කොච්චිකඩේ බෝම්බයෙන් තුවාල වූ සාරණ්‍යා කියන කතාව   

 

 

 

 

මීට ​තෙමසකට කලින් එල්ල වුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක ජීවිත ගණනාවක් විනාශ කරපු, අහිංසක මිනිසුන් දහස් ගණනක් අසරණ කරපු ඒ දවස අද බොහෝ අයගේ මතකයෙන් ඈත් වෙලා. ජීවිත කාලයටම මේ අහිංසක මිනිස්සුන්ට උරුම කරපු වේදනාව දුක බෙදා ගත්ත බොහෝ අයටත් අද එ් මිනිසුන්ව අමතක වෙලා. ඒ වේදනාව තමන්ට නොවන තාක් හැඟීමක් නොදැනෙන මේ රටේ පාලකයින්ට ඒ අහිංසක මිනිසුන්ව තවමත් විහිළුවක් වෙලා.   


සාධාරණයක් රටට සාමයක් ඉල්ලලා කෑ ගහපු මිනිස්සු ආගමික නායකයින්ව අද සමාජය ඉදිරියේ වැරදිකරුවන් වෙලා... බෝම්බ ප්‍රහාරයෙන් අහිමි වුණු තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ඉල්ලන්න ඉතිරි වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට සාධාරණයක් විතරයි.   


එ්ත් මේ පාලකයන්ගෙන් ඒ අහිංසක මිනිසුන් ඉල්ලන සාධාරණය ලැබේවිද? තවමත් තුවාල ලැබූවන්ට හරි හැටි වන්දි මුදලවත් ලබා නොදුන් ආණ්ඩුවක් ගැන මේ මිනිසුන්ට තවත් විශ්වාසයක් තැබිය හැකි වේවිද?   


ඔවුන්ගේ ආගමට අනුව දෙවියන් වහන්සේ උරුම කරපු ජීවිතේ මෙයමද කියලා ජීවිතයෙන් වැටුණු මේ මිනිසුන් අතර ජීවිතයෙන් නැගිටින්න උත්සාහ දරන මවක් අපට මුණ ගැසුණා. ඇයත් පාස්කු ඉරිදාවේ කුරිරු ත්‍රස්තවාදීන් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් තුවාල ලැබූවෙක්. ඇයට අද ඉතිරිවෙලා තියෙන්නේ පුංචි කිරි කැටියෙකු සමග තනි වුණු ජීවිතයක් පමණයි.   


එදා එක් ක්ෂණයකින් ලේ ගංගාවක මිනිසුන් සුනු විසුනු වෙලා යද්දි ඇයටත් කුසේ මෝරා වැඩුණු කිරි කැටියටත් දෙවියන් විසින් ජීවත් වෙන්නට වරම් දුන්නා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වුණු පාස්කු ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල සිදුව සිහිසුන්ව සිටි ඇය රෝහල් ගත කිරීමෙන් පසුව ශල්‍යකර්මයට භාජනය කරන්නට පෙර ඇය පුංචි පිංවත්ත පුතෙක් මේ ලෝකෙට බිහි කළා. ඒ සුනු විසුනු වී ගිය මළ සිරුරු අතර තමන්ගේ ආදරණීය සැමියාත් මේ ලෝකෙන් නික්ම ගිහින් කියන බව නොදැනම.   


අැය ‘‘ප්‍රෙගලාදන් සාරණ්‍යා’’   


ඇය ආසාවෙන් බලා සිටි පාස්කු දිනය උදා වීමත් සමග අප්‍රේල් 21 වැනිදා පාන්දරින්ම දෙවියන් යැදීමට ඇය තම සැමියාත් සමග කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට ගියේ තවත් දින කිහිපයකින් මෙලොව දකින්න පෙරුම් පුරන පුංචි පැටියට ආශිර්වාද ලබා ගන්නටයි.   


‘‘මම මගේ සැමියා ක්‍රිස්තෝපර් සමග විවාහ වුණේ පසුගිය වසරේ මැයි 18 වැනිදා. විවාහ වෙලා මාස 11 යි. සැමියා නැති වෙනකොට.   


මම උපතින්ම හින්දු. මහත්තයා කතෝලික නිසා විවාහ වෙන්න වසර තුනකට කලින් විතර මම කතෝලික ආගම වැලඳගත්තා.   


මගේ මහත්තයා යන්න ආසම කරපු තැන තමයි කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය. සෑම ඉරිදාම එයා නොවරදවා පල්ලියට ගියා. මම කතෝලික ආගමට ආවට පස්සේ නොවරදවාම මාවත් එක්කන් එයා හැම ඉරිදාම පල්ලි යනවා. මට බබා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තම එයා පුදුමාකාර විදිහට සතුටු වුණා. දැන ගත්ත දවසෙම අන්තෝනි මුනිතුමාට එයා බාර වුණා. එදා ඉඳලා මට යන්න බැහැ කිව්වත් බලෙන් හරි මාව පල්ලියට එක්කරගෙන යන්න මහත්තයාට ඕනෑ වුණා. අප්‍රේල් 21 වැනිදාත් මට යන්න අමාරුයි කියලා කිව්වාම අනේ අද විතරක් යමු කියලා එයා ආසම ගවුමක් අරගෙන ලෑස්ති කරලා 7.30 වෙනකොට පල්ලියට මාව එක්කගෙන ගියා.   


මම වාඩි වෙලා හිටියේ පිටි පස්සෙම බංකුවේ. මගේ පිටිපස්සෙන්ම තමයි මහත්තයත් හිටියේ. ස්තූති කතාව කරන අතරේ එක පාරටම ලොකු සද්දයක් ආවා. ඊට පස්සේ මොකද වුණේ කියලා මට මුකුත් මතක නැහැ. ටික වේලාවකින් බබා බඩට පයින් ගහනවා ව​ගේ දැනෙනවත් එක්කම මට සිහිය ආවා. මම නැගිටින්න උත්සාහ කළා. ඒත් මට නැගිටින්න බැරි වුණා. මහත්තයව මම දැක්කෙම නැහැ. බඩේ වේදනාවවත් මට දැනුණේ නැහැ. මගේ වම් පැත්තම ඒ වෙන කොට අප්‍රාණික වෙලා තිබුණේ. ඒ වෙලාවෙම කවුරු හරි මාව උස්සගෙන ගියා කියලා විතරයි මතක.   


මට බබා ලැබෙන්න දින දිලා තිබුණේ අප්‍රේල් 27 වෙනිදට. මාව හොස්පිටල් එකට අරගෙන ගිය ගමන්ම ඉස්සෙල්ලම බබාව ගත්තා. ඒ 22 වෙනිදා. ඔයාට පුතෙක් ලැබුණා. කියලා මගේ මූණට ළං කරලා පෙන්නලා අරගෙන ගියා. එදා ඉඳලා මම සති දෙකක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. බෙල්ල පිටිපස්සේ සුෂුම්නාව ළඟට තමයි යකඩ බෝලය වැදිලා තියෙන්නේ. මාව ජීවත් කරවන්න අමාරුයි කියලා වෛද්‍යවරු මගේ ගෙදර අයට කියලා තිබුණා. ඒත් මගේ ගෙදර අයගේ කැමැත්තෙන් මගේ ශල්‍යකර්මය කළා. කොහොම හරි දෙවියන් මට ජීවත් වෙන්න වාසනාව දුන්නා. මගේ මව් කිරි බබාට දුන්නෙම නැහැ. මම හිටියේ ජාතික රෝහලේ. පුතා හිටියේ රිජ්වේ එකේ. මාස දෙකකට පස්සේ තමයි පුතයි මමයි රෝහලෙන් ගෙදර ආවේ.   


මගේ මහත්තයා නැතිවෙලා කියලා මට කිව්වේ රෝහලෙන් ටිකට් කපාගෙන ගෙදර එන දවසේ. ඒ කියන්නේ මාස 2 කට පස්සේ. ගෙදර අය නෑදෑ හිත මිතුරන් වෛද්‍යවරු ඒ හැම කෙනෙක්ම මට මහත්තයා නැති වෙලා කියලා කිව්වේ නැහැ.   


මගේ මානසිකත්වය පුළුවන් තරම් හදලා තමයි එයාලා මහත්තයා නැති වෙලා​ කියලා කිව්වේ. මට ඒ වෙලාවේ මොනවා වුණාද කියලා මතක නැහැ. මට හීනෙකින්වත් මහත්තයා නැති වෙලා කියලා හිතුණේ නැහැ. මහත්තයත් තුවාල වෙලා රෝහලේ ඇති කියලා තමයි මාව බලන්න එන හැමෝම කිව්වේ. ඉක්මනට ටිකට් කපාගෙන පුතාවත් අරගෙන පුතාව මහත්තයට පෙන්නන්න යන්න මම හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. ඒත් ඒ වෙනකොට මගේ මහත්තයා අපිව දාලා යන්න ගිහින්.   


ඒ වේදනාව දරාගන්න බැරුව මම කෑ ගැහුවා. මම ඇහුවා අැයි මට කිව්වේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහත්තයාගේ මරණය කිව්වා නම් මාව කොහොමත් බේරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් පුතාට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙන නිසයි නොකිව්වේ කියලා වෛද්‍යවරු ගොඩක් මගේ හිත හැදුවා. මාව ගොඩක් ෂොක් වුණා. දරුවා බදාගෙන මුළු දවසක්ම මම ඇඬුවා. මේ වේදනාව මට මැරෙනකම් ඉවර කරන්න බැහැ. මගේ දරු පැටියාගේ මුණ දකින හැම තත්පරයකම මට පෙන්නේ මහත්තයාගේ මූණ.   


මට ජීවිතේ නැති කරගන්න හිතුන වාර අනන්තයි. ඒත් පුතාව මගේ අතට දුන්නම පුතා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෑ කියලා හිතුවා. මට හිත ශක්තිමත් කරගන්න කොහේ හරි ඉඳගෙන මට ශක්තිය දුන්නේ මගේ මහත්තයා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.   


ගෙදර ආපු ගමන් මම එයා වෙනුවෙන් අපේ ආගමේ විදිහට පින්කම් කළා. අපි මුණගැහුණ තැන, වෙන්වුණ තැන එයා ජීවිතේ ආස කරපු තැන සාන්ත අන්තෝනි දේවස්ථානයට මම පුළුවන් හැම වෙලාවකම එයා වෙනුවෙන් ගිහින් යාඥා කරනවා.   


මගේ මහත්තයා නැති වෙලා කියලා මගේ හිත තවමත් පිළිගන්නේ නැහැ.   


මට තව දෙයක් තියෙනවා කියන්න මා නිහඬ වීමි.   


මහත්තයා පල්ලියේදිම තමයි නැති වෙලා තියෙන්නේ. ඒ වෙලාවෙම මගේ අයියා කෙනෙක් පල්ලියට ගිහින් අපිව හොයලා තියෙනවා. පල්ලියේදී මහත්තයාගේ මරණය මගේ ඥාතීන් සොයාගෙන තියෙනවා. ඒ වෙලාවේ වෙඩින් මුද්ද, කරේ පවුම් 3 විතර රන් මාලයක්, බ්‍රේස්ලට් එක තිබිලා තියෙනවා. ඊට පස්සේ මරණේ රෝහලට ගෙනිහින් මගේ ඥාතීන් භාරගන්න ගියහම අඩුම තරමේ අතේ තිබුණු වෙඩින් මුද්දවත් තිබිලා නැහැ. මගේ ඥාතීන් පල්ලියේදී ගත්ත ඡායාරූපයේ කරේ තිබුණු රන් මාලය, මුද්ද තියෙනවා. රෝහලෙන් මගේ ගෙදර අයට මරණය භාර දෙන කොට රත්තරන් බඩු මුකුත්ම තිබිලා නැහැ. මට දැන් රත්තරංවලින් වැඩක් නැහැ. ඒත් වෙඩින් මුද්ද හරි තිබුණා නම් ඒක මතකයක් විදිහට මම ආරක්ෂා කරනවා.   


එ් පිළිබඳව නීතිය පැත්තෙන් අපි අවශ්‍ය දේවල් දැනට කරලා තියෙනවා. ඒ සිදුවීමත් එක්ක මේ මිනිස් සමාජය ගැන මට ගොඩක් කලකිරුණා.   


කොහොමද දැන් සාරණ්‍යගෙ අසනීප තත්ත්වය?   


වම් පැත්තම අතයි කකුලයි මගේ අප්‍රාණිකයි. අත උස්සන්න ඇවිදින්න අමාරුයි. වෛද්‍යවරු කියන්නේ බෙල්ලට වැදුණු යකඩ බෝලේ නිසා ස්නායු අප්‍රාණික වෙලා කියලා කකුලේ සමබරතාව නැහැ. පුතා ඉපදුණාට පස්සේ තවම පුතාව වඩා ගත්තෙම නැහැ.

   
ජාතික රෝහලේ තෙරපි සායනවලට මම නොවරදවාම යනවා. දැන් බෙහෙත් මුකුත් බොන්නේ නැහැ. බබාට කිරි දෙන්න ඕනෑ නිසා බොන බෙහෙත් නතර කළා. අතයි කකුලයි හොලවන්නම බැරුව මම ආවේ. දැන් ටිකක් සුවයි.   


කාලයක් යද්දි අතයි කකුලයි සනීප වේවි කියලා වෛද්‍යවරු කිව්වා. තවම මට මගේ වැඩවත් කරගන්න අමාරුයි. සතියකට සැරයක් මම තෙරපිවලට යනවා. ඉක්මනට සනීප වෙන්න තමයි මට ඕනෑ.   


රජයෙන් දෙනවා කියපු වන්දි මුදල ලැබුණද?   


මැරුණ අය වෙනුවෙන් දීපු වන්දි මුදල ලැබුණා. ඒත් තුවාල ලැබූ අයට රජයෙන් දෙනවා කියලා කියපු වන්දි මුදලෙන් රුපියලක්වත් තවම මට ලැබුණේ නැහැ. ඇත්තට සනීප වුණාට පස්සේ මුදල් ලැබිලා වැඩක් නැහැ. අපට මුදල් අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ. වන්දි මුදලට අවශ්‍ය කරන ලියකියවිලි භාර දීලා තියෙන්නේ. පුංචි පුතා නිසා මට ඇත්තටම දැනට ​ලොකු අාර්ථීක ප්‍රශ්න නැහැ. දරුවා ටික ටික ලොකු වෙද්දි තමයි මට ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ. මම කවදාවත් රැකියාවක් කරලා නැහැ. දැන් මට තියන ආබාධිත තත්ත්වයත් එක්ක මට රැකියාවක් කරන්න අමාරුයි.   


මගේ මහත්තයා රියැදුරෙක් විදියට තමයි රැකියාව කළේ. දරුවා ලැබෙන්න ඉඳපු දවසේ ඉඳලම මහත්තයා මමයි දරුවයි වෙනුවෙන් ගොඩක් කැප වුණා. එයාගේ හිතේ හීන ගොඩක් තිබුණා. දරුවගේ මුණ දකින්නවත් එයාට වාසනාව නැති වුණු එ්ක මට දරාගන්න බැහැ. ඇය නිහඬ වුණි. තම සැමියාගෙත් ඇයගෙත් සිය මංගල දිනයේ ලබා ගත් ඡායාරූපය ඇයගේ දෑස ඉදිරියේ තබාගෙන දෑසින් වැටුණු කඳුළු පිස දමමින් එය සිමින් නැවත මිමිනුවාය.  


සාරණ්‍යවයි පුතාවයි දැන් බලා ගන්නේ කවුද?   


මගේ තාත්තා. මගේ තාත්තා කුලියට ඇඳුම් මහනවා. ගෙදර වැඩයි, මගේ වැඩයි, දරුවගේ වැඩයි ඔක්කොම කරන්නේ මගේ අම්මා තාත්තා දවසට උපයන මුදලින්. අම්මා මගෙයි දරුවගෙයි අවශ්‍යතා සපුරනවා. පල්ලියෙන් වගේම සෙත් සරණ ආයතනයේ රාමනායක පියතුමා ඇතුළු සියලුම දෙනා නිතරම ඇවිත් හොයලා බලනවා.   


අවශ්‍යතා සියලු දේ ගෙනත් දෙනවා. මම නිතරම පල්ලියේ අයට වුණත් කරදර කරන්න කැමැති නැහැ. තියන විදිහට පිරිමහගෙන වැඩ කරගන්නවා. මම ඉල්ලන්නේ මගේ තාත්තාට රෙදි මහන රැකියාව කරගන්න මැෂින් එකක් රෙදි මහන්න තැනක් දෙනවා නම් අපට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.   


දැන් තාත්තා කුලියට රෙදි මහලා දවසට රුපියල් 800 වගේ හොයා ගන්නවා. සමහර දවසට රුපියලක්වත් නැති දවස් තියෙනවා. බිෂොප් හවුස් එකේ රාමනායක පියතුමා මැෂින් එකක් දෙනවා කියලා කිව්වා. තාත්තට රජයෙන් හරි රැකියාවක් දෙනව නම් ලොකු පිනක්. මාවයි දරුවවයි බලා ගන්නේ මගේ අම්මයි තාත්තයි. මට දැන් වෙන පිහිටක් නැහැ.   


අපි ජීවත් වෙන්නේ කුලී නිවසක. මාසික කුලිය දහ දාහයි. මහත්තයා වැඩ කරපු තැනින් කුලිය ගෙවාගන්න මුදල් දෙනවා කියලා කිව්වා. රජයෙන් නිවසක් ලබා දෙනවා කියලා තොරතුරු අරගෙන ගියා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් නිවසක් දෙනවා කියලා රජයෙන් පොරොන්දු වුණා.   


දැනට ගෙදර අයිති අය අපට සහනයක් දීලා තියෙනවා. පුළුවන් විදිහට රජයෙන් ගෙයක් දෙනකම් කුලිය ගෙවාගෙන මේ ගෙදර ඉන්නවා. 

 
බබාට සනීපාරක්ෂක දේවල්, පිටිවලට අනෙක් අවශ්‍යතා මාසෙකට අට දාහක් විතර වියදම යනවා.   


බබා තවම පිටි විතරක් බොන නිසා වියදම අඩුයි. එයාට ටික ටික කෑම දෙන්න පටන් ගත්තට පස්සේ වුවමනා කරන අවශ්‍යතා ගොඩක් තියෙනවා. රතු කුරුස සංවිධාන​යෙන් කතා කරලා කිව්වා. ඕනෑ දෙයක් කරන්නම් කියලා. මාස දෙකක් යනකම් මම කිසිම දෙයක් පල්ලියෙන්වත් ඉල්ලුවේ නැහැ.   


මම රතු කුරුස සංවිධානයෙන් අවශ්‍ය කරන ද්‍රව්‍ය කිහිපයක් ඉල්ලුවා. ඒ ගැන ඊට පස්සේ එයාලා කතා ක​රේම නැහැ. මම කවුරුවත් ගෙනත් දෙනකම් ඉන්නේ නැහැ. පුළුවන් විදියට අවශ්‍ය දේවල් මම ගන්නවා.   


මගේ තාත්තා කරන්නේ කුලී රස්සාවක් නිසා ගෙවල් කුලී, ගෙදර ලයිට් බිල්, වතුර බිල් ඇත්තට ගොඩක් අමාරුවෙන් ගෙවා ගන්නේ. හැමෝගෙම උදව්වෙන්. මේ උදව් අපිට හැමදාම බලාපොරොත්තු වෙන්න බැහැ. මම ඉල්ලන්නේ අනේ මගේ තාත්තට කොහොම හරි රස්සාවක් ලබා දෙන්න කියලා විතරයි.   


නිහඬ වූ ඇය කඳුළින් තෙත් වූ දෑස පිස දමමින් දෑතට ගත් පුංචි පුතු දෙස බලා සිටියාය. ඇයට උරුම වූ සදාකාලික වේදනාව ඇය වගේම අපගේ ද හිතට බොහෝ රිදුම් දුනි.   
හැකි අයෙක් වේ නම් ඔවුන්ට උදව් උපකාර කරන්න කතා කරන්න. (0112688999) ​සෙත් සරණ, අගරදගුරු නිවස. ඔවුන්ට ශක්තියක් වෙන්න හැකි නම් එය මහත් පුණ්‍යකර්මයක් වෙනු ඇත.   

 

 


නදීශා අතුකෝරළ   
ඡායාරූප - චානුක කුලසේකර