මළවුන්ගේ නිහඬ සාක්කි

 

 

එය උණුසුම් ඉල්මහේ සීතල රැයකි. රැය පහන්වන අලුයමේ කාගේදෝ කෙඳිරිල්ලක් ඇසී අවදි වුණ තෙරුණි ඒ හඬට සවන් දුන්නාය. මඳ වේලාවක් ඇසුණ කෙඳිරිල්ල ක‍්‍රමයෙන් අඩුවවී ගොස් කිසිදු හැල හොල්මනක් නැති තත්ත්වයට පත්විය. තම සවන් නිවැරදි නම් ඒ හඬ ආවේ මවගේ කාමරය දෙසිනි. සිය නැගණිය තරුෂි ද අවදි කරවා තමන්ට ඇසුණ දේ විස්තර කර පැවසූ තෙරුණි නැගණියද සමඟ මවගේ කාමරය වෙත දිව ගියේ විදුලි වේගයෙනි.  
 
ඇය මවගේ කාමරය වෙත ගොස් කතා කළ ද කිසිදු ශබ්දයක් නැත. තමන්ට ඇසුණ හැටි යැයි සිතු දෙදෙනා යළි නිදා ගන්නට උත්සාහ කළහ. එහෙත් මව පෙර දිනයේ අසනීපයෙන් මෙන් කාමරයටම වැදී නිදා සිටි නිසා මේ කෙඳිරිල්ල ගැන නොසලකා හැරීමටද නොහැකිය. පියාද නි​ෙවසේ නොමැති නිසා මව ගැන සොයන්නට වන්නේ තමන්ට බව ඔවුන්ට වැටහිණ.   


 තෙරුණි යළිත් මවගේ කාමරයේ දොරට තට්ටු කරමින් කතා කළාය. එහෙත් මවගෙන් කිසිම ප‍්‍රතිචාරයක් නැත. දොර අරින්නට බැරි ලෙස ඇතුළෙන් අගුලු දමා තිබිණ. වහා ක‍්‍රියාත්මක වූ තෙරුණි අසල්වැසියන්ට කතා කර උදව් ඉල්ලුවාය. ඔවුන් දොර කඩා කාමරයට ඇතුළුවන විට දුටු දෙයින් දියණියන් දෙදෙනාට මෙන්ම අසල්වැසියන්ට ද සිහි එළවා ගත නොහැකි විය. තෙරුණිගේ මව චන්දිමා ලේ විලක් මැද වැටී සිටියාය. ඇගේ සිරුර පරීක්ෂා කර බැලූ අසල්වැසි කාන්තාවක් සිරුර සීතලවී ඇති බව පැවසුවාය. එහෙත් මව බේරා ගැනීමට අන්තිම තත්පරයේ හෝ යමක් කළ යුතු යැයි සිතා කලබල කළ දියණියන් දෙදෙනා නිසා අසල්වැසියෝ එක්ව චන්දිමාව රෝහලට රැගෙන ගියහ. එහෙත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු පැවසූහ.   
මෙම මරණය සිදුවී තිබූ ආකාරය ගැන කිසිවෙකුට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. රෝහල් පොලිසිය මගින් මේ මරණය ගැන පොලිසියට දැනුම් දෙනු ලැබිණ. ඒ අනුව පොලිසිය දියණියන් දෙදෙනාගෙන් කට උත්තර ලබා ගත්තේය.   


ද‌ාහත් හැවිරිදි දියණිය තෙරුණි පොලිසියට කටඋත්තර ලබාදෙමින් පියා රියදුරු රැකියාවක් කරන නිසා නි​ෙවසෙන් බැහැරව සිටින බවත් සතියකට වතාවක් පමණ නි​ෙවසට පැමිණෙන බවත් මව පෙර දිනයේ සිය කමරයට වැදී සිටි බවත් ආහාර ගැනීමටවත් කාමරයෙන් පිටතට නොපැමිණි අතර ඇයට අවශ්‍ය ​ෙද්වල් වරින් වර දියණියන් දෙදෙනා මවගේ කාමරය අසලට ගෙනගොස් දුන් නමුත් කාමරයට ඇතුළු වීමට මව ඉඩ නොදුන් බවත් පැවසුවාය. මවට තිබූ අසනීපය ගැන නොදන්නා නමුත් කිසියම් අසනීපයකින් පෙර දින ඇය පසුවූ බවට සැකකරන බවද ඔවුන් දෙදෙනා පොලිසියයට පවසා තිබිණ.   


එහෙත් සාමාන්‍ය අසනීපයකින් මියගියේ නම් මෙතරම් ලේගොඩක් මැද ඇය වැටී සිටියේ කෙසේද යන්න පොලිසියට ගැටලුවක් විය. මෙය ඝාතනයක් නම් ලේ ගලායාමට සැලැසෙන තුවාලයක් කිසිවෙකු විසින් සිදුකර තිබිය යුතුයි. එක්කෝ වෙඩි තැබීමක් හෝ තියුණු ආයුධයකින් පහරදීමක් සිදුකර තිබිය යුතුය. එහෙත් එවැනි තුවාල කිසිවක් සිරුරේ දක්නට නැත. ඒ අනුව පොලිසිය මේ මරණය ගැන අධිකරණයට වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියම කෙරිණ. එය යොමුවූයේ පේරාදෙණිය අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා වෙතය.   


අධිකරණ වෛද්‍යවරයා මෙම සිදුවීම මුල සිට අධ්‍යයනය කළේය. සිද්ධිය ඇසින් දුටුවෙක් හෝ වෙනත් සාක්ෂි කිසිවක් හෝ නැතිව මේ මරණය ගැන සෙවීම පහසු නැත. එය අභියෝගාත්මකය.   
එහෙත් අධිකරණ වෛද්‍යවරයකු යනු වසර විස්සක් තිහක් ඈත අතීතයකදී වුව සිදුවූ මරණයක් සිදුවූ ආකාරය ඇට කැබලිති ආධාරයෙක් හෝ පර්යේෂණාත්මකව හෙළිදරවු කළ හැකි දැනුමකින් අත්දැකීමකින් පොහොසත් නිලධාරියෙකි. වෛද්‍ය සරත්චන්ද්‍ර ද සිය පරීක්ෂණය මුල සිට ඇරඹුවේය. සිරුර පරික්ෂා කර බැලූ ඔහු මරණකාරිය වැටී සිටියේ කුමන පැත්තකටදැයි දැන ගැනීමට උත්සාහ කළේය.   


ජීවත්ව සිටින ඕනෑම පුද්ගලයකුගේ සිරුර තුළ රුධිර ගමනාගමනය හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය අනුව සිදුවේ. එහෙත් කෙනෙක් මිය යාම යනු හෘදය වස්තුව නැවතීමය. හෘදය වස්තුව නැවතීමෙන් පසු ගුරුත්වාකර්ෂණයේ බලයෙන් ශරීරයේ රුධිර නාළිකා තුළ තිබූ රුධිරය මරණ මොහොතේ අද‌ාළ පුද්ගලයා සිටින ඉරියවුව අනුව සිරුරේ පහළම තැනට ගලා යනු ඇත. උඩු බැලි අතට නම් කොන්ද තට්ටම දෙසටත්, එල්ලී මිය ගියේනම් දෙපා වලටත්, යටිබැලි අතට නම් බඩ හා පපු පෙදෙසටත් ආදී ලෙස මේ ලේ ගමනය සිදුවී තැන්පත් වනු ඇත. එවිට එම ස්ථාන තද රතු හෝ නිල් හෝ පැහැයකින් දිස්වනු ඇත.   

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තු ප‍්‍රධානී (අධිකරණ වෛද්‍ය), 
අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර


මිය ගිය චන්දිමාගේ සිරුරේ එවැනි ලක්ෂණ කිසිවක් දක්නට නොවූ අතර සිරුර සුදුමැළිය. ඒ අනුව ඇයගේ සිරුරේ එතරම් රුධිර ප‍්‍රමාණයක් ඉතිරිව නැති බව පැහැදිලි විය. පොලිසිය ද පැවසූ තොරතුරු අනුව ඇයගේ සිරුරෙන් අධිකව රුධිරය පිටවගොස් ඇති බව එයින් තහවුරු විය. එහෙත් සිරුරේ කිසිම තුවාලයක් නොමැති නිසා මෙය බාහිර තුවාලයක් සිදුකිරීමෙන් සිදුවූ මරණයක් විය නොහැකි බව වෛද්‍යවරයාගේ මතය විය. සිරුර එකලෙසටම රුධිරයෙන් තෙත්වී තිබූ නිසා කොතැනකින් රුධිරය පිටවුනේ ද යන්න සෙවීමද පහසු වුයේ නැත. එහෙත් බාහිර තුවාලයක් නොමැත්තේ නම් කාන්තාවකගේ සිරුරෙන් මෙතරම් රුධිරය පිටවීමක් සිදුවිය හැකි ඊළඟ අවස්ථාව වන්නේ දරු ප‍්‍රසූතියකදීය.   


තවදුරටත් සිරුර පරීක්ෂා කිරීමේදී ඇයගේ පියයුරු තරමක් විශාලව පැවති අතර ඒවා මඳක් කළු පැහැ ගැන්වී තිබිණ. ශරීර අභ්‍යන්තරයේ සියලු අවයව ද සුදුමැළිව තිබිණ. ඇගේ ගර්භාෂය ද සෑහෙන තරමක් විශාලව පැවතිණ. එය වෛද්‍යවරයාගේ සැකයට හේතු විය. ඔහුට කලින් ඇතිවූ සැකය එයින් තහවුරු කරත්තා සේය. එහෙත් ගර්භාෂය විශාල වීමට එහි ගෙඩි ඇතිවීමද හේතුවන නිසා එකවරම ගැබ් ගැනීමක් ගැන කීම සාධාරණ නොවන බැවින් වෛද්‍යවරයා ගර්භාෂය පරීක්ෂා කළේය. එහෙත් එහි ගෙඩියක් හෝ කළලයක් ද නොවිණ. යොවුන් වියේ පසුවන දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය ගැබිනියක් නොවූ බව පවුලේ ඥාතීන්ගේද අදහස විය.   


බාහිර සාක්ෂි නොවූ බැවින් වෛද්‍යවරයා තවදුරටත් සිරුර පරීක්ෂාවට ලක්කළේය. ගර්භාෂ බිත්තියේ පටක අන්වික්ෂීය පරීක්ෂණයකට ලක්කිරීමෙන් ඇය ගැබ්ගෙන සිටි බව විශ්වාස කළ හැකි සාක්ෂි හමුවිය. ඇය මිය යන විට ගැබිනියකව සිටි බවත් ගැබට මාස නවයක් සම්පූර්ණ වී තිබූ බවත් එයින් තහවුරු විය. නමුත් සිරුර තුළ කලලයක් හෝ වැදෑමහ හෝ නැත.   

 


පශ්චාත් මරණ පරීක්ෂණය අතරමැද නැවතු වෛද්‍යවරයා පොලිස් නිලධාරීන් හා ඥාතීන් ගෙන්වා මරණකාරිය ගැබ්ගෙන සිටි බවට සැක කළ හැකි කිසිවක් දක්නට තිබුණේ දැයි විමසා සිටියේය. එහෙත් ඒ අය නැවතත් කියා සිටියේ එවැනි තත්ත්වයක් නොවූ බවයි. නමුත් අසල්වැසි කාන්තාවක් පොලිසියට පවසා තිබූ කරුණු අනුව වෛද්‍යවරයාගේ මතය තහවුරු කෙරිණ. ඇය කියා සිටියේ මරණකාරියගේ උදරය කලක සිට ක‍්‍රමයෙන් විශාල වෙමින් පැවති අතර ඒ පිළිබඳව විමසූ විට තමා පවුල් සැලසුම් ක‍්‍රමයක් අනුගමනය කරන නිසා මාස් ශුද්ධිය නිසි පරිදි සිදුනොවීමෙන් මෙසේ උදරය මහත් වන බවත් මරණකාරිය පැවසූ බවය.   


ඇය තනිවම දරුවා ප‍්‍රසූත කළාද? නැත්නම් කිසිවෙකුගේ සහය ලබාගත්තාද? නැත්නම් සාපරාධී ගබ්සාවක් සිදුකළේද? යන ප‍්‍රශ්න රැසක් විසඳීමට ඉතිරි විය. එහෙත් සාපරාධී ගබ්සාවක් කළ බවට කිසිදු තුවාලයක් කැළලක් ඇගේ සිරුරේ නොවීය. ඒ නිසා ඇය ස්වාභාවිකව දරුවා බිහිකරන්නට ඇතැයි වෛද්‍යවරයා නිගමනය කළේය. දැන් ඇයට උපන් දරුවා කෝ? දරුවා සැඟවූයේ කොහේද? යන ප‍්‍රශ්න මතුවිය. ඇයට දරු ප‍්‍රසූතියේදී අධික ලෙස රුධිර වහනයක් සිදුව ඇති නිසා කම්පන තත්ත්වයක පත්ව සිටියා විය යුතුය. හෘදය වස්තුවේ අභ්‍යන්තර බිත්තිවල පවතින කුඩා ගිනි දළු හැඩැති රුධිර ගැලීම්, වකුගඩුවල මැද කොටස හා පිටත කොටස අතර පවතින වෙනස්කම් අනුව ඇය කම්පන තත්ත්වයක සිටි බව තහවුරු කෙරිණ. එවැනි තත්වයක සිටියදී ඇය දරුවා නිවසින් පිටමං කිරීමට යාම පහසු නැත. එසේම එසේ ගියේ නම් ඇය ගිය මඟ රුධිරය වැටී තිබිය යුතුය. එහෙත් එවැනි සාක්ෂියක් නැත. එසේම කිසිවෙකු උදව් කළේ නම් එවැන්නෙකු සිටිය යුතුය. එහෙත් ඒ ගැනද සාක්ෂි නැත. එය සොයා ගැනීමද ඉතා වැදගත්ය.   


සියල්ල සලකා බැලූ වෛද්‍යවරයා පොලිසිය ගෙන්වා ඇගේ නි​ෙවසේ ඇගේ කාමරයේම දරුවෙකු සිටිය හැකි බවත් ඒ ගැන සොයන ලෙසත් උපදෙස් දුන්නේය. ඒ අනුව කළ පොලිස් පරීක්ෂණවලදී මරණකාරියගේ කාමරයේ ඇඳ යට රෙදිවලින් ඔතන ලද බිළිඳු මළ සිරුරක් සොයාගැනීමට හැකි විය. පෙකණිවැල හා වැදෑමහද ඒ සමගම තිබිණ. එම සිරුරද පරීක්ෂා කිරීමේදී කිසිදු බාහිර තුවාලයක් නොවූ බව පෙනිණි. පෙකණිවැලෙන් අධික ලෙස රුධිරය පිටවීමෙන් මේ මරණ්‍ය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය විය. මවගේ මරණයට ද හේතුව පෙකණිවැල කැපීමේදී එය නිසි පරිදි සිදුනොවීමත් වෛද්‍ය ප‍්‍රතිකාර නොවීම නිසා දරු ප‍්‍රසූතියේදී සිදුවන රුධිර වහනය නැවැත්වීමට නොහැකි වීමත් නිසා සිරුරේ රුධිරය සියල්ලම මෙන් ප‍්‍රසූතියෙන් පසු පිටතට වහනය වීමත් බව අධිකරණ වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගේ නිගමනය විය.   


පොලිසිියට සොයා ගැනීමට අපහසු වූ චන්දිමාගේ මරණයට බලපෑ සැබෑ කාරණා හෙළිදරව් කර ගැනීමට හැකිවූයේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ආධාරයෙනි. එනම් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙනි.   

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තු ප‍්‍රධානී (අධිකරණ වෛද්‍ය), අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණ.)  

 

 

 

 

 

 

 

 

 

 


සටහන
මුදිතා දයානන්ද