මැණික් නිම්නයේ යකඩ මිනිස්සු

ජපන් ගැහිල්ලකට ඉල්ලම් ගොඩගන්නේ ද මෙසේය 

ගඟක වැටි දමා හරස් කර ඇති ඇදුම් පතලක් 

 

 

යස ඉසුරු ගෙනෙන මැණික් කර්මාන්තයේ ඇතුළාන්තය වරෙක දුක්මුසුය. මහ පොළොවේ සැඟව ඇති වටිනා මැණික් ගොඩගන්නා පතල්කරුවා හැමදාම අවදානමේය. කොපමණ වටිනා මැණික් ගල්වලට හවුල්කරුවන් වූවත් සමහර පතල්කරුවන් සදාකාලිකවම ‘‘පතල් කම්කරුවන්’’ය. ලංකාවේ පතල් කර්මාන්තයේ හැටි එහෙමය.
 
නිල්, රතු, පත්මරාග, ඉඳුනිල්, රත්න පුෂ්පරාග, පුෂ්පරාග, රතු ආර්නූල්, නිල් ආර්නූල්, දලං ආදිය ලංකාවේ මැණික් පතල්වලින් හමුවන කොරන්ඩම් වර්ගයේ මැණික්ය. පසිංගල්, පසිංගල් වෛරෝඩි, වෛරෝඩි, කණක යන මැණික් වර්ග කණක හෙවත් වෛරෝඩි වර්ගය. 


මීට අමතරව ජාගූන්, තරිප්පු, රබහ, කිරිංචි, තෝරමල්ලි, පළිගු වර්ග, ෆෙල්ඩිස්පාර් වර්ගවලට අයත් මැණික් වර්ග ද ලංකාවෙන් හමුවේ. මහ පොළොව යට කැණීම් කර මඩේ තැවරුණ මැණික් ගල් ගොඩට ගෙන සෝදා පිරිසිදු කර හොඳ මිලකට අලෙවි කර ගැනීම මැණික් පතලේ සේවය කරන කම්කරුවාගේ පටන් ඉඩම්හිමියා, බලපත‍්‍රකරු, සෙසු හවුල්කරුවන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. 


ඒ බලාපොරොත්තු ඉටුවනවා මෙන්ම කඩවන අවස්ථා ද අපි අසා ඇත්තෙමු. එසේම යස ඉසුරු ගෙනෙන මැණික් වර්ග මෙන්ම ජීවිත හානි ද ගෙනෙන මැණික් වර්ග ද තිබේ. 


මීට වසර දහ නවයකට පෙර එනම් 1998 දී ඉරිදා ලංකාදීප පුවත්පතේ එවැනි අනුවේදනීය පුවතක් පළ විය. මැණික් ව්‍යාපාරයේ නිරත නිරෝගී තරුණයකු හදිසියේම පිළිකා රෝගයකට ගොදුරුව එම පිළිකාව මාස කිහිපයක් ඇතුළත ශරීරය පුරා ව්‍යාප්තව ජීවිතක්‍ෂයට පත්වීම ඒ අනුවේදනීය කතාවයි. පිළිකා රෝගය සහ මැණික් අතර ඇත්තේ කුමන සම්බන්ධයක් දැයි කෙනෙකුට ගැටලුවක් විය හැකිය. 


මේ මියගිය තරුණයාට පිළිකාවක් වැළඳීමටත්, එය ශරීරය පුරා ව්‍යාප්තවීමටත් හේතුව වී තිබුණේ මැණිකක් වීම පුදුමයට හේතුවයි. ඔහු සිය නිදන ඇඳ යට ටින් එකක් තුළ ‘ඒකනයිට්’ වර්ගයේ මැණික් ගලක් තියා ගැනීම මේ තත්ත්වයට හේතුව වී තිබුණි. ‘ඒකනයිට්’ මැණික් වර්ගයක් වුවත් විකිරණශීලීය. මාස ගණනක් තමන්ගේ නිදන ඇඳ යට තබා ගැනීමෙන් ඉන් නිකුත් වූ විකිරණ නිසා ඔහුට පිළිකාව වැළඳී ඇති බව නිගමනය වී තිබුණි. ඒ නිසා ඉසුරු ගෙනෙන මැණික් අතර වෛරෝඩි, ඒකනයිට්, ඇපටයිට්, තෝරියනයිට්, මොනෝසයිට් සහ ජාගුන් වර්ගවලට අයත් මැණික් මරණය පවා ගෙනදිය හැකිය. හේතුව ඒවායේ විකිරණශීලී වර්ගයේ මූලද්‍රව්‍ය අඩංගුවීමයි. 


මැණික් ගලක බර කිරන්නේ කැරට්වලිනි. කිලෝ ග‍්‍රෑම් එකක් යනු කැරට් 5,000කි. ඒ නිසා මැණික් පතල්වලින් හමුවන මැණික් ගල් සම්බන්ධයෙන් කතාබහ කරන්නේ කැරට්වලිනි. 


රත්නපුර, මාරපන ප‍්‍රදේශයේ මැණික් පතලක සේවය කළ තරුණයෙකු හදිසියේ රෝගාතුර වී තිබුණි. හේතු සොයා බලද්දී පතලකින් හමු වූ විකිරණශීලී මැණික් වර්ගයක් ඔහුගේ නිදන කාමරයේ පෙට්ටියක් තුළ බහා තිබීමයි. එහෙත් ඔහුට යන්තමින් මරණයෙන් ගැලවීමට හැකියාවක් ලැබී තිබුණ බව දැනගන්නට ලැබුණි. මෙවැනි විකිරණශීලී මැණික් වර්ග ව්‍යාපාරිකයින් සිය නිවෙස්වල තබා ගන්නේ නැත. නිතර නිතර අතපත ගාන්නේ ද නැත. සමහරු ඒවා වළ දමති. ඒවා කපා ඔප දමන අය ද විකිරණශීලී මැණික් ගල් කැපීම මාරාන්තික බව දනිති. 


ඒ නිසා මැණික් හමුවන ප‍්‍රදේශ සැලකීමේදී ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික වූ මැණික් වර්ග ගැන රත්නපුරෙන් ඇසේ. කහවත්ත, පැල්මඩුල්ල, නීලගම, බළන්ගොඩ, නිවිතිගල, මාරපන, වෙරලුප, කිරිඇල්ල, පැරඩයිස්, එල්ලාවල ආදී වූ ප‍්‍රදේශවලින් ලැබෙන මැණික් බොහෝ විට එකම වර්ගයේ මැණික් නොවීමේ ප‍්‍රවණතාව වැඩිය. 


ඒ නිසා මැණික් හමුවන ප‍්‍රදේශ ගැන දැනුම ඇති ව්‍යාපාරිකයෙකුට මැණික් ගලක් හඳුනා ගත් සැණින් එය හමු වූ ප‍්‍රදේශය වසන් කළ නොහැක. ‘‘මේ ගල අහවල් දිහායින්ද?’’ විකිණීම සඳහා පැමිණි අයගෙන් අහද්දී සමහරු පුදුමයට පත්වෙති. 

 

වට්ටියෙන් මැණික් ගරන අයුරු 

 

ගැරුම් වට්ටියේ අවසානයට ඉතුරු වන නාම්බුව 

 

 

‘‘මුදලාලිට කවුරු හරි කිව්වාද අපි ආපු දිහාව. මිනිහා කොහොමද ඇහුවේ මේ ගල අහවල් දිහායින්ද කියලා. මිනිහගේ ගෝලයෝ දාලා ඇති අපෙන් තොරතුරු දැනගන්න. හරියට අර පේන කියන තැන්වල වෙන වෙනම මිනිස්සු දාලා එන අයගෙන් ආගිය තොරතුරු කතා කරලා ආව දිහාව, කාරණය හරියටම කියනවා​ කියන්නේ. ඒවගේ ඇති.’’ මැණික් පතල් කර්මාන්තයට පැමිණි බොහෝ නවකයන් පුදුම දනවන කරුණක් වෙයි. 
මැණික් සොයා යන මිනිස්සු වැඩි දෙනෙක් නීතියක් ගැන නොතකති. ශ‍්‍රීපාද සමය ආරම්භ කරමින් සමන් දේව ප‍්‍රතිමාව මළුවට වැඩම කරවා පුද පූජා සිරිත් ආරම්භ කර සිරිපා සමය ඇරඹීමත් සමග රත්නපුරේ මැණික් හමුවන බවට වූ ජන විශ්වාසයක් පවතී. සිරිපා වාරය අවසන් කර සමන් දේව ප‍්‍රතිමාව මළුවෙන් පහළට වැඩම කරවූ පසු මැණික් ගල් හමු නොවන බව ඒ විශ්වාසයේ අනෙක් පැත්තයි. 


‘‘ඔන්න ශ‍්‍රීපාදේ පහන තිබ්බා. දැන්නම් පතලක් පුරන්න කාලෙ හොඳා’’ දෙසැම්බර් මාසේ මැණික් පතල් කර්මාන්තයේ නියැළි අය අතර ඇසෙන කතාවකි. සිරිපා සමය ඇරඹෙන්නේ උඳුවප් පොහොයෙනි. 


මේ කාලෙට සිරිපා අඩවියේ වළව ගඟේ ආරම්භක ඉසව්වේ මැණික් සොයා යන කිහිප දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් ඇතැම් වසරවල දැකගත හැකිය. මෝසම් සහ අන්තර් මෝසම් වැසිවල අඩුවක් තිබුණොත් හිමේ ගරන්නට යන පිරිස වැඩිය. සිරිපා අඩවියේ මිනිස් වාසයෙන් තොර වනාන්තරය බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ ‘හිමේ’ යනුවෙනි. 


මේ වැඩි දෙනෙක් මැණික් ගරන්නට ‘හිමේට’ ඇතුළු වෙන්නේ බළන්ගොඩ එගොඩ වළේබොඩ පැත්තෙනි. නැත්නම් බළන්ගොඩ මාරතැන්න පැත්තෙනුත් ඇතුළු වෙති. මාරතැන්න පසුකර බගවන්තලාව පැත්තට යනවිට හමුුවන කැලෙන් ද සමහරු ඇතුළු වෙති. 


මැණික් කර්මාන්තයේදී සුමන සමන් දෙවියන් ගැන ඇත්තේ අති විශ්වාසයකි. සුමන සමන් දෙවියන්ගේ අඩවියට පැමිණ හොරෙන් මැණික් ගැරුව ද සුමන සමන් දෙවියන්ගේ ආරක්‍ෂාව ඒ අයට ඇති බවට සබරගමුවේ ජනයාගේ ලොකු විශ්වාසයක් පවතී. 


මීට වසර ගණනාවකට පෙර බළන්ගොඩට නුදුරු ප‍්‍රදේශයක පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සති දෙකකට ප‍්‍රමාණවත් ආහාර ද ගෙන ‘හිමේට’ ගියේ මැණික් ගලක් ගරා ගන්නටය. රක්‍ෂිතයක් වූ මේ ප‍්‍රදේශයට ඇතුළුවීම තහනම්ය. කැලේ ඈතට ගියොත් කාටවත් අහුවෙන්නේ ද නැත. හොයාගෙන එන්නට ද නොහැකිය. ඒ නිසා මේ කියන කාලයේ සිරිපා රක්‍ෂිතයට හානි කරමින් මැණික් ගැරූ කාලයක් විය. 


මේ කියන කණ්ඩායම ‘හිමේට’ ඇතුළු වී ලී කපා වාඩියක් තැනූහ. රැගෙන ගිය ඉටි කොළ සෙවිලි කර සහ වටේට අහුරා නිදා ගන්නටත්, ගෙනගිය ආහාර ද්‍රව්‍ය නොතෙමී තියා ගන්නටත් කටයුතු කළෝය. ඉටිකොළ ගෙනයද්දී අඳුරු වර්ණයෙන් යුතු ඒවා ගෙන යන්නට අමතක නොකළහ. කළු හෝ තද කොළ පාට ඒවා විශේෂයෙන් ගෙන යන්නේ වාඩියක් තැනූ බවට ඈතට දිස් නොවන නිසාය. ආයුධ සහ ගැරුම් වට්ටි එළියේය. උදේ අට නවය වනවිටත් සවස හතර පහ වන විටත් දැනෙන ශීතල, රාත‍්‍රී කාලයේ දෙගුණ තෙගුණ වෙයි. පායන දවස්වලට ටිකක් ඈතින් ගිනි මැලයක් ගහගන්නා නමුත් එය ඉතා අවදානම් බව ඔවුන් දනී. එකක් වාඩිය ඉටි කොළ නිසාය. අනික වියළී ගිය තණකොළවලට ගිනි ඇවිළුනොත් ගින්න පැතිරී යාමය. 


මේ පිරිස හිමේට ඇතුළු වූ දෙවන දවසේ ඉල්ලම් සොයන්නට විය. දොළ පාරක ආරම්භක ප‍්‍රදේශයේ ඉවුරු කඩකඩා එක්කර ගත් පස් කූඩවලට දමා ගැරුම් වට්ටියට දමයි. ගැරුම් වට්ටිය කරකවන්නට වතුරේ වැඩි වෙලාවක් බැස සිටිය නොහැකිය. ඒ නිසා මේ හිමේ පතල් කපන්නට යන කණ්ඩායමේ වැඩි දෙනෙක් ගැරුම් වට්ටියෙන් මැණික් ගරන්නට පුරුදු අය විය යුතුය. 


පායන දවස්වල උදේ සහ හවස් වරුවේ මීදුම වැඩිය. ඒ නිසා හිමේ මැණික් ගැරිල්ල සාමාන්‍යයෙන් පැය පහ හයකට සීමාවෙයි. මේ ප‍්‍රදේශයෙන් පුෂ්පරාග හමුවන බව විශ්වාසයයි. අඩුම තරමින් කැරට් විස්සකවත් පුෂ්පරාග කෑල්ලක් ගරා ගැනීම මෙහි ගරන්නට එන අයගේ බලාපොරොත්තුවයි. 


මේ කියන පිරිස ද දින ගණනාවක් ගැරුව ද මැණික් ගලක් තියා දලං ටිකක්වත් හමු නොවීය. ‘හිමේට’ ඇතුළු වී දින අටකට පසුව මැණික් ගරා යළි වාඩියට එන විට වාඩිය සම්පූර්ණයෙන්ම කඩා ගෙනා ආහාර මලු ද අවුස්සා මහ විනාශයක් කර තිබුණි. කවුරු මේ අපරාධය කළේ ද යන්න පිරිසට ගැටලුවක් විය. 


‘‘අපි කා අතින් හරි කට වැරදුණාවත්ද?’’ පිරිස එකිනෙකාගෙන් විමසන්නට වූහ. අනවශ්‍ය කතාවක් හෝ වචනයක් පිට කිරීම සමන් දෙවියන්ගේ අඩවියේදී ‘කට වැරදීම’ ලෙස හඳුන්වයි. නමුත් වටපිට සෝදිසි කරද්දී අාහාර මල්ලේ තිබු ලුණු කවරය ඇද ඉරා තිබුණි. තවදුරටත් සෝදිසි කරද්දී යම් පා සලකුණු ද විය. ලුණු කන්නට ආ වලහා මේ වැඩේ කරන්නට ඇතැයි නිගමන කළ පිරිස එදින රැය පහන්කර පසුදාම පල්ලම් බැස්සේ හිස් අතිනි. 
මැණික් සෙවීමේදී දෝන පතල් මෙන්ම අැදුම් පතල් ද ඇත. ගඟක් හෝ දොළක් හරහා වැටියක් යොදා මිට දිග උදලු යොදාගෙන ගං පතුලේ ඇති ඉල්ලං ඇදීම ඇදුම් පතලේ ක‍්‍රියාවලියයි. ඇහැළියගොඩ එල්ලාවල, කුරුවිට, තෙප්පනාව, රත්නපුර, මාරපන, හංගමුව, කහවත්ත, නිවිතිගල ආදී ප‍්‍රදේශවල කලකට ඉහත ඇදුම් පතල් බහුල විය. බළන්ගොඩ ප‍්‍රදේශයේ ද ඇදුම් පතල් බහුල අතර ජපන් ගැහිල්ල නමින් ක‍්‍රමයක් ද බළන්ගොඩ තිබේ. 
කලකට ඉහතදී මේ ජපන් ගැහිල්ල බළන්ගොඩ නගරයට පහළින් දූවිලි ඇල්ල දක්වා වූ ප‍්‍රදේශයේ ජනප‍්‍රියව පැවතිණි. ජපන් ගැහිල්ල අවදානම් වැඩක් බවයි පතල්කරුවන් පවසන්නේ. 


‘‘ජපන් ගැහිල්ලට අයිස්කාරයෝ අරං බෑ. මේ වැඩේට හතර දෙනෙක් අනිවාර්යයෙන්ම ඕනෑ. ඉස්සර වෙලාම ඇදුම් පතල්වලට ගන්න ඇදුම් උදලු දාලා ඉල්ලම පෑදෙන තුරු ගඟ මැද තියන වැලි ටික පහළට අදිනවා. ඒ කියන්නේ හරහට දාපු වැටිය දෙසට අදිනවා. ඒක හරියටම ඇදුම් පතලක් වගේම තමයි. ඒ වුණාට මේ ජපන් ගැහිල්ල වෙනස් ඉල්ලම අහුවුණාම වළ හරහා ලොකු කොටයක් දානවා. ඊළඟට කොටය මැදිවෙන විදියට යකඩ ඉන්නක් හිටවනවා. ඊට පස්සේ තමා වැඩේ පටන් ගන්නේ.’’ 


‘‘බාල්දියක් අරගෙන එක්කෙනෙක් යකඩ ඉන්න දිගේ කිමිදිලා බුරුල් කරලා තියන ඉල්ලම ගොඩට අරගෙන එනවා. අර හරස් කොටය ළඟ කෙනෙක් ඉන්නවා. එයා තමා අර උඩට ගේන ඉල්ලම් ටික අරගෙන ගැරුම් වට්ටියට දාන්නේ. මේ වැඩේදී යට කිමිදෙන කෙනාට කෙණ්ඩ පෙරළෙන්න පුළුවන්. සීතල වැඩිවෙලා කන් කැක්කුම් හැදෙන්න පුළුවන්. ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්න ගං ඉවුරේ ළඟම තැන ගිනි මැලයක් ගහනවා. කිමිදෙන කෙනාට සීතල දැනුණොත් ගිනි තැපලා සීත අඩු වුණාම තමයි ආය කිමිදෙන්නේ’’. ජපන් ගැහිල්ල ගැන පළපුරුද්දක් තිබූ බළන්ගොඩ බටුගම්මන පාරේ ජයලත් කුමාරරත්න මහතා පැවසුවේය. 
‘‘සමනලේ වැව හැදුණට පස්සේ ‘ජපන් ගැහිල්ල’ එහෙමම නැවතුණා. අපිත් පතල් රස්සාවලින් ඈත් වුණා. ජපන් ගැහුවා කියලා ලොකු වාසියක් වුණේ නෑ. එදා වේල තමයි. ජපන් ගැහිල්ලෙදි වළ ඇතුළේ හොරකමක් කරන්න අමාරුයි. ගරන වෙලාවට වට්ටියෙදී ගලක් මතුවෙලා මඩි ගැහුවොත් තමා. ඒක කරන්න බැරි ඉල්ලම් දාන්න දෙන්නෙක් ඉන්නවානේ. ගැරුම් වට්ටිය තියන කෙනා දිහා ඒ දෙන්නා ඇහිපිය නොගහ බලාගෙන ඉන්නේ.’’ කුමාරරත්න මහතා පැවසුවේය. 


‘‘ජපන් ගැහිල්ලේදී සමහර වෙලාවට අඩි දහය පහළොව විතරක් නෙවෙයි අඩි විස්ස වගේ යට කිමිදිලා ඉල්ලං ගේන්න වෙනවා. සමහර වෙලාවට ඉල්ලමේ ගලක් අහුවුණොත් ඒ ගල බෝර දාලා පුපුරවනවා. ඒක හැමෝටම කරන්න බෑ. ගල හාරලා වෙඩිල්ල හයි කරන්න දිය යට දී බැරි නිසා කුහරෙ ප‍්‍රමාණයට වෙඩිල්ල හදලා සේවා නූලෙ කෙළවරක හයි කරනවා. සේවා නූලේ අනික් කෙළවරට ගිනි තියලා බෝර වෙඩිල්ල අරං කිමිදෙනවා. කිමිදිලා වෙඩිල්ල අර විදපු ගලේ කුහරෙට ඉක්මනට හයි කරලා ගොඩට එනවා. සේවා නූල දිග ප‍්‍රමාණය, ඒක ඇවිළෙන්න ගතවන වෙලාව ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. නැත්නම් ඉතිං සේරම ඉවරයි’’. කුමාරරත්න පැවසුවේය. 


මේ ජපන් ගැහිල්ල බොහෝවිට කෙරුණේ අනවසරයෙනි. ඒනිසා පොලිස් ඇසෙන් බේරී එය කළ යුතුය. සංස්ථාවෙන් පැමිණෙන්නේ අඩුවෙනි. වර්තමානයේ මැණික් සංස්ථාව එන්නේ පොලිස් විශේෂ කාර්ය බළකාය සමගය. කලකට ඉහතදී මැණික් සංස්ථාවේ විශේෂ වැටලීම් ඒකකයක් තිබුණි. ඔවුන් ද අනවසර මැණික් ගැරීම් වැටලූහ. නමුත් අද මෙන් එදා මේ අනවසර මැණික් ගැරීම් ගැන ඔත්තු දුන්නේ අඩුවෙනි. 


‘‘ගොඩ පතල්වල වාගේ ඇදුම් පතලක්, ජපන් ගැහිල්ලක් වගේ එකක යෙදිලා ඉන්න අය අල්ල ගන්න අමාරුයි. එහෙමනම් ගඟේ දෙපැත්තෙන් එන්න ඕනෑ. මොකද පොලිසියෙන් එක පැත්තකින් ආවොත් වැඩකරන මිනිස්සු අනික් පැත්තට දුවනවා. දෙපැත්තෙන් ආවොත් ගඟේ ඉහළට පහළට දුවනවා. අල්ලන්නම අමාරුයි’’. 

 

ගඟක ඇති ඇදුම් පතලක් පරීක්‍ෂා කරන විදේශිකයන් සමග එහි වැඩකරන අය 

 

‘‘හැබැයි මෙහෙම වැඩක් වෙනවා. ජපන් ගැහිල්ලක් කරන කොට ගරලා ඉල්ලං නාම්බුව බලන්න ඔන්න මෙන්න කියලා තියැද්දි පැන්නොත් ගැරුම් වට්ටිය අහුවෙන්න දාලා දුවන්න හොඳ නෑ. ඒ එන අය ගරන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් පිටිං අරං එන සිරිතක් තිබුණා. ඒ අය ලව්වා ගරලා නාම්බුව බලන වෙලාවල් තියනවා. එහෙම වෙලාවට දුවලා හැංගිලා ඉන්න පතල් කට්ටිය ඈත ඉඳලා ගල් ගහනවා. ඇයි ඉතිං ඒ අය වතුර යට කිමිදිලා අමාරුවෙන් ගත්ත ඉල්ලං ටිකනේ අර අය ගරන්නේ’’ කුමාරරත්න මහතා පැහැදිලි කළේය. 


‘‘මේ තත්ත්වය තේරුම් ගත්තට පස්සේ ගැරුම් වට්ටිය ඉල්ලං එක්ක අහුවෙන්න දාලා දුවන්නේ නෑ. ආයුධ දාලා දුවන්නෙ නෑ. ඒවා ජපන් ගහන වළට දානවා. වට්ටිය ඉල්ලං එක්ක තියනකොට උඩ පාවෙන්නේ නෑ යට යනවා. එහෙම වුණාම කිමිදිලා ඒක හොයා ගන්න ඕනෑ. සමහර වෙලාවට පන්නාගෙන එන පොලිසියේ අය අපි අල්ලන්න උවමනාවක් නෑ. අපේ ඉල්ලං ටික ගරලා ගලක් හොයා ගන්න දඟලනවා. හැබැයි ඉතිං හැමෝම එහෙම නෑ. එහෙම කරන අය පිටිපස්සේ මැණික් කර්මාන්තෙම ඉන්න අය තමයි ඉන්නේ. නැතුව ඔය සමහර පොලිසියේ මහත්තුරුන්ට මැණික් ගැන දැනුමක් නෑ’’. කුමාරරත්න මහතා සිය අත්දැකීම් විස්තර කළේය. 
අවුරුදු ගානක් මහ පොළොවේ මැණික් සොයන පතල් කම්කරුවාට වඩා ඉක්මනින් ධනවතුන් වන අතරමැදියන් මැණික් කර්මාන්තයේදී බොහෝ සේ දකින්නට තිබේ. ඒ අය සමහරවිට පොලිසියට හෝ මැණික් කර්මාන්තය සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් වේ. ඔවුන් සම්බන්ධකම් පවත්වන්නේ මැණික් ව්‍යාපාරිකයා හෝ බලපත‍්‍රකරු සමගය. බොහෝ ව්‍යාපාරිකයන් ගැරීමේ බලපත‍්‍ර ලබා ගන්නේ තමන් යටතේ සිටින වෙනත් පුද්ගලයෙකුගේ නමටය. එහිද රහසක් තිබේ. බලපත‍්‍ර කිහිපයක් තම නමට තිබීම තුළ ආදායම් බදු ගැටලු ඇතිවිය හැකි නිසා ඉන් බේරීම එකකි. අනිත් කාරණය වන්නේ බලපත‍්‍ර ලබාගත් මැණික් පතලේ යමක් සිදු වී අධිකරණයට යන්නට වුණොත් ඉන් මිදීමටය. 


වරක් බැකෝ යන්ත‍්‍ර දැමීමට අවසර ගත් මැණික් පතලක බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරන බව ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී එහි බලපත‍්‍රකරුවා වූයේ සමෘද්ධි සහන ලබන පුද්ගලයෙකි. ඔහුගේ නමට බලපත‍්‍රය ගෙන තිබුණේ කූට ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. මැණික් හම්බවුණාට බලපත‍්‍රය ගන්නට නම් කළ පුද්ගලයාට බලපත‍්‍ර හවුල් හිමි නොවේ. නමුත් බලපත‍්‍රකරුවාට අධිකරණයකින් ඇපයක් හෝ දඩයක් හෝ හානි වූ පාර්ශ්වයකට වන්දි ගෙවීම සිදුවුව හොත් ඒ සියල්ලම වියදම් කරන්නේ ව්‍යපාරිකයාය. මැණික් ලෝකය පිටුපස එවැනි සිදුවීම් බොහෝය.  

 

 


සටහන ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය