ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

පොලුවලින් තළා ඌරන් මැරූ පාපය තමන්ටම පලදෙයි. 

 
මීට වසර තිස්පහකට පෙර මධ්‍යම පළාත් කුඩා නගරයකට ආසන්න ගම්මානයක පවුල් විස්සක් පමණ පදිංචිව සිටියහ. මොවුන් දිවි ගෙවූයේ ගොවිතැන් කිරීමෙන් හා වතුවල පොල්, පුවක්, බුලත්, කොස්, දෙල්, කෙසෙල්, දොඩම් ආදිය නගරයට ගෙන ගොස් විකිණීමෙනි. පිට ගමකින් පැමිණ ගමේ තරුණියක් ආවාහ කර ගෙන එහි පදිංචි වූ තිසේරා නමැති අයට ගොවිතැන් කිරීමට හුරු පුරුද්දක් තිබුණේ නැත. මේ නිසා ඔහු ඌරු ජෝඩු දෙකක් ගෙනවිත් වත්තේ කොටසක ගොවිපළක් පටන් ගත්තේය. අවුරුද්දක් පමණ ගත වන විට එහි ඌරන් විසිපහක් තිහක් සිටින තරමට දියුණු විය.   


නගරයේ මාළු මාර්කට් එකෙහි ඌරු මස් කඩයක්ද තිබුණ නිසා තිසේරා එහි අයිතිකරු සමග කතා කරගෙන තම කොටුවේ ඌරු මස් එම කඩයට දීමට ක්‍රමයක් සකස් කරගත්තේය. ඒ අනුව කඩ හිමියා ඌරෙකු අවශ්‍ය දිනට පෙර දින තිසේරාට දැන්වූ විට ඔහු ඌරෙකු මරා තබන අතර කඩ හිමියා පැමිණ මුදල් ගෙවා ඌරා රැගෙන යාම සිදුවිය. බරට නොව පෙනුමට අනුව මුදල් ගනුදෙනු සිදු වූ නිසා තිසේරා ඌරන් මරාදුන්නේ කෙට්ටු ඌරෙකු වුවත් හොඳ තරබාරු පෙනුමක් ඇති ඌරෙකු ලෙසටය. තිසේරා ඌරු කොටුවේ එක මුල්ලක් කොටුකර ඌරන් මරන ස්ථානයක් ලෙස සකස් කරගෙන තිබුණේය. ඌරෙකු ඒ තුළට ගෙන සිටවා ඇති කණුවක බැඳ පාද හතර එකට ගැටගසා බිම පෙරළා මරහඬ දෙද්දී පොල්ලකින් මුළු ඇඟම තළන්නේය. සවස් කාලයේ එසේ තළා බැඳ තබන ඌරා පාන්දර මරණ විට ඉදිමී මහත් වී සිටී. හොඳ පෙනුමක් ඇති ඌරුකුණ වැඩිගාණකට ඔහු විකුණා ගන්නේය.   


මෙම ව්‍යාපාරය පටන්ගෙන සුළු කාලයකදීම තිසේරා නින්දට ගිය පසු කෙඳිරි ගාමින් ඇඳේ එ් මේ අතට පෙරළි පෙරළී සිටීමටත් නින්ද ගිය පසු හීනෙන් බය වී බුදු අම්මෝ මාව මරන්න එපෝ ආදී වශයෙන් විලාප නගමින් ඇඳෙන් බිමට පැනීමටත් සමහර විට ඇඳෙන් බිමට වැටී දඟලමින් ඌරෙකු මෙන් ගෙරවීමටත් පටන් ගත්තේය. මේ ආකාරයට සිහින පෙනීම හැරුණ කොට තිසේරාට වෙනත් කිසිම අසනීපයක් හෝ කරදරයක් තිබුණේ නැත.   


මේ ආකාරයට තිසේරා සිහිනෙන් බයවීම ගැන කල්පනා කළ ඔහුගේ බිරිඳ හා නෑදෑයින් ඔහු සමග කතා කොට කොටුවේ සිටි ඌරු රංචුව විකුණා දමනු ලැබීය. එහෙත් ඔහුගේ සිහින චරියාවේ වෙනසක් ඇතිවූයේ නැත. මේ නිසා ඈත ගමක සිටි ප්‍රසිද්ධ යකදුරෙකු සොයා ගොස් සියලු විස්තර ඔහු සමග පවසා මෙම සිහිනෙන් බයවීම නැති කිරීමට කුමක් කළ යුතු දැයි විමසීය.   


ඔවුන්ගේ කීමට හොඳට සවන් දුන් යකැදුරා මෙය යක්ෂ දෝෂයක් නිසා සිදුවන බවත් තොයිලයක් නැටීමෙන් එම දෝෂය ඉවත් කළ යුතු බවත් පැවසීය. ඒ අනුව යකැදුරා තොයිලයක් නැටීය. දින තුන හතරක් ගතවන විට තිසේරාගේ සිහිනෙන් බයවීම තවත් වැඩි විය. මේ නිසා ඔවුන් දන්නා කියන යකැදුරන් මන්ත්‍ර කරුවන් හමු වී ඔවුහු ලවා බලි තොවිල් නූල් බැඳිලි රාශියක් කරනු ලැබීය. මේ වනවිට තිසේරාට වෙනත් රෝගාබාධ පවා මතුවන්නට විය.   


කෙසේ හෝ තිසේරා පවුලේ අයත් අසල්වාසීන්ද තිසේරා වෙනුවෙන් දන්න දන්න හැම වෙද හෙදකමක්ම කරවීය. දේවාලවලට ගියහ. බාර හාර වූහ. පල්ලිවලට ගියහ. දෙන ලද හැම උපදේශයක්ම අනුව කටයුතු කළහ. ඒත් තිසේරාට තව තවත් විවිධ රෝග මතුවීම හා ඌරු රංචුව විකුණා ගත් මුදල් අවසන් වීම හැර ඔහුට ලැබුණ සුවයක් නැත.   


මේ වනවිට ඔහුගේ හන්දි ඉදිමීමත් ඇඟෙහි සුදුමැළි ගතියක් ඇති වී තිබුණි. අන්තිමේ දී තිසේරා රජයේ රෝහලට ගෙන ගොස් එහි නතර කරනු ලැබීය. රෝහලේදී තිසේරාට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට හා හෙද හෙදියන්ටද විවිධ ගැටලු ඇතිවන්නට විය. රෝග විනිශ්චයන් සඳහා ලේ මුත්‍රා ලබාගැනීමට අපහසු වීම, ඇඳෙන් බිමට පැන ඌරෙකු මෙන් හැසිරීම හා ගෙරවීම බීමට දෙන බෙහෙත් පෙති සපාකෑමට පටන් ගැනීම නිසා ඔහු ඇඳට බැඳ තැබීමට පවා සිදුවිය.   


මේ ආකාරයට ඔහු රෝහලේ ගත කළේ දින පහකි. මෙලොව හැර ගියේය.   


තිසේරාගේ මරණය සිදුවී දින හත අටකට පමණ පසු පවුලේ අය හා අසල් වාසීන් තිසේරා ගැන කතා කරමින් සිටි වේලාවක එහි සිටි අසල්වැසි නිවසක ළමයෙකු මං දවසක් ඇහැව්වා මාමේ මස්කඩේ මුදලාලි ගෙනියන ලොකු ඌරෝ මරන්නේ කොහොමද කියලා. මාමා මට කිව්වා කණුවේ බැඳලා  කකුල් හතර එකට ගැට ගහලා බිම පෙරළලා පොල්ලකින් පාරවල් හත අටක් දීලා උදේට ඇවිත් පොලු පාරවල් දෙක තුනක් දුන්නම ඉවරයි කියලා. කීවේය.   


ළමයා කී මේ කතාව තිසේරාගේ බිරිඳවත් වෙනත් කවුරුවත් නොදැන සිටි කතාවෙකි.   


රටට සමාජයට වසන් කොට මෙවැනි පාපකර්ම කවුරුන් සිදුකළත් මේ ආත්මයේදීම එහි විපාක විඳවීමට ස්වභාවධර්මයෙන්ම සිදුකරන බව මෙයින් පැහැදිලි නොවන්නේද?

 



අලව්වේ රාගල ජී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවකි.   

දවල් මිගෙල් රෑ දනියෙල්ට අත්වූ ඉරණම 

 
දශක දෙකකට පෙර පිටිසර ගමක හැදුණු වැඩුණු සුදු මහත්තයා ගොඩ මඩ ඉඩම් හිමියෙකි. ඔහු සතු විශාලතම ඉඩම අක්කර තිහක් පමණ විය. එහි ප්‍රධාන වැවිල්ල වූයේ පොල්ය. පොල් ත්‍රිකෝණයට අයත් වත්තෙහි කානු කපා කැලෑ එළිපෙහෙළි කර පොහොර යොදා තිබූ හෙයින් පිරිසිදුව හා සශ්‍රීකව පැවතුනි. කිරි ගවයින් රංචුවක්ද ගොන් බානක්ද වත්තේ සිටියහ. බර කරත්තයක් ද මුර ගෙට යා කළ පියස්සක් යට නවතා තිබුණි. මුර ගෙය තනා තිබුණේ මුරකරුවෙකු හෝ මුර පවුලක් පදිංචි කරවීමටය. මුරකරුගේ හොර මැරකම් නිසා ඉඩම් හිමියා විසින් සමහරු ඉවත් කරනු ලැබූහ. මේ වනවිටත් මුර පවුලක් අස් වී ගොස් මුරගෙය හිස්ව පැවතුණි. මුරකරුවෙකුගේ අවශ්‍යතාව සුදුමහත්තයාට තදින් දැනුණි. මුරකරුවෙකුගේ සේවය අවශ්‍ය යැයි යනුවෙන් දැන්වීමක් වත්තේ ගේට්ටුවේ එල්ලන ලදී. එය ඇසූ දුටු කීපදෙනෙක් පැමිණ ඔහු මුණගැසුණේය. තවත් පුද්ගලයෙක් ඉතා ආචාරශීලීව බොහොම යටහත් පහත් භාවයෙන් සුදුමහත්තයා ඉදිරියේ පෙනීසිටියේය. ඔහු කෙරෙහි පැහැදුණු සුදුමහත්තයා වත්තේ මායිම් පෙන්වා උපදෙස් දී මුරගෙයි යතුර භාර දුන්නේ ආරක්ෂිත ගිනිඅවියක්ද සමගිනි. සුදු මහත්තයා මුරකරු හැඳින්වූයේ මිගෙල් යනුවෙනි. 

 
මිගෙල්ට සැන්දෑයාමයේ මත්වතුර ටිකක්ද සෑම කෑම වේලකටම දඩමසක්ද අනිවාර්ය විය. වත්ත රැකබලා ගැනීමට දුන් ගිනිඅවිය රැගෙන දිනපතා වත්තට එන හාවුන්, ඉත්තෑවුන්, මීමින්නන්, වල් ඌරන්, කලවැද්දන් මරාගෙන කෑමට මිගෙල් පුරුදු විය.   


සුදුමහත්තයා පොල්වත්තට පැමිණියේ සති දෙක තුනකට වරකි. එසේම පොල් පැසුණු පසු මුරය කැඩීමට එන්නේ මිගෙල්ගේ දැනුම් දීමෙන් පසුවය. වතුවල මුර වැඩ කර පුරුදු මොහු මීට පෙර සිටි වතුවලින්ද ඉවත් වීමට සිදු වී තිබුණේ ඔහුට තිබූ කල දුටු කල වළ ඉහ ගැනීමේ ගතිය නිසාය. 

 
පොල් පැසුණු පසු සුදුමහත්තයා ඒමට පෙර මිගෙල් රාත්‍රියේ පොල් කඩා කතා කරගත් පොල් මුදලාලිට විකිණීම කළේය. පැටව් දමද්දී විටින් විට ලොකු ගවයින් මසට විකුණුවේය. කළ පව් පලදෙන බව නොදත් මිගෙල්ට වැඩි කල් නොගොස් නිමිති පහළ වන්න විය.   


දිනක් පොල් කඩද්දී ගසකින් වැටී කොන්ද කැඩී කලක් ප්‍රතිකාර කරමින් දුක් වින්දේය. එක් රාත්‍රියක කරත්තය අදින ගොනෙකු කඹය කඩා ගෙන අවුත් මිගෙල්ට ඇන්නේය. දිගු කලක් රෝහලේ දුක් විඳ පැමිණියත් සොරකම නතර කළේ නැත.   


වීදාගම වෙහෙරෙහි මෙත් තෙරිඳු කල ලෝවැඩ සඟරාවේ එන මේ කවද ඊටම ගැලපෙයි. 

 
බලයෙන් වත් කිසියම් සොර සිතකින්   
සියතින් වත් දැන් වූ උපදෙසකින්   
පරසන්තක දෙය ගත් සොරකමකින්   
නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්   


ඊළඟ පොල් මුරය කැඩීමට කාලය උදාවිය. මිගෙල් රාත්‍රියේ පොල් කැඩීය. රාත්‍රීයේම පොල් මුදලාලි ගෙන්වා පොල් ලොරියක් පටවා යැවීය. පසු දින උදේ මිගෙල් පොල් මුදලාලි සොයා ගියේය. අතක් බරට මුදල් ගොන්නක් රැගෙන අති මහත් සතුටින් පාරට බැස්සේය. කෙළින්ම ගියේ රට බීම යැයි ලියා තිබූ තැනටය. එතනින් යමක් පානය කර පාරට බැස්සේය. මිගෙල් පාරේ ඒමේ අත යයි. දෙපා පැටලෙයි. ඔහු පාර මැදට විසි වී යැවුණි. පිටුපසින් වේගයෙන් පැමිණි ලොරියට මිගෙල් යට විය. අසල්වාසීන් මැදිහත්ව මිගෙල් රෝහල් ගත කෙරිණි.   


දරුණු ලෙස ඇටකටු බිඳී තිබුණත් මිගෙල් එකෙණෙහිම මළේ නැත. මොහු ඔත්පොළව එක්තැන් වී බොහෝ සේ බොහෝ කලක් කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව අන්ත අසරණව කැත කුණු ගොඩක දුක්විඳ අකාලයේ මිය පරලොව ගියේ කළ පව්කම් මෙලොවදීම පලදීමෙනි.   



මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.   

සලෙලුන් පිනවූ සුද්දී මරුට වසඟ වූවාය. 

 
ගමේ ඉපිද ගමේ අධ්‍යාපනය ලැබූ සුමනා කෙළිලොල් වයසේ සිටියදීම දඟකාර දඩබ්බර එකියක වූවාය. පෙම් හබයක් නිසා හරිහමන් ඉගෙනීමක් නොමැති වූ සුමනාගේ ජීවිතයට කණකොකා හඬන්නට පටන් ගත්තේ ඉන් පසුවය. සුළු රැකියාවක් හෝ කර කියාගෙන  මාපියන්ට බරක් නොවී සිටීමට අදිටන් කරගත් ඇය හිතවතෙකුගේ මගින් නගරයේ වෙළෙඳායතනයක සේවිකාවක ලෙස සේවයට ගියාය. වරක් බැලූ අයෙක් තව වරක් හැරී බලන අන්දමේ රූ සිරියක් ඇය සතුව තිබූ බැවින් සුද්දී යන සුරතල් නමින් ගමේ කා අතරත් පාහේ ඇය හැඳින්විණි. 


උදේ හවා සතිය පුරා රැකියාව සඳහා නගරයට යන සුද්දී පසුපස තරුණයන් ඇදී ආවේ මලට බඹරුන් ඇදෙන්නාක් මෙනි. දුර බැහැර ගමකින් නගරයට පැමිණ නවාතැන් පොළක නතර වී රැකියාව සඳහා යතුරු පැදියෙන් වැඩපොළට යන බන්දුසේනට ඇය හා හාදවීමට වැඩි දොහක් ගියේ නැත. දුරදිග නොබලා තරුණ තරුණියන් පෙම් සබඳතා පැවැත්වීම අති භයානක විපත්වලට මූලික හේතුවකි. නොදන්නාකමට සිටියත් දැනගෙනත් නොදන්නා ලෙස කරබාගෙන සිටියත් වෙන දෙයක් වෙද්දෙන් මොනවා කරන්නද? කියා නිහඬ වූවත් එය ඉර සඳ මෙන් සත්‍ය කරුණක් වෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. දැනට ඉතා සාර්ථක ලෙස පෙම්වතිය මුළාකරමින් බන්දු ඇය හා හෝටල් ගානේ පවා ගොස් වැඩ වරද්දා ගෙන හමාරය. මේ යුවලගේ පෙම්හබය දැනගත් සුද්දිගේ දෙගුරුන් පැවසුවේ වහාම විවාහ වී දෙදෙනා එකතුව වෙනම ජීවත් විය යුතු බවයි. සුද්දී බන්දුට මේ අදහස පැවැසූ සැණෙන් මේ හැටි ඉක්මනින් මෙම ප්‍රශ්නය පැන නැගෙන බව නොසිතූ බන්දු හිස ගිනි ගත්තෙකු සේ මහත් කලබලයට පත්වුණත් ඒ බවක් තම පෙම්වතියට නොපෙන්වා හා බලමු පණේ යයි පවසා නවාතැන වෙත පැමිණියේය. රාත්‍රී කෑමක් පවා නොගෙන නිදිවරමින් කල්පනා කළ බන්දුට තිබුණ එකම විකල්පය ගමට පැන යෑම පමණකි. වටින් ගොඩින් එළිය වැටීමට පෙර ඔහුගේ ඇඳුම් කැඩුම්ද රැගෙන පැදුරටත් නොකියා පලායෑමට ඔහු සමත් විය. දින දෙක තුනක් ගතවුණත් බන්දු නොදැකීම නිසා ඔහු ගැන විපරම් කර බැලීමේදී පෙම්වතා රැකියාව හැර දමාගොස් ඇති බව දැනගැනීමට ලැබුණි. නන්නත්තාරේ එන කොල්ලන්ට බහ දීමෙන් තමා ජීවිතයම කාලකන්නි කර ගත් බව සුද්දිට වැටහෙන විට පෙරහර ගොස් හමාර වී තිබුණි. ඉන්පසු තරුණයින්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ පවා සම්ච්චලයට ලක්වූ සුද්දී තිර අදිටනින් ජීවිතයට මුහුණ දීමට ඉටාගත්තාය. 
නහයට උඩින් ගියත් ඔළුවට උඩින් ගියත් එකයි සිතූ ඇය තම රැකියාවද හැරපියා කොල්ලන් තරුණයින් හා කාමුක වැඩිහිටියන් සමග අනාචාරයේ යෙදෙමින් ලෝකයේ පැවති පැරණිතම රැකියාවට ඇබ්බැහි වූවාය. උදේ කාලයේ ජැන්ඩියට හැඳ පැලඳගෙන රැකියාවට යන අන්දමට ගෙදරින් පිටව යන ඇය සමහර දිනයන්හි රාත්‍රී කාලයේ නැවත ගෙට එන්නේ මැදියම් යාමයේදීය. ඇතැම්විට ඇය දින දෙක තුන පවා පිරිමින් හා හෝටල් ගානේ රැය පහන් කළාය. ඇගේ මෙම නොසංඩාල ක්‍රියා පිළිබඳව එකහෙළා පිලිකුල් කළ දෙගුරුන් ඉඩක් ලද හැමවිටම ඇයට අවවාද කළත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල විය. සුද්දි සල්ලාල ජීවිතය වැඩිකළා මිස අඩු නොකළාය. 


කාලය ගෙවී ගියේය. සුද්දිගේ පහස ලැබූවන්ගෙන් වැඩි දෙනා බරපතළ ලෙස රෝග පීඩාවලට බඳුන් විය. මල් කැකුළක් මෙන් සිටි සුද්දි ලෙඩ ඇඳට වැටීමට වැඩි දොහක් ගත නොවුණි. ඇඟේ ඇඟ පුර බිබිලි මතුවී ඒවා දොඩම් ගෙඩි තරමට ලොකු මහත්වී සැරව ගලන තුවාල බවට පත්වී ඇඟම එකම වණයක් බවට පත්වීමට ගතවූයේ ඉතා කෙටි කලකි. ඇගේ මව්පියන් ඇයට ප්‍රතිකාර ලබා දුන්නත් එයින් සුවවෙන පාටක් පෙනුණේ නැත. ඇය විසින් මේ ආත්මයේදීම කරගන්නා ලද පරදාර සේවනයේ විපාක පලදී ඇති බව ගමේ වැඩිහිටියන් අතර කතා පැවතුණි. ගමේ හා නගරයේ කාමුක සල්ලාලයන්ගේ ජීවිත විනාශයට පත්කළ සුද්දී අකාලයේ මරු තුරුලට ගියාය.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ.   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්