ලංකාවේ ගිනිකොන දිග වෙරළ සීමාවට යාබදව පිහිටා ඇති යාල ජාතික උද්‍යාන සංකීර්ණය හෙක්ටයාර් 155178 (එනම් වර්ග සැතපුම් 607) ක ප්‍රදේශයක් වසා පැතිර පවතින්නකි. 1938 වසරේ ප්‍රකාශයට පත් වූ මෙම රක්ෂිතය එකිනෙකට යාබදව පිහිටියා වූ යාල ජාතික උද්‍යානය (හෙක්ටයාර් 97881.3) යාල නැගෙනහිර හෙවත් කුමන ජාතික උද්‍යානය (හෙක් 18,148) යාල දැඩි රක්ෂිත භූමිය (Strict Natural Reserve) (හෙක්. 28904) කුඩුම්බිගල අභය භූමිය (හෙක්. 4403) කටගමුව අභයභූමිය (හෙක්. 4403) සහ කතරගම අභය භූමියෙන් (හෙක්. 837) සමන්විත වෙයි.   


මධ්‍යම කඳුකරයේ නමුණුකුළ (උස අඩි 6668) සහ පස්සර කඳුවලින් ඉපිද ගලා බසිනා මැණික් ගඟ (දිග කි.මී 114) හැඩඔය, විලඔය, කුඹුක්කන් ඔය - යාලට අයත් සමතැනිතලාව දියළුගන්වන බව ගිනිකොන දිග භූමිලක්ෂණවලින් පැහැදිලි වෙයි. මේ වන විට වාර්ෂිකව යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් ගණන මිලියන පහ ඉක්මවයි. ඉන් රජය ලබන ආද‌ායම වසරකට රුපියල් මිලියන 750කි.   
යාල උද්‍යාන කාර්යාලය පිහිටා ඇති ප්‍රදේශය අතීතයේ සිටම හඳුන්වනු ලැබුවේ ‘‘ගොඩේ කලපුව’’ හැටියටය. කාර්යාලයට කිලෝමීටර් තුනක් ඔබ්බෙන් ඇත්තේ කලපුවකි. උද්‍යාන කාර්යාලයේ සිට කිලෝ මීටර් පහක් පමණ දුරින් පලටුපාන ලුණු ලේවාය පිහිටා ඇති අතර, එය පදනම් කරගෙන යාල උද්‍යාන කාර්යාලය පලටුපාන කාර්යාලය හැටියට හඳුන්වනු ලැබේ.   


තිස්සමහාරාම සිට උද්‍යාන කාර්යාලයට දුර කි.මීටර් 21ක් වන අතර කොළඹ සිට ගාල්ල - මාතර - හම්බන්තොට හරහා දුර කි.මී. 293කි. රත්නපුරය හරහා දුර කි.මීටර් 235කි. උද්‍යානයේ දෙවැනි පිවිසුම වන ‘කටගමුව’ පිවිසුමට කතරගම සිට දුර කි.මී. 18කි.   
යාල වන බිම තුළ තැන තැන පිහිටා ඇති කළුගල් පර්වත රාශියකි. ඒවායේ පිහිටීම ශ්‍රී ලංකා මිනින්දෝරු සිතියම්වල පෙන්වා දී ඇත. උසම ගල (උස මීටර් 82) එනම් ආකාශ චෛත්‍යය අලියකුගේ හැඩයෙන් යුක්තය. ශ්‍රී ලංකාවට දකුණු මුහුදුකරයේ යාත්‍රා කළ පෘතුගීසි (Portuguese) නාවිකයින් හට ආකාශ චෛත්‍ය වැදගත් ගොඩබිම් සලකුණක් වූ අතර, ඔවුන් එය හැඳින්වූයේ ‘එලිෆන්ට් රොක්’’ (Elephant Rock) හැටියටය. විලපලා වැව ගල (උස මීටර් 46), මොදරගල (උස මීටර් 56), පටනංගල (උස මීටර් 38), කොරවක්කාගල (මීටර් 53), මගුල මහා විහාරය (මීටර් ), ජඹුරාගල (මීටර් 75) ආදිය අනිකුත් ගල් පර්වතයි.   

 

 


ඒ සියලු ගල්පර්වත පාමුල පිහිටා තිබෙන ගල්ගුහා තුළ භාවනා යෝගී ස්වාමීන්වහන්සේලා විසූ අතර උන්වහන්සේලා හට වැස්සෙන් නොතෙමී සිටීමට හැකිවන පරිදි, ඇතුළුවන පිවිසුමේ (ද්වාරයේ) ඉහළ ගල මතුපිට කටාරම් (Drip - Ledges) කොටා තිබේ. කටාරමක් යනු එම ගලෙන්ම නෙළන ලද වක්‍රාකාර ගැට්ටකි. ගැට්ට හේතුවෙන් (ක්‍රි.පූර්ව 2 සිට 7 සියවස) ගල මත පතිත වන වැසි ජලය ඉන් පහළට ගලා යාම වැළකී යන්නේය. කටාරමට පහළින් බ්‍රාහ්මී අක්ෂර (Brahmy Letters) කොටා ඇති අතර ඒවායින් සනිටුහන් වන්නේ ගුහාව කිනම් අයකු විසින් වැඩි දියුණු කළේ ද කිනම් සඟරුවනකට පූජා කළේ ද යන්නය.   
වේපන්දෙනිය ගල (උස මීටර් 13) උද්‍යාන කාර්යාලයේ සිට කිලෝමීටර් නමයක් දුරින් යාල උද්‍යාන ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් පිහිටා ඇත. මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයින් හට එය මැනවින් දිස්වෙයි. මෙම ලිපියේ අරමුණ එම ගල්පර්වතය ‘කොටිගල’ වූ හැටි පැවසීමයි.   
​මේ වන විට වේපන්දෙනිය ගල්පර්වතය අවට භූමිය කොටි නැරඹීමට සහ ඡායාරූප ගැනීමට කදිම ස්ථානයක් බවට පත්වී තිබේ.   
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගේ රැකියා දිවිය (වසර හතළිහකි) ආරම්භ වූයේ 1948 වසරේ විල්පත්තු සහ යාල ජාතික උද්‍යානවලිනි. යාල උද්‍යානයේ දී මගේ ප්‍රධානියා වූයේ ඩෙස්මන්ඩ් වයිට් (Desmond White) මහතාය (නැසී ගොසිනි). එම වකවානුවේ උද්‍යාන කාර්යාලය අවට බිමේ දඩාවතේ යන බල්ලන් තිස්පහක් පමණ සැරි සැරූහ. කාර්යාලය අවට බිම තණ පිට්ටනියක් වන අතර දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ (හොඳින් සඳ පායා ඇති දිනවලදී) මුව රංචු තණ බුදිමින් සිටිනවා අදට ද දැකිය හැකිය.   
බල්ලන් කාර්යාල භූමියට වැදුණේ කාර්යාලයට නුදුරු යාල උද්‍යානයේ පටනංගල්ල සංක්‍රමණික මධ්‍යස්ථානයේ ධීවර වාඩිවලිනි. තණ බුදිමින් සිටින මුව රංචු පසුපස මෙම බල්ලන් හඹා යාම නිසා උන්ගෙන් බේරීමට මුවන් කාර්යාලයට නුදුරින් පිහිටා ඇති පලටුපාන වැවට පනින බව කාලයක සිට අප නිරීක්ෂණය කොට තිබුණි.   
තිත්මුවන් වැවට පනිනවාත් සමගම, වැවේ සිටින කිඹුලන් ඊතල මෙන් මුවන් වෙත කඩාවැදී විනාඩි පහළොවක් වැනි කාලයක් තුළ උන් ඩැහැගෙන ආහාරයට ගනී. එකම මුවකුටවත් වැවෙන් පිටතට පැනයාමට ලැබෙන්නේ නැත.   


දිනක් වයිට් මහතා මා අමතමින් ‘‘විල්සන් ඔයාට පුළුවන්ද මේ බල්ලො ටික වෙඩි තියලා මරා දමන්න. ඔයාට තිතට වෙඩි තියන්න හැකියාව තියෙනවා කියලත් මම දන්නවා. තුවක්කු පතොරම් කාර්යාලයේ තියෙනවා නේ’’   
මම කතා කරමින් වයිට් මහත්මයා මට වඩා හොඳට වෙඩිතියන්න පුළුවන් ‘බැඹව’ බීට්ටුවේ සේවය කොරන සීලින් අප්පුහාමිට එයාට වැඩේ පවරමු ද?   
හොඳයි එහෙනම් ජීප් එකක් යවලා ‘සීලින් ගෙන්නවා ගන්න’’   
සීලින් අප්පුහාමි තනතුරින් අඩවි සහකාරවරයෙකි. බැඹව බීට්ටුවේ සිට උද්‍යාන කාර්යාලයට දුර කි.මීටර් 3 1/2කි. පලටුපානට පැමිණි ‘‘සීලින්’’ මා අමතමින් ‘‘ඇයි සර් එන්න කීවෙ’’ ‘‘මම නොවෙයි බං වයිට් මහත්තයයි එන්න කීවේ’’ ‘‘ඉතින් විල්සන් සර් මා එක්ක යමු’’ ‘‘මළ වදේ යමං’’   
සීලින් අප්පුහාමි දුටු වයිට් මහතා ‘‘හා සීලිං ආව ද පොඩි වැඩක් පවරන්නයි එන්න කීවේ’’ මේ විල්සන් මහත්මයාගෙන් තුවක්කු පතොරම් ඉල්ලාගෙන පලටුපාන කාර්යාලය අවට ගැවසෙන බල්ලෝ ඔක්කොම වෙඩි තියලා මරාදමලා ට්‍රැක්ටරයේ පටවාගෙන ගොහිං වේපන්දෙනිය ගල පාමුලට දමන එකයි රාජකාරිය. දන්නවනේ බල්ලන්ගෙන් මුව රංචුවලට සිදුවෙන හානිය. ට්‍රැක්ටර් ඩ්‍රයිවර් ‘ලියන්සිංඤෝ’ ට කියලයි තියෙන්නේ මරාපු බල්ලො වේපන්දෙනියට ගෙනිහිං දමන්න’’  
‘‘හොඳමයි සර් මම වැඩේ කොරන්නම්’’ සීලිං අප්පුහාමිගේ ප්‍රතිචාරය විය. සීලිං අප්පුහාමි මා දෙසට හැරී ‘‘විල්සන් සර් යමු මා එක්ක’’   
‘‘හා යමං උඹ කොරන වැඩේ මම බලාගෙන ඉන්නම්’’   

 

 


විනාඩි 45ක කාලය තුළ සීලින් අප්පුහාමි බල්ලන් තිස්පස් දෙනාම වෙඩිතබා මරා දැමීය. ඉක්බිතිව බලු මළ සිරුරු ට්‍රැක්ටර් ට්‍රේලරයට පටවන ලද්දේ උද්‍යානයේ සේවකයින් විසිනි.   
ඉන්පසු වයිට් මහතා මා අමතමින් ‘‘විල්සන් ඔයාත් යන්න ට්‍රැක්ටරය පිටිපස්සෙන් ජීප් එකකින්’’ වේපන්දෙනිය ගල් පර්වතය කරා ට්‍රැක්ටරය ධාවනය වූ පසු උද්‍යාන සේවකයින් විසින් සියලුම බලු මළසිරුරු පස්සා පාදවලින් අල්ලා වේපන්දෙනිය ගල පාමුලට විසි කරන ලදී.   
මෙම සිද්ධියට වසර කිහිපයකට පෙර වයිට් මහතා ඉඟිණියාගල ගල්ඔය වනෝද්‍යානයේ භාරකරුව සිටි සමයේ දී ඉඟිණියාගල නගරය වෙත රාත්‍රි කාලයේ දී පැමිණි කොටි (Leopard) නගරවාසීන්ගේ එළුවන් ඩැහැගෙන යාම නිසා එම කොටියන් අල්ලා ගැනීමට යෙදූ කූඩුවේ (Cage Trap) ගොදුර හැටියට යෙදුවේ පණ ඇති සුනඛයකු (බල්ලකු) බව මට පවසා තිබුණි.   
ගතවූයේ දින කීපයකි. වේපන්දෙනිය ගල අවට ප්‍රදේශයට උද්‍යානයේ විසූ කොටින් රාශියක් සංක්‍රමණය වූවා පමණක් නොව, උන් එහි ලැගුම් ගති. පටනංගල ධීවර වාඩිවලින් වරින්වර බල්ලන් යාල උද්‍යාන මූලස්ථානය කරා පැමිණි සෑම අවස්ථාවකම මා ඉදිරිපත් වී උන් වෙඩි තබා මරා දමා මළ සිරුරු වේපන්දෙනිය ගල පාමුලට ගෙනගොස් දැමුවෙමි. බලුමස් රස බැලී​මේ අපේක්ෂාවෙන් කොටියන් වේපන්දෙනිය ගල් අවට ප්‍රදේශය ස්ථිර වාසස්ථානයක් කර ගති.   
එතැන් සිට ‘වේපන්දෙනිය ගල’ කොටි නැරඹීමට සහ ඡායාරූප ගැනීමට කදිම ස්ථානයක් බවට පත්විය. කල්යත්ම අපි කම්කරුවන් යොද‌ා කැලය කපා, මාර්ගයේ ගමන් ගන්නා සංචාරකයින් හට පැහැදිලි දර්ශනයක් ලබා දුණි.   


නොබෝදිනකින් වේපන්දෙනිය ගල උඩට නැගගත් කොටි දිග ඇදී විවේකයෙන් ගත කිරීමට පුරුදු විය. එතැන් සිට ‘වේපන්දෙනිය ගල’ කොටිගල හැටියට හැඳින්වීම ආරම්භ කරන ලද්දේ උද්‍යානයට නිතර ආගිය සංචාරකයන් විසිනි.   
කාලය කෙමෙන් ගෙවී ගියේය. වයිට් මහතා (නැසීගොසිනි) සහ මම උද්‍යානය තුළ සංචාරය කරමින් කොටිගල (එනම් වේපන්දෙනිය ගල) ඉදිරියෙන් වාහනය ධාවන කළ සෑම දිනකම, ස්වල්ප වේලාවක් ගල ඉදිරිපිට වාහන නතර කරගෙන - කොටි නිරීක්ෂණය කිරීමට අපි අමතක නොකළෙමු   
මෙලෙස නිරීක්ෂණය කරමින් සිටි සවස් වරුවක දී - ගල උඩ ලැගසිටි දැවැන්ත කොටි දෙදෙනෙකු ගලෙන් පහළට බැස, අපගේ ජීප් රථය ඉදිරියෙන් මාර්ගය හරහා යමින් තණපිට්ටනියට අවතීර්ණ විය. උන්ගේ දෙඇස් යොමුව ඇත්තේ පිට්ටනියේ තණ බුදින මුව රංචු වෙතය. ගසින් ගසට මුවාවෙමින් මුවන්ට නොපෙනී හැකිතාක් දුරට උන් වෙත ළංවී එක්වරම පැන ඉදිරි පාදවලින් මුවන්ගේ පිට කොන්ද ග්‍රහණය කොට මුවා බිම ඇද වැටෙන විටම උගුරු දණ්ඩ සපා කන්නට පටන් ගති.   
මුවන් දෙදෙනාගේ දැඟලිල්ල නතර වූ වහාම කොටි දෙදෙනා මුවන්ගේ බඩ පෙදෙසින් ආහාර ගැනීම ආරම්භ කළෝය. කොටියන්ගේ ඉදිරිපාදවල තිබෙන දිගැති නියවලි ග්‍රහණය කරගන්නා මුවකුට හෝ ගෝනකුට ගැලවිල්ලක් නම් නැත.   

 

 


කොටියන් ගොදුරු අල්ලා ගැනීම එලෙස සිදු කළත්, අප්‍රිකාවේ වෙසෙන චීටාගේ ගොදුරු අල්ලා ගැනීම ඊට හාත්පසින්ම වෙනස්ය. චීටා කරන්නේ ගැසල් සහ ඉම්පාලා මුවන් පසුපස අධික වේගයෙන් හඹා ගොස් උන් ග්‍රහණය කර ගැනීමයි. ඒ සඳහා උගේ ශරීරය හැඩගැසී තිබේ. එනම් සිහින් සිරුර සහ දිගැති පාද යුගලයන්ය. ගොදුරක් පසුපස හඹා යන විට චීටාගේ වේගය පැයට සැතපුම් 70 ඉක්මවයි. දුවන වේගය දෙවැනි තැන ගන්නේ ඔස්ට්‍රිච් පක්ෂියාය. ඒ ඔස්ට්‍රිච් පසුපස සතුරකු හඹා යන විටදීය.   
කොටියන් උපතින්ම කපටි කෛරාටික සතුන්ය. යාල වනෝද්‍යානය තුළ කොටියන් 200 සිට 250 වෙසෙන බවට ගණන් බලා තිබේ. උන්ගේ උපරිම ආයු කාලය වසර 21කි. ගැබ්බර කාලය දින 93කි.   
කොටින්ගේ කපටි හැදියාවක් පවසමින් මගේ කතාව අවසන් කරමි.   
මා ගල්ඔය ජාතික උද්‍යානයේ (වපසරිය හෙක්ටයාර් 25,900) භාරකරුව සිටි සමයේ දිනක් මගේ නිල රථයෙන් ගමන් ගනිමින් සිටිය දී නිල නිවසට නුදුරුව පදිංචිව සිටි ගුණපාල නමැති මගේ මිතුරා දම්වැලකින් බැඳ සිටි ඔහුගේ සුරතල් සුනඛයා මලපහ කරවීම සඳහා මගේ රථය ඉදිරියෙන් මාර්ගය හරහා යමින් නිවස අසල වනරොදට පිවිසියේ මා සහ රියැදුරු බලා සිටියදීය.   


විනාඩි හතරක්වත් ගතවූයේ නැත. ගුණපාල වන රොදෙන් එළියට විත් බයෙන් වෙව්ලමින් ඉදිරියට ධාවනය වන මගේ රථය දෙස බලාසිටියේ මාර්ගය මැද හිටගෙනය. ඔහු අත තිබුණේ දම්වැල පමණි. සුරතල් සුනඛයා පෙනෙන්නට නැත. ගුණපාල සමීපයට ධාවනය වූ රථයෙන් බිමට බැසගත් මා ගුණපාල අමතමින් ‘‘ඇයි ගුණපාල මහත්තයා...... මොකද වුණේ.....?’’   
‘‘අනේ මට වෙච්ච දෙයක්. අර පඳුර අස්සෙ හැංගිලා හිටිය කොටියෙක් මගේ බල්ලා ඩැහැගත්තනේ.... විල්සන් මහත්තයෝ.....’’   
මම ඔහු සනසලා ලමින් ‘‘බල්ලා නොවෙයි ඔයාට අනතුරක් නොවී බේරැණ එක ලොකු දෙයක්. මම ඔයාට ගෙදරක හදන වල් බැල්ලියගේ පැටියෙක් ගෙනැවිත් දෙන්නම්.... ඔය කොටියත් අල්ලලා දෙහිවල සත්තු වත්තට බාර දෙන්නම්....’’ කීවෙමි.   
සතියක් තුළ දී කොටියා කූඩුවක් යොදා අල්ලා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන ලද්දේ ඉඟිනියාගල නගර වැසියන්ගේ බිය තුරන් කරමිනි. වන සතුන්ගෙන් මිනිසාට සිදුවන හානි/අතවර අවම කරලීම සෑම වනජීවී කළමනාකරුවකුගේ වගකීමකි.   


(Protected Area Manager Responsibility)   


කොටියන් සුනඛයින් පමණක් නොව මහ මග යන මිනිසුන් ඩැහැගෙන වනාන්තරයට ඇදගෙන ගොස් කා දැමූ අවස්ථා ද තිබේ. පොළොන්නරුව මඩකළපුව මාර්ගයේ පූනානි හි විසූ මිනී කන කොටියා (වසර 1920) වෙඩි තබා මරා දමමින් භීතිය තුරන් කළේ කැප්ටන් ෂෙල්ටන් අගාර් විසිනි. පුනානි මිනී කෑ කොටියාගේ සිරුර හම පදම් කොට පුළුන් පුරවා මහජනයාට දැක බලා ගැනීමට කොළඹ කෞතුකාගාරයේ තැබීමට පසුව නිලධාරීන් පියවර ගති.