මා ඔයේ

ඉවුරු දිගේ

 

මා ඔය නිර්මාණය වන්නේ අහුපිනි ඇල්ල මුල් කරගෙනයි. රාස්සගල, අහුපිනි ඇල්ල, මා ඔය, රහලගල, සැලව කේන්ද්‍ර කරගනිමින් අපේ රටේ ජනප්‍රවාදයේ කතා රැසක් තිබෙනවා. සබරගමුව සහ මධ්‍යම පළාත ලෙස වර්තමානයේ හැඳින්වුවත් පුරාණයේ හත් කෝරළය සහ හතර කෝරළය වෙන් වෙන මායිමේ මනරම් වූ කඳු වැටියක් අතරින් අහුපිනි ඇල්ල කඩා හැලෙන අතර මේ ස්ථානයේ ස්වභාවික පිහිටීම අපේ රටේ වෙන කිසිදු ස්ථානයකයදී දැක ගැනීමට හැකියාවක් උදාවෙන්නේ නැහැ.
 
අහුපිනි ඇල්ලේ භෞතික පිහිටීම අනුව ගත් විට එය අයත් වන්නේ මධ්‍යම පළාතටයි. මනරම් වූ අහුපිනි ඇල්ල ඉස්මත්තේ පිහිටා තිබෙන්නේ දොළොස්බාගේ කඳු වැටියයි. මේ කඳුවැටියේ රක්ෂාව  හෙවත් රාස්සාව නමින් ප්‍රසිද්ධ ස්ථානයක් පවතින අතර එහි අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වී ඇති අතර රක්ෂා කන්දෙන් අහුපිනි ඇල්ල මුල් ආරම්භය සිදුවෙනවා. 


අහුපිනි ඇල්ල කඩා වැටෙන එක් පසකින් දිස් වන කඳු මුදුන රහලගල ලෙසද හඳුන්වයි. අද අපේ සූදානම අහුපිනි ඇල්ලේ ආරම්භයේ සිටම පවතින අතීත කථාවන් මෙන්ම වර්තමානයේ මෙම ප්‍රදේශවල තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ද රක්ෂාවේ සිට අසුපිනි ඇල්ල එයින් ආරම්භ වන මා ඔය සහ මා ඔය ගලා ගෙන ගොස් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මුහුදට වැටෙන තුරුද තොරතුරු සොයා ඒ ඔස්සේ මෙම ලිපි පෙළ සකස් කරන්නටයි. 
වළගම්බා රජ්ජුරුවෝ රාජධානිය අත හැර පලා යද්දී අශ්වයා පිටින් තමයි ඒ ගමන ගොස් ඇත්තේ “මහා කළු සිංහලයා පලා යනවා කියලා” තමයි ගිරි කියන නිඝණ්ඨයා කෑ ගහලා තියෙන්නේ මේ රජතුමා මේ ගමන යනකොට එක්තරා ඇල්ලක් තරණය කරලා තිබෙනවා. ඒ ඇල්ල තරණය කරලා තිබෙන්නේ අශ්වයාගේ පිටින්. ඉතින් ඒ කාලයේ මේ ඇල්ලට කීවේ අශ්වයා  පැන්න ඇල්ල කියලා. පස්සේ අසුපැනි ඇල්ල වුණා, පස්සේ මේක අසුපිනි ඇල්ල වුණා, පස්සේ කාලයේ මෙක අහුපිනි ඇල්ල යන නම භාවිත කරන බව ජනප්‍රවාදයේ පවතිනවා. 


වළගම්බා රජු විසින් සොළීන්ගෙන් මිදි රුහුණට පලා යාමේදී අශ්වයා පැන්නවූ ඇල්ල අහුපිනි ඇල්ල ලෙසද ජනප්‍රවාදයේ පවතිනවා. අහුපිනි ඇල්ල මුහුදු මට්ටමේ සිට අඩි 3200 ක් පමණ උසකින් පිහිටා ඇති අතර මෙම ඇල්ල උසින් අඩි 370 ක් පමණ වන්නේය. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සිට දෙයියන්වල දක්වා කිලෝමීටර් තුනක පමණ දුරක් පැමිණ එතැන් සිට පා ගමනින් ඇල්ල වෙත පිවිසිය යුතු අතර පසුගිය කාලවකවානුවේ මධ්‍යම පළාත් සභාව මගින් ඇල්ල සංවර්ධනය සිදු කිරිමේදී නව මාර්ගයක් ඉදිකළා. 


ඒ කාලයේ වාහන ගමනාගමනය සිදු කිරීමට හැකි වුවද දැන් දැන් එම මාර්ගය සංවර්ධනය අතරමග නැවතීම නිසා පාරවල් සේදී ගොස් වාහන ගමනාගමනය සිදු නොවෙයි. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ ගම්පොළ සිට උඩුවැල්ල දක්වා කිලෝමීටර් 15 ක් පැමිණ එතැන් සිට ඇල්ල දක්වාම වාහනයකින් පහසුවෙන්ම ගමන් කිරිමට හැකියි. 


අප මෙම තොරතුරු සොයන්නට ගිය ගමනේදී එම ප්‍රදේශවල වැඩිහිටි කිහිප දෙනෙකුගෙන් ගත් තොරතුරුවලින් රාස්සාව සම්බන්ධයෙන් පොදු මත කිහිපයක් ලියා තබන්නේ මෙහි සමහර කරුණු කාරණා කට වහරින් මේ දක්වාම පැවත එන හෙයිනි. එම අදහස්වලින් පැවසෙන අාකාරයට රාස්සා කන්ද නැතිනම් සමහර දෙනා හඳුන්වන රාස්සාව නම් ප්‍රදේශයේ අතීතයේ යක්ෂ ගෝත්‍ර ජනතාව වාසය කළ බව සඳහන්. 


එලෙස ජීවත් වූ යක්ෂ ජනතාව මිනිසුන් ඉදිරියට පැමිණෙන්නේ නැතිව එම කඳු කොටසේ හුදකලාව වාසය කර ඇත. මොවුන්ගෙන් ගම්වල ජීවත් වූ ගොවි කම්කරු ජනතාව තමන්ගේ රැකියා කටයුතුවලට අවශ්‍ය උපකරණ මෙම යක්ෂයන්ගෙන් ලබා ගත් බවද සඳහන් වෙනවා. එම නිසා මේ රාස්ස කන්දේ කම්මල්දොර නමින් යකඩ භාණ්ඩ සැදීමේ ස්ථානයක්ද තිබූ බව සඳහන්. යක්ෂ ගෝත්‍රිකයන් වාසය කළ හෙයින් රාස්සාව ලෙස අදටත් මෙ ප්‍රදේශය හඳුන්වන අතර ප්‍රාදේශීය ලේකම් කලාපය වන ගඟ ඉහළ කෝරළය ලෙසත් නාවලපිටිය ආසනයේ රාස්සාව ග්‍රාම සේවා වසමේ මෙය පිහිටා ඇත. අහුපිනි ඇල්ල ආරම්භය අදටත් සිදු වන්නේ රාස්සාවෙන් වන අතර කුඩා වතුර බුබුළකින් පටන් ගෙන අතු සැතපුම් 4 ක පමණ දුරක් පැමිණ අහුපිනි ඇල්ල නිර්මාණය වන බව සඳහන්. 


අහුපිනි ඇල්ල වැටෙන ගමේ මුල් පදිංචිකරු වන උඩුවැල්ල ග්‍රාම නිලධාරී වසමේ අබේරත්න රාජපක්ෂ (අවුරුදු 74 වයසැති කවුරුත් අන්වර්ථ නාමයෙන් “මල් මාමා” ලෙස හඳුන්වන අය) ද අපට මෙ සංචාරයේදී මුණ ගැසුණි. රහල ගලේ මුල් පදිංචිකරුවා ලෙස ගම්මුන් සලකන අවුරුදු 72 ක් වයස ඇති ටී.ජී. මාර්ටින් මහතාද තවත් මේ සම්බන්ධයෙන් ජනප්‍රවාද කතා මෙන්ම වර්තමාන කාලයේදී සිදු වූ පාරිසරික වෙනස්කම් ගැනද බොහෝ දෙනෙකුගෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය. අපි මුලින්ම අබේරත්න මහතා අසුපිනි ඇල්ල, මා ඔය මෙන්ම රාස්සාගල කන්ද ගැන කියන කථා කිහිපයක් සඳහන් කරමු. 


රාස්සා කන්ද කියන්නේ කිණිහිරක් වාගේ ගලක් පිහිටි ස්ථානයක්. හරියට මේක වංගෙඩිය හා මෝල්ගහ වාගේ. ඒ කාලේ රාවණා රජතුමා ආයුධ හදාපු කිණිහිර කියන එක තමයි තියෙන්නේ. එම ස්ථානයෙන් කුඩා වතුර බුබුළක් වාගේ පටන් ගෙන සැතපුම් 4 ක විතර දුරක් වතු මැදින් ගිහින් දියඇල්ල ලෙස මාගේ නිවසට පහතින් කඩා හැළෙනවා. එ්ක තමයි අහුපිනි ඇල්ල කියලා කියන්නේ. 

 

 

රාස්සාව සහ අහුපිනි ඇල්ල යක්ෂ ගෝත්‍රයට අයිති දිය ඇල්ලක් කියලා අපිට කියන්න පුළුවන්. කම්මල්දොරින් පටන් ගෙන කම්මල් තොටින් මහ මුහුදට වැටෙනවා. රාස්සාව කියන්නේ කම්මල් දොර ඒ විදිහට කම්මල් දොර කියලා කියන්නේ කම්මලක දොරක් වාගේ කියන සංකල්පය නිසා. මේ ස්ථානයේ අවි ආයුධ හදලා තිබෙනවා. මෙහි ජීවත් වූ යක්ෂ ගෝත්‍රයේ අය රාවණා රජතුමාට අවි ආයුධ හදපු තැනක් කියලාත් ජනප්‍රවාදයේ හඳුන්වනවා. 


ඒ නිසා කම්මල් දොර කියලා කියනවා. එම ස්ථානයේ ගලේ සලකුණු ගොඩාක් අදටත් දැක ගත හැකියි. ඒ වාගේම කියන්න ඕනෑ විශේෂයෙන් රාස්සා කන්දේ කිසිම නිදන් වස්තුවක් නැහැ කියලා. එ්ක සත්‍ය කතාවක්. මොකද තවමත් ගොඩාක් දෙනෙක් මේ පැත්තේ නිදන් වස්තු පිටිපස්සේ පන්නවා. ඒ වෙනුවෙන් සමහර සංවර්ධන කාර්යන්වලට පවා අත ගහනවා. 


මමත් තරුණ කාලේ නිදන් වස්තු පිටුපස්සේ ගිය කෙනෙක්. එක මහත්තයෙක් නම් මට සැලකුවා. එක මහත්තයෙක් මට සලකන්නම් කියලා රට ගියා. අදත් එයා ඉන්නේ රට. ගොඩාක් අය කීවා රාස්සා කන්දේ තැඹිලි ඉත්තක් තියෙනවා කියලා ගලේ කොටලා. පොඩි තැඹිලි ගෙඩි 36 ක් ඒ ආසන්නයේ කොටුවක් තිබෙනවා. එ්කේ රාවණා රජතුමාගේ මඟුල් මුද්ද තියෙනවා කීවා. එක දාගත්තොත් උඩින් යන්න පුළුවන් කියලා කීවා. මාර අද්භූත බලවේග තියෙනවා කීවා අංගම් සටන්ක්‍රම ගැන තියෙනවා කීවා. අපේ තරුණ කාලේ මේ වාගේ දේවල්වලට මූලාවෙලා ඔය පස්සෙන් අපි ගියා. අපේ ආශාව සමහර අය ප්‍රයෝජනයට අරන් ඒ අය පොහොසත් වෙන්න බැලුවා. අපි ඒවාට රැවටුණා. 


මට මතකයි මම තරුණ කාලේ ඔය කියන මිනිස්සු කට්ටියක් සමග ගිහින් අර තැඹිලි ඉත්තයි එම ස්ථානයේ තිබුණු කොටුවයි ගලවා දැම්මා. තැඹිලි ඉත්ත තිබුණු සලකුණු අපි කැඩුවා. ඒ වේලාවේ එතන වැදගත් මහත්වරු හිටියා. විද්‍යාඥයින් හිටියා. මට ඒ අයගේ නම් ගම් හෙළි කරන්න බැහැ. එතන හිටපු සමහර අය කීවා මේක කඩලා වැඩක් නැහැ කියලා මේක කොන්ක්‍රීට් කෑල්ලක් කියලා. නමුත් එතන හිටපු සමහර දෙනාගේ ඉල්ලීම අනුව කටුවකින් තැඹිලි ඉත්තට ගහලා කඩලා කොටුව වාගේ තිබ්බ තැනත් ගලවලා දැම්මා. එතකොට මතු වුණා තඹ තහඩුවක් හොඳ හතරැස් තහඩුවක් මේකේ යටි පැත්තේ අකුරු වගයක් ලියලා තියෙනවා. සලකුණු වගයක් තිබුණා. එතන හිටපු එක්කෙ​ෙනකුටවත් ඒ අකුරු කියවන්න බැරි වුණා. එතන හිටපු සමහර අය කීවා නිදන් වස්තු තිබෙන ස්ථානය තමයි මේකේ ලියලා තියෙන්නේ කියලා. 


මේකේ ලියලා තියෙන එක බලන්න අපි මේක රට පුරාම අරන් ගියා. මාතරත් අරන් ගියා. එහිදී තමයි අපි මේක කියවා ගත්තේ. විදේශීය ඉංග්‍රීසි නොවන භාෂාවකින් තමයි ලියලා තිබුණේ. ඊට පස්සේ අපි සොයා ගත්තා මේකේ ලියලා තියෙන දේ. උඩරට තේ වවන්න සුද්දෝ පැමිණියා. එතනට ආවා මිනුම් කටයුතු සිදුකරන්න පුළුවන් දක්ෂ තරුණයෙක් “රෙන්” කියලා. එයා මා ඔයත් එයාගේ මැනුම් ක්‍රමය අරන් ඊට පස්සේ ඔහු විසින් තඹ තහඩු පත්තිරුවක යමක් ලියලා තිබෙනවා. එක තමයි අපි නිදානයක් කියලා ගලවලා තියෙන්නේ. ඔහු තමයි රාස්සාවේ මේ තඹ තහඩුව නිදන් කරලා තියෙන්නේ. එම තඹ පත්තිරුවේ මෙහෙම ලියලා තිබුණා. 
“ මේ මා ඔයෙහි ජලය මහජනතාවට බොන්න තැඹිලි හා සමානයි ඒ තරම් ගුණයි ” කියලා තමයි ලියලා ඒ විදිහට නිදන් කරලා තිබෙන්නේ. 


නමුත් අපි ඒක ගැලෙව්වා නිදන් වස්තු කියලා. 


රාස්සා කන්දේ නිදන් නැහැ. නිදානය තමයි මා ඔයේ වතුර ගැන ලියලා තිබුණු ඔය සටහන. ඒ වාගේම අහුපිනි ඇල්ලේ රන් ආඳෙක් ඉන්නවා කියනවා. මම ඔය රන් ආඳා හොයන්න ගල් ලෙව කෑවේ නැතුවා විතරයි මාගේ තරුණ කාලේ යැයි සිනාමුසු මුහුණින් අප සමග අබේරත්න පවසයි. 


රන් ආඳා හොයන්න මම විනාඩි 12 ක් වතුර යට ඉඳලා තියෙනවා. ඒ වාගේම අපි හොයා ගත්ත තඹ තහඩුව ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න තිබුණා. එ්ක ප්‍රසිද්ධ කරලා එහි ලියා තිබුණු දේ සහිතව කෞතුක භාණ්ඩයක් ලෙස ප්‍රදර්ශනය කරන්න තිබුණා. නමුත් අර මිනිස්සු අරන් ගිහින් එ්ක මොනවා කර ගත්තාද කියලා අද වෙන තුරු මම දන්නේ නැහැ. මට හම්බවුණා නම් මම පොලිසියකට හරි දීලා මේක අපේ මිනිස්සුන්ට බලන්න කෞතුකාගාරයක හරි තියන්න සලස්වනවා. 


ඒ වාගේම මෙ ප්‍රදේශවල යක්ෂයින් ගැවසුණා කියලා ඔප්පු කර ගත හැකි සාක්ෂි තිබෙනවා. මේ යබරවලින් සහ තවත් සාධක තියෙන නිසා ඒ බව ඔප්පු කළ හැකියි. රාවණා රජු යක්ෂ ගෝත්‍රයේ කෙනෙක්නේ. පූර්ණක නම් යක්ෂ සේනාධිපතියා එතුමාට දාව උපන් එරන්දතී නාග කන්‍යාවට දාව උපන් පුත් කුමරා තමයි “ දැඩිමුණ්ඩ ” කියලා කියන්නේ. 


දැඩිමුණ්ඩ දෙවියෝ යක්ෂයින්ගෙන් වැඩ ගත්තා කීවා. එහෙම වැඩ ගත්තේ නැහැ. දැඩිමුණ්ඩ තමන්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයා නිසා යක්කු වැඩ කරලා දුන්නා. දැඩිමුණ්ඩ කියන එක යක්ෂ ගෝත්‍රයේ අය ඇහුවා. යක්කු ගාව උපන් දරුවකු නිසා උන්ගේ ජාතියේ කෙනාට සැලකුවා එක තමයි ඇත්ත කතාව. 

 

 

අලුත්නුවර දේවාලය පිහිටා තිබෙන බිමේ කෙනෙකුට හැරෙන්න මා ඔයෙන් එගොඩ නොවී අලුත්නුවර වඳින්න බැහැ. මා ඔය මුහුදට වැටෙන තෙක් කිසිදු ගංගාවකට එකතු වෙන්නෙත් නැහැ. එ්කත් මෙහි ඇති තවත් සුවිශේෂී අවස්ථාවක්. අංගම්පොර කරන ක්‍රීඩකයකු අහුපිනි ඇල්ලට පහනක් තියලා වැඩ පටන් ගන්නවා නම් ඇල්ලෙන් පල්ලෙහාට වුණත් පනින්න පුළුවන්. ඒ තරම් මේ ස්ථානයේ සත්‍යයක් තිබෙනවා. බලයක් තියෙනවා. මම නම් මේ මා ඔයේ අහුපිනි ඇල්ලේ ඕනෑ ගලකින් පනිනවා. ඕනෑ වළකට බහිනවා. නමුත් මගේ ශාස්ත්‍රය නම් කාටවත් දෙන් නැහැ. මේකේ තිබෙනවා කුමාරවරුන් සහ ජල මෝහිනීලා තිස් දෙන්නෙකුගේ බලවේගයක්. මට ඒ අයගේ පිහිට තියෙනවා. නමුත් මට තියෙන මේ බලය දරුවන්ටවත් දෙන්න බැහැ. 


ජලයේ සෙල්ලම් ටිකක් මගේ කෙල්ලෙකුට කියලා දුන්නා. අන්තිමේට හමුදාවට යන්න ඕනෑ කීවා. ගියා. අවුරුදු 9 ක් හිටියා. නමුත් කිලාලි කලපුවේ මෙහෙයුමේදී ගෑනූ ළමයි 18 දෙනෙක් ඉවරයි. මාගේ දරුවා ජීවිතේ බේරාගෙන මාගේ ගාවට ආවා. කොල්ලෝ 5 යි කෙල්ලෝ තුන් දෙනෙක් මට ඉන්නවා. 


මම මේ කියන වචන මාගේ ඔළුවේ බරක් නිදහස් වෙන්නා වාගේ දැනෙනවා. මේක පූජනීය ප්‍රදේශයක්. මේ අහුපිනි ඇල්ලේ තිබෙන සම්පත කුමක්ද ? කැලෑ හඳ පැයුවේ කොහාටද අහුපිනි ඇල්ලට හුදකලාවේ දිනක හඳ තිබෙන දවසක අහුපිනි ඇල්ලට රාත්‍රියේ ගලක් උඩ ඉඳලා යන්න එන්න ඇඟට දැනෙන සැහැල්ලුව කොතරම්ද කියලා දැනේවි. 


අහුපිනි ඇල්ලේ හොඳ කලාකාරයකු දැකපු සම්පතක් තියෙනවා. නුග සෙවණක් (මෙම නුග ගස අදටත් දැක ගත හැකියි) ටී.බී. ඉලංගරත්න, තමරා කුමාරි ඉලංගරත්නලා මේ ගැන කවි ලියලා තියෙනවා. අද අපි මේවා සමාජයට කීවොත් සමාජයේ තරුණයෝ නිසැකවම අපට කියනවා. අනේ ලොක්කා ඔය බයිලාවලින් අපට වැඩක් නැහැ කියලා. අපි මෙතනට එන සංචාරකයන්ට කීවොත් මේ ගල්වලින් යන්න එපා කියලා ඒ අය කියනවා අනේ සීයා අපි මීට වඩා ගල්වලින් ගියා කියලා කියනවා. අන්තිමේට ඒ අයගේ මළකුණුත් අපි අරන් දීලා තියෙනවා. එක තමයි ඇත්ත කතාව. 


අහුපිනි ඇල්ලට වැටෙන තරුණයන් ගොඩගන්නෙත් අබේරත්න විසිනි. ඒ සම්බන්ධයෙන් ඔහු මෙවැනි අදහස් පළ කරයි. 


අහුපිනි ඇල්ලේ තැනක් තියෙනවා පල්ලෙහා. එතනට යන්න හිතෙනවා තරුණ වයසේ කොල්ලන්ට. මම මිනී 14 ක් අරන් තියෙනවා තරුණ වයසේ කොල්ලන්ගේ. පානදුරේ එක පෙරකදෝරු මහත්තයෙක් වැටුණා. එයා ඇල්ලේ වළට වැටුණේ නැහැ. ඇල්ල මැද රැඳුණා. එයා එවලේම ගත්තා. මම තමයි කඹයක් බැඳගෙන ඇල්ල මැදට බැහැලා ගත්තේ. වතුර වැටෙද්දි සමහර පිටින් ආපු අය මට සමච්චලේට හිනැහුණා. නමුත් මම ඒ දේ කළා. මම උඩට එනකොට මාගේ කොල්ලෝ 5 දෙනා තමයි ලණුව අඳින්නේ. මට ටික දුරක් එනකොට මාගේ දරුවෝ දකිනකොට මට මහ ලොකු සතුටක් ඇති වුණා. ඇල්ලෙන් වැටුණත් කමක් නැහැ කියලා ඒ වෙලාවේ මට හිතුණා. 


මේ ඇල්ලේ බිලිගන්නවා කියනවා. එහෙම එකක් මෙතන නෑ. ඇල්ල නරඹන්න එන අය ඇල්ල කඩාහැළෙන තැනට ගිහිං දිය ඇල්ල වැටෙන හැටි බලන්න යනවා. එතකොට ලෙස්සලා ගිහිල්ලා ඇල්ලේ තියෙන ගැඹුරු තැන්වල හිර වුණාම මැරෙනවා. ඇල්ලට වැටෙන මිනී ගොඩගන්න ආපු නාවික හමුදාවේ අයත් ගැඹුරු වළවල්වලට බහින්න ටිකක් බයයි. ඇල්ලේ පරතෙර හොඳට දන්න මම මේවාත් හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. නාවික හමුදාවේ අය සමහර වේලාවට අංකල් බහින්නේ පරිස්සමෙන් කීවාට මට ඒවා ගාණක් නෑ. එක දවසක් මිනියක් ගන්න බහිනකොට රෑ 11 යි. ඒක හෙම්මාතගම ඕලාන පැත්තේ මුස්ලිම් කෙනෙක්ගේ. ගොඩාක් සෙනඟ හිටපු එදා මම මිනිය අරන් උඩට එනකොට ගොඩාක් පිං දුන්නා. මම ලබන සතුට එයයි. මට ඕන මිනිස්සුත් එක්ක සතුටින් ඉන්න වගේම එයාලට උදව් කරන්න. ඒ හැම දෙයක් කරන්නේ සල්ලි බලාපොරොත්තුව නෙමේ සේවයක් හැටියට සලකලයි. ඔහුගේ කතා බහෙන් වර්තමාන සමාජයටද බොහෝ ආදර්ශයන් කියාපායි. එපමණක්ද නොව ගැමි ජනතාව තුළ තාමත් ඇත්තේ පිරිසිදු සිතිවිලි හා යහපත් ගති පැවතුම් රැසක් බව විටෙක අපට ද හැඟේ. 

 

 

අබේරත්න තමා මෙම ඇල්ලට වැටෙන මිනී ගොඩ ගත් හැටි තව තවත් අපිට කියන්න විය. එයින් බොහෝමයක්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හා මධ්‍යම පළාතින් තරමක් බැහැර වූ ඒවාය. දැනට වසර කිහිපයකට උඩදී මියගිය ජනාධිපති නීතිඥ පානදුර ජීවත් වූ සුනිල් පොතුපිටිය මහතාගේ මළ කඳ සොයා දදී ඇත්තේ අබේරත්න මහතා බව අප සමග කියා සිටියේය. දැනට අවුරුදු 22 කට කලින් මම අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා. ඒ තමයි අසුපිනි ඇල්ලේ දුෂණය කරලා ගැහැනු ළමයෙක් මරලා දාලා. ඒකේ ඇට කටු ටික අසු වුණා. මම දන්නෙත් නැහැ. පොලිසියෙන් කරන ලද සෝදිසියේදී මගේ සහයෝගයෙන් මේ ඇටකටු සොයා ගත්තේ. සමහර විටක මේ ඇල්ලට තල්ලු කරාද ගිල්වලා මැරුවාද කියලා දන්නේ නැහැ. අපි හිතමු කෙසේ හෝ අර මං කියපු ඇල්ල පාමුල ඇල්ලේ ගැඹුරු වළට මනුෂ්‍යයෙක් ගියා කියලා. බොහෝ වේලාවල්වල පැය 24 ක් බොඩි එකක් වැටිලා තිබුණාම ඉදිමෙනවා. පස්සේ වතුරත් එක්ක කැරකෙනවා වළ තුළම. අන්තිමේදී උඩට උඩට එනවා. බැරිවේලා හරි අර වතුර සැඩ පහරට අතක් හරි යම් අවයවයක් අසුවුණහොත් පල්ලෙහාට ගහගෙන යනවා. 
මේ දරුවාත් ඒ අාකාරයෙන් ගහගෙන යන්න ඇති. පල්ලෙහා වළක් පරීක්ෂා කරා. මම පනිනකොට පෑගුණා මිනියක්. පස්සේ බලනකොට කුණු වෙලා. රාලහාමි කීවා. ඇටකටු තිබුණොත් ඇති කියලා. මම ඒ මිනිය අතකින් අරන් සෙලෙව්වා. සැමන් වාගේ කෑලි ගැලවිලා වැටුණා. කුණු​ෙවලා තිබුණු නිසා පස්සේ පොහොර උරයක දාලා ගිහින් රාළහාමිට දුන්නා. මේ මිනියේ කකුල කෙළවරේ ඒ දරුවා ඇදගෙන හිටපු යට ඇඳුමක් හිරවෙලා තිබුණා. අනික් ඇඳුම් තිබුණේ නැහැ. මම මල්ලට දාන කොට මාගේ එක් ඇගිල්ලක් මේ යට ඇඳුමේ වැදිලා හිල් වුණා. 


ඒ මගේ මැදඟිල්ල. පස්සේ මේක නුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව ගිහිල්ලා මටත් කථා කළා. පස්සේ මගෙන් මේ යට ඇඳුම පෙන්නලා තමුන්ට මේ දේ හඳුනාගත හැකිද කියලා විමසුවා. නමුත් මෙ සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලා තිබුණේ. එක පාරම මතක නැති වුණත් ටිකක් කල්පනා කරලා බලනකොට එදා සිද්ධිය මතක් වුණා. පස්සේ මම ඒ පෙන්නුව යට ඇඳුම ටිකක් පහත් කරලා බැලුවා. 


එය මා අසලට රැගෙන පැමිණි කෙනාගෙන් මා එහි තිබූ මාගේ මැදඟිල්ලට එදා හිල් වුණ සිදුර තුළින්ම මා ඒ ඇඟිල්ල දමලා කීවා. “ස්වාමීනි මෙහි තිබෙන හිල මා එදා මේ ඇටකටු සොයා ගන්න විට කකුළේ කෙළවරේ හිර වී තිබුණු යට ඇඳුම බවත් එම ඇටකටු මල්ලට දමන විට මේ මාගේ මැදඟිල්ලට මේ සිදුර එම අවස්ථාවේ ඇතිවූ බව කියා සිටියා. පසුව නීතිඳ මහතුන් සිනාසෙනු උසාවියේ බොහෝ දෙනෙකු විශ්මයෙන් බලනුත් දැක ගැනීමට හැකි වූ නිසා මා හිතුවා මා අතින් වැරදි සාක්කියක් සිදුවූවාදයි කියා. 


නමුත් මා විත්ති කුඩුවෙන් බසින විට එහි සිටි බන්ධනාගාර නිලධාරියා මාගේ ඇඟට තට්ටු කර කීවා තමුසේ නියම සාක්කිය දුන්නා කියා. මට ඒ වේලාවේ සතුටක් දැනුණා. අන්තිමේදී ඒ දරුවා දූෂණය කරලා මරපු කෙනා සිපිරි ගෙයට ගියා. මොකද ඒ යට ඇඳුම තම දියණියගේ බව දෙමාපියන් හා සහෝදරයන් හඳුනාගෙන තිබුණ නිසා. කවදාවත් මම සල්ලි ගන්න කෙනෙක් නෙවෙයි. නමුත් මේ නඩුවෙන් පස්සේ මට මුදල් වවුචරයක් තියනවා කියලා පොලිසියට යන්න කීවා ඒක අත්සන් කරලා ලබාගන්න. 

 

 


මතු සම්බන්ධයි. 

 

 


ඡායාරූප හා සටහන
මාවනැල්ල හෙම්මාතගම 
සමන් විජය බණ්ඩාර