ජ.වි.පෙ. 2 වැනි කැරැල්ලෙන් 13 වැනි කොටස

කැරලිකරුවන්ගේ බිම් බෝම්බයක් පිපිරීයාමෙන් පසු ඒ අවට නිවෙස්වල සිටි තරුණයන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පවුලක සාමාජිකයින් හඬා වැටෙන අයුරු.

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක් ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිඳු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි.

වෙනත් කිසිඳු දිස්ත්‍රික්කයකින් අසන්නට නොලැබෙන දීර්ඝ ඉතිහාසගත තොරතුරු ද වැදගත් බිම්කඩවල් ද පුත්තලම දිස්ත්‍රික්කයට අයත්ය. පුත්තලම දිස්ත්‍රික්කය තුළ මානව සංහතියේ ආදිම තොරතුරු ලෙස පුරා ශිලා යුගයේ සහ මධ්‍යම ශිලා යුගයේ තොරතුරු හමුවේ. දහසය වැනි සියවසේ සිට බටහිර ජාතීන්ගේ ග‍්‍රහණයට ලක්වූ හලාවත, කල්පිටිය, පුත්තලම ප‍්‍රදේශයන් ඔවුුන්ගේ වෙළෙඳ කටයුතු සඳහා ප‍්‍රබල කේන්ද්‍රස්ථානයක් ලෙස ද භාවිත කරන ලදී. 


පුත්තලම දිස්ත්‍රික්කයේ ජවිපෙ ප‍්‍රථම පූර්ණකාලීන දිස්ත්‍රික් ලේකම්වරයා වූයේ විල්සන් ආරියරත්න හෙවත් හේරත්ය. කරන්දෙණිය කැකිරිය පතෙහිවෙලදී 1949 පෙබරවාරි 2 උපන් ඔහු කරන්දෙණිය විදුහලේ අධ්‍යාපනය ලත් අතර උණගස්වල ඉහළ පාරේ පදිංචි ගාමිණී ගුණවර්ධන හෙවත් කතරගම ගාමිණී බාස් හරහා 1967 අගෝස්තු මස ජවිපෙට එක්විය. විජේවීරගේ ඉල්ලීම පරිදි 1969 සිට පුත්තලම දිස්ත්‍රික් ලේකම් වශයෙන් ගිය විල්සන් තබ්බෝව ජනපදය, මදුරන්කුලිය, ආනමඩුව, පාලවී, කල්පිටිය වැනි ප‍්‍රදේශයන්හි ජවිපෙ ප‍්‍රචලිත කළ අතර පුත්තලම සිමෙන්ති කම්හලේ ක්‍රියාකාරිකයින් රැසක් ද සම්බන්ධ කළේය. ආරම්භයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජවිපෙ ක්‍රියාකාරීන් වූයේ පලාවිය බ‍්‍රවුන්ස් සමාගමට අයත් ඇග‍්‍රිකෝලා වැඩපොළේ නිහාල් පී. සමරතුංග, කළුතර සරත් පෙරේරා, විල්බට්, ගල්කුලමේ පියදාස සහ පුත්තලමේ සේරසිංහ ඇතුළු කිහිප දෙනෙකි. 
වසර 1971 අප්‍රේල් කැරැල්ලට පුත්තලම දිස්ත්‍රික්කයෙන් සැලකිය යුතු පිරිසක් හලාවත, වෙන්නප්පුව, මාදම්පේ, ආණමඩුව වැනි ප‍්‍රදේශවලින් සම්බන්ධව සිටියහ. හලාවත සංවිධායකවරයෙක් වූයේ පස්කුල්ලහැන්දි කමලරත්න ද සිල්වා හෙවත් ටොෆි කමල්ය. හලාවත පොලිසියට අප්‍රේල් 05 ප‍්‍රහාරයක් ද එල්ල කරන ලදී. පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූයේ කාර්මික විද්‍යාලීය ඩිප්ලෝමා පාඨමාලාව හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙට එක්වූ අඹේපුස්සේ පදිංචි වනසිංහ ආරච්චිලාගේ දොන් ගුණරත්න හෙවත් ගුණරත්න වනසිංහය. දැදුරු ඔය ඉවුරේ කැලෑ රොදවල 1971 කැරැල්ලට පෙර ජවිපෙ පන්ති බොහෝ විට පවත්වන ලද්දේද වනසිංහ විසිනි. ජවිපෙ 2වැනි කැරැල්ලේදී දේශපාලන මණ්ඩල සභිකයෙකු වූයේ ද පක්ෂයේ ප‍්‍රචාරක අංශයේ ප‍්‍රධානියා වශයෙන් කලක් කටයුතු කළේ ද වනසිංහය. 


ජවිපෙ 2වැනි කැරලි සමයේදී දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරු වූයේ මහින්ද පතිරාජ, ප‍්‍රනාන්දු හෙවත් ජයසිංහ සහ රංජිත් වීරසිංහ හෙවත් අතුල ඇතුළු පිරිසකි. සන්නද්ධ ලේකම්වරුන් වූයේ ගොකරැල්ලේ චන්න බන්දුල, මාතලේ ජයසිංහ බණ්ඩාර සහ නිකවැරටියේ තිලක් ඇතුළු කිහිප දෙනෙකි. මහින්ද පතිරාජ ආණමඩුවේ උපන් අතර 1982 ජනාධිපතිවරණයේදී සහ 1980 මැයි මස පැවති ආණමඩුව අතුරු මැතිවරණයේදී සංවිධායකවරයෙක් වශයෙන් ද කටයුතු කළේය. එම මැතිවරණයේදී ජවිපෙන් තරග කළ උපතිස්ස ගමනායකට ඡන්ද 857ක් ලැබිණි. ප‍්‍රනාන්දු හෙවත් ජයසිංහද කලක් පුත්තලම දිසාලේකම් වශයෙන් සිටි අයෙකි. ප‍්‍රනාන්දු හෙවත් ජයසිංහ 1988 අප්‍රේල් 15 යතුරුපැදියක ගමන් කරමින් සිටියදී නාත්තන්ඩිය මංසන්ධියේ පාරු ඇල පාලම අසලදී වෙන්නප්පුව පොලිස් අධිකාරි සෝලංගආරච්චි විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සමඟ යතුරුපැදියෙන් ගමන්ගත් අනෙක් තැනැත්තා වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ද එමෙන්ම බස්නාහිර සහ සබරගමු කලාපයේ දේශපාලන නායකයා වූ ද ජවිපෙ මුදල් ලේකම් වූ ද සුමිත් අතුකෝරලය. අත්අඩංගුවට ගත් ජයසිංහ සහ සුමිත් යන දෙදෙනාම තිරස්චින වධබන්ධනවලට ලක්වූවද කිසිඳු තොරතුරක් හෙළි නොකළේය. පසුව 1988 මැයි 7 ඝාතනයට ලක්වූ දෙදෙනාගේම සිරුරු වෙන්නප්පුවේ තෝප්පුව පාලමේ රේල් පාරෙන් ගඟ මැදට දමන ලදී. එසේ දමන සිරුරු කෙළින්ම ගඟ හරහා මහ මුහුදට ඇදී යන අතර යළි කිසිදා ගොඩට ගසාගෙන එනු නොලබයි. 

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ජවිපෙ පූර්ණ කාලීන ප‍්‍රථම දිස්ත්‍රික්ලේකම් ලෙස 1969 පත් වූ කරන්දෙණියේ විල්සන් ආරියරත්න හෙවත් හේරත්, ජවිපෙ 2 වැනි කැරැල්ලේදී පුත්තලම දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම්වරුන් වූ ගුවන් හමුදා හිටපු නිලධාරී මාතලේ ආනන්ද පරාක‍්‍රම බණ්ඩාර හෙවත් රාජා, ගොකරැල්ලේ චන්න බන්දුල, පුත්තලම දිස්ත්‍රික්කයද ඇතුළත් බස්නාහිර/ සබරගමු කලාපයේ ශිෂ්‍ය අංශයේ නායකයෙකුව සිටි කොළඹ සරසවි වෛද්‍ය සිසු සරත් කොල්ලුරේ හෙවත් චිරන්ත සහ දේශපාලන අංශයේ කලාප නායකයෙකු වූ කැලණි සරසවි උපාධිධාරී ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු 1989 මාර්තු 17 ඝාතනයට පත්වූ ආණමඩුවේ හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රදාස (35) මෙහි වමේ සිටය.

 

 


තවත් දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරයෙකු වූ රංජිත් වීරසිංහ හෙවත් අතුල පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ 2වන වසරේ සිසුවෙකි. කෑගල්ල තෝලංගමුවේ උපන් රංජිත් වීරසිංහ 1987 අප්‍රේල් 15 පල්ලකැලේ යුධ හමුදා කඳවුරට පහර දුන් 14කින් යුත් කැරලිකරුවන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකි. ප‍්‍රහාරයෙන් පසුව යටිබිමිගතව ජවිපෙට ක්‍රියාකාරීව එක්වූ රංජිත් 1989 අවසාන භාගයේදී පුත්තලම දිස්ත්‍රික් දේශපාලන ලේකම් විය. මාදම්පේ තනිවැල්ලේ දේවාලය අසලදී රංජිත් සහ පේරාදෙණිය සරසවියේ තාරක අත්අඩංගුවට පත්විය. කැරැල්ලේ පරාජයෙන් පසු දෙදෙනාම දංකොටුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැල්ලව පිහිටි පෞද්ගලික වතුයායේ වට්ටක්කා වගාවේ භාරකරුවන් වශයෙන් කෙටි කලක් ජීවිත ආරක්ෂාව සඳහා සේවය කළේය. වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ තිදරු පියෙකු වූ රංජිත් 2018 වනවිට කොට්ටාවේ ව්‍යාපාරිකයෙකි. කැරලිකරුවෙකු වශයෙන් සිට හසුවූ තාරක, වැල්ලව එම වතුයායේම සේවය කළ දෙමළ පවුලක විවාහක ස්ත‍්‍රියක් සමඟ මිත‍්‍ර වී පසුව ඇය සමඟ පලාගොස් අනුරාධපුර තලාවේ ගොවිපොළක් ආරම්භ කර නව දිවියක් ඇරඹීය. 


පුත්තලම දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකු වූ චන්න බන්දුල ගොකරැල්ල පොල්ගොල්ල ගමේ උපන්නෙකි. ගොකරැල්ල මහා විද්‍යාලයෙන් සහ මැල්සිරිපුර මැදමුල්ල මධ්‍යම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චන්න බන්දුලට අ.පො.ස. උසස් පෙළ කලා අංශයෙන් සරසවියට ප‍්‍රවේශවීමට අඩුවූයේ ලකුණු 3කි. පසුව යුධ හමුදාවට බැදී පුහුණු වූ චන්න බන්දුල හමුදා පුහුණුවෙන් පසු ටී56 ස්වයංක්‍රීය අවියක් ද හමුදාවෙන් සොරාගෙන පලාවිත් ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. අවසානයේදී ඔහු ඝාතනයට පත්වූයේ කුරුණෑගල කලාපයේ සන්නද්ධ ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටියදී 1989 සැප්තැම්බර් මසය. ඝාතනයෙන් පසු බන්දුලගේ හිස කඳින් වෙන්කර ගොකරැල්ල ප‍්‍රදේශයේ වැටක එල්ලා තිබිණි. තවත් දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයෙකු වූ ආනන්ද පරාක‍්‍රම බණ්ඩාර ගුවන් හමුදා හිටපු නිලධාරියෙකි. රත්තොට ගම්මඩුවේ නාගුලියද්දේ 1965 උපන් ආනන්ද ඉන්දීය හමුදා ආක‍්‍රමණයට එරෙහිව ජවිපෙට එක්වූ අයෙකි. මාතලේ දිස්ත්‍රික්කයේ ද සන්නද්ධ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ඔහු 1990 අනුරාධපුර කුලියන්කුලමේදී ඝාතනයට පත්විය. 


කැරලිකරුවන් විසින් වෙන්නප්පුව පොලිසියේ ප‍්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයේ සැරයන් ස්ටැන්ලි, මුන්නේෂ්වරම් කෝවිල අසලදී ඝාතනය කරන ලදී. කැරලිකරුවන්ට මුුහුණ දීම සඳහා දංකොටුව පොලිසිය තුළ කොන්ක්‍රීට් බංකරයක් තනා තිබිණි. කැරලිකරුවන්ට මුහුණුදිය යුතු උපායමාර්ගික ක්‍රියාදාමයන් පිළිබඳව පුත්තලම ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක්ම උපදෙස් ගත්තේ දංකොටුවේ උපන් කර්නල් දයා රාජසිංහ ගෙනි. ඔහු ඔලිම්පික් උළෙලට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩකයෙකි. 


පුත්තලම දිස්ත‍්‍රික්කයේ කැරලි නායිකාවක්ව සිටි කුරුණෑගල උපන් දමයන්ති සහ කාන්තා ක්‍රියාකාරීන් 07 දෙනෙකු කමිටු රැස්වීමක් පවත්වමින් සිටියදී 1988 මැයි 05 වෙන්නප්පුවේදී අත්අඩංගුවට ගන්නා ලදී. පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියට සම්බන්ධ අජිත් කුමාරට සහාය දුන් බවට චෝදනා කරමින් කැරලිකරුවෙකු වූ මදුන්කොටුවගේ ජයසිරි ගුණවර්ධන (26) හෙවත් මානෙල් ද නයිනමඩමේදී 1988 අප්‍රේල් 13 අත්අඩංගුවට ගනු ලැබීය. 
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල ජංගම රථ කිහිපයකට කැරලිකරුවන් විසින් බිම් බෝම්බ තැබීමෙන් මාරවිල පොලිසියේ 2ක් ඇතුළු කිහිපදෙනෙක්ම මිය ගියහ. බිම් බෝම්බ කිහිපයක්ම පුපුරුවා හැරීමට පෙර ලැබුණු ඔත්තු අනුව සොයාගෙන නිශ්ක්‍රීය කිරීමට ආරක්ෂක අංශ සමත්විය. වෙන්නප්පුව කොස්වත්ත පන්සල් හන්දියේ නිහාල්ගේ නිවසේ බෝම්බ නිෂ්පාදනය කරමින් සිටියදී ඇතිවූ පිපිරීමකදී 4ක් මරුමුවට පත්විය. බරපතළ තුවාල ලැබූ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුවෙක් රෝහල් ගතකළ අතර පසුව රෝහලේදී ප‍්‍රතිකාර ගනිමින් සිටියදී අතුරු හමුදා කණ්ඩායමක වෙඩි ප‍්‍රහාරයකින් මරුමුවට පත්විය. කැරලිකරුවන් විසින් ප‍්‍රදේශයේ මැරයෙකු ලෙස ප‍්‍රකට එඩ්වඩ් ජයලත් සහ ආරච්චිකට්ටුවේ ව්‍යාපාරිකයෙකු වන ජස්ටින් ද ඝාතනය කර තිබිණි. දංකොටුව පොලිස් ස්ථානාධිපති ආනන්ද අල්විස් සහ වෙන්නප්පුව පොලිස් අධිකාරි සෝලංගආරච්චි බිම් බෝම්බ පුපුරුවා ඝාතනය කිරීමට තෙවරක්ම උත්සාහ දරා තිබිණි. 


ජවිපෙ දේශපාලන අංශයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් වශයෙන් සිටියදී පුත්තලම් දිස්ත්‍රික්කයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්වූ කිහිපදෙනෙක් මෙසේය. ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රදාස කැලණි සරසවියේ මානව ශ‍්‍රාස්ත‍්‍ර අංශයේ උපාධිධාරියෙකි. අවිවාහකයෙකි. ඔහුගේ මව ඩිංගිරිහාමි වූ අතර පියා කපුරුහාමිය. සොහොයුරු සොහොයුරින් 5කි. අත්අඩංගුවට ගනු ලැබූවේ 1989 මාර්තු මසය. සියඹලාවත්තේ පදිංචි එච්.එම්. කපුරුබණ්ඩාර (35) කැලණි සරසවියේ උපාධිධාරියෙකු වූ අතර වත්තේගෙදර පාසැලේ ගුරුවරයෙකි. එක් දරු පියෙකු වූ කපුරුබණ්ඩාර 1989 මාර්තු අත්අඩංගුවට ගත් අතර බිරිඳ හේමාවතීය. 


වෙන්නප්පුවේ පදිංචි ජයන්ත රාජරත්න මුතුකුමාරණ හෙවත් මුතූ කොළඹ ප‍්‍රධාන හෝටලයක සේවය කළ දෙදරු පියෙකි. 1988 දෙසැම්බර් මස අත්අඩංගුවට ගනු ලැබීය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ 85/85 කණ්ඩායමේ රන්ජන් ද අල්විස් හෙවත් කිංස්ලි අත්අඩංගුවට ගනු ලැබූවේ කැරලිකරුවන්ගේ තාක්ෂණික අංශයට සම්බන්ධව සිටියදීය. මොරටු මහා විද්‍යාලයේ සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලැබූ රංජන් පානදුර පදිංචිකරුවෙකු වූ අතර පියා කිත්සිරි ය. 


ආණමඩුව පොලිසිය විසින් මාඋස්සවැවේ පදිංචි ඩික්සන් ඇතුළු ජවිපෙ කැරලිකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන වධබන්ධනවලට ලක්කිරීමෙන් පසු ඔවුන් මියගොස් ඇතැයි සිතා නවවත්තේගම ඉඟිනිමිටිය වැව් බැම්ම උඩට ගෙන ගොස් ප්‍රෙට්ට‍්‍රල් දමා ගිනි තැබීමට සූදානම්ව ගින්දර සොයමින් සිටියදී එම 4 දෙනා අතර නොමැරී සිටි ඩික්සන් ඉඟිනිමිටිය වැවට පැන පීනාගොස් කොටවෙහෙරෙන් මතුවිය. පසුව මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මගින් ඔහු අධිකරණයට භාරවිය. 


පුත්තලම දිස්ත්‍රික්කයේ එම වකවානුව තුළ පොලිස් සහ හමුදා කඳවුරු කිහිපයක් විය. ඒවා අතරින් අත්අඩංගුවට ගත් කැරලිකරුවන්ට තිරස්චින වධබන්ධනවලට මුහුණදීමට සිදුවූයේ ආණමඩුව සුදම්පාය ප‍්‍රජා ගම්මාන ශාලාවල හලාවත සී.එස්.යූ. පැරණි ගොඩනැගිල්ල, වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ විවෘත නොකළ නේවාසිකාගාරය ඇතුළු ස්ථාන කිහිපයකය. 


පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ මගින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි කැරලිකරුවන් සිය ගණනක් එම කඳවුරු 1990 මාර්තු මස ඉවත්කරගෙන යනවිට ඝාතනය කර පුත්තලම අනුරාධපුර මාර්ගයේ තම්බෝවේදී පුළුස්සා දමන ලදී. ප‍්‍රධාන මාර්ගයේ සිට කුඩා ලදු කැලෑවක් හරහා වැටී ඇති පුංචි පාරකින් යාර 200ක් පමණ ඇතුළට ගිය විට එසේ පුළුස්සා දැමූ 12 දෙනෙකුගේ සිරුරු 1990 මාර්තු 19 දක්නට ලැබිණි. 


ජවිපෙ ඝාතන සංස්කෘතියට එරෙහිව එය විනාශ කිරීම සඳහා පිහිටුවන ලද මහජන විප්ලවකාරී රතු හමුදාව හෙවත් ප‍්‍රා. සංවිධානය 1988 මැයි 18 කොළඹ රජයේ ලිපිකරු සේවා සංගමයේදී බිහිවූ අතර එහි නායකයින් වූයේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ඔසී අබේගුණසේකර සහ තුයිහන්දිගේ සරත් සිල්වා හෙවත් හලාවත පොඩි සිල්වා හෙවත් සෝමසිරි සිල්වා හෙවත් කුමාර්ය. සරත් සිල්වා ජීවත්වූයේ හලාවත ලුණුවිල ප‍්‍රදේශයේය. ඩී.අයි.ජී. ධර්මසේකරගේ නායකත්වය යටතේ දේශපාලනය ඇරඹූ සරත් සිල්වා 1971 කැරැල්ලේදී කුලියාපිටිය ආශි‍්‍රත ක්‍රියාකාරම්වලට දායක විය. 


පසුව කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ හරහා 80 දශකය මැද භාගයේදී දයාන් ජයතිලකගේ විකල්ප කණ්ඩායමට එක්වන සරත් රජය පෙරළීමට කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන විකල්ප කණ්ඩායමේ තවත් 23 දෙනෙකු සමඟ කොළඹ මහාධිකරණයේ නඩුවක් ද තිබිණි. අනතුරුව ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මකවීමත් සමඟම සරත් සිල්වා ඇතුළු චූදිතයින් සියලු දෙනා 1988 අප්‍රේල් 22 නිදහස් විය. 


ප‍්‍රා. සංවිධානයේ වයඹ පළාතේ මෙහෙයුම් මධ්‍යස්ථානය 1988/89 කාලයේ පවත්වාගෙන ගියේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ෂෙල්ටන් නෝනිස්ගේ පුංචි අම්මා කෙනෙකු පදිංචි වෙන්නප්පුව නයිනමඩමේ නිවසකය. එය පිහිටා තිබුණේ වෙන්නප්පුව පොලිස් කාර්යාලය අසලය. පුත්තලම් දිස්ත්‍රික්කය තුළ ප‍්‍රා. සංවිධානය කටයුතු ආරක්ෂක අංශ තුළ පවා මතභේදයට තුඩු දුන්නකි. 


ප‍්‍රා. සංවිධානයට කොළඹ සරසවි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි ඇතුළු පිරිසකගේ ක්‍රියාකාරී සහාය බස්නාහිර පළාතේ හිමිවිය. ජවිපෙ 2වැනි කැරලි සමයේදී ස්වාධීන ශිෂ්‍ය සංගමයේ 25කට ආසන්න සාමාජිකයින් සහ හිතවතුන්ට මුළුමනින් ආධාර සහ උපකාර කරන ලද්දේද නඩත්තු කරන ලද්දේද රජයේ ලිපිකරු සේවා සංගමයේ මූලස්ථානයේදී එක්සත් සමාජවාදියෝ සංවිධානයේ නායක ගුණසේන මහානාම විසිනි. 
ප‍්‍රා. සංවිධානය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේදී දිවයින පුවත්පතේ දුම්මලසූරිය වාර්තාකරු පීටර් කැනිෂියස් හෙට්ටිආරච්චි 1989 පෙබරවාරි 09 පැහැරගත් අතර ඔහු නිදහස් කරගැනීමට හැකිවූයේ රුපියල් 50,000ක කප්පමක් දීමෙනි. ජවිපෙට හිතැති ව්‍යාපාරිකයෙකු වූ මාෂල් නමැත්තා පැහැරගත් අතර ඔහු නිදහස්කර ගැනීමට හැකිවූයේ ප‍්‍රා. සංවිධානයට රුපියල් ලක්ෂ 5ක කප්පමක් දීමෙනි. එසේ ප‍්‍රා. මගින් පැහැරගත් කිහිපදෙනෙක්ම අදාළ පවුල්වලින් කප්පම් මුදල් ලබාගත් පසු නිදහස් කළ බවට වාර්තා විය. 


වෙන්නප්පුව නයිනමඩමේ පිහිටි ප‍්‍රා. වයඹ මෙහෙයුම් මධ්‍යස්ථානයට කේ.එල්. ධර්මසිරිගේ සොහොයුරා වූ කිත්සිරි, ආරච්චිකට්ටුවේ හර්ෂ, අසංක කරුණාරත්න, හලාවත සුනිල් ගාමිණී වර්තමානයේ ජපානයේ පදිංචිය ඇතුළු කිහිපදෙනෙක්ම එක්ව සිටියහ. අභ්‍යන්තර ගැටුමකදී හර්ෂ මරණයට පත්වූ අතර බොහෝ කටයුතු සඳහා පරිහරණය කළේ රතුපාට ඩබල් කැබ් රථයකි. කැරලිකරුවන් විසින් පළාත් සභා මන්ත්‍රී අයිවන් ද සිල්වා වෙඩි තබා ඝාතනය කර තිබිණි. 


ප‍්‍රා. සංවිධානයට අවශ්‍ය වූයේ ජවිපෙට එරෙහිව ප‍්‍රජාතන්තවාදී විකල්පයක් සෙවීම නොව සන්නද්ධ බලයක් ගොඩ නගා එය විනාශ කිරීම පමණි. වසර 1989 මැද භාගයෙන් පසු ප‍්‍රා. සංවිධානයේ ප‍්‍රධාන අරමුණ පුද්ගලයින් පැහැරගෙන කප්පම් ගැනීම, මංකොල්ලකෑම, අතුරු හමුදා කණ්ඩායම්වල සහායකයින්වීම පමණක් බවට පත්විය. ආරක්ෂක අංශවල අතුරු කණ්ඩායම්වල සහාය ද ඇතිව ප‍්‍රා. සංවිධානය මගින් රටපුරා ඝාතනය කළා යැයි කියන ජවිපෙ ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් ප‍්‍රමාණය 1,222ක් බව කියති. 


ප‍්‍රා. 1990 සැප්තැම්බර් මාසයෙන් පසු යළි වාර්තා වූයේ වට්ටක්කුලිය ඉස්සන්දූවේ පිහිටි ප‍්‍රා. මූලස්ථානය හලාවත පොලිසිය මගින් 1997 මැයි 29 වටලනු ලැබීමෙන් අනතුරුවය. එහිදී අත්අඩංගුවට ගත් 12 දෙනෙකු මාස 06ක් රඳවා තබා ගන්නා ලදී. සරත් සිල්වා හෙවත් පොඩි සිල්වා වසර 2018 වනවිට මාදම්පේ බෝල්කෝ යකඩ කම්හල අසල සිය ‘ව්‍යාපාර කටයුතු’ කරගෙන යන බව කියති. 

 

මෙහි වමේ සිට කැරලිකරුවන්ට එරෙහිව අවි අමෝරා ගත් විදුලිබල සහ බලශක්ති ඇමැති ෆෙස්ටස් පෙරේරා, පුත්තලම දිස්ත්‍රික්කයේදී 1988 අප්‍රේල් 15 පොලිස් අත්අඩංගුවට පත්ව පසුව 1988 මැයි 03 ඝාතනයට ලක්ව වෙන්නප්පුව තෝප්පුව පාලම අසලින් සිරුර ගඟට දැමූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ මූල්‍ය ලේකම් දොන් දියෝනිස් නන්දසිංහ ආරච්චිගේ විජේනායක හෙවත් සුමිත් අතුකෝරල හෙවත් වෙලගෙදර, දංකොටුව පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආනන්ද අල්විස්, වෙන්නප්පුව පොලිස් අධිකාරි සෝලංගආරච්චි, මහජන විප්ලවකාරී රතු හමුදාව හෙවත් ප‍්‍රා. සංවිධානයේ සමනායකයා වූ තුයිහන්දිගේ සරත් සිල්වා හෙවත් පොඩි සිල්වා වේ.

 


පුත්තලම දිස්ත්‍රික්කය ද ඇතුළත් බස්නාහිර/ සබරගමු කලාපයේ ශිෂ්‍ය අංශයේ නායකයෙකුව සිටියේ කොළඹ සරසවි වෛද්‍ය සිසු සරත් කොල්ලුරේ හෙවත් චිරන්තය. ගම්පහ වතුරුගම පදිංචි ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පසුව 1989 නොවැම්බර් 2 මාතලේ වෑවලදී අත්අඩංගුවට පත්ව ඝාතනයට පත්විය. පුත්තලම දිස්ත්‍රික්කය තුළ අන්තරේ මානව හිමිකම් පිළිබඳ ශිෂ්‍ය සංවිධානයේ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටු සරසවියේ වාස්තු විද්‍යා අංශයේ 2වැනි වසරේ සිසු හිටිගේ මධුර චන්නප්‍රිය ගනේගොඩ 1965 නොවැම්බර් 05 උපන් අතර මීරිගම පල්ලේවෙල පදිංචිකරුවෙකි. පල්ලේවෙල මහා විද්‍යාලයෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට තේරුණු ප‍්‍රථම ශිෂ්‍යයා ඔහුය. 


මධුර ගනේගොඩ ආරක්ෂක අංශ මගින් පැහැරගෙන යනු ලැබූවේ 1989 ඔක්තෝබර් 22 වැල්ලවත්තේ පිහිටා තිබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ කාර්යාලයට යමින් සිටියදීය. එම ස්ථානයේදීම පැහැරගත් අනෙක් තැනැත්තා වූයේ කොළඹ සරසවියේ වෛද්‍ය පීඨයේ සිසු වෙනුර වර්ධිත එදිරිසිංහය. පසුව රේස්කොස්හි පිහිටි වධකාගාරයේදී සහ හෙන්රි පේදිරිස් පිටියේ පිහිටි වධකාගාරයට ගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්වූ වෙනුර පදිංචිව සිටියේ ද පුත්තලම දිස්ත්‍රික්කයට අයත් මාරවිල පහළ හත්තිනියේය.


(ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකතන 011-5234384 ලබාගත හැකිය.)