• ඡන්ද රැස්වීම්වලට ගිහින් මත්පැන් බොන්න පුරුදු වුණා.  
  • ඒ කාලේ සමහර පක්ෂ නායකයන් තම වේදිකාවට සෙනඟ ගෙන්වා ගැනීම සඳහා තඹුත්තේගම යෝධයා ද එදින පැමිණෙන බවට ප්‍රචාරය කළා.  
  • අවුරුදු පහේ දී මෝටර් රියක් අත් දෙකෙන්ම එසවූවා.
  • අයියා එනකම් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා අපේ ගෙදර බංකුවක වාඩි වී හිටියා. 

 

දුටුගැමුණු මහ රජතුමාට යෝධයන් දස දෙනකු සිටි බව ඉතිහාසයේ සඳහන්ව ඇත.  


මේ දස මහ යෝධයන් රජ වාසලේ රස බොජුන් වළඳමින් සැපවත් ජීවිතයක් ගත කළත් අප මේ කියන්නට යන යෝධයාට රජ බොජුන් හෝ රජ වාසලක්වත් තිබුණේ නැත.  


ඔහු මැරෙනතුරුම ජීවත්වී ඇත්තේ පුංචි පැල්පතකය.  


අනුරාධපුර දිස්ත්‍රික්කයේ හද්ද‌ා පිටිසර ගමක ගොවි පවුලක සහෝදර සහෝදරියන් හත් දෙනෙකු අතරින් දෙවැනියා වූයේ අසාමාන්‍ය පිරිපුන් ශරීර ලක්ෂණවලින් යුතු දරුවෙකි. ඒ නිසා ගම්වැසියන් ඔහුට කීවේ තඹුත්තේගම යෝධයා කියාය.  


යෝධයාගේ මවත් පියාත් සිටියේ දුප්පත්කමේ පතුලේය.  


ඒ නිසා ගොවිතැන් බත් කර ජීවනෝපාය සරිකරගත් යෝධයාගේ පියාට බිරිය හා දරුවන් හත් දෙනෙකුට කන්න බොන්න දෙන එක හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවූ බව අමුතුවෙන් කිවයුතු ද නොවේ.  


මව්පියෝ කුසට හරි හමන් ආහාරයක් නොගෙන ඇල්වතුර වීදුරුවකින් කුස පුරෝගෙන යෝධ පැටියා ඇතුළු දරුවන් හත්දෙනා පෝෂණය කරන්නට නොගත් වෙර වීරියක් නම් නොමැත.  
යෝධ පැටියා ඉස්කෝලේ යවා මව්පියන් ඉගැන්නුවේ දහසකුත් එකක් ආර්ථික දුෂ්කරතා හමුවේය.  
දේශපාලන ලෝකයේ නම් දරා සිටි සමහරු ඔවුන් නියෝජනය කළ පක්ෂයට කතිර ගොඩ වැඩිකර ගැනීමට මේ යෝධ පැටියා ඔවුන්ගේ මැතිවරණ වේදිකාවට ගොඩකර ගැනීමට කිසිසේත් පසුබට නොවූහ.  


දේශපාලකයන්ගේ පසුපස යාමට සිදුවීමෙන් දරුවාගේ අධ්‍යාපනය ද කඩාකප්පල් විය.  
කලින් කලට පැවැති මැතිවරණ රැළිවල අතුරුසිදුරු නැතිව ජනතාවගෙන් පිරී ඉතිරී ගියේ මේ යෝධයා දැක බලා ගැනීමටය.  
එසේම ඔහුගේ හර බර කතා ඇසීමටය. ඒ තරමට ඔහු කතාවට හපනෙක් විය.  
 කෙසේ වෙතත් යෝධයා වේදිකාවලට ගොඩකරගෙන තමන්ගේ කතිර ගොඩ වැඩිකර ගෙන දේශපාලනඥයින් ගොඩ ගිය බව නම් සැබෑය.  
නමුත් යෝධයා නම් ගොඩ ගියේ නැත.  
අරක්කු උගුරක්වත් කටේ තිබ්බේ නැති යෝධයා දේශපාලකයන් නිසා අවසානයේ බේබද්දෙක් බවට පත් විය.  


ඒ සමගම මෙතෙක් ආවේ නැති රෝග සතුරා ද ඔහු පීඩාවට ඇද දැමීය.  
යෝධයා රෝගාතුර වූ දවසේ පටන් මිය යනතෙක්ම ඔහුගෙන් යැපුණු කිසිම දේශපාලනඥයෙකු ඔහුගේ ගෙදර පැත්ත පළාතකවත් පැමිණ නැත.  
අප මේ කියන්නේ එද‌ා රජරට යෝධයා හෙවත්, නැත්නම් තඹුත්තේගම යෝධයා ලෙස දේශපාලන යුග පහක පමණ කාලයක් රටේම ප්‍රසිද්ධියට පත්ව සිටි හේරත් බණ්ඩා ගැනය.  
තෙන්නකෝන් මුදියන්සේලාගේ පුංචි රාළගේ හේරත් බණ්ඩා යනුවෙන් උප්පැන්නයේ ඔහුගේ නම සඳහන් විය.  
රජරට යෝධයාගේ පැරණි තොරතුරු සොයා පසුගිය බද‌ාද‌ා අපි රාජාංගණය යාය 07 අංගමුව ප්‍රදේශය බලා ගියෙමු.  
යෝධයාගේ එක් සහෝදරයෙක් හා සහෝදරියෝ තිදෙනෙක් පමණක් අද අංගමුව ප්‍රදේශයේ ජීවත්ව සිටිති.  


ඔවුන් සොයා යාමට අපට පහසු වූයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී යුදහමුද‌ාවේ විශ්‍රාමික බලලත් නිලධාරි උපාලි විජේකෝන් (රණශූර) මහතා නිසාය.  
විජේකෝන් මහතා විසින් අපට හඳුන්වා දුන් රාජාංගණය පදිංචි විශ්‍රාමික කෝප්‍රල් සුජිත් මහතා ද කැටිව අපි රජරට යෝධයාගේ ඥ‌ාතීන් සොයා ගියෙමු.  
රණශූර පදක්කමකින් පිදුම් ලබා සිටින සුජිත් මහතාගේ එක් අතක් පූර්ණ ආබාධයකට ලක්ව ඇත්තේ කොටි කණ්ඩායමක් සමග මුහුණට මුහුණලා සටන් කිරීමට ගොස් වෙඩි උණ්ඩයක් වැදීමෙනි.  
පුංචිරාලගේ දරුවන් හත්දෙනා නම් අතුල, හීන්බණ්ඩා, ලීලාවතී, සිරිසේන, මුතුබණ්ඩා, ශ්‍රියාලතා සහ දයාවතී ය.  


අතුල, හීන්බණ්ඩා (යෝධයා) සහ සිරිසේන මේ වන විට ජීවතුන් අතර නොමැත. පුංචි රාළ 82 වසරේ දීත් පුංචිහාමි 88 වසරේ දීත් මියගොස් ඇත.  
 අප මුලින්ම කතා බහ කළේ හේරත් බණ්ඩාර කියන රජරට යෝධයාගේ බාලම නැගණිය වන ටී.එම්.පී. දයාවතී (58) මහත්මිය සමගය.  
‘හේරත් බණ්ඩා අයියා අවුරුදු පහේ දී කාර් එකක් අත්දෙකෙන් ඔසවා තිබෙනවා. කාර් එක අත්දෙකෙන් එසවූවාට පස්සේ ඒ ගැන පත්තරවල විස්තර පළවී තිබෙනවා. මේ නිසා අයියා රටේම ප්‍රසිද්ධ වුණා. දයාවතී මහත්මිය තම සහෝදරයා ගැන දොඩමලු වූවාය.  
රජරට යෝධයාගේ කායික ශක්තිය කියා පෑමට මෙය හොඳම සාධකයකි.  
අපේ අම්මා නොච්චියාගම වලංනැල්ල කියන ගමේ ඉඳලා තියෙන්නේ. තාත්තා එක්ක විවාහ වුණාට පස්සේ තඹුත්තේගමට පදිංචියට ආවා. තාත්තා ගොවියෙක්. නොච්චියාගම රෝහලේ දී 1945 දී හේරත් බණ්ඩා අයියා ඉපදිලා තිබෙනවා. මම දන්නා ආකාරයට අයියා අම්මා හා තාත්තා බොහොම අමාරුවෙන් තමා අපව ජීවත් කරලා තියෙන්නේ.  


 හේරත් බණ්ඩා අයිය ඉපදිලා මාස 03 ක් විතර ගත වෙනකොට එයාගේ සිරුරේ අසාමාන්‍යතාවක් අම්මාට දැනිලා තිබෙනවා. නිතර බඩගින්න අයියාට දැනිලා තිබෙනවා. සාමාන්‍ය දරුවකු බොනවට වඩා වැඩියෙන් මව්කිරි අයියා බීලා තිබෙනවා කියලා අම්මා පසු කාලයක අපිත් එක්ක කිව්වා. මාස තුනකට පස්සේ ඉන්න දරුවකුට වඩා ශරීරයෙන් ලොකු මහත් වූ දරුවෙකු බව අම්මාට තේරුම් ගියාට පස්සේ එක්ක ගෙන ගිහින් දොස්තර මහත්වරුන්ටත් පෙන්වා තිබෙනවා.  
මුලින්ම අයියා තඹුත්තේගම ඉස්කෝලෙන් ඉගෙන ගෙන පස්සේ අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලයට උසස් පෙළ කරන්න ගියා. අයියාට හොඳට ඉගෙනගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉංග්‍රීසි කතා කරන්න එහෙම පුළුවන්. තාත්තාගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ හේරත් බණ්ඩා අයියාට හොඳට උගන්වන්න. මගේ අයිය කෙනෙක් වන මුතුබණ්ඩාටත් හොඳට ඉගැන්නුවා. මුතුබණ්ඩා අයියා රාජාංගණය සිරිමාපුර විදුහලේ විදුහල්පති විදිහට රාජකාරි කළා. දැන් විශ්‍රාම ලබා සිටිනවා.  


අයියා අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස්පෙළ ඉගෙන ගන්නා කාලයේම ඩඩ්ලි සේනානායක මහත්තයාගේ වේදිකාවල කතා කරන්න ගිහින් තියෙනවා. තාත්තා මේ වැඩේට කොහොමටත් කැමැති වෙලා නැහැ. නමුත් අයියා ඉස්කෝලේ යාම පැත්තක තියලා ඩඩ්ලි සේනානායක මහත්තයා එක්ක දේශපාලන වේදිකාවල කතා කරන්න ගිහින් තියෙනවා. තාත්තා කී දේවල් ගණන් ගෙනත් නැහැ. අයියා හොඳ කථිකයෙක්. වයසට වඩා ලොකු පෙනුමක් තිබුණ නිසා අයියව බලන්නත් ගොඩක් සෙනඟ රැස්වීම්වලට ඇවිත් තිබෙනවා.  
 මැතිවරණ වේදිකාවල කතා කරන්න ගිය නිසාම අයියාගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම ගැන අම්මයි තාත්තයි හරිම කනගාටුවකින් ඉඳලා තියෙන්නේ. 1977 මහ මැතිවරණයට පෙර කලාවැව ආසනය සඳහා වූ අතුරු මැතිවරණ වේදිකාවල ද 77 මහ මැතිවරණයේ දී ද එජාප මැතිවරණ වේදිකාවල ද යෝධ හේරත් බණ්ඩා කැපී පෙනෙන කථිකයෙක් බවට පත්ව තිබිණ.  
ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමද‌ාස, ගාමිණී දිසානායක, අනුර ඩැනියෙල්, ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්වරුන් අපේ යෝධ අයියා හම්බ වෙන්න අපි කලින් පදිංචිවෙලා හිටිය පරණ ගෙදරට ආවා මට මතකයි. තවත් දේශපාලනඥයන් අයියා හම්බවෙන්න ආවා. නමුත් ඒ අයගේ නම් කියන්න දැන් මට මතක නැහැ.  
1977 මහ මැතිවරණයට කලින් කලාඔය මැතිවරණ කොට්ඨාසයට අතුරු මැතිවරණය තිබ්බා. ඒ මැතිවරණයට වැඩ කරන්න ආව ගාමිණී දිසානායක මහත්තයා අපේ ගෙදර නැවතිලා හිටියා මට මතකයි.  

 

හේරත්  බණ්ඩා යෝධයා හැදී වැඩී  ජීවත් වූ නිවස

යෝධයාගේ නිවස පිහිටි යෝධ මාවත

 

 

1977 මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා හිටිය ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තුන් හතර වතාවක් අපේ ගෙදර ඇවිත් යෝධ අයියාව එතුමාගේ රැස්වීම්වලට එක්කගෙන ගිහින් තියෙනවා. එක දවසක් ජේ.ආර්. මහත්තයා අපේ ගෙදර එද්දී අයියා ගෙදර හිටියේ නැහැ. ජයවර්ධන මහත්තයා අයියා එනකම් ගෙදර තිබුණ බංකුවක් උඩ වාඩිවෙලා හිටියා මට තාම හොඳට මතකයි.  
 දවසක් සුදු සරමක් කමිසයක් ඇඳගෙන තොප්පියක් ද‌ාගත්ත කෙනෙක් අපේ ගෙදර ආවා. මීට කලින් අපි ඒ මහත්තයා දැකලා තිබුණේ නැහැ. මම කවුද කියලා දන්නවාද යනුවෙන් ඇසුවා මට අද වගේ මතකයි. අපි කිව්වා දන්නේ නැහැ කියා. මම තමයි මැදකොළඹ මන්ත්‍රී ආර්. ප්‍රේමද‌ාස කියා ඔහු පැවසුවා. ප්‍රේමද‌ාස මහත්තයා ද අපේ යෝධ අයියාව මැතිවරණ වේදිකාවල කතා කරන්න එක්කර ගෙන ගියා. ප්‍රේමද‌ාස මහත්තයා ගෙදර එන හැම වෙලාවකම අඹ, දොඩං, පේර වගේ පලතුරු ගොඩක් අරගෙන ඇවිත් අපිට දෙනවා.  


 අයියා ඡන්ද රැස්වීම්වල කතා කරන්න ගියාම දවස් හතර පහ ගෙදර එන්නේ නැහැ. රටේ අස්සක් මුල්ලක් නෑර තියෙන රැස්වීම්වලට අයියාව එක්කර ගෙන යන්න එනවා.  
 රැස්වීම්වලට කතා කරන්න එක්ක ගෙන ගියාම හොඳ ගාණක් අයියාට ලැබෙන්න ඇති නේද? කියා මම පැවසුවේ දයාවතී මහත්මියගේ කතාවට බාධා කරමිනි.  
 ‘අයියාට ශත පහක්වත් ලැබුණේ නැහැ. ඒ බව මම හොඳින්ම දන්නවා. දවස් ගණන් වේදිකාවල එක දිගට කතා කරලා අයියා හිස් අතින් තමා ගෙදර ආවේ. අයියාව එක්කරගෙන යන්නත් ආපසු ගෙදර ගෙනත් ද‌ාන්නත් එනවා. යෝධ අයියාට යහමින් අරක්කු නම් ලැබුණා.   
අයියා 77 මහ මැතිවරණ වේදිකාවල කතා කරන්න ගියාම තමා අරක්කු බොන්න පුරුදු වුණේ. ඊට කලින් කවද‌ාවත් එයා අරක්කු බිව්වේ නැහැ. අයියාව එක්කරගෙන යන්න එන අය තමා එයාව අරක්කු බොන්න පුරුදු කළේ. එ්ක මම අදටත් කියනවා.  
 ආර්. ප්‍රේමද‌ාස මහත්තයා නිවාස හා සංවර්ධන ඇමැති වුණාට පස්සේ නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ සිකියුරිටි රස්සාවක් දුන්නා. ප්‍රේමද‌ාස මහත්තයා විතරයි එහෙමවත් අයියාට සැලකුවේ. අන්තිමේදී ඒ රස්සාවත් නැතිවුණා. දේශපාලන වැඩවලට ගිහින්. දේශපාලන වැඩවලට ගිහින් අයියා බේබද්දෙක් වුණා විතරක් නෙවෙයි දියවැඩියා රෝගයත් වැළඳුණා. හොඳටම ඔත්පළ වුණා. අයියා හොඳින් ඉද්දී එයාව දේශපාලන වේදිකාවලට කතා කරන්න එක්ක ගෙන ගිය කිසිම දේශපාලනඥයෙක් අයියා ලෙඩ වුණට පස්සේ ගෙදර පැත්ත පළාතක ආවේ නැහැ.  


දියවැඩියාව උත්සන්න වෙලා අයියාගේ එක කකුලක් අනුරාධපුරය රෝහලේ දී 88 වසරේ කපා දැම්මා. අනිත් කකුල 89 වසරේ කොළඹ මහ රෝහලේ දී කපා දැම්මා. ඒ වෙනකොට අම්මයි තාත්තයි දෙන්නම මිය ගිහින්. අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. මම කුලී වැඩ කළේ. අපේ සහෝදර සහෝදරියන් අයියාව බලාගත්තා. ඇප උපස්ථාන කළා.  
 අයියාගෙන් ප්‍රයෝජන ගත්ත කිසිම කෙනෙක් අයියාව බලන්න ආවේ. නැහැ. 1991 අවුරුද්දේ අයියා මියගියා. මළ ගෙදරටවත් අයියාගෙන් උදව් ගත්ත කිසිම දේශපාලනඥයෙක් ආවේ නැහැ.  
ගමේ හැමෝම අයියාට ආදරෙයි. ගමේ අය උදව් උපකාර කළා. තාත්තා කියන දේ ඇහැව්වා නම් අයියාට මෙහෙම වෙන්නේ නැහැ.  

 

  • ඡන්දෙ දිනුවම ප්‍රේමදාස මහත්තයා අයියාට සිකියුරිටි රස්සාවක් දුන්නා.
  • දියවැඩියාව හැදිලා එක කකුලක් කපලා දැම්මා.


හේරත් බණ්ඩා අයියට හාල් සේරුවක විතර බත් එකවේලකට කන්න පුළුවන්. ඒක වාසනාවක් වගේ පෙනුණට දුප්පත් අපට නම් හිතාගන්නටත් බෑ.
හාල් සේරුවක පමණ බත් එක් වේලකට කෑ හේරත් බණ්ඩාට අන්තිමේදී හාල් හුණ්ඩු භාගයකවත් බත් කන්නට බැරිව ගිය බව දයාවතී මහත්මිය කීවාය.
හේරත් බණ්ඩා මහතා මියයන විට යෝධ සිරුර වැහැරී දිරාපත්ව තිබිණ. ඔහු කොච්චර බීමට ඇබ්බැහි වී සිටියාද කියනවා නම් ඔහුටම බීම නවත්වා ගැනීමට නොහැකි වී තිබිණ.
සමහර දේශපාලනඥයන් ඔහු මහ රෑ ගෙදරට ගෙනවිත් ඇරලවා යන අවස්ථාවල ඔහුට දෙපයින් ඇවිද ගැනීමටවත් නොහැකි තත්ත්වයක පසුවී ඇත්තේ ඒ තරමට ඔහු බීමත්ව සිටි නිසාය.


අයියා තුන් වේලටම බත් තමා කන්න කැමැති. වැඩිපුරම පලාවර්ග කන්න කැමැත්තක් තිබුණා. ඊට අමතරව කුරක්කන් පිට්ටු කුරක්කන් රොටි එහෙම කන්න ලොකු ආශාවක් තිබුණා. ඒවාත් යහමින් කන්න ඕනෑ. අම්මයි තාත්තයි ඉන්න කාලෙත් එයාව බඩගින්නේ තිබ්බේ නැහැ.
සහෝදර සහෝදරියෝ හැමෝමත් අයියාට හොඳට සැලකුවා. මුතුබණ්ඩා අයියාගේ ගෙදර තමා අයියා ඒ වෙනකොට. අවසන් කාලේ අයියා බිව්වේ නැහැ.
අපේ තාත්තා ගාමිණී දිසානායක මහත්තයා, ප්‍රේමද‌ාස මහත්තයාට එහෙමත් කිව්වා පුතාට බොන්න දෙන්න එපා කියා. අපි කිව්වාට අහන්නේ නැහැ එයා බොනවා කියා ඒ මහත්වරු කිව්වා. දේශපාලනයට යන්න එපා හොඳින් ඉගෙන ගන්න කියා තාත්තා නිතරම අවවාද කළා. ඒත් අයියා තාත්තා කියන දෙයක් ඇහැව්වේ නැහැ.


අයියා ඉස්කෝලේ යන කාලේ දක්ෂ ක්‍රීඩකයෙක්. යගුලිය දැමීම හා කවපෙත්ත වීසි කිරීම වගේ ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩාවලින් ජයග්‍රහණය කරලා ගත්තු සහතික එහෙම ගොඩක් තිබුණා. අයියා උස මහත කෙනෙක් නිසා ඇඳුම් මහන්න ගොඩක් රෙදි ඕනෑ වුණා. පාසල් ගමන අවසන් වෙනකල්ම අයියාට ඉස්කෝලේ යන්න ඇඳුම් බණ්ඩාරනායක මහත්තයා නොමිලයේ දුන්නා.
බොක්සිං ක්‍රීඩාවට අයියා රට අරගෙන යන්න සූද‌ානම් වුණා. මට මතකයි ඒත් තාත්තා ඒකට කැමැති වුණේ නැහැ. බොක්සිං ක්‍රීඩාවට ගියා නම් අයිය ලෝකෙම දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න තිබුණා කියා මට දැන් හිතෙනවා. ඒ තරමට හොඳ කාය ශක්තියක් අයියාට තරුණ කාලේ තිබුණා.


අයියා ගොඩනැගිලි සංස්ථාවේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස රැකියාව කරන කාලයේ කොළඹ යනකොට ආපසු ගෙදර එනකොට බස් එකේ ගියේ. අයියාගේ ඇඟේ මහත වැඩිකම නිසා බස් එකේ ඇතුළට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ෆුට්බෝඩ් එකේ තමා යන්නේ එන්නේ. ඒත් අයියාව එහෙම ගියා කියා පොලිසියෙන් ඇල්ලුවේ නැහැ. අයියා ගෙදරට එන්න බහින හන්දියට ‘යෝධයා හන්දිය’ කියා නමකුත් පටබැඳුණා. අදටත් ගමේ බොහෝම දෙනෙක් එහෙම තමා කියන්නේ.
හේරත් බණ්ඩා යෝධ අයියා ගැන මතකය අවදි කරමින් දයාවතී මහත්මිය මෙසේ ද කීවාය.
අයියා දේශපාලනඥයන් හඳුනනවා කියා හෝ ඇඟේ පතේ හයිය හොඳට තිබුණා කියා හෝ කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න ගියේ නැහැ. ගමේ කා එක්කත් හොඳින් හිටියා. පොදු වැඩ කටයුතුවලදී මුල් තැනගෙන වැඩ කළා. විවේක වේලාවට සින්දු කිව්වා. සින්දු කියන්න හරිම ආසයි.
තමන් දේශපාලන වැඩවලට ගිහින් ජීවිතය විනාශ කරගත් එක ගැන එයා පස්සේ හරිම කනගාටුවෙන් කතා කළේ. එද‌ා තාත්තා කිව්ව දේ ඇහැව්ව නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියා ඔහු මිය යන්න ආසන්න කාලයේ නිතර කිව්වා මට. අයියා මැරෙන්න සති කිහිපයකට කලින් ලියුමක් ලිව්වා. ‘මට සැලකුවේ නැතත් අපේ පවුලේ අයටවත් සලකන්න.’ කියා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තමා ඒ ලියුම ලියා තිබුණේ. ඒත් කවුරුවත් අපිට සැලකුවේ නම් නැහැ.

 


ශ්‍රියාලතා මහත්මිය හේරත් බණ්ඩා මහතාගේ තවත් නැගණියක වන්නීය. ඇය සිය යෝධ අයියා ගැන කතා කළේ මේ අන්දමිනි.
අපේ අයියා වයසට වඩා පෙනුමක් තිබුණ නිසා එද‌ා හිටිය ඒ පාප දේශපාලනඥයෝ ඔවුන්​ගේ වේදිකාවලට කැඳවාගෙන ගියා සෙනග අද්දවා ගන්න. නමුත් අයියා අසනීප වෙලා ඉන්නකොට හෝ මිය ගියාට පස්සෙත් ඒ කිසිකෙනෙක් ගෙදරට ආවේ නැහැ. ඒ ගැන අයියා දුක්වුණා. ජේ.ආර්. මහත්තයා අයියාට කතා කළේ පුතා කියා. ප්‍රේමද‌ාස මහත්තයා ‘හේරත් උන්නැහැ’ කියා කතා කළා කියා මට මතකයි.


අයියාට නැමී සෙරෙප්පු දෙකවත් ද‌ාගන්න බැහැ. දන්නා කියන කාලයක ඉඳලා සෙරෙප්පු ජෝඩුව කකුල් දෙකට දැම්මේ ඇඳුමක් ඇන්දුවේ අපි. අයියා අවසන් හුස්ම පොද හෙළනකොටත් අපි ළඟ හිටියා. මිය යන්න ටික වේලාවකට කලින් අයියා මගේ අත අල්ලගෙන නංගියේ අපි ලබන ආත්මෙත් හමුවෙමු කියා කිව්වා. අයියාගේ අවසන් කටයුතුවලට එයාගෙන් උදව් ගත්ත කිසිම ​දේශපාලනඥයෙක් නාවත් මුළු ගමම ආවා.


රජරට යෝධයාගේ ජීවිත කතාවෙන් කියවෙන්නේ ජරාජීර්ණ වූ දේශපාලනයේ එක්තරා පැතිකඩක් නොවේද? යන්න තීරණය කිරීම ඔහුගේ කතාව කියවූ ඔබට බාරය.
තොරතුරු සොයා යාමේදී නන් අයුරින් සහාය ලබා දුන් තඹුත්තේගම හිටපු පොලිස් අධිකාරි එන්.ඒ. ජයශාන්ත, රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක රණසිංහ සහ නොච්චියාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උභයානන්ද යන මහත්වරුන්ට ඉරිද‌ා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුද කරන්නෙමු.

 

 

සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප: මාදම්පේ එස්. හේරත්