රනිල් වික්‍රසිංහයන්ගේ මව් පාර්ශ්වයේ පිරිස මෙන්ම පිය පාර්ශ්වයේ ඇත්තන් ද දේශපාලනය ඔස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසීමට උත්සාහ කළේ නැත. නමුත් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ නායකයින් සමඟ ස්වකීය මව්බිමේ අභිවෘද්ධිය උදෙසා රට දැය සමය වෙනුවෙන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ ප්‍රභූවරු වූහ. රනිල්ගේ පියාගේ පියා සී.එල්. වික්‍රමසිංහ රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය සේවකයෙකු ලෙස අමරණීය සේවයක් කොට ඇත. 


සී.එල්. වික්‍රමසිංහ මහතාගේ වැඩි මල් පුත් එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල්ගේ පියාය. ඩී.ආර්. විජයවර්ධන මහතාගේ දෙටු දියණිය නාලනී මහත්මිය සමඟ අතිනත ගැනී​ෙමන් පසුව වෙනත් මඟකට පිවිසියේය. ලේක්හවුස් ආයතනයේ පාලන අධ්‍යක්ෂවරයා වූයේ ඔහුය. මේ නිසා පවතින දේශපාලනයේ පිටුපස සිට මෙහෙය වීමට එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාට හැකි විය.   


නාලනී සහ එස්මන්ඩ් වික්‍රමසිංහ යුවළට දාව ලැබුණු මද්දුමයා ලෙස 1949 මාර්තු 24 වැනි දින රනිල් උපත ලැබීය.   


සැලසුම් ගත අධ්‍යාපන රටාව මගින් පමණක් තම දූ දරුවන් සම්පූර්ණ නොවන බව අවබෝධ කොටගත් වික්‍රමසිංහ යුවළ දරු පිරිස බම්බලපිටිය වජිරාරාම දහම් පාසලට කැඳවාගෙන ගියෝය. .   


රනිල් මෙලෙස විධිමත් අධ්‍යාපනය පාසලෙන් ලබන අතර තුර ආගමික අධ්‍යාපනය අධ්‍යාත්මික ගුණ සුවඳ දහම් පාසලෙන් ලබා ගත්තේය. ඔහු පියානෝ වාදනයේ නිපුණයෙකි. සෞන්දර්ය කලාව, සාහිත්‍ය ඇසුර ලැබූවෙකි. නාලනී වික්‍රමසිංහ මහත්මිය සිංහල සංස්කෘතික ආයතනයේ වැඩ කටයුතුවලට වැඩි කැමැත්තක් දැක්වීමත්, බෞද්ධ සමිතියේ ක්‍රියාකාරී සාමාජිකාවක් වීමත් නිසා දූ දරුවන් සමඟ එම ස්ථානයටත් යෑම සාමාන්‍ය සිරිතක් විය.   
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව රනිල් වික්‍රමසිංහට සිංහල මාධ්‍යයේ ඉගෙන ගැනීමට සිදු විය. ඔහු පොදු සහතික පත්‍ර විභාගයෙන් සමත් වූවේය. රනිල් උසස් පෙළ සඳහා තෝරා ගත්තේ කලා විෂයන්ය. අධ්‍යාපනය ලැබි​ෙම්දී විශේෂ කුසලතාවන් රනිල් පෙන්නුම් කළේය.    


පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව කොළඹ නීති පීඨයට ඇතුළත් වූ ඔහු එල්.එල්.බී. විභාගය උසස් ලෙස සමත් විය. අනතුරුව කොළඹ නීති විද්‍යාලය මගින් පශ්චාත් නීති පුහුණු අධ්‍යාපනය ලබා ඉන් පිට වූයේ අධිනීතිඥයෙක් ලෙසය. ඔහුගේ නීති ක්ෂේත්‍රය වූයේ ව්‍යවස්ථාදායක නීතිය, සිවිල් නීතිය සහ බදු නීතියයි. එම නීති අංශ පිළිබඳ තරුණ රනිල් වික්‍රමසිංහ විශාරද​ෙයකි.   


රනිල් වික්‍රමසිංහයන් ලංකා විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා අගමැති තනතුරට පත් වූවෙකි. විශ්ව විද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයායි. ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ පුද්ගලයෙකි. සරසවි අධ්‍යාපනය සාර්ථකව අවසන් කොට සිටි මේ සටන් සගයාට එවකට විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ජේ.ආර්. ජයවර්ධන මහතා ඇරයුමක් කළේය.   


 රට පුරා තරුණ සංවිධාන ඇති කිරීම, තරුණ තරුණියන්ට ආමන්ත්‍රණය කිරීමට ලැබීම රනිල්ට ලැබුණු ආශිර්වාදයක් විය. ඒ සමඟම එජාපය කම්කරුවන්ට විරුද්ධ පක්ෂයක් ලෙස සමාජයේ ඇතිවී තිබුණු මතය දුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති බල මණ්ඩලය, ‘ජාතික සේවක සංගමය’ ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු විය. ඒ සඳහා රට පුරා ශාඛා සමිති පිහිටු වීය. එසේම කාන්තා සමිති අලුතින් ඇරඹිණි. කොළඹින් ඈත පළාත්වල තරුණ තරුණියන්ට ප්‍රමුඛස්ථානය දෙනු ලැබීය. මෙම සියලු කටයුතුවලට සෘජුව දායක වීමට රනිල්ට සිදු වූ අතර ඔහු තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික ලෙසද වගකීම දැරුවේය.   


රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන ජීවිතයේ ඉතා වැදගත් අත්දැකීම ලබා ගැනීමට හැකි වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතා දකුණු කොළඹ ආසනයෙන් 1975 දී ඉල්ලා අස් වීමත් සමඟය. ඉන්පසු අතුරු මැතිවරණයක් පැවැත්වීමට රජයට සිදු විය. ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ සඳහා ඉදිරිපත් විය. එම අවස්ථාවේදී මැතිවරණ කටයුතු සඳහා ලේකම් ලෙස රනිල් තෝරා ගනු ලැබීය. ​ෙජ්.ආර්. ජයවර්ධන මහතාට නැවත වතාවත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.   


1970 සිට අතුරු මැතිවරණ කිහිපයක් පැවැත්වීමට රජයට සිදු විය. පුත්තලම, කැස්බෑව හා නුවරඑළිය මේ ආසන සඳහා එජාපයෙන් ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයෝ ජයග්‍රහණය කළෝය. එම පක්ෂ සංවිධාන කටයුතු හා ප්‍රචාරක කටයුතු හේතුකොට ගෙන රනිල්ට දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල අත්දැකීම් ලබා ගැනීමට හැකි විය. ඔහු පක්ෂයේ වැඩ කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව සිතූ ජයවර්ධන මහතා තමාගේ ජනප්‍රිය ආසනය වන කැලණිය ආසනය රනිල්ට පැවරිය යුතු බවට තීරණය කළේය.   


​ෙකසේ වෙතත් කැලණිය යනු බෞද්ධයින්ගේ හදවත බඳු ස්ථානයක් පමණක් නොව රනිල් වික්‍රමසිංහගේ ඥාති පරපුරේ දායකත්වයෙන් විචිත්‍රවත් වූ අාධ්‍යාත්මික පෙදෙසකි. එබැවින් තරුණ රනිල් එම ආසනයේ එජාපයේ ආසන සංවිධායක ලෙස ඉදිරිපත් වීම බොදු බැතිමතුන්ගේ අදහස මල්ඵල ගැනීමක් බඳු විය. ඉමහත් උද්‍යෝගයකින් සිය සංවිධාන කටයුතුවල නියැළෙමින් සිටින අතරතුර දී මැතිවරණ සීමානිර්ණය කොමිසමේ තීරණයකට අනුව කැලණිය සහ බියගම ලෙස ආසන දෙකක් නිර්ණය කිරීමෙන් පසු මේ අනුව කැලණිය ආසනය සිරිල් මැතිව්ටත් බියගම ආසනය රනිල් වික්‍රමසිංහටත් බාර දෙන ලදී. ඔහු නව ජවයකින් බියගම අසුනේ සංවිධාන කටයුතුවලට මැදිහත් වෙමින් එම අසුනට අයත් නිවාස අට දහසකට ගොස් ජනතාව හමු විය. එවකට එහි ශ්‍රීලනිපය සංවිධායකවරයාගෙන් ජනතාවට වුණු සෙතක් නොවූයෙන් රනිල් වික්‍රමසිංහ වටා ජනතාව එක්රොක් වූයේය. 1977 මහ මැතිවරණයේදී බියගම වැඩි ඡන්ද 6664ක් ද මුළු ඡන්ද 22,045ක් ද ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් සිය කුළුඳුල් තරගයෙන් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේය.   
පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු වතාවෙන්ම වික්‍රමසිංහ මහතා 5/6ක ජයක් ලැබූ ජයවර්ධන රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය පදවියෙන් පිදුම් ලැබීය. අමාත්‍යවරයා වූයේ අබ්දුල් කාදර් ෂාහුල් හමීඩ්ය.   
රනිල් වික්‍රමසිංහ මහතා අනාගත නායකත්වයට ගැළපෙන ලෙස සකස් කර ගැනීම පිළිබඳව ජේ.ආර්. ජයවර්ධන තුළ කැමැත්තක් තිබුණු බවට අනුමානය කිරීමට කරුණු කාරණා රැසක් විද්‍යමාන විය.   
රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ධුරයට 1980 දී පත් කරන ලදි. 1988 දක්වා එම තනතුරේ කටයුතු කළේය. රටක ජනතාවගේ අනාගත අභිවෘද්ධිය ඉටු කර ගැනීමට හැකි වෙන්නේ ඒ රටේ අධ්‍යාපනය දියුණු වීම මගිනි. මීට පෙර මෙම අමාත්‍යාංශය දැරූ ඇමැතිවරුන්ගෙන් බලාපොරොත්තු වූ සේවය ලැබුණේ නැත.   


1981 දී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව පුළුල්ව කල්පනා කර බලා විද්වතුන් හා සාකච්ඡා කොට අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කළේය. සංවාදය වෙනුවට ඒ සඳහා රටම ගිනි අවුළුවන තැනකට විරුද්ධ පක්ෂ කටයුතු කළේය. අධ්‍යාපන අමාත්‍යතුමා ධවල පත්‍රිකාව ඉවත් කර ගත්තේය.   


රනිල් වික්‍රමසිංහ මහතාට ගුරුවරුන් ගැන මනා අවබෝධයක් හා වැටහීමක් තිබෙන නිසා ගුරුවරුන් පත් කිරීම පිළිබඳව ඉතා උසස් ක්‍රියාමාර්ගයක් ගනු ලැබිණි. මන්ත්‍රීවරු මගින් ගුරු පත්වීම් දීම සම්පූර්ණයෙන් අත්හිටුවා උසස් පෙළ විභාගය සමත් වී සරසවියට තෝරා නොගත් සිසු සිසුවියනට විද්‍යාපීඨ හරහා පුහුණුවක් ලබා දී ගුරු සේවයට බඳවා ගනු ලැබීය.   


ගුරුවරුන් බඳවා ගැනීමේදී පොදු විවෘත තරග විභාගයක් පවත්වා අවශ්‍යතාවට ඇතුළත් කර ගත් අතර නුපුහුණු ගුරු භවතුන් පුහුණු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද දියත් කළේය. දියුණු ලෝකය සහ සමඟ මුසුවීමේ අභිලාෂයෙන් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා විශේෂ විධිවිධාන යෙදීමට රජයට සිදු විය. ඒ සඳහා කැබිනට් ක්‍රියාමාර්ගයක් ලෙස ‘ඩෙලික්’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.   


හෙතෙම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කළේය. ඒ සඳහා බණ්ඩාරවෙල ක්‍රීඩා පුහුණු විශේෂ ඒකකයක් ආරම්භ කළේය. මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ අධ්‍යාපනය උදෙසා කළ මෙහෙවර අපමණය.   


1989 වෙනවිට කර්මාන්ත අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහුගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පාලනය වූ කර්මාන්ත රැසක් තිබුණේය. සිමෙන්ති සංස්ථාව, කඩදාසි සංස්ථාව, ලෝහ භාණ්ඩ සංස්ථාව, පිඟන් සංස්ථාව ඇතුළු ආයතන රැසක් එම අමත්‍යාංශයට අයත් විය.   


පෙර පැවති රජය සලාක ක්‍රමය අනුගමනය කිරීම නිසා කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමට පවා නොහැකි වී කර්මාන්ත කඩා වැටුණේය. මේ අනුව හිඟයකින් තොරව අමුද්‍රව්‍ය පිට රටින්​ ගෙන්වීමටත් නිමි ද්‍රව්‍ය පිට රටට යැවීමටත් ආනයන අපනයන නීති රීති ලිහිල් කළේය. කර්මාන්ත ක්​ෙෂ්ත්‍රයේ ද වෙළෙඳ ක්ෂේත්‍රයේ ද දියුණුවක් ඇති විය. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ විශේෂ උනන්දුව මත ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා 200ක් අලුතින් ආරම්භ කිරීම රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිතුමා යටතේ සිදු වූ තවත් විශේෂ ව්‍යාපෘතියකි.   


විවිධ තංහචි පනවා තිබුණු ඖෂධ ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රාශියක් රටේ උතුරු පළාතට පිටත් කර හැරීමට කටයුතු සම්පාදනය කෙරිණි. ජන වාර්ගික ගැටලුවලට විසඳුම් දීමට පෙර දමිළ ජනතාවගේ සිත් දිනා ගැනීමට ක්‍රියා කිරීම එතුමාගේ පළමු අභිප්‍රාය විය. එමගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි පැවැති ළෙන්ගතු බව හෑල්ලු කොට එල්.ටී.ටී.ඊ. සංවිධානය සාම මාවතට යොමු කර ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ විය.   


වික්‍රමසිංහ මහතා ඇත්දැකීම් බහුල දේශපාලනඥයෙක් ලෙස ඉතා ශූර ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට සාම මේසයෙන් ඉවත් වී යාමට නොහැකි ලෙස රට වට කොට වැට බැන්දේය.   


පරිණත දේශපාලනඥයෙකු ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති, යෞවන කටයුතු රැකී රක්ෂා, අධ්‍යාපන, කර්මාන්ත යන අමාත්‍ය ධුර දැරූ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා රජයේ අගමැතිවරයා ලෙස පත් වීමත් සමඟම සාම සාකච්ඡා ආරම්භ කළේය.   


අගමැතිවරයා සමඟ සාකච්ඡා ආරම්භ කොට ශක්තිමත් සටන් විරාම ගිවිසුමකට එළඹීමට හැකි විය. එම සටන් විරාම ගිවිසුම දේශීය සහ විදේශීය නියෝජිතයන් හා ජාතික හා ජාත්‍යන්තර ජනමාධ්‍ය ඉදිරියේ වන්නි කැලේ දී අත්සන් කරනු ලැබිණි.   


එම නිසා සටන් විරාම ගිවිසුම කැඩීමට දෙපාර්ශ්වයටම නොහැකි විය. ඒ අතරතුර කාලයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ බළකායේ නායක කරුණා අම්මාන්ගේ සිත දිනාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගැනීමට හැකි විය.   


එම ක්‍රියාවලිය නියා බියකරු යුද්ධයක අවසානයක පෙර නිමිති දැක ගැනීමට හැකි විය. වත්මනදී එම සන්නද්ධ නායකයා සහ සංවිධානයේ අනිකුත් සාමාජිකයෝ සාමාන්‍ය පුරවැසියන් ලෙස සිවිල් සමාජයේ ජීවත් වෙති. එවකට රාජ්‍ය පාලනය හෙබ වූ ජනාධිපතිතුමිය විසින් රනිල් වික්‍රමසිංහ රජය පවත්වාගෙන යෑමට නොදී පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරියාය. එසේ නොවුණා නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා ඇතුළු අනු නායකයින් සහ සාමාජිකයින් සාම ක්‍රියාදාමයට ක්‍රමයෙන් අනුගත වීමට ඉඩ තිබුණි. එසේ ​නොවූ නිසා වත්මනදී පවා ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ අප රටට එල්ල වන අද්භූත චෝදනා එල්ල නොවීමට ඉඩ තිබුණි. වර්තමාන අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ යුතුකම සහ වගකීම විය යුත්තේ පුරා අවුරුදු 40ක දේශපාලන ජීවිතයේ ලබා ගත් අත්දැකීම් පාදක කර ගනිමින් ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා සියලුම ජාතීන් දිනාගෙන ජාතීන් අතර සහජීවනය ඇති වන පරිදි ශක්තිමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට ඉදිරිපත් කිරීමයි.   


ඇමෙරිකන් ඩොලර් මිලියන 60,000ක ආසන්න ණය කන්දරාවක් සමස්ත ජනතාවගේ හිස මත පවතින බැවින් ජාත්‍යන්තරය දිනාගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගීම වගකීම වන අතර 69 වැනි උපන් දිනය සමරන මේ මොහොතේ දී ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.