පොසොන් පොහොය වෙනුවෙනි

 

එතෙක් මෙතෙක් කිසිවෙක් දේශනා කොට නොතිබුණු නිවනට මං සලසන ධම්මචක්කප්පවත්තන සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවයි.  


දීපංකර පාද මූලයෙහිදී නියත විවරණ ලබාගත් සුමේධ තාපසයන්ට දීපංකර පාදමූලයෙහිදී ම නිවන් අවබෝධ කරගැනීමට හැකියාව තිබුණේ වී මුත් එසේ කිරීම කුසගින්නේ අති විශාල පිරිසක් බලා සිටිද්දී රසමසවුලෙන් යුත් ආහාරයක් අනුභව කිරීම වැනියයි සිතා සංසාරයට පිවිස සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් පෙරුම්පුරා දාන ශීල නෛෂ්ක්‍රම්‍ය ආදී කොට ඇති සමතිසක් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට වෙසක් පුන් පොහෝ දින ශ්‍රී මහා බෝධි පාදමුලයේදී බුද්ධත්වයට පත්වූ සේක.  


මෙ​සේ සර්වඥතාඥානය ලැබ සත් දිනක් ගතවූ පසු නැවත අජපාල නුගරුක වෙත එළඹ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මෙනෙහිකරමින් මා අවබෝධ කළ ධර්මය ගැඹුරුය. දැකීමට දුෂ්කරය. අවබෝධ කිරීම අපහසුය. ශාන්තය, ප්‍රනීතය, සියුම්ය. පණ්ඩිතයන් විසින්ම දත යුත්තේය. සත්ත්ව ප්‍රජාව කාමයෙන් ඇලීමෙන් බැඳීමෙන් යුක්තය. එහෙයින් මාගේ ධර්මය ඔවුනට දෙසීමෙන් පලක් නොවේයයි සිතා ධර්මය දේශනා කළ යුතුදැයි සිතන්නට වූහ. මෙසේ සිතීමට හේතුවක් ලෙස ඇතැම් අය දක්වන්නේ පෙර සිටි සියලුම බුදුවරයන් වහන්සේලා පුහුණු කරන ලද සිරිතක් වූයේ බ්‍රාහ්මාරාධනාවෙන්ම ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීමයි. එදා සමාජයේ මහබඹු උසස් පුද්ගලයකු ලෙස සලකන ලදී. මහබඹුගේ ඇරයුමින් දහම් දෙසූ විට ඒ ධර්මය කෙරෙහි ජනතාවගේ සැලකිල්ල හා ගෞරවය වැඩිවේ යයි සිතූහ.  


මේ බව දැනගත් සහම්පති බ්‍රහ්මරාජයා ශක්‍ර, සුයිම, සන්තු, සිතාදි දෙවි බඹුන් පිරිවරාගෙන විත් ලෝවැසියන්ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේය. බුදුන් වහන්සේ එම ආරාධනාව පිළිගත් සේක. ධර්ම දේශනාව ප්‍රථමයෙන්ම පැවැත්විය යුත්තේ කාහට දැයි බැලූ විට ආලාරකාලාම සහ උද්දකරාමපුත්ත ගැන සිතුවත් ඒ දෙදෙනාම ඒ වෙන විට මිය පරලොව ගොසින් බව දැනගත්හ.  


තමා දුෂ්කර ක්‍රියාවේ යෙදී සිටි අවදියේ තමාට උපකාරී වූ පස්වග තවුසන්ට ධර්මය දේශනා කළ යුතුයයි සිතා බරණැස් නුවර ඉසිපතනයේ මුවන්ගේ අභය භූමියේදී ඇසළ මස පසළොස්වක පොහෝ දින හිරු අවරට ගොස් චන්ද්‍රයා පායා එන මොහොතේ පස්වග තවුසන් ඉදිරියේ බුදු දහමේ සාරාංශය ලෙස සැලකෙන තමා විසින්ම සොයා ගනු ලැබූ සත්‍යයේ යුක්තියේ විශ්වාධිපත්‍යය පිළිබඳ ධර්ම චක්‍රය මුළු විශ්වය පුරා ප්‍රවර්තන කළහ.  
මහණෙනි, පැවිද්දෙකු විසින් සේවනය නොකළයුතු අන්තයන් දෙකක් ඇත.  


පළමුවැන්න කාමසුකල්ලිකානුයෝගයයි. (වස්තු කාම, ක්ලේශ කාම, සැපයෙහි යෙදීම) එය ලාමකය, අශිෂ්ට වූ ගැමිවූ සාමාන්‍ය නොදියුණු ජනයාට අයත් වූ උතුම් නොවන, අවැඩ පිණිස පවතින දෙයකි.  


දෙවැන්න අත්තකිලමතානු යෝගයයි. (මෝක්ෂය සෙවීමට ශරීරයට දැඩි දුක් දීම)  


එය දුකට හේතු වන්නකි. උතුම් නොවේ. අවැඩ පිණිස පවතින දෙයකි.  


එකී අන්ත දෙකට නොපැමිණ තමා විසින් මජ්ජිමා පටිපදා (මැදුම් පිළිවෙත) අවබෝධ කරගන්නා ලද බව පවසා එහි උදාරත්වය විශේෂණ හයකින් මෙසේ සඳහන් කරන ලදී.  


චක්ඛුකරණි - ප්‍රඥා ඇස දල්වයි  
ඤානකරණී - ප්‍රඥාවබෝධය ලබාදෙයි  
උපසමාය - කෙලෙස් ව්‍යාපසමය හෙවත් දුරු කිරීම සිදු කරයි.  
උභිඤ්ඤාය - චතුරාර්ය සත්‍යය පිළිබඳ වැටහීම ලබාදෙයි.  
සම්බෝධාය - චතුරාර්ය සත්‍යයාවබෝධය ලබාදෙයි.  
නිබ්බානාය - නිර්වානාවබෝධය ලබාදෙයි.  
මධ්‍යම ප්‍රතිපදාව - ආර්යෂ්ටාංගික මාර්ගය  
සම්මා දිට්ඨි - ජීවිතයේ යථා තත්ත්වය පිළිබඳව ඇති කරගත් අවබෝධය ඥානය  
සම්මා සංකප්ප - කාම, ව්‍යාපාද, හිංසා කල්පනා වලින් තොරවූ ජීවිතාබෝධය පිණිස උපකාර වන ආකාරයට කල්පනාව හැසිරවීම  
සම්මා වාචා - බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුෂ වචන, හිස් වචන කීමෙන් වැළකී ජීවිතාවබෝධය පිණිස උපකාරී වන ආකාරයට කතා බස් කිරීම  
සම්මා කම්මන්ත - සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන් වැළකී වැරදි කාම සේවනයෙන් වැළකී අයහපත් කායික ක්‍රියාවලින් වැළකී ජීවිතාවබෝධය පිණිස උපකාරී වන ආකාරයට කායික ක්‍රියා පැවැත්වීම.  
සම්මා ආජීව - මිත්‍යා ආජීවයෙන් වැළකිලා යහපත් ක්‍රමවලින් ආදායම් උපදවමින් ජීවිතාවබෝධය පිණිස උපකාරී වන ආකාරයට යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාම  
සම්මා වායාම - ජීවිතාවබෝධය පිණිස උපකාර වන ආකාරයට අකුසල කර්මයන් බැහැර කරමින් කුසල ධර්මයන් උපදවා ගැනීමට උත්සාහයත් වීරියත් ඇතිකර ගැනීම.  
සම්මා සති - ජීවිතාවබෝධය පිණිස උපකාරී වන ආකාරයට සතර සතිපට්ඨානය කෙරෙහි යොමු කරවන ලද බලවත් සිහියක් පවත්වාගෙන යාම  
සම්මා සමාධි - සිතේ එකඟ බවක් ඇතිකර ගැනීම.  


චතුරාර්ය සත්‍යය  


ආර්ය සත්‍යය - බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කළ බැවින්ද උන්වහන්සේලාගේම සත්‍ය බැවින්ද සත්‍යාවබෝධයෙන් ආර්ය භාවය ලැබෙන බැවින්ද සත්‍යවූ මුසාවක් නොවූ වෙනත් අයුරෙකින් නොවන්නාවූ බැවින්ද කිසි කලෙකත් එහි ස්වභාවය වෙනස් නොවන්නා වූ බැවින්ද ආර්යයන් විසින්ම අවබෝධ කළ යුතු බැවින්ද ආර්ය සත්‍යය නම් වේ.  


දුක්ඛ සත්‍යය දුක යනු කුමක්දැයි බුදුන්වහන්සේ මෙසේ විස්තර කොට තිබේ.  


කතමංව භික්ඛවේ දුක්ඛං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්ජි දුක්ඛං අප්පියේහි සම්​ෙභා්ගෝ දුක්ඛෝ පියේහි විප්පයෝග දුක්ඛෝ, යම්පීවිජංන, හතිතම්පි දුක්ඛං, සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛා.  
ඉපදි, ජරාව, ව්‍යාධිය, මරණය, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, නොකැමති දේ ලැබීම, ශෝක වැලපීම් කායික මානසික දුක් යන මේ සියල්ල දුක බවත් සංක්ෂේපයෙන් පැහැදිලි කරන්නේ නම් පංච උපාදානස්කන්ධයම දුකය.  


ඉපදීම දුකක්  


අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික යන කවර ආකාරයකින් ඉපදුණත් ඒ ඉපදීම දුකක්මය. මේ හැම කෙනෙක් තුළම ඇත්තේ ඇස, කණ නාසය, දිව, කය, මනස යන ආයතන හයත්, රූප, වේදනා, සඤ්ඤා, සංකාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයත් යමෙකු සංසාරේ ඉපදි ඉපිද ඉන්න කැමති වෙනවා යනු නිරයේ තිරිසන් ලෝකවල ප්‍රේත ලෝකවල උපදින්න කැමති බවයි. මිනිස් ආත්මයක් දිව්‍ය ආත්මයක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්ය.  


ජරාවට පත්වීම දුකක්  


බාල වියේ සිටම වයස්ගත වන විට සිරුර අනුක්‍රමයෙන් ජරාවට පත්වේ. ඇස් නොපෙනී කන් නෑසී ඇවිදගත නොහැකි මළමුත්‍රා කරගෙන අනන්ත දුක් විඳින අය කොතෙකුත් සිටිති.  


මරණය දුකක්  


උපන් හැම අයෙකුම මරණයට පත්වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකිය. එම නිසා නොමැරී ඉන්න පර්යේෂණ පවත්වලා සතුටුදායක ප්‍රතිඵල ලබන්න බැහැ. ලෙඩ රෝගවලට හදිසි අනතුරුවලට සහ වෙනත් ව්‍යසනයන්ට ගොදුරු වී මිය යන අය කොපමණද, බුදුරජාණන් වහන්සේ මරණය ඉතා හොඳින් නිර්වචනය කොට තිබේ. මරණය යනු ඒ ඒ සත්ත්ව ලෝකවල ජීවත්වන ඒ ඒ සත්වයන්ගේ ජීවිතවලින් යම් චුත වීමක්ද වේ, චුත වන ස්වභාවයක් වේද, බිඳී යාමක් වේද, අතුරුදහන් වීමක් වේද, මරණයට පත්වීමක් වේද, කළුරිය කිරීමක් වේද, ශරීරය අතහැර දැමීමක් වේද, ජීවිතය යන ඉන්ද්‍රියන්ගේ මිදී යාමක් වේද, මරණය යනු මෙයයි.  


ශෝක වැලපීම් කායික දුක් මානසික දුක්   


දෛනික ජීවිතයේදී මිනිසුන් විවිධාකාර කරදර බාධා ඉදිරියේ මිනිසුන් කායිකව මෙන්ම මානසිකවද අපමණ දුක් විඳිති. ඇතැම් විපත් නිසා හටගන්නා දුක් නිසා හැඬූ කඳුළෙන් දුක් විඳ උම්මත්තකයන් බවට පත්වන අය හා දිවි නසා ගන්නා අයද සිටිති. කායිකව හටගන්නා පීඩාවන් නිසා මිය යන තෙක්ම දුක් විඳින අය ද සිටිති.  


ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක  


ප්‍රියයන්ගෙන් වෙන්වීම දෙව් මිනිස් කාටත් පොදු වූවකි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ප්‍රියයන්ගේ මෙන්ම ප්‍රිය වස්තූන්ගෙන්ද වෙන්වීම දුකක් කියාය. සැමදා ප්‍රිය මනාප දේ ලැබිය නොහැකිය. සියල්ල අනිත්‍ය නිසාවෙනි. එසේම තමන් අප්‍රිය අමනාප අය සමග එක්වීම නිසා අැතැම්හු ජීවිත කාලයපුරාම දුක් විඳිති.  


කැමති දේ නොලැබීමේ දුක  


මිනිස්සු තමන් කැමති දේ නොලැබීම නිසා අනන්තවත් දුක් විඳිති. හිරේ වැටී සිටින අයෙක් ආයෙනම් මට මෙහෙ එන්න සිද්ධ වෙන්න එපා කියා එය සිදු නොවන විට දුක් වෙති. දැන්මම මා වයසට යන්න එපා කියා පැතූ අයකු සිතූ දේ නොවීම නිසා දුක් වෙති. රෝගී පුද්ගලයන් දකින විට මට නම් මෙහෙම රෝග හැදෙන්න එපා කියා පැතුවාට ඔහු ද ඊට ගොදුරු වන විට දුකට පත්වෙයි. මරණය උරුම කරගත් අයෙක් මරණය ඉදිරියේ හඬා වැළපෙයි. ප්‍රියමනාප අයෙක් තව කලක් ජීවත්වන්න කියා පැතුවත් සිදු නොවේ නම් දුකකි.  


පංච උපාදානස්කන්ධය  
රූප උපාදානස්කන්ධය  
වේදනා උපාදානස්කන්ධය  
සඤ්ඤා උපාදානස්කන්ධය  
සංඛාර උපාදානස්කන්ධය  
විඤ්ඤාණ උපාදානස්කන්ධය  


බුදු දහම අනුව පංච උපාදානස්කන්ධය හටගන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආසන තුළයි. මෙම ආයතන හයට දැනෙන රූප ශබ්ද, ගඳ - සුවඳ රසයන්, පහස අරමුණු යන බාහිර ආයතනත් රූප උපාදානස්කන්ධයට අයත් වෙයි.  


ඇස කන ආදී ආයතනත්, රූප ශබ්ද ගන්ධ ආදී බාහිර ආයතනත් විඤ්ඤාණත් එකතු වී විඳීම් ඇතිවේ. ඒ වේදනාස්කන්ධයයි.  


ඉහත සඳහන් ආයතන හය තුළ ඇතිවන ස්පර්ශය නිසා බාහිර අරමුණු හඳුනා ගැනීම සඤ්ඤා උපාදානස්කන්ධය වෙයි.  


ඉහත සඳහන් ආයතන හය තුළ සිදුවන ස්පර්ශය නිසා පහළ වන චේතනා සංකාර උපාදානස්කන්ධය වන්නේය.  


ඉහත සඳහන් ආයතන තුළ ස්පර්ශයක් ඇතිවීමට අායතන දෙක සමග විඤ්ඤාණය වක්විය යුතුවේ. ඒ විඤ්ඤාණ උපදානස්කන්ධයයි.  


දුක්ඛ සමුදය ආරිය සත්‍යය  


බුදුරජාණන් වහන්සේ දුක හටගැනීම තණ්හාව නිසා සිදුවන බව පෙන්වා දී තිබේ. තණ්හාව හටගන්නේ අැස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය තුළත්, ආයතන මුල්වීමෙන්  හටගන්නා පංච උපාදානස්කන්ධය තුළත් බවයි. මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුතු යමක් වෙයිද මිහිරි ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද ඒ තුළ තමයි තණ්හාව හටගන්නවා නම් හටගන්නෙ, පවතිනවා නම් පවතින්නෙ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.  


දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය  


බුදුරජාණන් වහන්සේගේ දේශනා පරිදි සංසාර ගමන සකස් වන්නේ අවිද්‍යාවත්, තණ්හාවත් අතවැල් බැඳ ගැනීමෙනි. යම් තැනෙක අවිද්‍යාව තිබේද එතැන තණ්හාව හට ගනී. යමෙකුට දුක නැති කිරීමට අවශ්‍ය නම් ඔහු විසින් කළයුත්තේ පංච උපාදානස්කන්ධය කෙරෙහි හටගෙන තිබෙන තණ්හාව නැති කිරීමයි. බුදුන් වහන්සේ තවදුරටත් මෙසේ වදාරා ඇත. මේ ලෝකයේ ප්‍රිය ස්වරූපයෙන් යුතු හා මිහිරි ස්වරූපයෙන් යුතු දේ කෙරෙහි හටගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද යන්න ඒ තණ්හාව ඉතිරි නැතිව, නොඇල්මෙන් මුළුමනින්ම නිරුද්ධකර දැමීමක් වේද, අත්හැර දැමීමක් වේද, දුරින්ම දුරු කර දැමීමක් වේද ඒ තණ්හාවෙන් නිදහස් වීමක් වේද, ඒ කෙරෙහි ආලය රහිත වීමක් වේද අන්න එය දුකෙහි නිරුද්ධ වීමයි.  


දේශනාවසානයේ දෙවියෝ සාධුකාර දුන්හ. මෙසේ එ​ෙකනෙහි ඒ මොහොතෙහි අකනිටා බඹලොව දක්වා සාධුකාර ශබ්ද ඉතා උස්ව පැතිර ගියේය. දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්මවා අපමණ වූ උදාර වූ ආලෝකයක් ලෝකයෙහි පහළ විය. පස්වග තවුසන් අතරින් ආයුස්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ චතුස්සත්‍ය අවබෝධ කළහ. එතැන් සිට උන් වහන්සේට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන නම විය.  

 

 

 

කේ.ඩබ්ලිව්.ඒ. ජයවර්ධන  
වෛද්‍ය පුස්තකාලයාධිපති (විශ්‍රාමික)