​ෙනාකැළැල් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පිළිබඳ අද ලෝකයේ බොහෝ රටවල් කථා බහ කරයි. මේ කාලය තුළ ශ්‍රී ලංකා හමුදාවෙන් ඉටු වූ කාර්යභාරය සුළුපටු නොවේ. දිවයින තුළ සිදුවූ සෑම ආපදාවකදීම අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය මැදිහත් වී විපතට පත් වූවන් මුදාගැනීම සඳහා ඉටු කළ සේවය විශාලය.   


තිස් වසරක ත්‍රස්තවාදයට මුහුණ දුන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එය සාර්ථකව ජය ගත්තේ ලොව සෙසු රටවලට ද ආදර්ශයක් දෙමිනි. ඒ ලොව සිටි භයානකම ගරිල්ලා හමුදාවක් වූ එල්.ටී.ටී.ඊ.ය මෙල්ල කොට ශ්‍රී ලංකාවට සාමය උදාකර දීමෙනි. 


ලොව විවිධ රටවලින් අපගේ හමුදාව වෙත විවිධ ප්‍රශංසා ගලාඑන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවලින් අපගේ හමුදාවල දායකත්වය අපේක්ෂා කෙරිණ. එම රටවල පවතින ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා හමුදාවේ සහය ලබාදුණි. මෙම සාම සාධක හමුදා යැවීම පිළිබඳ ඉතිහාසය විමසා බලමු. 


1948 වසරේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ ‘සිලෝන් ආර්මි’ (Ceylon Army) ලෙස පිහිටවූ හමුදාව 1972 ශ්‍රී ලංකා හුද හමුදාව ලෙස ස්ථාපනය විය. 


1955 එක්සත් ජාතින්ගේ සංවිධානයේ උපදේශක මණ්ඩලය සමග එක් වී වසර 1956 දී  ‘සුවස්’ අර්බුදය හමුවේ අපගේ හමුදා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ඊට වසර 4 ට පසු 1960 වසරේදී එක්සත් ජාතීන්ගේ සාමදූත මෙහෙවරක නිරත වීමට අපට අවස්ථාව ලැබිණ. 


‘කොංගෝ’ හි පැවැති අර්බුදයේදී අපගේ හමුදා සාමාජිකයන් සිව් දෙනෙකු ඒ සඳහා පිටත් කර හැරුණේ එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ පැවැති සබඳතාව තහවුරු කරමිනි. අද වනවිට එම උප​දේශක මණ්‍ඩලයේ 1000 කට අධික සංඛ්‍යාවක් වූ අපගේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පොලිසිය ඇතුළු පිරිසක් ඊට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටිති. 


2001 වසරේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති කළ සටන් විරාම ගිවිසුමෙන් පසු ශ්‍රී ලංකා හමුදාව කෙරෙහි ලොව තවත් රටවල අවධානය යොමු විය. 2001 වසරේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 2004 වසරේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ‘හයිටි’ හි සාම හමුදාවේ සහයට ශ්‍රී ලංකා හමුදාවට ඇරයුම් ලැබිණ. 


‘හයිටි’ සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරා ගත් 950 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් පිටත් කර හැරිණ. සාම සාධක හමුදාව සඳහා මේ වනවිට 17904 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා භට පිරිසක් මාරුවෙන් මාරුවට ‘හයිටි’ වලට පිටත් කර හැර තිබේ. ඔවුන්ගෙන් භටයින් 6 දෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූහ. අවසන් වරට ‘හයිටි’ වලට ගිය පිරිස අතර යුද, නාවික හා ගුවන් හමුදාවට අයත් පිරිසක් වෙති. 
‘හයිටි’ හි සාම සාධක හමුදා ක්‍රියාවල දීර්ඝ කාලයක් නිරතවූයේ ශ්‍රී ලංකා හමුදාවයි. 


එක්සත් ජාතින්ගේ සංවිධානයට සාමය ස්ථාපිත කිරීම සඳහා භට පිරිස් ලබාදෙන ප්‍රධාන රටක් වශයෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව හැඳින්විය හැක. මෙය යුද්ධ හමුදාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිය ජාත්‍යන්තර කීර්තිය​ තවදුරටත් පැතිරවීමට මෙයද බෙහෙවින් ඉවහල් වී ඇත. 


යුද හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මාලී දේශයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා තවත් භට පිරිසක් සූදානම් කර තිබුණි. මාලී දේශයේ සාමය ඇති කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශේෂිත වර්ගීකරණ යටතේ මෙම ශ්‍රී ලංකා භට පිරිස් කණ්ඩායම් වශයෙන් පිටත්කර යැවිණි. 


එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ 7 වන පරිච්ඡේදයේ සලසා ඇති නියමයන් අනුව එක්සත් ජාතීන්ගේ සාමය බලාත්මක කිරීමේ හමුදා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භට පිරිස් වසරක කාල සීමාවක් සඳහා මාලී දේශය බලා පිටත්ව යාමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වැඩිම භට පිරිසක් ලබා දෙන රටවල් අතරින් ප්‍රධාන තැනක් ගන්නේද ශ්‍රී ලංකාවයි. 


ශ්‍රී ලංකාවේ යුද හමුදාවල ප්‍රගතිය සහ ඔවුන්ගේ කැපවීම නිසාත්, ඔවුන්ගේ දක්ෂතා හේතුවෙනුත් ලෙබනනයේ සාම සාධක රාජකාරින් සඳහා ද භට කණ්ඩායමක් සේවයේ නිරත වෙති. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මූලස්ථානයේ ආරක්ෂක කටයුතුවල ඉතා වැදගත්ම රාජකාරිය පැවරුණේ ශ්‍රී ලංකා හමුදා ඛණ්‍ඩයටයි. ඊට අමතරව ලෙබනන් බලා පිටත්ව යන සාම සාධක කණ්ඩායමට ප්‍රභූ ආරක්ෂක රාජකාරින්ගේ ආරක්ෂාවද සැපයිය යුතුව ඇත. 


2010 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා හමුදාවත් ලෙබනන්, යුනිෆින්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක ආරක්ෂක මූලස්ථානයේ ඉල්ලීමක් පරිදි මේ වන විට භට කණ්ඩායම් 11 ක් එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා පිටත් වී ඇත. 


ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ලොව අනිකුත් රටවල් හමුවේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ 30 වසරක යුද්ධය නිමකිරීමට ක්‍රියා කිරීම හේතුවෙනි. මේ සඳහා 2001 වසරේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සටන් විරාමයද විශේෂ දායකත්වයක් දැක්වීය. ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් රාජ්‍ය තාන්ත්‍රිකයින් දැනුම්වත් කිරීම, ලංකාවේ හමුදාවේ ප්‍රතිරූපය ලොවට හෙළි කිරීම වැනි කරුණු නිසා ලොව රටවලින් හමුදාවට විශේෂ සැලකිල්ලක් හිමි විය. 


මෙතරම් පිළිගැනීමක් ඇති ලංකාවේ ත්‍රිවිධ හමුදාවට දෙමළ ඩයස්පෝරාවෙන්ද නොයෙකුත් බලපෑම් එල්ලවී තිබේ. 


කෙසේ වෙතත් එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාව සහ සම්බන්ධවීමට ශ්‍රී ලංකා හමුදාවට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයකි. ඒ තුළින් විශාල වාසි රැසක් හිමි වනු ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සමග සම්බන්ධ වන ශ්‍රී ලංකා හමුදා සාමාජිකයකුට මසකට රුපියල් ලක්ෂ 3 කට ආසන්න වැටුපක් හිමි වන බව වාර්තා වෙයි. ඊට අමතරව එම හමුදා සාමාජිකයෝ විශාල ගෞරවයක් මෙන්ම ලොව පිළිගැනීමකට ලක්වෙති. මේ තුළින් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් මෙන්ම විශාල වාසි රැසක්ද හිමි වෙයි. 


මෙයට සම්බන්ධවීමට බොහෝ රටවල් බලාපොරොත්තුවෙන් සිටියි. තම රටවලට විශාල ආර්ථීක වාසි රැසක් එමගින් ලැබෙන බව ඔවුහු දනිති. එහෙත් ශ්‍රී ලංකාව ලැබූ එම ජයග්‍රහණය දැන් ටිකෙන් ටික පහව යමින් පවතින ලකුණු පහළ වී තිබේ. ඒ සාම සාධක හමුදා සඳහා පිටත්වන නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබෙන නිසාවෙනි. ඇතැම් නිලධාරින්ගේ විවිධ මතවාද, නීති රෙගුලාසි නිසා ඒ සඳහා මුදල් ප්‍රතිපාදන නොලැබීමේ තත්ත්වයක් මතුවෙමින් පවතියි. 


එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සඳහා පිටත්කර හැරෙන හමුදා නිලධාරින් පිළිබඳ විමසීමක් කළ යුතුව තිබේ. 


එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා සඳහා පිටත් කරන හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලධාරීන්ට වෙනමම වර්ණ ප්‍රදානයක් සිදුකෙරේ. එක් එක් හමුදා මෙහෙයුම්වලදී හමුදා සාමාජිකයන් ලබා ඇති වර්ණයන් අනුව මෙම ප්‍රදාන සිදු කෙරෙනු ඇත. සාම සාධක හමුදාව සඳහා යොදා ගන්නා වාහනද ඉතා ප්‍රමිතියෙන් යුතු විය යුතුයි. වෙඩි උණ්‍ඩයේ සිට යුද ටැංකිය දක්වා එක්සත් ජාතීන්ගේ ප්‍රමිතියට අනුව සකස් කෙරේ. ඒ සඳහා වැය කෙරෙන මුදල් අදාළ රට විසින් වැය කළ යුතුය. එහෙත් සාම සාධක හමුදා ක්‍රියාන්විතවලදී ඊටත් වඩා ප්‍රතිලාභ අදාළ රටට හිමි වනු ඇත. 


ඒ සඳහා විශාල මුදලක් වැය කෙරේ. ඊට අමතරව අපේ රටේ විවිධ ප්‍රදේශවල ඉදිකර ඇති හමුදා කඳවුරුවලට සමාන වුවත් ඒ සඳහා විශේෂ ප්‍රමිතියකින් ඉදිකළ යුතුව ඇත.  


සාම සාධක මෙහෙයුම් සඳහා පිටත්වන යුද සෙබළාගේ මානසිකත්වය සුදුසු මට්ටමට වඩා ඉහළ මට්ටමක තිබිය යුතුව ඇත. යම් මෙහෙයුමක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇරයුම් කළහොත් අදාළ මෙහෙයුම සඳහා අවශ්‍ය සුළු අවි උණ්‍ඩයේ සිට බර අවි උණ්‍ඩ මෙන්ම අදාළ ආයුධ ඉතා ප්‍රමිතියකින් සකසා ගැනීම ඒ සඳහා පිටත්ව යන කණ්ඩායමට ලබාදීම ලංකා රජයේ වගකීමයි. 


ඒ සියල්ල ලංකා රජය විසින් මිලදී ගත යුතුයි. අප වෙනත් රටවලින් මිලදී ගත්තද ඒවායේ ප්‍රමිතිය පරික්ෂාවට ලක්කෙරේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන්ගේ ප්‍රමිතියට ඒවා සපයා ගත යුතුයි. 


මේ සඳහා ශ්‍රී ලංකා රජයේ නීතිරීතිවලට යටත්වීම නිසා මුදල් ප්‍රතිපාදන ලබාගැනීමේ ගැටලුවක් පවතියි. ඇතැම් දේශපාලනඥයන් මෙන්ම නිලධාරීවාදය ද මීට බලපා ඇත. මේ පිළිබඳ අවබෝයෙක් නොමැති පිරිස් නිසා ශ්‍රී ලංකාවට ලැබෙන වාසිදායක තත්ත්වය මින් මඟහැරී ඇත. මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ ක්‍රමවේදය, අමාත්‍යාංශ අතර තිබෙන සම්බන්ධතා වැනි ගැටලු නිසා මේ වන විට සාම සාධක හමුදා සඳහා සාමාජිකයන් යැවීම ගැටලුවට ලක්ව තිබේ. 


මෙසේ මුදල් වැයකොට මොවුන් පිටත් කර හැරීමට පසුබට වීම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ලැබෙන විශාල ධනස්කන්ධයක් අපතේ යාමකි. මේ පිළිබඳ නිසි අව​බෝධයක් නොමැති කම නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයටද බලපෑමක් සිදුවන බව ඇතැම් නිලධාරීහු නොදනිති. 


​ෙම් සඳහා ප්‍රතිපාදන වෙන් නොකිරීමෙන් ජාතික ආර්ථිකයට මෙන්ම, සෙබළුන්ගේ ආර්ථිකයටද බලපෑමක් වී තිබේ. විදේශ විනිමය ලැබීමේ ප්‍රධාන මාර්ගයක් ද මේ යටතේ ඇනහිටින බව ඇතැම් නිලධාරීන්ට අවබෝධයක් නොමැති වීම කනගාටුවට කරුණකි. 


එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා සඳහා එක්ව සිටින ප්‍රධාන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම අවස්ථාව ලබා ගැනීම සඳහා බොහෝ රටවල් අපේක්ෂා කරමින් සිටියි. එහෙත් ඔවුනට එම අවස්ථාව නොලැබුණද ශ්‍රී ලංකාවට ලැබුණු මෙම අවස්ථාව මගහරවා ගැනීම අති මහත් අවාසනාවකි. 


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ විශාල වශයෙන් සාකච්ඡා කරන ලද අවස්ථාවලදී ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව තවදුරටත් ලබා දීමට ඔවුහු එහිදී පොරොන්දු වූහ. එහෙත් ශ්‍රී ලංකා රජයේ මෙම ඇල්මැරුණු ප්‍රතිචාර නිසා එම අවස්ථාව ගිලිහීයමින් පවතියි. 


මෙහිදී ශ්‍රී ලංකා හමුදාවේ නිර්භීත කම, විනය අතින් ඉහළම ස්ථානයක සිටීම වැනි කරුණු පිළිබඳ දීර්ඝ ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පෙන්වාදීමෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙම අවස්ථාව ලබාදීමට එකඟ වී තිබේ. 


කෙසේ වෙතත් නිලධාරීවාදයන්, දේශපාලනඥයන්ගේ පිල් බෙදීම නිසාත්, පවතින චක්‍රලේඛවලට අනුව ක්‍රියාකිරීම නිසා මෙම ප්‍රතිපාදන නොලැබීයාමේ අවස්ථාව මතුව තිබේ. මෙම ප්‍රතිපාදන නොලැබීමේ හේතුව නිසා මසකට රුපියල් ලක්ෂ 3 ක පමණ වැටුපක් ලබාගැනීමට හැකි හමුදා සෙබළුන්ට කරන අසාධාරණයකි. ඔවුන්ගේ මානසිකත්වය මේ තුළින් බිඳ දැමීමකි. රටට ලැබෙන විශාල විදේශ විනිමය මෙයින් අහිමි වී යා හැක. මේ නිසා වසර 30 ක යුද්ධය නිම කළ අභීත රණවිරුවන්ගේ මානසිකත්වය බිඳ නොදමා ඔවුන්ට සාම සාධක හමුදාවට එක්වීමේ අවස්ථාව ලබාදීම සියලු දෙනාගේම වගකීමකි. 


මේ ප්‍රතිපාදන ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ඇරයුම් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් තවත් භට පිරිසක් සූදානම් කර ඇත. කුකුළේ ගඟ ප්‍රදේශයේ අක්කර 100 ක වපසරියකින් සමන්විත භූමි භාගයක ඉදිකර ඇති කඳවුරක මේ සඳහා විශේෂිත භට කණ්ඩායමක් පුහුණු කර තිබේ. ඊට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 28,998 දෙනෙකු පුහුණු කර ඇත. ඊට පොලිස් විශේෂ කාර්ය බළකායේ 300 දෙනෙකු ද ඇතුළත්ය. මේ නිසා ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

 

 

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර, 
ඡායාරූප - යුද හමුදා මාධ්‍ය ඒකකය.