ නිවාස තනා ගත්හ. මොන වාසනාවකට හෝ ඕදිරිස්ට වඩා කරෝලිස් ආර්ථික අතින් සවිමත් විය. ඒ නිසා කරෝලිස්​ගේ නිවස මෙරට උළු වහලක් වූ අතර කටුමැටි බිත්ති වැලි ගා තිබුණි. ඕදිරිස් වත්ත පහළින් අටවා ගත් නිවස පොල් අතු වහල හා කටුමැටි බිත්ති සහිත විය. ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. රබර් කිරි කැපීම ප්‍රධාන රැකියාවයි. වැසි දිනවල හා රබර් ගස්වල කොළ හැලෙන කාලයට වෙනත් කුලී වැඩකට යයි. ඔහුගේ බිරිඳ කරුණාවන්ත පියකරු කතක් වූ අතර තේ දලු නෙළීමෙන් සැමියාට ආර්ථික ශක්තියක් ලබාදුන්නාය.  


කරෝලිස් තුළ වූ ගතිගුණ මේ දෙදෙනාට වඩා වෙනස්ය. සට කපට අයෙකු වූ හෙතෙම නිතරම තම වාසිය දෙස පමණක් බැලූවෙකි. දරුවන් නොමැති ඔහු අකාලයේ බිරිද මිය ගිය වැන්දඹු පුරුෂයෙකි. ඕදිරිස්ගේ බිරිඳට බැල්ම හෙළා එය ව්‍යර්ථ වූ කල එම පවුල කෙරෙහි වෛරී සිතකින් පසුවිය. වෛරය පිරිමසා ගැනීමට ලද හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත්තේය. ඉන් ප්‍රබල වූයේ ඕදිරිස්ලා පදිංචිව සිටින ඉඩම් කෑල්ලට අයිතිවාසිකම් කීමය. පරම්පරාවෙන් පරම්පරාවට අයිතිය හිමි වූවා මිස නිත්‍යනුකූලව බෙද‌ා වෙන් කිරීමක් එහි නොවීය. එහෙත් අක්කර බාගයකටත් අඩු එම ඉඩමෙන් වැඩි ප්‍රමාණයක් කරෝලිස් අත්පත් කරගෙන සිටියේය. ඕදිරිස්ලා ඉඩමෙන් පැන්නීමට විවිධ උපක්‍රම යෙදීය. ඔවුන්ට යාමට ඇති පාර අවහිර කර වැටක් ඉදිකළේය. ඕදිරිස් එය ගලවා විසි කළ විට දෙදෙනා අතර බහින්බස්වීම් සිදුවිය. මිදුල අතු ගා කුණු ඕදිරිස්ලාගේ වත්තට දමන්නේය. ඕදිරිස් මෙවැනි කුරිරුකම්වලින් නොසැලී කරෝලිස්ගේ දුෂ්ට ක්‍රියාවන්ට මෛත්‍රියෙන් ප්‍රතිචාර දැක්වීය. එය ඕදිරිස්ගේ නිවටකමක් ලෙස සැලකූ කරෝලිස්, ඕදිරිස්ගේ හාම්පුතාට ගතු කේලාම් කියා රබර් කිරි කැපීමේ රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. එහෙත් ඕදිරිස්ට වෙනත් රබර් ඉඩමක රැකියාව සපයා ගැනීම අපහසු නොවීය.  


ඉන්පසු කරෝලිස් වෙනත් හතුරුකමක් සඳහා පිඹුරුපත් සැකසීය. පිටපළාත්වලට දීග ගොස් සිටින සහෝදරියන් දෙදෙනාට ව්‍යාජ ළෙන්ගතුකමක් පෙන්වා. මුසාබස් කියා පියා සතු ඉඩමේ ඔවුන්ට අයත් කොටස් තමා වෙත පවරන බවට ලිඛිත කැමැත්ත ලබා ගත්තේය. ඊට අනුව ඕදිරිස්ලා වතුරගන්නා ළිඳ, භාවිත කරන වැසිකිළිය ආදිය ඇති ඉඩම් කොටසද කරෝලිස්ට හිමිවිය. ලිඛිත කැමැත්තේ බලයෙන් තවත් සවිමත් වූ කරෝලිස් ළිඳ හා වැසිකිළිය භාවිතයට ද තහංචි දැමීය. එහෙත් ඕදිරිස් ඉන් මෙල්ල නොවීය. ඊට ප්‍රතිචාර වශයෙන් කරෝලිස් ඊළඟ තුරුම්පුව ඇද්දේය. නීතිඥයකු මාර්ගයෙන් උසාවියේ බෙදුම් නඩුවක් පැවරීය.  


වසර ගණනක් නඩුව ඇදි ඇදී ගියේය. කරෝලිස් පමණක් නොව, ඕදිරිස්ද නැතිභංගස්ථානවීමට මග පෑදුණි. කුලියක් කර උපයන මුදල නීතිඥයින්ට පුදනවා හැර, සිදු වූ සෙතක් නැත. එය කොටි වල්ගය අල්ලාගත්තා මෙනැයි කරෝලිස්ටද සිතුණු වාර අනන්තය. කෙසේ හෝ වසර ගණනාවකට පසු නඩුවේ තීන්දුව ලැබුණි. ඒ යටතේ ඉඩමෙන් වැඩි කොටස් කරෝලිස්ට හිමි වූ අතර ඕදිරිස්ට නිවස පිහිටි බිම පමණක් අයත් විය. ඉන් හිත් වේදනාවට පත්ව දස අතේ කල්පනා කරමින් නොකා නොබී සිටි ඕදිරිස්ගේ සිත් තැවුල දැඩි වූයේ පොලිසිය සමග පැමිණි කරෝලිස් මිනින්දෝරුවකු ලවා ඉඩම මැන කම්බි වැට ඉදිකළ දිනයේ ය. ඒ මිනුමට අනුව ඕදිරිස්ට ළිඳ අහිමිය. වැසිකිළිය අහිමිය. බිත්තියටම කම්බි වැට ගෑවිලාය. මහපාරට යාමට කලින් භාවිත කළ අඩි පාර අහිමි ය.  


ඕදිරිස්ගේ සිත අන්තිමටම කලකිරුණේය. සිත් වේදනාව බලවත්ව නැගී සිටියේය. මෙබදු සහෝදරයන් පෙර වෛරක්කාරයන් බව සිතුවේය. ඔවුන්ගේ දසුන පවා පිළිකුල්ය. එවැනි අයගෙන් නිදහස්වීම එකම ගැලවීම බවද, ලජ්ජාවෙන් මිදීමට අන් මගක් නොමැති බවද කල්පනා කරමින් කුසගින්දරෙන්ම නින්දට වැටුණි.  


පසුදා උදෑසන බිරිඳ තේ කෝප්පය රැගෙන ඕදිරිස් නිද‌ා සිටි අැඳ වෙත පැමිණියාය. එහෙත් ඔහු එහි නොසිටියේය. අප්පච්චි කොහි ගියේදැයි බලන්නැයි ළමයින්ට කීවාය. ලොකු පුතා දුන් ආරංචියෙන් ඇය විස්මයටත් කලබලයටත් පත්වූවාය. වහා දුව ගිය ඇය දුටු දර්ශනයෙන් සිහි විසඥ වී බිමට වැටීමට ගියද ​ලොකු පුතා ඊට ඉඩ නොදුන්නේය. අහිමි වූ ඉඩමේ තිබූ දෙල් ගසේ අත්තක ඕදිරිස්ගේ සිරුර එල්ලා වැටෙමින් තිබුණි.  


තමා ජයගත්තා යැයි හැඟීමක් කරෝලිස් තුළ වුවද, මෙතරම් විනාශයක් අපේක්ෂා නොකළේය. එහෙත් ඕදිරිස්ගේ ජීවිතයට ඍජුව හානියක් කරෝලිස් නොකළද ඔහු ඊට මග සැලසුවේය. ඕදිරිස්ගේ බිරිඳ දරුවන් කරෝලිස් තැබූ ගින්නෙන් පිලිස්සී ගියේය. එම ගින්න දෛවය විසින් කරෝලිස් වෙත ද මුද‌ාහරින ලද්දේය.  


සතියකට වඩා ගත නොවිණි. එදින ඕදිරිස් මියගොස් සත් වැනි දින ධර්මදේශනය පැවැත්වෙන අවස්ථාවයි. වැස්සක් වැටී පායා තිබුණි. අමාවක් දිනක් බැවින් අඳුර ද දැඩි ය. කරෝලිස් කඩමණ්ඩියේ සිට නිවසට එමින් සිටියේය. කුරුඳු ඉඩමේ කන්ද නැග පල්ලම් බහිමින් සිටියේය. ඔහු අත රැඳි කෑලි 3 විදුලි පන්දමේ දුබල එළිය මග නිසි ලෙස නොපෙන්වයි. ඔහුගේ පයට ලිස්සන සුලු දණ්ඩක් වැනි යමක් පෑගුණි. එකවර මහා වේදනාවක් නැගී ආවේය. එය ඉවසිය නොහැකිය. විලාප තැබුවේය. බණ ගෙදර සිටි තරුණ ළමයි කීප දෙනෙක් දුව ගියහ. කරෝලිස් කකුල බද‌ාගෙන විලාප තබයි. කකුලේ එක් තැනකින් ලේ වහනය වෙයි. තරුණයෝ කාරණය වටහා ගත්හ. විෂඝෝර සර්පයෙකු කරෝලිස්ගේ පාදයට දෂ්ට කර ඇත   


ඕදිරිස් මෙන් එකවර කරෝලිස් මියගියේ නොවේ. ක්ෂණයකින් සිහි විසඥ වූ ඔහු රෝහල් ගත කර දිනකට පමණ පසු පියවි සිහිය ලද්දේය. එවිට පාදයේ වේදනාව දැනෙන්නට විය. තමා කළ නොපනත්කම් ද සිහියට එන්නට ඇත. එසේ බොහෝ චිත්ත හා කායික වේදනා විඳිමින් සිට සිව්වැනි දිනයේ දී ආණ්ඩුවේ රෝහලේ ඇඳක් මත ඕදිරිස් ගිය මග ගියේ තණ්හාවෙන් වංචාවෙන් උපයාගත් සියල්ල මෙලොව ඉතිරි කර තබාය. එබැවින් කෙනෙකුගේ දිවි තොර කිරීමට පාර කැපීමත්, ඍජුව එය සිදු කළා මෙන් වූ පාපයකි. එය මෙලොවදීම පල දෙන්නකි.  

 



බෙලිගල, මැටියගනේ, කපුහේන්කන්ද මනහර මහින්ද වෑකඩ මහතා ලියා එවූ කතාවකි  

භික්ෂූන් වහන්සේට පරිභව කළ වින්සන්ට් වහලෙන් වැටී මියයයි  


වින්සන්ට් නූගත් පුද්ගලයෙකි. වැස්සකටවත් පාසලකට ගොඩවී නැති වින්සන්ට රැකියාවක් සොගැනීමට අපහසු විය. දෑතේ රැකියාවක් ලෙස ඔහු කළේ වඩුවැඩ ය. ඉන් ලැබෙන වැටුපෙන් ජීවිතය සරිකර ගත්තේය.  


මිනිසුන් විවිධාකාරය. සමහරු ආගමට ගරු කරති සමහරු නිගරු කරති. වින්සන්ට් එවැනි පුද්ගලයෙකි. විවිධ පුද්ගලයන් රැස්කරගෙන කඩමණ්ඩියට එක්වෙන ඔහු අාගමට දහමට නිගරු කරයි. සංඝයා වහන්සේට නිගරු කරයි. ‘‘ශ්‍රමණයා’’ ‘‘ගණයා’’ වැනි වචන ප්‍රකාශ කරමින් පරිභව කරයි. ද‌ාන මාන පිංකම්වල මුල්තැන්ගෙන කටයුතු කරයි. නමුත් දුර්ගුණය ජීවිතයෙන් ඉවත් කරගෙන නැත. නමුත් සංඝයා වහන්සේට පරිභව කිරීම නැවැත්තුවේ නැත.  


ගමේ පන්සලේ සංඝාවාසයේ ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. සංඝාවාසයේ වහලය ගැසීමේ කටයුත්ත කිරීමට බාරවී තිබුණේ වින්සන්ටය. දිනය උදාවිය. වහලයට නැඟ එහි කටයුතුවල යෙදෙමින් සිටින අතරතුර වින්සන්ට්ගේ පය ලිස්සා ගොස් වහලයෙන් පහළට වැටුණේය. ඔහු රෝහල්ගත කළේය. ඔහුගේ හිසට සහ ශරීරයට දැඩි ලෙස හානිවී තිබිණ. දින කිහිපයක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වින්සන්ට් අවසන් හුස්ම හෙළුවේය. ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේ සංඝයා වහන්සේට කළ පරිභව නිසා වින්සන්ට්ට මෙවැනි ඉරණමකට ලක්වීමට සිදුවූ බවය.  

 



බෙලිඅත්ත, දම්මුල්ල ජේ.කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවකි  

මාවතේ පණ ගිය වතුපාළුවා  


රෝහණ පුරවරයේ සුන්දර ගම්මානයක උපන් ගුණපාල අසුන්දර මිනිසෙක් ම විය. සැමට අයහපත ම කරන මොහුගේ දසුන ද බස්සකු මෙනි. ඉදිවන නවීන නිවෙස් වෙත රත්න වර්ණ ගොබලු ගෙඩිවන් දෙනෙත් යොමා හෙළන සුසුම්වලින් නිවැසි හදවත් කීරි ගැසෙයි. පලින් බර පොල්, අඹ වැනි රුප්පාවන්ට සුසුම්ලෑම් ලෑම නිසා වතුපාළුවා යන නම ද පටබැඳුණි. කරලින් බර ලියදි පුරා දෙපා සලමින් කරල් අතගෑම නිසා වතුපාලුවාට නිතර නිතර ගුටිකෑමට ද සිදුවිය. ඇස්වහ කටවහකාරයෙකු සේ ප්‍රචලිතවීම නිසා පිපාසයට දියබිඳක්වත් දීමට ගමේ කිසිවකු නොමැති විය.  


අවට ගම්වල ගොඩමඩ මුඩු ඉඩම් වගාකර ගොවි රජකු සේ විදහාපෑමට ව්‍යාජ රංගනයක නිරතවීමෙන් ලද අස්වැන්න ණයබර පමණි. සී සෑමට ට්‍රැක්ටර් ලබාගෙන පොලු තැබීම මොහුගේ සිරිතය. දැඩි තෘෂ්ණාවෙන් ලබාගත් ඉඩම්වල භෝග වපුරන විට වැසිද අවසානය මූකලානවල් සුද්දවෙන විට ඉඩම් හිමියන් සතුටු වුවද ගුණපාලට උරුම වූයේ කඳුළ පමණි. අනුකම්පා කිරීමට කිසිවකුත් ගමෙත් නැති අතර. වතුපාලුවා ගමට පිළිලයක්ම විය. වියපත් අසරණයකු රවටා ලියවා ගත් පර්චස් දෙකක හිමිකම අධිකරණයෙන් තීන්දු වුවද ගුණමකු බව ගමට හෙළි විය. අක්කරයක වටිනාකම නඩුවට වැය වූ බව නොවැටහීමෙන් අමනයා උද්දාමයට පත්විය.  


කුසට අහරක්, නෙතට නින්දක්, හිමිහිට ගමනක් නැති වතුපාළුවාට ගේ දොරද අමතක විය. රෑ බෝවනතුරු ගම්නියම්ගම් සැරිසැරීමෙන් මානසික රෝගියෙකු වූයේ නිරායාසයෙනි. ඉඩම් නඩු දිනවල උසාවියේ කාලය ගෙවමින් රඟපාන්නේ නීති විශාරදයෙකු ලෙසය. උපාසක අප්පුලා වෙස්ගත් අධාර්මින අඳගොවියන්ටද මොහුගේ උපදෙස් මිහිරි විය. ඒ අනුව ප්‍රවේණිය නොදී අසාධාරණ ලාභ පතා යාමෙන් අඳගොවිකම ද අහිමිවූවෝ වූහ. ගොවීන් පාවාදී නීතිඥයින්ගෙන් කොමිස් ගැනීමෙන් වතුපාළුවාගේ සාක්කුව පල දැරීය.  
පිස්සන්ට විඩාබර නොදැනේ. එය සනාථ කරමින් සැතපුම් විස්සක දුර ගෙවා ගුණපාල මාතර උසාවි ගියේද නිරුවත් දෙපාවල දිය බිබිලිද විඳදරාගෙනය. තට්ට ගල්පරයකින් ගිනි පිටවන්නාසේ මොහුගෙන් සමාජගත වූයේද උට්ටලං ගිනි ගෙඩි පමණි.  


ඥ‌ාති ඉඩකඩම්වලට ද හොර ඔප්පු සාදමින් දිවා රෑ නොනිද‌ා සිහින මාලිගා හදන අතුරතුර අඹුදරුවන්ද මොහු හැර ගොසිනි. ඒ කුසගිනි දරාගත නොහැකි වූ බැවිනි. හොර පොල් කඩා පාන් කෑල්ලකින් කුසගිනි නිවන විට ලෙඩ රෝගවලට ද ගොදුරු විය. නෑම, රෙදි සේදීම නොකළ බැවින් උරුලෑ ගඳ ද දුරට විහිදුණි. සිතාසි ආදී ලේඛන අත දරා උසාවි යන්නේ නිවාඩු බවවත් නොදැන ය. ඔල්මාද ගතිය පිස්සුව දක්වා වර්ධනය වූයේ මොහු නොදැනමය. මුලදී විටින් විට ගෙදර ආ මොහුට පසුකාලීනව ගේ දොරද අමතක විය. කෙස් රැවුල් වැවී මාතර පාලම උඩ හිඟාකන විට ගම්මුන්ටවත් හඳුනාගත නොහැකි විය. පාලම මතින් පැදයන වාහනවලට දෙස් දෙවොල් තබමින්ද, පොඩි සල්ලි දෙන්නන්ට ශාප කිරීම නිසාද හිඟමන් අහිමි විය. වසර ගණනාවකට පසුව අව්වැසි මැදින් දැවි දැවී නිවි නිවී බල්ලකු මෙන් මියගියේ පාලම් පදිකය මතය. රජයේ වියදමින් භූමද‌ාන වූයේ පාංශුකූලයක්වත් නොලබා ය.  


අතපය වෙහෙසා බුද්ධිය කැපකර ධනවත්වීමට මොහු නොසිතුවේය. මිනිසුන් රවටා සදහට ම දිවි සරුකර ගැනීමට මොහු සිතුවේය. ජීවත්වීමට ගේ දොර තිබුණ ද කටුක මාවතකින් දිවි මග නිමාකර ගත්තේ මතු පරපුරට ආදර්ශයක් ද ඉතිරි කරමිනි.  

 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.  
‘‘මේ ජීවිතයේදීම කළකම් පළදෙන හැටි’’  
ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලය,  නො. 8  
හුණුපිටිය හරස්පාර - කොළඹ 02.

 

 

සකස් කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්