IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ඒ ආණ්ඩුවත් එතුමාගේ මේ ආණ්ඩුවත් එතුමාගේ

මහත්මා ගාන්ධි චරිත කතාවේ සඳහන්වෙන අන්දමට මිනිසුන් විසින් සිදුකරනු ලබන මහා පව් හතකි. ඉන් ප්‍රධාන එකක් වන්නේ අසාධාරණ ලෙස ධනය ඉපැයීමයි. මෙම කාරණාව අපේ රටේ දේශපාලනඥයින්ට කෙතරම් දුරට ගැලපෙන්නේ දැයි තේරුම් යන්නේ අපේ දේශපාලනඥයින් කෙතරම් අසාධාරණ ලෙස ධනය උපයා ඇතිදැයි විපරම් කිරීමේදීය.


පාපැදියක් හෝ නොමැතිව ඉන්න හිටින්නට හරිහැටි නිවසක් හෝ නොමැතිව දේශපාලනයට පිවිසෙන්නෝ වසර කීපයක් ගතවන විටම ලෝකයේ ඇති සුපිරි වාහන කීපයක අයිතිකරුවන් බවට පත්වන්නේත් නගරයේ ඉදිකළ සුවිසල් මන්දිර කිහිපයක අයිතිකරුවන් බවට පත්වන්නේත් අපේ රටේ ඇති දේශපාලනයේ බලමහිමය නිසාමය. බටහිර ජාතීන්ගේ පාලනයෙන් නිදහස ලැබූ අන් රටවල් ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය කරා ළඟා වෙද්දී ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් බවට පත්ව තිබෙන්නේද දේශපාලනඥයින්ගේ මෙම මහජන මුදල් කොල්ලකෑමේ ප්‍රතිපත්තිය නිසාය.


 දූෂණ වංචා, සොරකම්, මිනීමැරුම් හා බලය අනිසිලෙස භාවිතා කිරීම බොහෝ දේශපාලනඥයින් ප්‍රතිපත්තිය කරගත් අපේ රටේ මේ කියන්නට සූදානම් වෙන්නේද එහෙව් දේශපාලනඥයෙකු පිළිබඳවය. එක්තරා ඓතිහාසික ප්‍රදේශයකින් දේශපාලනයට පිවිසි මෙම පුද්ගලයා දේශපාලනයට පැමිණීමට පෙර කටයුතු කළේ රජයේ සේවයේය. උසස් පෙළ විභාගය අසමත් මෙම පුද්ගලයා ගුරු වෘත්තියට පිවිසෙන්නේ දේශපාලන උපකාරය ඇතිවය. පුදුමයකට කාරණාව වන්නේ ඔහු දේශපාලන උපකාර ලබන්නේ පසුව තමා දේශපාලනයට පිවිසෙන පක්ෂයෙන් නොව එවකට බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයෙකුගෙන් වීමය.


පසුව මෙරට ප්‍රබල දේශපාලන පවුලකට සහයෝගය දක්වන ඔහු එම දේශපාලන පවුලෙන් පළාත් සභාවට පත්වූ ප්‍රධාන දේශපාලනඥයකුගේ කාර්ය මණ්ඩලයේ තනතුරකට පත්වන්නේය. දේශපාලනයෙන් මුදල් හම්බ කිරීමේ රසය ඔහුට දැනෙන්නට පටන් ගන්නේ ඉන් පසුවය. සභාවේ ප්‍රධාන තනතුරක් දැරූ තම දේශපාලන ස්වාමියාගේ නමට මුවාවී ඔහු හොඳ ගණනක් හෙව්වේය. රැකියා අවස්ථා රුපියල් ලක්ෂ ගණන්වලට වික්කේය. කොන්ත්‍රාත් ලබාදී ඇති විශාල මුදලක් යටිමඩි ගසා ගැනීමට ද ඔහුට හැකිවිය. සභාවේ සිටි තම ප්‍රධානියා දේශපාලනයේ ඉහළම තනතුරකට පත්වීමෙන් පසුවද මෙම පුද්ගලයා අඛණ්ඩවම ලේකම් තනතුර ඉසිලීය. තම ප්‍රධානියාගේ තනතුර භාවිතා කරමින් තව තවත් දූෂණ වංචාවල නිරත වූවත් ඒ ගැන ඇහැක් ඇර බැලුවේ ප්‍රධානියා නම් නොවේ.


ප්‍රධානියාගේ ආශිර්වාද ඇතිව ඊට වසර හයකට හතකට පමණ පසුව මෙම පුද්ගලයාද සභාවකට තරග කළ අතර ඔහු එහිදී ඉහළින්ම ජයගත්තේය. තම ප්‍රධානියාගේ මැදිහත්වීම මත එම සබාවේ ඉහළම තනතුරක්ද මෙම පුද්ගලයාට ලැබෙන්නේ සභාව තුළ සිටි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පවා පසෙකට දමමිනි. ඔහු එයින් විවිධ ව්‍යාපෘති ආරම්භ කළේය.


එම ව්‍යාපෘති අතර වූ අපූරු මෙන්ම තම සාක්කුවට රුපියල් කෝටි ගණනක් ලැබෙන ව්‍යාපෘතියක් ඔහු ක්‍රියාත්මක කළේය. ඒ පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක තුනේ මාර්ගවල බස්නැවතුම්හල් ඉදිකිරීමය. ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග රැසක බස්රථ නැවතුම්හල් (බස් හෝල්ට්) සිය ගණනක් ඉදිකරන ලද අතර ඒ සෑම එකකම තමාගේ ඡායාරූපය හා නම සඳහන් කිරීමට ද ඔහු අමතක නොකළේය. ප්‍රමිතියෙන් තොර මෙම බස් නැවතුම් අද වනවිට දැක්නට නැතත් එම ව්‍යාපෘතිය මගින් දේශපාලනඥයා රුපියල් කෝටි ගණනක් සාක්කුවේ දමා ගත්තේය.


 තම ප්‍රධානියාගේ බලය අයුතු ලෙස භාවිත කරමින් දේශපාලනඥයා තවත් අමන වැඩක් කළේය. ඒ රටේ ප්‍රචලිත රෝහලක් තුළදීය. රටේ වැදගත් නාමයක් හිමි පරම්පරාවක් විසින් අංගසම්පූර්ණ රෝහලක් සාදා රජයට පරිත්‍යාග කළේය. එම රෝහලට අයත් අති විශාල ඉඩම මෙන්ම රෝහල් ගොඩනැගිලි ඉදිකිරීමට ගිය බරපැන දරන ලද්දේද මෙම පරම්පරාව විසිනි.


රෝහල ඉදිකළ පරම්පරාවේ ප්‍රධානියා සිහිවීම පිණිස ඔවුන් විසින්ම රෝහල ඉදිරිපිටම ප්‍රතිමාවක් තැන්පත් කළ අතර උඩුකය පමණක් ප්‍රදර්ශනය වූ මේ පිළිරුවෙන් පිළිබිඹු වූයේ පරම්පරාවේ ප්‍රධානියාය. ඉතාමත් විශාල මුදලක් වැයකර මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබුණේ අධික මිලකින් යුත් ලෝහ වර්ගයකිනි. ඉහත කී දේශපාලනඥයා මෙම වටිනා ලෝහ වර්ගයට ඉව අල්ලමින් සිටියේය.


  එක්තරා දිනක රාත්‍රියේ මැර පිරිසක් සමඟ රෝහල් භූමියට ඇතුල් වූ දේශපාලනඥයා රැගෙන ආ කැබ්රථයක ලණුවක් ගැට ගසා එහි අනෙක් කෙළවර ප්‍රතිමාවේ දවටා කැබ්රථය ධාවනය කර ප්‍රතිමාව ගලවා ගත්තේය. පසුව ඔහු එම වටිනා ප්‍රතිමාව උණුකර අධික මිලකට විකුණා ගත්තේය.


රෝහල ඉදිකළ ප්‍රභූ පරම්පරාවේ පිරිස මේ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ අතර ප්‍රතිමාව ගලවාගෙන ගියේ දේශපාලනඥයා බව ඔවුන් අනාවරණය කර ගත්හ. එහෙත් දේශපාලනඥයාගේ ප්‍රධානියා ඒ වන විට රටේ බලවත් තැනක සිටි නිසා ඒ පිළිඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය. 


පුදුමයට කරුණ එයම නොවේ. ඉන්පසුව බලයට පත් රජයක් මගින් හෝ මෙම අපරාධය පිළිබඳව පරීක්ෂණයක් සිදු 
නොකිරීමයි. මේ වකවානුවේදීම රජය ගත් හදිසි තීරණයක් වූයේ කොස්ගස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමයි. අප පෙර කී රෝහලට ආසන්නව අක්කර 10 ක පමණ රක්ෂිත කැලයක් පිහිටා තිබිණි. එහි බහුල ලෙසම තිබුණේ කොස්ගස්ය.

දේශපාලනඥයා තම සහචරයින් යොදවා එම රක්ෂිතයේ තිබූ සියලුම කොස්ගස් කපා දැම්මේය. කොස් ප්‍රවාහන බලපත්‍ර නීතිය ද ක්‍රියාත්මක නොවීම නිසා ඉතා පහසුවෙන් කොස්ගස් සියල්ල පිටත්කර ප්‍රදේශයකට 
රැගෙනගොස් ඉක්මනින්ම ඒවා සල්ලි කර ගත්තේය. මෙම රක්ෂිතය අසල රජයේ ආයතනයකට අයත් ගොඩනැගිලි රැසක් වූ අතර ඒවා ඉදිකර තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදීය. මෙම වටිනා ගොඩනැගිලිවලින් කීපයක් කඩා දමා එහි වටිනා දැව හා අනෙකුත් කොටස් දේශපාලනඥයා ලබා ගත්තේය. එදා ආණ්ඩුව මෙන්ම ඊට පසුව පත්වූ ආණ්ඩු ද මේ පිළිබඳව කිසිදු විභාගයක් නොපැවැත්වීය.


 පසුව අනාවරණය වූ පරිදි කොස් ගස් ප්‍රවාහන බලපත්‍ර අහෝසිවීමේ නීතිය ක්‍රියාත්මක කරවා ගන්නට දේශපාලනඥයා තම ප්‍රධානියාගේද සහාය මත විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබිණි. රක්ෂිත කැලයේ කොස්ගස් කපා දමා ප්‍රවාහනය කිරීමෙන් සතියකට දෙකකට පසුව යළිත් ප්‍රවාහන බලපත්‍ර නීතිය ක්‍රියාත්මක විය.


සමහර දේශපාලනඥයින් දේශපාලනයට අත්පොත තබන විට පාපැදියක් හෝ නොතිබුණත් මෙම දේශපාලනඥයාට නම් පාපැදියක් තිබිණි. එසේ වුවත් වෙනත් කිසිදු වාහනයක් ඔහුට නොතිබිණි. එදා සිට අද දක්වාම දේශපාලනයේ නිරත මෙම දේශපාලනඥයා සතුව අද ඇති වත්කම් මිල කළ නොහැකි තරම්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු සඳහා ප්‍රචලිත නගරයක සුරාසැල් දෙකක් ඔහු සතුය. කොළඹ නගරයේ ප්‍රධානම විදුහලක් අසල පිහිටි ඉන්ධන පිරවුම්හල ඔහුගේය. සමුපකාරයට අයත්ව තිබූ එම ඉන්ධන පිරවුම්හල දේශපාලනඥයා ලබා ගත්තේ ඉතා සූක්ෂ්ම හා කපටි ආකාරයෙනි. ඊට අමතරව සුවිසල් මන්දිර කීපයක් හා අති සුඛෝපභෝගී වාහන රැසක් ඔහු සතුය.


 තමාට දේශපාලනයට එන්නට අතදුන් ප්‍රධානියාට බලය අහිමි වීමෙන් පසුව ප්‍රධානියා අතහැර නව ප්‍රධානියෙකු සොයා දේශපාලනඥයා ගියේය. පසුව එම ප්‍රධානියාට ද බලය අහිමි වීමෙන් පසුව අලුත් ප්‍රධානියෙකු යටතට දේශපාලනඥයා ගියේය. ඔහු දැන් සිටින්නේද තමාට වාසියක් ඇති පැත්තේය. පුදුමය නම් කිසිම ප්‍රධානියෙකු මේ දේශපාලනඥයාට ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීමයි.


 අපේ රටේ දේශපාලනයට අනුව මේ වැරදිවලට දඬුවම් ලැබීමට නම් එම දේශපාලනඥයා පවතින රජයට එරෙහි තදබල විපක්ෂ දේශපාලනඥයෙකු විය යුතුමය  එහෙත් කිසිදු එවැනි තත්ත්වයක් උදා නොවන්නේ දූෂිත දේශපාලනඥයා සැමදා බලයේ සිටින කණ්ඩායම නියෝජනය කරන බැවිනි.

ආලවකයා



අදහස් (0)

ඒ ආණ්ඩුවත් එතුමාගේ මේ ආණ්ඩුවත් එතුමාගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33001 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15649 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10045 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 155 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 202 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 515 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site