යටත් විජිත පාලන සමයෙහි ඓතිහාසික සත්කෝරළයේ අවසාන පාලකයා වූයේ සේමසිංහ නවරත්න වන්නිනායක චාර්ල්ස් ජයතිලක හුළුගල්ල මහාධිකාරම්තුමාය.   


හිරු නොබසින අධිරාජ්‍යයේ මහා නායිකාව වූ වික්ටෝරියා රාජිනියගේ අසහාය පෙම්වතෙකු බවට ප්‍රකට හුළුගල්ල මහාධිකාරම්තුමාට පිරිමි දරුවන් නොසිටි අතර දූවරුන් පස් දෙනෙක්ම සිටි​ෙයා්ය. ඉන් ළාබාලම දියණිය එස්.එන්.ඩබ්. මැණික්හාමි කුමාරිහාමි හුළුගල්ල නම් ලැබුවත් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වා ඇත්තේ සිට්ටම්මා මැණිකේ නම් වූ සුරතල් නාමයෙනි. රූබර කාන්තාවක වූ ඇගේ අත ගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස් නඩුකාරතුමා බවට ඉතිහාස ගතවූ පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල මැතිඳුන්ය.   


හුළුගල්ල මහාධිකාරම්තුමා තම රූබර දියණිය මේ නඩුකාරතුමාට විවාහකරදීමට කල්පනා කළේ ඔහු තම වරිගයට ගැළපෙන උගත් රූමත් ඉහළ පැළැන්තියේ වලව්කාරයෙකු සේම රාජතාන්ත්‍රිකයෙකු වීම නිසාය. හුළුගල්ල සහ පලාපත්වල වලව් දෙකම අයත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයටය. හුළුගල්ල වලව්ව නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් පලාපත්වල වලව්ව අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් පිහිටියේය.   
නිකවැරටිය නගරයේ සිට දනිකිතව හරහා අඹන්පොළ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ නගරයට මදක් නුදුරින් පළාපත්වල වලව්ව පිහිටා තිබුණමුත් අද එහි නටඹුන්වත් දක්නට නැත. එහෙත් හුළුගල්ල වලව්ව නම් අදත් දක්නට තිබේ.   


පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නම්වූ චරිතය මෙවැන්නකින් හුවා දක්වන්නට තරම් වැදගත් වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පොලිස් නඩුකාරතුමා වීම හා සිය නීති වෘත්තීය ජීවිතයේ දී ජනතාවට දැක්වූ හිතෛශී බව නිසාම වයස අවුරුදු 39ක් වැනි කෙටි කලකදීම මරණයෙන් වන්දි ගෙවන්නට සිදුවීමත් නිසාය. මුල් යුගයේදී ඉංග්‍රීසීන්ගේ ගජ මිතුරෙකු ලෙසත් පසු කලෙක පරම හතුරෙකු ලෙසත් වීම හේතුවෙන් ඔහු ලංකා ඉතිහාසයේ අප්‍රකට හා නොපළ වීර චරිතාපදානයක්ම වන්නේය.   


පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමා උපන්නේ පලාපත්වල වලව්වේදී වර්ෂ 1879 දී පමණය. ඉංග්‍රීසි පාලනයෙහි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ පලාපත්වල කෝරාළ මහතාගේ පුත්‍ර රත්නයක් වූ ඔහුගේ මූලික අධ්‍යාපන කටයුතු මහනුවර ට්‍රිනිටි කොලේජ් හෙවත් ත්‍රිත්ව විද්‍යාලයෙන් වූ අතර වැඩිදුර ඉහළ අධ්‍යාපනයක් සඳහා එංගලන්තයට යවන ලදී.   


ඉංග්‍රීසීන්ට පක්ෂපාතී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වීමත් එංගලන්තයේ අධ්‍යාපනය ලබා දීමට තරම් වත්කමක් තිබීමත් නිසා ඔහුට ඒ භාග්‍ය උදාවිය. එංගලන්තයේ දී පුරා වසර හතරක් තිස්සේ නීතිය හදාල ඔහු නැවත ශ්‍රී ලංකාවට ගොඩබැස්සේ අතිදක්ෂ අධිනීතිඥවරයෙකු වශයෙන්ය. කුරුණෑගල සහ මහනුවර ආදී ශ්‍රේෂ්ඨාධිකරණයන්හි කෙටිකලක් අධිනීතිඥ වෘත්තියේ යෙදුණ ඔහු වර්ෂ 1912 දී රාජ්‍ය සේවයට සම්බන්ධව ඉංග්‍රීසි පාලකයින්ගේ ආශිර්වාදයෙන් නඩුකාර තනතුරකින් පිදුම් ලද්දේය. එයින්ම ඔහු ලංකාවේ පළමුවන පොලිස් නඩුකාරතුමා බවට ඉතිහාස ගතවිය.   


එවකට හුළුගල්ල වලව්වේ දිවි ගෙව් මැණික්හාමි කුමාරිහාමි හුළුගල්ල හෙවත් සිට්ටම්මා මැණි​කේ කෙරෙහි හිත බැඳගත් පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල තරුණ නඩුකාරතුමා දෙපාර්ශ්වයේම ආශිර්වාදය මැද ඇය හා යුගදිවිය ආරම්භ කළේය. නඩුකාර පදවි ලබා පළමුව කුරුණෑගල අධිකරණයේ සේවය කළ අතරතුර වැඩි කලක් නොගොස්ම ඔහු ප්‍රදේශයේ ජනප්‍රියතම චරිතයක් විය.   


සත්කෝරළ ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් හඳුනාගෙන සිටි ඔහු කිසිවිටෙකත් ඉංග්‍රීසි පාලකයන්ගේ පැත්ත ගත්තේම නැත. හෙළ ජනතාවගේ සුළු සුළු වැරදි සිදුවීම්වල දී ඔවුන්ගේ පැත්ත ගෙන කටයුතු කරමින්ම සුදු මිනිසුන්ගේ කෲර ගති වෙනුවෙන් මොහු රහසින් විරුද්ධව කටයුතු කළේය. ඒ නිසාම සිංහල මිනිසුන් අතර ජනප්‍රිය වීම නොරිස්සූ ඉංග්‍රීසි පාලකයෝ නඩුකාරතුමා කුරුණෑගල අධිකරණයෙන් කෑගල්ල අධිකරණය වෙතට මාරු කර යවන ලදී.   


කැලේ මාරු වුණ ද කොටියාගේ පුල්ලි මාරු නොවන්නා සේ කෑගල්ල අධිකරණය වෙතට ගිය ද පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමාගේ අදහස් උදහස් අරමුණු හා සංකල්පනා වෙනස් නොවීය. සිංහල දෙමළ හෝ මුස්ලිම් ජාතීන් වුවද ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් සේ සලකා ඔහු සැමට ආදරය කළේය. දයාබරව බැලුවේය. ඔවුන්ට පක්ෂපාතී බවක් දැක්වීය. රහසිගතව ස්වදේශිකයන්ගේ ජාතික හැඟීම් කාලයේ තාලයට අනුව පුබුදු කෙරෙව්වේය. මේ හේතූන් නිසාම කෑගල්ල දිසාවේ ජීවත් වූ සියලුම ජාතීහු මේ සංවේදී නඩුකාරතුමාට දැඩි සේ ආදරය කළහ. භක්තිය දැක්වූහ. කොටින්ම ඔහු කුරුණෑගල මෙන්ම කෑගල්ලේත් ජනප්‍රියතම චරිතයක් විය.   
වර්ෂ 1914 උදාවූයේ ශ්‍රී ලංකාවට කණකොකා හඬවමිනි. ඒ ගම්පොළ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් අසල සිදුවූ පෙරහර ආරාවුලක් නිසා එම සිද්ධිය මුල් කරගෙන රට පුරා දැල්වී ගිය ජාතිවාදී ගින්නයි. දිනෙන් දින කටකතා මුල්කරගෙන දැඩි සේ ව්‍යාප්ත වූ සිංහල මුස්ලිම් කෝලාහලය තුළ ලංකාව පුරා පල්ලි ගණනාවක්ම ගිනිබත් වූ අතර මිනිස් ජීවිත රැසක් ද විනාශ වී ගියේය.   


මුලින් ගම්පොළ ප්‍රදේශයෙන් ඇරඹුණ ද පසුව ලංකාව පුරා ව්‍යාප්ත වන්නට නිත්‍ය වාහකයා වුණේ කටකතාය. මේ තත්ත්වය මත රට පුරා මහත් නොසන්සුන් ව්‍යසනකාරී තත්ත්වයක් උදාවූයෙන් එය මැඩලීම සඳහා ඉංග්‍රීසි පාලකයෝ නොගත් උත්සාහයක් නැත. එහෙත් මෙයට වඩා කටකතා ප්‍රබල වී කැරලිකෝලාහල තත්ත්වය උත්සන්න වීම තුළ කුපිත වූ ඉංග්‍රීසි පාලකයෝ රට පුරා යුද්ධ නීතියක් හෙවත් කුප්‍රසිද්ධ මාර්ෂලෝ එක ක්‍රියාත්මක කරමින් තත්ත්වය සමථයකට පත් කිරීමට යත්න දැරූහ. මාර්ෂ ලෝ එක නිසා සිංහල මිනිසුන් ගණනාවක්ම ඉංග්‍රීසි වෙඩි උණ්ඩයටත් බිලි වූහ.   


කෝලාහල තත්ත්වයේ උත්සන්න අවස්ථාව එසේ තිබියදී ගම්පොළ මහනුවර ප්‍රදේශවලින් කැරලි ගණනාවක්ම ඒකාබද්ධව කෑගල්ල හරහා කොළඹ දෙසට එන්නට පටන් ගත්තේ අතරමග දී හමුවන සියලුම පල්ලි සහ ඒ හා සම්බන්ධ දේපොළ විනාශ කරමින්ය. මෙයට සහාය පළකරමින් කෑගල්ල සහ ඒ අවට තදාසන්න පෙදෙස්වල ජනතාව ද එකී කැරලි රංචුවලට එකතු වන්නට වූහ.   

 

කැලේ මාරු වුණ ද කොටියාගේ පුල්ලි මාරු නොවන්නා සේ කෑගල්ල අධිකරණය වෙතට ගිය ද පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමාගේ අදහස් උදහස් අරමුණු හා සංකල්පනා වෙනස් නොවීය. සිංහල දෙමළ හෝ මුස්ලිම් ජාතීන් වුවද ඒ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් සේ සලකා ඔහු සැමට ආදරය කළේය. දයාබරව බැලුවේය. ඔවුන්ට පක්ෂපාතී බවක් දැක්වීය. රහසිගතව ස්වදේශිකයන්ගේ ජාතික හැඟීම් කාලයේ තාලයට අනුව පුබුදු කෙරෙව්වේය. මේ හේතූන් නිසාම කෑගල්ල දිසාවේ ජීවත්වූ සියලුම ජාතීන් මේ සංවේදී නඩුකාරතුමාට දැඩි සේ ආදරය කළහ. භක්තිය දැක්වූහ. කොටින්ම ඔහු කුරුණෑගල මෙන්ම කෑගල්ලේත් ජනප්‍රියතම චරිතයක් විය.  වර්ෂ 1914 උදාවූයේ ශ්‍රී ලංකාවට කණකොකා හඬවමිනි. ඒ ගම්පොළ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් අසල සිදුවූ පෙරහර ආරාවුලක් නිසා එම සිද්ධිය මුල් කරගෙන රට පුරා දැල්වී ගිය ජාතිවාදී ගින්නයි. දිනෙන් දින කටකතා මුල්කරගෙන දැඩිසේ ව්‍යාප්ත වූ සිංහල මුස්ලිම් කෝලාහලය තුළ ලංකාව පුරා පල්ලි ගණනාවක්ම ගිනිබත් වූ අතර මිනිස් ජීවිත රැසක් ද විනාශ වී ගියේය.


මේ අර්බුදය නවතන ලෙසට ඉංග්‍රීසි පාලක පන්තිය විවිධ ක්‍රම පාවිච්චි කළ ද එහි අඩුවක් නොවූයෙන් ඒ ඒ ප්‍රදේශවල කැරලිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග පැනවීමටත් වෙඩි තැබීමටත් පසුබට වූයේ නැත. මේ වාතාවරණය යටතේ කෑගල්ල ප්‍රදේශයේ කැරලිකරුවන් නීතියේ රැහැනට ගැනීමට අධිකරණ නියෝග පනවන ලද නමුත් පුංචිබණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමා කළේ කැරලිකාර පිරිස් කෑගල්ලේ දී නවතා කාරණා පැහැදිලි කොට ඔවුන් ආපසු හරවා යැවීමට කටයුතු කිරීමය.   


ඒ වනවිටත් මාවනැල්ල ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කැරලි මර්දන පොලිස් බළඇණියක් යොදවා තිබුණ අතර එහි එන සියලුම දෙනා මරා දැමීමටත් ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කර තිබිණ. මේ බව ඇත්ත ඇති සැටියෙන් වටහා දුන් නඩුකාරතුමා කැරලිකාර සියලු පිරිස් අත්අඩංගුවට ගැනීම පසෙක තබා ආපසු යවන්නට සැලැස්වීය.   


මේ තත්ත්වය ඉහළ අණඥාව හෑල්ලුවට ලක් කිරීමක් සේම රජයේ අණ නොතකා පැමිණි කැරලිකරුවන් සාමකාමීව විසුරුවා හැරීමට කටයුතු කිරීම තුළින් හැඟී යන්නේ මේ ජාතිවාදී අරගලය නිර්මාණය කරන්නට නඩුකාරතුමාත් රහසින් සම්බන්ධ යැයි සැක කළ ඉංග්‍රීසි පාලකයෝ මානව හිතවාදී මේ මිනිසා ඔවුන්ගේ සැකකටයුතු ලේඛනයේ එක් නමක් ලෙසට හංවඩු ගැසුවේය.   


කෑගල්ලට එක්රොක්වූ කැරලිකාර පිරිස් රහසිගතව හරවා යැවීම මාර්ෂලෝ නීතිය අනුව ඔවුන් අත්අඩංගුවට නොගැනීම විරුද්ධවාදීන්ට වක්‍රව හෝ පක්ෂපාතවීම වැනි චෝදනා මත නඩුකාරතුමා වරදකරු කරන්නට ඉංග්‍රීසි පාලනාධිකාරය ප්‍රයත්න දරද්දී තම ජීවිතයේ වැදගත්කම අවබෝධ කරගත් නඩුකාරතුමා රහසිගතව ඉන්දියාවට පැන ගියේය. ඒ වන විට එක්දරු පියෙකුව සිටි නඩුකාරතුමා ජීවිතය ගෙන ගියේ දරු දුක ද පණ බය ද කැටි කරගත් මනසකින්ය.   


දෙවසරකට ආසන්න කාලයක් එතෙර රැඳී සිටි නඩුකාරතුමා ඒ තත්ත්වය කෙමෙන් කෙමෙන් පහව ගිය අවධියක නැවත මෙරටට පැමිණි අතර කෙටි කලකින්ම නීති වෘත්තියේ යෙදෙන්නට ඔහුට වාසනාව හිමි විය.   


එහෙත් ඉංග්‍රීසි පාලන අධිකාරියේ ඉහළ නිලවල අළුයට ගිනි සැඟවී තිබිණ. ඔවුන් නිතරම මානබැලුවේ කොයි මොහොතක හෝ කුමන කරුණක් මුල්කරගෙන හෝ මොහු වැරදිකරුවා කරවන්නටමය. මේ බව හොඳින් දැන සිටි හේරත් නඩුකාරතුමා ඉංග්‍රීසි මොළයට වඩා සිංහල මොළයේ තරම පෙන්වීමටම ඔවුන්ගේ ග්‍රහණයට හසුවන කිසිවක් කරන්නට හෝ කියන්නට තරම් මෝඩ වූයේ නැත.   


ලාබාල තරුණ අවධියේම නීති ක්ෂේත්‍රයේ ඉහළට ගිය ප්‍රඥාවන්තයෙකු ලෙසට පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමා ලෙහෙසි පහසුවෙන් යමකට පටලවන්නට නොහැකි බව ඉංග්‍රීසිහු ද හොඳින්ම දැන සිටියෝය. ඒ නිසා කළයුත්ත ඉතාමත් සියුම්ව තීක්ෂණව කළ යුතු බව ඔවුන් කල්පනා කරමින් අවශ්‍ය පසුබිම සකස් කරගත්හ. මේ වෙනුවෙන් (විවිධ නිලතල තානාන්තර අපේක්ෂාවෙන් සුද්දන්ට වහල්කම් කරමින් සිටි අපේ මිනිස්සු ද ඊට උල්පන්දම් දී තිබිණ. ඒනිසා මේ තත්ත්වය සුද්දන්ට පහසුවක් විය. කව්රු කව්රුත් ඒකරාශීව මුලින් කතිකා කරගත් අයුරින් නඩුකාරතුමා නසන වැඩසටහන ක්‍රියාත්මක වූයේ ඉතාමත් රහසිගතවය. ඒ අනුව නඩුකාරතුමා සමග මහත්සේ කුලුපග වූ සුදු ජාතික පාලකයෝ ඔහු වෙනුවෙන් කුරුණෑගල දී රාත්‍රී භෝජන සංග්‍රහයක් සකස් කරන ලද අතර එයට විවිධ තනතුරු දරන්නාවූ අයද සිටියහ.   


හේතුව අහේතුවය.   


ඉතා හොඳින් භෝජන සංග්‍රහයට සහභාගිව ආපසු නිවහනට පැමිණි නඩුකාරතුමා පසුදින උදයේ අවදි වූයේ නැත. ඒ ඔහුගේ අවසන් නින්ද විය. පුරා වසර 39 ක ළාබාල අතීතයක් එසේ අභිරහස් ලෙස වැළලී ගියේය. පසු කලෙක පතළ වී ගියේ උග්‍ර විෂක් ශරීරගතවීමෙන් නඩුකාරතුමා මියගිය බව මිස එහි ඇත්ත නැත්ත තවමත් අබිරහසක් වී තිබේ.   


කුකුළු මස් ආහාරයට ගනිද්දී එහි පුංචි කටු කැබැල්ලක් දිවේ අැනුණ අතර තුවාලයට අපේ අති දක්ෂ වෙදෙකු විසින් විෂ බැඳීමෙන් මේ අභිරහස් මරණය සිදුවූ බව ද ජනප්‍රවාදයකි. කෙසේ නමුත් මේ මරණය හුදෙක්ම සිංහල අති දක්ෂ නීතිවේදියෙකු සදහටම තුරන් කළ යුතුය යන පරදේශීන්ගේ කෲර සංකල්පයක ප්‍රතිඵලයක් බව බො​ෙහෝදෙනාගේ අදහසයි.   


පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමා මියගියේ වර්ෂ 1918 දී සිය 39 වැනි වියෙහිදීය. එම වසරෙහිම සිය මාමණ්ඩිය වූ හුළුගල්ල මහාධිකාරම්තුමා හුළුගල්ල වලව්වේ දී අභාවප්‍රාප්ත වූ අතර නඩුකාරතුමා කුරුණෑගල වඳුරාගල වලව්වේ දී සදහටම දිවියෙන් සමුගත්තේය. නඩුකාරතුමා මෙලොවින් සමුගන්නා විට සිදුවූයේ තරුණ ළමාතැනී පුංචි පුතුන් දෙදෙනෙකු සහ රූබර දියණියක සමග කණවැන්දුම්වීමය. ධෛර්යවන්ත වීරෝදාර කතක් වූ සිට්ටම්මා මැණිකේ හෙවත් මැණික්හාමි කුමාරිහාමි හුළුගල්ල ළමා තැනී මෙම දරුපැටවුන් තිදෙනාට කවාපොවා උස්මහත්කොට කුරුණෑගල සාන්ත අන්තෝනි සහ මහනුවර ත්‍රිත්ව (TRINITY) ආදී ඉහළ පැලැන්තියේ විදුහල්වලින් උසස් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළාය.   


දිවියේ සන්ධ්‍යාභාගය සතුටින් ගත කළ ළමාතැනිය වර්ෂ 1948 දී මෙලොව හැර ගියද තමා බලාපොරොත්තු වූ අයුරින්ම දරුවෝ ඒ ඒ තලවල වැජඹුණහ. වැඩිමහල් දරුවා සුරසේන ආරියසිංහ හේරත් මහතා කුරුණෑගල කච්චේරියේ ආහාර පාලක (Food Controller) තනතුර හොබවා විශ්‍රාම ලැබ වර්ෂ 1984 දී මෙලොවින් සමුගත්තේය. 

 
දෙවන දරුවා රජයේ සේවයෙන් සමුගෙන දේශපාලනයට පිවිසි අතර දීර්ඝ කාලයක්ම නිකවැරටිය කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට කටයුතු කොට 1992 දී මියගියේය. ඔහු ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු වූ කවිසේන හේරත් මහතාය. පවුලේ එකම දියණිය එවකට වන්නිහත්පත්තුව භාර රටේ මහත්මයා තනතුර (වර්තමාන ප්‍රාදේශීය ලේකම් වරයාට සමාන නිලයකි) හෙබවූ ඉලංගන්තිලක රටේ මහත්මයාගේ දයාබර බිරිඳ වූවාය. 

 
ඔවුන් විසූ ඉලංගන්තිලක වලව්ව නිකවැරටිය පුත්තලම මාර්ගයේ ජයන්ති මැදි මහ විදුහලට හැරෙන හන්දිය ඉදිරිපිට ඇති මුත් දැන් එහි වලව්වක් දක්නට නැත. මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සතුය. එදා වලව්වේ තිබූ ගේට්ටුවේ ප්‍රධාන කොන්ක්‍රීට් කණු දෙක පමණක් ගොළුවත රකිමින් තවමත් නිරුපද්‍රිතව දක්නට තිබේ.   


වයඹ පළාතේ වන්නිහත්පත්තුවට මහත් සේ ආඩම්බර විය හැකි චරිතයක් ලෙසින් සිය 39 වන වියෙහිදී මනුෂ්‍යත්වයේ නාමයෙන් නිරපරාදේ ජීවිතයෙන් සමුගත් පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමාගේ මේ අපූරු සැඟවුණු තොරතුරු ගමට රටට ලෝකයට වසන් වී ගිය ද ඔහු තබාගිය වාර්තා නම් එතෙක් මෙතෙක් කිසිවෙකුටත් සම කළ නොහැකිය.   


ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මහේස්ත්‍රාත්වරයා අඩුම වයසින් ඉහළ තනතුරු ලබා මරා දැමුණු මහේස්ත්‍රාත්වරයා වන්නිහත්පත්තුවෙන් පහළවූ ප්‍රථම සිංහල ගැමි මහේස්ත්‍රාත්වරයා, කිසිදා ගම සහ ගැමියා අමතක නොකළ මානව හිතවාදී සැබෑ මිනිසා හැටියට පුංචි බණ්ඩාර​ හේරත් පලාපත්වල නඩුකාරතුමා වයඹ ජනතාවගේ හදවත් තුළ සදා මතකයේ රැඳෙනු ඇත.   


විශේෂ ස්තුතිය - පුංචි බණ්ඩාර හේරත් පලාපත්වල නඩුකාරතුමාගේ මිනිබිරියක් වූ කුරුණෑගල වඳුරාගල වලව්වේ නීතිඥ රංජනී හේරත් නිල නොලත් මහේස්ත්‍රාත් තුමියට   

 


සටහන සහ ඡායාරූප   
නාලගමුවේ උබේසේකර කුමාරසිංහ