“අම්මෙයාර් නීංග පයප්පඩ වාන්ඩාම් ඉංගාලේ වාන්ගෝ”   

(මෑණියනි, බය වෙන්න එපා මෙහෙට එන්න) 
  
ඉංග්‍රීසින්ගේ භාෂා පරිවර්තක ඩයස් බණ්ඩාරනායක මහත් හඬින් එසේ පවසත් දී බිසෝවරු සිටියේ පණ බියේ ගැහෙමිනි. පැමිණ සිටි බිරිස් බිසෝවරුන් ගේ කන් පෙති වල පළඳවා තිබූ කුණ්ඩලාභරණ බලහත්කාරකමෙන් ගලවා ගැනීම නිසා කන් පෙති ඉරී රුධිරය වෑස්සෙමින් තිබුණේ නිතැතින්මය. (හැඳ සිටි රාජකීය සළු පිළි ගලවා ගැනීම හේතුවෙන් බිසෝවරුන්ට විලි වහගන්නට සිදුවී තිබුණේ කුඩා රෙදි කැබලි කිහිපයකින් පමණි. බෙලි කපා දැමූ කිකිළියන් මෙන් එහෙට මෙහෙට වැනෙමින් බිසෝවරුන් විඳින වේදනාව තවදුරටත් බලා සිටිය නොහැක්කක් විය. ඩයස් බණ්ඩාරනායක උස් හඬින් බිසෝවරු ඇමතුවේ ඒ නිසාය. බිසෝවරුන්ගේ අවධානය නිතැතින්ම යොමුවූයේ බණ්ඩාරනායක වෙතටය.   


“නාංග කාප්පාක්ති කෝංගෝ ”   

“අපිව බේර ගන්න.”   


එසේ පවසන අතරේම නිවසේ ඉදිරිපසින් එළියට පැන ගත් බිසෝවරු බණ්ඩාරනායකගේ ඇ​ඟේ ඉල්ලුණේ එක්නැලිගොඩගේ පිරිසේ තාඩන පීඩන වලින් බේරීම පිණිසය. කන් පෙති වලින් වෑ​​හෙන රුධිරය බණ්ඩාරනායකගේ ඇඟේ තැවරුණේ නිතැතින්මය. ඔවුන් හැසිරුණේ තමන් ගලවාගෙන යන්නට දෙවියෙක් පැමිණි විලසින්ය.   


බිසෝවරු ඇඟේ එල්ලීගෙන සිටියදී බණ්ඩාරනායක දුටුවේ එක්නැළිගොඩ හා ඔහුගේ පිරිස් රජතුමා නිවෙසින් එළියට ඇදගෙන එන අයුරුය.   


තොගෙ අප්පාට ගොහින් බාර දෙන්ට වර. මූ ඌරෙක් වගේ බැඳලා කුදලාගෙන යන්ට කිරිදිවැල් ගෙනෙව්.   


එක්නැලිගෙඩ සිය පිරිස අමතමින් එසේ කෑ ගැසුවේ රජතුමාගේ අත් වැල් වලින් බැඳ දැමීමේ බලාපොරොත්තුවෙනි. රජතුමාට හිංසා නොකරන ලෙස බණ්ඩාරනායක එක්නැලිගොඩගෙන් ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම් ගඟට කැපූ ඉනි මෙන් විය.   


‘‘ඔතන කිම ගන්ට අපි මෙහෙ ආවා නොවේ.’’ එක්නැලිගොඩ එසේ පැවසුවේ දැඩි කේන්තියකිනි.   


එක්නැලිගොඩ හා ඔහුගේ පිරිස රජ්ජුරුවන්ගේ අත් බැඳ ඇදගෙන යන්නට වූයේ වියරු වැටුණු යකුන් රැළක් මෙනි. මෙහි අත් බැඳ තිබු හෙයින් රජතුමාට ගමන අපහසු වූයෙන් බිම දිගේ ඇදගෙන යන්නට වූහ. සිංහාසනයේ හිඳ ගෙන මහත් තේජසින් රාජ්‍ය විචාළ රජතුමාට ඒ මොහොතේ මොනවා සිතෙන්නට ඇත්ද?   


මැද මහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ අප්පුරාල ආරච්චිගේ නිවසේ සැඟ වී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් රන්දෝලියේ බිසව වූ වෙන්කත රෙංගජම්මාටත් රිදී දෝලියේ බිසව වූ වෙන්කත ජම්මාල්ටත් 1815 පෙබරාරි 18 වැනිදා හවස් වරුවේ මුහුණ දෙන්නට සිදුවූයේ බිහිසුණු අත්දැකීමකටය.   


තමන් මෙසේ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වේයයි ඔවුහු නොසිතූහ. ශ්‍රී වික්‍රමගේ අරමුණ වූයේ බෝමුරේ සිට හිමින් සිරුවේම වෙනත් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කිරීමටය. ශ්‍රී වික්‍රම බෝමුරෙන් පිටට ගොස් සැඟවීමට බලාපොරොත්තු වූයේ කිනම් ස්ථානයේ ද? එම ස්ථානයට ගොස් ශ්‍රී වික්‍රමට ආරක්ෂිතව සිටීමට හැකිව තිබුණේ ද? එම ස්ථානය ගැන සුද්දන්ට ඉව වැටී තිබුණේද?   


කන්ද උඩරට රාජ්‍ය්‍ය ඉංග්‍රීසීන්ට අත්පත් කර දීම සඳහා ජෝන් ඩොයිලි සුවිශේෂී මෙහෙවරක් කර ඇත. හේ රාජකාරිමය වශයෙන් වන දෑ පුරුද්දක් වශයෙන් දින පොතක සටහන් කර තිබෙයි. එකල සිදු වූ දේ දැනගන්නට ඩොයිලිගේ දින පොත් වලින් ලැබෙන්නේ අනගි පිටුවහලකි.   


1815 පෙබරවාරි 19 වැනිදා තෙල්දෙණියේ රජුගේ ධාන්‍යාගාරයේ සිට ලියා ඇති සටහනේ ​කොටසක් මෙසේය.


රජුගේ මව සහ බිසෝවරු දෙදෙනෙක් හංවැල්ලේ සිටිති. ඔවුන් කරදරයකින් තොරව කැඳවාගෙන ඒමටත් ඔවුන් ළඟ තිබී සොයා ගන්නා ලද ධනය සහ වටිනා දේවල් ආරක්ෂා කිරීමටත් වහාම හේවා කාණ්ඩායමක් යැවිය යුතුය.   


1815 පෙබරවාරි 20 වැනිදා තෙල්දෙණියේ දී ලියූ සටහනේ කොටසක්.   


හංවැල්ලේ සිට බිසෝවරු මඟ එන බව මෙන්වොරින්ග් මහතා ලියයි.   


1815 පෙබරවාරි 21 වැනිදා ජෝන් ඩොයිලි තෙල්දෙණියේ සිට මැද මහනුවරට ගොස් ඇත. ඩොයිලි මැද මහනුවරට ගියේ කුමකට දැයි යන්න සටහන් කර නැත. නිසැකවම ඔහු යන්නට ඇත්තේ රජතුමා සැඟ වී සිටි බෝමුරේ උඩුපිටිය ප්‍රාදේශයේ අප්පුරාලගේ නිවෙස බැලීමට විය යුතුය. එදින ප.ව. 4.00 ට පමණ ඩොයිලි මැද මහනුවර දී දින පොතේ ලියූ සටහනින් කොටසක් මෙසේය. 

 
රජුගේ නෑදෑයින්​ගේ නොපැමිණීමත්, තෙල්දෙණියේ වඩා වැදගත් වැඩක් නොතිබු නිසාත් මම පැය 2 ක පමණ කාලයක් ගෙවා අද උදේ මෙහි ආවෙමි. ගමනේ වැඩි කොටසක් වෑගල කන්ද නැගීම හා බැසීම විය. රජුගේ මවු, අන්තිමට විවාහ වූ බි​සොවුන් දෙදෙනා, ගැහැණු 4 ක් හෝ 5 ක් තවත් ස්ත්‍රීන් ගම්පොළ දෙවියෝ දෙගල්සාමි යන මාමාලා දෙදෙනා, බෑනා වරුන් 3 ක්, නායක්කරවරුන් 5 ක්, 6 ක් සහ තවත් සෙසු අය 8 ක්, 10 ක දෙනෙක් මට ගමනේදී මුණ ගැසිණි. ස්ත්‍රීන් හංවැල්ලෙන් ගෙනාවේ දෝළා දෙකකිනි. බොහෝ ස්ත්‍රීහු පයින් පැමිණියහ. ඔවුන් දැන් තෙල්දෙණියට යවන ලදි.   


ඩොයිලි මැද මහනුවරට යන අතරමඟදී පිරිස හමු වූ විත්තිය සටහනේ දැක්වෙයි.   


පිරිස අතරේ සිට ඇත්තේ රජතුමාගේ සමීපතමයෝය. රජුගේ මව වූ සිරි අම්මා එක් තැනැත්තියකි. මුත්තු කන්නම්මා, වෙන්කත අම්මාල් බිසෝවරු දෙදෙනාත් එම බිසෝවරුන්ගේ පියා වූ දෙගල් සාමිත් පිරිස අතර සිටියෝය. රජු සමග ඉංග්‍රීසීන්ගේ භාරයට පත් වෙන්කත රෙංගජම්මාල්, වෙන්කත ජම්මාල් බිසෝවරුන් දෙදෙනා​ගේ පියා වූ ගම්​පොළ දෙවියෝ ද සිටියේය.   


ඩොයිලිගේ සටහන් සියල්ලෙන් පැහැදිලි වන්නේ රජුගේ සමීපතමයන් හංවැල්ලේ සිටි බවකි. රජු අසුවූයේ පෙබරවාරි 18 වැනිදාය. මේ පිරිස කැටුව එන්නේ පෙබරවාරි 21 වැනිදාය. ඔවුන් කැටුව පැමිණ ඇත්තේ රජතුමා අසුවී දින දෙකකට පසුවය. එයින් පැහැදිලි වන්නේ මැද මහනුවර සිට හංවැල්ලට තරමක දුරක් ඇති බවකි.   


ශ්‍රී වික්‍රම ඉංග්‍රීසීන්ට හසුවී​ මේ දක්වා ගෙවී ඇති කාලය වසර 203 කි. මේ කාලය තුළ ශ්‍රී වික්‍රමගේ සමීපතමයන් සිටි හංවැල්ල පිළිබඳව ඉතා සුළු හෝ කරුණක් හෙළිකර ඇත්තේ 1903 වසරේත් 1907 සිට 1910 දක්වාත් මහනුවර දිසාපති වශයෙන් ක්‍රියාකළ ජෝන් පෙන්රි ලුවිස් පමණි. ඔහු ලියා ඇති ග්‍රන්ථයක හංවැල්ල අැති ස්ථානය විස්තර කර ඇත්තේ මෙසේය.   


His Two Remaining Wives And his Mother Were Hangwella (About 3 or 4 Miles From Madugoda.) මව හා බිසෝවරුන් දෙදෙනෙකු හංවැල්ලේ සිටි බවත් හංවැල්ලට මාඩුගොඩ සිට සැතපුම් 3 ක් හෝ 4 ක් දුර ඇති බවත් සඳහන් කර ඇත.   


මැද මහනුවර, නමදගල, රඹුක්පොත, හුන්නස්ගිරිය, නුගේතැන්න (වර්තමානයේ, නුගේතැන්න, නැගෙනහිර) කිරිපෙට්ටිය, හාල්යාල, මාඩුගොඩ (වර්තමානයේ උඩුදුම්බර) කිරිගංකුඹුර, තලගුණේ හරහා මෙයට වසර 200 කට පෙර හංවැල්ල දක්වා මාර්ගයක් වැටී තිබී ඇත. මැද මහනුවර සිට හංවැල්ලට එකල කිලෝ මීටර් 19 ක පමණ දුරක් තිබී ඇත. පයින් යන්නේ නම් පැය 2 ක හෝ 3 ක කාලයකින් ඒ දුර යා හැකිව තිබී ඇත.   


එම පාර පැවතී ඇත්තේ අඩි පාරක් වශයෙනි. ඉංග්‍රීසි පාලන සමයේ මැද මහනුවර, ගලේකැලේ" හුන්නස්ගිරිය, කහටගොල්ල හරහා මාඩුගොඩට පාරක් තනා තිබේ. වර්තමානයේ පවතින්නේ ඒ පාරමය.   


මාඩුගොඩ සිට හංවැල්ල දක්වා වූ මාර්ගය 1956 දක්වාම පැවතී ඇත්තේ අඩි පාරක් වශයෙනි. 1956 දී පස්කපන යන්ත්‍ර යොදා ගනිමින් වාහන යා හැකි ලෙස පාර තනා ඇත. මාඩුගොඩ සිට කිරිගංකුඹුර, තලගුණේ, දඹගහපිටිය හරහා හංවැල්ල දෙසට පාර ඉදිකර තිබේ.   


1978 දී මාඩුගොඩ උඩදුම්බර යන නම තබා ඇත. උඩදුම්බරට එකල මාඩුගොඩ යන නම භාවිතා කළබව වත්මන් පරපුරේ අය නොදනිති.   


ශ්‍රී වික්‍රමගේ සමීපතමයන් හංවැල්ලේ සිටි බව හෙළි වන විට ශ්‍රී වික්‍රම සැඟවීමට යාමට සිටි ගම කුමක් දැයි යන්න පිළිබඳව ඉඟියක් ලැබේ.   


හංවැල්ලේ සිට කළුගල, කොස්දණ්ඩ හරහා මීමුරේට අඩි පාරක් තිබී ඇත. එකල තිබූ අඩි පාර යම් යම් වෙනස් වීම් වලට ලක්ව අදද පවතී. හංවැල්ලේ සිට කළුගල, කොස්දණ්ඩ හරහා මීමුරේට  දිවෙන පාරේ දුර කිලෝ මීටර් 13 ක් පමණ වේ. හංවැල්ලේ සිට පා ගමනින් පැය තුනක පමණ කාලයකින් මීමුරේට යා හැකි බව කළුගල ගම්වැසියෝ පවසති.   


ජෝන් ඩොයිලි දින පොතේ ලියා ඇති සටහන් කීපයක් මෙසේය.   


1815 පෙබරවාරි 17 දින දුම්බර හක්කෙටුවෙගල දීය.   


මහත්මයාණෙනි,   


උතුමාණන් වහන්සේ අදහස ප්‍රකාශ වන ආරක්ෂිත ලිපියක් දැන් මට ලැබිණ. මැද මහනුවර සිට සැතපුම් 8 ක් පමණ මෙම ස්ථානයට නැගෙනහිරින් අසල්වැසි ගමක රජු සිටිනු ඇතැයි මම ඔබට යටහත් ලෙස දැනුම් දෙමි. අපගේ හමුදාව ඉදිරියට ගෙන යාමේ දී ඔහු දුම්බර නැගෙනහිර කෙළවර පිහිටි මීමුරේ නම් ගමේ දී පසු බසින බව සත්‍ය ​ෙලසම වටහා ගත හැකිය. මෙයින් ඔහුට කඳු රටට පලායාමට මාර්ගය පෑදෙන අතර, එවිට ඔහු අල්ලා ගැනිම බොහෝ සේ අපට අපහසු වනු ඇත. එම නිසා මම ඔබගේ කණ්ඩායමින් කොටසක් වේරගංතෙට අසල නැවතිය යුතු බවත්, එහි සිට දුම්බරට යන මාර්ගය ආරක්ෂා කළ යුතු බවත්, අවධාරණයෙන්ම කියමි. තවත් මිනිසුන් 70 ක් හෝ 80 කින් සමන්විත කොටසක් මීමුරේට යැවිය යුතුය. ලැබී ඇති තොරතුරු අනුව මෙය වේරගංතොට සිට සැතපුම් 8 ක් පමණ දුරින් වේ. එමෙන්ම වේරගංතොටට කිට්ටුව, මා නැවත ගමන පටන් ගත් තැන් සිට උඩත්තෑව හරහා මහවැලි ගඟේ වම් ඉවුර දිගේ දිවෙන හොඳ තැනිතලා පාරකින් ගෙනවුත් ඔබට මේ ලිපිය ලැබෙනු ඇත.   


ඉහත සඳහන් කර ඇති පරිදි මෙම කාර්යය කිරීමට මීමුරේ හා වේරංගතොට හේවා කණ්ඩායම් රැස් කිරීමෙන් ඔබ ඉතාම කාර්යක්ෂව ලෙස සහයෝගය දේවියයි මම සිතමි.   


1815 පෙබරවාරි 17 රාත්‍රී 11 ට හක්කෙටුවෙගලදීය.   


ඔහුගේ හේවා කණ්ඩායමෙන් කොටසක් මීමුරේ නතර වීමටත් කොටසක් වේරංගතොට නතර කිරීමටත් දන්වා ඇත.   

 

 

හංවැල්ල ප්‍රධාන පාරට දිස්වන අයුරු   

 

 


රජුගේ ධාන්‍යාගාරය තෙල්දෙණිය 1815 පෙබරවාරි 18 වැනිදා තෙල්දෙණියට අපගේ හේවා කණ්ඩායම ආ බව ආරංචි වී රජු මැද මහනුවරින් ඊයේ සවස පලා ගිය තොරතුරක් අසන්නට ලැබිණ. ඔහු නැවත සැඟවුණු ස්ථානය කොහේදැයි තවම අපට දැන ගන්නට නොලැබුණේය. මැද මහනුවරට කිට්ටු ගම් 2 ක වැසියෝ අප හමු වී ඔවුන්ගේ සහයෝගය දෙන බවට පෙරොන්දු වූහ. උඩරැටියෝ කීප දෙනෙක් ආයුධ සන්නද්ධව මුරකිරීමට ගියහ. නමුත් රජු බේරී ගොස් ඇතැයි මට සිතේ. අපි උවමනාවෙන්ම ඉතා හෙමින් ගමන ආරම්භ කරන්නෙමු. මන්ද රජු නැවත ඒවියැයි සිතන මීමුරේ අල්ලා ගැනීමට අපේ මිනිසුන්ට කාලය දීමට..... 

 
ඩොයිලිගේ සටහන් වලින් පැහැදිලි වන්නේ රජතුමා සැඟවිම සඳහා මීමුරේ ගම්මානයට යාමට සූදානම්ව සිටි බවකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් මව හා බිසෝවරුන්ටත් සැඟ වී ආරක්ෂාකාරීව සිටීම සඳහා මී මුරේ ගම්මානයේ උඩවලව්ව හා පහළ වලව්ව යනුවෙන් වලව් දෙකක් ඉදිකර තිබී ඇත. අවස්ථා ගණනාවකදී ප්‍රතිසංස්කරණයන්ට ලක් වූ උඩවලව්ව පමණක් ඉතිරිව තිබේ. පහළ වලව්ව කාලයාගේ ඇවෑ​මෙන් විනාශයට පත් වී ඇති අතර එහි අත්තිවාරම පමණක් අද දැක ගත හැකිව තිබෙයි.   


ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සැඟවී සිටීමට බලාපොරොත්තුව සිටියේ කොහේද? යන්නට නිශ්චිත පිළිතුරක් මේ දක්වා කිසිවෙක් ලබා දී නැත. ඩොයිලි විශ්වාස කර ඇත්තේ   


රජතුමා සැඟවීම සඳහා මීමුරේට යාමට බලාපොරොත්තුවෙන් සිටි බවකි. ඒ අනුව රජතුමා මීමුරේට යන අතරේදී හෝ මීමුරේ සිටියදි කොටු කර ගන්නට ඔහු සැලසුම් සකස් කර තිබේ. රජතුමාගේ මව, බිසෝවරු ඇතුළු සමීපතමයෝ හංවැල්ලේ සැඟ වී සිට ඇත. ඔවුන් හංවැල්ලේ සැඟවී සිට ඇත්තේ පැය කීපයකින් මීමුරේට යාමට විය යුතුය. මීමුරේ ගම්මානයේ වැසියෝ වසර 203 කට අධික කාලයක සිට පවසා ඇත්තේ රජතුමාට සැඟවී සිටීමට උඩවලව්ව හා පහළ වලව්ව තනා තිබූ බවකි.   


​මේ කරුණු සියල්ල දම් වැලක පුරුක් මෙන් එකට බැඳී පවතී. එහෙයින් මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන රජතුමා මීමුරේ සැඟ වී සිටීමට බලාපොරොත්තුවෙන් සිටියා යයි කියා පැවසීම යුක්ති සහයක නොවේද?   

 


සටහන හා ඡායාරූප 

හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ