තරු පිරි අහස

 

හිරුගේ සිට දෙවැනියට පිහිටන ග‍්‍රහලොව සිකුරුය. ඉංගී‍්‍රසි බසින් එය ‘වීනස්’ යනුවෙන් නම්කර ඇත්තේ රෝමාන දෙවඟන වන ආදරයට සහ ලස්සනට අධිපති වීනස් දෙවඟන සිහිකරමිනි. අප පෘථිවියේ ‘නපුරු’ නිවුන් සොයුරා ලෙස හැඳින්වෙන්නේ ද සිකුරුය. ‘නපුරු’ නිවුන් සොයුරා ලෙස හඳුන්වා දෙනු ලැබඇත්තේ සිකුරු ග‍්‍රහයා හිරු අසලට වෙන්න පිහිටීම නිසා එය අධික තාපයෙන් යුක්ත කර්කෂ ලෝකයක් වීම නිසාත්ය. මේ හේතුකාරණා හේතුවෙන් සිකුරු ගවේෂණය ගැටලුවක් වී ඇත.   

සිකුරු ග‍්‍රහයාට රොබෝ යානයක් යැවීම හෝ පතිත කිරීම ගැටලුවක් වී ඇත්තේ සිකුරේ අධික තාපය හේතුවෙනි. ඒත් දැන්, තාක්ෂණයේ දියුණුවත් සමඟ, අධික තාපයට ඔරොත්තු දීමට හැකි සුපිරි පරිගණකයක් සිකුරු මතුපිටට යවා දත්ත රැස් කරගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සහ රුසියානු විද්‍යාඥයින් පිරිස් පිඹුරුපත් සකස් කරමින් සිටිති.   


සිකුරු සහ පෘථිවිය ප‍්‍රමාණයෙන් තරමත් සමාන වූවත්, ඇත්තේ එකිනෙකට හාත්පසින්ම වෙනස් වායු ගෝලයන්ය. වීනස්ගේ වායුගෝලය විස කාබන්ඩයොක්සයිඩ් වායුවලින් පිරී පවතී.

වලාකුළුවල ඇත්තේ සල්ෆියුරික් අම්ලය. වායුගෝලය ඝනකම්ය. සිකුරු ග‍්‍රහයා භ‍්‍රමණය වන්නේ අනෙක් ග‍්‍රහලෝක මෙන් නොව, ප‍්‍රතිවිරුද්ධ දිශාවටය. එනම් නැගෙනහිර සිට බටහිරටය. සිකුරුට හිරු උද‌ාවන්නේ බටහිරිනි. හිරු බසින්නේ නැගෙනහිරිනි. හිරු සහ අප සඳුට අමතරව රාත්‍රි අහසේ දීප්තිමත්ව දිස්වන වස්තුව වන්නේද සිකුරුය. පරිවාර ග‍්‍රහයන් නැත. සිකුරු ග‍්‍රහයාගේ අභ්‍යන්තරයේ ඇත්තේ නිකල් සහ යකඩ අඩංගු හරයකි. පිටතින් ඇත්තේ සිලිකේටවලින් සමන්විත පෘෂ්ඨයකි. සිකුරු ද අප සඳ මෙන් කලාවන් පෙන්නුම් කරයි. සෞරග‍්‍රහ මණ්ඩලයේ උසින් වැඩිම කඳු ඇත්තේ සිකුරු මතුපිටය. මැක්ස්වෙල් මොන්ටේස් නමැති මෙම කඳු පංතිය එවරස්ට් කන්දට වඩා මීටර් 2කින් උසින් වැඩිය.   


රුසියානු ගගන පර්යේෂණ ආයතනයේ සහ ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන පරිදි, ඔවුන් විසින් නිර්මාණය කරමින් පවතින පරිගණකය සැබැවින්ම ‘සුපිරි’ පරිගණකයකි. එය නිර්මාණයවන්නේ අධික තාපයට ඔරොත්තු දීමට හැකි ලෙස සිලිකන් කාබයිඩ් විශේෂයකිනි. අධික තාපයක් මැද පැය ගණනාවක් ක්‍රියාත්මකවෙමින් දත්ත රැස්කිරීමට මෙම පරිගණකයට හැකියාව ලැබෙයි. මෙම පරිගණකය 2025 වසරේදී සිකුරු මතුපිටට රොබෝ යානයක් ආධාරයෙන් යැවීම සිදුවෙයි. එම රොබෝ යානය ද අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය වෙයි. මෙම සිකුරු ගවේෂණ මෙහෙයුම නම් කර ඇත්තේ ‘වෙනෙරා ඩී’ යනුවෙනි. සිකුරුගේ මතුපිට උෂ්ණත්වය ෆ‍්‍රැරන්හයිට් අංශක 900කි. සෙල්සියස්වලින් නම් අංශක 480කි. වායුගෝලයේ පීඩනය පෘථිවි වායුගෝලයේ පීඩනය මෙන් 90 ගුණයකි.   


සිකුරු ග‍්‍රහයාට රොබෝ ගවේෂණ යානයක් යැවීම මිනිසාට විශාල අභියෝගයක් නොවේ. සිකුරු මතුපිටට යානයක් ගොඩබැස්සීමද අසීරු දෙයක් නොවේ. ගැටලුව තමා සිකුරුගේ වායු ගෝලය සහ අධික තාපය. හිරුට ආසන්නයෙන් පිහිටි නිසා එම අධික තාපය සහ විකිරණ සාමාන්‍ය පරිගණකයන් අසුරු සැණින් දූවිලි කර දමනවා. ඒකයි අප විශේෂ පරිගණකයක් නිර්මාණය කරන්නේ. පැය කීපයක් එය ක්‍රියාත්මක වුණොත් අපට ඒ හොඳටම ප‍්‍රමාණවත් වේවි අවශ්‍ය දත්ත පෘථිවියට ලබාගන්න යැයි නාසා පර්යේෂණ ඉංජිනේරුවෝ පැහැදිලි කරති.   


රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් රුසියාව සහ ඇමෙරිකාව අතර අර්බුද පැවැතියත්, ගගන පර්යේෂණ සහ ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් මෙම රටවල් දෙක සැමවිටම එකමුතු වී කටයුතු කරයි. එම මිතුදම සැබැවින්ම ශක්තිමත් එකකි. ඇමෙරිකාව සහ රුසියාව හවුලේ සිදුකරන මෙම සිකුරු ගවේෂණයද මිනිස් ඉතිහාසයේ ඓතිහාසික සංධිස්ථානයක් වනු ඇතැයි පැවැසෙයි. නාසා ආයතනයේ ‘මැගලන්’ අභ්‍යවකාශ යානය සිකුරු ග‍්‍රහයාගේ කක්ෂයට පිවිසියේ 1990 වසරේදීය. වලාකුළුවලින් පිරුණු වායුගෝලය හරහා සිකුරු ග‍්‍රහයා සිතියම් ගතකිරීමට මෙම මැගලන් ගවේෂණ යානයට හැකියාව ලැබුණි. සිකුරුගේ මතුපිට තොරතුරු මැගලන් එක්රැස් කළේය. ආයුෂ අවසන් වී විනාශ වීමට පෙර, මැගලන් හයවතාවක්ම සිකුරුගේ මතුපිට ගවේෂණය කළේ කක්ෂයේ රැඳී සිටිමිනි. සිකුරුගේ පෘෂ්ඨයෙන් සියයට 99ක්ම සිතියම් ගතකරන්න මැගලන්ට හැකිවුණු බව නාසා විද්‍යාඥයෝ පවසති. සිකුරුගේ ආවාට, ආගාධ හරහා ලාවා ගලා යන අයුරු සහ යමහල් ඇති බව විද්‍යාඥයන්ට මුලින්ම දැන ගැනීමට හැකිවූයේ ඒ අනුවය.   

 

 

 

 

 

 

 

 

 


ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි.