‘සමුදුරු සුවිසැරිය’
ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි

ගලෙපගොස් දූපත් පිහිටා ඇත්තේ නිවර්තන කලාපීය පැසිෆික් සාගරයේය. දූපත වටා ගල් පරවලින් ගහන මුහුදු ඉම බැලූ බැල්මට ජීවීන්ට ජීවත් වීමට සුදුසු තැනක් යැයි පෙනෙන්නේ නැත. එසේ වුවත්, ගල්පර සහ ඒවායින් නිර්මාණය වුණු කරදිය පිරුණු කුඩා පොකුණු තමන්ගේ වාසියට හරවා ගන්නා සත්ව විශේෂයක් මෙහි වාසය කරයි. මේ සත්වයා සීල් (මුහුදු සිංහයන්) ය. ‘සීල් මසුන්’ යැයි කීවත්, සීල් යනු මත්ස්‍යයකු නොව, අප මෙන් කිරි බී වැඩෙන ක්ෂීරපායියෙකි. සිංහල බසින් සීල් හැඳින්වෙන්නේ ‘නීවගයා’ යනුවෙනි. ගලෙපගොස් දූපත් වටා ඇති ගල්පර සහිත කලාපයේ වාසය කරන්නේ, ජව සම්පන්න, තරුණ වියේ පසුවන සීල් කණ්ඩායමකි. ගැහැනු සතුන් ආකර්ශනය කර ගැනීමට නම්, සහකාරියකගේ සිත දිනා ගැනීමට නම්, සීල් උගේ තේජස පෙන්විය යුතුය. සීල් ගැහැනු සතුන් කැමැත්ත පළ කරන්නේ හොඳින් වැඩුණු පිම්බුනු සිරුරු සහිත සීල් පිරිමි සතුන්ටය. එසේ ‘ඇඟ හදා ගත්තේ නැතිනම්’ මේ සීල් මසුන්ට සදා කල් මේ ගල් තට්ටුවලින් පිරුණු කලාපයේ හුදෙකලා ජීවිත ගත කිරීමට සිදුවෙයි. ‘ඇඟ හදා ගැනීමට’ නම් කළ යුත්තේ ප්‍රෝටීන් පිරි හොඳ ආහාරය.
කෙලවල්ලා
කුසගින්නෙන් සිටින එක් තරුණ සීල් සත්වයෙක් ආහාර සොයා අවට පිහිනා යයි. ඌ මෙසේ ආහාර සොයා යන්නේ තනිවමය. සීල්ගේ අදහස වී ඇත්තේ, හොඳ පෝෂණ ගුණයෙන් වැඩි ගොදුරක් අල්ලා ගැනීමය. ඒ ගොදුර කහ පැහැති වරල් සහිත කෙලවල්ලා (කෙලවල්ලන් සහ බලයන් පොදුවේ ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ටූනා යන නමිනි.) මසුන්ය. එක් කෙලවල්ලකුගේ බර කිලෝ 60 ක් පමණය. කෙලවල්ලන්ට පැයට සැතපුම් 40 ක උපරිම වේගයකින් මුහුදේ පිහිනා යා හැකිය. විවෘත සාගරයේ නම්, සීල් ට මෙවැනි වේගවත් කෙලවල්ලකු අල්ලා ගැනීම පහසු නොවෙයි. සීල් ළඟ උපායක් ඇත.
අසාර්ථක උත්සාහය
කෙලවල්ලන් අල්ලා ගැනීමට සීල් සැලැස්මක් සකස් කරයි. දූපත අසල ගල්පරවලින් වටවී ඇති මුහුදු සීමාවට කෙලවල්ලන් රංචුව යොමු කිරීම සීල්ගේ උපාය වෙයි. ගල් පර අතරින් ඇතුළු වීමට ඇත්තේ කුඩා විවරයකි. හය හත් දෙනකුගෙන් සමන්විත කෙලවල්ලන් රංචුවක් සීල්, මේ විවරය අතරින් ඇතුළට යොමු කිරීම සිදුකරයි. ඒ, උන්ට ආපසු පිටවී යෑමට ඉඩක් නොතබා මඟ අහුරමිනි. සීල් මේ කරන්නේ, උගේ උගුලට කෙලවල්ලන් යොමු කිරීමය. ගල් තට්ටුවලින් වට වී ඇති ස්ථානයට කෙලවල්ලන් රංචුව කොටු වෙයි. කෙලවල්ලන්ට දැන් යාමට තැනක් නැත. උන් පසුපසින් සීල් පිහිනා එයි. කෙසේ නමුත් කොටුවුණු කෙලවල්ලන් අතරින් එකෙකු හෝ අල්ලා ගැනීමට සීල්ට නොහැකි වෙයි. කෙලවල්ලන් වේගයෙන් ආපසු හැරී සීල්ගෙන් බේරී පිහිනා යන්නේ පණ බේරා ගනිමින් විවෘත සාගරයටය. සීල්ගේ උත්සාහය අසාර්ථක වෙයි. වෙන ක්‍රමයක් කල්පනා කළ යුතුය.
යාළුවන්ගෙන් උදව්
සීල් වතුරේ සිට කෑ ගසයි. ඌ මේ කරන්නේ උදව් ඉල්ලීමකි. බොහෙම අලස බවකින් ගල් පර මත අව්ව තපිමින් වැතිරී සිටින උගේ සගයින්ට මේ හඬ ඇසෙයි. සගයෝ දෙදෙනක් වතුරට බසිති. කෙලවල්ලන් අල්ලා ගැනීමට තමන්ට උදව් වෙන්නැයි සීල්, ඔහුගේ සගයන් දෙදෙනකුට ඇරයුම් කරයි. දැන් උදව් පැමිණ ඇත. තමා කරන්නේ කුමක්දැයි මෙන්ම අනෙක් සගයන් දෙදෙනා කළ යුත්තේ කුමක්දැයි තරුණ සීල් ඔවුන්ට ආවේණික හඬින් පැහැදිලි කරයි. ඉන්පසු ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙයි. සීල් කණ්ඩායම සාගරයට පිහිනා යන්නේ කෙලවල්ලන් රංචුවක් සොයා, උන් දූපත අවට ගල් පර අතරේ කොටු කර ගැනීම සඳහාය. යළිත් වරක් කෙලවල්ලන් රංචුවක් පටු විවරයෙන් ගල් පර අතරට යොමු කිරීම සිදු කෙරේ. දැන් අපේ තරුණ සීල් ට සහායට දෙදෙනෙක් සිටිති. එහෙයින් වැඩේ පහසුය.

උගුලට හසුවෙති
මුහුදු සිංහයන් කණ්ඩායම කෙලවල්ලන් වට කරමින්, උන් විවරය අතරින් ඇතුළට යෑමට සලස්වයි. කෙලවල්ලන්ට පිටවීමට නොහැකි වන අයුරින් සීල් කණ්ඩායම මාර්ගය හරස් කරයි. මාර්ගය කෙළවරට කෙලවල්ලන් රංචුව පැමිණ සිටී. උන්ට දැන් ගැලවීමක් නැත. පිටවීමට තැනක් ද නැත. උන් කරදිය පිරි පොකුණු අතරේ කොටු වී ඇත. උන්ට ආපසු හැරී යෑමට අවස්ථාවක් ද නැත. සීල් තුන්දෙනෙක් උන් පසුපස සිටිති. තරුණ සීල් වහා ආපසු හැරී ගොස් කෙලවල්ලන්ට යෑමට නොහැකි වන අයුරින් ප්‍රධාන පිටවීමේ විවරය හරස් කරයි. කෙලවල්ලන් දැන් තවත් අසරණ වෙයි. උන් බේරී යෑමට විවරයෙන් විවරයට යයි. කෙසේ නමුත් පිටවීමට ක්‍රමයක් නැත.
සීල්ගේ දඩයම
මුහුදු සිංහයෝ දඩයම අරඹති. එකා දෙන්නා බැගින් උන් කෙලවල්ලන් අල්ලා ගනී. මේ විදියට ඉතා දක්ෂ අයුරින් මසුන් දඩයම් කිරීම බොහොම කල්පනාවෙන්, සැලසුම්සහගතව සහ කණ්ඩායම් හැඟීෙමන් කළ යුත්තකි. ගලෙපගොස් දූපත් අතරේ සිදුවන මෙම දඩයම මීට පෙර කිසිවකු විසින් දැක නොතිබුණු බවත්, එම දසුන් කිසිවකු විසින් රූගත කර නොබුණු බවත් බ්ලූ ප්ලැනට් කණ්ඩායම පැහැදිලි කර දෙයි. ඔවුන් මෙම දසුන් රූගත කර ඇත්තේ බොහොම ඉවසිල්ලෙන් බලා සිටීමෙන් පසුවය. රූගත කිරීම් සඳහා ඔවුන් කැමරා ඇටවූ නියමුවන් රහිත විශේෂ ඩ්‍රෝන යානයක් ද භාවිතා කළ බව පැවැසෙයි. එක් සීල් සත්වයකුට සාමාන්‍ය මසුන් දඩයමක දී ලැබෙනවාට වඩා පස් ගුණයක ප්‍රෝටීන ප්‍රමාණයක් එක් කෙලවල්ලකුගෙන් ලැබෙයි. අවසානයේ දී තරුණ සීල්ට ඔහුට අවශ්‍ය දේ ලැබෙයි. යෝධ කෙලවල්ලා කටින් අල්ලා ගනිමින් ඌ ගල් පරයක් මතට නැගෙයි. ඒ, සෙමින් සෙමින් කෙලවල්ලා ආහාරයට ගැනීමටය. මේ අයුරින් ප්‍රෝටීන පිරි ආහාර වේලක් කෙලවල්ලන්ගෙන් ලැබෙද්දී, සවි ශක්තියෙන් වැඩීමට සීල් ට හැකිවෙයි. සහකාරියක සොයා ගැනීම ද දැන් පහසුවෙන් කළ හැකිය.




ලුසිත ජයමාන්න
ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
බී.බී.සී ‘බ්ලූ ප්ලැනට් 2’ ඇසුරිනි
2025 නොවැම්බර් මස 21
18
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
134
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
981
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කෙලවල්ලන් අල්ලන්න උගුලක් අටවන මුහුදු සිංහයා