ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

මොරවලපිටිය රුවන් දිසානායක මහතා ලියා එවූ කතාවකි.


රමණීය කඳු පන්තියකින් වට වූ එක්තරා සුන්දර ගමක විජේ සහ ගුණේ යන මිතුරෝ ජීවත් වූහ. කසිප්පු දිව ඔසු ලෙසත් දඩමස් දිව බොජුන් ලෙසත් සලකා දිවි ගෙවූ මොවුහු මුළු ගමටම පිළිකුලක් වූහ. රෑ ජාමෙහිද අහිංසක ගැමියෙකුගේ ගවයෙකු සොරා ගන්නා මොවුන් දෙදෙනා එළිවෙන ජාමය වනවිට එම සතා මස් කර එහි සලකුණක්වත් ඉතිරි නොකිරීමට තරම් දක්ෂ වූහ. එමෙන්ම ගමේ සාධාරණ අන්දමින් නැගීසිටීමට වෙර දරනා පවුලක් වේ නම් එහි සාමාජිකයෙකු කෙසේ හෝ නොමගට පොලඹවා එකී පවුල් අඳුරු අගාධයට ඇදදැමීම ඔවුන්ගේ විනෝදාංශය විය.


ගමේ සිවුදෙස කඳුවලින් ගහන වූ බැවින් එහි පිහිටි ගල්ගුහා තුළ ඉත්තෑවෝ බහුලව වාසය කළෝය. දහවල කන්දට නගින මොවුහු දෙදෙනා එහි එක් ගල්ගුහාවක් තෝරාගෙන ගුහාවට ඇතුළු වන සිදුර අසල ගිනිමැලයක් දල්වා එහි දුම් ගුහාව ඇතුළට යාමට සලස්වති. ටික වේලාවකින් ගුහාව ඇතුළත දුමෙන් පිරීයාම නිසා ඒ තුළ සිටින ඉත්තෑවන්ට හුස්ම ගැනීමට අපහසුවීමත් ඇස් දැවිල්ලත් නිසා දෑස් වසාගෙනම ගුහාවෙන් එළියට පැනීමට උත්සහ කරනවාත් සමගම පොල්ලකින් පහරදී මරා දමනු ලබයි. මෙවන් සාහසික ආකාරයට තලගොයින්, දඬු ලේනුන් සහ රිලවුන් වැනි සතුන්ද මරා දැමුණු වාර අනන්තය.


මෙසේ කාලයක් ගත විය. ජීවිතයේ සැඳෑ සමයට ආසන්නව සිටි විජේගේ ඇස් බැමි දෙකම හිටිහැටියේ ඉදිරියට නෙරා විත් ඇස් දෙක වසාගත් නිසා ඔහු අන්ධයෙකු බවට පත්විය. මෙය විජේ වැන්නවුන්ට පමණක් වැලඳෙන ඉතාම විරල ගණයේ රෝගයක් බවට අනුමාන කරමි. ඒ සමග උගුරේ පිළිකාවක් ද හටගෙන ආහාරපාන පවා ගත නොහැකිව එයින් ද පීඩා විඳිමින් සිටියදී අවාසනාවන්ත ලෙස මිය ගියේය. ගුණේ හිටිහැටියේම සිහිසුන්ව ඇදවැටෙන්නට විය. එය අපස්මාර රෝගය විය යුතු බවට අනුමාන කරමි. කෘශ වූ සිරුරකින් හෙබි ඔහුගේ පෙනුම සතෙකුගේ මෙන් වේ. ඔහු තවමත් විඳවමින් සිටියි.


පූරව - අපර සන්ධි ගළපා ගත් විට දෑස් වසාගෙන වේදනාවෙන් එළියට පනින ඉත්තෑවුන්ට අත් වූ ඉරණම විජේට අත් වූ බවත් පොලු පහර වැදීමෙන් සිහිසුන්ව ඇද වැටෙන අහිංසක සතුන්ට අත් වූ ඉරණම ගුණේට අත් වූ බවත් මේ අනුව සිතිය හැකිය. මෙය දිට්ඨධම්ම වේදනීය කර්මය පලදීම බව ප‍්‍රදේශවාසීන්ගේ මතයයි.

 



සාලියපුර පානියන් කඩවල රොබට් මුතුනායක මහතා ලියා එවූ කතාවකි.

පික්පොකට්කරුගේ පණනල අකල් වැස්ස උදුරාගනී.


පික්පොකට්කරුවන් විසින් ප‍්‍රසිද්ධ නගරවල තම ආධිපත්‍යය පතුරාගෙන සිටි කාලයක් අතීතයේ විය.


කලකට ඉහත රජරට නගරයකද පික්පොකට්කරුවෝ තම අණසක පතුරුවා සිටියහ.


දුර බැහැර ගෙවා පූජා භූමි වන්දනාව සඳහා එන සැදැහැවතුදන් මෙන්ම හේන් කුඹුරු අස්වැන්න මිල කිරීමෙන් පසු විවිධ අවශ්‍යතාවන් සඳහා නගරයට පැමිණෙන අයගේ මුදල් පසුම්බි සූක්ෂ්ම ලෙස සොරා ගැනීමට මොවුහු මාන බලමින් සිටියහ.


මේ සඳහා කණ්ඩායමක් සිටි අතර කණ්ඩායම සඳහා ප‍්‍රධාන නායකයෙක්ද විය.


මෙම පොකට්කරු කොතරම් ප‍්‍රසිද්ධ වීද යනු මොහු ගේ නමට ඉදිරියෙන් පික්පොකට් යන ගරු නාමයද පට බැඳී ගිය අතර පොලීසිය පවා මොහු හැඳින්වූයේ එම නාමයෙනි. අවිවාහකයෙකු වූ මොහුට පවුලක් හෝ නිවසක්ද නොවීය.


කිසිවකු විසින් පාළුවට හැරදමා තිබූ කටු මැටි ගැසූ නිවසක් මොහුගේ රාත‍්‍රී කාලය ගෙවා දැමීමට පිහිට විය.


සොරාගන්නා ලද මුදලින් පාප මිතුරු සාමජය සමග කනමදයන් සේ සුරා පානය කරමින් සිට රාත‍්‍රිය එළැඹෙන විට අසභ්‍ය වචන කියමින් වැනි වැනී මෙම නිවසට පැමිණ බිම දිගාවී නිදිසුව විඳීම ඔහුගේ සිරිතය.


මෙය අසල්වැසියන්ටද මහත් පීඩාවක් ගෙන දුන් මුත් කිසිවෙකු මොහු සමග සංවාදයකට ගියේද නැත.


එදින රැයේද වෙරිමතින් තම තිප්පොළ වෙත ඔහු පැමිණෙන විට පොද වැස්සක්ද වැටෙමින් තිබිණි. මෙම පොද වැස්සට තෙමෙමින් පැමිණි මොහු හතර ගාතය දිගහැර බිම වැටී නිදන්නට විය.


රෑ මැදියම වෙනතුරු මොහුගේ කෑ කෝ ගැසීම පරුෂ වචන කියමින් අරමුණකින් තොරව බැණවැදීම අසල්වැසියන්ට ඇසිණි.


පොද වැස්ස රෑ මැදියමේ ධාරාණිපාත වැස්සක් බවට පත්වූ අතර අසල්වැසියෝ සුවබර නින්දකට ගියෝය.


පසුදින පහන් වනවිට වර්ෂාව නිමාවී තුරු ලතා නව ජීවයකින් ප‍්‍රබෝධමත්ව තිබිණ.


මේ මොහොතේ මොහුගේ නිවස අසලින් ඇති පටු මාර්ගය ඔස්සේ පාපැදියකින් යමින් සිටි අසල්වැසියෙකුගේ නෙත මෙම අබලන් ගෙපැල වෙත ගැටිණ.


ඔහුට නෙත් අදහා ගන්නට බැරිවිය. පෙරදින රාත‍්‍රීයේ ඇදහැළුණ වැස්ස හේතුවෙන් තෙත බරිත වූ අබලන් වරිච්චි බිත්තිය ගේ ඇතුළට පෙරළීගොස් ඇත. තවත් විපරම් කර බලද්දී දැක ගත හැකිවූයේ වරිච්චි බිත්තියට යටවී සිටි පොකට්කරුගේ දනිහෙන් පහළ දෙපා කොටස පමණක් පෙනෙන්නට ඇති අයුරුය.


සුරාමතින් දුබල වූ සිරුර මතට තෙත බරිත වරිච්චි බිත්තිය කඩාවැටීමෙන් යට වුණ මොහුට නැගීසිටින්නට තරම් වෙරවීර්යක් නොවූයෙන් එම ඉරියව්වෙන්ම අවසන් ගමන් ගොස් තිබිණි. පික්පොකට්කරුගේ ජීවන ගමන එසේ නිමාවිය.

 



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.

ඉක්මන් තීරණ ගැනීමෙන් දිවි අහිමි විය.


කලකට පෙර ගැමි ගෙදරක තම දරු දැරියන් පස්දෙනාද රැකබලා ගනිමින් පස් පවෙන් වැළකී සමාජයට වැඩදායි අන්දමින් ජීවත්වූ මාපිය යුවළක් වූහ. දරුකැලට සිප්සතර උගන්වා කවා පොවා උස්මහත් කර ගැනීමට ඔවුන් දැක්වූයේ දැඩි උත්සාහයකි. ගැහැනු ළමයි තිදෙනාගෙන් දෙදෙනෙක් ගමේම තරුණයින් දෙදෙනකු හා විවාහ දිවියට සැපත් වූයේ මව්පියන්ගේ ද කැමැත්තෙනි. 


එක් අයෙක් විවාහ වී බිරිඳගේ නිවසේම ලැගුම් ගත් අතර ගෙදර පදිංචිය මව්පිය දෙපළ ඇතුළු අයියා හා නැගණිය පමණි. වරක් බැලූ අයෙක් තව වරක් ආපසු හැරී බලන අන්දමේ රූපකායකින් යුත් ශ්‍රියානි නමින් යුත් නැගණිය නගරයේ වෙළෙඳ සේවිකාවක් ලෙස රැකියාවක් කළාය. සොහොයුරා ඇතුළු මව්පියන් මුලදී ඇය රැකියාවක් කරනවාට විරුද්ධ වුවත් ශ්‍රියානිගේ ඉල්ලීමට ඉඩදුන්නේ වැඩි කැමැත්තකින් නොවේ. නොබෝ දිනකින් ඇගේ රූපකායට වහ වැටුණු නගරයේ තරුණයින් ඇය පසුපස හඹා ආවේ මලට බඹරුන් ඇදෙන්නාක් මෙනි. ඇතැම් තරුණයන් නිවසට පවා පැමිණ දෙගුරුන්ගේ ද කැමැත්ත විමසා තිබුණි. මව හා පියාටත් හොඳින් සමාජය ගැන දැනීමක් ඇති තම සොයුරා කොල්ලන් ළඟින් ඇසුරු නොකරන ලෙස ශ්‍රියානිට අවවාද කළේ වරක් දෙවරක් නොවේ. එක් තරුණයෙක් හා හාදකම් කළත් ඔහුගේ රැකියාව මව්පියන්ගේ කැමැත්ත ජීවත් වීමේ හැකියාව ගැළපීම ආදිය සොයාබලා තීරණය කළ යුතු බව පැවසූ පියා දිගට හරහට දුර දිග නොබලා කොල්ලන් හා යාළු මිත‍්‍රකම් පවත්වා ආදරය කිරීමට යාම තම විනාශයට මුල බව ඇයට පැවසුවේ නිවාඩු දිනයන්හි තරුණයින් ශ්‍රියානි හමුවීමට තම නිවසට පැමිණෙන බැවිනි. ඇය වැඩියෙන් සිත්ගත් තරුණයාට පමණක් නිවසට පැමිණීමට දන්වා සිටි පියා ඔහු ගැන විමසා බලා මඟුල කරදෙන බව ඇයට පවසා සිටියේ බැරිම තැනය. තම පියාගේ මෙම වදන් දියණියට ඉමහත් අස්වැසිල්ලක් විය. තමා මුළු හදින්ම ආදරය කරන කඩවසම් පෙනුමැති නගරයේ ගරාජයක වැඩකරන පෙම්වතාට පියාගේ අදහස් පවසා සිටියේ දැඩි බලාපොරොත්තුවකිනි. ඇගේ පියාගේ කතාව අසා බලවත් කලබලයට පත් සුනිමල් ඇයට ඒ බවක් නොපෙන්වා මඟුල හබක් වෙන බව සිතා හෙට හවස හමු වූ පසු උත්තරයක් දෙන බව පවසා නවාතැන බලා තම යතුරු පැදියෙන් ඉගිලී ගියේය. මේ හැටි ඉක්මනට මේ ප‍්‍රශ්නය නගින බවක් හීනෙකින්වත් නොසිතූ සුනිමල් හරිහැටි නින්දක් කෑමක් නොලැබ කල්පනා කළේ හවස පෙම්වතියට දෙන පිළිතුර ගැනය. ඇය සමග හෝටල් ගානේ ලැගුම්හල්වල නිවාඩු දමා රවුම් ගසන විට මේ කිසිවක් ඔහුට මතකයට ආවේ නැත. අවසානයේ කෙල්ල රැගෙන ඈත දුෂ්කර පෙදෙසක වූ තම ගමට යාමට තීරණය කළ සුනිමල් පසුදා පුරුදු රැකියාවට ගියේය. තමා පණ මෙන් ආදරය කළ පෙම්වතාට තම විවාහය සිදු කිරීම සඳහා පියා හමුවිය යුතු බව පැවසුව මොහොතේ පෙම්වතා හරිහමන් පිළිතුරක් නොදී පස්සේ කියන්නම් යනුවෙන් පැවසීම ගැන ශ්‍රියානිටද බලවත් කුකුසක් ඔහු කෙරේ ඇතිවිය. එදින සවස් යාමයේ වෙනදා හමුවෙන සුපුරුදු තැන දෙදෙනා හමුවූ විට දී සුනිමල් පෙම්වතියට පැවසුවේ මම ඔයාව පණ වගේ රැකගන්නම්. අපේ ගෙදර යමු ඔයාගේ රන්රිදී බඩු සමග මිල මුදලුත් රැුගෙන එන්න මම එක්ක යන්නම් කියාය. ඔහුගේ බසට අවනත වීම හැර වෙනත් කෙනෙක් හා දීග කෑමට හැකියාවක් ඇයට නොවිණි. ඇය තම පියාට තමන් පෙම්වතා සමග යන බවත් ඒ නිසා සොයන්නට වෙහෙස නොගන්නා ලෙසටත් දන්වා ලිපියක් තබා තම රන්බඩු හා මුදල් ද රැගෙන රැකියාවට යන බව පවසා පලා ගියාය. සැතැපුම් සිය ගණනක් මග ගෙවා පෙම්වතාගේ නිවසට ළගාවෙන විට අඳුර වැටී තිබුණි. පෙම්වතාගේ මව යයි සිතිය හැකි කාන්තාවක් ඉදිරියට පැමිණ මොකද යකෝ මහ රෑ ගෑනියෙකුත් එක්ක, උඹේ කලින් කසාදේ නඩුවවත් තවම ඉවරයක් නැතුව යනුවෙන් පැවසූ විට ශ්‍රියානිට පෙම්වතාගේ පැටිකිරිය ගැන මනාව අවබෝධ විය. උතුර දකුණ පවා අමතක විය. බියපත් වූ ශ්‍රියාණි අඳුරේම ආ මගම ආපසු හැරී දුවන්නට වූවාය. අඩිපාර ඔස්සේ දිවගිය ඇය මහමගට වැටී දිවගොස් අසල තිබූ වැවකට පැන සියදිවි නසා ගත්තේ කළ හැකි වෙනත් විකල්පයක් නොවූ නිසාය. අඳුර තදින් පැවති බැවින් සුනිමල්ට තම පෙම්වතිය ගිය ඉසව්වවක් සොයාගත නොහැකි විය. පසුදා උදේ කාන්තා මළ සිරුරක් වැවේ පාවෙන බව දුටු අවට වැසියන් නීතියේ බලධරයන්ට දැන්වූ පසු සියල්ල හෙළිදරව් වීමට වැඩිවේලාවක් ගියේ නැත. ශ්‍රියානිගේ අත්බෑගය හැඳුනුම්පත දුරකථන අංක රන්රිදී බඩු හා මිල මුදල් එලෙසම තිබුණි. දියණියට අනතුරක් වහාම රෝහලට එන්න යනුවෙන් දුරබැහැර වූ රෝහලකින් පියාට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. වහාම කුලී රථයක් රැගෙන සැතැපුම් ගණනක් මග ගෙවා රෝහල කරා එන විට පෙරහැර ගොස් හමාර වී තිබුණි. පෙම්වතා සිර අඩස්සියේ පසු වූ අතර ශ්‍රියාණිගේ මෘත දේහය රෝහලේ මිනී කාමරයේ දක්නට ලැබුණි. තම දෙගුරුන්ගේ කීම තඹ සතේකට පවා ගණනකට නොගෙන හදිසි තීරණ ගැනීමෙන් ශ්‍රියාණිට අකාලයේ දිවියෙන් සමුගැනීමට සිදුවූයේ තරුණ පරපුරට අගනා පාඩමක් කියා දෙමිනි.

 


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්