නොපෙනෙන බලයකින් ක‍්‍රියාත්මක වෙතැයි කියන අංගම් යැවීම නම් වූ මාරාන්තික කටයුත්ත දිගාමඩුලු වැව්ගම්පත්තුවේත් ඌව පළාතේත් බොහෝ සෙයින් ක‍්‍රියාත්මක වූ බව පසු ගිය සති කීපය පුරා මේ ලියුම්කරු විසින් කරන ලද ගවේෂණයේ දී අනාවරණය විය. ඇතැම් විට මෙය ලංකාවේ තවත් බොහෝ ප‍්‍රදේශවල ක්‍රියාත්මක වන්නට ඇතැයිද පැරණියෝ පවසති.   

 

අංගම් පිඹීමෙන් දැඩි ලෙස රෝගී වූ මිනිසුන්ව ඉන් ගොඩ ගන්නට ඇතැම් ගුරුන්නාන්සේලා වෙහෙස වූ බව ද පැරණියෝ සඳහන් කළ අතර ඒ අතරින් විශේෂිත අයකු පිළිබඳව ද අපට අසන්නට ලැබුණි. ඒ තැරෑලේ නායක ස්වාමීන් වහන්සේය. තැරෑල පන්සලේ වැඩ වාසය කළ උන්වහන්සේගේ නම වටුවනගම පියරතන හිමියන්ය. ඌවේ නමක් දිනා සිටි තැරෑලේ සඟ පරපුරේ එක් පුරුකක් වූ උන්වහන්සේ අංගම් ශාස්ත‍්‍රය පිළිබඳව හසළ දැනුමකින් යුතු වූ බව පැවසුවේ කුකුළංමුල්ලේ තිසවලංගු මුදියන්සේලාගේ සුදු බණ්ඩා (80) ගුරුන්නාන්සේය.   


අංගම් ශාස්ත‍්‍රයේ ඇති සූරිය අංගම හෙවත් සූරිය තිලක්කම අංගම පිළිබඳව තවදුරටත් අදහස් දැක් වූ සුදු බණ්ඩා ගුරුන්නාන්සේ මෙසේද සඳහන් කළේය.   


“සූරිය අංගම යවන්නෙත් උඩු සුළඟ බලලයි. හැබැයි පාන්දරම මේ අංගම පිඹින්න ඕනෑ. තදින් ඉර පායගෙන එනකොට මේක යැව්වට වැඩක් නෑ. නැගෙනහිරෙන් ඉර අහසට නගිනකොට තමා මේක පිඹින්න ඕන. මේක පිඹින්න ගම්මිරිස් ඇට භාවිත කරන්නේ නෑ. මේකට භාවිත කරන්නේ දුම්මල කුඩු පනස්හතර වාරයක් මතුරලා යැව්වොත් එච්චර අමාරු වෙන්නේ නෑ සනීප කර ගන්න ලේසියි. එකසිය අට වාරයක් මතුරලා යැව්වොත් ගොඩක් අමාරුයි. අංගම ආපස්සට කපන්න නම් හොඳ අත්දැකීම් ඇති ගුරුන්නාන්සේලා කීප දෙනෙක්ම ඕන වෙනවා”.   


“මම අංගම් ශාස්ත‍්‍රය ඉගෙන ගත්තා නමුත් කවමදාවත් ඒක පාවිච්චි කළේ නෑ. මගේ ගුරුන්නාන්සේ අංගම් යවන හැටිත් ඒවායින් මිනිස්සු බේරගන්න ක‍්‍රමයත් උගන්වලා කිව්වා කිසිම දවසක අංගම් යවන්න එපා කියලා. ඒ නිසා මම ගුරුන්නාන්සේගේ අවවාදය හිස් මුදුනින්ම පිළිගත්තා. එ්වා වැදිලා මිනිස්සු දුක් විඳපු හැටි මම හොඳටම දැකලා තියෙනවා. ඒ නිසා තවත් කෙනෙකුට ඒක කරන්න කවමදාවත් මට හිත දුන්නේ නෑ. එ් නිසයි අපි මෙච්චර කාලයක් නිරෝගීව ජීවත් වෙන්නේ. ඉතාමත් නරක විදිහට ඒවා කරපු මිනිස්සු දුක් විඳලා මැරිලා ගියා”.   


“මගේ ගුරුන්නාන්සේට මන්තර දාහකට වඩා පාඩම් තිබුණා. මේ මන්තර ආදි කාලේ ඉඳලා පැවත ආවේ පුස්කොළ පොත්වල සහ තල් කොළවල ලියලා තිබුණ නිසා. අපි මියගිය දවසක මේ ශාස්ත‍්‍රය ඉවරයි. එහෙම වෙන එකත් හොඳයි. මම මගේ දරුවෙකුටවත් මේවා ඉගැන්නුවේ නෑ. මුල් කාලයේදී නම් මම ගෝලයෝ පස්දෙනෙකුට මේවා උගන්නගෙන ආවා. ඒත් ටික දවසක් යනකොට මට තේරුණා මේ අය මේවා දැනගන්න එකවත් සුදුසු නෑ කියලා. ඒ අය අරක්කු බොන බේබද්දෝ කියලා මම පස්සෙ දැන ගත්තේ. ඒ නිසා මම උන්ව අත් ඇරලා දැම්මා”.   


අංගමක් වැදුණු අයකු සනීප කරලීම සඳහා ගුරුන්නාන්සේලා අවසන් වශයෙන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය වූයේ හත් අඩිය කැපීම නම් ශාන්ති කර්මය බව මීට පෙර අපි සඳහන් කළෙමු. එම ශාන්ති කර්මය සඳහා බුදු ගුණ කියැවීමක් මෙන්ම මන්ත‍්‍ර ජප කිරීමක්ද සිදු කෙරේ. එසේ ජප කරන මන්තරයක කොටසක් සහ බුදු ගුණ කොටසක් කුකුළංමුල්ලේ සුදු බණ්ඩා ගුරුන්නාන්සේ මෙසේ සඳහන් කළේය.   


‘එක් වර බෝසත් අසු පිට නගිමින් තිස් යොදුන් ගෙවා යතෙයි - වික‍්‍රම බල ඇති වස වතු ඇවිදින් ඉස්වර රැක සිටිතෙයි - මතු බුදු බවම පතාගෙන බෝ මුල වැඩ ඉදිතෙයි - එක් අඩියට කළ ඉර කටු බන්ධන එමුනි අණින් කපතෙයි - ඕං රාම රාම නෙයියුං අඩි වංද පේසාලාඩි කුඩි වංද කුඩි රාමනේ - කයි වංද පේසාලාඩි අම්මානේ අඩි වංද - තම අත කඩුවෙන් කෙහෙ රැල් කපමින් අහසට දිගු කරතෙයි - දිගු නෙත දකිමින් මහ බඹු ගෙන දුන් පිරිකර පිළි ගනිතෙයි - සරිවත රජගහ නුවරින් දන් පිළිගන්නට වැඩමවතෙයි - දුරුවත කළ විණ දෙවනුව අඩියෙන් යන්ට කපා හරිතෙයි..... ඕං ඉරි ගෙඩි මුණ්ඩියානේ එන්නානේ කිඩ......’   


මෙහි බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම දෙමළ වචන වැනි වචන ඇසේ. හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ද සුදු බණ්ඩා ගුරුන්නාන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙහිදී යන්ත‍්‍ර ලෙසින් හඳුන්වනු ලබන්නේ පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද බව පසුගිය සතියේ අපි සටහන් කළෙමු. ඒවා මත තැබූ දෙහි ගෙඩි යාගය අවසානයේදී කැපීම යන්ත‍්‍ර කැපීම නම් වේ. මෙහිදී දිග කවි මෙන්ම කෙටි කවි ද සංගායනා කරනු ලැබේ. මෙම යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම්, හදි, හූනියම් ශාන්ති කර්ම සහ අණවින ආදියට මුළු ලෝකය සඳහාම ඍෂිවරු නම දෙනෙක් සිටින බවත් මේවා ඔවුන්ගෙන් පැවත එන දේවල් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.   


අංගම් පිළිබඳව සඳහන් කළ ඔහු එහි ඇති බැරෑරුම්කම පිළිබඳව ද සඳහන් කළේ මෙසේය.   

 


“ගම්මිරිස් ඇට පාවිච්චි කරලා අංගමක් යවනකොට සහ දුම්මල කුඩු පාවිච්චි කරලා අංගමක් යවද්දි ඒවා යවන කෙනාගේ නහයට ආග‍්‍රහණය වුණොත් යවන කෙනාට වදිනවා. ගම්මිරිස් ඇට ටික කටේ දාලා කුඩු කරාට පස්සේ කට ඇතුළේ දත් අතරේ ගම්මිරිස් ඇට කෑල්ලක්වත් තියෙන්න හොඳ නෑ එහෙම තිබුණොත් මන්තරය මතුරලා පිඹිනකොට එයාම නහයෙන් කටින් ලේ දාගෙන වැටෙනවා.”   
“අංගම් ගැන කතා කරද්දි මට තවත් දෙයක් මතක් වෙනවා. මීට අවුරුදු හැටකට විතර කලින් අපි බුද්ධම පන්සලේ පිංකම් බලන්න ගියා. ඒ දවස්වල පිංකමක් කිව්වම කවුරුත් පන්සල් යනවා. ලොකු කුඩා භේදයක් නැතිව යන මේ ගමන හරිම විනෝදජනකයි. අද වගේ යාන වාහන නෑ. සමහරු කරත්තවල යනවා තවත් සමහරු පයින් යනවා. හුළු අතු හෝ පන්දම් තමා අතේ තියෙන්නේ. ළඟ පාත අය නම් ආපහු ගෙවල්වලට එනවා. ඒත් දුර බැහැර අය පන්සලේම නතර වෙලා පහුවදා තමා ගෙවල්වලට යන්නේ. කොහොම කළත් හුඟක් දෙනෙක් අංගම්වලට ආරක්‍ෂාවක් යොදාගෙන තමා පන්සලට යන්නේ. සමහරු තෙල් මතුරගෙන නළලේ ගාගෙන යනවා. තවත් සමහරු නූල් මතුරලා අතේ කරේ හෝ ඉණේ බැඳගෙන යනවා. තවත් අය දෙහි ගෙඩි මතුරගෙන අරගෙන යනවා. සමහර නඩවල ගුරුන්නාන්සේ කෙනෙකුත් යනවා. එහෙම කෙනෙක් යන එක නඩේ අයගේ හිතටත් ලොකු සහනයක්. ඉතින් එදත් පන්සලේම රෑ බෝ වුණා. සරමකුයි බැනියමකුයි ඇඳගත්ත කෙනෙක් අපි හිටපු තැනට ආසන්නයෙන් හිටියා. ඊට එහා පැත්තෙන් ගෑනු වගයක් මහ හයියෙන් හිනා වුණා. පන්සලක එහෙම හිනා වෙන සිරිතක් නෑනේ. ඉතින් අර කිව්ව මනුස්සයා ගිහින් ඒ ගෑනු දෙතුන් දෙනාට අවවාද කළා. ඒත් ඒ ගෑනු ටික විඩෙන් විඩේට හිනාවෙනවා මහ හයියෙන් කතා කරනවා ඉවරයක් නෑ. ටික වෙලාවකින් සද්දේ අඩු වුණා. අර මනුස්සයත් කොහේදෝ ගිහිල්ලා ආපහු ඇවිත් ඒ කිට්ටුව හිටියා. මමත් ඉතින් යාළුවෝ කට්ටියක් එක්ක පොඩි කයියක් ගහගෙන හිටියේ. දැන් රෑ දහය එකොළහත් පහු වෙලා. තැන් තැන්වල සමහරු නිදි. එක සැරේම ගෑනු කීප දෙනෙක් කෑ ගහන සද්දයක් ඇහුණා. බැලින්නම් අර ගෑනු නඩේ දෙන්නෙක් වැටිලා දඟලනවා. හැමෝම එතැනට කිට්ටු වුණා. කවුරු හරි කෙනෙක් වතුර ඉස්සා. ඒත් හරි ගියේ නෑ. සෙනඟ අතරින් ඔළුව දාපු අර මනුස්සයා ඕක තමා තැනක සංවරව හැසිරෙන්න ඕන කියන්නේ කියලා ඇහෙන නෑහෙන ගාණට කිව්වා. ඔය අතරේ පන්සල් භූමියේ හිටපු තවත් ගුරුන්නාන්සේ කෙනෙක් වතුර මතුරලා මූණේ ගෑවා. ඊට පස්සේ දෙන්නම නැගිට්ටා. තවත් අමාරු වුණොත් ගිනිහංවල කපාපව් කියලා ඒ ගෑනුන්ගේ භාර කාරයන්ට කිව්වා. මම ආපහු අර මනුස්සයාව මතක් වෙලා වට පිට බැලුවා. මිනිහා පේන්න හිටියේ නෑ. පස්සේ තමයි දැන ගන්න ලැබුණේ ඒ මනුස්සයා මේ ගෑනුන්ට අංගමක් යවපු බව. මමත් ඒ දවස්වල මේවා ගැන උනන්දු නිසා අර ගෑනුන්ට මොකද වුණේ කියලා පසුව හොයලා බැලුවා. නමුත් ඒ අයට එතැනින් එහාට කරදරයක් වෙලා නෑ කියලා ආරංචි වුණා. මම ගුරුන්නාන්සේ කෙනෙක්ගෙන් ඇහුවාම එයා කිව්වේ පොඩි මැතිරීමක් විතරක් කරලා තිබුණ නිසා ප‍්‍රශ්නයක් වෙලා නෑ කියලා. පන්සලක අසංවරව හැසිරුණ නිසා පොඩි දඬුවමක් දෙන්න ඇති කියලත් කිව්වා. මේ ගෑනු ආරක්‍ෂාවක්වත් කරගෙන නෑ. ඒකයි අංගම වැදුණේ කියලත් කිව්වා”.   


“ඔය හත් අඩිය සහ ගිනිහංවල කැපීම කියන එක අංගම්වලට විතරක් නෙවෙයි වෙනත් ලෙඩ රෝග සුව කරන්නත් උපකාර වෙනවා. මීට අවුරුදු හත අටකට කලින් අම්පාර බුද්ධංගල පන්සලේ කළුතර ධම්මානන්ද ලොකු හාමුදුරුවන්ටත් මම හත් අඩිය කැපුවා. අවුරුදු කීපයක් තිස්සේ උන්වහන්සේ ලෙඩ රෝගවලින් පෙළුණා. අතපය රුදාව කැක්කුම, මතකය නැති වීම ආදී නොයෙකුත් රෝගාබාධ තිබුණා. මම හත් අඩිය කපන දවසේ තවත් හාමුදුරුවරු 21 දෙනෙක් වැඩම කරලා හිටියා. ඒ කැපිල්ලෙන් පස්සේ උන්නාන්සේ තවත් සෑහෙන කාලයක් නිරෝගීව ජීවත් වුණා”.   


“අංගම් ශාස්ත‍්‍රය බොහෝම බලගතු ශාස්ත‍්‍රයක්. අපි අහපු දැකපු කරපු දේවල් අනුව කාටවත් ඒවා නෑ කියන්න බෑ.   


අංගමක් යවලා සතකු බිම දමන්නට නොහැකි දැයි මා ඇසූ පැනයට පිළිතුරු දුන් සුදු බණ්ඩා ගුරුන්නාන්සේ කියා සිටියේ එවැන්නක් අත්හදා බලා හෝ එවැන්නක් කළ බවට අසා නැති බැවින් ඒ පිළිබඳව යමක් කිව නොහැකි බවයි’’.   


ඩී.එම්.පී. දිසානායක (72) මහත්මිය දකුණු වැව්ගම්පත්තුවේ ඉපිද එහි හැදී වැඩී පසුව බස්නාහිර පළාතට ගිය අයෙකි. ඇය විශ‍්‍රාමික විදුහල්පතිනියක් ද වේ. අංගම් ශාස්ත‍්‍රය පිළිබඳව ඇය ලැබූ අත්දැකීමක් මෙසේ සඳහන් කළාය.   


“අපේ ගමේ පන්සල තමයි මඩාන පුරාණ ආලෝක රජමහා විහාරය. අපි පුංචි කාලෙදී අම්මලා තාත්තලා එක්ක තමා පන්සල් ගියේ. මට හොඳට මතකයි මීට අවුරුදු 60කට විතර කලින් දවසක් රාත්‍රියේ පන්සල් ගියා. මමත් මගේ නංගිත් සහෝදරයන් කීප දෙනෙකුත් අම්මලා තාත්තලා එක්ක තමයි ගියේ. ගමන පිටත් වෙන්න කලිනුත් අම්මයි තාත්තයි කතා වුණා අංගම්කාරයෝ ඉන්නවා ඒ නිසා පරිස්සම් වෙන්න ඕන කියලා. ඇත්තෙන්ම ඒ කාලේ අපටත් ඒවා ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. ඒ කාලේ අද වගේ නෙවෙයි පන්සල්වල හැම පෝයකටම පිංකම් කටයුතු වගේම සල්පිල්, භාණ්ඩ වෙන්දේසිය, කුසුම් බඳුන වෙන්දේසිය, බෞද්ධ නාට්‍ය සංදර්ශන තිබුණා. ගමේ අය විතරක් නෙවෙයි අහල ගම් හතේම මිනිස්සු මේවා බලන්න එනවා. පන්සල් යන හැම දවසකම අපේ තාත්තා අපිව සෙනඟ මැදටම එක්ක යනවා. එහෙම කරන්නේ කාටවත් යවන අංගමක් අපට වැදෙයි කියලා බයට. එදා හිටපු ගමන් කට්ටිය ගෑ ගහන්න ගත්තා “අංගමක් අංගමක්” කියලා හුඟක් දෙනෙක් ඒ පැත්තට දිව්වා. නමුත් තාත්තා අපට ඒ පැත්තට යන්න දුන්නේ නෑ. පස්සේ තාත්තා අපට විස්තරේ කිව්වා. අංගමක් වැදුණු මනුස්සයෙක් කටින් සෙම දාගෙන වැටිලා දැඟලුවාලු. කවුරුවත් ළං වෙලා නෑ. කෙනෙක් ගිහිල්ලා පන්සලේ හාමුදුරුවන්ට කිව්වට පස්සේ හාමුදුරුවෝ් පිරිත් පැන් කළෙන් පිරිත් වතුර ටිකක් අරගෙන ඇවිත් අර මනුස්සයාගේ මූණට ඉස්සාට පස්සේ එයා පියවි තත්ත්වයට පත් වෙලා නැගිට්ටලු”.   


පහළ ඌවේ බුද්ධම රජමහා විහාරයේ විහාරාධිපති පානම යායේ රතනසාර හිමියෝ (62) අංගම් පිළිබඳව කරුණු පළ කළේ මෙසේය.   
“මීට අවුරුදු හැත්තෑවකට කලින් මේ පන්සලේ නායක හාමුදුරුවෝ විදිහට කටයුතු කළේ තැරෑලේ නායක හාමුදුරුවෝ. මගේ මතකයේ හැටියට උන්වහන්සේ අපවත් වෙනකොට වයස අවුරුදු සීයත් පසු කරලයි හිටියේ. අපවත් වුණේ 1980දී විතර. උන්වහන්සේ එක්තරා කාලයක වටුවන ගම පියරතන හාමුදුරුවෝ කියලත් නම භාවිත කරලා තිබුණා. කොහොම නමුත් ජනතාව අතර ප‍්‍රසිද්ධ වුණේ තැරෑලේ නායක හාමුදුරුවෝ විදිහටයි.   


පසු කාලෙක බුද්ධම පියරතන කියලා නම වෙනස් කරගෙන තියෙනවා. ඉතින් උන්නාන්සේ කාලයක් මේ පන්සලේ වැඩවාසය කරලා, උන්වහන්සේගේ පැවිදි සහෝදරයෙකු වෙන තැරෑලේ පියදස්සි හාමුදුරුවන්ට පන්සල භාර කරලා තැරෑලේ පන්සලට වැඩම කරලා තියෙනවා. උන්වහන්සේව සමහරු හඳුන්වා දීලා තියෙන්නේ වෙල්ලස්සේ සඟ රජු කියලයි. උන්වහන්සේ හොඳ දැනුමකින් සහ බුද්ධියකින් යුතු නායක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කාලේ බුද්ධම පන්සලේ මොනයම්ම හෝ පිංකම් කටයුත්තක් තියෙනවා නම් තැරෑලේ නායක හාමුදුරුවන්ව වැඩම කරවනවා. උන්වහන්සේ නැත්නම් පන්සලේ පිංකම් කටයුත්තක් කරන එක අතිශයින්ම අවදානම් කටයුත්තක් විදිහටයි දායකයෝ සැලකුවේ. ඒකට හේතුව තමයි අංගම් පිඹීම. උන්වහන්සේ ඉන්නවා නම් කවුරු හරි අංගමක් පිම්ඹත් වතුර මතුරලා ලෙඩාව සනීප කරවනවා. උන්වහන්සේ නෑ කියලා දැන ගත්තාම අංගම් ගුරුන්නාන්සේලාත් පන්සලේ කැරකෙනවා.මිනිස්සු ඉන්නෙත් බයෙන්. උන්වහන්සේ අංගම් වැදුණු ගොඩාක් දෙනෙක් සුවපත් කරලා තියෙනවා.  


“අංගම් පිඹීම බලපුළුවන්කාරකම පෙන්නන්නත් තරහකාරයන්ගෙන් පළිගන්නත් කරන වැඩක්. මේ වැඩේ නිසා බුද්ධමට සැතපුම් හතරක් පමණ ඈතින් තිබුණු වන මැද ගමක් මීට අවුරුදු හැත්තෑවකට අසූවකට විතර කලින් එහෙම පිටින්ම විනාස වෙලා ගිහින් තියෙනවා. කෙසෙල්කුඹුර කියන මේ ගමේ හිටපු ගුරුන්නාන්සේලා බලපුළුවන්කාරකම් සහ පළිගැනීම් සඳහා දිගින් දිගටම අංගම් හදි හූනියම් ආදී නොයෙකුත් දේවල් කරගෙන තියෙනවා. ගමේ මිනිස්සු එකා එකා මැරෙන්නත් ලෙඩ වෙන්නත් ගත්තලු. හැම පවුලකම පිරිමි දරුවොන්ට කිසිම ගැලවීමක් නැති වුණා කියලයි කියන්නේ. බේරෙන්න බැරිම තැන අන්තිමට සමහරු ගමෙන් පිට වුණාලු. දැන් නැවතත් ඒ ගම තිබුණ ප‍්‍රදේශය හේන් වගාව ඇතුළු කටයුතු සඳහා එළිවෙමින් පවතිනවා”.   


අංගම් පිළිබඳව පළ වූ ලිපි පෙළ දුටු බොහෝ දෙනා මේ පිළිබඳව ඇති ලිඛිත මූලාශ‍්‍ර තිබේ නම් ඉදිරිපත් කරන ලෙස මේ ලියුම්කරු අමතා ඉල්ලා සිටියහ. සමහරු ඒ පිළිබඳව අභියෝග කළහ. ඒ අනුව මීට වසර 69කට පෙර දකුණු වැව්ගම්පත්තුවේ දමන විද්‍යාලයේ සිටි මහානාම රාජපක්‍ෂ මුල් ගුරුතුමන් විසින් මායා රංජන් නම් ආරූඪ නාමයෙන් ලියන ලද දිගාමඩුල්ලේ ආශ්චර්යය නම් වූ මාහැඟි කෘතියේ ඇති අංගම් පිළිබඳ සටහනක් මෙසේ ගෙනහැර දක්වමි.   


එදා අප තොට්ටම පන්සල් යන්නට කරත්තය බඳින විට, මුතු බණ්ඩාගේ අප්පච්චි ඔහුට දුන් අවවාදය මට තවමත් මතකය.   
“පුත, තැන තැන දුව-පැන ඇවිදින්නේ නැතුං බලාගෙන එන්ඩ ඕනෑ - එක එකා අංගම් පිඹිත්”   


මේ ඔහු කී සැටියි. අංගම් පිඹීම මෙහි පන්සල්වල දී නිතර කැරෙන හාස්කමෙකි. මන්තර දන්නන් ඔවුන්ගේ බල පළ කරනු පිණිසත්, තරහ අයගෙන් පළිගන්නා පිණිසත් කරනු බැව් කියනු ලැබේ. පිඹිණු අංගම වැදෙන්නෝ නාහින් කටින් ලේ දමාගෙන සිහිනැතිව ඇද වැටෙති. සමහරු මායම් වන්නට පටන් ගනිති. එය සුව කළ හැක්කේද නැවත ආපසු මන්තරය ජප කිරීමෙනැයි කියති.   


එක් පින්කම් රැයෙක නඛා වෙහෙරේදී ගැහැනියක් අංගමක් වැදී දඟලනු මම දිටිමි. කොක්නහර නම් ගමින් අපේ නඩයේම ගොස් සිටි ඕ, තිස් හැවිරිදි පමණ ඇති දරු මල්ලන් සහිත කතක් වූවාය. පන්සලේ සිට යන්නට යන ගමන් දොරටුව අසලදී වෙළෙන්දෙකුගෙන් බුලත් විට ගන්නට අපි නතර වුණෙමු. ගමේම තවත් ගැහැනු පිරිමින් අතර සිටි ඕ තොමෝ හදිසියෙන්ම දෑත් ඉහළ ඔසොවා කෑ ගසමින් දඟලන්නට වූවාය. අංගමක්-අංගමක් කියමින් ඇගේම මස්සිනා වන අයෙක් ඉදිරියට පැන පිටිපසින් දෙවුර බදා ඇය අල්ලාගෙන ඉහළ එසෙවීය. එවිට ඈ අත් පා ගසන්නට වූයෙන් තවත් අය ඒවාද අල්ලා මිරිකා ගත්හ. මමත් එක් පයෙකින් අල්ලාගෙන නිසල කරවන්නට වෑයම් කළෙමි. අප හා අවුත් සිටි දමන යකුන්නැහේ වතුරට මතුරා ඇගේ මුහුණට ගැසීය. ඉන් පසු ඕ සුවපත් වූවාය. එහෙත් පරීක්‍ෂාවෙන් ඇගේ නෙත් දෙස මුල සිට බලා සිටි මට වියරු බැල්මක් නම් එහි නොපෙනිණි!   


සටහන ඡායාරූප - 
දිගාමඩුල්ලේ සමන් දිසානායක