IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ඒ පවුලට විතරක් බැල මෙහෙවරකම් වහල්කම් කර කර ඉන්න පුළුවන්ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම 

  • මහින්ද මහත්තයා කීවේනම් ආපහු පවුලේ අය ළඟට ගන්නේ නෑ කියලයි 
  • 2050 වෙනකම් පොහොට්ටුවෙ වෙනකාටවත් ඉදිරියට යන්න බෑ. ඒකට රාජපක්ෂවරුන් පෙළගස්වලා ඉවරයි

 

 ‘මහින්ද සමඟ නැගිටිමු’ ව්‍යාපෘතියේ සමාරම්භකයකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අංශක 180ක්ම ආපසු හැරී මහින්ද කඳවුරට එරෙහිව අවි අමෝරා සිටී. ඒ ඇයි? එහෙම වුණේ ඇයි? අනාගත වැඩපිළිවෙළ කුමක්ද? මේ ඒ ගැන විමසමින් ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි. 


 ප්‍රශ්නය - නව ලංකා නිදහස් පක්ෂය ඔබේ අලුත් පක්ෂයයි? 


පිළිතුර - ඔව්! ඔව්! ඒක තමයි මගේ අලුත්ම පක්ෂය. 


 ප්‍රශ්නය - එහෙම පක්ෂයක් හදන්න තීරණය කළේ ඇයි? 


පිළිතුර - ඇයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අන්තිමටම විකුණලා තියෙන්නේ. දැන් ඒ පක්ෂය ගැන කතා කරන්නෙත් නෑ. ඒ පක්ෂයේ ඉන්න එවුන්ටත් හොඳටම බනිනවා. ඉතින් අපි මොකට ද පාච්චල් වෙවී එතැන ඉන්නේ? මේගොල්ලෝ ගන්න වැරැදි තීරණ නිසානේ ඔය තත්ත්වය ඇති වුණේ. 


 ප්‍රශ්නය - මහින්ද සුළගේ ඔබ ඉදිරියෙන්ම හිටියා. ඇයි එක පාරටම එතැනින් අයින් වුණේ? 


පිළිතුර - මහින්ද මහත්තයාට මම හුඟාක් උදව් කළා. හැබැයි වහල්කම් කරන්න මම කැමැති නෑ. ඒකට හේතුව පක්ෂයක් වුණාම ඒ පක්ෂයෙන් ඉදිරියට යන්න ඕනෑම කෙනෙකුට අවස්ථාවක් තියෙන්න ඕනැ. නමුත් ඔය හදපු පක්ෂයේ මහින්ද මහත්තයා සාමාජිකයෙක් නොවෙයි. ඒත් පක්ෂයේ වෙන කාටවත් ඉදිරියට යන්න බෑ. යන්න පුළුවන් කැබිනට් ඇමැතිකමක් දක්වා විතරයි. එතැනින් එහාට ජීවිතේට 2050 වෙනකම් කිසිම කෙනෙකුට ඉස්සරහට යන්න බෑ. ඒකට රාජපක්ෂවරුන් පෙළ ගස්වලා ඉවරයි. 


ඉතින් තවත් මොකට ද ඕකේ ඉන්නේ? කවුරුත් දේශපාලනය කරනවා විතරක් නොවෙයි ප්‍රමෝෂන් එකකුත් බලාපොරොත්තු වෙනවනේ. තමන්ට මහ ජනතාව කැමතිනම් තමන්ට එතැනට යන්න අවස්ථාව තියෙන්න ඕනැනේ. නමුත් එහෙම ඉඩක් දෙන්නේ නෑ. ඔය පක්ෂයේ ඔක්කොම ඉන්නේ පවුලේ අය. 


 ප්‍රශ්නය -ඔය කාරණාව සම්බන්ධයෙන් ඔබ පක්ෂය ඇතුළේ කතා කළ බවක්වත් ආරංචි නෑ? 


පිළිතුර - මෙහෙමනේ. මහින්ද මහත්තයා මොකද්ද මට කිව්වේ? මහින්ද මහත්තයා මට කිව්වෙ ආපහු පවුලේ අයව ළඟට ගන්නේ නෑ කියලා. 2015 පැරදිච්ච වෙලාවේ මම ගිය වෙලාවේ මහින්ද මහත්තයා මගෙත් එක්ක එහෙම කිව්වා. අපි පළාත් පාලන මැතිවරණය දිනුවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉතින් අපි මොකට ද ආයිමත් වහල්කම් කර කර ඔතැන ඉන්නේ. 


 ප්‍රශ්නය - ඔබටත් අගමැති වෙන්න ජනාධිපති වෙන්න ආශාවක් තිබුණා? 


පිළිතුර - ඕනෑම කෙනෙකුට එක එක බලාපොරොත්තු තියෙනවනේ. කිසි කෙනෙක් එකම තැන ඉන්න කැමැති නැහැනේ. තමන්ගේ ශක්තිය අනුව ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්න ඕනැනේ. දැන් එස්.අයි. මහත්තයා අයි.පී. වෙනවා. ඊට පස්සේ සී.අයි. වෙනවා. ඒ.එස්.පී. වෙනවා. එහෙම ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්න ඕනැනේ. ඒ පවුලට විතරක් බැල මෙහෙවරකම් කර කර වහල්කම් කර කර ඉන්න පුළුවන්ද? මට නම් බෑ. 


 ප්‍රශ්නය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂට ජනාධිපතිධුරයට ඉල්ලන්න බෑ. ඒ අවස්ථාව ඔබට ලැබෙයි කියලා ඔබ හිතුවා? 


පිළිතුර - මෙහෙමයි. මම එතුමාට කිව්වේ ජ්‍යෙෂ්ඨත්වයට තැන දෙන්න කියලයි. 


 ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබට දෙන්න කියලා? 


පිළිතුර - මම එදත් කිව්වා. මම අදත් කියනවා. මම කිව්වා ප්‍රාදේශීය සභාවකටවත් නොගිය කෙනෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙන එක වැරැදියි. ජ්‍යෙෂ්ඨත්වය ගත්තොත් ඉස්සරහින්ම ඉන්නවා වාසුදේව මහත්තයා. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් මම ඉන්නවා. ඉතින් ඒ නිසා මම කිව්වා ජ්‍යෙෂ්ඨත්වයට ඉඩ දෙන්න කියලා. ඒවා අහන්නේ නැත්නම් මොකට ද පාච්චල් වෙවී එතැන ඉන්නේ? 


අපිට මේ කැබිනට් ඇමැතිකමක් අරගෙන මොකටද? පේනවනේ දැන්නම් කැබිනට් ඇමැති කෙනෙක් වෙලත් වැඩක් නෑ. වැඩ කරන්න දෙන්නේ නැහැනේ. පේනවනේ වැඩ කරන හැටි. ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ අපිට වැඩ කරන්න බලයක් නෑ. ඒකට වෙනත් අය උඩින් දානවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. 


 ප්‍රශ්නය -පහුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ වෙනුවට වෙන කෙනෙක් දැම්මානම් දිනයිද? ඔබට ඒ ගැන තියෙන තක්සේරුව කොහොමද? 


පිළිතුර - මට පේන කියන්න බෑ. නමුත් මම එතුමාට විරුද්ධව වැඩ කළා. ඒක ඇත්ත. නමුත් මහජනතාව අපි කියන දේ ඇහුවෙත් නෑ. ඒකත් ඇත්ත. හැට නව ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒ නිසා අපි ඒකට ඔළුව පාත් කරන්න ඕනෑ. අපි ඒක පිළිගන්න ඕනෑ. මම කිව්වේ මහින්ද මහත්තයා වුණත් ඔතැනට ආවේ ජ්‍යෙෂ්ඨත්වය මත. ඒක තේරුම් ගන්න ඕනැ. 
දිනන්නේ කවුද පරදින්නේ කවුද කියලා මම දන්නේ නෑ. ඒක අහන්න ඕනැ සුමනදාස මහත්තයාගෙන්. නමුත් ජ්‍යෙෂ්ඨත්වයට තැන දෙන්න ඕනැ කියන ස්ථාවරයේ මම හිටියා. ඒ නිසා මම එතුමාට විරුද්ධව වැඩ කළා. 


 ප්‍රශ්නය -අගමැති මහින්ද සමඟ යළිත් සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද? 


පිළිතුර - විරුද්ධව වැඩ කරලා මම යන්නේ කොහොමද? ආපහු ආණ්ඩුවට එකතු වෙන්නවත්, ඇමැතිකම් ගන්නවත් මට බෑ. මට එහෙම පාච්චල් වෙන්න බෑ. කුමාර වෙල්ගම කියන්නේ කොන්ද කෙළින් තියාගෙන කෙළින් කතාකරන මිනිහෙක්. 


 ප්‍රශ්නය -ජනාධිපති ගෝඨාභයට ඇයි ඔබ ඔය තරම් විරුද්ධ? කතාව නම් යන්නේ පෞද්ගලික හේතුවක් නිසා කියලයි? 


පිළිතුර - මොන පිස්සුද? මට තියෙන්නේ දේශපාලන ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. මම මිලිටරිකරණයට විරුද්ධ මිනිහා. 

 ප්‍රශ්නය -- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ද ඔබේ දැන් නායිකාව? 


පිළිතුර - නෑ. නෑ. මගේ නායකයා කවුරුවත් නොවෙයි. මගේ නායකයා මම. චන්ද්‍රිකා නෝනා දේශපාලනයේ නැහැනේ. චන්ද්‍රිකා නෝනා මගේ නායිකාවක් නොවෙයි. චන්ද්‍රිකා නෝනා මං හිතන්නේ දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ඉතින් මගේ තියෙන අත්දැකීම්වලට අනුව මම ඉස්සරහට යන්න හොඳට කල්පනා කරලා බලලා තීරණයක් ගන්න පුළුවන්නේ. ඒකට මට කවුරුවත් අවශ්‍ය වෙන්නේ නැහැනේ. 


 ප්‍රශ්නය - නමුත් ඔබ හිටපු ජනාධිපතිනියගේ දිරච්ච දේශපාලන ලණුවක් කෑවා කියලයි සමහරු කියන්නේ? 


පිළිතුර - නෑ. නෑ. මම එතුමිය සමඟ සාකච්ඡා කළේ නෑ. මම හැබැයි එතුමියත් එක්ක ජනාධිපතිවරණයේදී නම් එකට වැඩ කළා. එකට වැඩ කළා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව වැඩ කළා. ඉතින් ඒක නිසා මට මගේ ගමන යන්න මට පුළුවන්. 


 ප්‍රශ්නය - අඩුම තරමින් ඔබට පහුගිය ජනාධිපතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවටත් බලපෑමක් කරන්න බැරි වුණා. ඔබට ඔබ ගැන පසුතැවීමක් නැද්ද? 


පිළිතුර - නෑ. නෑ. කිසිම පසුතැවීමක් නැහැ. ඔය කියන එක හරි. සිංහල ජාතිය ජාතිවාදී කළානේ. මුස්ලිම්වරුන් එපා. මේ ජාතිවාදය අවුස්සලා උපරිමයටම ගියානේ. ඒක නිසා තමයි සිංහල ජාතිය එකට එකතු වෙලා ඒ වගේ තීන්දුවක් ගත්තේ. අපි උපරිමව පෙන්නන්න හැදුවේ ජාතිවාදය නොවෙයි. මේ ජනාධිපතිවරණයේදී අපි කිව්වේ මිලිටරි පාලනයක් අපට එපා කියලයි. අපට ඕනැ රාජ්‍ය පාලනය දන්න හොඳ නායකයෙක්. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. අපිට මිලිටරි පාලකයෙක් එපා කියලයි අපි කිව්වේ. 


 ප්‍රශ්නය -ඔබේ ඒ කියමන තවමත් හරි කියලා ඔබ හිතනවද? 


පිළිතුර - තවම මාස තුනයිනේ. මම එදත් කිව්වා මම හිතුවා හැම ආයතනයකටම හමුදා නායකයන් දානවා කියලා. අද ඒක ඔප්පු වෙලා තියෙන්නේ. ඊට අමතරව වියත් මගේ අය දානවා කියලා මම කිව්වා. ඒවා වෙලා තියෙනවා. එතැන ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. මම ඒකට විරුද්ධව තමයි සටන් කළේ. ඒ වගේම මම මුලිනුත් කිව්වා පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වයට තැන දුන්නේ නැහැ. ඒක කළුතර දිස්ත්‍රික්කයේ මිනිස්සු විතරක් නොවෙයි ලංකාවෙම මිනිස්සු අර ජාතිවාදයට නැඹුරු වෙලා ගෝඨාභය මහත්තයාට ඡන්දය දුන්නා. හැබැයි අමතක කරන්න එපා පනස් හතර ලක්ෂයක් එතුමාට විරුද්ධව ඡන්දය දුන්නා. ඒකත් අමතක කරන්න එපා. 


 ප්‍රශ්නය -ඔබ මෙවර මහ මැතිවරණයේදී සහාය දක්වන්නේ කාටද? 


පිළිතුර - මම දැන් පක්ෂයක් හදලා තියෙන්නේ. ඒ පක්ෂය තවම ලියාපදිංචි කරලා නෑ. නමුත් නියමිත දිනයට පෙර ලියාපදිංචියට දාලා තියෙන්නේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් තවත් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් එකතු වෙලයි මේක දැම්මේ. තවම අපිට ලියාපදිංචිය ලැබිලා නෑ. නමුත් නව ලංකා නිදහස් පක්ෂය හැටියට අපි ඉදිරියට යනවා. 


 ප්‍රශ්නය - ලියාපදිංචිය නොලැබුණොත් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ? 


පිළිතුර - ඡන්දයට ඉදිරිපත් වෙන්නේ පොදු විපක්ෂයෙන්. ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග සමඟ එකතු වෙනවා. 


 ප්‍රශ්නය - පොදු විපක්ෂය කිව්වේ එක්සත් ජාතික පෙරමුණද? සමගි ජාතික බලවේගයද? 


පිළිතුර - මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ නෑ. 


 ප්‍රශ්නය - එහෙම නම් සජිත් ප්‍රේමදාසගේ සමගි ජාතික බලවේගයේ? 


පිළිතුර - තව කල් තියෙනවනේ. සමගි ජාතික බලවේගය කියන්නේ විපක්ෂයේ බහුතර කණ්‍ඩායමක් එකතු වෙච්ච තැනනේ. මටත් ඕනෑ වෙලා තියෙන්නේ බහුතර විපක්ෂයේ කණ්ඩායම එකතු වෙච්ච තැනක්. ඒ බලවේගත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව හොල්ලන්නයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. නමුත් යූඑන්පී එකක් නෑ. අලියත් නෑ. හංසයත් දැන් නෑ. අර පැත්තට අතත් නෑ. පුටුවත් නෑ බුලත් කොළයත් නෑ. 


 ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර නම් කියන්නේ ඔබ යූඑන්පීයට මුක්කු ගහනවා කියලයි? 


පිළිතුර - අනේ. කතා කරන්න එපා ඒගොල්ලන් ගැන. ඒ ගොල්ලන් ගැන කතා කිරීමෙන් කිසිම තේරුමක් නෑ. මොකද එක එක වෙලාවට එක එක පැත්තට යනවා. 


දැන් ඉතින් අන්ත බැණුම් අහනවා. එහෙම බැණුම් අහමින් දැන් කියනවා අපි එකතු වෙමු කියලා. කවුද ඒගොල්ලොත් එක්ක දැන් එකතු වෙන්නේ. ඔළුව හොඳ නැද්ද? ඔය වගේ කණ්ඩායමක් එක්ක යන්න නම් මගේ කිසිම අරමුණක් නෑ. 


 ප්‍රශ්නය - ඔබේ පුත්‍රයා සෙනාල් වෙල්ගම තාම ඉන්නේ මහින්ද කඳවුරේ කියලා ආරංචියි. ඔබට ඔබේ පුතාවත් දිනාගන්න බැරි වුණා? 


පිළිතුර - එයා දැන් දේශපාලනය කරන්නේ නෑ. එයා පොහොට්ටුවට ගියේ නෑ. එයා හොඳ උගත් මහත්තයෙක්. එයා නීතිඥවරයෙක්. එයා බැරිස්ටර්වරයෙක්. එංගලන්තයේ ඉගෙන ගත්තේ. එතුමාගේ බුද්ධියට සුදුසු තැන එතුමා ඉන්නවා. මගෙයි මගේ නෝනගේයි ලොකුම ජයග්‍රහණය තමයි ඒ වගේ පුත්‍රයෙක් ලබාගත්ත එක. ඊට වඩා දිනාගන්න දෙයක් නෑ. 


 ප්‍රශ්නය -ඔබ හිතන්නේ නැද්ද ඔබ නරක වෙලාවේ නරක තීරණ ගත්ත කෙනෙක් කියලා? 


පිළිතුර - නෑ කිසිසේත්ම නැහැ. මම ගත්තේ හරිම වෙලාවේ හරිම තීන්දුව. මම ගත්ත තීරණය ගැන මේ රටේ ජනතාව තේරුම් ගනීවි. මහ මැතිවරණයෙන් පස්සේ හදිසියෙවත් මේ මහ මැතිවරණය පොහොට්ටුව ජයග්‍රහණය කළොත් ජනතාව තේරුම් ගනීවි මම කිව්වේ මොකද්ද කියලා? දැනටමත් මහ ජනතාවට තේරිලානේ තියෙන්නේ. තවම දවස් 100යි. 
මොකද්ද මේ ආණ්ඩුව කළේ. මේ ආණ්ඩුව මොනවද මිනිසුන්ට දුන්න සහනය? වැඩි කරපු දීමනා දුන්නද? ගොවියට පොහොර ටික දුන්නද? අද හාල් කීයද? මේවා එකක්වත් විසඳා ගන්න බැරි ආණ්ඩුවක්නේ මේ ආණ්ඩුව? යම්තම් එල්ලිලා ඉන්නවා තෙල් මිල ටිකක් පල්ලෙහාට වැටිලා තියෙන නිසා. ඒකේ වාසිය මේගොල්ලන් ගන්නවා. ආණ්‍ඩුව ඒ වාසිය අරගෙන හරියන්නේ නෑ. ඒ වාසිය දෙන්න ඕනෑ ජනතාවට. අර ඉස්සර තිබුණ මිල සූත්‍රය තිබුණා නම් මෙලහකටත් සෑහෙන ගානකින් තෙල් මිල බැහැලා. නමුත් ඒ වාසිය මේ ආණ්ඩුව ජනතාවට දුන්නේ නැහැ. 


 ප්‍රශ්නය -පහුගිය කාලේ අගමැති මහින්ද රාජපක්ෂ කතාකරලා ඇහුවේ නැද්ද ‘මොනවද ඔය කරන්නේ’ කියලා. 


පිළිතුර - එහෙම නම් කතාකරලා නෑ. හමු වුණාම ඉතින් අතට අත දෙනවා. හායි හූයි කියනවා. එච්චරයි ඉතින්. එයා මාත් එක්ක තරහක් නෑ. මොකටද තරහා වෙන්නේ? මොකද දේපොළ බෙදා ගන්න බැරුවද? අපි අතර කිසිම තරහක් නෑ. මේක මම මේ ගත්ත දේශපාලන තීන්දුවක්. මහින්ද මහත්තයා එක්ක මගේ කිසිම තරහවකුත් නෑ. 
ගෝඨාභය මහත්තයා එක්ක තරහවකුත් නෑ. මම චන්ද්‍රිකා නෝනා එක්ක තරහත් නෑ. සිරිසේන මහත්තයා එක්කත් මම පෞද්ගලිකව තරහා නෑ. අපි කරන්නේ දේශපාලන සටනක්.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ඒ පවුලට විතරක් බැල මෙහෙවරකම් වහල්කම් කර කර ඉන්න පුළුවන්ද?

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

වමට දකුණට රට හැරවූ පෙරළිකාර අයවැය විජ්ජා
2025 පෙබරවාරි මස 10 125 0

ජාතික ජනබලවේග රජයේ මංගල අයවැය යෝජනාවලිය එන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණට අයත් මුදල් ඇමැතිවරයකු විසින් අයවැ


බෙදීම් මැද විපක්ෂය පණ ගහයි
2025 පෙබරවාරි මස 10 141 0

වර්තමාන පාර්ලිමේන්තුව පත්වීමට පෙර පැවැති පාර්ලිමේන්තුවල ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය ලෙස පැහැදිලිවම දෙපැත්ත හඳුනාගත හැකි විය. එහෙත් මෙවර ආණ්ඩු පක්‍ෂය ප


රාජ්‍ය ආයතනවල උපාධිධාරී කම්කරුවන්ට මොකද වෙන්නේ ?
2025 පෙබරවාරි මස 10 132 0

සාක්ෂරතාව අතින් ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට ශ්‍රී ලංකාවයි. මෙලොව එළිය දකින සෑම දරුවකුටම නිසි අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මකවෙන විව


ඇන් .ඇම් .ගේ මුදල් නෝට්ටු තහනමින් රට කැලඹුණු හැටි
2025 පෙබරවාරි මස 06 349 0

එක්දහස් නවසිය හැත්තෑවේ බලයට පත්වූ සමගි පෙරමුණු රජයද ආර්ථිකය යථාවත් කිරීම සඳහා විවිධ අත්හදා බැලීම් සිදුකළේය.


විජේවීර යාපනයේ දේශපාලනය ගොඩනැගූ හැටි
2025 පෙබරවාරි මස 05 189 0

1977 නොවැම්බරයේ දී ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමත් සමග - රෝහණ විජේවීර හිරෙන් නිදහස් විය.


“නිදහස් සටන මුවහත් කළ කවි අසිපත් ”
2025 පෙබරවාරි මස 05 52 0

නව නිදහස් සටනක ආරම්භය මෙසේ පබැඳුමෙන් ලියවෙද්දී නව දේශපාලන පරිච්ඡේදයත් සමඟ නව රජයක්, නව පාලනයක් යටතේ 77 වන නිදහස් දිනය අති උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි 0


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 195 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 936 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site