IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දේශපාලකයන් අගාධයට තල්ලුකරන භූතානය

වළපල්ලට ගිය රටවල්

භූතානයේ දරිද්‍රතාවය

 

ඇතැම් ​නොදියුණු රටවල පාලකයින් හැසිරෙන්නේ බූරුවා කුට්ටමේ ඉන්න ජෝකර්ලා වගේය. ඔවුන් අනුගමන ය කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමේ ක්‍රමවේදයකි. ඔවුන්ට ඇත්තේ ඔළමොට්ටල ඔළු ගෙඩිය. ඈනුමක් ඇරීම පවා බොහෝ ඵලදායි ආයෝජනයක් බව ඔවුහු සලකති. ජනතාව පවරාදුන් බලය රන් ආකාරයකට වඩා වටිනා බව ඔව්හු දනිති. රාජ්‍ය බලය කියන්නේ ආපසු බාරදිය යුතු එකක් බව මොවුහු නොසලකති. මේ අය හැසිරෙන්නේ මැජික් ඔස්තාර්ලා වගේය. විරුද්ධවාදීන් හතර ගාතේ වැටෙන තෙක් හතර අතට කඩුව වැනීමට මේ පාලකයෝ දක්ෂය.


බොහෝ රටවල අලුත් ආණ්ඩු බිහිවෙනවා කියන්නේ පරණ ඇන්ජිමට අලුත් බොඩියක් දැමීමයි. ඉන් රටක වෙනසක් සිදුවෙන්නේ නැත. එවැනි රටවල සිදුවන්නේ දේශපාලන කස්තිරම්ය. නූල් සූත්තරය. රිදිලා, බිඳිලා, කැඩිලා, තැළිලා ​​පොඩිවෙලා තිබෙන ජනතා සිත් සතන් සුවපත් කිරීම මෙවැනි රාජ්‍යයන්හි දේශපාලකයින්ගේ අරමුණ නොවේ. කාබාසිනියා වෙන්නේ මෙවැනි දේශපාළුවන් ඉන්න රටවල්ය.


ගරාවැටුන රජ දහන


අද මෙම තීරයෙන් හඳුන්වා දෙන්නේ ප්‍රපාතයට ඇදවැටුණු ආසියාවේ ඇති කුඩාම රාජ්‍යයකි. ගරාවැටුණු රජ දහනකි. භූතානය (BHUTAN) නමින් හඳුන්වන මෙම දේශය දකුණු අප්‍රිකාවේ බොහෝ රටවල් මෙන් නරකාදියක් නොවේ. එය කඳුහෙල් වන ළැහැබ් ගිරිදුර්ග දිය ඇලි වලින් සමන්විත සුන්දර වාස භූමියකි. එහෙත් මෙහි වැඩි දෙනා ගෙවා දමන්නේ සුන්දර ජීවිත​ නොවේ. මෙයත් දරිද්‍රතාවයෙන් විරැකියාවෙන් අසහනයෙන් පෙළෙන වැඩිදෙනකුගෙන් යුතු රටකි. ඉන්දියාව, චීනය, ටිබෙටය ආදී රටවලට මැදිව පිහිටි භූතානය කිසිදු ප්‍රගතියක් නැතිව ඉදිරියට ඇදෙන්නේ ඉබි ගමනිනි. මෙහි සියල්ල සිදුවෙන්නේ රජ පවුලේ අභිමතය පරිදිය. මුළු ජනගහණයෙන් තුනෙන් දෙකක් බෞද්ධයින්ය. ඉතිරි කොටස හින්දු භක්තිකයින්ය. හිමාලය කන්ද සිසාරා හමා එන සිහිල් සුළං රැලි වලින්වත් මෙහි ජනතාවට සැනසුමක් ලැබෙන්නේ නැත. ඉන් ඔවුන්ගේ පීඩනය, දරිද්‍රතාව මගහැරී යන්නේ නැත. ඔව්හු වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියා පාන පුරවැසියන්ය. ඒත් මේ ඉතිහාසය කන්නද?


ඉන්දියාව සහ චීනයට යට වුණ භූතානය


කොටින්ම කියනවා නම් ඉන්දියාව හා චීනය නමැති බලගතු රටවල් දෙකකට මැදි වූ භූතානය - ලොව තවත් අසමත් රාජ්‍යයකි. චීන කොමියුනිස්ට් බලවේග හමුවෙහි අභියෝග රැසකට මුහුණ දී ඇති භූතානය ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම අතින් නම් නමක් දිනාගෙන සිටී. රටේ සිදුවූ විවිධ දේශපාලන අර්බුද හේතු කොටගෙන නේපාලයට සහ ටිබෙට් රටට ගොස් එහි අනාථ කඳවුරුවල කඳුළු බොමින් දිවි ගෙවන 1,07000 කට වැඩි පිරිසකට සහ වෙනත් රටවලට ගිය 60,000 කට වැඩි පුරවැසියන්ට යළි භූතානයට පැමිණීම සඳහා පාස්පෝර්ට් සහ පුද්ගල හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම භූතානයේ රජය සිදුකළ අමානුෂික ක්‍රියාවක් බව කියනු ලැබේ.


වර්ග කි.මී. 38,394ක් හෙවත් ව.සැ. 18,824ක් විශාල අට ලක්ෂයකට ආසන්න (797765) ජනගහනයකින් සමන්විතය. රටේ ප්‍රධානියා රජු වුවත් එහි පවතින්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකි. ලංකාවේ නම් පසුගිය වසර 70 තුළදී විටින් විට බලයට ආවේ කොළ හා නිල් පාට දේශපාලන පක්ෂයි. භූතානයේ නම් රාජ්‍ය බලය හිමිකරගන්නේ නිල් හා රතු දේශපාලන පක්ෂ දෙකයි. මේ පක්ෂ දෙක හඳුන්වන්නේ බීපීපීපී (BPPP) සහ පී.ඩී.පී. (PDP) යනුවෙනි. ලංකාවේ කොටි කල්ලිය සමග ශ්‍රී ලංකා රජය ප්‍රථම සාම සාකච්ඡා පැවැත්වූවේද මෙහි අගනුවර වූ තිම්පු නගරයේය.


මකර කට


මෙය මේ දක්වා දුම්රිය සේවයක් නැති රටකි. 1960 වර්ෂයේ මෙහි ජනගහණය 2,24,000 කි. මේ දක්වා එහි ජනගහණය 8,00,000 දක්වා වර්ධනය වී ඇත. ජනගහණය මෙසේ වර්ධනය වීම භූතානය වැනි කුඩා රටකට ඔරොත්තු දෙන්නේ නැත. බොහෝ රටවල් ප්‍රපාතයට ඇදවැටීමේ මූලික හේතුව මෙසේ ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීමයි. මෙතරම් කුඩා රටක දිස්ත්‍රික්ක 20ක් ඇත. එම දිස්ත්‍රික්කවල නගර සභා, ගම්සභා, ප්‍රාදේශීය සභා ඇත. ඒවාට නියෝජිතයින් තෝරා ගන්නේ ඡන්දයෙනි. මෙසේ පත්වන දේශපාලකයින් නඩත්තු කිරීමට ජාතික ධනයෙන් වැඩි කොටසක් වැය කෙරේ. හරියට ලංකාව වගේය. රට එක තැනම පල් වීමට මෙය මූලික හේතුවකි.


හාල්, මිරිස්, බාර්ලි, ඇපල්, පරිප්පු, දොඩම් නිපදවන තඹ හා ගල් අඟුරු අාකරවලින් යුත්, භූතානය බල ලෝභී දේශපාලකයින් විසින් විනාශ කළ රාජ්‍යයකි. සිමෙන්ති නිෂ්පාදනයද සාර්ථකව සිදු වූ විවිධ ඛනිජ ද්‍රව්‍යවලින් යුත් මේ රට පුරා දක්නට ඇත්තේ මකර ලාංඡනයයි. රජුට කියන්නේ ඩ්‍රැගන් කිංග් (DRAGON KING) මකර රජු යනුවෙනි. රට මකර කටට ඇද වැටී තිබෙද්දී රජ පවුලට හා දේශපාලකයින්ට රජ සැපය.


ආසියානු සංවර්ධන බැංකුව මගින් රටේ සංවර්ධනය සඳහා ලබාදුන් ඩොලර් මිලියන 7.13 ණය මුදලක් මේ රටේ දේශපාලකයන් විසින් ගසා කෑ අයුරු හෙළි කරන ලද්දේ එම බැංකුව විසින්මය. ඉන්දියාවේ මහ මගදී සොරකම් කළ දේශපාලකයින් පිරිසකට ජනතාව පහර දී ඇඳුම් ගලවා දැමූහ. යුක්‍රේනයේ හොර තක්කඩි දේශපාළුවෙකු ජනතාව විසින් මහ මග කුණු බක්කියකට දමනු ලැබිණ. භූතානයේ ජනතාව නම් එරට දූෂිත දේශපාළුවන්ට එවැනි පාඩමක් මෙතෙක් උගන්වා නැත.


දේශපාලකයින්ගේ හිටි පිනුම් සහ බැංකු ගිණුම්


රාජ්‍ය දේපොළ පවුලේ ඥාතීන් හා හිතවතුන් අතරේ බෙදා දෙන දූෂණයට භීෂණයට මුල්තැන දෙන ලොව බොහෝ රටවල දේශපාලකයින්ගේ ඔළු ගෙඩිවලට කුළු ගෙඩිවලින් පහරදිය යුතු බව මධ්‍යස්ථ මතධාරීන්ගේ මතයයි. ජනතාවගේ බැංකු මායිම් නොකර, හිටි පිනුම් ගහන මෙවැනි දේශපාලකයින් තම බැංකු ගිණුම් පුරවා ගන්නේ කිසිදු හිරිකිතයකින් තොරවමය. ඔව්හු හොඳට සෙල්ලම් දනිති. සෙල්ලම දන්නා කෙනාට පිට්ටනිය අදාළ නැත. මේ කියමන් සියල්ල භූතානයටද අදාළය.


රටේ මුළු භූ ප්‍රමාණයෙන් සියයට 60ක් ඝන වනාන්තර ය. මුළු ජනගගහණයෙන් තුනෙන් එකක් (1/3) දරිද්‍රතාවයෙන් පෙළෙති. ජනගහණයෙන් සියයට 49ක් දිවි ගෙවන්නේ කැලෑබද ගම්මානවලය. මේ බොහෝ ගම්මානවලට විදුලිය, සෞඛ්‍යය, ජලය, ගමනාගමන, අධ්‍යාපන පහසුකම් නැත. වැඩි දෙනාගේ දෛනික ආදායම ඩොලර් 1.90 කට අඩුය. සෑම ළදරු උපත් 1000 කට ළදරුවන් 32 ක් උපතේදීම මියයන බව කියනු ලැබේ. ජනගහණයේ සියයට 47ක් කිසිදු අධ්‍යාපනයක් නොලැබූ නූගතුන්ය. දිය ඇලි ගංගා ඇළ දොළ රට පුරා ඇතත්, මෙහි කෘෂිකර්මාන්තය නැංවීමට රජය නිසි පියවර ගෙන නැත.


මේ රටේ ගොවීන් දෛනික වැටුපට කුඹුරුවල, කම්හල්වල වැඩ කරන දුප්පතුන් ළමා ශ්‍රමිකයින් පාරක් ගානේ විවිධ දේ වෙළඳාම් කරන අසරණයින් සැතපුම් ගණන් පයින් පාසල් යන ළමයින්, දකින විට හදවතට දැනෙන්නේ ශෝකයකි. සංතාපයකි. ගංවතුර උවදුර හා නායයාම් රටට නිරන්තරයෙන් සිදුවන ස්වභාවික විපත්ය.


භූතානයේ රජු ජිග්මේ කේපාර් වැන්ග් චක්ය. තම පිය රජුගේ මරණයෙන් පසු ඔහුට සිහසුන හිමිවුණේ 2005 නොවැ. 5 දාය. අගමැති දාපෝ ෂේරින් වැන්ග්චක්ය. මොවුන්ගේ පාලන තන්ත්‍රයෙහි වැජඹෙන බොහෝ දෙනා රජ වැඩකාරයින්ය. ඔවුන්ගේ කියුම් කෙරුම් තුළින් රටට සිදුවී ඇත්තේ වින්නැහියකි. මෙය භූතානයේ ඇතුළු පැත්තෙන් බිඳක් පමණකි.


භූතානයේත් නඩු වාෂ්ප වෙන හැටි


ප්‍රවාහන, කැනීම් (තඹ හා ගල් අඟුරු ආකර) දැව ජාවාරම් සංචාරක ව්‍යාපාරය හා ඉදිකිරීම් ආදී කේෂත්‍ර රජ පවුලේ හා දේශපාලකයින්ගේ පවුල්වල ඥාතීන් විසින් මෙහෙයවීම භූතානය අගාධයට තල්ලු වීමට තවත් හේතුවකි. නීතිය රකින පොලිස් සේවයක් මෙහි පවතින බව කිව යුතුය. එමෙන්ම දකුණු අප්‍රිකාවේ විවිධ දූෂිත රටවලට වඩා භූතානය ඉදිරියෙන් සිටින බවද කිව යුතුය. ඊට මූලික හේතුව මෙහිද අවංක දේශපාලකයින් සුළු පිරිසක් සිටින නිසාය. මෙහි දූෂිත රජයක් පරදා තවත් දූෂිත ආණ්ඩුවක් බලයට පත් වී ඇතැයි කියන්නේ ඇමිනස්ට් ඉන්ටර්නැෂනල් ආයතනයයි.


භූතානයේ වැඩිපුරම සිටින්නේ තඹ හා ගල් අඟුරු ආකරවලින් ගසා කෑ දේශපාළුවන්ය. මෙහි හිටපු විදේශ ඇමැති දවා සේරින්ග් දූෂිතම දේශපාලකයෙකු බව කියන්නේ විදේශ ජනමාධ්‍යයන්ය. ඔහු අනියම් සබඳතා පැවැත් වූ කාන්තාවන් රාශියක් විදේශවල ඇති භූතානයේ තානාපති කාර්යාලවල ඉහළ තනතුරුවලට පත්කළේය. රජයේ මුදල් සොරකම් කොට විදේශ බැංකුවල තැන්පත් කළේය.


දඬුවම් ලැබීමට පෙර ඔහු රටින් පැන ගියේය.


හිටපු අගමැතිගේ ඉඩම් කොල්ලය


හිටපු කතානායකවරයාට සහ ස්වදේශ ඇමැතිවරයාට එරෙහිව දූෂිත චෝදනා එල්ල විය. ඔවුන්ට සොරකම් කළ මුදල් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය. සොච්චම් මුදලක් ගෙවා පාලකයින්ගේ උදව්වෙන් ඔව්හු රටින් පැන ගත්හ. මේ රටේද කම්බා හොරුන් වූ බඩගෝස්තරවාදී දේශපාළුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. භූතානයේ ද නීතිය හරහට හිටින්නේ නැති බැරි අයට එරෙහිවය. අසරණයින්ට එරෙහිවය. භූතානයේද හැටි එහෙමය. භූතානයේ හිටපු අගමැතිවරයාට එරෙහිව එල්ල වූ තිම්පු අගනුවර අක්කර 10 යේ ඉඩම් කොල්ලයද යට ගියේ ආසියාවේ අනිත් රටවල නඩු වාෂ්ප වෙන විදියටමය.

 

 

සිරී හීන්පැල්ල
නිව්යෝර්ක් නුවර සිට ලියයි

 



අදහස් (0)

දේශපාලකයන් අගාධයට තල්ලුකරන භූතානය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31249 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13426 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site