IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අලියාගේ බඩ යටින් රිංගා යෑමේ රෝග සුව කරන බොරුව මෙන්න !

 

 

ග්‍රස්ථිය පෞරුෂය හේතුවෙන් මිනිසාට නොයෙක් ආකාරයේ මානසික රෝග ඇතිවේ. නමුත් තමන්ට ඇත්තේ මානසික ගැටලුවක් යන්න නොදත් බොහෝ අය එවැනි ක්‍රියා තමන් විසින් සිදු කරනු ලබන්නේ යම්කිසි අපලයක් හෝ අමනුෂ්‍ය බලවේගයක් නිසා යන්න බොහෝවිට විශ්වාස කරති. මේ නිසා අද සමාජයේ සිටින බොහෝ රැවටිලිකාරයින්ට හසුවීමෙන් මානසික රෝග පමණක් නොව, ආර්ථික අලාභහානි ද ඇති වේ.  


 රෝග සුව කරගැනීම සඳහා වෛද්‍යවරයෙකු වෙත නොයන සමහරෙක් දේවාලයකට ගොස් ශාන්තිකර්මයක් කිරීමට නැතහොත් තම එදිරිවාදියෙකු තමන්ට ගුරුකමක් කර ඇති නිසා මෙසේ රෝගාතුර වී ඇතැයි එම බන්ධන කැපීමට කටයුතු කරගනී. නමුත් ඉන් තමන්ට කිසිදු සෙතක් අත්වී නොමැති බව වැටහෙනවිට සියල්ල සිදුවී හමාරය.   
අප සමාජයේ බොහෝ දෙනෙක් විශ්වාස කරන අලින්ගේ බඩ යටින් යාමෙන් රෝග සුව කරගත හැකියි යන මිථ්‍යා මතය සම්බන්ධයෙන් අද අපි කතා කරන්නේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගනිමිනි.   


රජිත දැනුම් තේරුම් ඇති වයසේ පටන්ම පිරිසිදුකම ගැන වැඩි උනන්දුවක් දැක්වීය. අම්මා කෑමක් කවනවාටත් ඔහු අකමැති විය. යම් ද්‍රව්‍යයක් ඇල්ලූ විටම හෝ නොදැනුම්වත්ව හෝ යමක අත ගැටුණහොත් ඉක්මනින්ම අත්දෙක සබන් යොදා සේදීම ඔහුගේ පුරුද්දයි. වතුර කරාමය ඇර අත්දෙක සෝදා වතුර කරාමය වසා දැමුවාට පසු නැවතත් කරාමය ඇර අත්දෙක සෝදයි. තම පොත් මේසය මත පොත් පිළිවෙළට අසුරන ඔහු යළිත් එය නැවත නැවත අසුරයි.  


 කොහේ හෝ යාමට නිවසින් පිටත් වනවිටම නැවත නැවත පැමිණ දොර වසා ඇත්දැයි පරීක්‍ෂා කර බලයි. රජිතගේ දෙමාපියන් සිතුවේ ඔහු සෑම දෙයක් ගැනම අවධානයෙන් සිටින දරුවෙකු ලෙසයි.   


රජිත ඉතා හොඳින් පාසල් අධ්‍යාපන කටයුතුවල නියැළුණු අයෙකි. ඔහු උසස් පෙළ ද සමත් විය. උසස් පෙළින් පසු ඔහු වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නියැළීමට අකමැත්තක් දැක්වූ අතර, ඔහුගේ එදිනෙදා ජීවිතයේ චර්යාමය වෙනස්කම් රජිතගේ දෙමාපියන්ට පෙනෙන්නට විය.   


රජිත නෑමට දිගු කාලයක් ගත්තේය. ඔහු නාන කාමරයෙන් එළියට එන තෙක් නිවැසියන්ට බොහෝ වේලාවක් බලා සිටින්නට සිදුවිය. නාන්නට යන ඔහු කරාමය ඇර මුලින්ම කරන්නේ කරාමය සබන් ගා සේදීමය. ඉන්පසු අත් දෙක නැවත සබන් ගා සෝදයි. ආහාර ගන්නා පිඟාන සේදීමට ගියත් ඔහු එසේ කරයි. පුටුවක වාඩි වී සිටින විට පුටු ඇන්ද ඇල්ලීමට සිදුවුවහොත් ඉක්මනින් ගොස් අත්දෙක සෝදයි. යමක අත්ල ගැටුණහොත් ඉක්මනින්ම සෝදා ගැනීමත් නිතරම එකම දේ වරින් වර කිරීමත් ඔහුගේ චර්යාව විය.   
රජිතගේ මෙම චර්යාව දෙමාපියන්ට මහත් හිසරදයක් බවට පත් වී තිබුණි. මෙය ලෙඩක් බව ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ ඥාතිවරයෙක් පැවසුවේ රජිතව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙසය. නමුත් තම දරුවාට එවැනි ගැටලුවක් නැති බවට රජිතගේ දෙමාපියන්ගේ මතය විය. ඔවුහු එය ගණනකට නොගත්තෝය. මෙය දරුවාගේ අපල කාලයක් නිසා සිදුවන්නක් බවත් අපල කාලය හමාර වනවිට ඉබේම මෙම පුරුදු නවතියි යන්න ඔවුන් විශ්වාස කළහ. එම නිසා ජ්‍යොතීර්වේදියෙකු හමුවී අපල සඳහා කුමක් කළ යුතුදැයි දැනගැනීමට රජිතගේ හඳහන රැගෙන ජ්‍යොතීර්වේදියෙකු වෙත ගිය රජිතගේ මවට ජ්‍යොතිෂකරු පැවසුවේ රජිත ලොකු අපල කාලයක් ගත කරන බවත් ඒ වෙනුවෙන් බලුකපුටු දානයක් දෙන ලෙසත් දින විසි එකක් බෝධි පූජාවක් තබන ලෙසත්ය.   


අවසන් දින තුනේ රජිතට සෙත් කවි කියා සෙත්ශාන්තියක් කරගන්නා ලෙස  ද පැවසීය.   


සෙනසුරු යන නම ඇසූ පමණින් බොහෝ ජන්මීන් අධික ලෙස බියට පත් වේ. එයට හේතුව නම් ග්‍රහලොව සිටින නපුරුම ග්‍රහයා සෙනසුරු වන බැවිනි. මෙකී නපුරු ස්‌වභාවය නිසාම ග්‍රහයන් නවදෙනා අතරින් වැඩිපුර කතාබහට ලක්‌වන සෙනසුරු හැමවිටම අයහපත් ප්‍රතිඵල ගෙනදෙන ග්‍රහයකු නොවේ. යමෙකුගේ ජන්ම පත්‍රය යහපත් තැනක ශනි තැන්පත් වුවහොත් එකී පුද්ගලයාට යහපත් ප්‍රතිඵලම උදාකරනු ඇත.   


‘පිරිසිදු ජලයෙන් නියමිත වාර ගණනින් සහල් සෝදා නොඉඳුල්ව ගාගත් පොල් මිරිකා ලබාගත් කිරි දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්‌කර නැවුම් මුට්‌ටියක බස්‌නාහිර දිශාවේ ළිප් බැඳ සකස්‌ කර ගන්නා කිරිබත ළිපේ තිබියදීම පිරිසිදු කරගත් තල ඇට ස්‌වල්පයක්‌ හා එළඟිතෙල් මිශ්‍රකර ගුළි සාදා සෙනසුරාදා දිනවල ශනි හෝරාවෙන් එනම් උදේ 6.00 - 7.00 අතර කාලයේදී නුගකොළ මත තබා බස්‌නාහිර දිශාවේ උස්‌ ස්‌ථානයක තබා කපුටන්ට කෑමට සලස්‌වා හැම විටම කුසගින්නෙන් පෙළෙන සෙනසුරු ග්‍රහදේවතාවන්ගේ වාහන වන්නාවූ කපුටාගේ කුසගින්න නිවීමට මෙය දානයක්‌ම වේවා! එකී දානය දීම තුළින් හටගන්නා කුසලකර්මයෙන් මා වෙත පැමිණ ඇත්තාවූ සෙනසුරු ග්‍රහදොස්‌ දුරුවේවා’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්න. බල්ලන්ට ද කෑම දීම ද ඉන් එක් දානයකි.   


මේ අනුව, රජිතගේ මාපියන් පසුදා සිටම ජ්‍යෙතීර්වේදීතුමා කියූ ලෙසටම සියල්ල කළෝය. නමුත් රජිතගේ චර්යාවේ කිසිදු වෙනසක් ඇති නොවීය.   


මේ අතර දිනෙක රජිතගේ නිවස අසලින් “අතබලා සාස්තර කියනවා... අතබලා සාස්තර කියනවා...” යනුවෙන් කෙනෙකු කියමින් යනවා දක්නට ලැබුණු රජිතගේ මව ඔහුට කතා කළාය. “නෝනා මම අහිකුණ්ඨිකයෙක් නෙමෙයි. හස්ත රේඛා බලලා මට සාස්තර කියන්න පුළුවන්. මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ආයෙ හරියටම හරි මම කියන ඒවා” ඔහු තමන්ගේ පම්පෝරිය දිගහැරියේ එලෙසිනි. රජිතගේ මවට පිපාසයට දිය දෝතක් ලැබුණා වාගේය. එදින රජිතගේ පියා ද නිවසේ සිටි දිනයක් විය. සාස්තරකරුව නිවස තුළට කැඳවිණි. රජිතගේ අත ඔහුගේ අත මත තැබීය. රජිතගේ ආයුෂ කාලය, විවාහය සිදුවන කාලය, දරුඵල සහ අපල ගැන ද ඔහු කීවේය. නමුත් රජිතට පවතින රෝගී තත්ත්වයේ විස්තරයක් ඔහුගෙන් නොකියැවිණි. “හොඳයි දරුවට දැනට මොකක් හරි අසනීපයක් තියෙනවා ද” ඔහු ඇසීය. රජිතගේ ගැටලු සියල්ලක්ම මව විසින් සාස්තරකරුට පැවසුවාය. “තරුණ ළමයෙක්... දැන්මම තියෙන අපලවලට බෝධිපූජා තියන්න. මේකට තව එක දෙයක් කරන්න වෙනවා. මේ දරුවා ඇතෙකුගේ හෝ අලියෙකුගේ බඩ යටින් යවන්න ඕනේ. එතකොට දෝෂ කැපිලා යනවා” සාස්තරකරු පිළියම් කීවේය.   


රජිතගේ දෙමාපියෝ ඇතකු සිටින තැනක් තම හිතවතුන්ගෙන් විමසුවෝය. “මේ දිනවල නුවර දළද‌ා මාලිගාවට ඇතෙක් ගෙනල්ලා ඉන්නවා. ඒ ඇතාගේ බඩ යටින් දරුවන්ව යවනවා.” රජිතගේ පියාගේ හිතවතකු කීය. ඔවුහු වහාම නුවර දළදා මාලිගාවට ගියෝය. ඇත් රාජයෙකුත් ඒ අසලම ඇත්ගොව්වකුත් සිටියේය. කීප දෙනෙක්ම ඇතාගේ බඩ යටින් යනවා ඒ මොහොතේදී ද ඔවුහු දුටුහ. රජිතව ද ඇතාගේ බඩ යටින් තුන් වාරයක් යැවීය. රජිතගේ දෙමාපියන්ට ඉමහත් සහනයක් දැනෙන්නට විය. ඒ කාරණයත් හමාරය.   
නිවසට පැමිණි පසු රජිත හිතාමතාම තම රෝග ලක්‍ෂණ අඩු වී ඇති බවක් පෙන්නන්නට විය. නමුත් ඔහුට එලෙස සිටීමට හැකි වූයේ පැය කිහිපයක් පමණි. යළිත් පෙර චර්යාමය ලක්‍ෂණ මතුවිය. “අර මනුස්සයත් අපිව රැවට්ටුවානේ. කොච්චර රස්තියාදුවක් වුණාද. මට නම් තේරෙන්නේ නැහැ මේකට මොනවා කරන්නද කියලා” රජිතගේ මව කම්මුල් දෙකේ අත්දෙක ගසාගෙන තරහින් පුපුරන්නට වූවාය.   


මේ අතර රජිත එළිපහළියටවත් නොගිය නිසා ඔහු බලන්නට මිතුරෙක් නිවසට පැමිණියේය. රජිත තම මිතුරාට තමන්ගේ ගැටලුව කීවේ ඉතාමත් අසරණ ලීලාවකිනි.   
 “අනේ මන්ද මචං මට කොහේටවත් යන්නවත් හිතෙන්නෙ නෑ මේ හින්දා. මං කොහොමද මිනිස්සු අතරට ගිහිං ඉන්නේ මෙහෙම වෙද්දී ?” රජිත හැඬුම් ස්වරයෙන් තම මිතුරාට පැවසීය.   


මිතුරා ඔහුට කීවේ ඉක්මනින්ම වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමට යන ලෙසයි. ඒ අනුව රජිතගේ මිතුරාම ඔහු මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවට රැගෙන ගියේය. සියලු විස්තර සලකා බැලූ වෛද්‍යවරයා රජිතට ප්‍රතිකාර කළේය. ප්‍රතිකාරවලින් අනතුරුව රෝගය සුව අතට හැරුණි.


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා එය මෙසේ විස්තර කරයි.   


මනෝ විද්‍යාවේදී මෙම රෝගී තත්ත්වය “ග්‍රස්ථීය පෞරුෂය” (Obsessive Compulsive Disorder) යනුවෙන් හඳුන්වයි. මෙහිදී යමෙකුට තම සිතුවිලි, වචන, ක්‍රියාවලීන් තමන්ට පාලනය කරගත නොහැකි සේ දිගින් දිගටම ගලා එයි. උදාහරණ ලෙස යමක් කල්පනා කරන විට එය කිහිපවරක්ම කරන ලෙස සිත කීම, පඩිපෙළක් නගින විට නැවත ආපසු පැමිණ නැවත නැවත බැලීම, නිතරම අත් සේදීම, එකම දෙය නිතර නිතර කිරීම, ඇතැම් විට ශරීර අංග සෙලවීම. තමාට හෝ අන් අයට කරදරයක් වේදෝයි නිතර නිතර සිතීම, දොරක් වැනි දෙයක් වැසුව ද එය නැවත නැවත වසා ඇත්දැයි බැලීම සහ එසේම මොවුන් බොහෝ දෙනෙක් නෑමට වැඩි කාලයක් ද ගනිති.   


එසේම අපි සාස්තරකරු කියූ දේ විමසා බලමු.   


යමෙකුගේ අත්ලේ රේඛාවලින් සාස්තර කිව හැකිද? අලියෙකුගේ බඩ යටින් රිංගා යෑමෙන් රෝග සුව කළ හැකිද?   


මුලින්ම රේඛා ශාස්ත්‍රය පිළිබඳව විමසා බලමු. අප විසින් ලංකාවේ සිටින මහාචාර්යවරුන්, කෝටිපතියන්, සාමාන්‍ය පුද්ගලයින්, හිඟන්නන් යන අයව නොයෙක් වේශයෙන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රසිද්ධ හස්ත රේඛා විශේෂඥයින් වෙත ගෙන ගොස් කරන ලද පරීක්‍ෂණ අනුව ඔවුන්ට සියයට සියයක්ම සත්‍ය පැවසීමට නොහැකි බව තහවුරු වුණි. පාරේ හිඟාකන හිඟන්නාගේ අත්ල ගෙන බලා ඔහුට හොඳ ආර්ථිකයක් ඇති බව පැවසූ ඔවුහු මහාචාර්යවරුන්ගේ අත්ල බලා මොවුන්ට බලපා ඇති අපල නිසා අධ්‍යාපන කටයුතු අතරමගදී කඩාකප්පල් වී ඇති බව පැවසූහ. මෙහිදී පාරේ හිඟා කෑව ද හිඟන්නාට ඇත්තටම හොඳ ආර්ථිකයක් ඇති බව ඔබට සිතෙනු ඇත.   


ආගම් දහමේ ලියැවී ඇති පොත්පත් අතර සඳහන් වන්නේ, හින්දු බැතිමත්හු ගණ දෙවියන් කෙරෙහි දක්‌වන භක්‌තියට අලි, ඇතුන්ට වැඳුම් පිදුම් කිරීමේ වරදක්‌ අපි නොදකිමු. ගැටලුව බෞද්ධයන් ද ශාන්තිය සොයාගෙන අලි, ඇතුන්ගේ බඩ යටින් රිංගීමට යෑමය. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාව අභිමුව ද අලින්ගේ බඩ යටින් රිංගවීමේ අලකලංචි විජ්ජාව සිදුවන්නේය. සත්තකින්ම මෙයට අමතරව, ඔබ දන්නා පරිදි, ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්‌ථාන බොහෝමයක්‌ අසල ද අලි විජ්ජාව ජයටම සිදුවෙයි.


ඇත්තටම, සතකුගේ බඩ යටින් රිංගා ගිය පමණින් සිත්වල බය නැති වන්නේ කෙසේද? රෝග සුවපත් වන්නේ කෙසේද? නිකමට හිතන්න. යන්න තේරුම් ගැනීමට තරම් මොළ කළඳක්‌ නැති මිනිසුන් වෙසෙන මිථ්‍යා දෘෂ්ටික ගෝත්‍රික සමාජයක හොර ශාන්තුවරයින්ට සහ ඇත්ගොව්වන්ට කල්ලමරේය.


මේවා බොරුවකි. මිනිස්‌සු රැවටීමට හදාගත් උප්පර වැට්‌ටියකි. මේ ගැන දන්නා නොදන්නා පිරිස් ද සියල්ලෝම මේ වැරදි, මෝඩ වැඩවලට ගොස් අසරණ වෙති, සමහර අවස්ථාවල අලියාගේ බඩ යටින් දරුවන් යවන සමහර අවස්ථාවල අලියා පයින් පාගා දරුවන් මියගිය කතාන්දර රැසක් අප දැක අසා ඇත.


මේ නිසා මිත්‍යාව හැර යන්න. තවද, අලියාගේ බඩ යටින් රිංගා යෑමෙන් ලෙඩ සුවවන බව පැහැදිලිවම මිථ්‍යා මතයකි. සතුන්ගේ බඩ යටින් රිංගා යෑමෙන් අපල දුරුවන බවත්, ශක්තිය ලැබෙන බවත්, ලෙඩ සුවවන බවත් කිසිදු ආගමක සඳහන්ව නැත. මේවා සියල්ලක්ම මිථ්‍යා විශ්වාසයන් පමණක් බවත් කිසිදු සත්‍යයක් නොමැති බවත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පවසයි.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත   



අදහස් (0)

අලියාගේ බඩ යටින් රිංගා යෑමේ රෝග සුව කරන බොරුව මෙන්න !

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13226 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site