IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


තියුණු තරගාවලියක ආශ්වාදය

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය පැන ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන බවට අප තුළ වූ විශ්වාසය තහවුරු කරමින් පළමු තරග දෙක අවසානයේ දීම ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. මෙහිදී වැදගත් වන්නේ අප බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයට එක්වීමයි. අදහාගත නොහැකි යමක් සිදු නොවන්නට ශ්‍රී ලංකාව දෙවැනි කාණ්ඩයට නොවැටෙන බව පැහැදිලිය. අප මේ සටහන ලියන්නේ එවැනි අදහා ගත නොහැකි දෙයක් සිදු නොවන බවට ඇති විශ්වාසයෙනි. බංග්ලාදේශයේ හදිසි අසාර්ථකත්වය නිසා බංගලාදේශයද පළමු කාණ්ඩයටම එක්වීමේ අනතුරක් තිබේ. මෙම සටහන ලියැවෙන බ්‍රහස්පතින්දා දිනයේ දී බංග්ලාදේශය කුමන ආකාරයකින් පැපුවා නිව් ගිනි කණ්ඩායමට මුහුණ දෙන්නේ ද යන්න මත සියල්ල තීරණය වෙයි. බොහෝ විට බංග්ලාදේශය පළමු කාණ්ඩයට එක්වීමට අවශ්‍ය හෙයින් දැවැන්ත ජයග්‍රහණයක් කරා නොයෑමට ඉඩ ඇත. එය ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් නොකරන්නේ සුපිරි 12 දෙනාගේ වටයේ දී නැත්නම් ප්‍රධාන තරගාවලියේ දී එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලටද ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන නිසාය.


පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා සංචිතයට අලු‍තින් එක්කල පැතුම් නිස්සංක සහ ළහිරු කුමාරගේ දක්ෂතාවයන් කැපී පෙනුණි. ළහිරු කුමාර ඉතාම හොඳ පාලනයක් සහ වේගයක් සහිතව පන්දු යැවීමත් සමග ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සංයුතිය වඩාත් සමබර එකක් බවට පත්විය. තරුණයෙකු ලෙස ආබාධවලට මුහුණ දී කණ්ඩායමේ ස්ථානය අහිමි වී යළිත් ලෝක කුසලානයකදී කණ්ඩායමට පැමිණ මෙසේ පාලනයකින් සහ වේගයකින් පන්දු යැවීම ඉහළින් අගය කළ යුතු තත්ත්වයකි. ළහිරුගේ මේ රිද්මය අනුව රබාඩා සහ නොකියා ගේ සංකලනයට ආසන්න වීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනාට හැකියාව ලැබී තිබේ. දුෂ්මන්ත චමීර තමන්ගේ හොඳම දක්ෂතා දක්වමින් සිටියි. පැතුම් නිස්සංක තීරණාත්මක අයර්ලන්ත තරගයේ දී තමන්ගේ ජාත්‍යන්තර විස්සයි20 තරගවල හොඳම දක්ෂතාව දැක්වීය. 
ඔහු ජාත්‍යන්තර පිටියට එද්දී බොහෝ දෙනා විශ්වාස කළ ආකාරයටම සිය හැකියාව තීරණාත්මක තරගයකදී ප්‍රදර්ශනය කිරීමට සමත් විය. වනිඳු හසරංග තමන්ගේ හැකියාව උපරිමයෙන් ප්‍රදර්ශනය කළ අතර පැපුවා නිව්ගිනි තරගයේ දී භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු තමන්ගේ වගකීම ඉටු කළහ. මේ තරග දෙකේ දීම මහීෂ් තීක්ෂණ නවකයෙකු ලෙස තමන්ගේ උපරිමය දුන්නේය. දැන් අවශ්‍ය වන්නේ වඩාත් බරපතළ ප්‍රතිවාදීන් ඉදිරියේ දීත් නොසැලී මේ සටන ගෙන යෑමයි. මේ තරගාවලිය ආරම්භයේ දී අපට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයට ගමන් කිරීම පමණි. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සම්බන්ධ ප්‍රශ්නයක් බැවිනි. දැන් ඒ ප්‍රශ්නය වඩාත් හොඳින් විසඳා ගැනීමට කණ්ඩායමට හැකිව තිබේ. මෙතැනින් පසුව ලෝක කුසලාන ජයක් ගැන කතා කිරීම ඉක්මන් වැඩිය. දැන් කල්පනා කළ යුත්තේ තරගයෙන් තරගය ජයග්‍රහණය කර පළමු කාණ්ඩයේ හැකි තරම් තරග ප්‍රමාණයක් ජයගන්නා ආකාරය ගැනය. යළිත් මතක් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන් ලෝක කුසලානයක් ගැන සිතිය යුතු නැත. එසේ සිතන්නට තවත් සති දෙකක කාලයක් තිබේ. ඒ සති දෙක අවසානයේ අපට ලෝක කුසලානයක් ගැන සිතිය හැකිය.


මේ සතියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ඉරිදා සවස සාජා හිදී පැවැත්වෙයි. එම තරගයේ දී ශ්‍රී ලංකාවට මුණ ගැහෙන්නේ කවුදැයි මේ වනවිට ඔබ දන්නවා ඇත. එම කණ්ඩායම බංග්ලාදේශය, ස්කොට්ලන්තය, ඕමානය යන කණ්ඩායම් තුනෙන් කවුරුන් වුවත් ශ්‍රී ලංකාව ජයගත යුතුම තරගය මෙයයි. එසේ කියන්නේ තරගාවලියේ ඉදිරියට යෑමේ උත්තේජනය ලැබෙන්නේ මේ තරගයෙන් නිසාය. සුපිරි 12 දෙනාගේ පළමු කාණ්ඩයේ සිටින දුර්වල කණ්ඩායම් ලෙස වර්ග වෙන්නේ ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලැබීමේ බී කාණ්ඩයේ දෙවැනියා වන කණ්ඩායමයි. මේ නිසා මේ සටනින් ජය ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. එවිට 28 වැනිදා ඩුබායි හිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ හොඳ සටනක් ලබා දීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබෙයි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව විස්සයි20 තරගයකදී මැදපෙරදිගදී හමුවන පළමු අවස්ථාව මෙයයි. 2016 සැප්තැම්බරයෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සියලු‍ තරග ක්‍රීඩාකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ දීය. මෙහිදී තරග 6 කින් 4 ක් ඔස්ට්‍රේලියාව ජයගෙන තිබේ. අවසන් වරට පැවති තරග 4ම ජයගත්තේ ඔස්ට්‍රේලියාවයි. විස්සයි20 ලෝක කුසලානයේ දී අවස්ථා 3 කදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව හමුවී ඇති අතර ඉන් එක් වරකදී ශ්‍රී ලංකාව ජයගෙන තිබේ. මේ සියල්ල අතරේ මැක්ස්වල්, හේසල්වූඩ් යන දෙදෙනා සිටින රිද්මයත් පැට් කමින්ස් සහ ස්ටාක්ගේ වේගයත් ගැන ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතුය. අනෙක් අතින් ඩේවිඩ් වෝනර්ය. ඔහු තරග ගණනක් ලකුණු නොලබා සිට අලු‍තින් අරඹන තරගාවලියකට එද්දී අනිවාර්යයෙන්ම විශාල ලකුණු ගණනකට යයි. මේනිසා වෝනර් සාධකය අතහැරිය නොහැකිය. ඔස්ට්‍රේලියාව වේග පන්දු යවන්නන් තිදෙනාම යොදා ගනීද නැද්ද යන්න ගැන තවමත් අවසන් තීරණයක් නැත. වේග පන්දු යවන්නන් තිදෙනාම යොදා ගතහොත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් විය හැකි බව පැහැදිලිව පෙනේ. මේ නිසා තරගයේ දී ශ්‍රී ලංකා පළමු අංක 03 ක්‍රීඩා කරන ආකාරය අතිශය වැදගත් වෙයි. එසේ නොමැති වුවහොත් තරගය ලෙහෙසි නැත. අනෙක් අතින් ඩුබායි හිදී ක්‍රීඩා කර වැඩි අත්දැකීම් ඇත්තේ ඔස්ට්‍රේලියාවටය. එහෙත් ඒ සියලු‍ තරග පාකිස්ථානයට එරෙහිව ක්‍රීඩා කළ ඒවාය. ශ්‍රී ලංකාව පැත්තෙන් ඇති ප්‍රධානම වාසිය නම් ඔවුන් එකම කණ්ඩායමක් ලෙස මේ වනවිට තරග 10 කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබීමයි. එකිනෙකාගේ චරිතය හඳුනාගෙන එකිනෙකාට උදව් කරන්නට මේ නිසා කණ්ඩායමට හැකිව තිබේ. මෙය ඔස්ට්‍රේලියාව පැත්තෙන් නැත.


ශ්‍රී ලංකාව මේ සතියේ අනෙක් තරගයට සහාගී වනු ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිවය. ඒ 30 වැනිදා සාජා පිටියේදීය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සාජා පිටියේ දී විස්සයි20 තරගයක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වෙයි. ශ්‍රී ලංකාව 24 වැනිදා ක්‍රීඩා කරන්නේද සාජා පිටියේදීය. අයි.පී.එල් තරග දෙස බලන විට මේ පිටියේ දී වේග පන්දු යවන්නන්ට වැඩි වාසි අත්වී තිබේ. එසේම මෙවර අයි.පී.එල්. දෙවැනි පියවරේ දී අපට දැක ගත හැකි වූයේ ලකුණු හඹා යන්නන්ට වැඩි වාසි අත්වන බවයි. අතීතයේ දී සාජා පිටියේ දී හඹා යෑම වාසි සහගත වුවත් අවසන් තරග කිහිපයේ දී මෙය වෙනස් විය. එසේම තණතිල්ල ඩුබායි සහ අබුඩාබි තණතිලිවලට වඩා වේගය තරමක් අඩුය. මේ සියලු‍ කාරණා ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස හරවා ගත හැකිය. කෙසේ වුවද පන්දු යැවීමේ වර්තමාන රිද්මය අනුව මේ කණ්ඩායම් දෙකම එකම රිද්මයක සිටියි. වෙනස කළ හැක්කේ පන්දු රැකීමෙනි. පසුගිය තරගවලදී පන්දු රැකීමේ දී යම් ආකාරයක පසු බැසීමක් දැක ගත හැකි විය. මෙය ඉක්මනින් නිවැරදි විය යුතුය. අපට සිතෙන හැටියට මේ තරගාවලියේ රිද්මය අතින් සම මට්ටමේ සිටින කණ්ඩායම් දෙක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවයි. එහෙත් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ එක දිගට ලැබූ පරාජයන් 5 කට පසුව මේ තරගය පැවැත්වෙයි. මෙය ශ්‍රී ලංකාවට මානසික පීඩනයක් වන අතර දකුණු අප්‍රිකාවට ශක්තියකි. එහෙත් ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේ දී රාබාඩා හා නෝකියා හමුවේ යම් ආකාරයකට පහර දීමට හැකිවීම නිසා සාජා පිටියේ යම් වාසියක් ගැනීමට ශ්‍රී ලංකාවට උත්සාහයක් ගත හැකිය. අනෙක් අතින් භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග වැනි හරවා පහර එල්ල කිරීමට කැමති සියලු‍ පිතිකරුවන්ට සාජා පිටිය වාසියකි.


මේ අනුව මේ සතියේ පැවැත්වෙන තරගවලදී ශ්‍රී ලංකාව යළි යථාර්ථයට මුහුණ දෙයි. එනම් ප්‍රබල කණ්ඩායම්වලට මුහුණ දෙයි. පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය වූයේ ප්‍රධාන කණ්ඩායම් හමුවේ දැක්වූ අසාර්ථකත්වයයි. එසමයෙහි ශ්‍රී ලංකාව නොකළේ තමන්ට වඩා පහළ සිටින කණ්ඩායම් සමග ක්‍රීඩා කර විශ්වාසය ගොඩනගා ගැනීමයි. කෙසේ හෝ ලෝක කුසලාන තරගාවලිය නිසා ශ්‍රී ලංකාවට තමන්ට පහළින් සිටින කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවිය. දැන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශ්වාසයක් තිබේ. මෙය ප්‍රබල කණ්ඩායම් සමග ක්‍රීඩා කරද්දී අත්‍යාවශ්‍ය සාධකයකි. මේ සතියේදී ශ්‍රී ලංකාව මේ විශ්වාසය කෙසේ තමන්ගේ ඉදිරියට දායක කර ගනී දැයි බලා සිටිමු. එසේම මතක් කළ යුත්තේ මහේල ජයවර්ධන තමන්ට පැවරුණු ප්‍රධාන රාජකාරිය හමාර කළ බවයි. මෙතැනින් පසු ඔහුගේ සැලසුම් වඩාත් සාර්ථකව අවශ්‍ය අවස්ථාවේදීම ක්‍රියාත්මක කිරීම ක්‍රීඩකයන්ගේ කාර්යයයි. ප්‍රබල කණ්ඩායම් හමුවේ සැලසුම් සාර්ථක වන්නේ වැරදි අවම වීමෙනි. එයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සූදානම් බව පෙනෙන්නට තිබේ.
එළැඹෙන සතියේදී ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයේ තරග 3 ක් ක්‍රීඩා කරයි. දකුණු අප්‍රිකාවට එරෙහි තරගය අවසන් වනවිට අපට ඉදිරියට යන්නට හැකිද නැද්ද යන ප්‍රතිඵලය ලැබෙයි. කෙසේ වුවද අපට මේ තරගවලදී දැක ගැනීමට අවශ්‍ය වන්නේ අත්නොහරින සටනකි. අවශ්‍ය අවස්ථාවේදී කවුරුන් හෝ ඉදිරියට පැමිණීමයි. එය සිදු කළහොත් යෝධයන් බිම හෙළන්නට අපට බැරි නැත.


තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය දෙස බැලු‍වහොත් සෑම තරගයක්ම අතිශය තියුණු එකක් වනු ඇතැයි පෙනේ. මෙයින් වඩාත්ම තීරණාත්මක තරගය පාකිස්ථානය හා ඉන්දියාව අතර තරගයයි. සාම්ප්‍රදායිකව පාකිස්ථානය ලෝක කුසලාන තරගවලදී ඉන්දියාව හමුවේ අසාර්ථක වුවද මෙවර තරග කරන ක්‍රීඩකයින් දෙස බලද්දී පාකිස්ථානය තමන්ගේ මානසික පීඩනය පැත්තකින් තබා ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව 24 දා ඉරිදා රාත්‍රියේ පැවැත්වෙන තරගය අති විශේෂ තරගයක් වනු ඇත. එහෙත් එක් කණ්ඩායමක් මානසික පීඩනයට හසුවුවහොත් මේ තරගය දියාරු තරගයක් වනු ඇත. අනෙක් විශේෂ තරගය 23දා සෙනසුරාදා රාත්‍රියේ පැවැත්වෙන එංගලන්තය හා කොදෙව් දූපත් අතර තරගයයි. ලෝක ශූරයන් සහ අංක එකේ කණ්ඩායම අතර පැවැත්වෙන මේ තරගය කොදෙව්වන් ජයගතහොත් ඔවුන් අවසන් පූර්ව වටය දක්වාම යන බව පැහැදිලිය. කොදෙව් කණ්ඩායමට සිදුව ඇත්තේ අනවශ්‍ය අත්හදා බැලීම් කරන්නට ගොස් එක දිගට ක්‍රීඩකයන් 11 දෙනෙකු ක්‍රීඩා නොකිරීමේ ප්‍රශ්නනයයි. මෙය විසඳා ගැනීමට ඇත්තේ අතිශය තියුණු තරගයකදී වීම නිසා එංගලන්තයට එරෙහි තරගය ඔවුන්ට දැඩිව බලපායි. මීට අමතරව සිකුරාදා දිනයේ පැවැත්වෙන ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය අතර තරගයද පාකිස්ථානයේ ඉදිරි ගමන පැහැදිලි කරන තරගයක් වෙයි. මේ තරගාවලියේ දී කිසිසේත් සුලු‍කොට නොතැකිය යුතු කණ්ඩායම ඇෆ්ගනිස්ථානයයි.


ශාහීන් අෆ්රිඩි, ළහිරු කුමාර, චමීර, රබාඩා, නෝකියා, ශාමි, බුම්රා, ස්ටාක්, කමින්ස්, ටිමාල් මිල්ස්, ෆර්ගසන්, ජැමිසන් වැනි වේග පන්දු යවන්නන් ප්‍රතිවාදී පිතිකරුවන්ට ඇති කරන පීඩනය සහ ඔවුන් දවා ගන්නා ඉදිරි පෙළ කඩුළු මත මෙවර පළමු සතියේ තරග බොහොමයක් විසඳෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එසේ කියන්නේ දෙවැනි සතිය වෙන විට තණතිලි වේගය අඩු ඒවා වෙන්නට ඉඩ ඇති නිසාය. කෙසේ වුවද මේ තණතිලි අයි.සී.සී. තරගාවලියකට උචිත ලෙසම කිසිවෙකුට වැඩි වාසියක් අත්නොවන ලෙස මෙතෙක් සැකසී තිබුණි. ඉදිරියද එසේම වනු ඇත. එහි අදහස නම් අතිශය තියුණු තරග බහුල වන බවයි.

 

 

 

කාංචන දසනායක

 



අදහස් (0)

තියුණු තරගාවලියක ආශ්වාදය

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 159 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 876 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 265 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 125 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site