සලරුවක කතාව

 

 

 

​ෙරා්මියෝ සහ ජුලියට්, ලයිලා සහ මජ්නු, නළ සහ දමයන්ති, සලීම් සහ අනර්කාලී ඇතුළු ප්‍රේම කතා රාශියක් සිනමාවට නැගී ඇත. විශ්ව සාහිත්‍යයෙන් අමරණීය ස්ථානයක් දිනා ගත් ලයිලා මජ්නු සිංහලයට නැගුණු හැටි ද සලකා බැලීමේදී එහි මුල් ප්‍රයත්නය වූ දිව්‍යමය ප්‍රේමය උපන් ගෙයිම මළ චිත්‍රපටයක් ලෙස නම් කළ හැකිය. එහෙත් අළු මතින් නැගී සිටි ෆීනික්ස් කුරුල්ලා මෙන් දිව්‍යමය ප්‍රේමය නැවත චිත්‍රපටයට නැගී 1948 මැයි 22 වැනිදා සිංහල කතා නද සිනමාවේ හතර වැනි චිත්‍රපටය ලෙස තිර ගත වී ඇත.   


සිංහල චිත්‍රපටයක් නිපදවීමට ඉන්දියාවට ගිය මුල්ම ලාංකික පිරිස ලයිලා මජ්නු නම් හින්දි චිත්‍රපටය ලංකාවට උචිත කතාවක් ලෙස ඉදිරිපත් කිරීමට 1946 මැයි මාසයේ උත්සාහයක යෙදුණි. ලංකා කලා මෝහිනී නමින් චිත්‍රපටි සමාගමේ අධ්‍යක්‍ෂ වන තුරෙයිසිංහම් තවත් කිහිප දෙනෙකුගේ ආධාර ඇතිව ෂන්මුග චිත්‍රපටි නිෂ්පාදන යන නමින් යුත් චිත්‍රපටි සමාගමක් පිහිටුවා දිව්‍යමය ප්‍රේ‍මය නම් සිංහල චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම සඳහා සිංහල නළු නිළියන් පිරිසක් ගෙන ගිය බව ඩී.වී. සෙනෙවිරත්න විසින් ලියූ චිත්‍රපටි කලාව නම් කෘතියේ සඳහන් වෙයි.   


ඇස්.ඇම්. නායගම් සිංහල චිත්‍රපටයේ පියා ලෙස සලකතොත් සිංහල චිත්‍රපටයට ජීවය දුන් නිෂ්පාදකයා එන්. තුරෙයිසිංහම් යයි කීම අතිශයෝක්තියක් නොවන බව ඩී.බී. සෙනෙවිරත්නයන් 1959 දී පමණ පුවත් පතට ලියූ ලිපියකින් පවසා ඇත. එහි මෙසේ ද සඳහන් වෙයි.   


1930 වකවානුවේ සිට අද දක්වා (1969) තුරෙයිසිංහම් මගේ මිත්‍රයෙකි. ඒ කාලයේ අපි දෙන්නා කළේ චිත්‍රපට රක්ෂාවයි. 1932 වසරේ චිත්තම්පලම් ගාඩිනර්, එ්.එල්. තම්බයියා, එම්. සවරිමුත්තු යන බයිස්කෝප් විශාරදයන් තුන් දෙනා මරදානේ ඩාලි පාරේ පරණ ඔලිම්පියා සිනමා හලේ නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කරද්දී එහි ප්‍රධාන බයිස්කෝප් ඔපරේටර් හෙවත් යාන්ත්‍රිකයා ලෙස කටුතු කළේ තුරෙයිසිංහම්ය.   


පසුව 1930 ගාඩිනර් සිලෝන් තියටර්ස් සමාගමට අයත් රීගල් සිනමා හලේ ප්‍රධාන ප්‍රදර්ශක යාන්ත්‍රික තනතුරට පත් වූ තුරෙයිසිංහම් වසර 15ක් තිස්සේ සැලලොයිඩ් චිත්‍රපටිවල ඇති නළු නිළියන්ට පණ දුන්හ.   


කවදා හරි චිත්‍රපටියක් හදලා සිංහල නළු නිළියන් රැසක් තිරයෙන් බිහි කරන්න ඕනෑය යන අධිෂ්ඨානයෙන් තුරෙයිසිංහම් ඒ කාලයේ පසු වුණා. ඔහු මුලින්ම කළේ ලංකාවේ ඉන්දියානු චිත්‍රපට බෙදාහැරීමේ සමාගමක් බිහි කිරීමයි.   


සෙනෙවිරත්න මහතා පවසා ඇති අන්දමට ලයිලා මජ්නු නසීර් සහ ස්වර්ණලතා රඟපෑ Laila Majnu නම් හින්දි චිත්‍රපටය රුපියල් 10,000 කට මිලට ගත් තුරෙයිසිංහම් එය 1945 වසරේ දී ලංකාවේ ප්‍රදර්ශනය කළ කාල​ෙය් මාස ගණනක් යන තුරු ප්‍රේක්ෂකයන් සිනමා හල්වල පිරී ඉතිරී ගොස් ඇත. ශෝකාන්ත කථාවක් වූ ඒ චිත්‍රපටයේ ජනප්‍රියත්වය නිසා එම කථාවම පසුබිම් කොට දිව්‍යමය ප්‍රේමය නමින් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා මුලින්ම ලංකාවෙන් ඉන්දියාව බලා ගියේ තුරෙයිසිංහම් ඇතුළු නළු නිළි කණ්ඩායමය. ඒ 1946 මුල් භාගයේය.   


ඔහු චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා තෝරා ගත්තේ කෘතහස්ත ඉංග්‍රීසි පත්‍ර කලාවේදියකු වූ ඊ.සී.බී. විජේසිංහ හා ලලිතා නම් නිළියකි. වෙල් මුඩ්ලියර් ඇතුළු ඉංග්‍රීසී වේදිකා නාට්‍යවල රඟපෑ විජේසිංහ තුරෙයිසිංහම්ට මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයේදී ඉගැන්වූ ගුරුවරයෙකි.   


චිත්‍රපටයේ සෙසු චරිතවලට ඕගන් රුද්‍රිගු, සී. වීරසේකර, සී. විජේනායක, පී.එල්. සිමියෙන් සිල්වා, ජී.එච්. පොඩි අප්පුහාමි, ලීලා ගුණසේකර, විමලා කාන්තා, ප්ලෝරි දේවි ඇසිලින් රණසිංහ, සීතා රණසිංහ ඇතුළු ටවර් හෝල් යුගයේ නළු නිළියන් පිරිසක් තෝරා ගෙන තිබුණි. මුල්ම දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටය නිපදවීමට ගොස් ඇති වූ අවහිරකම් රැසක් තුරෙයිසිංහම් විසින් ඩී.වී. සෙනෙවිරත්නට පවසා තිබේ. 1946 මුල හරියේ නළු නිළියන් සමග මදුරාසියට ගිය තුරෙයිසිංහම් ගේ ගමන නිසා ලංකාවේ ප්‍රථම චිත්‍රපටය බිහි කිරීමේ ආසාව හා ඇස් ඇරීම නිසා නායගම් කඩවුණු පොරොන්දුව ද ගාඩිනර් අශෝකමාලා ද නිපදවීමට තරගකාරීව මදුරාසියට යාමට සැලසුම් කොට ඇත. මේ වෙනවිට තුරෙයිසිංහම් දළ සේයා පට 98,000 ක් පමණ නැප්චූන් චිත්‍රාගාරයේ දී රූපගත කර තිබුණේලු.   


තුරෙයිසිංහම්ගේ ෂන්මුග චිත්‍රපට සමාගම අලුත් එකක් නිසා මදුරාසි රජය ඔහුට බලපත්‍රයක් දී නොතිබුණි. ඒ කාලයේ දළ සේයා පට අඩි 1000ක පාලන මිල රුපියල් 10 ක්ව තිබුණු දළ සේයා පට සඳහා තෙගුණයක් ගෙවා හොර කඩෙන් ගන්නට සිදුව ඇත. තමාගේ චිත්‍රපටය පමා කිරීමට සිතූ ලංකාවේ මුල්ම චිත්‍රපටය බිහි කිරීමට සීතල යුද්ධයක යෙදී සිටි නිෂ්පාදකවරු මේ ගැන පොලිසියට පැමිණිලි කළහ. මේ නිසා තුරෙයිසිංහම්ට තමා ලබා ගත් දළ සේයා පට තැනින් තැන සඟවා තැබීමට සිදුව ඇත්තේ පොලිසියේ හදිසි වැටලීම් නිසාය. මේ නිසා ඇති වූ මුදල් දුෂ්කරතා නිසා තුරෙයිසිංහම්ට නැවත ලංකාවට හදිසියේ පැමිණීමට සිදු විය.   


මේ අතර නොසිතූ සිදුවීමක් විය. කේ. ගුණරත්නම් හා ඩබ්ලිව්.එම්.එස්. තම්පෝ එක්ව පිහිට වූ වින්සර් චිත්‍රපටි සමාගම මගින් තෙලිඟු චිත්‍රපටයක් මිලට ගෙන මදුරාසියේ සිට දිව්‍යමය ප්‍රේමයට සම්බන්ධ වූ නළු නිළියන් යොදා එහි සිංහල දෙබස් කවා ‘මනප්‍රයත්නය’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළේය. (සිංහල දෙබස් කැවූ මුල්ම චිත්‍රපටය වූ මෙය 1948 මැයි 16 වැනිදා ක්‍රවුන් සිනමා හලේ තිරගත වී ඇත.)   


තුරෙයිසිංහම් මුදල් සොයා ගෙන එන විට ප්‍රධාන නළුවා වූ ඊ.සී.බී. විජේසිංහ තම රැකියාව රැක ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ලංකාවට පැමිණ තිබුණ බව එස්.කේ. ජයවර්ධන ලියා තිබුණි. සෙසු නළු නිළියන් ද විසිර ගොස් තිබිණි.   


චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ලලිතා නම් නිළිය තම නියම නම සඟවා තිබූ බව කරුණාසේන ජයලත් 01.07.1954 ඉරිදා ලංකාදීපයට ලිපියකින් හෙළි කර ඇත. මේ චිත්‍රපටයේ ගීත ද තැටි ගත කොට තිබූ අතර එහි එන ‘වන්දේ සීවලී ආරිය ගීත ගයා මේ’ යන ගීතය මුල් දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ ගීතය ගුවන් විදුලියෙන් නිතර ඇසුණු බව ද ජයලත් සඳහන් කර තිබුණි.


නැවත ඉන්දියාවට ගිය තුරෙයිසිංහම් තම උත්සාහය අත්නොහැර පෙර චිත්‍රපටයේ සම නිෂ්පාදක එම්.කේ. කුප්පස්වාමි හා එක්ව ඒ.එස්. බබා හා එන්.පී. ජාවේරිට අධ්‍යක්ෂණය භාර කළහ. රොමියෝ ජුලියට් කථාව ඇසුරෙන් සකස් කළ ලයිලා මජ්නු නමැති හින්දි චිත්‍රපටය සිංහලට නගා පිළියෙළ කළ චිත්‍රපටයකි. එහෙත් දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ කථානායක නායිකාවන් පැරකුම් හා ලලිතා යන නව දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතවල නම් තැබූ බව කියන ජයලත් ප්‍රථම සිංහල චිත්‍රපටිය වීමට ඉඩ තිබුණු ප්‍රථම දිව්‍යමය ප්‍රේමය දුක් මුසු ඉරණම ගැන ද මතක් කර තිබුණි.   


දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ කතා පිටපත සකස් කළේ එවකට ග්‍රැමෆෝන් ගායිකාවක ලෙස ජනප්‍රිය වූ ශ්‍රීමතී කරුණාදේවී විසිනි. එපමණක් නොව ඇය චිත්‍රපටයේ ගීත පද මාලා ලියූ ජී.කේ. ජයන්ත රාජදාසට සහාය වූ බව චිත්‍රපටයේ සිංදු පොතේ සඳහන් වෙයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පර්​ෙ‌ය්ෂණ අනුව මෙහි ගීත ප්‍රබන්ධය ගැන මෙසේ සඳහන් වෙයි.   


සී. වීරසේකර හෙවත් චන්ද්‍රසේන වීරසේකර (සිරි බුද්ධගයා විහාරේ ඇතුළු ග්‍රැමෆෝන් ගී රැසක් ලියූ රචකයා) ගීත 11ක් ඔහු ලියා තිබේ. එහෙත් ගීත පොතේ සඳහන් වන්නේ 12 වැනි ගීතය ලියූ ජී.කේ. ජයන්ත රාජදාස යන නමයි. සහාය ශ්‍රීමති කරුණාදේවී.   


මේ අනුව සිංහල චිත්‍රපටයක කතා පිටපත සකස් කිරීමට හා ගීත ප්‍රබන්ධයට සම්බන්ධ වූ මුල්ම කාන්තාව ශ්‍රීමතී කරුණාදේවී යයි වාර්තාගත වේ. 

 
දිව්‍යමය ප්‍රේ‍මය චිත්‍රපට​ෙය් කතාව කෙටියෙන් මෙසේය.   


එය ප්‍රභූ පරපුරේ දරුවන්ට පළාතේ සිටි දක්ෂතම හා උගත්ම ගුරුවරයා විසින් පවත්වාගෙන ගිය පාසලකි. එහි වැලිපිල්ලේ කුඩා දරුවෝ ශිල්ප උගනිති. වයස අවුරුදු දහයේ පමණ ගැහැනු පිරිමි දරු දැරියෝ මෙහි සිටිති. පිටුපස බංකුවට වී සිටින එක් දඩබ්බර ළමයෙක් ගුරුවරයා උගන්වා ඉවත බලන විට ඔඩොක්කුවේ වූ කිසියම් කුඩක් අල්ලට ගෙන තමා ඉදිරියෙන් සිටින ළමයාගේ පිටට පිඹියි. ඉන්පසු ඔහු උපාසක බළලෙකු මෙන් තැන්පත් වී ඉගෙනීමේ යෙදෙයි. ගත වූයේ මොහොතකි.   


කුඩු පහර කෑ ශිෂ්‍යයා කහඹිලියා ගෑවුණු කලෙක මෙන් ඇඹරෙන්නට විය. කුඩු රැගෙන ආ ළමයා පිම්බ කුඩු තව ශිෂ්‍යයෙකුගේ ඇඟට වැදුණේය. ටික වේලාවකින් මුළු පන්තියේ ළමයි කුඩු වැදීම නිසා කැපූ පණුවන් මෙන් දඟලන්නට වූහ. මේ ක්‍රියාව කළ තක්කඩි වැඩ කළ ළමයා තවමත් නිශ්ශබ්දය.   


ළමයින්ගේ දැඟලිල්ල නිසා කලබල වූ ගුරුතුමා මෙය කළේ කවු දැයි බලා අහිංසක පැරකුම් නම් ළමයෙකු වරදකරුවා ලෙස සලකා ඔහුට නැගිටීමට අණ කළේය. කෝපයෙන් පිපිරී සිටි ගුරුතුමා අහිංසක පැරකුම්ට වේවැල ඔසවා පහර දුන්නේය. එහෙත් ඒ පාර වැදුණේ අහිංසක පැරකුම්ට නොවේ. ඔහුගේ අතට උඩින් අත තැබූ රෝසමල් පෙත්තක් බඳු කුඩා ගැහැනු ළමයකු වූ ලීලාගේ සිඟිති අත්පොඩ්ඩටය.   


ලීලා පැරකුම්ගේ හොඳම මිතුරියයි. පැරකුම් වරද නොකළ බව ලීලා හොඳින් දන්නා නිසා ඔහු දඬුවම් විඳිනවා දැකීම අපහසු වූවාය. තමාගේ එකම මිත්‍රයා වෙනුවෙන් තැලුම් කෑම සතුටක් කොට සැලකූ ඇය කඳුළු නොසැලුවාය.   


පැරකුම් දස හැවිරිදි ළමයෙකි. ලීලා හය හැවිරිදි දැරියකි. ඔවුන් ගමන් ගන්නා මහ මඟ දිය පාරවල් අසල වන මල් පිරී පඳුරු ළඟ සමනලයන් හා දෙමළිත්තන් හා බට්ටිත්තන් හා දෙබසින් පසු වන මේ දෙදෙනා එකිනෙකාට ආදරය කරති. තරුණ විය පත් පැරකුම් හා ලීලාගේ ආදරය තව තවත් ලියැලුවේය.   


දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ එක් දර්ශනයක් ජනතා පුවත් පතේ උපකතුවරයෙකුව සිටි රාජා තිලකරත්න මෙසේ වර්ණනා කර තිබුණි.   


​ෙගාදුරු සොයා යන කුරුල්ලන් කැදලි බලා යද්දී පරවුණු මල් පෙති තණ බිස්සේ හෙළමින් පඳුරු දෙබෑ කරගෙන වනය මැඳින් යන තරුණියකි. උකුලේ වූ සෙම්බුව තාලයට නටව නටවා මිහිකත නළවමින් ඈ මේ යන්නේ රහසිගතව සිය පෙම්වතා දැකීමටය. පොකුණක් අද්දර සුදු වැලි තලාවේ වැතිර කුර කොවුල් නද පරදවා නුරා ගීයක් බටනළාවක වාදනය කරන තරුණයෙකි. අතු අග මල් රේණු සලමින් සුදු පරෙවියන් උනුනට තුරුලු වෙමින් හමා ගිය සිසිල් මඳ සුළඟ ඔහුගේ ගීය තැනිතලා දිගේ ඈත ගම්මානය දක්වා ගෙන ගියේය. ඇඟිලි තුඩු බටනළාවේ ඒ මේ අත ගිය ද මේ තරුණායාගේ සිත බොහෝ ඈතය. දැන් ඈ එනවා ඇති කියා සිතමින් ඔහු පසුවේ. 

 

 

 


සුළඟේ පැද්දෙන නාමලක් මෙන් තාලයට තරුණිය උකුළෙහි වූ සෙම්බුව පසෙක තබා තරුණයා ළඟින් වාඩි වූවාය.   


අනේ පැරකුම් මම පරක්කු වුණාද?   


නැහැ ලීලා මම කලින් ආපු එකයි වැරැද්ද වුණේ. තරුණයා තමා පිටට වරද ගනිමින් කීය. දැන් ලීලා නව යොවුන් තරුණියකි. පැරකුම් වයස විසි දෙකක පමණ කඩවසම් තරුණයෙකි.   


ලීලා හා පැරකුම් දිනපතා සැන්දෑවට මේ විල්තෙර දී මුණ ගැසෙති. ඔවුන්ගේ ආදරය ගැන ඔවුන් විවාහ වන දවස ගැන මේ දෑ දහසක් කරුණු ගැන ඔවුහු කතා කරති.   
කරදර පිරි මේ ලොවෙහි ඔවුන්ගේ ලොව්තුරා පෙමට ඉඩක් නැති බව කියන්නට මෙන් හදිසියේ කුලප්පු වූ අළු කොබෙයි යුවළක් කෑ ගසමින් පියැඹූහ.   


මේ දර්ශනයේ ඊළඟට සිදුවන දේ පෙම්වත්හු නොදැන සිටියහ. ලීලාගේ සුළු පියා විසින් එවන ලද චර පුරුෂයෙක් ඔවුන්ගේ ප්‍රේම ජවනිකාව බලා සිටියේය. ලීලා පැරකුම්ටත් පැරකුම් ලීලාටත් පෙම් කරන බව මුළු පළාතම දනී. දිනක් රෑ ලීලා ගැන බලාපොරොත්තුවෙන් පැරකුම් පියවර නගයි. ඇගේ නිවෙස පෙනෙන තෙක් මානයට ආ පැරකුම් ඉන් එහා යෑම සුබ නැති නිසා පඳුරකට මුවා වී විමසිල්ලෙන් සිටී.   


කොළ පෑගෙන ශබ්දයක් ඇසී පැරකුම් හිස හැර වූයේ ලීලාගේ රටක් වටිනා හිනාවෙන් හදේ ඇවිලෙන ගින්න නිවා ගැනීමටය. එහෙත් සිදු වූයේ අනිකකි. කළුවරේ සැඟ වී සිටි කිසිවකු ඔළුව හරහා දුන් පහරකින් පැරකුම් සිහි නැතිව වැටුණි. ලෙයින් නැහැ වී සිහි නැතිව වැටී හුන් පැරකුම් මග යන්නෙකු විසින් ඔසවාගෙන යන ලදී. සාහසිකයින් විසින් ඉතා නීච අන්දමට පහර දෙනු ලැබූ පැරකුම් දුටු ඔහුගේ පියා උමතු විය. ඔහුට වූ කෝපය නිම් හිම් නැත. ලීලාගේ සුළු පියා මෙය කැර වූ බව ඔහු දනී.   


පසු දින උදේම ප්‍රාදේශීක රජෙකු වූ ලීලාගේ සුළු පියාගෙන් මේ කළ අපරාධයට පළිගන්නා බව ඔහු දිවුරා කීය. මෙයින් කලබල වූ යුව රජ ලීලාත් ඇගේ මවත් රැගෙන අන්‍ය රාජ්‍යයක් බලා පළා යයි. මෙයින් පැරකුම් ඇගේ වියෝවීම ඇති වූ දුක නිසා ලීලා.... ලීලා..... කියමින් වීදියක් වීදියක් පාරක් තොටක් ගානේ දුවන්නට විය. අතන මෙතන වැටීමෙන් ඔහුට තුවාල සිදු විය. ඇඳිවත දිරා ගියේය. රැවුලෙන් මුහුණ වැසී ගියේය. ආහාර නොමැතිකමින් කෘෂ වූයේය. සිරුර වැහැරී ගියේය. වියෝ දුකින් ඔහු වඩ වඩා උමතු විය.   


වෙන රාජ්‍යයක සිටින ලීලාගේ තත්ත්වය මීට නොදෙවෙනිය. නොබිඳිය හැකි පෙමකින් ලීලා හා බැඳි පැරකුම්ට ඉවක් දැනුණි. ලීලා ගැන ඉව අල්ලමින් ඔහු ඇය සිටි පළාතට ආවේය. තම දියණියගේ වියෝ දුක නිසා දුකින් සිටි මව යාචකයන් සඳහා දානයක් පිළියෙල කළාය. ජනේලයක් අසල වාඩි වී සිටි අැය යාචකයන්ට දානය පිළිගැන් වූවාය. අවසානයට පැමිණි යාචකයා දුටු ලීලා උමතුවෙන් මෙන් කෑ ගැසුවාය. ඒ ඔහුමය. ඇගේ පෙම්වතා පැරකුම්ය. අසල සිටි සේවිකාව ඇය ​ඇදගෙන කාමරයට දමා දොර වැසුවාය.   


ලීලා.... ලීලා.... මගේ පෙම්වත් ලීලා.... යයි පැරැකුම් දොරට පහර දෙන්නට වූවේය. නමුත් ඔහුගේ අඳෝනා බොල් සුළඟේ පාවී ගියේය.   


නිරාහාරව ඇඳක වැටී හුන් ලීලාගේ රැකවරණයට සේවිකාවන් දෙදෙනෙකු යොදා තිබිණ. දැන් ලීලාගේ ඒකායන ප්‍රාර්ථනය දිවි නසා ගැනීමටය.   
වෙනත් රාජ්‍යයකින් කුමරෙක් වීථි සංචාරය කරන අතර සී මැදුරු කවුළුවකින් රූමත් කුමාරියකගේ මුහුණ දැක ඇය පිළිබඳ සිතින් ඇයගේ සොඳුරු වත සදාකාලිකව ලබා ගැනීමට ඔහුට සිත්විය. රාජ දූතයන් අත තුටු පඬුරුත් සමග විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කුමාරයා කටයුතු යෙදීය. අගනා රෙදි පිළි ස්වර්ණාභාරණ කුමාරයා රාජ දූතයන් අත එවා තිබුණි. මෙය දුටු ලීලාගේ ප්‍රීතිය නිම් හිම් නැති විය.   


මගේ පැරකුම් මට මේ තුටු පඬුරු එවලා. ඔහු මට ලැබෙන්න යනවා. ලීලා උමතුවෙන් කෑ ගැසුවාය.   


​ෙවනත් රාජ්‍යයක කුමාරයෙකුගෙන් මේ තුටු පඬුරු ලැබූ බවත්, ඔහු තමාව සරණ පාවා ගැනීමට පැමිණ සිටි බවත් ඇසූ ලීලාගේ ශරීරයේ ලේ වතුර විය. ලේ පොළඟෙකු ඇගේ හදවත ලේ උරා බොන්නාක් ​ෙ මන් ඇයට දැනිණ. ඇය කෑගැසුවාය. මේ කලබලය යාචකයකු මෙන් සිටි පැරකුම්ට ඇසිණි.   


මගේ දුප්පත් ලීලාට අනතුරක් සිතූ පැරකුම් ලීලා ලීලා යැයි කෑ ගැසුවේය. ලීලාගේ සුළු පියා පැරැකුම් අසලට ගියේ කේන්තියෙනි.   
​ෙම් කාලණ්ණියාට පිස්සු. මේ පිස්සු හිඟන්නාට මගේ දුව දෙන්නේ නැහැ. ඔහු ගුගුළේය.   


​ෙම් අතර පැරකුම් සොයා ඔහුගේ පියා ද පැමිණියේය.   


ලීලාගේ සුළු මව තැත් කළේ විවාහ යෝජිත තරුණයාට ඉක්මනින් ලීලා විවාහ කර දීමටය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය වෙද්දි පැරැකුම්ගේ උමතුව වැඩි විය. ඔහු දැන් ගමේ කොල්ලන්ගේ ගල් මුල් ප්‍රහාරවලට බඳුන් වෙයි. ඔහු හිස් ලූ ලූ අත දුවයි.   


රාජ කුමරු ලීලා තම රාජ්‍යයට ගෙන ගියේ මළ මිනියක් මාළිගාවට ගෙන ගිය පරිද්දෙනි. නිතර ශෝකයෙන් සිටින තම ප්‍රියාවගෙන් රජ කුමරු කරුණු විමසුවේය. අතීත කතාව ඔහු දැන නොසිටියේය. එහෙත් ඇය නිරුත්තර වූවාය. ඇය ප්‍රේම වියෝවකින් පසු වන බව ඔහුට වැටහුණි. ළය හුණු වූ ඔහු එදිනම ලීලා පෙම්වත් පැරකුම් වෙත යැවීමට තීරණය කළේය. රාජ පුරුෂයන්ගේ ආරක්ෂාව යට​තේ ලීලා රැගත් තවලම කාන්තාරයක් මැදින් පෙම්වතා සොයා යන්නීය. රාජ පුරුෂයෝ ලීලා ලබා ගන්නට එකිනෙකා ඇන කොටා ගත් අතර තුර ඇය රහසේම දෝලාවෙන් පැන දුවන්නට පටන් ගත්තාය.   


ගහ කොළ නිශ්ශබ්ද විය. හදිසියේ අහස ගොරවන්නට පටන් ගත්තේය. සුළි සුළඟක ඇරැඹුම බව ඉවක් බවක් නැතිව දුවන ලීලාට නොදැනිණි.   
පැරකුම්.... මගේ පැරකුම් ඔබ කොහේද? යි හඬ තළමින් ලීලා ඉදිරියට දුවන්නී ඇගේ හඬ ඇසී පැරකුම් ලීලා... ලීලා... ඔබ කොහිද? මෙය මායාවක් දැයි කියමින් ඉදිරියට දිව්වේය. සුළඟ දැඩි විය. ගහ කොළ ඇඹරී ගෙන එයි. පස් කඳු වැලි කඳු කඩා වැටීමට පටන් ගනී. අඳුර දැඩි වෙයි. කෑලි කැපුවත් නොපෙනෙන අන්ධකාරය. තනි වූ පෙම්වත්හු ඉවක් බවක් නැතිව ඇවිදිති.   


ලීලා ලීලා පැරකුම් පැරකුම් පාළු කාන්තාරයේ දෝංකාරය නංවමින් පැතිරේ.   


හදිසියේම කඩා වැටුණ තල් ගසකට ලීලා යට විය. ඇ යට නැගිටීමට බැරිය. ඇය බඩ ගාගෙන අමාරුවෙන් පැරකුම් වෙත ඇදෙයි. ඉදිරියට එන පැරකුම්ගේ කකුල ගලක හැපී කැඩෙයි. ලීලාගේ හඬ හුළං පාර කපාගෙන දැන් දැන් ළඟින්ම ඇසෙයි. දැන් ඔවුන් දෙදෙනා පේන මානයේය. ඇය හිටි හැටියේ නිහඬ වූවාය. ඇගේ අවසන් සුසුම් වා තලයට එක් විය. සිය පෙම්වතිය වෙත ඇදුණු පැරකුම් සිය පෙම්වතියගේ නිසල දේහය සිප ගනිමින් සිය දෙනෙත් පියා ගනී. ඔවුන් මෙලොව හැර යන්නේ කුඩා කල ඔවුන් කෙළි දෙළෙන් ගත කළ ගම්මානයේදීය.   


1948 නිකුත් කර ඇති දිව්‍යමය ප්‍රේමය සිංදු පොතේ සඳහන්ව ඇති නළු නිළි ​ලේඛනය මෙසේය. ලූමන් රාජපක්ෂ, ශ්‍රීමතී කරුණාදේවි, පීටර් සිරිවර්ධන, ෆ්ලෝරි දේවී, ජී.කේ. ජයන්ත රුද්‍රිගු, විමලා කාන්තා, එම්.ඒ. සෝම්පාල, බී. රොබට් පෙරේරා, එච්.එම්. සුමනාවතී, එම්. සයිමන් පෙරේරා, චන්ද්‍රා දහනායක, බැසිල් බෝතේජු, රොබට් රත්නායක, ප්‍රැන්සිස් මොල්ලිගොඩ, රාණි මොල්ලිගොඩ, සෝමාවතී පෙරේරා, බේබි යසවතී යන නම්ය. සිරි අබේසේකර සහ ගාමිණී ගුණතිලක OCIC චිත්‍රපට වාර්ෂිකයට (1947 සිට 1951) ලියා ඇති ලේඛනයට මෙයටඅමතරව කමලා සෙනෙවිරත්න ශ්‍රීමතී කමලා කාන්ති ඩේසි හැනැල්ල, ෆීඩා හැනැල්ල, බේබි සත්‍යවතී, සයිමන් පෙරේරා, කමලා සෙනෙවිරත්නගේ නම් ඇතුළත් වී ඇත.   


දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ පැරකුම් ලෙස රඟපෑවේ ලූමන් රාජපක්ෂය. නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයෙකු වූ ඔහු හතළිහ දශකයේ රාජද්‍රෝහියා නම් නාට්‍යයේ රුක්මණී දේවි මයිකල් සන්නස් ලියනගේ හා ස්ටැන්ලි මල්ලවාරච්චි සමග රඟපා ඇත. ලුමන් රාජපක්ෂ (1905 - 1975) ඉන්පසු ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ බබා සිංඤෝ නම් හොර නයකයා ලෙස රඟපෑ ඔහු දුප්පතාගේ දුක චිත්‍රපටයේ ද රඟපෑවේය. ප්‍රවීණ මාධ්‍යවේදී බෙනඩික්ට් දොඩම්පෙගම ලියූ චිත්‍රපටි ආස්වාදනය කෘතියේ තමාට නාට්‍ය කලාව පිළිබඳ කුඩා කල දීම ආශාවක් ඇති කළ ලූමන් රාජපක්ෂට කෘතඥතාව පළ කොට තිබුණි.   


ලීලාගේ චරිතය රඟපෑ ශ්‍රීමතී කරුණාදේවී (1920 - 1993) කොළඹ කුරුඳුවත්තේ උපන් ඇයගේ මුල් නම වික්‍රමසිංහ මුදලිගේ කරුණාවතීය. කොළඹ ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය ගුරු වෘත්තියට පිවිසි කාලයේම රූපසිංහ මාස්ටර් යටතේ සංගීතය ප්‍රගුණ කොට ප්‍රේමයේ ගායනා ඇසී. ආදී 40 දශකයේ ජනප්‍රිය ගීත රැසක් ගැයුවාය. ඇගේ දියණිය වූ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන අප සමග මෙසේ පැවසුවාය.   


අම්මා විවාහ වුණේ පීටර් සිර්වර්ධන කියන කොළොම්බියා තැටි සමාගමට ප්‍රථම ගීතය ගැයූ ගායකයා සමග. ‘කපුවා ක​පෝති’ ‘මතභේදය’ නාට්‍යවල රඟපෑ තාත්තා රඟ පෑ නාට්‍ය කොතරම් ද යත් පීටර් සිරිවර්ධන එනවා යනුවෙන් පෝස්ටර් අලවා තිබුණලු. සංගීතය ඉගෙන ගෙන ඔහු පොල්ගොල්ල රජයේ කාන්තා අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් දරා තිබෙනවා. තාත්තාව දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයට තෝරා ගත් බව අසා අම්මා කලබල වුණාලු. මොකද? තාත්තා ලස්සන මනා පෞරුෂයක් තිබූ තරුණයෙක් නිසා. බැරිම තැන ඉන්දියාවට යන කොට අම්මත් ගියාලු. එහෙදි ඉන්දියානු අධ්‍යක්ෂවරයා (එ්.එස්. බබා) අම්මාව දැකලා දිව්‍යමය ප්‍රේමයේ ප්‍රධාන චරිතය වූ ලලිතාට තෝරා ගත්තලු. තාත්තා රඟපෑවේ ලලිතා විවාහ වීමට එන සෙනෙවියාගේ චරිතය. පස්සේ අම්මා අශෝක මාලා චිත්‍රපටයේ චිත්‍රා දේවි චරිතයත් තාත්තා සමග රඟපෑවා. දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ එක දර්ශනයක ෆ්ලෝරා දේවි (විශාරද සුජාතා අත්තනායකගේ වැඩි මහල් සොහොයුරිය) අම්මාට ගැසූ කම්මුල් පාරට අම්මට ඇත්තට සිහි නැති වෙලා තියෙනවා.

   
ගල්කිස්සේ උපත ලැබූ ගජසිංහ ආරච්චිලාගේ පීටර් සිරිවර්ධන (1908- 2001) දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ රඟපෑවේ සෙනෙවියකුගේ චරිතයයි. ශ්‍රීමතී කරුණාදේවි හා පීටර් සිරිවර්ධනට දරුවන් තිදෙනෙක් සිටියහ. වැඩි මහල් පුතා සුනිල් සිරිවර්ධන රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදකයකුව සිටියේය. මුලින්ම කැමරාවක් එළිමහනට ගෙන ගොස් ජනප්‍රිය ගීත රූපගත කොට වැඩසටහනක් නිෂ්පාදනය කළේ ඔහුය. ඔහුගේ පුතුන් දෙදෙනා මධුමාධව අරවින්ද හා ධනංජය සිරිවර්ධන කලා ක්ෂේත්‍රයට එක්ව ඇත. මෙහි පළ වන ඇතැම් ඡායාරූප අපට ලබා දුන්නේ ධනංජය විසිනි. සෙසු ඡායාරූප සිංහලයේ මහා වංශය කෘතියෙනි.   


ශ්‍රීමතී හා පීටර්ගේ දියණිය විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ දියණිය ජයකලනි හා ප්‍රසන්න ද කලාවට සම්බන්ධය.   


සුනිල් සිරිවර්ධන අපට මෙසේ කීය.   


මම මුලින්ම දිව්‍යමය ප්‍රේමය නරඹන විට පුංචි දරුවෙක්. පානදුර නගර ශාලාවේ මේ චිත්‍රපටය මම නැරඹුවේ.   


රුපියල් ලක්ෂ 2 1/2ක් වියදම් කොට අවුරුදු 2යි මාස 6ක කාලයක් ගත කොට නිපද වු දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ නගරාධිපති ආර්.එෆ්.එස්. ද මෙල් මහතා සහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංස්ලි සිනමා හලේ දී පවත්වා ඇති බවත් වර්ණ ජවනිකාවක් ඇතුළත් වී ඇති බවත් සිරි අබේසේකර හා ගාමිණී ගුණතිලක සඳහන් කර ඇත.   


චිත්‍රපටයට ගීත 12ක් ඇතුළුව ඇති බවත් එකම ගීතයක් වත් ජනප්‍රිය නොවූ බවත් එහි ගායක ගායිකාවන් අප්‍රකට බවත් අද ඉතිරිව අැත්තේ ගී පද මාලා පෙළ පමණක් බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. ඒ ගීත මෙසේය.  


සිරිනි සාර ධීර තේජා (සමූහ ගායනයකි). අමි ආමි (පැරකුම් හා ලලිතා යුග ගීතය) ශ්‍රියාවී යාය ප්‍රසන් (ලලිතා හුදකලා ගීතය) ප්‍රීති සෞභාග්‍ය සිඳි (පැරකුම් හුදකලා ගීය) රුව දිස්නා දැක්මෙන් ශෝභා (සමූහ) ලොව නවාතැනක්මය (සමූහ) සාක්ෂි දේ චිත්තේ (ලලිතා හුදකලා ගීය) සුප්‍රියා ඔබ හැරා ලොව (ලලිතා පැරකුම් යුග ගී) ඕ මාර්ගේ යාමේ යෙදි (පැරකුම් හුදකලා ගීය) තුම් දිව්‍ය සුරින්දේ (චන්ද්‍රා කුමරිය හුදකලා ගීය) ප්‍රිත්‍ය නන්දේ පෙම් ලොවේ (ලලිතා සහ පැරකුම් යුග ගී) යනු වහා ගෙනෙන්නට (ටිකිරා සහ පෙම්වතිය විකට ගීය) චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා එච්.ආර්. පද්මනාභ ශාස්ත්‍රි නම් ඉන්දීය ජාතිකයාය.   

 


ඒ.ඩී. රංජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්