ව්‍යවස්ථාවේ වෙනසක්ද  ?     

අලුත්ම ව්‍යවස්ථාවක්ද   ?   

​අධිකරණ ඇමැති ජනාධිපති නීතීඥ අලි ෂබ්රි

  • පවතින ව්‍යවස්ථාවේ ඇති විකෘති ඉවත් කළ යුතුයි
  • ජනාධිපතිට දෙවරකට වඩා ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ කියන වගන්තිය එලෙසම තබනවා
  • ජනාධිපති ධුරකාලය වසර 5 කට කර ඇති සීමාව ඉවත් කරන්නෙත් නෑ

ලිඛිත ව්‍යවස්ථාවක් ඇති රටක් පාලනය වන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙනි. රට පාලනය වන මූලික හා උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අවස්ථා 19 කදී සංශෝධනය වී ඇත. ගෝඨාභය රජය මගින් දැන් 20 වැනි අවස්ථාවටත් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සූදානම් වෙයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි ෂබ්රි මහතා සමග පැවැත්වූ සාකච්ඡාව මෙසේය.   


රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකිවන පරිදි ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් අවශ්‍යව ඇති බව නව අධිකරණ ඇමැති අලි ෂබ්රි මහතා කීය.   
අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් ඒ මහතා දැක්වූ අදහස් මෙසේය.   


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ අටවා ගත් එකකි. සුමන්තිරන් මහතාගේ වචනවලට අනුව එය තාවකාලික නවාතැනකි. මේ ව්‍යවස්ථාවේ ගැටලු අර්බුදකාරී තැන් රාශියකි. මෙය වෙස්මිනිස්ටර් ක්‍රමයද? නැතහොත් විධායක ජනාධිපති ක්‍රමයද? යන ගැටලුව ජනතාව තුළ පවතී. ප්‍රශ්න රාශියක් මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවී තිබේ. ඒ සම්බන්ධයෙන් උදාහරණ කීපයක් ඉදිරිපත් කළ හැකිය. ජනාධිපතිවරයා තෝරාපත්කර ගත්තේ ගිය නොවැම්බර් 16 වැනිදායි. එතුමාට අවශ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවා ගැනීමට මාස 9ක් ගතවී ඇත. එතුමාග් කාල පරිච්ඡේදයෙන් සියට 17 ක කාලයක් ඉබේම ගෙවී ගොස් අවසන්ය. මේ කාලය ගත වූයේ ජනාධිපතිවරයාට අවශ්‍ය පාර්ලිමේන්තුව ගොඩනගා ගැනීමට නොහැකිවූ හෙයිනි. මේ තත්ත්වය ඇති වූයේ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසාය. මීට පෙර නම් ජනාධිපතිවරයා පත්වී පසුවදාම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාව සැලසී තිබුණි. ඡන්දයක් පවත්වා තමන්ට අවශ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවා ගැනීමට අවස්ථාව සැලසී තිබුණි. ලක්ෂ 69ක් ජනතාව ජනාධිපතිවරයා පත් කරගත් පසු තමන්ට අවශ්‍ය රජයක් පිහිටුවා ගැනීමට නොහැකි වෙන්නේ නම් එය මහත් විකෘතිතාවකි. එවැනි ව්‍යවස්ථාවකින් රටේ පාලනය අවුල්වීමක් සිදුවිය.   


ලෝකයේ කිසිම රටක මේ විකෘති තත්ත්වය නැත. ඕනෑම රටක අයවැය ලේඛනය පැරදුණා නම් විශ්වාස භංග යෝජනාවකින් සියයට 50 කට වැඩි ඡන්දයක් ලැබුණා නම් රජය පරාජය වී අලුතෙන් ඡන්දයකට යා යුතු වේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් මේ රජයට හිමිවී ඇත. පාර්ලිමේන්තුව අහෝසි කළ පසු නැවත පත්වීමට මේ තරම් බලයක් ලැබී ඇත්තේ ජනතාවගේ කැමැත්ත මතයි. ඉතිරි වසර 4 1/2ක කාලය තුළ මේ විකෘති තත්ත්වය වෙනස් කළ යුතුව ඇති වැදගත් කරුණකි.   


තවත් උදාහරණයක් ඉදිරිපත් කළ හැකිය. දහනව වැනි ව්‍යවස්ථාව මගින් කලබලයට කොමිෂන් සභා පත් කරනු ලැබීය. මෙහිදී මැතිවරණ කොමිසම ගෙන බැලීමේදී එහි සාමාජික සංඛ්‍යාව තිදෙනෙකි. ගණ පූරණයක් ගැන සඳහන් නොවේ. සාමාජිකයන් තිදෙනාම සිටිය යුතු වෙයි. ප්‍රායෝගිකව සිදුවෙන දුර්වලතා ගැන අවධානයක් නොදක්වා මෙම කොමිසම පිහිටුවීම මගින් ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවී ඇත. ඝන පූරණය සඳහන් නොවීම නිසා තීන්දු තීරණ ගැනීමට තිදෙනාම සිටිය යුතුව ඇත. විරෝධතා ඇතිවන අවස්ථාවලදී ඉදිරි කටයුතු කිරීමට බාධා ඇතිවේ.   


තවත් කරුණක් නම් ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පවතින්නේ ජනාධිපතිවරයා යටතේය. ව්‍යවස්ථාවේ තවත් තැනක ජනාධිපතිවරයාට ඇමැති ධුරයක් දැරිය නොහැකි බව සඳහන් කර ඇත. මේ කරුණ පැටලිලි සහගතය. සේනාවිධායකයා එක් අයෙක්ද ආරක්ෂක ඇමැති ධුරය තවත් අයෙකුටද වශයෙන් වෙන්වී කටයුතු කිරීම අසීරුය. මේ රජයට නම් අයියයි මල්ලියි නිසා ගැටළුවක් නොවනු ඇත. සාමකාමීව ඔවුන් එය විසඳාගනු ඇත. නමුත් පිටස්තර දෙන්නෙක් වුවහොත් මේ තත්ත්වය යටතේ ගැටලුකාරී වීම අනිවාර්යය. වර්ෂ 2015ත් 2019 අතර කාලය තුළ පැවැති රජයේ මේ අර්බුදකාරී බව වඩාත් ඉස්මතුවී පෙන්නුම් කළේය. පොලිස්පතිවරයා පිළිබඳව ජනාධිපතිවරයාට විශ්වාසයක් නොමැති නම් ඔහු ඉවත් කිරීමට හැකියාව තිබිය යුතුය. නමුත් ඔහු ඉවත් කළ නොහැකි අවස්ථාවක සහයෝගයෙන් කටයුතු කිරීම බරපතළ කරුණක් වනු ඇත. 

 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට පොලිස්පතිවරයා වැරැදිකරුවකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.   


උදාහරණයක් ලෙස මගේ නිවසේ ආරක්ෂාවට සිටින ආරක්ෂක නිලධාරින් ගැන විශ්වාසයක් නොමැති නම් ඔවුන් ඉවත් කිරීමට මට හැකියාව තිබිය යුතුය. එසේ නොවන අවස්ථාවක නිවසේ ආරක්ෂක නිලධාරින් කෙරෙහි මට විශ්වාස තැබීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකිය.   
මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් රාශියක් හමුවේ දහනව වැනි ව්‍යවස්ථාව විහිළුවක් වී ඇත. මේ ව්‍යවස්ථාව විකෘතියකි. එබැවින් මේ විකෘතිය ඉවත් කළ යුතුව ඇත. එම ව්‍යවස්ථාව ඉවත් කර ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකසා දිය යුතුව ඇත. ඒ සඳහා දහනව වැනි සංශෝධනය ඉවත් කිරීමට බලාපොරොත්තු වෙයි.   


අපට පළමුවෙන් 19 වැනි ව්‍යවස්ථාව ඉවත් කිරීමට සිදුවෙයි. සං​ශෝධනයේ යම් යම් අඩුපාඩු ඇත. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාට දෙවතාවකට වැඩි වාරයක් ඉල්ලීමට නොහැකිය. ඒ කරුණ පැවැත්විය යුත්තක් ලෙස අදහස් කරයි. ජනාධිපති ධුරය වසර 5 කට සීමා කර ඇත. ඒවා වෙනස් කිරීමටද අවශ්‍යතාවක් නැත. එම 18 වැනි ව්‍යවස්ථාවේ ජනතාවාදී කරුණු ඉවත් කිරීමට අවශ්‍ය නැත. 20 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළ විට තවත් වැදගත් කරුණු ගැන සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසෙයි. 

 
මේ පළමු පියවරයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වෙයි. මෙතෙක් පැවැති ව්‍යවස්ථාවල සාධනීය කොටස් එකතු කර ගැනීමටත්, අලුත්ම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙයි. ඒ සඳහා කතිකාවක් ඇතිකර ගැනීමට තීරණය කර ඇත.   


යුද්ධය පැවැති සමයේ අගමැතිවරයාට තිබූ බලතල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වීමත් සමග යළි හිමි වෙයි. අලුත් ව්‍යවස්ථාවක් සැකසීමේදී ඡන්ද ක්‍රමය කෙරෙහි විශේෂ අවධානයක් දැක්වීමට අදහස් කර ඇත. දැනට ක්‍රියාත්මක වෙන මනාප ඡන්ද ක්‍රමය ගැන මුළු රටේම විරෝධතාවක් මතුවී ඇත. ඒ විරෝධයට හේතුවූ කරුණු කීපයකි. විශාල මුදල් ප්‍රමාණයක් මෙම මනාප ඡන්ද සඳහා වැය කිරීමට සිදුවී ඇත. ඇතැම් අපේක්ෂකයන් ඡන්ද කිරීමට නොහැකි තත්ත්වයට පත්වී ඇත. එක ආසනයකට තරග කරන අපේක්ෂකයාට ඊළඟ අවස්ථාවේදී වෙනත් ආසනයකින් තරග කිරීමට හැකියාව ලැබී ඇත. ඒ තත්ත්වය මත මන්ත්‍රීවරයා තම ආසනයට දිස්ත්‍රික්කයට වගකීමක් නොදරන බවක් පෙන්නුම් කරන අවස්ථාද ඇත. මේ සියලු විකෘතිතාවන් වෙනස් කර නව ව්‍යවස්ථා සංශෝධනය සිදුවන්නේ කථිකාවත් සමගය.   


සමානුපාතික ඡන්ද ක්‍රමය හා කේවල ඡන්ද ක්‍රමය යන දෙකේම මිශ්‍රයක් ගෙස ජර්මන් ක්‍රමයට යා හැකිද යන්න සොයා බැලීමක් කරනු ඇත.   
ඒ හැරුණු විට පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමටද සිදුවී ඇත. ඒ සඳහා පනත ඉවත් කර මුල් ක්‍රමයට යා හැකි දැයි විමර්ශනය කරනු ලබයි. පළාත් සභා පනතට ඉදිරිපත් කර ඇති යම් යම් සංශෝධන හේතු කරගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි විය. පනතට නැති දේවල් එකතු කිරීමට යාමෙන් අවුල් ජාලයක් වී මෙතෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවී ඇත. ඒ තත්ත්වය පිළිබඳව අධ්‍යයන කර අවශ්‍ය තීරණ ගෙන ඡන්දය පැවැත්වීමට පියවර ගනු ඇත. ඒ සඳහා දැඩි අවධානය යොමුවී ඇති බව සඳහන් කළ යුතු වේ. ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.   
මේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් දැනට මහා පරිමාණයෙන් තොරතුරු අනාවරණය කිරීමේ හැකියාවක් නැත. සාකච්ඡා මට්ටමින් තීන්දු තීරණ ගත යුතුව ඇති නිසා ඒවා කුමන ආකාරයෙන් සිදුවේද යන්න පිළිබඳව දැන්ම ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැත.   


ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. රටේ පවතින ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි වන පරිදි එය සිදුවීම අවශ්‍යයි. රටට ප්‍රගතිශීලී ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව පාරිශුද්ධභාවය ඇතිවෙන ආකාරයට සිදුවිය යුතුයි. පසුගිය රජය කාලයේ මෙන් ව්‍යවස්ථා සංශෝධන දිගින් දිගට ඇදගෙන යාමට අවශ්‍ය නොවේ. ජනතා අදහස් විමසීමටද බලාපොරොත්තුවක් ඇත.

 

 

සාකච්ඡාව :
දයාසිලි ලියනගේ