සඳලුතලෙන් ගොවි බිමට පා තැබූ මිනිසා   
ඉසිවර දෑසින් අනාගතය දුටු මිනිසා   
රටකට බත සපයන්නට කැපවූ මිනිසා   
වැගිරූ දහඩිය නිල් ගොයමක් කළ මිනිසා   


මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදමාලාවට හඬ මුසු කරනුයේ අමරසිරි පීරිස් සහ සමන්ත පෙරේරා යන ප්‍රවීණ ගායකයන්ය. එහි සංගීතය සමන්ත පෙරේරාගෙනි. සඳලුතලාවෙන් ගොවි බිමට පා තැබූ මිනිසාගේ කතාව නිදහසේ පියා ලෙසින් සිනමාවට තනන්නේ සුනෙත් මාලිංග ලොකුහේවාය.   


කන්දඋඩරට ගිවිසුවෙන් පසු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. එද‌ා සිට ලංකාවේ එසවුණේ බ්‍රිතාන්‍ය කොඩියය. ලංකාව පාලනය වූයේ බ්‍රිතාන්‍ය නීතිරිතිවලට අනුවය. ලංකාවේ ස්වභාවික සම්පත් හා මිනිස් ශ්‍රමය තමන්ට ග්‍රහණය කරගත් බ්‍රිතාන්‍ය පාලනය දවසින් දවස මෙරට වැසියන් සිය වහලුන් බවට පත්කරගත්තේය.   


තමන්ගේම ඉඩම් රජයට දුන් ගොවීහු පරාධීනයන් ලෙස පීඩාකාරී ජීවිත ගතකළහ. වරින්වර සැබෑ නිදහස උදෙසා දේශප්‍රේමීන් පෙළ ගැසුණ ද පාවා දෙන්නන් හමුවේ එම සටන් පරාජය වූවේය.   


එවන් වූ පසුබිමක මිත්‍රත්වයේ හස්තය දිගුකර සුද්ද‌ාගේ කරට අත ද‌ාගෙන රුධිරය ගලා යන යුද්ධයක් නොකර මෙරටට නිදහස ලබා දීමට මැදිහත් වූ ප්‍රබල නායකයා වූයේ ඩී.ඇස්. සේනානායකයන්ය.   


 ඒ නිසාම ඔහු ‘ජාතියේ පියා’ ලෙස විරුද‌ාවලි ලැබුවේය. ඒ උද‌ාර වූ චරිතාපදානය සිනමාවට නැගීම සුනෙත් මාලිංග නම් සිනමා අධ්‍යක්ෂවරයාගේ සිහිනයක් විය. මෙතෙක් කිසිවකු නොසිතූ නොකරන ලද අලුත් දෙයක් පළමුවරට තමා අතින් සිදුකිරීම ඔහුගේ අපේක්ෂාව විය.   


ඒ අනුව මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන්ගේ චරිතාපදානය පළමු වරට සිනමාවට නැංවිණ. ඒ පිළිබඳව සුනෙත් මාලිංගගේ සමග අප කළ කතාබහ මෙසේය.   


නිදහසේ පියා සිනමා පටයේ ​අධ්‍යක්ෂ   

සුනෙත් මාලිංග ලෝකුහේවා 

 
ඩී.ඇස්. සේනානායක මැතිඳුන්ගේ චරිතාපද‌ානය සිනමාවට ගේන්න හිතුවේ ඇයි?

   
මේ නිර්මාණය සිනමාගත කිරීමට මූලික හේතුව ලංකාවේ මෙපමණ කාලයක් දේශපාලන චරිතාපද‌ානයක් සිනමාවට එක් නොවීම. අධ්‍යක්ෂවරයෙකු විදියට මම කැමැති විවිධ තේමාවල චිත්‍රපට නිර්මාණය කරන්න. මගේ පළවෙනි චිත්‍රපටිය ‘සිංහාවලෝකනය’ එය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුල්කරගත් පළමු චිත්‍රපටියයි. ඒ විදියට විශේෂිත තේමාවල චිත්‍රපටි හදන්න මම කැමැතියි. මට මේ වගේ චිත්‍රපටියක් හදන අදහස ආවේ 2015 දී පමණය. 2018 වසරේ 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමේ ඉලක්කය ඇතුවයි රූගත කිරීම් ආරම්භ කළේ.   


මෙම කාර්ය සාර්ථක කරගන්න එකතු වූයේ කවුද?   


මේකේ තාක්ෂණික ශිල්පීන් විශාල ප්‍රමාණයක් සහ නිෂ්පාදකවරුන් 10 දෙනෙක් ඉන්නවා. මෙම සම්මානනීය දක්ෂ තාක්ෂණික ශිල්පීන්ගේ සහාය හා නිෂ්පාදකවරුන්ගේ මූල්‍ය ද‌ායකත්වය මතයි මෙය නිර්මාණය කළේ.   
මෙම තාක්ෂණ ශිල්පීන්ගේ අදහස් අනුවයි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් පවා තෝරා ගත්තේ. හැම පොඩි චරිතයක සිටම දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් යොද‌ා ගැනීමට ප්‍රමුඛත්වය දුන්නා. වසර තුනක කාලයක් මේ වෙනුවෙන් කැපවුණා. ඒ සියලු කැපවීම්වල ප්‍රතිඵලයයි ගිය 12 වැනිද‌ා අපි එළිදැක්වූවේ.   


සිනමා පටයේ එන චරිතවලින් සැබෑ ජීවිතයේ සිටි ප්‍රභූ චරිතවලට කොහොමද සාධාරණීකරණය කළේ?   


මුලින්ම චිත්‍රපටියේ අන්තර්ගත චරිත වර්ග 2 ට වෙන්කර ගත්තා. දැනට ඡායාරූප හෝ වීඩියෝ පට තිබෙන චරිත මොනවාද? එහෙම නැති චරිත මොනවද කියලා හොයා බැලුවා. උද‌ාහරණයකට ගත්තොත් ඩී.ඇස්. සේනානායක මහතාගේ දේශපාලනයට ලොකු පිටුවහලක් වන්නේ ඔහුගේ සොයුරු එෆ්.ආර්. සේනානායක මැතිතුමායි. එෆ්.ආර්. සේනානායක එතුමාගේ ඡායාරූප තිබුණාට වීඩියෝපට හොයා ගන්න බැරිවුණා. ඒ නිසා අපේ වර්ගීකරණයට අනුව එවැනි චරිත වෙන් කරලා තොරතුරු වෙන වෙනම හොයා බැලුවා.   


 මේ චිත්‍රපටියට නළු නිළියන් තෝරා ගන්නා විට ඒ චරිතවල විවිධ අංගචලන වාග් විලාසයන්වල අවස්ථා ආදියට ගැළපෙන මුහුණුවර ඇති රංගනශිල්පීන් හොයා බැලුවා.   


මෙහිදී කෙනෙක් කියන්න පුළුවන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ චරිතයට උදිත්ව තෝරා ගැනීම හරිද? කියලා. එතුමා දිවංගත වන විට තිබුණු මුහුණුවරයි අපිට මතකයේ තිබෙන්නේ. ඒත් අපිට චිත්‍රපටියට අවශ්‍ය වුණේ අවුරුදු 25 ත් 30 ත් අතර තරුණ අවධියේ සිටි ජේ.ආර්. ජයවර්ධන මහත්තයගේ මුහුණුවරයි. ඒ තරුණ කාලයට ගැළපෙන්නයි අපි උදිතව තෝරා ගත්තේ. අනික් චරිතත් එසේමයි.   


 අපි ප්‍රධානම චරිත 35 ට පමණ මුහුණුවරටම සමාන නළුනිළියන් තෝරා ගත්තා. එම නළු නිළියන්ට අපි සැබෑ චරිත අන්තර්ගත ඩී.වී.ඩී. පට හා තොරතුරු ලබා දුන්නා. ඒවා අධ්‍යයනය කරලයි තම තමන් රඟපාන ප්‍රභූවරයාගේ චරිතය තේරුම් ගැනීම සිදුවුණේ. සමහර අයට ඒ ඒ චරිත ගොඩක් අධ්‍යයනය කරන්න සිදුවුණා. සමහර අයට එතරම් ලොකු කැපකිරීමක් කරන්න වුණේ නෑ.   


 අපි දන්නවා මේ චිත්‍රපටියේ ඉන්න ​ෙද්ශපාලන චරිත මේ රටේ ප්‍රධාන ​ෙද්ශපාලනඥයන්ගේ චරිත බව. ඔවුන්ගේ චරිත පිළිබඳව වෙන වෙනමත් චිත්‍රපටි හදන්න පුළුවන්. බණ්ඩාරනායක මහත්තයා වැනි චරිත උදඳාහරණයි. ඒත් මේ පැය දෙකක කතාව ඇතුළේ එවැනි චරිත සම්පූර්ණ ලෙස පෙන්වන්න බැරි වෙනවා. හේතුව මෙතනදී ගොඩක්ම කේන්ද්‍රගත කරන්නේ ඩී.ඇස්. සේනානායක මැතිතුමාගේ චරිතය හා ඔහු අනිත් ජාතික නායකයන් සමඟ එකතුවෙලා නිදහස ලබා ගැනීම සඳහා කරපු අරගලය නිසයි.   


 එය කේන්ද්‍රකරගෙන කළ සිනමා නිර්මාණයක් මේක. ඒ නිසා පසුකලෙක රටේ අගමැති මෙන්ම ජනාධිපති වූ චරිත පවා සුළු වේලාවක් ඉන්න චරිත වෙලා තිබෙනවා. ඒත් ඒවා වෙන වෙනම සිනමා නිර්මාණ කළ හැකි දැවැන්ත චරිත බව මම ආයෙත් කියනවා. ඒ නිසා අපි පෙන්වන චිත්‍රපටියේ පැය දෙකේ කාලයට ප්‍රමාණවත් ලෙස ඔවුන් මෙහෙයවා ගත්තා. 

 
ඩී.ඇස්. චරිතයට සියයට සීයක් සාධාරණිකරණය කිරීමට තොරතුරු ලබා ගත්තේ කොහොමද?   


ඒ සඳහා අපිට ලොකු පිරිසක් ද‌ායක කරගන්න සිද්ධවුණා. විශේෂයෙන්ම ඩී.ඇස්. සේනානායක ගුණානුස්මරණ කමිටුවෙන් එතුමා පිළිබඳ පොතක් නිකුත් කරලා තිබුණා. එ් පොතේ තොරතුරු අපි යොද‌ාගත්තා. ඒ වගේම තව පොත් ගොඩක් අපි භාවිත කළා.   


 කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සෙසු චරිත පිළිබඳ තොරතුරු හොයන්න උදව් කළා. අපි ලියපු තොරතුරු තවත් විද්වත් පිරිසකට පෙන්නලා ඔවුන්ගේ අදහස් ලබා ගත්තා.   


මාස නවයක වසරක පමණ කාලයක් කතාව වෙනුවෙන් මහන්සි වුණා. ලියලා ඉවර කරපු කතාව සම්පූර්ණයෙන් රූගත කළා නම් එය පැය 4 ක පමණ සිනමා පටයක් වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වුණා රූගත කිරීම් යන අතරතුරෙත් සංශෝධනය කිරීම් සිදුකරමින් සංස්කරණය කරන්න. ඒ අනුවයි පැය 2 යි විනාඩි 9 ක සිනමා පටයක් නිර්මාණය වන්නේ.   


සිනමා පටයේ අන්තර්ගත සිදුවීම්වල පසුතල සැකසුණේ කොහොමද?   


අපි රූගත කිරීමට මීරිගම අවට ග්‍රාමීය ප්‍රදේශ භාවිත කළා. මහනුවර, රන්මිණිතැන්න, අනුරාධපුරය, කොළඹ යන ප්‍රදේශවලත් රූගත කිරීම් කළා. රන්මිණිතැන්නේදී අලුතින්ම පසුතල නිර්මාණය කරන්න පුළුවන් වුණා. සම්පූර්ණයෙන්ම පසුතල 17 ක් මේ නිර්මාණය වෙනුවෙන් සැකසුවා.   


 විශේෂයෙන්ම සේනානායක මහතාගේ පවුලේ ව්‍යාපාරය වුණේ මිනිරන් කර්මාන්තයයි. අපට මිනිරන් පතලක් හොයාගන්න නැතිව ඩී.ඇස්. සේනානායක මහත්තයා ගැන චිත්‍රපටියක් හදන්න බෑ. වර්තමානයේ මිනිරන් පතලක් හෝ එහි තාක්ෂණය සිනමා පටයට ගන්නත් බෑ. එ් නිසා මීරිගම ප්‍රදේශයේ වත්තක සිනමා පටය වෙනුවෙන්ම මිනිරන් පතලක් හදන්නට සිද්ධ වුණා.   


 ඒ වගේම ඒ සඳහා ගමක්ම නිර්මාණය කිරීමටත් සිදුවුණා. මුස්ලිම් පල්ලි දෙකක් හදන්න සිද්ධවුණා. සමහර දර්ශන තල නම් තියෙන ආකාරයෙන්ම පාවිච්චි කළා. කලා අධ්‍යක්ෂණය පැත්තෙන් පසුතල නිර්මාණය සඳහා ලොකු කැපකිරීමක් කරන්නට සිදුවුණා.   


ඒ වගේම ඇඳුම් පැලඳුම් නිර්මාණයන් පිළිබඳවත් ලොකු මහන්සියක් වෙන්න සිද්ධවුණා. උද‌ාහරණයක් කිව්වොත් මේ සිනමා පටය ඇතුළේ කාලවකවානු තුනක පොලිස් ඇඳුම් තිබෙනවා.   


එක්ද‌ාස් අටසිය ගණන්වල ඩී.ඇස්. සේනානායක මැතිතුමා පාසල් යන කාලයේ පොලිසියේ නිල ඇඳුම තිබුණේ එක විදියකට. එතුමා මියයන කාලය වෙනකොට ඒ නිල ඇඳුම ගොඩක් වෙනස් වෙලා තිබුණා. ඒ අනුව තමයි නිල ඇඳුම් පවා නිර්මාණය කළේ.   


 ඒ වගේම ඉන්දියානු දර්ශන තිබුණා. ඊට අනුව ඒ ඇඳුම් පැලඳුම් සැකසුවා. එංගලන්තයේ දර්ශන තිබුණා. ඒ අනුව ඒ දර්ශන සැකසුවා. තාක්ෂණික ශිල්පීන්ගේ දැනුම හා කැපකිරීම හා අධ්‍යයනය මේ කටයුතු සාර්ථක කරගන්න එක හේතුවක් වුණා.   


ඩී.ඇස්. චරිතය ප්‍රබල වීර චරිතයක්. පාසල් දරුවන්ට යහ ආදර්ශයක් ගෙන දෙන ආකාරයට චරිතය තුළ තිබූ ඇතැම් දේවල් සංස්කරණය කළේ කොහොමද?   


මුළු චිත්‍රපටිය පුරාවටම අපි පරිස්සම් වූ කාරණය තමයි පයිප්ප හෝ දුම්වැටි නොපෙන්වා සිටීම. ඩී.ඇස්. සේනානායක මහත්තයා සැබෑ ජීවිතයේදී දුම්වැටි බීමට පුරුදු වී සිටියා. අන්තර්ජාලයේ ඇති සමහර පින්තූරවල පවා එය තිබෙනවා.   


අපි මේ චිත්‍රපටය පාසල් දරුවන් ඉලක්ක කරගෙන හැදුවේ. ඒ නිසා අපි කණ්ඩායම තීරණය කළා දුම්වැටි භාවිතය පෙන්වන්නේ නෑ කියලා. ඒක පෙන්නුවා නම් එයට කාටවත් විරුද්ධ වෙන්නත් බෑ. හේතුව එතුමා මියගියේ අශ්වයා පිටින් වැටුණ නිසා නොවෙයි. හෘදයා බාධයක් ආ නිසා. හෘදයා බාධය නිසයි ඔහු අශ්වයා පිටින් වැටෙන්නේ.   


 ඊට මාස තුනකට කලින් (ගල්ඔය ව්‍යාපෘතිය කරන කාලේ) වෛද්‍යවරු එතුමාට උපදෙස් දීලා තිබුණා දුම්පානය අඩුකරන්න නැත්නම් හෘදයාබාධයක් ඇතිවිය හැකියි කියලා. ඒ තරම් ඔහු වැඩිපුර දුම්පානය කර තිබුණා. ඒත් අපි ඒ කාරණය නොපෙන්වායි චිත්‍රපටය හැදුවේ.   


මේ චිත්‍රපටිය හදද්දී ආ අභියෝග මොනවාද?   


මේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරනකොට නිර්මාණාත්මක අභියෝග හා සමාජයෙන් එල්ලවන අභියෝග කියලා වර්ග දෙකක් එල්ල වෙනවා. නිර්මාණාත්මක අභියෝගවලට අපිට මුහුණ දෙන්න පුළුවන්. මේක මගෙ හයවෙනි චිත්‍රපටිය. ඒ නිසා එයට මුහුණ දීමේ අත්දැකීම් හා ශක්තිය මට තියෙනවා.   


ඒ වගේම ඒ නි්ර්මාණාත්මක අභියෝගවලට මුහුණ දෙන්න දක්ෂ කණ්ඩායමක් හිටියා. කැමරා අධ්‍යක්ෂක, කලා අධ්‍යක්ෂක, තාක්ෂණික ශිල්පීන් යන සියලු දෙනා එකට හිටියා.   


අපිට ලොකුම අභියෝගය වුණේ විවිධ තලවල පුද්ගලයින්ගෙන් ආ චෝදනා සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්. මේ වගේ වැඩක් කරනකොට ඒ ගැන අකමැත්තක්, කුහකකමක් හෝ ඊර්ෂ්‍යාවක් ඇතිවන අය එවැනි දේ කරනවා.   


එවැනි බාධා කිරීම්වලට චිත්‍රපටිය ආරම්භයේ සිට මේ දක්වාම මම මුහුණ දෙමින් ඉන්නවා. උද‌ාහරණයකට කිව්වොත් සමහර අය සමහර දර්ශනතල රූගත කිරීමට ඉඩ නොදී සිටින ලෙස ඉල්ලීම් පවා කර තිබුණා. ඊටපසුව චිත්‍රපටිය එන්න යනකොට චෝදනා එල්ල කළා, දැනුත් චෝදනා එල්ල කරනවා. මේක සිනමාකරණය පිළිබඳව පාඨමාලාව හද‌ාරණකොට, කියලා දෙන දෙයක්.   


 මමත් අධ්‍යක්ෂණයට ආවේ ඒ පාඨමාලා හද‌ාරලා විශිෂ්ට ජයග්‍රහණයක් අරගෙන. ඒ නිසා ඒ පිළිබඳව හොඳ අවබෝධයක් මට තිබෙනවා.   


හැබැයි ඒ අභියෝගවලට මුහුණ දෙන ආකාරය මම ප්‍රගුණ කළේ ජීවිතාවබෝධය තුළින්. ඒ නිසා මට බාධා කරන අයටවත්, චෝදනා කරන අයටවත් පිළිතුරු දෙන්න උත්සාහ ගත්තේ නෑ. මම මගේ අවධානය වෙනතකට යොමුකළා නම් මම කරන කටයුත්ත අසාර්ථක වෙනවා. ඒ නිසා මම එක එල්ලේ මගේ කර්තව්‍යය කරගෙන ගියා. ඒ නිසයි මේ සිනමාපටය නිමකර සාර්ථකව තිරගත කිරීමට හැකිවුණේ.   


මේ චිත්‍රපටිය නිර්මාණය කිරීමේදී කාල පරාසයන් කීපයක් ගෙවී ගියා නේද?   


මේක අදහසක් හැටියට එන්නේ 2015 දී. එම වසරේ ඔක්තා්බර් 20 වැනිද‌ා එතුමාගේ උපන් දිනය යෙදුණා. අපි රුක්මන් සේනානායක මහතා මුණ ගැසීමට උත්සාහ කළත් එද‌ා බෝතලේ වලව්වේ කුමක් හෝ කටයුත්තක් යෙදී තිබුණා. අපිට 21 ද‌ා තමයි හමුවන්න ලැබුණේ. ඔහු තමයි චිත්‍රපටිය කරමු කියන තැනට අපිව අරගෙන ආවේ.   


ඊට පස්සේ තිර පිටපත සැකසීමට කාලය ගතවුණා. 2016 ජූලි වන විට දර්ශන තල බැලීමට ගියා. 2016 දෙසැම්බර් 01 වැනිදා මුහුරත් උළෙල පැවැත්තුවා.   


2017 ජනවාරි රූගත කිරීම් ආරම්භ කළා. ඒත් දවස් 35 න් රූගත කිරීම් නවත්වන්න සිද්ධවුණා. ඒ මුදල් මදිවීම නිසා. ඒ ප්‍රශ්නය විසඳ‌ාගෙන නැවතත් 2017 සැප්තැම්බර් මාසයේ රූගත කිරීම් ආරම්භ කළා. 2018 ජනවාරි මාසය වන විට චිත්‍රපටියේ සම්පූර්ණ වැඩ අවසන් කළා. ඔක්තෝබර් 12 වැනිද‌ා සිට තිරගත කිරීම ආරම්භ කළා.   


මේ සිනමා පටයට ද‌ායක වූවෝ කවුරුන්ද?   


රංගන ශිල්පීන් පැත්තෙන් ගත්තොත් තුමිදු දොඩන්තැන්න හා ලක්ෂ්මන් රණදේව මෙන්ඩිස් තමයි ඩී.ඇස්. සේනානායක මැතිතුමාගේ තරුණ අවධිය හා වැඩිහිටි අවධිය නිරූපණය කරන්නේ. 


ඊට අමතරව බොහෝ රංගන ශිල්පීන් ප්‍රමාණයක් මීට ද‌‌ායක වෙනවා. හැත්තෑහයක් පමණ ප්‍රධාන රංගන ශිල්පීන් ශිල්පිනියන් ප්‍රමාණයක් මෙහි රඟපෑවා. ඊට අමතරව විදෙස් චරිත 25 ක් පමණ තිබුණා. ඒ චරිතවලටත් ලංකාවේ සිටින විදෙස් අය රංගනයෙන් ද‌ායක වුණා.   


 පාලිත සිල්වා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සුසන්තා චන්ද්‍රමාලි, ජී.ආර්. පෙරේරා, රොෂාන් පිලපිටිය, ජනක් ප්‍රේමලාල්, බුද්ධද‌ාස විතානාරච්චි, ජයලාල් රෝහණ, සාරංග දිසාසේකර, එරංගා ජීවන්ත. උදිත් අබේරත්න. එරංග දේශප්‍රිය, පූජිත ද මෙල්, ඩග්ලස් රණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි ආදී දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් මෙයට ද‌ායක වුණා.   


දවස් 60 ක් රූගත කිරීම් කිරීමට සැලසුම් කළා. ඒත් මගදී තේරුණා තිර පිටපත රූගත කළොත් යන කාලය වැඩි බව. එය ප්‍රායෝගික ලෙස පැය 2 ට සීමා කරන්න බෑ. ඒ නිසා අතරමගදී සංස්කරණය කර දවස් 55 ක් රූගත කිරීම් සිදුකළා.   


කොපමණ වියදමක් ගියා ද මේ සිනමා පටය අවසන් කිරීමට?   


මෙහි නිෂ්පාදන වියදම ලක්ෂ 900 ක්. ඒ කියන්නේ කෝටි 9 ක්. තවත් ලක්ෂ 200 ට වැඩි මුදලක් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කර තිබෙනවා. 

 
මේ වන විට චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?   


පොඩි අභියෝග කීපයකට මුහුණ දෙමින් ඉන්නවා අපි. එකක් මේ පාසල් වාරයේ අවසානය, පාසල් දර්ශන බලාපොරොත්තු වූ මට්ටමින්ම කිරීම අපහසුයි.   


විභාග නිසා දරුවන්ව සිනමා ශාලාවලට ගෙන ඒමේ අපහසුවක් තිබෙනවා. ඒ වගේම වැස්සත් යම් බලපෑමක් කරනවා. නමුත් චිත්‍රපටිය බලන අයගේ හොඳ ප්‍රතිචාර වැඩියි. එය බලා අදහස් දැක්වීමත් අපි අගය කරනවා.   
අපි නිදහසේ කතාව පැය දෙකකින් කියන්නේ. හැබැයි එහි තිබෙන සිද්ධි ඊට වඩා දීර්ඝ ලෙස රසවත්ව කිව හැකි අය ඉන්නවා. ඒත් අපිට එය පැය 2 කදී පෙන්වන්න පුළුවන් වෙන්නේ යම් මට්ටමකින් සති අග එන ප්‍රේක්ෂකයන් ගණන වැඩියි. පාසල් දරුවන්ටයි මේ චිත්‍රපටිය හැදුවේ. විභාග අවසන් වූ පසු පාසල් දර්ශන නැවත වතාවක් පෙන්වීමට කටයුතු කරනවා.   


මෙය භාෂා කීයකින් තිරගත වෙනවද?   


සිංහල භාෂාවෙන් රූගත කළේ. එහි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන දර්ශන බොහොමයකුත් තිබෙනවා. ඒ වගේම අපි මේ චිත්‍රපටිය දමිළ භාෂාවටත් හඬකැව්වා. හේතුව දමිළ නායකයනුත් නිදහස් සටනට උරදුන් නිසා. මෙය අපි සිදුකළේ මුදල් ඉපැයීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපි දන්නවා දමිළ ප්‍රේක්ෂකයින් බොහෝමයක් කැමැති සිංදු, සටන් ජවනිකා, ප්‍රේම ජවනිකා ඇති දකුණු ඉන්දීය අනුකරණ චිත්‍රපටිවලට. ඒත් මෙය ජාතික නායකත්වයක් පිළිබඳ චිත්‍රපටියක් නිසා දකුණු ඉන්දියාවට අරගෙන ගිහින් හඬකවලා දමිළ භාෂාවෙන් නිම කළා. ඒ නිසා එකම දවසක කොළඹ සිංහල භාෂාවෙනුත්, යාපනයේ දමිළ භාෂාවෙනුත් මංගල දර්ශන පැවැත්තුවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි එහෙම දෙයක් සිදුවුණේ.   


සිනමා පටය අතරමැදදී ඩී.ඇස්. සේනානායක පදනමේ විරෝධතාවක් ආවා. සිනමා පටය අවසානයේ ඔවුන්ගේ මතය මොකක්ද?   


 ඒක සිද්ධ වුණේ වැරදි තොරතුරු ලබා දීමක් නිසා. චිත්‍රපටිය හදලා අවසාන වූ පසු තේමා ගීතය අන්තර්ජාලයට මුද‌ා හැරියේ කතානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔහු තමයි එම පදනමේ සභාපති, පාර්ලිමේන්තුවටත් මෙම සිනමා පටය පෙන්නුවා. චිත්‍රපටියේ වැඩ ඉවරවුණාට පස්සේ දිගටම අපට සහාය දීමට නොහැකි වීම ගැන කනගාටු වුණා. වැරදි වටහා ගැනීම් දැන් දුරුවෙලා තිබෙන්නේ. ඔවුන් චිත්‍රපටිය බලලා සතුටට පත්වුණා.   


ෙස්නානායක පවුලේ ඥ‌ාතීන්ගේ ප්‍රතිචාර කෙබඳුද?   


අපි මුලින්ම චිත්‍රපටිය පෙන්නුවේ එම පවුලේ උදවියට. වසන්ත සේනානායක මහතාගේ වීඩියෝ එක පවා යූ ටියුබ් එකේ තිබෙනවා. එතුමා එහි කියනවා ගොඩක් කලින් කළ යුතුව තිබූ දෙයක් මේ කරලා තියෙන්නේ කියන එක. පවුලේ අය බොහෝ සතුටට පත්වුණා.   


අභියෝගය ජයගත් සතුට ප්‍රේක්ෂකයාට දෙන්නේ කොහොමද?   


විශේෂයෙන්ම අපත් සමඟ එකතු වූ සියලු පාර්ශ්වයන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙය පරම්පරා තුනටම බැලිය හැකි චිත්‍රපටියක්. ඒ නිසා සැමටම ආරාධනා කරනවා එය නැරඹීමට. 

 

 


සටහන කුමාරි හේරත්