ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  

කළුතර ඩී.එන්.එම්. හෙට්ටිගේ මහතා ලියා ඒවූ කතාවක් මෙසේය.  


ජොහානිස් යන නමින් ඔහු අමතමු. දැඩි ඊර්ෂ්‍යා සහගත පුද්ගලයකු වූ ඔහු දියුණු වන සියලු දෙනාට අනවින, කොඩිවින කරන මිටි, ඉදිරියට බඩ නෙරූ බඳින ජටාව විටෙක ඉණෙහි බැඳගන්නා කෙළතොල්ලෙකි. දරුවෝ ද ඔහු මෙන් වෙති.  


අසල්වැසි ඥාතිවරයාගේ දියුණුව දුටු ඔහු ඔවුන්ගේ පරම්පරාව නැතිවන ලෙස සැකසූ හූනියමක්, ඥාතිවරයා විසින් තනන්ට යන නව නිවෙසේ ගෙබිමට යට කරන ලදී. එසේ කරවන ලද්දේ මේසන් බාස් ලවාය.  


 ඉඩම් විකුණුවත් ගෙය තැනිය නොහැකි විය. පිරිමි දරුවෝ දබර වී ගෙදරින් පිටවී ගියහ. පියා බේබද්දෙක් විය. එක ගැහැනු දරුවකු බොහෝ පින් කිරීමටත් දෙවියන්ට තම දුක්් කීමටත් පෙළඹිණි. අනෙක් දරුවා විවාහක සහෝදරියක් ළඟ නැවතීමට ගියාය. දක්ෂ ළමයකු වූ ඇය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ගෙදර නතර වූ දැරිය මේ නපුරින් ගැලවීමට මාපියන් හා එක්ව කටයුතු කළාය. කපු මහතකුගේ සහාය ලබාගති. ජොහානිස්ගේ පවුලේ පරිහානිය පටන් ගති. ජොහානිස් පිස්සෙකි. බිරිඳ දරුණු පිළිකා රෝගයකින් පෙළුණාය. බෑනා දියවැඩියාව නිසා මරු සොයා යෑම සිදුවිය. එම දියණිය ද උගුරේ ඇති පිළිකාවක් නිසා අප්‍රමාණ දුක් විඳ මිය ගියාය. වැඩිමල් දියණියගේ පවුල් අවුල් වී පිළිකා රෝගය වැළඳී දුක් වන සැමියා වස බී දිවි නසා ගත්තේය. පුතාගේ බිරිඳ හා පුතකු මරණයට පත් කළහ. ඒ හූනියමකිනි. එහෙත් ඒ මරණයෙන් මාස තුනක් යන්නට ප්‍රථම ඔවුන් කළ හූනියම් කැපීමෙන් පසු බියට පත්ව​ ජොහානිස්ගේ පවුලේ අය දෙවියන් සොයා වාහනයකින් යන අතර එක පවුලේ පස් දෙනකුට දිවි අහිමි කළේ රිය අනතුරකිනි. ඔවුන් සියලු දෙනාම වැළලුනේ එක වළේය.  

 


උඩවෙල, ඕපනායක   එච්.ඒ. ජයසේන මහතා ලියා එවූ කතාවකි.  

බල්ලන් නිසා බලු විසෙන් මියගිය විමලදාස  


දැනට වසර 60කට පමණ පෙර සබරගමුවේ එක්තරා ගමක විසු විමලදාස පවුලේ එකම උරුමක්කාරයා විය. පියා හිටපු ගම්මුලාදෑනියකු වූ බැවින් කොල්ලකාගත් ඉඩකඩම්වලින් ලද ආදායම් නිසා අඩුපාඩුවකින් තොරව ජීවත් වීමේ හැකියාව ඔවුනට තිබිණ. විමලදාස ආදායම් ලෙස කළේ වතුකරයේ එළුවන් රැගෙනවිත් මස්කර නගරයේ අවන්හල්වලට විකිණීමය. සතියකට එළුවකු බැගින් මැරූ අතර එයින් හොඳ ලාභයක් ලබා ගත්තේය.  


මේ අතර දිනක් මහමඟ ගමන් කරමින් සිටි විමලදාස දුටුවේ රිය අනතුරකට භාජනය වී මරණයට පත්වූ බල්ලකුගේ මළසිරුරයි. අනතුර නිසා හම ගැලවී මස් එළියට පැන තිබෙනු දුටු විමලදාසට අපූරු සිතුවිල්ලක් පහළ විය. ඔහු බලුකුණ රැගෙන ගොස් හම ගලවා එළු පැටවකුගේ මස් බව හඟවා අවන්හලකට විකිණීය. එළු මස් රැගෙන පුරුදු අවන්හල් හිමියා කිසිදු සැකයකින් තොරව බලු මස් මිලට ගත්තේය. මෙය හොඳ ආදායම් මාර්ගයක් ලෙස පෙනී ගියෙන් විමලදාස සතියකට වරක් එළුවකු සමඟ බල්ලකු ද මරා මස්කර අලෙවි කිරීමට කටයුතු කළේය. ගමේ බල්ලන් හිඟ වෙද්දී අවට ගම්වල බල්ලන් ද ​ෙමාහුගේ ගොදුරු බවට පත්විය. අතමිට සරු නිසාත් කල වයස හරි නිසාත් විමලදාසට විවාහයක් කරදීමට කතිකා කරගත් මව්පියෝ මඟුල් කපුවකු ගෙන්වා එම කටයුත්ත පැවැරීය. අසල්වැසි තරුණියක පිළිබඳ දැන්වූ මඟුල් කපුවා දෙපාර්ශ්වය මුණ ගස්වා මඟුල තීන්දු කරගත් අතර කලකින් විවාහය සිදුවිය. මධුසමය නිවසේ විමලදාස උන් කාමරයේම ගතකිරීමට කටයුතු කළේ එවකට මෙකල මෙන් ලැඟුම්හල් නොතිබූ බැවිනි. සියලු කටයුතුවලින් පසු මනාල යුවළ කාමරයට වැදී දොර අගුල්ලා ගත් පසු නිවැසියන් වෙනත් කටයුතුවල යෙදිණ. පැය කීපයකට පසුව කාමරය දෙසින් මරළතෝනි හඬක් ඇසුණු අතර එය මානාලියගේ බැව් වටහාගත් නිවැසියන් ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ වැඩිකර එය පිටතට ඇසීම වළකා ගත්තේ වෙනත් අරමුණක සිටිමිනි.  


නිවෙස අස්පස් කිරීමෙන් නින්දට වැටුණ නිවැසියන් අවදි වූයේ විමලදාසගේ කාමරය දෙසින් අැසුණ අසාමාන්‍ය ගෙරවිලි හඬකිනි.  


දොර අසලට ගිය පියා දොරට ගසා කතා කළ ද ගෙරවිලි හඬ විනා හඬක් නොවූයෙන් යකඩ ඉන්නකින් ගසා දොර කඩා බැලූ ඔවුන් දුටු දෙයින් ඔවුන්ට විලාප තැබිණ. ඇඳ මත ලේ විලක් මැද මස් ගොඩකි. විමලදාස මේසයක් යටට රිංගා බල්ලකු මෙන් ගොරවයි. හනික විමලදාසව කුදලා වෛද්‍යවරයකු වෙත ගෙනගිය අතර සිදුවීම පොලිසියට දැන්වීය. විමලදාස පරීක්ෂා කළ වෛද්‍යවරයා පැවැසූයේ විමලදාසට ජලභීතිකා රෝගය උත්සන්න වී ඇති අතර තව පැය කීපයකට වඩා ඔහු ජීවත් නොවන බවයි. එසේම පැය කීපයකින් විමලදාස මියගිය අතර පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වූයේ බල්ලන් ඇල්ලීමේ යෙදී සිටි විමලදාසව බල්ලකු සපා කා ඇති අතර ඔහුට ප්‍රතිකාර කළ වෙදැදුරා කිසිම දිනක විමලදාසට ඌරු මස් ආහාරයට නොගත යුතු බවට උපදෙස් දී තිබූ බවත්, එය නොදත් මනාලියගේ නිවැසියන් දිවා ආහාර සඳහා පිළියෙළ කර තිබූ ඌරු මස් විමලදාස ආහාරයට ගෙන තිබූ අතර රාත්‍රියේ ඔහුට ජලභීතිකා රෝගය වැළඳී ඇති බවය.  


මනාලියගේ කෑගැසීම ඇසී වැඩිහිටියන් සොයා බැලුවේ නම් සමහරවිට ඇයට මෙවන් රුදුරු ඉරණමක් අත්​ නොවීමට ඉඩ තිබිණ. කෙසේ නමුත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය ලෙස බල්ලන් මරා ජීවත් වූ විමලදාස බලු විසෙන්ම මොලොවින් සමුගත්තේය. එම නිවෙස මෑත කාලයක් වන තුරු ඇමැතුවේ බලු ගෙදර යන නමිනි.  

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.  

පන්සලේ හිටියත් පව් කාරයෝ නොහැදෙත් 

 
තිලෝගුරු බුදුරජාණන් වහන්සේත්, සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා ඇතුළු මහරහතන් වහන්සේලා ඇසුරෙහි සිටියදී දෙව්දත් තෙරුන් හට අපා දුක් විඳින්නට සිදු වූ බව පොත පතේ සඳහන්ය. කොතරම් සත්පුරුෂයන් ආශ්‍රය කළ ද පව් කරන්නාට ඉන් ප්‍රයෝජනයක් නැත. ඔහු සුපුරුදු පරිදි පව්කම්වල යෙදී අපායගාමී වන බවට කොතෙකුත් කතා බණ පොත්වලින් අපට හමුවෙයි. ඒ ඈත කාලයේ සිදු වූ ඒවාය. මේ මෑත කාලයේ එනම් හැත්තෑව දශකය ආරම්භයේ සිදු වූ සිදුවීමකි. පව් කරන්නා පන්සෙල් සිටියත් පව් කිරීමට බාධාවක් නැත. ඔහුට ධර්මය නොඇසේ. නොවැටහේ. අවසානයේ අපා දුක් විඳීමට මඟ පාදා ගනියි.  


මේ එවන් කතාවකි. ඔහු සනී යනුවෙන් හඳුන්වන්නේ නියම නම ලිවිය නොහැකි බැවිනි. සනී අනුරාධපුරයට නුදුරු ගමක සිටි පහළොස් හැවිරිදි පමණ වයසේ කොලු ගැටයෙකි. ගෙදරින් පළාවිත් කඩයක නැවතී වැඩ කරද්දී හඳුනාගත් ස්වාමීන්වහන්සේ නමක් නිසා පන්සලක ඇබිත්තයකු වීමට මඟ පෑදුණි. ඔහු කාගේ කවුදැයි කිසිවකු නොදත් නමුත් ගමේ ඇසුරු කරන හැම දෙනකුගේම හොඳ හිත දිනා ගත්තෙකි. පන්සලේ සිටි එකම ස්වාමීන්වහන්සේගේ ද හොඳ හිත දිනාගැනීමට ඔහුට හැකි විය. සනී ප්‍රියමනාප කඩිසර මිත්‍රශීලි කොලුවෙක් විය.   


ඒ කාලයේ ද අද මෙන්ම ගෙවල්වලට අනවශ්‍ය බලු පැටවුන් හා බළල් පැටවුන් ගෙනැත් දැම්මේ පන්සලටය. ඒ පන්සලේ කෑම බීම ඇති නිසා එම සතුන් නිරාහාරව මිය නොයනු ඇතැයි යන සිතුවිල්ලෙනි. මෙසේ ගෙනැවිත් දමන බලු පැටවුන් පන්සල් මිදුලේ ද බෝ මළුවේ ද කැත කරන අතර බළල් පැටවුන් ආවාසගෙයි ද බුදු මැඳුරේ ද කැත කරන නිසා සනීට ඒවා පිරිසිදු කිරීමට නිතර සිදුවිය. බල්ලන් බළලුන් සනීගෙන් පහර කා කෑ ගසන විට හාමුදුරුවෝ පැවැසුවේ උන් ලොකු වූ විට එම පුරුදු අත් හරින හෙයින් උන්ට හිරිහැර ​නොකර සිටීමටයි. එහෙත් වැඩ අධික වන සනී ඉවසාගෙන කටයුතු කළ ද අවසානයේ හොඳ උපායක් යෙදීය. පන්සල පිටුපස විශාල ගල් වළක් තිබුණි. කුමක් උදෙසා ඇති වූවක් දැයි නොදනිතත් ගල් පඩි හා කැටයම් ගල් තලාවක් නිසා එය ඉපැරණි පොකුණක් විය හැකියයි ​ෙබහෝ දෙනා සිතූහ. පන්සලට ගෙනැවිත් දමන බලු පැටවුන් හා බලල් පැටවුන් පරණ ගෝනියක දමා කට බැඳ ගෝනියට ලොකු ගලක් ගැට ගසා ගල් වළ තුළට දැමීම සනීට ඉබේම පුරුදු විය. පන්සල් වත්ත හරහා යන වතුර පාරක් වැළැක්වීමට දායක සභාව වැලිගෝනි දමා තිබුණ නිසා සනීට ගෝනි හිඟයක් නොවීය. හාමුදුරුවෝ මේ කිසිවත් නොදත්හ. පන්සලට ගෙනත් දමන බලු බළල් පැටවුන් දක්නට නොලැබීම නිසා හාමුදුරුවන් වහන්සේ සිතුවේ මිනිසුන් අත මුදල් වැඩිපුර ගැවසෙන නිසා බලු බළල් පැටවුන් ගෙනැත් නොදමන බවකි. ඒ කාලයේ සහල් තහනම නිසා අල බතල වවන්නන්ටත් අත මිට සරු විය. මිරිස් වගාකරුවෝ ​පොහොසත් වූහ. එහෙත් මිනිසුන් කොතෙක් තිබුණ ද අනුකම්පා විරහිතව බලු බළල් පැටවුන් පන්සල්වලට ගෙනැත් දැමීම අද දක්වාම කරගෙන යනු පෙනේ.  
දිනක් හදිසියේම සනී පන්සලෙන් අතුරුදහන් විය.

උදේ හාමුදුරුවන්ට කැඳ කෝප්පයක් ද පිරිනමා ඉදලත් රැගෙන මිදුල ඇමදීමට යන බව කියා සනී මිදුලට බසිනු හාමුදුරුවන්ට ද දැකගත හැකි විය. එහෙත් උදේ හීල් දානය රැගෙන පැමිණි පිරිස් ද සනී අතුරුදහන් වීමෙන් කලබල වූහ. ගමේ තරුණ පිරිස ද වහාම පන්සලට එක්වූහ. සනීගේ රබර් සෙරෙප්පු දෙක ගල් වළේ ජලයේ පාවෙනු කෙනකුට දැකගත හැකිවිය. අධික වැහි කාලයක් වුව ද හිමිදිරි උදයේම තරුණ පිරිස ගල් වළට බැස ලී දෙබල් දමා ජලය කලත්තන්නට විය. ගල් සමඟ ගැට ගසා තිබූ පරණ ගෝනි කිහිපයක් ඔවුන්ට හමුවිය. ගෝනි ලිහා බැලූ විට දක්නට ලැබුණේ බලු පැටවුන්ගේ හා බළල් පැටවුන්ගේ මස් දිරා ඉතිරි වී තිබූ ඇටසැකිලිය. සිදු වී තිබූ දේ කාටත් අවබෝධ විය. තරුණ පිරිසගේ නොපසුබස්නා උත්සාහය නිසා සනීගේ මළසිරුර ද ඒ සමඟම සොයා ගැනීමට හැකි විය. කාලයක් තිස්සේම පන්සලට ගෙනැවිත් දමන බලු පැටවුන් හා බළල් පැටවුන් ගෝනිවල දමා දියේ ගිල්වා මරා දැමූයේ තමාට පැවරෙන පිරිසිදු කිරීමේ කටයුතු අඩු කර ගැනීමට බවත් ඒ මගින් ඔහු කරගත්තේ මහා පාපකර්මයක් බවත් හාමුදුරුවෝ රැස්ව සිටි පිරිසට පැවැසූහ. කාටත් හොරෙන් ඒ පාපකර්මය කළත් නොසිතූ ලෙස ඔහුව ද ගල් වළට වැටී ගල් අතර සිරවී දියේ ගිලී මිය යාමට සිදු විය. ඔහු දියට වැටෙන විට තමා කළ පව් ඵලදෙනවා යයි සිතෙන්නට ඇත. එහෙත් දෙවියන් ඔහුට දුන් දඬුවම එදා ගමේ කාටත් කදිම පාඩමක් විය. පන්සලේ සිටියත් පව්කාරයා පව්කාරයාමය. එය එදාටත් මෙදාටත් වෙනසක් නැත.  

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට ගොනු කරන්න. 

 

 

 

 

 

 

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්