IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සමයං ඝාතනයේ පාපෝච්චාරණය

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර අරුණ උදයන්ත පතිරණ හෙවත් රණාලේ සමයං ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල හා ප්‍රහාරයට හවුල් වූ අය ගැන ද තොරතුරු මේ වනවිටත් හෙළි වී හමාරය.


පාතාල නායකයෙක් ලෙස සැලකෙන රණාලේ සමයං ඝාතනය කර ඔහුගේ හිස සිරුරෙන් වෙන්කර එය ගෙනගොස් මිනී කනත්තක භූමදානය කර ඇති මිනී කන්දක් මත තැබීමට කර තිබුණ සැලැස්මක් ගැන ද තොරතුරු පොලිසිය හෙළිකර ගෙන ඇත.


එහෙත් ඒ සැලැස්ම අන්තිම මොහොතේ වැළකී ගොස් ඇතැයි කියන්නේ සමයංගේ ගෙල සිරුරෙන් වෙන්කිරීම සඳහා රැගෙන ගිය රම්බෝ පිහිය අතරමග වැටී තිබූ නිසා එය සොයාගැනීමට අපහසුවීම නිසාය. ප්‍රහාරකයින් කලින් සැලසුම්කර තිබී ඇත්තේ කළුතර බන්ධනාගාරය ඇතුළට සූක්ෂමව ඇතුළු වී සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස්දෙනා මරා දැමීමටය.


නමුත් එය ඉතා අවදානම් සහගත කරුණක් නිසා අවසාන මොහොතේ ඒ අදහස අතහැර දමා ඇත.


මේ බව හෙළි වූයේ කතරගම සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 21 වැනිදා වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් කුරුප්පුගේ චතුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් (26) හෙවත් බත්තරමුල්ලේ බන්ටි නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදීය. මොහු දකුණු තලංගම බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පදිංචිකරුවෙක් වන අතර අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ ප්‍රධානතම ගෝලයන් කිහිප දෙනාගෙන් කෙනෙකි.


පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණු ඔත්තුවක් අනුව සෙල්ලකතරගම ප්‍රදේශයට ගොස් කරන ලද වැටලීමකදී බත්තරමුල්ලේ බන්ටි නමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතාගේ උපදෙස් මත එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර පාතාල ප්‍රබලයා අත්අඩංගුවට ගෙන තිබිණි.


අල්ලාගත් බත්තරමුල්ලේ බන්ටි නමැත්තා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම සහ පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම  සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්වූ අයෙකු බව පැවැසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.


පොලිසිය පවසන ආකාරයට මොහු අංගොඩ ලොක්කා සමඟ එක් වී මහා පරිමාණයෙන් ගංජා ජාවාරම්වල ද නිරතව සිටි අයෙකි. කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එන අතර රණාලේ සමයං ඇතුළු ඔහුගේ පාතාල සගයන් පස් දෙනා වෙඩි තබා ඝාතනය කිරීමට තීරණය කර ඇත්තේ බන්ධනාගාරයට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කිරීම මගිනි. එහෙත් එහි යාම දැඩි අවදානම් ක්‍රියාවක් බව අංගොඩ ලොක්කාට ඔහුගේ ගෝල බාලයින් පෙන්වාදීමෙන් පසුව එම සැලසුම අතහැර දමා ඇත.


පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළිකරගෙන ඇති ආකාරයට පාතාල නායකයෙක් ලෙස සැලකෙන අංගොඩ ලොක්කා ඇතුළු ඔහුගේ පාතාල ගෝලයන් හයදෙනෙක් ද කඹුරුපිටියේ මධුෂ්ගේ පාතාල ගෝලයන් පස් දෙනෙක් ද මෙම ප්‍රහාරය සඳහා ගොස් ඇත.
ප්‍රහාරයට අවශ්‍ය අවි සපයා ඇත්තේ අංගොඩ ලොක්කා සහ කඹුරුපිටියේ මධුෂ් නමැති පාතාල නායකයින් දෙදෙනාය.


මෙම පාතාල කණ්ඩායම් දෙකට අයත් දස දෙනාගෙන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් ද සෙසු අය බන්ධනාගාර නිලධාරීන් අඳින නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් ද සැරසී මෙම ප්‍රහාරය එල්ල කිරීමට ගොස් තිබෙන බව අත්අඩංගුවට ගත් බත්තරමුල්ලේ බන්ටි නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇති බව වැඩිදුරටත් දැනගැනීමට තිබේ.
බන්ධනාගාර බස් රථයට කඩාවැදී වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට ගිය පාතාලයන් කිහිප දෙනා අතරේ බත්තරමුල්ලේ බන්ටි ද සිට ඇති බව පොලිස් පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇත.


ප්‍රහාරයේ මහ මොළකාරයා ලෙස සැලකෙන්නේ පාතාල නායක අංගොඩ ලොක්කාය.


ඒ සඳහා කඹුරුපිටියේ මධුෂ් නමැති පාතාල නායකයාගේ ද සහාය අංගොඩ ලොක්කාට ලැබී තිබේ. මධුෂ් ඩුබායි රටට පලාගොස් සිටින අතර ඔහු එහි සිට මෙම ප්‍රහාරය මෙහෙයවීමට සහාය ලබාදී ඇත.


රණාලේ සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනා මේ විදිහට මරා දැමීමට ආසන්නතම හේතුව ද බත්තරමුල්ලේ බන්ටි නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.


“මම අංගොඩ ලොක්කාගේ ගෝලයෙක්. බණ්ඩාර ධර්මසිරි අයියා කියන්නේ අපේ හිතවතෙක්. ඔහු හිත හොඳ මිනිහෙක්. ගමේ කොයිකාටත් හැකි අයුරින් ඕනෑම අවස්ථාවක පිහිට වුණ කෙනෙක්. සැපේට වඩා දුකකදී පිහිට වෙන අයෙක්. අපේ බජාජ් එකේ ඕනෑම කෙනෙක් ඒ ගැන දන්නවා. හිරේ ඉඳන් ප්ලෑන් කරලා සමයං හා ඔහුගේ ගෝලයන් බණ්ඩාර අයියාව මරලා දැම්මා. මේක අපේ බොස්ට ඉවසුම් නොදෙන වේදනාවක් වුණා. අපිටත් එහෙමයි.


අපේ බොස්ගේ (අංගොඩ ලොක්කාගේ) ඇස් දෙකෙන් කඳුළු බිංදුවක් වැටෙනවා අපි කිසිම දවසක දැකලා නැහැ. බණ්ඩාර අයියාව මරා දාපු දවසේ බොස් හරියට හැඬුවා. සමයංගේ එළියේ ඉන්න ගෝලයෝ දෙන්නෙක් ඇවිත් අතුරුගිරිය ටවුන් එකේ තියන රූපලාවණ්‍යාගාරයකදී තමා බණ්ඩාර අයියා මරා දමා තිබුණේ. කොහොම හරි ප්ලෑන් කරලා සමයංවයි ඌගේ ගෝලයෝ පස් දෙනාවයි මරලා දාන්න ඕනෑ කියා අංගොඩ ලොක්කා අපිත් එක්ක කිව්වා. බණ්ඩාර අයියාගේ මරණය ගැන අහපු වෙලාවේ අපේ බොස් වෙවුලන්න පටන් ගත්තා.


බොස් කිව්වා සමයං මරලා උගේ හිස කඳින් වෙන්කරගෙන ඇවිත් බණ්ඩාර වළ දමා තියෙන සොහොන් පිට්ටනියට ගෙනත් බණ්ඩාරගේ මිනීවළ උඩින් තියන්න ඕනෑ. එතකම් මට නින්ද යන්නේ නැහැ කියා. අපි ඒ වැඬේ කොහොමහරි කරනවා කියා බොස්ට පොරොන්දු වුණා. ඒත් හිස කඳින් වෙන්කරන්න ප්‍රහාරයට යද්දී අරගෙන ගිය පිහිය කලබලයට කොහේ හරි වැටිලා. ඒ නිසා ඒ වැඬේ කරන්න බැරිව ගියා. බස් එකට වෙඩි තියා සමයං ඇතුළු උගේ කට්ටිය මරා දමන්න යන්න කලින් අපි ඔත්තුකාරයෝ දමා තොරතුරු හෙව්වා.


කඹුරුපිටියේ මධුෂ් කියන්නේ දකුණේ පාතාල නායකයෙක්. ඔහු අපේ බොස්ගේ කිට්ටු හිතවතෙක්. බණ්ඩාරගෙත් හොඳම යහළුවෙක්. මධුෂ්ව පොලිසියෙන් අල්ලන්න හොයන නිසා රටින් පැනලා ගිහින් දැන් ඉන්නේ ඩුබායි රටේ. ඔහු ඒ රටේ ඉඳන් අපේ බොස්ට කතකරලා එයාගේ ගෝලයෝ පස් දෙනෙක් වෙපන් එක්කම එව්වා. අපේ බොස් වෙඩි තියන්න යන්න අපිත් එක්ක ආවා.”
සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනාම වෙඩි තබා මරා දමන්න කලින් බන්ධනාගාර බස් රථයට ගිනි අවි අමෝරාගෙන කඩාවැදුණු අවස්ථාවේ ප්‍රහාරක කල්ලිය බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත දෙයක් ද සිදුවී ඇත.


ඒ තම පාතාල නායකයාගේ ජීවිතය බේරාගැනීමට ඔහුගේ ගෝලයන් ඔවුන්ගේ ජීවිත පවා නොතකා යෙදූ උපක්‍රමය දැක ප්‍රහාරකයන් ද හොල්මන් වී ගොස් ඇතැයි කියති. බන්ධනාගාර බස් එක ළඟට යද්දීම ගෝලයෝ හතර දෙනා සමයං බස් එක ඇතුළේ බිම දිගා කෙරෙව්වා. ඊට පස්සේ සමංගේ ගෝලයෝ හතර දෙනා උගේ ඇඟමත වැතිරුණා. උන් එහෙම කළේ සමයංව බේරා ගන්න හිතාගෙන යැයි සැකකරු පොලිසියට පවසා තිබේ.


බන්ධනාගාර බස් රථයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ප්‍රහාරකයන් පානදුර නගරයට ගොස් ඇති අතර එසේ යන අතරවාරයේ අංගොඩ ලොක්කා ප්‍රහාරයට ගිය අයට එකාට රුපියල් 35,000 බැගින් මූලික ගෙවීමක් කර ඇත්තේ වියහියදම් සඳහාය.
පානදුර නගරයේදී ප්‍රහාරකයින් කිහිප දෙනෙකු වාහනයෙන් බැස ගියාට පස්සේ අංගොඩ ලොක්කා සෙසු සගයන් සමඟ පිටව ගොස් ඇත්තේ “උඹලා පරිස්සම් වෙයල්ලා. පොලිසියට මාට්ටු වෙන්න එහෙම එපා” යැයි පවසමින් බව ද කියවේ.


මේ බව පොලිසිය අනාවරණය කර ගත්තේ ද බත්තරමුල්ලේ බන්ටි නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින්ය. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟව සිටියදී අල්ලාගත් බන්ටි නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා බාරදෙනු ලැබුවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතය.


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


ප්‍රහාරයට හවුල් වූ අංගොඩ ලොක්කා ඇතුළු පාතාලයන් ඈත එපිට පිටිසර ගම්මානවල රහසිගතව සැඟවී සිටින බව සැකකරු දැනගෙන සිටියත් ඔවුන් සැඟව ඉන්නා ප්‍රදේශ ගැන කියන්නට දන්නේ නැත.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් මත මෙම පාතාලයන් අල්ලා ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇත.


සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් යම් ආධාර උපකාර සහාය ලැබී ඇති බවට පොලිසියට තදබල සැකයක් මතුවීම නිසා ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර පොලිසිය ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.


සමයංගේ හා ඔහුගේ ගෝලයන්ට ආරක්ෂාව දෙන සමහර බන්ධනාගාර නිලධාරීන්ට ඔහු අතදිගහැර වියදම් කර තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව කිව්වේ බුද්ධි අංශයක නිලධාරියෙකි.


මේ ගැන ද බුද්ධි අංශ සොයාගෙන යයි.


අවංකව නීතිගරුකව රාජකාරි කරන බහුතරයක් බන්ධනාගාර නිලධාරීන් පවසනුයේ දුෂිත බන්ධනාගාර නිලධාරීන්ට තරාතිරම නොබලා දැඩි ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙන බවයි.


සමහර බන්ධනාගාර, අපරාධකරුවන්ට සිය අපරාධ, කප්පම් ගැනීම් ආදිය කරගෙනයාමට කදිම තෝතැන්නක් වී තිබෙන බවක් පෙනෙන්නට තිබේ.


ජංගම දුරකථන සඟවා තබාගෙන හිරගෙදර සිට ඔවුන් ජයටම කප්පම් මුදල් ලබාගැනීම, අපරාධ කල්ලි මෙහෙයවීම හා කුඩු ජාවාරම් මෙහෙයවීම ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති බව කොයි කවුරුත් දන්නේ බොහෝ කාලයක සිටය.


බන්ධනාගාර බස් රථයෙන් සමයං අධිකරණවලට ඉදිරිපත් කිරීමට රැගෙන යන ඇතැම් අවස්ථාවල ඔහු මඟ දෙපස තිබෙන සුපිරි කඩවල ඉදිරිපිට සවිකර තිබෙන දැන්වීම් පුවරුවල සඳහන් කර තිබෙන දුරකථන අංක සටහන් කරගෙන ගොස් එම අංකවලට කතාකර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ඉල්ලා ඇති බව දැනගැනීමට ලැබුණු බව කියා සිටියේ පාතාල මර්දන කටයුතුවලට සම්බන්ධ වී සිටින උසස් පොලිස් නිලධාරියෙකි.


පාතාල ලෝකයේ නායකයකුව සිටියදී වෙඩි කා මිය ගිය සමයං ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනා සහ සමහර බන්ධනාගාර නිලධාරීන් අතර තිබූ සමීප සම්බන්ධතාවලට කදිම සාධක රැසක් තිබෙන බවට කරුණු කාරණා හෙළිවූයේ ඔවුන්ගේ පවුල්වල අය විවෘත අධිකරණයේදී කී කතා නිසාය.


කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය 07 දෙනා සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය හමුවේ පැවැත්විණි.


මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සාක්කි ලබාදුන් සමයං නමැත්තාගේ බිරිඳ වන ඩල්සි පතිරගේ සුනන්දි කල්දේරා (31) නමැත්තිය මෙසේ කීවාය.


සැමියා වසර තුනක් තිස්සේ සිට බන්ධනාගාරතව සිටියත් මා ඒ කාලය තුළ එකම දිනයකවත් ඔහු බලන්න බන්ධනාගාරයට ගිහින් නැහැ. එහෙත් ඔහු දිනපතාම බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනයෙන් මට කතා කරනවා. වැරදි වැඩ කර තිබෙන බවත් කිව්වා.
මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගිය අසිත කලණි තිලංග මල්ලිකාරච්චිගේ සොහොයුරා වන ඇන්. සසංක මල්ලිකාරච්චි යන අය ද මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය හමුවේ කියා සිටියේ මල්ලි දුරකථනයෙන් බන්ධනාගාරයේ සිට කතා කරන බවය.


බන්ධනාගාරයේ සමහර ජේලර්වරුන්ට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් දමන්න කියා ඔහු කියනවා. බන්ධනාගාරය තුළ දුරකතන පාවිච්චි කරන්න පුළුවන් කියාත් ඔහු කිව්වා. සල්ලි දීලා දුරකථනයෙන් කතා කරන්න පුළුවන් බවත් ඔහු මාත් එක්ක කියා තිබෙනවා යනුවෙනුත් ඔහු මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී තවදුරටත් සාක්කි දෙමින් පැවැසීය.


වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අමිල ප්‍රසන්න සම්පත් යන අයගේ බිරිඳ වන පී.එල්. පියුමි ලක්මාලි සහ මියගිය ළිදමුලගේ ප්‍රසන්න කුමාර යන අයගේ මස්සිනා වන ලසන්ත සම්පත් යන අය ද මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්කි දෙමින් කියා සිටියේ සම්පත් හා කුමාර බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් කතා කරන බවය.


අනේකවිධ දුෂ්කරතා ජීවිත අවදානම් ද දරාගෙන පොලිසිය අල්ලාගන්නා පාතාලයන් අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ පසුත් ඒ පාතාලයන් අපරාධකරුවන් ඇතැම් දූෂිත බන්ධනාගාර නිලධාරින්ගේ සහාය ඇතිව දුරකථන භාවිත කරමින් බන්ධනාගාරය තුළ සිට කප්පම් ඉල්ලීම අපරාධ සහ මනුෂ්‍ය ඝාතන සිදුකරන්නේ නම් එය අතිශය බාරපතළ කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.


බන්ධනාගාර තුළ මෙවැනි තත්ත්වයක් පවතින්නේ නම් පොලිසිය කොපමණ වෙහෙස මහන්සි වී අපරාධකරුවන් පාතාලයන් අල්ලා බන්ධනාගාර ගත කළත් තේරුමක් නොමැත.


ඒනිසා බලධාරීන් මේ තත්ත්වය මැඩලීමට වහා කඩිනම් පියවර ගත යුතුය. එය වචනවලට, මාධ්‍ය සංදර්ශනවලට පමණක් සීමා නොවිය යුතුය.


කළුතර අධිකරණයේදී හෙළිදරව් වූ කරුණුවලින් පසු පාතාලයන්ගෙන් හා අපරාධකරුවන්ගේ මුදල්වලට ගිජු වී ඔවුන්ට රිසිසේ දුරකථනවලින් කතා කිරීමට පහසුකම් ලබාදෙන ලබාදුන් සමහර දූෂිත බන්ධනාගාර නිලධාරීන් භූමිතෙල් ගෑවුණු ගැරඬින් සේ කලබලයට පත්ව සිටින බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබිණි.


දූෂිත බන්ධනාගාර නිලධාරීන් සිටිනතාක් මෙන්ම ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙනතුරු මේ තත්ත්වය මැඩලීමට පුළුවන්කමක් නොමැති බව පොලිසියේ ද අදහසයි.


පොලිස් ආරක්ෂාවක් බන්ධනාගාර බස් රථයට ලබාදුන්නේ නම් මේ මරණ සිදුවන්නේ නැති බව ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර තිබුණත් ඊට කලින් කරන්නට තිබුණේ පාතාලයින්ට අපරාධකරුවන්ට බන්ධනාගාරයේ සිට අපරාධ මෙහෙයවීම, කප්පම් ගැනීමට ඇති ඉඩකඩ අහුරා දැමීමය. එහෙම කළා නම් මේ මරණ සිදු නොවීමට බොහෝසෙයින් ඉඩකඩ තිබුණි.


සමයං සහ ඔහුගේ ගෝලබාලයින් හතර දෙනා පමණක් නොව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුම ජීවතවලින් වන්දි ගෙව්වත් තවත් බන්ධනාගාර නිලධාරියෙකුට පාදයක් අහිමිවූයේත් මොවුන්ට දුරකථනයෙන් කතා කිරීමට පහසුකම් ලබාදුන් දූෂිත බන්ධනාගාර නිලධාරීන් නිසා නොවේද? යන්න ගැන තීරණයක් ගැනීම මෙය කියවන ඔබ සතු කාරණයක් බව අවසාන වශයෙන් ලියා තබන්නෙමු.


 

මත්කුඩු කිරුළ අයිති කර ගන්න සටන් වැදුණා

කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩිතබා බස් රනාලේ සමයං ඇතවුළු ඔහුගේ ගෝල බාලයන් පස් දෙනකු  ඝාතනය කරීමට උපන් දින සාදයකදී  ඔටුන්නක හැඩයට සකස් කර තිබු කේක් ගෙඩියත් කැපීමට හේතුවී ඇති බවට තොරතුරු මේ සම්බන්ධයෙන් කෙරුණු අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණවී ඇත. 


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත කරන ලද පරීක්ෂණවලදී  මේ තොරතුරු හෙළිවී තිබේ.


රනාලේ සමයංගේ පාතාල කල්ලිය හා ප්‍රතිවාදී  පාතාල කල්ලිය  අතර මත්කුඩු ජාවාරම්  තදබල මත ගැටුම් තිබූ බවත් මේ නිසා දෙපැත්තම මරාගෙන තිබෙන බවත් පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. 


අංගොඩ ලොක්කාගේ  සමීපතම ගෝලයෙක් වන ලැඩියා  නමැත්තාගේ උපන් දිනයට මීට මාස 05කට පමණ ඉහතදී අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකදී මහ ඉහළින් පවත්වා ඇති අතර  එයට 100-150 අතර පිරිසක් සහභාගි වී ඇත. 


ලැඩියාගේ උපන් දිනය වෙනුවෙන කැපීමට ගෙනා කේක් ගෙඩිය ඔටුන්නක හැඩයට අලංකාර ලෙස සකස් කර තිබී  ඇතැයි පොලිසිය කියයි. 


ඔටුන්කට හැඩයට කේක් ගෙඩියක් සාදා එය අංගොඩ ලොක්කාගේ මැදිහත්වීමෙන් කපා ලැඩියාගේ  උපන් දිනය සමරා ඇති බව ඒ වනවිටත් බන්ධනාගාරගතව සිටින කාලේ සමයට ඔහුගේ ගෝලයන්ගේ මාර්ගයෙන් ආරංචිවී තිබෙන බව කියති. 


ඔටුනු කේක් කපන්න පුළුවං මට විතරයි අපේ විරුද්ධකාරයන්ට ඔටුනු කේක් කපන්න බැහැ. අයෙත් ඒ වගේ කේක් කපන්න මම උන්ට ඉඩ තියෙන්නේ නැහැ කියා  රනාලේ සමයං  ඔහු වටා සිටින ඔවුන්ගේ ගෝලයන්ට පවසා උපන්දින සාදය සංවිධානය කළ අය එකක් නෑර මරා දමන ලෙසට උපදෙස් ලබාදී තිබෙන බව පොලිස් පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණයවී ඇත. 


රනාලේ සමයංගේ අණට අනුව ක්‍රියාත්මක වූ ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙක් ලඩියාගේ උපන් දින සාදය සංවිධානය කිරීමට මුල්වූ අය සොයා ඔවුන් දඩයම් කිරීමට පටන්ගෙන තිබෙන බවද පොලිසිය කියයි. 


මේ අනුව මෙම සාදය සංවිධානයකට බවට සැලකෙන සුරංග කුමාර හෙටත් අගොඩ රත්තරං ද පසුගිය ජනවාරි මස 05 වැනිදා මුල්ලේරියාව ප්‍රදේශයේදී ද දෙවනුව අතුරුගිරිය නගරයේ  පසුගිය ජනවාරි 17 වැනිදා  බණ්ඩාර  ධර්මසිරි හෙවත් බණ්ඩා වෙඩි තබා ඝාතනයක් කර ඇති බවට පොලිසිය  පරීක්ෂණ පවත්වා කරුණු හෙළිකර ගෙන ඇත. අංගොඩ ලොක්කා සහ ලැඩියා ඇතුළු අනෙකුත් අයද මෙසේ  මරා දමන්නට යන බවට පසුව දැන ගන්න ලැබී තිබෙන බව පැවසේ. 


පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළි කරගෙන තිබෙන ආකාරයට ධර්මසිරි හෙවත් බණ්ඩා සහ අංගොඩ  රත්තරන්  ඝාතනය කිරීම රනාලේ සමයං ගේ වැඩක් බවට  දැන ගැනීමට ලැබී මෙසේ ඔහු ඇතුළු ගෝලයන් පස් දෙනා ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි. රනාලේ සමයං  ඇතුළු ඔහුගේ ගෝලයන් පස් දෙනා ඝාතනය කිරීමට ගොස් ඇත්තේ ද ඔහුගේ (රණාලේ සමයංගේ) ඝාතන ලැයිස්තුවේ වූ මෙම පිරිස බව කියති. 


මේ තොරතුරු සියල්ල අනාවරණය කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක්   සෙල්ල කතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන  කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට පෙරේදා බාරදුන් පුෂ්පකුමාර මෙන්ඩිස් හෙවත් බත්තරමුල්ලේ බන්ටි නමැත්තා  රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරිම්වලදී පොලිසිය අනාවරණ්‍ය කරගෙන ඇත. 


ලැඩියාගේ උපන්දින සාදය සංවිධානය කිරිම නිසා තමාවද රනාලේ සමයංගේ කල්ලිය දෙවරක්ම මරා දැමීමට උත්සාහ කළ බව බත්තරමුල්ලේ බන්ටි  පොලිස් නිලධාරින්  හමුවේ ප්‍රකාශ කර ඇති බව දැන ගැනීමට ඇත. 


මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බත්තරමුල්ලේ බන්ටි මහර බන්ධනාගාරයේ රඳවා සිටි වකවානුවේ එම බන්ධනාගාරයේ රඳවා සිටි අංගොඩ ලොක්කා දැන හඳුනාගැනීමට හැකිවී ඇත්තේ 2004 වසරේදී බව පොලිසිය කීය. අංගොඩ  ලොක්කා ඊට කලින් අධිකරණයෙන් ඇප ලබා පිටව ගොස් ඇත. 


අංගොඩ  ලොක්කාගේ පාතාල කල්ලියට එක්වීමට බන්ටි නැමැත්තා කැමැත්ත ප්‍රකාශ කිරීම නිසා ඒ වෙලාවෙත් අංගොඩ ලොක්කාගේ නිවසේ සාදයක්ද  පවත්තා තිබෙන බව පැවසේ. 


බත්තරමුල්ලේ බන්ටි ළමා කාලයේ මව අතහැර ගොස් ඇති අතර පියා ඔහු ඇතුළු සහෝදර සහෝදරියන් කුලී වැඩ කර ජීවත් කර ඇති බවත් බන්ටි 10 වැනි ශ්‍රේණිය දක්වා පමණක් ඉගෙනගෙන ආර්ථික අපහසුකම් නිසා අධ්‍යාපන කටයුතු අතරමග නතර කර ඇත. 


පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු මේ තොරතුරු අනාවරණය කර තිබේ. 


 මොහු තවත් අපරාධවලට සම්බන්ධවී ඇත්දැයි යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

සමයං ඝාතනයේ පාපෝච්චාරණය

ඔබේ අදහස් එවන්න

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු තුනක දී විවාද එකොළහක්
2024 අප්‍රේල් මස 26 15 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.


2022 සිට ලක්ෂ 7ක් රට රැකියාවලට ගිහින්
2024 අප්‍රේල් මස 26 21 0

කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 26 43 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර


යෝජිත පනතින් ලංවිම වත්කම් සියයට 75ක් පෞද්ගලීකරණය වෙනවා
2024 අප්‍රේල් මස 23 14 0

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න


බැඳුම්කර මගඩියෙන් ඊ.පී.එෆ්. එකට වුණු අලාභය හොයන ක්‍රමය සුමන්දිරන් කියයි
2024 අප්‍රේල් මස 23 5 0

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ


ඉරාන-ඊශ්‍රායල ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 22 4 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site