
ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. බදු ව්යූහයේදී පුද්ගල ආදායම් බද්දට යටත් අවම ආදායම් සීමාව රුපියල් 12,500කින් ඉහළ නැංවීම, පොත්පත් හා ලිපිද්‍රව්‍ය කිහිපයක් සඳහා වැට් බද්ද ඉවත් කිරීම, මාර්ග සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, හරිත බලශක්තිය ආදී අංශ ගණනාවක් ගැන මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කෙරිණි. එමෙන්ම රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යවසාය පනත් කෙටුම්පත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත ආදී නව පනත් කෙටුම්පත් කිහිපයක් 2027 වසරේදී ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා අයවැය කතාවේදී කීවේය. සමස්තයක් වශයෙන් 2027 අයවැයෙහි ඇතුළත් යෝජනාවල හොඳ නරක විමසමින් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියක් මෙසේය.
රුපියල් ට්‍රිලියන 1.7ක අයවැය හිඟයක්
වසර 2027 වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය විචාරාත්මකව විමසීමට පෙර එයින් ඉදිරිපත් කළ මූලික සංඛ්‍යා දත්ත ගැන කෙටි හැඳින්වීමක් කළ යුතුය. ඒ අනුව, මෙවර අයවැයෙන් රජයේ ආදායම වශයෙන් රුපියල් ට්‍රිලියන 6.1ක් ඉපැයීමට අපේක්ෂිත අතර රජයේ වියදම රුපියල් ට්‍රිලියන 7.9කි. මේ අනුව 2027 වර්ෂයේ අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 1.7කි. ඇස්තමේන්තුගත ආදායමෙන් රුපියල් ට්‍රිලියන 3.5ක් වැට් හා වෙනත් ආනයන බදුවලින් ඉපැයීමට අපේක්ෂිතය. මෙයින් පැහැදිලි වන්නේ රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වක්‍ර බදුවලින් ඉපැයීම රජයේ අරමුණ බවයි.
රාජ්‍ය වියදම් පාර්ශ්වය ගතහොත් මුළු මුදලෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් වෙන් කර තිබෙන්නේ ණය ආපසු ගෙවීමටය. ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කර තිබේ. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.12ක ප්රතිශතයකි. එය ධනාත්මක තත්ත්වයකි. 2027 සඳහා ප්‍රාථමික ශේෂය සියයට 2.3කි. ලබන වසරට අදාළ ණය ගැනීම රුපියල් ට්‍රිලියන 3.8කට සීමා කර තිබේ. 2026 පැවති අගයද මීට සමානය.
මාලිමා රජයේ අයවැය තුන ගැන තුලනාත්මක විමසුමක්
අයිතිවාසිකම් හා සාධාරණත්වය සහිත පොහොසත් රටක් හා ලස්සන ජීවිතයක් නමැති රාමුව ඇතුළත ඉදිරිපත් කරන ලද අයවැයක් වශයෙන් මෙය හඳුනාගත හැකිය. 2025 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය කේන්ද්‍රගත වූයේ ස්ථායීතාව ගොඩනැඟීම හා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීම යන කුලුනු මතය. එම වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.4ක අගයක් වාර්තා කිරීමට හැකි විය. වාහන ආනයනයෙන් උපයන ලද ආදායම් හා ප්‍රාග්ධන වියදම්වල පෙන්නුම් කරන ලද පසුබෑම ඒ සඳහා ප්‍රධාන වශයෙන් ඉවහල් විය. 2026 අයවැය ගත් විට එය ආර්ථික පරිවර්තනය හා වර්ධනය ඉලක්ක කරගත් එකක් විය. එම අයවැයේදී ආර්ථිකය කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව දියුණු කිරීම, අපනයන හා ආයෝජන ප්‍රවර්ධනය වැනි අංශවලට ප්රමුඛ අවධානයක් යොමු කෙරිණි. මෙපරිදි 2025, 2026 සහ 2027 වර්ෂ සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනවල කේන්ද්‍රීය අවධානය වෙනස් වී ඇති ආකාරයත් ඒවා අතර ඇති නොයෙක් සමානකම්ද හඳුනාගත හැකිය. ඒ අනුව 2025 අයවැයෙන් ආර්ථික ස්ථායීතාවත්, 2026 අයවැයෙන් ආයතනික ප්රතිසංස්කරණත්, 2027 අයවැයෙන් ආර්ථික පරිවර්තනය හා වර්ධනයත් ඉලක්ක කර ඇති බව දැකිය හැකිය.
2025 සිට 2027 දක්වා වසර තුනේ අයවැය ලේඛන අතර දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. ඩිජිටල් ආර්ථිකය හා ඊට අදාළ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට ඉහළ අවධානයක් යොමු කර තිබීම එකකි. 2027 අයවැයෙන් ඩිජිටල් ආර්ථිකයට අදාළ නව ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් මුදල් වෙන් කරනු ලැබ තිබේ. ඊට සමගාමීව අලුත් කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් පිහිටුවීමටද යෝජනා කර තිබේ. තවද ග්‍රාමීය ප්‍රදේශවල නව ටෙලිකොමියුනිකේෂන් කුලුනු ඉදිකිරීමටද අවධානය යොමු කර ඇත. මීට ඉහතදී රාජ්‍ය සේවක වැටුප අදියර තුනක් යටතේ වැඩි කිරීමට යෝජනා කරනු ලැබූ අතර ඒ අනුව එහි තුන්වැනි අදියරේ වැටුප් වැඩිවීම මේ අයවැයෙන් ලැබීමට නියමිතය. මූලෝපායික වශයෙන් වැදගත් යටිතල පහසුකම් දියුණු කිරීමටද මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබෙන අතර, ඒ යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය. ජපානයේ ජයිකා ආයතනයේ සහනදායී ණය ආධාර යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් ළඟදීම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
පසුගිය අයවැයෙන් නොකෙරුණු වැඩ 2027 අයවැයටත් ඇතුළත් කිරීම
මේ අතර පසුගිය අයවැය ලේඛන මඟින් මුදල් වෙන් කළ, එහෙත් අදාළ වසරවලදී සම්පූර්ණ කිරීමට නොහැකි වූ ව්‍යාපෘති මෙම අයවැයටද ඇතුළත් කර තිබේ. ඒ අනුව කෘෂිකර්මික ගබඩා හා ශීතාගාර පහසුකම් පුළුල් කිරීමේ පහසුකම් ඇති කිරීමට 2026 අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරනු ලැබුවද එය ඉදිකිරීමට නොහැකි වූ හෙයින් 2027 අයවැයෙන්ද ඒ වෙනුවෙන් මුදල් වෙන් කරනු ලැබ ඇත. අණපනත් අංශයේදීද මේ තත්ත්වය දැකිය හැකිය. ඒ අනුව 2027 අයවැයෙන් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කෙරුණු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත, ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සහ පර්යේෂණ හා සංවර්ධන පනත් කෙටුම්පත ආදිය ගැන ප්‍රතිපාදන 2025 සහ 2026 වර්ෂවල අයවැය ලේඛනවලද සඳහන් වුවද ඒවා ක්‍රියාත්මක තලයට පැමිණියේ නැත. එනයින් ඒවා මෙවර අයවැයටද ඇතුළත් කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අඩුපාඩු හා වෙනත් හේතු මත එකම අයවැය යෝජනා නැවත ඉදිරිපත් කිරීමක් සිදුව ඇති බවය.
අලුත් යෝජනා
මෙම අයවැයෙන් හඳුන්වා දෙන ලද අලුත් ආදායම් යෝජනා ගැන විමසා බැලීමද වැදගත්ය. ඒ යටතේ පුද්ගල ආදායම් බද්ද සඳහා සහනයක් ලබා දී ඇති බව දැකිය හැකිය. බද්දට යටත් නොවන වාර්ෂික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 18 සිට ලක්ෂ 19.5 දක්වා වැඩි කර තිබේ. ඒ අනුව, පුද්ගල ආදායම් බද්දට යටත් වන මාසික ආදායම් සීමාව රුපියල් 12,500කින්, එනම් රුපියල් 150,000 සිට 162,500 දක්වා ඉහළ නැංවේ. එහි ප්‍රතිලාභය සලකන විට අවම ප්‍රතිලාභය රුපියල් 750ක්ද උපරිමය රුපියල් 15,750ක්ද වේ. ඒ අනුව, මාසිකව රුපියල් ලක්ෂ 5ක පමණ වැටුපක් ගන්නා අයකුට රුපියල් 15,750කද ලක්ෂ දෙකක පමණ වැටුප් හිමියෙකුට රුපියල් 750කද ප්රතිලාභ හිමි වේ. 2025 වන විට ආදායම් බද්දට යටත් වන ආදායම් සීමාව රුපියල් ලක්ෂයක් වූ අතර එතැන් සිට මේ දක්වා එය රුපියල් 162,500 දක්වා ඉහළ නංවනු ලැබීම මත 2025-2027 කාලයේදී ලද බදු ප්‍රතිලාභය ගත් විට අවම අගය රුපියල් 4,250ක්ද උපරිම අගය රුපියල් 36,250ක්ද වේ.
තවත් අලුත් යෝජනාවක් වන්නේ විවිධ පොත් වර්ගවලින් වැට් බද්ද ඉවත් කර තිබීමය. මීට අමතරව එච්.එස්. කේත 800කට පමණ අදාළව සෙස් හා පැල් බදු අනුපාත සියයට 25කින් පහත හෙළා තිබේ. පුද්ගල සහනවලට වඩා වෙළෙඳාම ලිහිල්කරණය කිරීමේ අරමුණින් මේ අයවැය යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙවර අයවැයෙන් නව වියදම් යෝජනා ගණනාවක්ද ඉදිරිපත් කර තිබේ. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානි පූරණය කිරීමට රුපියල් බිලියන 260ක් පරිපූරක ඇස්තමේන්තුවක් හැටියට වෙන් කරනු ලැබ ඇත. මීට අමතරව ප්‍රධාන දුම්රිය මාර්ග තුනක කොටස් තුනක් විද්‍යුත්කරණය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 80ක් වෙන් කර තිබේ. සිසුන් 750,000කට බ්‍රෝඞ්බෑන්ඞ් වවුචර් ලබා දීමට කර ඇති යෝජනාවද අලුත් වියදම් යෝජනාවකි. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දීමනා ඉහළ නංවා ඇති අතර එයද වියදම් යෝජනාවකි.
ආර්ථික වර්ධනය ගැන කියන අංශ තුනක්
මෙවර අයවැයෙන් ආර්ථික වර්ධනය හා සංවර්ධනය අරබයා ප්‍රධාන අංශ තුනක් පිළිබඳ අවධානය යොමු කර තිබේ. ඒ යටතේ ප්‍රාග්ධන වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.1 දක්වා වැඩි කර ඇත. එහි රුපියල් අගය ට්‍රිලියන 2කි. එය අයවැයේ සමස්ත වියදමෙන් සියයට 35ක් පමණ වේ. එයින් වැඩි මුදලක් මාර්ග සංවර්ධනයට වෙන් කර තිබේ. එය ධනාත්මක තත්ත්වයක් හැටියට හඳුනාගැනීමට පිළිවන. ආර්ථිකයේ ධාරිතාව පුළුල් කිරීමට, පෞද්ගලික ආයෝජන වැඩි කිරීමට හා ඵලදායිතාව වැඩිදියුණු කිරීමට මෙයින් හැකියාව ලැබේ.
දෙවැනි අංශය බදු සහනවලට අදාළය. ඉහතදී දැක්වූ පරිදි ආදායම් බදු සීමා ඉහළ නැංවීම, අධ්‍යාපන උපකරණවලට අදාළව වැට් බදු ඉවත් කිරීම ආදිය මඟින් රුපියල් බිලියන 21ක පමණ සහනයක් සමාජයට ලබා දී තිබේ. මෙයින් ආර්ථිකයේ ඉල්ලුම් අංශය ඉහළ යෑමට යහපත් බලපෑමක් ඇති කරනු ලබන අතර එය ආර්ථික වර්ධනයටද හොඳය. තුන්වැනි අංශය ඵලදායිතා වර්ධනයයි. මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම, හරිත බලශක්තිය දියුණු කිරීම, වෘත්තීය අධ්‍යාපනය යනාදී අංශවලට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා මඟින් ආර්ථිකයේ ඵලදායිතාව වර්ධනය වෙතැයි සිතිය හැකිය.
දුර්වල ලක්ෂණ
මේ ආදී ධනාත්මක ලක්ෂණ මෙන්ම දුර්වල ලක්ෂණ කිහිපයක්ද හඳුනාගැනීමට පිළිවන. පළමුවැන්න නම්, රජයේ මුදල් ඉතිරිය පහළට ගමන් කිරීමට ඇති අවදානමයි. ඉදිරිපත් කර ඇති වියදම් යෝජනා ක්‍රියාත්මක කළහොත් මේ තත්ත්වය උද්ගත වනු ඇත. දෙවැන්න, රාජ්‍ය වියදම්වලින් සියයට 40ක් පමණ ණය ආපසු ගෙවීමට වෙන් කිරීමය. තුන්වැන්න, දුර්වල ලක්ෂණයකට වඩා වෙනස්කම් ඇති වීමට ඇති අවදානමකි.
එනම්, එල්නිනෝ තත්ත්වය අපේක්ෂා කරනවාට වඩා නරක ලෙස වර්ධනය වී කෘෂිකර්මාන්තය, බලශක්තිය වැනි අංශවලට අහිතකර බලපෑම් එල්ල වුවහොත් එයින් රජයට අමතර බරක් එකතු වීමට පුළුවන. එවැනි තත්ත්වයක් උදා වුවහොත් අයවැයෙන් දැන් කියන ඉලක්කම් වෙනස් අගයන් කරා ගමන් ගැනීමේ අවදානමක් තිබේ. මීළඟ කාරණය වන්නේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනින් ඉවත් වුවහොත් ආයෝජන හා වෙළෙඳපොළට කවරාකාරයේ බලපෑම් ඇති කරනු ලබයිද යන කුකුසය.
ප්‍රාග්ධන වියදම් ඌන උපයෝජනය බරපතළ ගැටලුවක් ලෙස මම දකිමි. 2026 අයවැයෙන් රුපියල් බිලියන 1,300ක් ප්‍රාග්ධන වියදම් හැටියට වෙන් කරනු ලැබුවද එම වසරේ පළමු මාස නවය අවසානයේ එයින් වැය කර තිබුණේ සියයට 30කටත් වඩා අඩු මුදල් ප්රමාණයකි. මේ සන්දර්භයේ 2027 අයවැයෙන් රුපියල් බිලියන 2,000ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරනු ලැබුවද එම මුළු මුදල වියදම් කිරීමට හැකි වේද යන පැනය නැඟීමට සිදු වේ. ඊට හේතුව, මේ මුදල් වැය කිරීමට අවැසි වෙනස්කම් කොතෙක් දුරට සිදු වී තිබේද යන්න ගැටලුසහගත වීමය. ප්‍රසම්පාදනය, ටෙන්ඩර් පටිපාටි, ඉඩම් අත්පත් කරගැනීම ආදී කටයුතුවලට අදාළ නීති හා ව්‍යූහවල සැලකිය යුතු වෙනස්කම් මෙවර අයවැයෙන් සිදු කර ඇති බවක් නොපෙනේ.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන ඉදිරි පියවරක් නොමැති වීම
රාජ්‍ය ව්‍යවසායයන් සම්බන්ධයෙන් තිබෙන්නේද ඊට සමාන තත්ත්වයකි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ග අයවැයෙන් පැහැදිලි කර නොමැත. රාජ්‍ය සේවයේ ප්‍රමාණය වැඩි බව කාලයක් තිස්සේ අවධාරණය කරනු ලැබුවද එය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවක්ද දකින්නට නොමැත. 2027 අයවැයට අදාළව ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතේ වැදගත් වගන්තියක් ඇතුළත් කර ඇත. මැදිකාලීන රාජ්‍ය මූල්‍ය වාර්තාව ඉදිරිපත් වූ පසු යම් අමාත්‍යාංශයක් වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් වැය කිරීම ප්‍රමාද වෙමින් තිබෙන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව එම මුදල් වෙනත් අංශයකට මාරු කිරීමට හැකි වීම එම විධිවිධානයයි. මෙය බැලූ බැල්මට හොඳ යෝජනාවක් වුවද එසේ හදිසියේ මුදල් වියදම් කිරීමට යෑමෙන් නිසි ශක්‍යතා අධ්‍යයනවලින් තොරව එම කටයුතු සිදු වීමේ අවදානමක් ඇත. බදු පදනමට අදාළව ගැටලුවක් මතු වේද යන සැකයත් පවතී. ආර්ථිකයේ ව්‍යූහාත්මක ගැටලුවලට ප්‍රමාණාත්මක විසඳුම් ලබා දී ඇති බවක්ද දැකිය නොහැකිය.
ජනතා අපේක්ෂාවලට සවන් දුන් අයවැයක්ද?
ජනතාව අතර තිබූ ඇතැම් අපේක්ෂාවලට අයවැයෙන් ආමන්ත්‍රණය වී ඇති බවක් නොපෙනේ. ඒ අතර එකක් වන්නේ ආදායම් බද්දේ උපරිම සීමාව වන සියයට 36 සියයට 30 දක්වා හෝ අඩු කරනු ඇති බවට වෘත්තිකයන් අතර තිබූ අපේක්ෂාවයි. එහෙත් 2027 අයවැයෙන් එවැනි පහළ හෙළීමක් සිදු නොවිණි. දරිද්‍රතාවට අදාළව පවතින දත්ත අනුව, අස්වැසුම වැඩසටහන යටතේ දුප්පත් කාණ්ඩයට ලැබෙන මාසික මුදල රුපියල් 5,000කින්වත් වැඩි විය යුතුව තිබුණද එයද සිදු නොවිණි. අවදානම්සහගත අය රැකබලා ගැනීම වෙනුවෙන් අයවැයෙන් වෙන් කරනු ලබන මුදල ප්‍රමාණවත්ද යන පැනය මේ පසුබිමේ මතු වේ. සමාජ ආරක්ෂණය ගැන මීට වඩා රජය සිතිය යුතුව තිබූ බව මගේ නිගමනයයි.
යථාර්ථයක් නොවන නිදහස් වෙළෙඳ ගිවිසුම්
අලුත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමත් ආයෝජන ප්‍රවර්ධනය කිරීමට තනි කවුළු විවෘත කරනු ලබන බවත් සෑම අයවැයකදීම ප්‍රකාශ කළද එම යෝජනා ප්‍රමාණාත්මකව ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළ පරිදි ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම ඉතාම වැදගත්ය. ඊට හේතුව ආර්ථික වර්ධනය අපේ දොරකඩ සිදු වීමය. මේ වෙද්දී ඉන්දියානු ආර්ථිකය පුළුල් ලෙස වර්ධනය වෙමින් තිබේ.
මේ පසුබිමේ ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ පුළුල් ආර්ථික සබඳතා ඇති කර ගත යුතුය. ප්රශ්නය වන්නේ ආර්ථිකමය වශයෙන් වැදගත් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කරගනු ලබන බවට ප්‍රකාශ කළද ඒවා යථාර්ථයක් නොවීමය. වෙන එකම දෙය වන්නේ එම යෝජනා නැවත නැවත අයවැය ලේඛනවලින් පැමිණීම පමණි. එය හොඳ ලක්ෂණයක් නොවේ. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පුළුල් බලතල සහිතව කාර්යාලයක් පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතු බව මම යෝජනා කරමි. එම කාර්යාලය පසු විපරම් සහිතව ක්‍රියාත්මක විය යුතුය.
උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd