ලෝකයේ අබිරහස්

 

හිමාල අඩවියේ හිම මිනිසා ‘යෙටී’ ගැන කතාන්දර බොහොමය. ‘යෙටී’ ආසියාවේ උස් කඳුකරයේ ගැවසෙන දැවැන්ත, දෙපයින් ඇවිදින, වානරයකු වැනි සත්වයකු යැයි පැවැසෙයි. ‘යෙටී’ ගැන අසන්න ලැබෙන්නේ නේපාලයෙන් සහ ටිබෙටයෙනි. ශතවර්ෂ ගණනාවක පටන්, මේ අද්භූත සත්වයා ‘යෙටී’ දුටු බවටත්, හිමේ තිබී යෙටීගේ යෝධ අඩි සලකුණු දුටු බවටත් නිරන්තරයෙන් වාර්තා වෙයි.

‘යෙටී’ සමඟ බැඳුණු කතා නේපාල මෙන්ම ටිබෙට් ජන ජීවිතය හා බැඳී පවතී. ‘යෙටී’ සැබෑවක්ද? මිත්‍යා සත්වයෙක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට විද්‍යාවට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. කෙසේ නමුත් යෙටීගේ යැයි පැවැසෙන, මෙතෙක් හමුවී ඇති සාක්ෂි, පසුගිය දා ඉතා පුළුල් පරීක්ෂණ රැසකට භාජන කෙරුණි. ඒ, වර්තමානයේ පවතින තාක්ෂණයේ උපරිමය භාවිත කරමිනි. සිදු කෙරුණේ ඩී.එන්.ඒ. පරීක්ෂාවකි. එහිදී පැහැදිලිවුණු දෙයක් නම්, යෙටීගේ යැයි පැවැසෙන ලෝම, අස්ථි සහ සමේ කොටස් වලස් පවුලේ සාමාජිකයකුට අයත් බවය. 


ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකළේ ඇමෙරිකාවේ බෆලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන චාලට් ලින්ඞ්ක්විස්ට්ගේ ප්‍රධානත්වයෙනි. පසුගිය 2016 වසරේ දී, ඩිස්කවරි නාළිකාවට අනුබද්ධ ‘ඇනිමල් ප්ලැනට්’ නාළිකාවේ ‘යෙටී ඕර් නොට්’ වාර්තා වැඩසටහන මෙහෙයවූ තැනැත්තිය ද මැයයි. එම වැඩසටහනේ ද තේමාව වූයේ යෙටී සැබෑවක් ද නැද්ද යන්න විමසා බැලීමය. 


එම අවස්ථාවේදී, ‘යෙටී ඕර් නොට්’ වැඩසටහන නිෂ්පාදනය කළ බ්‍රිතාන්‍ය ‘අයිකන්’ සමාගම, ඔවුන් විසින් එක් රැස් කරගන්නා ‘යෙටී සාක්ෂි’ සියල්ල මහාචාර්යවරියට ලබා දුන්නේය. සම් කොටස්, ලෝම, අස්ථි කැබැලි, කලවා අස්ථි කොටස්, දත් ආදිය ඒ අතර තිබේ. මේවා යෙටීගේ යැයි පවසා වරින්වර හිමාල අඩවියේ සහ ටිබෙට් සානුවේ වැසියන් විසින් එක් රැස් ගත් දේවල්ය. මේවායින් බොහොමයක් කෞතුකාගාරවල  ද ප්‍රදර්ශනයට තබා තිබේ. මහාචාර්යවරිය මේ සියල්ල පුළුල් ඩී.එන්.ඒ. පරීක්ෂණයට යොමු කළාය. එහිදී අපූරු සොයා ගැනීමක් සිදුකිරීමට ඇය සමත් වූවාය. ඇය විසින් අනාවරණය කරගත් දේවල් පසුගිය දා විද්‍යා සඟරාවලත්, මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවියේත් ප්‍රසිද්ධියට පත් කෙරුණි.


යෙටීගේ යැයි පවසමින් එක් රැස් කරගෙන තිබුණු ‘සාක්ෂි’ අටෙන් එකක් බල්ලකුගේ විය. සෙසු හත ආසියානු කළු වලසුන්ගේ සහ ටිබෙට් දුඹුරු වලසුන්ගේය. ඒ අතරින් ද දුඹුරු වලසුන්ගේ යැයි පැවැසෙන කොටස්වල ලොකු විශේෂත්වයක් මහාචාර්යවරියට දකින්න ලබුණි. ඒ අනුව, යෙටී නමින් හැඳින්වෙන අද්භූත සත්වයා, දැවැන්ත ලෝම පිරි මානව වානරයකු නොව, වලසකු විය හැකි යැයි අනුමාන කෙරුණි. වලසාට ද පසුපස ගාත්‍රාවලින් නැගී සිටීමට පමණක් නොව කෙටි දුරක් ඇවිද යෑමට පවා හැකිය. යෙටී යනුවෙන් දකින්න ලැබී ඇත්තේ වලසකු විය හැකි යැයි සැක කෙරේ.
යෙටී සම්බන්ධයෙන් හමුවුණු ‘සාක්ෂි’ මීට පෙර ද අවස්ථා ගණනාවකදී, පරීක්ෂණවලට භාවිතා කෙරුණු බවත් ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කළ බවත් ලින්ඞ්ක්විස්ට් කියයි. කෙසේ නමුත් මෙවර ඩී.එන්.ඒ. පරීක්ෂණය මීට පෙර කළ පරීක්ෂණ මෙන් නොව, ඉතා පුළුල් යැයි ඇය වැඩි දුරටත් කියා සිටී. යෙටී ගැන කෙසේ වෙතත් ආසියානු වලසුන් සහ උන්ගේ පරිණාමය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න රැසකට පිළිතුරු මතු කර ගැනීමට මෙම නව පරීක්ෂණය සමත් වුණැයි මහාචාර්යවරිය පෙන්වා දෙයි. 


‘මේ ආසියානු කලාපයේ වලසුන්ගේ ඉතිහාසය ගැන විස්තර අපි දන්නවා අඩුයි. විශේෂයෙන් හිමාලයේ දුඹුරු වලසා කියන්නේ අද මරණ මංචකයේ සිටින සත්ව විශේෂයක්. මෙම වලසුන් වඳවී යෑමේ තර්ජනයට ලක් වෙලා. ජීවත්ව සිටින්නේ අතලොස්සක් පමණයි. දුඹුරු වලසුන්ගේ පරිණාමය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක්  අප සොයා ගත්තා’ යැයි ලින්ඞ්ක්විස්ට් කියා සිටී.
ලෝකයේ සෙසු රටවල දකින්න ලැබෙන වලසුන් සහ ආසියාවේ කළු වලසුන් අතර ඩී.එන්.ඒ. සමානකම් පවතී. කෙසේ නමුත් නව සොයා ගැනීමට අනුව, ටිබෙට් දුඹුරු වලසාගේ ඩී.එන්.ඒ. සෙසු වලසුන්ගේ ඩී.එන්.ඒ.වලට වඩා වෙනස් වී තිබේ.  ‘ලොකු පරිවර්තනයක් සිදුවෙලා. පරිණාමයේ වෙනස් වීමක්. අතීතයේ දී අයිස් යුගය අවසන් වෙද්දී සිදුවුණු පරිණාමයක් ලෙස මෙය හැඳින්විය හැකියි. සිදුවුණු භූ විෂමතා හේතුවෙන්, හිමාලයේ දුඹුරු වලසුන් සෙසු වලස් පවුලෙන් වෙන්වී තිබෙනවා. ඔවුන්ට ඇත්තේ වෙනම පරිණාමය ගති ලක්ෂණ. අපි හොඳින් දන්නවා හිමාල කඳු වැටිය ලොව උසම කඳු වැටිය වුණේ භූමියේ සිදුවුණු වෙනස් වීම් නිසා බව. වළසුන් පවා මේ විදියට වෙනස් වුණා. හිමාල දුඹුරු වලසා සෙසු වළස් පවුලෙන් මෙසේ වෙන් වී පරිණාමය වුණේ මීට අවුරුදු 6,50,000 කට කලින්. ඒ ගැලැසියර් දියවෙද්දී.’ යැයි මහාචාර්යවරිය පැහැදිලි කරයි.


‘යෙටී’ වලසකු යැයි කියමින්, යෙටී ගැන සිදු කෙරෙන සෝදිසිය අත්හැර දැමීම ගුප්ත සත්වවේදීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි පැවැසෙයි. යෙටී ගැන අපූරු විස්තර සහ කතාන්දර මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයාගේ සමයේ පටන් වාර්තා වී තිබේ. ගුප්ත සත්වවේදීන් තවමත් හිමාල අඩවිය ගවේෂණය කරන්නේ යෙටී ගැන පිළිගත හැකි සාක්ෂියක් ඇතිදැයි සොයමිණි.


ක්‍රි.පූ. 326 දී මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඉන්දියාව ආක්‍රමණය කළේය. එහිදී ඔහුට සිත් ඇදගන්නාසුලු කතාන්දරයක් අහන්න ලැබී තිබේ. ඒ, ඉන්දියාවේ කඳුකරයේ නේපාලය දෙසට වන්නට ගම්වැසියන්ටත්, ගෝත්‍රිකයන්ටත් දකින්න ලැබුණු යෝධ වානරයකු ගැනය. මේ වානරයා, මිනිසකුට වඩා උසින් වැඩිය. වලිගයක් නොමැති අතර, සිරුර ලෝමවලින් පිරී පවතී. සුදු පැහැතිය. මේ අපූරු සත්වයා ගැන ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයාගේ උනන්දුව යොමු විය. ඔහු ඔහුගේ සේනාංකයේ කණ්ඩායමක් මේ ‘දැවැන්ත මිනිස් වානරයා’ අල්ලා ගැනීමට ද යවා ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි. එම පිරිසට ‘වානරයා’ සොයා ගැනීමට නොහැකි වුණු බවත්, ‘වානරයා’ ජීවත් වන්නේ හිමෙන් වැසුණු සීතල කඳුකරයේ ලෙන්වල බවත් දැනගන්න ලැබී තිබේ. 
ඊට ශත වර්ෂ හතරකට පසු ප්ලීනි නම් රෝමානු ඉතිහාසඥයා මෙම අපූරු වානර මිනිසුන් ගැන මෙසේ සටහනක් තබා තිබේ. ‘මනුෂ්‍යයන් හා සමාන සිරුරුවලින් යුත් මෙම සත්වයන්ට හතර ගාතයෙන් මෙන්ම ගාත් දෙකකින්ද ඇවිදීමට පුළුවනි. උන් ජීවත් වන්නේ නැගෙනහිර ඉන්දියාවේ කඳුකරයේ පමණයි’ මිනිස් හැඩහුරුකම් පෙන්නුම් කළත් වනයේ ජීවත් වන වානරයකු වැනි සත්වයකු ගැන ආසියානුවෝ වසර ගණනක් තිස්සේ විශ්වාස කරති. විවිධ රටවල අය මේ සත්වයාට විවිධ නම් පටබැඳ තිබේ. උතුරු ඉන්දියානුවන් ඌට කියන්නේ ‘නියල්මෝ’ කියාය. නේපාල වැසියන් මෙම සත්වයා හඳුන්වන්නේ ‘චීමෝ’ යන නමිනි. ‘යෙටී’ යන නමින් මේ සත්වයා හඳුන්වන්නේ ටිබෙට් වැසියන්ය. චීන වැසියන් මේ සත්වයා හඳුන්වන්නේ ‘යෙරන්’ යනුවෙනි. මොංගෝලියානු වැසියන් මේ සත්වයාට කියන්නේ ‘අල්මාස්’ කියාය. මලයාසියානුවන් මේ සතා නම් කර ඇත්තේ ‘මාවා’ යන නමිනි. මේ මොන නමින් හැඳින්වූවත් මේ හැම නමක ම ඇත්තේ එකම එක තේරුමකි. ඒ ‘මිනිසා’ යන්නය. 


පළමුවෙන්ම එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රීමත් එඞ්මන්ඞ් හිලරි, 1960 වසරේ දී යළි හිමාල අඩවියට පැමිණියේය. මෙවර ඔහුගේ අරමුණ වූයේ ‘යෙටී’ ගැන සොයා බැලීමය. හිලරි සහ ඔහුගේ කණ්ඩායම,  යෙටී සොයමින් මාස 10 ක කාලයක් හිමාල අඩවිය පුරා සැරිසැරුවේය. අවසානයේ දී ඔහු මාධ්‍ය හමුවේ මෙසේ පැවැසීය. ‘යෙටී කියන්නේ අපූරු සුරංගනා කතාවක්. මිත්‍යා කථාවක්. නොදියුණු ගම් වැසියන් තුළ ඇති වන බව නිසා පෝෂණය වූ මිථ්‍යා සත්වයෙකු මිසක් වෙන මොකෙක්වත් නොවේ.’ 

 

මේ අතර, ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට යෙටී යනු වසර 3,00,000කට පමණ පෙර මේ ප්‍රදේශයේ විසූ ආදී මානවයකුගේ විය හැකිය. යෙටී, ‘ජයිගැන්තෝපිතිකස්’ නම් මානවයාගෙන් පැවත එන තවමත් හඳුනා ගෙන නැති උප විශේෂයක් බව යැයි සැක කෙරේ. 

 

 

1961 දී හිමාල අඩවියේ ගම්මානයකට ආ එක් ප්‍රංශ විද්වතකු සහ නේපාල ගැමියකු අතර වූ කතාබහක් ගැන ද ප්‍රසිද්ධියට පත් වී තිබේ. එහිදී, ප්‍රංශ විද්වතා තර්ක කර ඇත්තේ යෙටී ලොකු බොරුවක් කියාය.  ‘මහත්තයා, නේපාලයේ අපි ජිරාෆ්ලා දැකලා නැහැ. කැන්ගරුවෝ දැකලා නැහැ. ඔබ ප්‍රංශකාරයෙක්. ප්‍රංශකාරයෝ යෙටීලා දැකලා නැහැ. යෙටීලා දැකලා නැහැ කියන්නේ උන් බොරුවක් කියන කාරණාව නොවෙයි. මහත්මයාගේ නොදන්නාකම ගැන මට කනගාටුයි’ යැයි  කුන්ජෝ චුම්බි නමැති එම ගැමියා පිළිතුරු දී තිබේ. 


යෙටී නමැති මේ සතාගේ ප්‍රමාණය මීටර් 7 ත් 10 ත් අතර වන බව පැවැසෙයි. යෙටී, මිනිසාට බියක් දක්වන සත්වයකු වන අතර, ඌ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු අවස්ථා ගැන ද නේපාල ගම්වැසියෝ පවසති.  හිමෙහි හෝ මඩෙහි හෝ සටහන් දකින්න ලැබෙනවා යැයි කියන අඩි සළකුණු පමණක් නොවෙයි, මහ රෑ ඇසෙන ඇඟ කිළිපොළා යන මහා කෑ ගැසීම් යෙටීගේ යැයි නේපාල සහ ටිබෙට් ගම්වැසියෝ කියති. යෙටීගේ කෑ ගැසීම් හිම කුණාටු පවතිද්දී පවා ඈත දුරකට ඇසෙනවා කියලයි ටිබෙට් රටට නුදුරින් ජීවත් වන ෂීක්වරු කියති. කෙසේ නමුත් විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ ගම්වැසියන්ට ඇසෙනවා යැයි කියන ඒ හඬ යෙටීගේ නොවන බවය. ඔවුන් පැහැදිලි කරන්නේ  කුළු අතරින් සුළං රැළි වේගයෙන් හමා යද්දී බියකරු හඬක් නික්මෙන බවය.


ගම් වැසියන් වැඩි දුරටත් කියා සිටින්නේ යැක් ගවයන් සහ බැටළුවන්ව ආහාරයට ගැනීමට යෙටී ප්‍රිය කරන බවත් ඇතැම් අවස්ථාවලදී, ගවයන්ගේ හා බැටළුවන්ගේ කීතු කීතු කළ සිරුරු මිටියාවතේ දකින්න ලැබී ඇති බවය. හිමාල අඩවියේ මාංශභක්ෂක සතුන් සිටින්නේ කිහිප දෙනෙකි. ඒ අතරින් හිම දිවියා කැපී පෙනෙයි. කෙසේ නමුත් මේ අයුරින් ගවයන් සහ බැටළුවන් කීතු කීතු කිරීමට හිම දිවියන්ට නොහැකි බව සත්ව විද්‍යාඥයෝ කියති. වලසුන්ට ද එසේ කළ නොහැකි බව පැවැසෙයි.

 

 

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
මේල් ඔන්ලයින් ඇසුරිනි