(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දුම්රිය ප්‍රවේශපත්‍ර මුද්‍රණය කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත.  

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.එල්. තිසේරා මහතා මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.  


හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී පී.පී. විජේසේකර සහ දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.  


කමිටුව හෙට (12) රැස්වීමට නියමිතය.  


මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී ඇති වී තිබෙන දූෂණ හා වංචා සොයා බලා නිර්දේශ මාසයක් තුළ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම කමිටුවේ සාමාජික ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.  


දුම්රිය ප්‍රවේශපත්‍ර මුද්‍රණය චීන සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් විශාල මුදල් නාස්තියක් වන බවත්, මේ කටයුත්ත දේශීය සමාගමකට පැවරීමෙන් මුදල් විශාල ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමට හැකි බවත් දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.