• ඒ කාලේ අම්මලාට ළමයා හම්බවෙද්දි අධි රුධිරපීඩනය ආවොත් අරක්කු චුට්ටක් බොන්න දෙනවා. ඒ කාලේ වෙන බේතක් තිබුණේ නෑ.

 

 

හිනිදුම්පත්තුවේ ප්‍රථම වින්නඹු මාතාව අවුරුදු අනූහය (96) වියේ පසුවන්නීය. නාගොඩ ගමගේ ලිසී නෝනා නම් වන ඇය 1924 පෙබරවාරි මස 27 වැනි දින හිනිදුම්පත්තුවේ නාගොඩ ගම්මානයේ උපත ලැබුවාය. අදත් නිරෝගී සුවයෙන් පසුවන ඇය තම රාජකාරි කාලය තුළදී දරුවන් දහසකට මෙලොව එළිය දැකීමට උර දුන් මාතාවකි. මේ උදාර මාතාවගේ තොරතුරු සොයා අපි පසුගිය දිනෙක ඇයගේ නිවස පිහිටි නෙළුව දේවාලේගම ගම්මානයට ගියෙමු.


පුතුන් හතර දෙනෙකුගේ මාතාවක් වන අැය දැනට බාලපුතා ඇතුළු දූ දරු මුනුපුරු මිනිබිරියන් සමඟ සුවසේ ජීවිතයේ සැඳෑසමය ගත කරන්නීය.


ලිසීනෝනා මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ගල්හේනගෙදර වෙද මහතා යන නමින් හැඳින්වූ කංකානම් ගමගේ සිරි​සේන මහතා ඒකල ප්‍රදේශයේ දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ප්‍රදේශයට සුවිශේෂී සේවාවක් කළ අයෙකි. ඔහු මීට වසර පහළොවකට පෙරාතුව මියගොස්ය.


1947 වසරේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වින්නඹු සේවිකාවක ලෙස රාජ්‍ය සේවයට එක් වූ ඇය මුල්ම පත්වීම ලැබූ වැලිමඩ කැප්පෙටිපොළ විල්සන්තැන්න පාළුගම ගම්මානයේ වසර තුනක් පමණ සේවය කර අනතුරුව අගලවත්ත බදුරලිය ගුරුළුබැද්ද ගම්මානයේ වසර පහක් පමණ සේවය කර පසුව 1956 වසරේ හිනිදුමපත්තුවේ ප්‍රථම වින්නඹුව ලෙස නෙළුව ප්‍රදේශයට ​සේවයට පැමිණි ඇය 1956 වසරේ සිට 1979 වසර දක්වා වසර 23ක් සේවය කර ඇත්තේ නෙළුව වින්නඹු මාතාව ලෙසය.


1979 වසරේ විශ්‍රාම ලැබූ අතර ඇය දැනට අනූහයවියේ පසුවන අතර නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් ලබන ජ්‍යෙෂ්‍ඨතම විශ්‍රාමිකයා ඇයයි. 1979 වසරේ විශ්‍රාම ලබන විට එකල ඇයගේ විශ්‍රාම වැටුප රුපියල් 232 ශත 36ක මුදලකි. විශ්‍රාම වැටුප් අංක R 222886 යටතේ එදා රුපියල් 232.36ක් වූ විශ්‍රාම වැටුප අද වනවිට රුපියල් 20,000ක විශ්‍රාම වැටුපක් ලැබීමට වාසනාවන්ත වී ඇත.


ඇය දැනට අනූහය (96) වියේ පසුවූවද තවමත් කිසිවකුගේ උදව් උපකාර නොමැතිව තම දෛනික වැඩ කටයුතුවල නිරතවන්නීය. ඇය විවේක සුවයෙන් සිටින විට බණ පොතක් හෝ සති අන්ත පුවත්පත් කියැවීමට රුචියක් දක්වන අතර ඇයගේ රාජකාරි ජීවිතයේ මෙන්ම ඇය ගතකළ අතීත දිවිගමනේ තොරතුරු අද මෙන් මතකයක් ඇයගේ සිත තුල පවතී. ඇය එදා මෙදාතුර කළ රාජකාරි කටයුතු මෙන්ම රාජකාරි කිරීමේදී සිදුවූ රසවත් සිදුවීම් සහ අත්දැකීම් මෙසේ පැවැසුවාය.


මට මේ තනතුර ලැබුණේ 1947 ජනවාරි මස 01 දින මුලින්ම ඉල්ලුම් කළේ ගුරුපත්වීමක් නමුත් එය භාරගත්තේ නැහැ. දෙවනුව ඉල්ලුම් කළේ වින්නඹු පත්වීම මම එය භාරගත්තා. ඒ කාලයේ රැකියාවකට ඉල්ලුම් කළ විට පත්වීම සඳහා මාසයක් ගතවීමට පෙර සම්මුඛ පරීක්‍ෂණයට කැඳවනවා. ඊට පසු රැකියාවට අදාළ සුදුසුකම් තිබෙනවා නම් පත්වීම දෙනවා.


1947 වසරේ මට මුලින්ම පත්වීම ලැබුණේ වැලිමඩ කැප්පෙටිපොළ විල්සන්තැන්න පාළුගම යන ගම්මානයට එහි වසර තුනක් සේවය කරලා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ගුරුළුබැද්ද ගම්මානයේ වසර පහක් සේවය කළා. ඉන් පසුව 1956 වසරේ හිනිදුමපත්තුවේ නෙළුව කොට්ඨාසයේ ප්‍රථම වින්නඹු සේවිකාව ලෙස පත්වී ආවා. එම වකවානුවේ නෙළුව ප්‍රදේශයේ සෞඛ්‍ය පහසුකම් අන්තිමට අඩුයි.


අද හිනිදුම දිසා රෝහල පිහිටි තැන එදා තිබුණේ හිනිදුම මාතෘ සායනය පමණයි. ඒ කාලයේ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළේ ලද්දුවහෙට්ටි කියන මහත්තයෙක් මේ කාලයේ නෙළුව කොට්ඨාසයට බටුවංගල, වාරුකන්දෙණිය, මාදුගැට, පනාගොඩ, දෙල්ලව කියලා ගම්මාන පහක් පමණ තමයි තිබුණේ. නමුත් ප්‍රදේශයේ ඕනෑම තැනක දරු ප්‍රසූතියක් සඳහා යන්න සූදානමින් තමයි හිටියේ.


මේ කාලයේ නෙළුව ප්‍රදේශයේ හරිහැටි පාරක් තොටක් නැහැ ඒ දඬු ඇළවල් දොළවල් වලින් එගොඩවෙලා තමයි රාජකාරි කටයුතු කළේ. මගේ රාජකාරි කාලසීමාවේ ප්‍රදේශයේ පවුල් පන්සියයක් (500) පමණයි හිටියේ. අද වගේ නෙමේ එදා ඒ කාලයේ වසරකට දරු උපත් විස්සක් තිහක් පමණ සිදුවෙනවා.


අද මෙන් මාතෘ රෝහල්වල නෙමේ එදා දරුවන් ඉපදුණේ නිවෙස්වල තමයි දරු ප්‍රසූති සිදු වුනේ‍. ගැබිනි මවක් සිටින බව ඇයගේ සැමියා මගේ ගෙදරට ඇවිත් කියනවා. ඉතිං මම ඒ දින වකවානු මගේ රාජකාරි දින සටහනේ සටහන් කරගෙන ඒ අම්මාව බලන්න යනවා බබා ලැබෙන තුරු ඇය ගැන සෙවිල්ලෙන් සිටිනවා. ඇයට ළමයා බිහිවෙන්න දින ළංවෙන විට ඇයගේ නිවසට දෙතුන්වරක් යනවා. එසේ යන විට මම අරක්කු බෝතල් භාගයක් සහ උපකරන සහ රෙදියාර කිහිපයක් සහ ළමා ඇඳුම් දෙක තුනක් ගමන් මල්ලේ දමාගෙන යනවා.


අරක්කු කුමටද? ගෙන යන්නේ මම විමතියෙන් ඇයගෙන් විමසුවෙමි.


සිනාසෙමින් පැවැසුවේ ඒ කාලයේ ළමයි හම්බවෙන අම්මලාට අධික රුධිර පීඩනය (පෙෂර් එක) හැදුණොත් අරක්කු චුට්ටක් දෙනවා බොන්න. වෙන බෙහෙත් නැහැ රෝහලට ගෙන යන්න පහසුකම් නොමැති නිසා මම ඒවාට සුදානම් වෙලා තමයි යන්නේ.


මගේ සේවා කාලය තුළදී වාරුකන්දෙණිය ප්‍රදේශයේ කාන්තාවකට නිවුන් දරු උපතක් සිදුවුණා. ඒ උපත් සිදුවුණේ ඇයගේ නිවස තුළදීමය. මම ගිහින් තමයි ඒ ළමයි දෙන්නා ගත්තේ. ඒ ළමයි දෙන්නා ඉතාම නිරෝගීව සිටියා. ඒ සිදුවීම මට අද වගේම මතකයි. ඒ දරු දෙන්නම කිසිම කරදරයක් නැතුවම ගත්තා. මේ විදියට මගේ සේවා කාලය තුළදී මගේ දෑතින් ළමයින් දහසක් පමණ අරගෙන තිබෙනවා.
මගේ මුළු සේවා කාලයේදීම සිදුවූයේ එක් මාතෘ මරණයක් පමණයි. ඒ දෙල්ලව ගම්මානයේ පදිංචිව සිටි තැනැත්තියක්. අැයට මම එදා කිව්වා. කල්වේලා ඇතුව ගාල්ලට යන්න කියලා. ඇයට එදා ගාල්ලට යන්න සල්ලි නැහැ කිව්ව නිසා ගාලු යන්න කියලා ඇයට රුපියල් විස්සකුත් දුන්නා. නමුත් ඇය ගාලු නොගිහින් දරුවා ලැබෙනතුරු නිවසේ රැඳී සිටියා. අවසානයේ අධික රුධිර පීඩනය නිසා (ප්‍රෙෂර්) ඇය මිය ගියා. මට එයට රාජකාරී වශයෙන් ගාල්ලට ගිහින් නිදහසට කරුණු කියන්න සිදුවුණා. මගේ රාජකාරි දින සටහනේ ඒ ගැබිනි මව ගැන යොදා තිබුණු සටහන් දෙස පරීක්‍ෂා කර බැලුවාහම මම වැරදි නැහැ බව ඔප්පු වුණා. ඇයගේ ප්‍රමාදය නිසා එම මාතෘ මරණය සිදුවුණේ.

 

ඇයගේ විශ්‍රාම වැටුප් හැදුනුම්පත

 

ඒ කාලයේ මගේ වැටුප රුපියල් 75/-යි මේ වැටුප ගන්න ගාල්ලට යන්න ඕනෑ. වැටුප ගන්න ගාල්ලට ගිහින් එන්න දින 2ක් ගතවෙනවා. රාජකාරි සඳහා ඇවිදිනවාට මාසික ගමන් වියදම් ලෙස රුපියල් 20/-යි ගෙවන්නේ ඒ රුපියල් විස්ස ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනැ. දෙල්ලව සිට ‌උඩුගමට යන්න බස් නැහැ. දෙල්ලව නෙළුව හරහා කරත්තවලින් ඊට පස්සේ ගිං ගඟ ඔස්සේ පාරුවලින් ගිහින් උඩුගමට ගිහින් උඩුගම සිට ගාල්ලට බසයෙන් ගිහින් තමයි ගමන් වියදම දෙන්නේ. කරත්තයෙන් සහ පාරුවෙන් ගමන් කළාට ගමන් වියදම් දෙන්නේ නැහැ.


මම 1956 වසරේ සිට 1966 වසර දක්වා නෙළුව ප්‍රදේශයේ වසර 11ක් වින්නඹු සේවිකාව ලෙස සේවය කරලා ගාල්ල මහමෝදර රෝහලට ගියා හෙදියක් ලෙස උසස් වීමක් ලැබුණා 1966 සිට 1979 දක්වා හෙදියක් ලෙස සේවය කරලා 1979 වසරේ විශ්‍රාම ලැබුවා.


විශ්‍රාම වැටුප දෙසිය තිස් දෙකයි ශත තිස්හයයි (232.36) එදා මේ විශ්‍රාම වැටුප ගන්න නෙළුවේ ඉඳලා බද්දේගමට අවුරුදු තුනක් ගියා 1979 වසරේ සිට 1982 දක්වා බද්දේගම තැපැල් කාර්යාලයෙන් තමයි විශ්‍රාම වැටුප ගන්න ගියේ 1982 වසරේත් පසුව විශ්‍රාම වැටුප් ප්‍රාදේශීය උප දිසාපති කාර්යාලවලට යොමු කළ පසුව 1982 වසරේ සිට මේ දක්වා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් විශ්‍රාම වැටුප් අංශයෙන් විශ්‍රාම වැටුප මගේ ගිණුමට දමනවා. මම තමයි නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් ලබන වැඩිහිටිම විශ්‍රාමිකයා.


ඒ කාලයේ අද මෙන් වසංගත රෝග පැතිරි ගියා. වසූරිය, ක්‍ෂය රෝගය, ලාදුරු වගේ රෝග නමුත් ඒවාට හරිහැටි ප්‍රතිකාර තිබුණේ නැහැ එවැනි රෝගයක් සැදුණුවිට ගමේ උදවිය ප්‍රදේශය විශ්වාස කරන ගැටබරු රජ්ජුරු දෙවියන්ට පඬුරක් ගැටගසලා රෝගී නිවස දෙවියන්ට භාර දෙනවා. පසුව රෝගියාව වෙන්කර තබා කැඳවර්ග, බැදිහාල් කැඳ කොත්තමල්ලි එළවළුවක් සමඟ බත් කෑමට දෙනවා. දින ගණන් ගත වූ පසුව රෝගය සුව වෙනවා.


පොඩි ළමයින්ට මෙවැනි රෝගයක් සෑදුණු විට වදකහ බැදිහාල් කැඳ, රතකල්කය වගේ ඖෂධ ලබාදී රෝගය සුවකරනවා මේ වගේ දෙයක් සිදුවන්නේ ඉතාම කලාතුරකින්. එදා ඇති වූ වසංගත රෝගවලින් මගේ සේවා කාලය තුළදී කිසිවකු මියගියේ නැහැ. මම අදටත් ඒ ගැන සිහිකරලා සතුටු වෙනවා. දැන් මට අවුරුදු 96ක් වෙනවා. අදටත් හොද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ එදා සතුටින් රාජකාරි සිදු කළ නිසා බව මට සිහිපත් වෙනවා.


වසර විසිදෙකක් (22) විශිෂ්ට රාජ්‍ය සේවාවක් ඉටු කළ අනූහය වියේ පසුවන මාතාවට නිදුක් නිරෝගී සුව පතමින් මම ඇයගෙන් සමුගතිමි.

 

 

නෙළුව පියරත්න ජයවික්‍රම