පෙර භවයේ ප්‍රබල සාක්කි

පෙර භවයේ දී සතුන් දඩයම් කළ බැව් හෙළි කළ දරුවෝ කීපදෙනෙක්ම පුනර්භව පර්යේෂණ අතර සිටිති. ඉන් දරුවන් දෙදෙනෙක්ම පෙර භවයේ දී ඔවුන් කොටින් දඩයම් කළ බැව් හෙළි කළහ. එම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් එංගලන්තයේ දී උපත ලැබූ අතර අනෙක් දරුවා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේ දීය. ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කළේ කොටි දඩයමේ යෑමේ දී කොටින්ගේ සපා කෑම නිසා මරුමුවට පත්වූ බවය.  

 

මීට වසර ගණනකට උඩ දී එංගලන්තයේ දී උපත ලද ගේඩන් නම් දරුවා හෙළි කළ පෙර භව තොරතුරු අනුව අප්‍රිකානු ගෝත්‍රික නිග්‍රෝ ජාතික ජීවිත වීම ද විශේෂත්වයකි. පවුලේ එකම දරුවා වූ ගේඩන් ඉතා කුඩා අවදියේ සිට චිත්‍ර ඇඳීමට හැකිවීම ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් විය. ඔහු චිත්‍ර ඇඳීමේ රුසියෙකු විය.  


වයස අවුරුදු හතරක් වන විට ඔහු හොඳින් චිත්‍ර නිර්මාණය කළේය. කඩදාසියක් සහ පැන්සලයක් හසුවූ විට ඔහු එමගින් චිත්‍ර ඇඳීම සිදු කළේය. දරුවාගේ චිත්‍ර ඇඳීමේ ආශාව නිසා මව විසින් ඔහුට පාට පැන්සල් ගෙනවිත් දී තිබිණි. එහෙත් ඔහුගේ චිත්‍ර නිර්මාණවල සුවිශේෂී බවක් දක්නට ලැබිණි.  


ඔහු විසින් අඳිනු ලබන මිනිස් රූප වැඩි වශයෙන්ම කළු පැහැයෙන් යුතු විය. මව කොතෙක් කීවත් ඔහු මිනිස් රූප තද කළු වර්ණයෙන් නිර්මාණය කළේය. ඒ සමගම එම චිත්‍රවල මිනිස් රූප නිරුවත් රූප වීම ද විශේෂත්වයක් විය. ඔහුගේ චිත්‍රවල ඇතුළත්ව තිබූ කාන්තා රූපවල උඩු කය ද නිරාවරණ වී තිබිණ. කුඩා අවදියේ සිට චිත්‍ර ඇඳීම සිදුකළ ඔහු විසින් නිවෙස් අඳිනු ලැබුවේ කූඩාරම් ලෙසය. එම නිවාස නිග්‍රෝ ගෝත්‍රික නිවාස ලෙස ද දක්නට ලැබිණි.  


තම දරුවා විසින් නිර්මාණය කරනු ලබන චිත්‍ර පිළිබඳව මවගේ අවධානය යොමු විය. දිනක් ඔහු විසින් අඳින ලද චිත්‍රයක් මවට පෙන්වූ දරුවා එහි උස ගසක් මත සිටින පක්ෂියෙකුට දුන්නකින් විදින අයුරු පෙන්වා දුන්නේය. ඒ අසල ඇඳ තිබූ නිවස අතීතයේ විසූ නිග්‍රෝ ගෝත්‍රික නිවසක් ලෙස දක්නට ලැබූ අතර විශාල ගස් ද ඔහු විසින් නිර්මාණය කර තිබිණි.  


මෙම දරුවා තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ ඔහු බෙර වාදන හඬ නිකුත් කිරීමය. සංගීතයට මහත් ඇල්මක් ඇති බව ද මවට දක්නට ලැබිණි. මේ නිසා දිනක් මව ඔහු සංගීත භාණ්ඩ වෙළෙඳසලකට රැගෙන ගියේය. එහිදී මව විසින් ඔහුට සංගීත භාණ්ඩයක් රැගෙන දීමට උත්සාහ කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පසුව ඔහු තෝරා ගනු ලැබුවේ විශාල බෙරයකි. එය අතට ගත් දරුවා හුරුපුරුදු ලෙස එය වාදනය කළේය.  
තවත් දිනක් විශාල ගසකට නැග්ගේය. කිසි දිනෙක ගස් නැග නොසිටි දරුවා එක්වරම උස ගසකට නැගීම ද මවගේ මවිතයට හේතුවී තිබිණ. මේ අතර දිනක් මෙම දරුවාට කොටියෙකුගේ රූපයක් දක්නට ලැබිණි. එය දුටු සැණින් මව ඇමතූ දරුවා ඔය වගේ කොටියෙක් තමයි මගේ ඇඟට පැන්නේ යයි පැවසීය. තම දරුවා කිසියම් පෙර භවයක් සම්බන්ධව හෙළි කරන බැව් මවට අවබෝධ විය. ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට සිතූ මව ‘ඔයාගෙ ඇඟට කොටියා පැන්නෙ කොහොමද?’ යයි ප්‍රශ්න කළේය.  

 

 

‘එදා මම කොටියෙකුට හෙල්ලෙන් ඇන්නා. ඒත් ඒ පාර වැරදුණා. ඉතින් කොටියා මගේ ඇඟට කඩා පැන්නා’ මට මතක එච්චරයි යනුවෙන් කීය.  


ඉතා කුඩා කල සිටම ඔහු විසින් කොටින් දඩයම් කළ බැව් පැහැදිලිව හෙළි කළේය.  


තම පුත්‍රයාගේ මෙම ප්‍රකාශයෙන් මවිත වූ මව ඉන් අනතුරුව ඔහුගේ ප්‍රකාශ ගැන දැඩි ලෙස අවධානය යොමු කර සිටියාය. දරුවා අඳිනු ලබන චිත්‍රවල ඇති දර්ශන අතර සතුන් දඩයම් කරන අයුරු නිරූපණය වන බැව් ද මවට දක්නට ලැබිණි. හෙල්ල මගින් සහ දුන්න උපයෝගී කරගෙන එම දඩයම් නිර්මාණය වී තිබිණි. තවත් වරක් ඔහු විසින් අඳින ලද චිත්‍රයක රූස්ස ගසක් මත ඉදිකරන ලද අට්ටාලයක් ද නිර්මාණය විය. පොත්පත් මගින් ​හෝ වෙනත් කිසිදු අයුරකින් එවැනි දර්ශන ඔහු නොදැක තිබූ බැව්ද මවට විශ්වාසය. ඔහුගේ එම දර්ශන අප්‍රිකානු ගෝත්‍රික ජන ජීවිතවලට බෙහෙවින් සමාන විය.  


තවත් දිනක් තම මව ඇමතූ දරුවා මගේ බිරිඳටයි දරුවන්ටයි කන්න දෙන්න ඕන නිසා මම දඩයමේ ගියා. සමහර වෙලාවට මට ඒ දර්ශන මැවිලා පේනවා යයි ද කීවේය. මේ අතර ඔහු ජලය ඇති ස්ථානවලට බැසීමට මහත් බියක් දක්වන්නට විය. ඒ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයේ ජලයට බැස සිටි මිනිසුන්ගේ දෙපා සතුන් විසින් කඩාගෙන ගිය අයුරු තමා දුටු බව ය. එමනිසා ජලයට බැසීමට ඔහු තුළ බියක් දැනෙන බව ද එම දරුවා අනාවරණය කළේය.  


මේ වන විට ඔහු වයස අවුරුදු අටක පමණ කුඩා දරුවකු විය. ඒවන විටත් ඔහුට පෙර භවය පිළිබඳ ජීවන තොරතුරු හෙළි කිරීමේ හැකියාව තිබිණි. තවත් විටෙක මව සමග ඔහු අප්‍රිකානු චිත්‍රපටයක් නැරඹීමට ගියේය. එයට අප්‍රිකානු ජන ජීවිතය විදහා දැක්වෙන දර්ශන ඇතුළත්ව තිබිණි. එම දර්ශන තිරයේ දිස්වන විට දරුවා මහත් සේ කලබල විය.  

 

අප්‍රිකානු ගෝත්‍රික නිවාස

 


මට මගේ ජීවන තොරතුරු මතකයට නැගෙනවා යැයි එම දරුවා ප්‍රකාශ කළේ මව පුදුමයට පත් කරවමිනි. තවත් දිනක් පාසල් ගොස් පැමිණි දරුවා උස ගසකට නැග සිටින බැව් අසල්වැසියෙකු පැමිණ මවට පැවසීය. වහා එහි ගිය මව තම පුත්‍රයාට ගසින් බසින ලෙස අවවාද කළාය.  


එයට පිළිතුරු දුන් දරුවා තමා පෙර භවයේ දී එවැනි රූස්ස ගස්වලට නගින බවත් එම ගස් මුදුන්වල තනන ලද කූඩාරම්වල සිටි බවත් කීය. එවැනි ස්ථානවල සිටින විට සතුන් දඩයම් කිරීමට ඔවුන් හොඳ හැටි දැක බලා ගැනීමට හැකි බවත් පැවසීය. මේ අයුරින් එම දරුවා හෙළිකළ පෙරභව තොරතුරු අනුව ඔහු අප්‍රිකානු ගෝත්‍රික පවුලක ජීවිත තොරතුරු හෙළි කරන බැව් පැහැදිලිව දක්නට ලැබිණි. එම දරුවා තුළ දක්නට තිබූ හැසිරීම් රටාව සහ ඔහු විසින් ඇඳි චිත්‍ර මගින් ඔහු දඩයම් යුගයට අයත්ව සිටි බැව් සනාථ විය.  


මෙම දරුවාගේ පෙරභව තොරතුරු විමර්ශනය කළ ඔහුගේ මව විසින් ලියන ලද ඇගේ ජීවිත කතාවට ද එම තොරතුරු ඇතුළත් කර තිබේ. ඒ අනුව මහාචාර්ය ස්ටීවන්සන් විසින් ද ගේඩන් දරුවා පිළිබඳව සිදු කළ පර්යේෂණ ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කර ඇත. 


අප්‍රිකානු ගෝත්‍රික පවුලක ජීවත්ව සිටිය දී කොටි දඩයමේ යාම නිසා කොටියෙකුගේ පහරදීමකින් මියගිය අයෙකුගේ ජීවිත තොරතුරු එම දරුවා විසින් හෙළිකළ බැව් සනාථ විය.  


මේ අයුරින්ම කොටියෙකුගේ පහරදීමක් නිසා දඩයමේ ගිය අවස්ථාවේ දී මරණය සිදුවූ බැව් හෙළි කළ දරුවෙක් මීට වසර ගණනකට උඩ දී ශ්‍රී ලංකාවේ දී උපත ලැබීය. 1979 වසරේ මීගමුව රෝහලේ දී උපත ලද එම දරුවා ද ප්‍රකාශ කළේ දඩයමේ ගිය විට දී කොටියෙකුගේ පහරදීමකට ලක්වූ බවය.  


බහතෝරන වියේ සිට එම දරුවා පැවසුවේ ඔහු පෙර භවයේ දී බම්බලපිටිය ප්‍රදේශයේ ජීවත්ව සිටි බවය. එක් සොහොයුරියක් පමණක් සිටි බව එම දරුවා පැවසීය. පියාට ජීප් රථයක් සහ කාරයක් තිබූ බවත් ඒ වන විට ඔහු තරුණ වියේ පසුවූ බවත් මතකයේ තිබිණි. ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ වතුපිටි තිබූ පොහොසත් ජීවිතයක් ගත කළ බැව් එම දරුවා පැවසීය.  


අපිට අනුරාධපුරේ වතු තිබුණා. එහෙ මිරිස් තියෙනවා. අපි ජීප් එකෙන් අනුරාධපුරේ යනවා. සතුන් දඩයම් කරන්න යාළුවොත් එක්ක කැලේ යනවා යැයි ද ඔහු ප්‍රකාශ කළේ වයස අවුරුදු හතරේ පමණ සිටය. මෙම දරුවා පිළිබඳව එදා ඔහු කළ පර්යේෂණයේ දී ඔහු විසින් අනාවරණය කළ තොරතුරු ලිඛිතව සටහන්වී ඇත්තේ මෙසේය.  


ප්‍රශ්නය - ඔයා ඉස්සර හිටියෙ කොහේද?  
පිළිතුර - බම්බලපිටියෙ.  
ප්‍රශ්නය - ඒ ගෙදර කව්ද හිටියෙ?  
පිළිතුර - අම්මා, තාත්තා, නංගි.  
ප්‍රශ්නය - ඒ අම්ම මොන වගේද?  
පිළිතුර - ලස්සනයි සුදුයි.  
ප්‍රශ්නය - අම්මා අඳින්නෙ මොනවද?  
පිළිතුර - සාරි. එයා හරි මහතයි.  
ප්‍රශ්නය - ඔයා එහෙදි මොකද කළේ?  
පිළිතු - ඉස්කෝලෙ ගියා.  
ප්‍රශ්නය - මොන ඉස්කෝලෙටද?  
පිළිතුර - කොළඹ  
ප්‍රශ්නය - එහෙ අම්මාගෙ නම මතකද?  
පිළිතුර - ඔව්, ලලිතා  
ප්‍රශ්නය - තාත්තා කව්ද?  
පිළිතුර - ඩගී  
ප්‍රශ්නය - ඔයා එහෙදී අඳින්නෙ මොනවද?  
පිළිතුර - දිග කලිසම්  
ප්‍රශ්නය - එහෙදි කොහේද යන්නෙ?  
පිළිතුර - අනුධපුරේ  
ප්‍රශ්නය - අනුරාධපුරේ යන්නෙ ඇයි?  
පිළිතුර - දඩයමේ යන්න  
ප්‍රශ්නය - දඩයමේ යන්නෙ කො​ෙහාමද?  
පිළිතුර - තුවක්කුව අරන්  
ප්‍රශ්නය - තුවක්කුව කාගෙද?  
පිළිතුර - තාත්තගෙ  
ප්‍රශ්නය - එහෙදි මොකද වුණේ?  
පිළිතුර - කොටිය කෑවා.  
ප්‍රශ්නය - දඩයමේ ගියේ කො​ෙහමද?  
පිළිතුර - ජීප් එකෙන්  
ප්‍රශ්නය - කොහේ ඉඳල ද ගියේ?  
පිළිතුර - බම්බලපිටියෙ ඉඳලා  
ප්‍රශ්නය - කොටිය කෑවම මොකද වුණේ?  
පිළිතුර - මැරුණා.  
ප්‍රශ්නය - මෙහෙ ආවෙ කොහොමද?  
පිළිතුර - දන්නෙ නෑ.  


මේ අයුරින් පෙර භවය හෙළි කළ එම දරුවාගේ තොරතුරු විමර්ශනය කිරීමට මහාචාර්ය ස්ටීවන්සන් ද ශ්‍රී ලංකාවට පැමිණියේය. කොටියා සපා කෑම සිදු කළ බැව් හෙළි කළ එම දරුවාගේ පාදයක පැහැදිලි උපන් ලපයක් ද දක්නට ලැබිණි. එම උපන් ලපය ඇති ස්ථානය කොටියා විසින් සපා කෑ බැව් ද ඔහු හෙළි කළේය.  


මෙම දරුවා අනාවරණය කළ පෙර භව තොරතුරු සනාථ කර ගැනීම සඳහා වර්ජීනියා විශ්වවිද්‍යාලය මගින් ඔහුගේ ප්‍රකාශවලට පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධියක් ද ලබා දුන්නේය. එහෙත් තවමත් එම දරුවාගේ පෙර භව තොරතුරු පර්යේෂණ මට්ටමේ පවතී. මෙම පර්යේෂණයේ දී මූලිකත්වය දෙනු ලැබුවේ තරුණ වියේ සිටිය දී දඩයමේ ගොස් කොටියෙකු සපා කෑමෙන් මරුමුවට පත්වූ ​අයෙකු සොයා ගැනීමය.  

 

 

 


තිස්ස ජයවර්ධන