ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්  

10 වැනි කොටස

 

වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ‘ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය’ මැයින් පිටු 880ක ග්‍රන්ථයක් ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. 


ශ‍්‍රී ලංකාවේ පරිපාලන බෙදීම් අනුව උතුරින් කළුතර දිස්ත‍්‍රික්කයෙන් ද ඊසාන සහ නැගෙනහිර දිසාවෙන් රත්තපුර දිස්ත‍්‍රික්කයෙන් ද සීමාවී ඇති ගාලු දිස්ත‍්‍රික්කය නිරිතදිග තෙත් කලාපයට අයත් ප‍්‍රදේශයකි. අක්මීමන, අම්බලන්ගොඩ, බද්දේගම, බළපිටිය, බෙන්තර, ඇල්පිටිය, ගාල්ල, හබරාදූව, හිනිදුම, කරන්දෙණිය සහ රත්ගම යන මැතිවරණ කොට්ඨාසවලින් සමන්විත ගාල්ල දිස්ත‍්‍රික්කයේ වර්ග ප‍්‍රමාණය කිලෝමීටර් 1,652 කි. දකුණු පළාතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ අගනගරය ගාල්ලය.


ක්‍රි.ව. 3 සහ 4 සියවස් වනවිට ගාලු දිස්ත්‍රික්කය පෙර අපර දෙදිග වෙළෙඳාමේ භාවිතා වූ ප‍්‍රදේශයක් ලෙස චීන සහ අරාබි වෙළෙඳුන් පිළිගනු ලැබීය. එයට ප‍්‍රධාන හේතුවක් වූයේ කඩතොලු සහිත සමුද්‍ර තීරයකින් ගාලු දිස්ත්‍රික්කයේ බටහිර මුහුණත සම්පූර්ණයෙන් ආවරණය වීමය. අරාබි දේශාටන සටහන්ව, එය කලාහ් ලෙසින් ද චීන වාර්තාවල ලෝ ලේ ලෙසින් ද හඳුන්වා ඇත. ක්‍රි.ව. 545 දී කොස්මස් විසින් ද ක්‍රි.ව. 1000 දී මුස්ලිම් ජාතික ඇල් මසූදි විසින් ද ක්‍රි.ව. 1340 දී ඉබන් බතූතා ද ක්‍රි.ව. 1410 දී චීන ජාතික ඩෙන්හෝ ද ක්‍රි.ව. 1505 දී ලොරෙන්සෝ ද ක්‍රි.ව. 1592 දී ප‍්‍රථම ඉංග‍්‍රීසි නෞකාව ද ක්‍රි.ව. 1640 ලන්දේසි ජාතික කොස්ටර් ද ඉදිරිපත් කළ මූලාශ‍්‍රවල ගාල්ල පිළිබඳව සඳහන්ව ඇත. මහාවංශය, බෝධිවංශය සහ පූජාවලිය ආදී කෘතීන් ද ජනප‍්‍රවාද සහ ජනශ‍්‍රැති මගින් ද ගාල්ල දිස්ත්‍රික්කයේ දේශීය ඓතිහාසික මූලාශ‍්‍ර පිළිබඳව තොරතුරු හෙළිකර තිබේ. ගාලු ප‍්‍රදේශය ක්‍රි.ව. 14 සියවසින් පසු පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි යන විදේශීය ආක‍්‍රමණයන්ට ලක්විය. 


රට පුරා දිස්ත‍්‍රික්ක 19 ජවිපෙ බෙදා තිබුණේ කලාප 5ක් වශයෙනි. ඒ අනුව එක් කලාපයක් වූ දකුණු කලාපයට හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර අයත්ය. මෙම දකුණු කලාපයේ දේශපාලන සහ සන්නද්ධ නායකයා ලෙස 1988/89 කටයුතු කළේ ජවිපෙ ප‍්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකය. ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ දිසා ලේකම්වරු වශයෙන් 1986 සිට 1989 නොවැම්බර් දක්වා කටයුතු කළේ ඇල්පිටිය අවිත්තාව ග‍්‍රාමයේ උපන් ආරියසේන උඩුගමසූරිය හෙවත් නෝමන් මානවඩු, වලස්මුල්ලේ උපන් ධර්මවර්ධන ඒ. මුණසිංහ නොහොත් අජන්ත, වැලිමඩ ආරියරත්න හෙවත් සුගත්, කැකණදුරේ එස්.කේ. ජයතිලක හෙවත් සිරිවර්ධන හෙවත් විජිත, එල්.එච්. ගාමිණී ගුණසේකර හෙවත් රිචඩ් යන අය වේ. රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 ඝාතනය වීමෙන් පසු ජවිපෙ නව නායක සමන් පියසිරි ප‍්‍රනාන්දු විසින් ගාල්ල දිසා ලේකම් ලෙස 1989 නොවැම්බර් අවසානයේදී පත්කරන ලද්දේ රුහුණු සරසවි සිසු ගොඩකවෙල චන්ද්‍ර රාජ් නිශ්ශංක හෙවත් පියසිරිය. ඉහත කී ජවිපෙ ගාල්ල දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරුන්ගෙන් එක් අයකු හැර සෙසු සියලු දිසා ලේකම්වරුන් එම වකවානුවේදීම ඝාතනයට පත්විය. 


පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1978 සභාපතිවරයා වශයෙන් ධර්මවර්ධන මුණසිංහ කටයුතු කරනවිට එහි ලේකම් වූයේ ඩී.එම්. ආනන්ද ය. වලස්මුල්ල වරාපිටිය විදුහල, බද්දේගම රතනසාර පිරිවෙන සහ වරාපිටිය විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ මුණසිංහ 1977 දී පේරාදෙණිය සරසවියට ඇතුළත්ව 1981 උපාධිධාරියකු වශයෙන් සමත්ව කලක් ගාල්ල බහුතාක්ෂණිය ආයතනයේ කථිකාචාර්යවරයකු විය. ගම්පහ දිසා ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත. ගම්පහ මුදුන්ගොඩ මැදවත්තේ උපන් ගාමිණී ගුණසේකර කැලණි සරසවියේ 1978 ජනසන්නිවේදන ගෞරව උපාධිධාරියෙකි. කුඩා කර්මාන්ත, පොල් වගාකිරීමේ මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කලක් සේවය කළ ගාමිණී අසූවේ ජුලි වර්ජනයට එක්වූ නිසා රැකියාව අහිමි විය. ඔහු පසුව ජවිපෙ නිල නොවන වෘත්තීය සමිතිය වූ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් විය. කැකණදුර ජයතිලක හෙවත් විජිත කලක් මාතර දිසා ලේකම් වශයෙන් ද කටයුතු කරන ලදී. 


ගාල්ල දිස්ත්‍රික්කයේ සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරුන් වශයෙන් 1986 සිට 1989 දක්වා සිටියේ දෙබරවැව ගාමිණී හෙවත් පල්ලේවෙල (පසුව බ්‍රිතාන්‍යයට සංක‍්‍රමණය විය.), තංගල්ලේ එස්. කරුණාරත්න හෙවත් බැංකු කරු, මොරවක සරත් දේවානන්ද හෙවත් මහේෂ්, ඥානසිරි පල්ලියගුරු හෙවත් බෙනට් ඇතුළු කිහිපදෙනෙකි. මින් 3ක් හැර සියල්ලෝම ඝාතනය වූහ. 


ජවිපෙ පක්ෂ තහනම 1983 ජුලි සිදුවනවිට ද ජවිපෙන් ප‍්‍රථම වරට පත්වූ සංවර්ධන සභා මන්ත‍්‍රීවරුන් 13 දෙනාගෙන් දෙදෙනෙක් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළහ. වසර 1981 ජුනි 04 පැවැති සංවර්ධන සභා ඡන්දයෙන් එසේ ගාල්ලට ජවිපෙන් පත්වූයේ ලයනල් බෝපගේ සහ ධර්මදාස ජයසිංහය. පක්ෂ තහනමින් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ වැඩ කටයුතු 1986 වනවිට ක්‍රියාකාරී තත්ත්වයකට ගෙන ඒමට එම දිස්ත්‍රික්කය භාරව සිටි දේශපාලන මණ්ඩල සභික පියදාස රණසිංහ සමත් විය. එකල එනම් 1985 අවසානයේදී 1986 මුල් භාගයේදී ගාල්ල දිස්ත්‍රික් කමිටුව සකස් වී තිබුණේ රත්නායක, උපාලි ජයවීර, රුවන්, දිනේෂ් හෙවත් ගාල්ලේ ජිනේ, මංජු යන අයගේ එකතුවෙනි. රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිපදෙනෙක්ම ගාල්ල දිස්ත්‍රික් කටයුතුවලට අනුගත වූහ. 


ජවිපෙ විසින් ගාල්ල දිස්ත්‍රික්කය දේශපාලන කලාප 4කට වෙන්කර තිබිණි. ඒ අනුව ගාල්ල කලාපයට ගාල්ල, පෝද්දල සහ අක්මීමන යන කොට්ඨාස ද හබරාදූව අහංගම කලාපයට හබරාදූව, අහංගම, ඉමදූව, උඩුගම යන කොට්ඨාස ද හික්කඩුව අම්බලන්ගොඩ කලාපයට රත්ගම, හික්කඩුව, අම්බලන්ගොඩ, බද්දේගම යන කොට්ඨාස ද බෙන්තර ඇල්පිටිය කලාපයට බෙන්තර, බළපිටිය, ඌරුගස්මංහන්දිය, කරන්දෙණිය, ඇල්පිටිය, පිටිගල යන කොට්ඨාස ද අයත් විය. කැරැල්ලේ උච්චතම අවස්ථාවක් වූ 1989 දී පිළිවෙළින් එම ගාල්ලේ ජවිපෙ දේශපාලන කලාපවල ලේකම්වරුන් වූයේ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ දෙවුන්දර අතුල හෙවත් ප්‍රේමරත්න, සිල්වා හෙවත් ගුණසිරි, පල්ලේවෙල සහ ජයන්තය. එම කලාප 4ට අයත් වූ ජවිපෙ කොට්ඨාස 17ට ද වෙනමම කොට්ඨාස ලේකම්වරුන් 17ක් විය. 


ගාල්ල දිස්ත්‍රික්කයේ අවසාන කාලයේ සන්නද්ධ ලේකම් වූයේ කළුආරච්චිගේ දේවානන්ද හෙවත් මහේෂ්ය. ඔහු යටතේ කලාප හතරේ නායකත්වය බෙන්තර - ඇල්පිටියේදී පියල් විජේසිංහට ද හික්කඩුව - අම්බලන්ගොඩදී සපරමාදුට ද ගාල්ලේදී සුදර්ශනට ද හබරාදූව - අහංගමදී විතානට ද හිමිවිය. ගාල්ල කලාපයේ සන්නද්ධ නායකයා වූ මොරවක සුදර්ශන 1989 සැප්තැම්බර් 02 පෝද්දල පොලිසියෙන් අවි ලබාගැනීමට එල්ල කළ ප‍්‍රහාරයෙන් මියගියේය. දිස්ත්‍රික් සන්නද්ධ නායකයා 1992 ඔක්තෝබර් 19 ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී අමරදාස ප‍්‍රනාන්දු විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු හුංගම රවී ලෙස ද අම්බලන්ගොඩදී පියල් ලෙස ද ඇඹිලිපිටියේ පියසිරි ලෙස ද හැඳින්වූ බව පොලිසිය ප‍්‍රකාශ කළේය. 


ජවිපෙ ගාල්ල දිසා කමිටුවේ රැස්වීම් පැවැතියේ දිසා ලේකම්ගේ ප‍්‍රධානත්වයෙනි. එයට ගාලු දිසාවේ කලාප 4 දේශපාලන ලේකම්වරුන් ද ගාල්ලේ සන්නද්ධ ලේකම් ද ශිෂ්‍ය අංශයේ නායකයා සහ කාන්තා අංශයේ සංවිධායකවරිය ද සහභාගී වේ. වසර 1989 වනවිට ගාලු දිසාවේ කාන්තා අංශයේ නායිකාවක වූ සුජාතා සහ ශිෂ්‍ය අංශයේ නායකයකු වූ හබරාදූවේ හරුමල්ගොඩ උපන් නිහාල් ජයවීර මෙම රැස්වීම්වලට සහභාගී වූහ. දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයා එහි තීරණ ගාල්ලේ ජවිපෙ කලාප 4 සන්නද්ධ කලාප ලේකම්වරුන් 4 දෙනාට දැනුම් දෙන අතර ඔවුන් විසින් සිය කලාපයට අයත් කොට්ඨාස සන්නද්ධ ලේකම්වරුන් සමඟ නිරතුරුව සැලසුම් සකස් කරනු ලබයි. 


දකුණු පළාතේ දේශපාලන සහ සන්නද්ධ නායකයා වූ ජවිපෙ ප‍්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක දකුණු කලාපයට අදාළ දිස්ත‍්‍රික්ක 4 වන හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිසා ලේකම්වරුන් 4 සහ සන්නද්ධ දිසා ලේකම්වරුන් 4 දෙනා සමඟ හොරණ ගෝනපොල ගමනායකට අයත් නිවෙසකදී රැස්වී මාසිකව දිස්ත්‍රික් සැලසුම් සකස් කළේය. කැරැල්ල අවසාන කාලයේ එසේ සතිපතා ද රැස්වී තිබිණි. ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායක සමන් පියසිරි ප‍්‍රනාන්දු සෑම දිස්ත්‍රික්කයකදීම විශේෂ අවස්ථාවලදී හමුවන්නේ අදාළ දිස්ත්‍රික්කයේ සන්නද්ධ ලේකම් සහ කලාප සන්නද්ධ ලේකම්වරුන් පමණි. ගාල්ලේ එය පැවැත්වූයේ ඉමදූව නිවෙසකදීය. 


අගමැති ප්‍රේමදාස 1988 දෙසැම්බර් 19 පැවැති ජනපතිවරණයෙන් ජයගත් පසු ත‍්‍රස්තවාදී මර්දන පනත සහ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන මාස 3කට අධික කාලයක් රඳවාගෙන සිටි මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු ක‍්‍රීඩාංගණයේ පිහිටි හමුදා කඳවුරේ සිටි 99ක් ද බූස්ස කඳවුරේ සිටි 114ක් ද ජවිපෙ ඉල්ලීමක් අනුව 1989 ජනවාරි 12 නිදහස් කරන ලදී. මින් බොහෝදෙනකු යළිත් ජවිපෙට පූර්ණකාලීනව එක්වූ අතර ඉන් බහුතරයක් යොමු වූයේ ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දකුණු කලාපයටය. 


හමුදාපති නලීන් සෙනෙවිරත්නගේ අණින් 1988 මුල් භාගය වනවිට දකුණේ පළමුවන ගැමුණු, 4වන ගැමුණු, පළමුවන පාබළ සහ තුන්වන පාබළ යන සේනාංක ස්ථානගත වී සිටියේය. රජය මගින් දකුණු පළාත සඳහා හමුදා සම්බන්ධීකරණ නිලධාරීන් තිදෙනෙක් පත්කරන ලදී. ඒ අනුව ගාල්ලට කර්නල් මහින්ද පැට්‍රික් ප‍්‍රනාන්දු ද මාතරට කර්නල් කේ.පී.වී. පතිරණ ද හම්බන්තොටට කර්නල් පීරිස් ද පත්කරන ලදී. දකුණු පළාතේ ආඥාපති වශයෙන් කර්නල් ලක්ෂ්මන් අල්ගම පත්කරන ලදී. හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න අදාළ දිස්ත්‍රික්කවලට ගොස් හමුදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් සමඟ කඩිනම් ප‍්‍රහාරක සැලසුම් ද සකස් කරන ලදී. 

 

බලපිටිය පාලමට ගැටගසා 1989 මැයි 4 වෙඩිතබා මරාදැමූ අයෙක්

දකුණේ ක්‍රියාත්මක වූ අතුරු හමුදා කණ්ඩායමක් මෙහි දැක්වේ...

දකුණු පළාතේ දිසාලේකම්වරුන් 4 සහ සන්නද්ධ ලේකමවරුන් 4 කලාප නායක උපතිස්ස ගමනායක සමග සතියකට වරක් සාකච්ඡා පැවැත්වූයේ ගමනායකගේ නමට මිලදී ගෙන තිබූ හොරණ ගෝනපොළ මෙම නිවසේදීය

කැරලිකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද ලංගම බස්රථ කිහිපයක් ඉදිරිපිටින් ගමන්කරන ගම්වැසියන් පිරිසක්

 


හමුදාව මගින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය (ඔෆ් කම්බයින්) 1989 අගෝස්තු 4 පිහිටුවීමත් සමඟම ජවිපෙ කැරැලිකරුවන් මැඩලීම වඩාත් විධිමත් විය. ඕනෑම රජයේ හෝ ව්‍යාපාරික ආයතනයක් විවෘත කර පවත්වාගෙන යෑමට හදිසි නීතිය යටතේ පත්කෙරුණු මෙම සම්බන්ධීකරණ නිලධාරීනට හැකි බව මහජන ආරක්ෂක පනත යටතේ ගැසට් කළ රෙගුලාසිවල දැක්විණි. එම රෙගුලාසි යටතේ තවදුරටත් සඳහන් වූයේ වාණිජ, කර්මාන්ත සහ කෘෂිකාර්මික අංශයන්හි ඕනෑම ආයතනයක් ව්‍යාපාරික ආයතනයක් බවය. 


දකුණේ හමුදා ආඥාපති වූ 1963 මැයි 10 හමුදාවට බැඳුණු කර්නල් ලක්ෂ්මන් අල්ගම ඔෆ් කම්බයින් ඒකකයේ දෙවැනියා විය. ගාල්ල දිස්ත්‍රික්කයේ හිල්ටොප් මන්දිරය, ගාල්ල වලව්වත්ත, දික්කුඹුර කොටිගල, තල්ගස්විල, තල්ගහවත්ත නාකියාදෙණිය යන ප‍්‍රදේශවල හමුදා ඛණ්ඩ ස්ථාපිත කර තිබිණි. 


ගාල්ල හමුදා සම්බන්ධීකරණ නිලධාරී පැට්‍රික් ප‍්‍රනාන්දු මෙන්ම දකුණු ආඥාපති ද ගැමුණු හේවා බළකායට අයත් විය. වසර 1988 අවසානය වනවිට ගාල්ල දිස්ත්‍රික්කය තුළ ජවිපෙ කැරැලිකරුවන්ට එරෙහිව අනුකම්පා විරහිත මෙහෙයුමක් දියත් කළ අතර 1988 දෙසැම්බර් වනවිට ගාල්ලේ ජවිපෙ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම වාගේ අඩපණ කිරීමට සමත් විය. ගාලු දිස්ත්‍රික් කලාප ලේකම්වරයකු වූ වැල්ලවායේ බන්දුසේන නොහොත් තිලකරත්න, ගාල්ල දඩල්ලේ බස් කොන්දොස්තරවරයකු වූ ගුණපාල සහ ඔහුගේ පුත‍්‍රයා වන අනුර නොහොත් වසන්ත ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔත්තුකරුවන් බවට පත්වූ අතර ඔවුන් හරහා 1988 අවසාන භාගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ සාමාජිකයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. වසන්ත අත්අඩංගුවට ගත්තේ හබරාදූව අගුලුගහ උපතැපැල් කාර්යාලය අසල වැඩිහිටි දීමනා පැහැර ගැනීමට කළ සැලසුමකදීය. 


ජවිපෙ 2 වැනි කැරැල්ලේ දකුණු කලාපයේ දේශපාලන සහ යුද නායක වශයෙන් කටයුතු කළ ප‍්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක මුළුමනින්ම වාගේ බිඳ වැටුණු ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන සහ සන්නද්ධ ක්‍රියාකාරකම් යළි වහාම ගොඩනැගීම සඳහා 1989 පෙබරවාරි වනවිට මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ ඉදිරිපෙළ නායකයන් 10 දෙනකු මාතර දිසා ලේකම් විජිත සමඟින් වහාම ගාල්ල දිස්ත්‍රික්කයට අනුයුක්ත කෙරිණි. ඒ අනුව ගාල්ල දිසා ලේකම් ලෙස විජිත පත්වූ අතර ඔහු සමඟ මාතර දිස්ත්‍රික්කයෙන් ගාල්ලට පැමිණි මුල්පෙළේ නායකයන් අතර මාතර සන්නද්ධ ලේකම්වරයකු වූ වික‍්‍රමසිංහ, සන්නද්ධ ක්‍රියාකාරිකයන් වූ කොටපොල අතුල, මුලටියන විතාන, මොරවක සුදර්ශන, මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කලාප නායකයන් වූ ප්‍රේමරත්න, අතුල, සිල්වා, ගුණසිරි සහ පල්ලේවෙල විය. 


කර්නල් ලක්ෂ්මන් අල්ගම විසින් මුළුමනින්ම වාගේ බිඳ දමා තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ගොඩනැගීම ඉතා අසීරු අඩියකට පැමිණ තිබිණි. ජවිපෙ ක්‍රියාකාරිකයන් සහ සාමාජිකයන් සොයා ගැනීමට නොහැකි තැනට පසුබැස තිබිණි. උදව් කරන හිතවතුන් භීතියට පත්ව නිවෙස්වලට ජවිපෙ අය පැමිණෙනවාට පවා මනාපයක් නොතිබිණි. ඔත්තුකරුවන් සහ ගෝනිබිල්ලන් තැන තැන සිටි නිසා වැඩ කිරීමට නොහැකි වාතාවරණයක් ගොඩනැගී තිබිණි. ජවිපෙ දකුණු කලාප නායකයාගේ උපදෙස් පරිදි විශාල ප‍්‍රහාර කිහිපයක් ක්‍රියාත්මක කළ අතර ඒ තුළ ආරක්ෂක අංශ එක් තැනකට ස්ථානගත කිරීමටත්, පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ සහ ජනතා විශ්වාසය නැවත ලබාගැනීමටත් ඔවුහු සමත් විය. 


පිටිගල පොලිසියට 1989 අප්‍රේල් 21 වැනිදා අළුයම 3ට ජවිපෙ මගින් ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව අවි ආයුධ පැහැර ගන්නා ලදී. එහිදී පොලිස් කොස්තාපල්වරයකු වූ අනුර කාන්ත සොයිසා පිටිගල පොලිසියේ සහායට පැමිණි ඇල්පිටිය හමුදා කඳවුරේ හතරවන ගැමුණු හේවා බළකායේ හමුදා භටයකු වූ එස්.ඒ.ජේ. සිල්වා ද කැරැලිකරුවන් අතින් මියගියහ. පිටිගල පොලිස් ස්ථානයට පහර දුන්නේ 13 දෙනකුගේ පිරිසකි. ඉන් 9 දෙනෙක්ම මාතරින් ගාල්ලට අනුයුක්ත කළ අය වූහ. කැරැලිකරුවකු වූ විජේසිංහගේ පාදයකට වෙඩි වැදී එම පාදය වෛද්‍ය උපදෙස් මත ඉවත් කිරීමට සිදුවිය. එමෙන්ම බෙන්තොට පොලිසියට 1989 අගෝස්තු 10 ප‍්‍රහාරයක් එල්ල කර එහි සියලු ආයුධ ලබාගැනීමට කැරැලිකරුවෝ සමත් වූහ. කැරැලිකරුවන් 15ක් බෙන්තර පොලිස් ප‍්‍රහාරයට සහභාගී වූ අතර ප‍්‍රහාරය උදෑසන 6.05ට ආරම්භ වී විනාඩි 10ක් තුළ නිමා විය. කැරැලිකරුවන් උදෑසන 5.50ට පමණ හමුදා ඇඳුමින් සැරසී බෙන්තර පාලම අසල වාහන පරීක්ෂාවක ද නිරත වී තිබිණි. තුවාල වූ කැරලිකරුවකු ගාල්ල සමුපකාර රෝහළට ඇතුළු කෙරිණි. නාගොඩ තල්ගස්විල හමුදා මුරපොළට පහරදුන් කැරැලිකරුවන් ගාල්ල ඇල්පිටිය, පෝද්දල පොලිසි සහ කොටිගල හමුදා ඒකකය ඇතුළු ස්ථාන කිහිපයකට ද ප‍්‍රහාර එල්ල කරන ලදී. 


ආරක්ෂක අංශ මගින් හබරාදුව බැද්දේගෙදර සිංහරාජ අඩවියට මායිම්ව තිබූ ජවිපෙ පුහුණු කඳවුරකට 1989 මාර්තු 6 වැනිදා අලුයම 5ට ප‍්‍රහාරයක් එල්ල කළ අතර එහි සිටි 35 දෙනකු අතරින් කැරැලිකරුවන් 7 දෙනකු ඝාතනය කිරීමට ද මාතර ඉරේෂා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ද සමත් විණ. එම ජවිපෙ කඳවුර භාරව සිටි එක් අයකු වූයේ තංගල්ලේ සිසිර වාහල්තන්ත‍්‍රි නොහොත් විල්සන්ය. කොටිගල හමුදා කඳවුරේ සිටි 5 සහ 4 ගැමුණු බළකායන්වල භටයෝ එයට එක්ව සිටියහ. ඉමදුව කෝඹල පැවැති ජවිපෙ ගාල්ල පොලිස් කොට්ඨාස ලේකම්වරුන්ගේ සාකච්ඡාවකට 1989 සැප්තැම්බර් හමුදා පහරදීමේදී එයට සහභාගී වූ 7 දෙනකු ඝාතනයට පත්වූහ. 


ගාල්ල මහ ඇමැති කාර්යාලය පරිශ‍්‍රයේදී කාර් බෝම්බයක් පිපිරවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් 2ක් ඇතුළු සිව්දෙනකු 1989 ජුනි 28 වැනිදා ඝාතනයට ලක්විය. එම කාල බෝම්බය ඇටවූ මෝටර් රථය අම්බලන්ගොඩදී කලින් දින පැහැරගෙන හික්කඩුවට ගෙනැවිත් බෝම්බය සවිකර තිබිණි. මෙය අදියර 3කින් ක‍්‍රියාත්මක වූ සැලසුමකි. හික්කඩුව නාරිගම ප‍්‍රදේශයේ පදිංචි රජයේ උසස් නිලධාරියකුගේ නිවෙසට පෙර දින රාත‍්‍රී 12ට පැමිණ වාහනය පැහැරගත් අතර ඔවුන් පසු දින පෙරවරු 10.30 දක්වා නිවාස අඩස්සියේ රඳවනු ලැබීය. පැහැරගත් වාහනය හික්කඩුව නගරයේ නිවෙසක ගරාජයක් තුළදී කිලෝ 110ක ජෙලග්නයිට් පුරවන ලද කාර් බෝම්බයක් සවිකර එය පෙරවරු 10.30ට පුපුරන අන්දමින් සකස්කර දකුණේ මහ ඇමැති අමරසිරි එතනට පැමිණෙන විට බෝම්බ ඇටවූ රථය එහි හැප්පවීමය,  මහ ඇමැති අමරසිරි එදින නොපැමිණි හෙයින් බෝම්බ ඇටවූ කාර් රථය රැස්වීම් ශාලාව අසල තබා පැමිණි අතර එය පිපිරීමෙන් කිහිප දෙනකුම ඝාතනයට පත්විය. එම දැවැන්ත ප‍්‍රහාරයෙන් පසු නගර වැසියන්ගේ අවධානය යළි දිනා ගැනීමට කැරැලිකරුවෝ සමත් විය. 


දකුණු පළාත් මහ ඇමැති එම්. සිරිසේන අමරසිරිගේ බිරිඳ වූ එස්.වී. තෙවරප්පෙරුම ඝාතනය කරන ලදී. වසර 1925 සැප්තැම්බර් 05 උපන් දකුණු පළාත් මහ ඇමැතිවරයාගේ මාපලගම මහ ගෙදර ද ගිනි තබා විනාශ කළ අතර 1988 ඔක්තෝබර් 30 වැනිදා ගාල්ල නාගොඩ නිවසට ප‍්‍රහාරයක් ද එල්ල කරන ලදී. හබරාදූව එජාප මන්ත‍්‍රී සහ ගාල්ල දිසා ඇමැති ජී.වී.එස්. ද සිල්වා 1988 මැයි 1 ගාල්ලේදී  ද හිටපු එජාප මන්ත‍්‍රී දයා සේපාලි සේනාධීර 1989 අගෝස්තු 29 වැනිදා  ඇල්පිටියේදී ද අක්මීමන එජාප සංවිධායක සරත් නානායක්කාර 1988 නොවැම්බර් 27  වැනිදා හබරාදූවේදී ද ඝාතනය කරන ලදී. ඔවුන් ඝාතනය කිරීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් සතුව තිබූ අවි ද කැරැලිකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබිණි. හිටපු මන්ත‍්‍රීනි දයා සේපාලි ඝාතනය කිරීමට කැරැලිකරුවන් පැමිණ තිබුණේ වැලි ලොරියක් තුළ සැඟවීගෙනය. 


ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ දේශපාලන අංශයේ පූර්ණකාලීන සාමාජිකයන් සංඛ්‍යාව 1989 අගෝස්තු වනවිට 1,500ක් ඉක්මවා තිබූ අතර සන්නද්ධ අංශයේ මුල් පෙළේ පිරිස 20ක් පමණ වූහ. පොද්දල පොලිසියට පහරදීමට සූදානම් වූ දිනට පෙර දින ආරක්ෂක අංශ මගින් කරන ලද වැටලීමකදී සිදු වූ ප‍්‍රහාරයෙන් ඉන් තිදෙනකු මරණයට පත්වූහ. එහෙත් සතියකට පසු 1989 සැප්තැම්බර් 02 පෝද්දල පොලිසියට ද ප‍්‍රහාරයක් එල්ල කර ආයුධ පැහැර ගැනීමට ද පොලිසිය ගිනි බත් කිරීමට ද කැරැලිකරුවන් කටයුතු කළහ. එහිදී ජවිපෙ මුල්පෙළ කැරැලිකරුවකු වූ මොරවක සුදර්ශන මියගියේය. පෝද්දල ප‍්‍රහාරයෙන් පසු අකුරැස්ස දෙදියගල වනාන්තරයට කැරැලිකරුවෝ පසු බැස්සෝය. 


එජාප නොවන එහෙත් ඉන්දු ලංකා ගිවිසුමට සහාය දුන් ලසසප, කොප, මහජන පක්ෂය, නසසප ඇතුළු ගාලු දිස්ත්‍රික්කයේ විපක්ෂයේ දේශපාලන නායකයන් සහ ක්‍රියාකාරිකයන් ගණනාවක්ම කැරැලිකරුවන් විසින් ඝාතනයට ලක්කරන ලදී. ඉන් ප‍්‍රධානම සිද්ධිය වූයේ ගාලු දිසාවේ වාම නායකයකු සහ ගුරු සංගම් ජාතික නායකයකු වූ හබරාදූව දකුණු හරුමල්ගොඩ බටහිර විසූ 1935 නොවැම්බර් 25 දා උපන් දකුණු පළාත් සභා මන්ත‍්‍රී ජෝර්ජ් රත්නායක 1988 සැප්තැම්බර් 14 වැනිදා හප්පාදුවේදී පිහියෙන් ඇන ඝාතනය කිරීමය. රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් වූ ජෝර්ජ්ගේ බිරිඳ බන්දුමතී වූ අතර දරුවන් වූයේ ඉන්ද්‍ර කුමාර, චන්ද්‍රා කුමාරි සහ මහී කුමාරි ය. 


ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙට සම්බන්ධ අය ආරක්ෂක අංශ මගින් ද එජාපය හෝ ආණ්ඩුවට සම්බන්ධ අය ජවිපෙ විසින් ද 1988 නොවැම්බර් සිට 1990 මාර්තු දක්වා ඝාතනය කරන ලද්දේ තරගයට මෙනි. ඒ අතරින් ගාල්ලේදී අත්අඩංගුවට ගත් අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා නොහොත් දීපිකා මුතුහෙට්ටි සහ හිනිදුම චාමිනී මුතුහෙට්ටි නොහොත් වරුණිගේ ද නියෝජ්‍ය පොලිස්පති (දකුණු පළාත්) ප්‍රේමදාස උඩුගම්පලගේ මව වූ ඇලිස් චන්ද්‍රාවතී (77) ඇතුළු පවුලේ පස්දෙනෙක් 1988 ජුලි 24 වැනිදා ගාල්ල උළුවිටිකේහිදී ද බලපිටියේ පාතමුලේලේ කුලසේන ද සිල්වා ඇතුළු එකම ඥාති පවුලකට අයත් 7 දෙනෙක් 1988 නොවැම්බර් 19 වැනිදා ද අම්බලන්ගොඩ පෝරම පනියන පදිංචි මල්ලියාවඩු සෝමතුංග ඇතුළු එකම පවුලේ 8 දෙනකුගේ ඝාතනයන් ද ඒ අතර කැපී පෙනිණි. ප්‍රේමදාස උඩුගම්පලගේ කනිටු සොහොයුරන් වූ පද්මසිරි යුද හමුදාවේ මේජර්වරයකු වශයෙන් ද කුලසිරි පොලිස් පරීක්ෂකයකු වශයෙන් ද එකල සේවය කරමින් සිටියහ. 

 

ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම් මගින් ඝාතනයට ලක්කල ගාලු දිස්ත්‍රික් ජවිපෙ ශික්ෂු සංවිධානයේ ලේකම් ගොඩකන්දේ මංගල හිමි, 1971 අප්‍රේල් කැරැල්ලේදී ගාල්ලේ ඌරගහ පොලිසිය යටත් කරගත් කණ්ඩායමේ නායකයෙකුවූ පසුව 2 වැනි කැරැල්ලේ ක්‍රියාකාරිකයෙකුව සිටියදී 1988 දෙසැම්බර් 17 වැනිදා ඝාතනයට පත්වූ කිරිමැටියාය කණිෂ්ඨ විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකුවූ ඌරගහ රොබට් වික්‍රමසිංහ, අම්බලන්ගොඩ ජවිපෙ ක්‍රියාකාරිකව සිටි දේවානන්ද විදුහලේ ගුරුවරයෙකුවූ චන්ද්‍රදාස නයිදුවාවඩු, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාන්තා කැරලි නායිකාවක් වශයෙන් සිටියදී ඝාතනයට පත්වූ ගාල්ල සංඝමිත්තා විදුහලේ සිසු මාලා මල්කාන්ති හෙවත් චන්දි, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටියදී ඝාතනයට පත් ඇල්පිටියේ ආනන්ද මධ්‍ය මහ විදුහලේ සමන් ප්‍රියන්ත රත්නායක මෙහි වමේ සිටය.

අසූව දශකයේ ජවිපෙ සෘජු සහ වක්‍ර ශික්ෂූ සංවිධානවලට පුරෝගාමී නායකත්වයක් ලබාදුන් අම්බලන්ගොඩ කලුවඩුමුල්ල විහාරයේ නායක ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, ගාල්ල දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියෙකුවූ ලුතිනන් කර්නල් වෙදමේස්ත්‍රිගේ මහින්ද පැට්‍රික් ප්‍රනාන්දු, කැරලිකරුවන් විසින් 1988 සැප්තැම්බර් 14 ඝාතනය කළ විශිෂ්තටම ගුරු සංගම් නායකයෙකුවූ හබරාදූව ජෝර්ජ් රත්නායක, ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ සංහාරය පිළිබඳව දිවයින පුවත්පත හරහා නොබියව පෑන හැසිරවූ රත්ගම සුගතපාල මෙන්ඩිස්, කැරැල්ල පරාජයෙන් පසු රුහුණු සරසවියේ කැරලිකාර සිසුනට යළි උපාධිය හැදෑරීමට දිරිදුන් උපකුලපති මහාචාර්ය චන්ද්‍රසිරි නිරිඇල්ල

ගාල්ල දිස්ත්‍රික් ජවිපෙ දේශපාලන ලේකම්වරුන් වශයෙන් සිටි වලස්මුල්ලේ උපන් ධර්මවර්ධන මුණසිංහ හෙවත් අජන්ත, ගම්පහ මුදුන්ගොඩ උපන් ගාමිණී ගුණසේකර හෙවත් අතුරලිය, ගාල්ල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් වශයෙන් සිිටි මොරවක ලබුකැලේ උපන් කළුආරච්චි ටී.එස්. දේවානන්ද හෙවත් මහේෂ් සහ හම්බන්තොට දෙබරවැව උපන් ඥාණසිරි පල්ලියගුරු හෙවත් බෙනට්ද, විජේවීර ඝාතනයෙන් පසු දේශපාලන ලේකම්වූ රත්නපුර ගොඩකවෙල උපන් චන්ද්‍රරාජ් නිශ්ශංක හෙවත් පියසිරිද මෙහි වේ.

 


බෙන්තර සහ ගිං ගඟේ මළසිරුරු නිරතුරුව පාවී යෑම සුලබ දසුනක් විය. වසර 1989 සැප්තැම්බර් 21 දිනයේදී පමණක් බෙන්තර ගඟේ මළසිරුරු විශාල සංඛ්‍යාවක් පාවී යනු දක්නට ලැබුණු බව ආණ්ඩුවේ ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්.) හි සේනා විධායක ආර්.කේ.එල්. කරුණාසේන 1988 දෙසැම්බර් 10 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එස්.ටී.එෆ්. බළකාය 1988 ජුලි 7න් පසුව දකුණු පළාතේ කිසිම ආරක්ෂක කටයුත්තකට සහභාගී වී නැති බැවින් දකුණු පළාතේ සිදුවන පැහැරගැනීම්, පුද්ගලයන් අතුරුදන් වීම් සහ ඝාතනයන් පිළිබඳව එම බළකාය හවුල් නොමැති බවය. 


වසර 1989 අවසාන භාගය වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ද හම්බන්තොට දිස්ත්‍රික්කය මෙන් කැරැල්ලේ ජවිපෙ නායකයන් සහ ක්‍රියාකාරිකයන්ට එරෙහිව විවිධාකාර චෝදනා විය. ඉන් චෝදනා කිහිපයක් වූයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් විජිතගේ පෙම්වතිය වූ රුහුණු සරසවියේ ශාස්ත‍්‍ර පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වූ දිස්ත්‍රික්කයේ කාන්තා කලාප නායිකාවක් සමඟ මාතර දිසා ලේකම් ගාමිණී ගුණසේකර නොහොත් අතුරලිය විසින් ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට තැත්කර තිබීමය. ජවිපෙ ප‍්‍රධාන ලේකම් සහ දකුණු කලාප නායක උපතිස්ස ගමනායක විසින් ඇය බදුලු දිස්ත්‍රික්කයේ කාන්තා අංශයට මාරුකරන ලද්දේ එයට තාවකාලික පිළියමක් ලෙසිනි. එහෙත් එහි යෑම ප‍්‍රතික්ෂේප කළ ඇය ජවිපෙ දේශපාලනයට ද සමුදුන්නාය. ඇයගේ දෙමාපියන් ඇතුළු සියලු සාමාජිකයන් නතරව සිටියේ හබරාදූව කතළුව දුම්රිය ස්ථානයට ආසන්නවය. ඇයගේ නැඟනිය ද රුහුණු සරසවි ශිෂ්‍යාවක් වූ අතර බෙලිඅත්ත කලාපයේ ජවිපෙ කාන්තා නායිකාවක වූවාය. බාලම සොහොයුරා අකුරැස්ස කෝට්ඨාසයේ කලක් දේශපාලන ලේකම් වශයෙන් ද කටයුතු කළේය. 


බද්දේගම කොට්ඨාසයේ දේශපාලන ලේකම්වරයකු වූ අකුරැස්සේ වැලිකැටියේ උපන් පූර්ණකාලීනයකු සහ ඇල්පිටිය කොට්ඨාසයේ දේශපාලන ලේකම්වරයකු වූ හක්මන පොත්තවෙල උපන් පූර්ණකාලීනයකු වූ අයෙක් ද පිටිගල ප‍්‍රදේශයේ එක් දරු මවක් සමඟ ඇයගේ සැමියාගේ විරෝධතාව ද නොතකා බලහත්කාරයෙන් සබඳතාවක් පැවැත්වූ අතර එය නතර නොකළ හෙයින් කැරැලිකරුවන්ගේම වෙඩි තැබීමකින් චූදිතයන් දෙදෙනාම මරණයට පත්විය. 


ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ක්‍රියාකාරිකයන් අතර සිටි සිය ගණනක් 1989 මැද භාගයේ සිට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්වූහ. ඒ අතර ඖෂධවේදියෙක් වූ හිනිදුම ගුණසිරි ද බලපිටියේ නලීන් කුමාර, කුමාර කන්දේ සුජීව, බැද්දේගෙදර තිලක්, හමුදා භටයකු වූ ජයලත්, මීගහගොඩ ජයන්ත සහ ප්‍රේමරත්න බෝපගේ, හබරාදූව කොක්වත්තේ සුනිල් සහ ටියුඩර් ඇතුළු පිරිසක් විය. පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර ලූණුමෝදර ඩික්මන් සිය දිවි නසාගෙන තිබිණි. 


ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ කඳවුරු සහ ඇතැම් පොලිස් ස්ථානයන් හි ද පෞද්ගලික නිවාස කිහිපයක ද රැඳවුම් කඳවුරු ලෙස හඳුන්වා දෙමින් පවත්වාගෙන ගිය වධ කඳවුරු රැසක් විය. ගාල්ල දිස්ත්‍රික්කය තුළ 1989 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධව සිටි පළමු පෙළ සහ දෙවැනි පෙළ බොහෝදෙනකු ඝාතනයට ලක්වුව ද දිවි බේරාගැනීමට ද පිරිසක් සමත් වූහ. එමෙන්ම ගොඩකන්දේ මංගල හිමි, නාකන්දේ නිගෝධාරාමයේ හීන්බුල්ලේ කරුණාසාර හිමි ඇතුළු හිමිවරු සිය ගණනක් ද ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වූහ. 


ජවිපෙ 1971 සහ 1986/90 කැරැලි දෙකෙන්ම ලාංකීය ඉතිහාසයට එක්කළ කරුණු සහ අත්දැකීම් රැසකි. සංහාර සමයක මෙවැනි සටහන් බොහෝය. මෙහි පළවූයේ ගාලු දිස්ත්‍රික්කයේ එම ඉතිහාසයෙන් පැතිකඩකි. (ජවිපෙ 2 වැනි කැරැලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 අංකයෙන් ලබාගත හැකිය.)