සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියපු මෙම කතාවේ නායකයන් වන්නේ ප්‍රවීණ කවියන් තිදෙනෙකි. ඒ දිවංගත ප්‍රේමදාස කළුආරච්චි, කිංස්ලි දිසානායක හා පාතකඩ කුලතිලක යන ජනාදරයට පත් කවීහුය. මෙය අඩසියවසකට වඩා පැරණි කතාවකි. දිනක් ප්‍රේමදාස කළුආරච්චි මහතා මුණගැසීමට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් පිටකොටුවේ බෞද්ධ මන්දිරයේ ඔහුගේ කාර්යාලයට පැමිණියහ. 

 
අපිට මහත්තයව ටිකක් හම්බවෙන්න පුළුවන්ද?   


එක් අයෙක් විමසනවා.   
පුළුවන් වාඩිවෙන්න   


කළුආරච්චි මහතාගේ සුහද අැරයුම අනුව ඔවුහු අසුන් ගත්හ. ඔහු තේ පැන් සංග්‍රහයක්ද කළේය.   


මහත්තයා ලබන මාසේ දහවෙනිදා අපේ ගමේ කවි මඩුවක් තියන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔබතුමාගේ සහයෝගය අපිට ඕනේ. සල්ලි ප්‍රශ්නයක් නෑ.   
කොහෙද ඒක තියෙන්නේ? ඒ පැනයට මෙසේ පිළිතුරු ලැබිණ.   


කුලියාපිටියේ, කනදුල්ලේ. තව කවියෝ දෙන්නෙක් විතර හිටියොත් වැඩේ ගොඩ. අපේ ගමේ උදවිය කවියට හරි මනාපයි. මඟ වියදම්වලට මේ ගාන තියාගන්නකෝ.   
කවියට මුදලක් අතේ තබා ඔවුන් පිටවී ගියහ. නියමිත දිනයේ ප්‍රේමදාස මහතාත්, පාතකඩ කුලතිලක, කිංස්ලි දිසානායක යන කවියන් දෙදෙනාත් ගමනට පිටත් වූහ. නියමිත ස්ථානයට පැමිණි ඔවුන් දුටුවේ කවි මඩුවක් නොව පොරපිටියකි. යුධ පිටියක් කී​ෙවාත් නිවැරදිය.   
අපි වැරදි තැනකටද ඇවිල්ලා තියෙන්නේ කිංස්ලි පැවසීය. ඉන්පසුව අවට සිටි පුද්ගලයෙකුගෙන් ඒ ගැන විමසීය.   
මොකක්ද මේ අවුල. ඔහුගේ පැනයට අපූරු පිළිතුරක් ලැබිණි.   


සංවිධායකයෝ මිනිසුන්ගෙන් සල්ලි එකතු කරලා සල්ලි අරන් මාරුවෙලා. අපි ඉන්නේ කවියෝ ටික එනකන්. මහත්තුරු කවුද? කිංස්ලිට තැනට සුදුසු නුවණ පහළ විය.   
අපිත් මේ ආරංචියට කවි මඩුව බලන්න අාවේ ඔහු පැවසීය. දැන් අපි මොකද කරන්නේ? මේ යක්කු ගස්යන වෙලාවේ කොහොමද කොළඹ යන්නේ. කොහෙද නවතින්නේ. මේ ප්‍රශ්නවලට කවුරුත් පිළිතුරු සොයන්නට උත්සාහ කළහ.   
මොනවා කරන්නද? දැන් මෙතනින් යමු. ඒක ඇඟට ගුණයි. අපි එහෙම කරමු. කරන්න ඕන දේ පස්සේ හිතමු. කිංස්ලිගේ යෝජනාව ඒකමතිකව අනුමත විය. ඔවුන් අඳුරේම ආපසු එන්නට පිටත් වූහ. තිදෙනා අතර පැවතුණේ දැඩි නිහඬතාවකි. ඒ මූසල නිහඬතාව බිඳිමින් උලමකුද හඬනැගුවේය. කණාමැදිරියෝ ඔවුනට මඟ පෙන්වති. ඉවසිය නොහැකි පාළුව මකාලමින් යළිත් කිංස්ලි හඬ අවදි කළේය. හුරේ අපි දිනුවා. අපි දිනුවා. ජය අපටයි ලංකාවේ......   


ඔහු කෑගසමින් ගැයීය. ඒකට අනිත් දෙන්නාගෙන් එල්ල වුණේ දැඩි විරෝධතාවයක්.   


උඹගේ මොළේ කොළොප්පම් වෙලාද?   


රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කරනවා වගේ වැඩක්.   


බැණුම් වැස්සෙන් තෙමිලා කිංස්ලි තෙමිච්ච කුකුලෙකු බවට පත් විය. ඒත් ඔහු එඩිතරව තම අදහස පැවසීය.   
උඹලට මතක නැද්ද අපේ ආරියරත්න ඉන්නේ මේ කිට්ටුවනේ. අපේ කලාකාමී හිතවතා. කවි පිස්සා 

 
උඹේ මොළේ තමයි මොළේ.   


එහෙම කියලා මිතුරෝ ඔහුව වැළඳගත්හ.   


ඒත් මේ මහ රෑ කොහොමද ගේ හොයාගන්නේ. ගෙවල් සේරම වහලා. අනික අපි අවුරුදු ගාණකින් එහේ ගියෙත් නෑනේ.   


මෙතෙක් වෙලා නිහඬව සිටි කුලතිලක කවියා කීය. මිතුරෝ ගාට ගාට හිමිහිට ඉදිරියට ගමන් කළහ. පහණක් දැල්වුණු නිවසක් අහම්බෙන් මුණගැසුණි. ඔවුන්ගේ වාසනාවට ඔවුන්ගෙන් නිවස පිළිබඳ නිරවුල් පිළිතුරක් දැනගන්නට ලැබුණි. ඉන්පසු දුෂ්කර ගමන නතරවු​ෙණ් ආරියරත්නගේ නිවස ඉදිරිපිටය. ටක්....ටක්....ටක්... දොරට තට්ටුවක් දැමුවද එහෙත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කීපවිටක්ම තට්ටු කළත් වෙනසක් සිදුවුණේ නැහැ.   


එළිවෙනකම්ම මෙතන ඉන්න වෙයිද? නිදාගෙන තමයි ඉන්න වෙන්නේ. ඒ ප්‍රශ්නය හැමෝගේම සිත්වල දෝංකාර නැගුණා. ඒත් නිදාගන්න හිත එක්තැන් කරගන්න කාටවත් බැරිවිය. ඒ අතරවාරයේ කවුරුත් සංවිධායකයින්​ෙග් මෑණිවරු මතක් කළහ. ඔවුනගේ වාසනාවටද කොහේද බල්ලෝ මහ හඬින් උඩු බුරන්නට පටන් ගත්හ. ඒ හඬින් ආරියරත්න පැමිණ දොර ඇරලා මිතුරන් නිවස ඇතුළට අරගත්තේය. එතකොට තමයි ඔවුන්ගේ පපුවල ගැස්ම නැවතුනේ. ඒත් ආරියරත්නගේ මුහුණේ තිබුණ අඳුරු ස්වභාවය හැමෝටම ගැටලුවක් වුණි.   


මිනිහා අපි ආවට එච්චර කැමැත්තක් නැහැ වගේ.   


කිංස්ලි සැකයක් මතු කළේය.   


ඒක හරි මටත් ලොකු වෙනසක් දැනුනා. හරියට ණයකාරයෙක් ණය ඉල්ලන්න ආවා වගේනේ අපේ දිහා බැලුවේ.   
කුලතිලක තම ස්වාධීන මතය ඉදිරිපත් කළේය.   


කරන්න දෙයක් නෑ. කාගෙන ඉමු. එළිය වැටුණු හැටියේ ගෙවල් වලට යමු.   


කළුආරච්චිගේ අදහස කවුරුත් අනුමත කළහ. එහෙත් ඔවුනට ප්‍රශ්නයක් වුණේ ආරියරත්නගේ බිරිඳ සභාවට නොපැමිණීමයි.   


ආරියට වඩා උගේ ගෑනි හරි හොඳයි. සංග්‍රහශීලීයි. වෙනදට අපි ආවම එයානේ අපිව ජයටම පිළිගන්නේ විහිළුවකුත් කරලා.   


කිංස්ලිගේ සිත අතීතයට දිව ගියේය. එහෙත් ඔවුනගේ අවසන් විනිශ්චය වූයේ දෙදෙනා අතර අමනාපයක් ගොඩනැගී ඇති වගයි.   


කෝ ආරි නෝනා. මොකද පේන්න නැත්තේ නිදිද?   


කළුගේ ප්‍රශ්නයට ආරියරත්නගෙන් පිළිතුරක් නොලැබුණු නිසා කවුරුත් ඒ පිළිබඳව කිසිම විමසීමක් කළේ නැහැ. ආරියරත්න පැමිණ ඔවුනට මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා දුන්නේය. ඉන්පසුව ඇඳුම් මාරුකරගත් මිතුරෝ සැනසුම් සුසුමක් හෙලූහ. සරම් පටලවාගත් ඔවුනට ශාරීරික සුවතාවයක් දැනුණා.   
පැය ගාණක් කලිසම ඇඳලා සරමට බැස්සට පස්සේ දැනුණේ දිව්‍යලෝකෙට ගියා වගේ.   
කිංස්ලි සැහැල්ලුවෙන් ළඟ තිබුණ අසුනට බර දුන්නේය. උඹලට දැන් හොඳටම බඩගිනිත් අැතිනේ. ඔක්කොටම ඉස්සර වෙලා කාලා ඉමු. පස්සේ විස්තර කතා කරමු.   
ආරිගේ විධානයෙන් තිදෙනා කෑම මේසයට ආවා. මේසේ උණු උණු බිත්තර ආප්ප, පොල් සම්බෝල, සීනි සම්බෝල, මාළුකරි හරියට මඟුල් මේ​ෙසකට වගේ සකසා තිබිණි. මස්සිනා ගෙදර ගෑනිත් නැතුව උඹ කොහොමද මේ කෑම ලෑස්ති කළේ. අපිට නම් මේක හරිම ප්‍රහේලිකාවක්. 

 
ඒ ප්‍රශ්නයට ආරි නොසන්සුන් වුණා. ඉන්පසුව ළදරුවෙකු වගේ හඬන්න පටන් ගත්තේය. හරියට චිත්‍රපට ජවනිකාවක් වගේය.   
කෝ උඹේ ගෑනි ගෙදර නැද්ද මොකක් හරි අපිට කියන්න බැරි දෙයක් වුණාද. උඹ කියන්න අකමැතිනම් ඒ ගැන අහන්නේ නැහැ.   
කුලතිලකගේ වචන නිමවෙන විට ආරිගේ හැඬීම තවත් දුක්මුසු විය. එය සංවේදීජනක දසුනකි.   
ශ්‍රියා! මගේ ශ්‍රියා! ඇයි ඔයා මාව දාලා ගියේ. මොකක්ද මං ඔයාට කරපු වරද. අනේ රත්තරන් ආයේ මාව හොයාගෙන එන්න. මං මඟ බලාගෙන ඉන්නවා.   
ඒ ඔහුගේ හැසිරීම පිළිබඳ මිතුරන් දැක්වූ අදහස් ඔවුන්ගේ වචන වලින් මෙසේ ඉදිරිපත් කරමු.   
ගෑනි මිනිහා දාලා ගිහිල්ලා. පව් අහිංසකයා. මං හිතුවේ නෑ ඒ ගෑනි එහෙම කරයි කියලා. කොහොමද ශ්‍රියා කාන්තාවගේ කෙරුවාව.   
මොහොතකින් ආරි කඳුළු පිසදාගනිමින් මිතුරන් ඇමතුවේය.   


පරණ දේවල් අමතක කරමු. උඹලා කාපල්ලා. ආරි තිදෙනාගේම පිඟන්වලට කෑම බෙදුවේය.   
ගෑනි නැතුව මේ ​ෙගදර කෑම හදන්නේ කවුද? අනික මේ හදිස්සියේ මෙතනට කෑම ගෙනාවේ මොන යක්ෂණීද.   
කවුරුත් නෙමෙයි මගේ ශ්‍රියා.   


එයා වෙන්නේ කොහොමද. ගෑනි ගෙදර නෑනේ.   
ගෙදර නෑ. එයා ඉන්නේ දිව්‍ය ලොකේ.   
උඹට පිස්සුද විකාර කියවන්නේ.   


මට ඇති පිස්සුවක් නෑ. ශ්‍රියා මැරිලා අදට හරියටම මාසයයි. මේ කෑම බීම ඔක්කොම මට ගෙනත් දෙන්නේ ශ්‍රියා. මාව කවදාවත් බඩගින්නේ තිබ්බේ නැහැ.   
 ආරිගේ වචනයට තුන්දෙනාම හොල්මන් වූහ. උගුරකට වේළිණ. කෑම උගුරේ හිරවුණි. ඔවුහු බුදු අම්මෝ කියාගෙන පුටුත් පෙරළගෙන දිව්වෝය. නතර වූණේ රෑ කඩයක් ළඟ.  
තුන් දෙනාටම කතා කරගන්න බැරුව ගල් ගැහී බලාගෙන සිටියහ. ටික වෙලාවක් එහෙම ඉඳ කඩයට ගොඩවුණේ වතුර ටිකක් බීමටය. කඩේ මුදලාලිට වේටර් කෙනෙකුගේ පැමිණිල්ලක් ඇහේ. මුදලාලි මෙතන පාර්සල් කරපු බිත්තර ආප්ප පාර්ස​ෙල් කවුද උස්සලා. හැමතැනම බැලුවා නෑ. පුදුම වැඩක්. එහෙනම් භූතයෙක් ඇවිල්ලා අරන් යන්න ඇති.   
මුදලාලිට ප්‍රේමදාස මෙහෙම උත්තර දුන්නේය.   


ඔබතුමා කිව්ව කතාව ඇත්ත. භූතයෙක් තමයි පාර්සලේ ගෙනිහින් තියෙන්නේ. මහත්තුරු විහළු කරනවද? මුදලාලි නොසතුටින් කීවේය. ඔවුන් සියලුම තොරතුරු ඔහුට පැවසූ පසු ඔහු සත්‍යතාවය තේරුම් ගත්තේය.   


දැන් සරම් පිටින් තමයි ගෙදර යන්න වෙන්නේ. අනික කෝ යන්න සල්ලි.   
තිදෙනාම තීරණයක් නැතුව අතරමං වී සිටියදී මුදලාලි ඔවුන් ඇමතීය.   
මහත්තුරුන්ට මොකක්ද දැන් තියෙන ප්‍රශ්නය. ඔක්කෝටම ඉස්සර වෙලා කාලා බීලා ඉන්න. සල්ලි එපා. අපි කවුරුත් මනුස්සයොනේ.   
එහෙම කියලා බඩකටපුරා සංග්‍රහ කළ මුදලාලි ඔවුන් සනසා මුදල් නෝට්ටු කිහිපයක්ද තිදෙනා අතේ තැබීය.   
අපි කොළඹ ගිය ගමන් මේ සල්ලි එවන්නම්.   


මහත්තයෝ මනුස්සකමයි වටින්නේ. සල්ලි නොවෙයි. සල්ලි වගේ නැතිවෙන්නේ නෑ.   
ඔවුන් නිවසට යනවිටත් මුදලාලිගේ ඒ වදන මනසේ දෝංකාර නැගුණි.   

 

 

 

 

තිස්ස ඩයස්