ශ‍්‍රී ලංකාව මෑතක සිට මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය බවට පත් වී තියෙන්නේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි. ඌවේ මහ ඔය උමාඔය වශයෙන් හැඳින්වේ. උමාඔය ද්‍රෝණියේ සිට පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින්, එම ද්‍රෝණියේ සිට ජල ඌණතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිදිඔය ද්‍රෝණියට වාර්ෂිකව ජලය ඝණ මීටර් මිලියන එකසිය හතළිස් පහක් (145) හැරවීම සඳහා මූලික වශයෙන් ඉදි කරනු ලබන ව්‍යාපෘතියකි.


2008 වසරේදී පැවති රජය විසින් සිංහල අවුරුදු තෑග්ගක් වශයෙන් අ​ෙප්‍ර්ල් මස 29 දින, ජල හිඟයෙන් පෙළෙන ජනතාවට ජලය ලබා දීමේ අරමුණෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මේ වන විට අතරමග නවතා දමා තිබෙන්නේ, බණ්ඩාරවෙළ ජනතාවගේ දැඩි විරෝධතාවය නිසාය. ඔවුන්ගේ ළිං සියල්ලම සිඳී ගොස් ගෙවල් දොරවල්, පන්සල්, කෝවිල්, රජයේ නිවාස ඇතුළු ගොඩනැගිලි හත්දහස් තිස් හතක් (7037) පුපුරා විනාශ වී ගොස් අවසන්ය. වගා කිරීමට තබා පානය කිරීමටවත් ජලය නොමැත. දිනකට ජල ලීටර් ලක්ෂ නවයක (9) ක අවශ්‍යතාවයක් තිබුණත්, බවුසර මගින් ලබා දෙන්නේ පන්ලක්ෂ තිස් දහසක ප‍්‍රමාණයක් බව ප‍්‍රදේශවාසීහු පවසති.
මේ නිසා ඒ ප‍්‍රදේශයේ ජනතාව පමණක් නොව සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවගේ ද හඳවත කම්පා කරවමින්, අර්බුදකාරී සංවේදී සංකීර්ණ ක‍්‍රියාවලියක් බවට මෙය පත්ව අවසන්ය. සංවර්ධනය මෙය නම් එවන් සංවර්ධනයක් කුමටද යන්න බොහෝ දෙනෙක් ප‍්‍රශ්න කරන්නේ ඒ නිසාය.


මෙම ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමේ අරමුණින් රජය විසින්, භූ විද්‍යාඥයින් ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක විද්වතුන්ගෙන් කරුණු විමසා තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ද, එම විද්වතුන් අතර සිටි එක් අයෙකි. ඔහු මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද සාදා භාර දී තිබේ. අපි ඔහු සම්බන්ධ කර ගත්තේ ඒ පිළිබඳව අලුත්ම සත්‍ය තොරතුරු සහ එහි අනාගතය දැන ගැනීමේ අදහසිනි.


වර්තමානයේ එම ප‍්‍රදේශයේ මිනිසුන් ඉතාමත් අසහනකාරී තත්ත්වයකට පත් වී තිබේ. ඊට ඉක්මණින් විසඳුමක් ලබා දිය යුතුය. පළමුව ජලය ද, කැඩිබිඳී ඇති නිවෙස් සඳහා වන්දි, නිවාස සාදා ගැනීමට ඉඩම් ලබා දීමෙන් දැනට තිබෙන මූලික ගැටලුව විසඳා ගත හැකිය. මෙය රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියකි. ක‍්‍රමවේදයේ අඩුපාඩු නිසා මෙවන් ප‍්‍රශ්න ඇති වී තිබේ. නිසි ක‍්‍රමවේදයන් භාවිත කර, රටේ විශේෂඥයන්ගේ දැනුම උකහා ගෙන මෙම ව්‍යාපෘතිය කරගෙන ගියා නම්, මෙවැනි ප‍්‍රශ්න ඇති වෙන්නේ නැත.


නමුත් ආරම්භයේදීම ප‍්‍රශ්න ඇති වෙන විට අදාළ බලධාරීන් සිදු කළේ ව්‍යාපෘතිය නතර කිරීමය. එය නතර නොකර දිගටම කර​ෙගන යාමටයි ක‍්‍රියා කළ යුතුව තිබුණේ. ඒ සඳහා අවශ්‍ය නිසි ක‍්‍රමවේදයන් භාවිත කරමින්, සිදු වූ අඩුපාඩු නිවැරදි කරමින් දිගටම කරගෙන ගියා නම්, ප‍්‍රශ්නවලින් සියයට හැත්තෑ පහක ප‍්‍රමාණයක් මග හැරෙන්න ඉඩ තිබුණි.


සාමාන්‍යයෙන් මෙවන් උමං ව්‍යාපෘති සිදු කරන විට පොළොව මතුපිට තියෙන ජලය පොළොව අැතුළට ගලාගෙන යාම ස්වභාවිකව සිදු වන දෙයක්. මෙවන් සිදුවීමක් සමනලවැව ව්‍යාපෘතියේදී ද සිදු වූවා. එහිදී රජවක ප‍්‍රදේශයේ ජල මාර්ග සිඳී ගියා. උල්පත්, වගාබිම්වල තිබූ ජලය වියළී ගියා. ප‍්‍රශ්න ගොඩාක් ඇති වුණා. මේ තරම් දරුණු ආකාරයෙන් සිදු නොවුණත්, නිවෙස්වලට හානි සිදු වුණා. එහිදී මිනිසුන්ට ජලය ඇතුළු පහසුකම් නිවාස, ඉඩම් ලබාදුන්නා. එම නිසා විශාල අසහනකාරී තත්ත්වයක් ඇති වුණේ නැහැ.


විද්‍යාඥයින් සිදු කළ ගවේෂණවලින් එම ව්‍යාපෘතිය අවසන් වී උමග හෙළි කළාට පසු, වසර දෙක තුනක් ගත වීමෙන් එම ප‍්‍රදේශ යථා තත්ත්වයට පත් වන බවට අදහස් ප‍්‍රකාශ කළා. ඒ වගේම පරණ තිබු ආකාරයටම ඒ ජල මාර්ගවල, වගා බිම්වලට ජලය ලැබෙන්න පටන් ගත්තා. නිවාස ගිලා බැසීම්, පිපිරීම් තවදුරටත් සිදු වූයේ නැහැ. රටට යහපතක් සිදු වුණා.


ඒ වගේම මෙයත් අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්, එයට හේතුව පහළ ඌවේ වියළි කලාපයේ අක්කර දස දහස් ගණනක් වගා කිරීමට අවශ්‍ය ජලය, එම ප‍්‍රදේශවලට ලබා දීමට හැකියාව ලැබෙන නිසයි. මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යනයක් නිසි පරිදි සිදු කළා. ඒ සඳහා මෙරට විශ්වවිද්‍යාල බොහොමයක මහාචාර්යවරු විශේෂඥයින් සම්බන්ධ වුණා. පරිසර අධිකාරියෙන් අවසර ලැබුණේ ඒ නිසයි.


මෙවන් උමං මාර්ග සාදන විට පස වියළීම සාමාන්‍ය දෙයක්. මෙහි රාවණා ඇල්ල නිම්නයට ජලයෙන් විශාල බලපෑමක් තවම සිදු වෙලා නැහැ. එහෙත් ඊට පහතින් ඇති නම්න තුනේ ජලය පහළට බැස ගොස් තියෙනවා. ඊට හේතුව උමග විදගෙන යන ගල දුර්වල තත්ත්වයේ පැවතීමයි. ඒ නිසා එහි පැළුම් ඇති වී තිබෙනවා. ඊට උඩින් පසෙහි ඇති ජලය පහළ උමගට ගලා බසිනවා. උමගට උඩින් ඇති පස, වියළී යන නිසා එම ප‍්‍රදේශයේ ඇති ළිං, උල්පත් ජලය ද වියළෙනවා.


එහෙත් මෙම ව්‍යාපෘතිය අවසන් කරන්නේ උමග හොඳින් ‘සීල්’ කිරීමෙන් පසුවයි. තවම සීල් කර අවසන් නැහැ. වර්ෂාපතන දෙක තුනක් වසරකට පවතිනවා. ඒ ආකාරයෙන් වසර දෙක තුනක කාලයක් වර්ෂාව ලැබීමෙන් පොළොවෙහි ජලය සංතෘප්ත වූ පසු එය, යථා තත්ත්වයට පත් වෙනවා. එහෙත් ඒ වන විට වූ පාඩුව මකා ගත නොහැකියි. පාඩු වූ මහජනතාවට වන්දි මුදලක් ලබා දීම අවශ්‍ය වන්නේ එම නිසයි. දැනට ජලය බවුසර මගින් බෙදා දීම වෙනුවෙන් රුපියල් හාර ලක්ෂ පනස් දහසක මුදලක් දවසකට වැය කරනවා. එම ජලය ලබා ගන්නේ කොහෙන්ද කියා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එහි ප‍්‍රමිතිය ගැන අවබෝධයක් නැහැ. ප‍්‍රමිතියක් ඇති කර ජලය ලබා දිය යුතුයි. ජලයෙහි තත්ත්වය හොඳ වීම වගේම අවශ්‍ය ප‍්‍රමාණයට ජලය ලබාදීමත් අවශ්‍යයි. සාමාන්‍යයෙන් දිනකට එක පවුලකට කියුබික් මීටරයක් පමණවත් ජලය අවශ්‍ය වෙනවා. එම ප‍්‍රමාණය ලැබෙන්නේ නැතිනම් දවසේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම දුෂ්කර වෙනවා. අවම වශයෙන් ලීටර් අටසියක් වත් ලබා දිය යුතුයි. ජලය අඩුව ලබා දීමෙන් මිනිසාගේ ශාරීරික සෞඛ්‍ය පිරිහෙන්න පටන් ගන්නවා. ලෙඩ රෝග ඇතිවීමේ අවදානමක් පවතිනවා. මේ නිසා මිනිසුන්ගේ අසහනය වැඩි වී, වර්තමානයේ පවතින උද්ඝෝෂණ දක්වා දිව යනවා. මෙම දරාගත නොහැකි ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීම රජයක් විසින් සිදු කළ යුතුයි. ඒ ආකාරයෙන් සහන ලබාදීමෙන් මෙම ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ජනතාවගේ සහයෝගය ලබා ගත හැකියි.


උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කර තියෙන්නේ එක් දහස් නවසිය පනස් ගණන්වලයි. පළමුවෙන්ම අදහස ඉදිරිපත් කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගමක් විසිනි. 1980 ගණන් වන තෙක් විශේෂඥයන්, ඉංජිනේරුවන් ඒ ගැන පර්යේෂණ සිදු කර අදහස් ප‍්‍රකාශ කර තියෙනවා.


මේ ආකාරයෙන් ජලය හරවන්නේ නැතිව සිදු කරන්න පුළුවන් ව්‍යාපෘති දෙකක් ඊට ප‍්‍රථම අධ්‍යයනය කර තිබෙනවා. මෙගා වොට්ස් හතළිහක පමණ ව්‍යාපෘතිය ඉන් එකක්. ඒ සමගම තවත් ප‍්‍රශ්නයක් ඇති වී තිබේ. දැනටත් රන්ටැඹේ ජලාශයට උමාඔයේ ජලය ගලා ගෙන එන නිසා, එය සැමදාම වැලිවලින් පිරෙනවා. එයට හේතුව පොළොව ඛාදනය වීමයි. ජලය සමඟ මඩ ද මිශ‍්‍රව පැමිණෙනවා. එම නිසා එම ජලාශය උතුරාගෙන යනවා. අදට ද පිරී තිබෙන්නේ ඒ ආකාරයෙනුයි. ඒ නිසා ගංවතුර ප‍්‍රශ්න ඇතිවුණා. එයට පිළියමක් විදියට සහ මෙතැනින් එහාට මහවැලි ග​ෙඟ් ජලය මිනිපෙ හරහා ත‍්‍රිකුණාමලයට ගලා යනවා. කාලයක් අස්වැද්දීමට නොහැකි වූ දහස් සංඛ්‍යාත කුඹුරු ප‍්‍රමාණයකට ජලය ලැබෙනවා. මෙයින් ලබා ගත හැකි උපරිම ප‍්‍රයෝජනය මෙය පමණක් නොවේ. විද්වතුන් ඒ ගැන සලකා බලා ජල හැරවුම් යෝජනා ක‍්‍රමයක් හැදුවා. වෙනතකට හැර වූ පසු වසර දහස් ගණනක් අස්වැද්දීමට නොහැකි වූ ඉඩම්වලට ජලය ලබා දීමට හැකියාව ලැබෙනවා. මේ ආකාරයෙන් උමාඔය ව්‍යාපෘතියෙන් රන්ටැඹේ ජලාශයේ ප‍්‍රශ්නය පමණක් නොව එහා පැත්තට ජලය ලැබෙනවා.


එපමණක් ද නොවේ මෙම ජලය ගලාගෙන යන්නේ විශාල ප‍්‍රපාතයකටයි. මේ නිසා ලංකාවේ උමගක් තුළ පළමු වැනි ජල විදුලි බලාගාරයක් ඇති කර තියෙනවා. එම බලාගාරයෙන් මෙගා වොට්ස් එකසිය විස්සක විදුලි බලයක් නිෂ්පාදනය කරනවා ඇති.
බොහෝ දෙනෙක් උපදෙස් ලබා දෙන්නේ මෙම ව්‍යාපෘතිය දිගටම කරගෙන යන ලෙසයි. මේ වන විට ව්‍යාපෘතියෙන් සියයට හැත්තෑවක ප‍්‍රමාණයක වැඩ අවසන්. ඉතිරි ප‍්‍රමාණය සිදු කළ යුතුයි යන්න මගේ අදහසයි. උද්ඝෝෂණය කරන මිනිසුන්ට සාධාරණ ආකාරයෙන් වන්දි මුදල්, නිවාස, ඉඩම් ආදිය ලබා දිය යුතුයි. මෙය තව වසර දෙක තුනක් ගත වන විට නැවත නිවැරදි තත්ත්වයට පත් වෙනවා. ඒ බව අපි දන්නවා. ඊට හොඳම උදාහරණය මීට පෙර සඳහන් කළ සමනලවැව ව්‍යාපෘතියයි.


මොරගහකන්ද ව්‍යාපෘතියත් මේ වගේ එකක්. එහි මිනිසුන් අනූ දහසක් එළියට දැම්මා. ඉන්පසු ඔවුන්ට හිටපු තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් ලැබුණා. මොරගහකන්දේ ජලය ගලා යන්නේ උතුරට. ඒ තරම් විශාල වන්දි මුදලක් ලබා දුන්නේ ඒ නිසයි. මෙහිදී මුදල් ගෙවන්නේ නැත්තේ ඇයිද යන්න ප‍්‍රශ්නයක් පවතිනවා. එයට හේතුව මුදල් නැතිකම කියලයි හිතෙන්නේ. එහෙත් ඔවුන්ට හොඳ පළපුරුද්දක් තියෙනවා. උපකරණවල වැරැද්දක් ද නැහැ. නමුත් ඉස්සර කළේ උමග පුපුරා හැරීමෙන් හරාගෙන යාමයි. එහිදී ඔය කඳු ප‍්‍රදේශයට සිදු​ෙවන හානිය වැඩියි. දැන් එහෙම නැහැ. මෙම උපකරණයෙන් ගල විදගෙන යන විට නැතිනම් හාරන විට උඩට ඇසෙන්නේ නැහැ. එම උපකරණයෙන් විදගෙන යන අතර ඉන් ලැබෙන ගල් කුඩු ඉවත් කර ගෙන යනවා. මෙහි දියුණු කළ උපකරණයෙන් සිදු කරන්නේ හාරාගෙන යාමේදීම, ලැබෙන ගල් කුඩු පිටුපසට ලැබෙන අතර, ඊට සිමෙන්ති මිශ‍්‍ර කර කොන්ක්‍රීට් සාදා හාරන ලද බිත්ති, කුස්තුර ඒ සමගම වසාගෙන යාමයි.


දැනට භාවිත කරන මැෂිම ඒ තරම් දියුණු තත්ත්වයෙන් නැති නිසා සිදුව තියෙන්නේ, බාහිරින් හදපු කොන්ක‍්‍රීට් භාවිත කිරීමයි. මෙහිදී සීයයට සියයක් ජල කාන්දුව මකන්න බැහැ. එයට හේතුව ඊට උඩින් ජලය ලොකු තෙරපුමකින් ගලාගෙන එන නිසයි. මෙහිදී ඔවුන් අතින් එක වැරැද්දක් සිදු වී තියෙනවා. එය නම් ජල කාන්දුවන ස්ථාන කලින් හඳුනා ගැනීමට නොහැකි වීමයි. සමහර විට කලින් හඳුනාගෙන තියෙන්න ඇති. ඔවුන් මේ තරම් ඉක්මණින් මේ තරම් ජල ප‍්‍රමාණයක් කාන්දු වේයැයි සිතන්න නැතුව ඇති.


මෙම පොළොවෙහි පැවතිය යුතු ජල ප‍්‍රමාණය තප්පරයකට ඝණ ලීටර් හැට පහක ප‍්‍රමාණයක් බවට මම ගණනය කර තියෙනවා. නමුත් දැන් තප්පරයට ලීටර් දහසක් එනවා. එම ප‍්‍රදේශයට ලැබෙන ජලය පමණක් නොවෙයි. පිටතින් ඇති ජලය උමග යන මාර්ගය අවට ඇති ජලයත් ලැබෙනවා. මෙහි ඇති දුර්වල පැළුම් කලාපය කිලෝමීටර් පනහ, හැටක වැනි ඉතා ඈතට දිව යනවා. එම ප‍්‍රදේශවල ජලයත් උමගට ලැබෙනවා. එය ස්වභාවිකව සිදු වන දෙයක්. උමග හාරන විට එම ජල කාන්දුව ඉක්මන් වූයේ දුර්වල පැළුම් කලාප නිසයි. එහි මැටි තත්ත්වයක් දක්නට ලැබෙනවා. පසෙහි ජලය ඉවත්වීම නිසා එහි ඇති ඛනිජ සමගම අත්තිවාරම ද ඇඹරීම සිදුවේ. මතුපිට පස වියළෙන්නේ ඒ නිසයි. එ් සමගම නිවාස ඉරි තැලීම, ගිලා බැසීම සිදු වෙනවා. එම හානිය දැන් සිදු වී අවසන්. එයට වන්දියක් ලබා දී මෙම ව්‍යාපෘතිය ඉදිරියට රැගෙන යා යුතුයි. අවසාන වශයෙන් කිව යුත්තේ මෙම උමග සාදා අවසන් කර වසර දෙක තුනක් ගත වන විට නැවතත් පෙර තිබූ තත්ත්වයට පත් වන බවයි.


ස්තුතිය - මෙහි දත්ත ලබාදුන් මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ව්‍යාපෘතියට අදාළ ආයතනවලට.

 

සිසිර කුමාර බණ්ඩාර