
කඩුවෙල නගරාධිපති ජනපතිගේ අයවැයට දුන් තෑග්ග
ජාතික ජනබලවේගය ආණ්ඩු බලය ලබා ගත්තේ එතෙක් පැවැති ආණ්ඩු රට පාලනය කළ ක්‍රමයට හාත්පසින්ම වෙනස් පාලන ක්‍රමයක් ස්ථාපිත කරන බව පවසමිනි. ජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් මැති ඇමැතිවරුන්ට ලැබුණු තෑගි නිසා දූෂණයට පාර කැපෙන බව කී ජාතික ජනබලවේග නායකයෝ, තමන්ගේ පාලනයකදී එවැනි දෑ සිදු නොවන බව පුන පුනා කියා සිටියහ.
එයට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් ඉකුත්දා සිදු කළේ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසිනි. අතීතයේ මැති ඇමැතිවරුන්ට අවුරුද්ද අන්තිමේ තෑගි, හැම්පර් වැනි දෑ ලැබුණු බවත් දැන් එවැනි දෑ නොලැබෙන බවත් කී රන්ජන්, තමන් ද කන බොන අය නිසා එවැනි දෑ ප්‍රතික්ෂේප නොකරන බව කීවේය.
රන්ජන් ජයලාල් වත්මන් තනතුරට පත්වීමට පෙර ජවිපෙ තුළ සිටි ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති නායකයෙකි. එවැනි අයකු කළ මෙම ප්‍රකාශය බොහෝ දෙනාට සිහිපත් කළේ හිටපු ඇමැති මර්වින් සිල්වාය. මර්වින්ගේ කටට ද රන්ජන් ජයලාල්ගේ වගේම බොහෝ වෙලාවට “බ්රේක්” නැත.
“මේ ආණ්ඩුවත් තෑගි ඉල්ලනව ද? එතකොට ඡන්දෙ කාලයේ කියපු සුපිළිපන්න රට කෝ?” බොහෝ දෙනාට නැඟුණේ එවැනි ප්රශ්නයකි. ඒ සමඟම එය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට වැදුණු කළු පැල්ලමක් බවට විවිධ මත පළ විය. මෙම තත්ත්වය වඩාත් උග්‍ර වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක එම සතිය තුළ එළඹෙන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නිසාය. ජනාධිපතිවරයාගේ දර්ශනයක් රන්ජන් ජයලාල්ගෙන් කියැවුණු බැවින් මාධ්‍ය අවධානය ද එම ප්‍රකාශයට ඇදී ගියේය.
එහෙත් ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙතුන් දෙනකුගේ ප්‍රකාශ නිසා ජනතාවට පෙනුණේ රන්ජන්ට පක්ෂව හා විපක්ෂව ආණ්ඩුව තුළ මත දෙකක් පවතින බවය. කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කළේ රන්ජන් එසේ කීවාදැයි හරියටම පරීක්ෂා කර බලා අදහස් දැක්විය යුතු බවයි. රජයේ කිසිම මහජන නියෝජිතයකු අල්ලසට හෝ දූෂණයට සම්බන්ධ නොවන බව ද ඔහු කීවේය. වසන්ත සමරසිංහ ඇමැතිවරයා කීවේ එම ප්‍රකාශය සලකා බැලිය යුත්තේ එය කළ මොහොතේ එහි සිටි ජනතාව අනුව බවත්, ඔහු සැලකිය යුතු දෙයක් ප්‍රකාශ කර නැති බවත්ය.
මෙම අදහස්වලින් රජයේ ඔහුට සමීපව සිටි ඇමැතිවරුන් පැහැදිලිවම රන්ජන්ට හිතවත් මතයක් දරන බව පෙනී ගිය ද, ඔහුට තදබල ලෙස දෝෂාරෝපණය කළේ ඇමැති සුනිල් හඳුන්නෙත්තිය.
කඩුවෙල නගරාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත්, ජවිපෙවත්, ජාතික ජනබලවේගයවත්, පාක්ෂිකයකුවත් එය පිළිගත යුතු නැති බවත් ඇමැති හඳුන්නෙත්ති කියා සිටියේය. මෙවැනි ප්‍රකාශ කරන්නේ මොළේ අමාරු ඇති අය’ බව කී ඔහු, කලින් ආණ්ඩු සමයේ ගෙනා හැම්පර්, තෑගිභෝග තමන්ටත් ලබා දෙන ලෙස පැවසීම අල්ලස් ඉල්ලීමක් බව ද පැවසීය. මේ සඳහා පක්ෂය විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට තමා පක්ෂයෙන් ඉල්ලා ඇති බව ද ඇමැති හඳුන්නෙත්ති කීවේය. මේ අනුව ඇමැතිවරුන්ගේ පරස්පර ප්‍රකාශ හරහා ආණ්ඩුවේ යම් බෙදීමක් පවතින බව රටට පෙනී ගියේය.
ජනපති පෞද්ගලිකවම අයවැයට මහන්සි වෙලා
මෑත කාලීන සෑම ආණ්ඩුවකම පාහේ මුදල් ඇමැතිවරයා වූයේත්, බොහෝ විට අයවැය ලේඛන ඉදිරිපත් කළේත් ජනාධිපතිවරයාමය. නිලධාරීන් ලියා දෙන අයවැය කතාව ජනාධිපතිවරයා පැමිණ කියවාගෙන යන බව ප්‍රසිද්ධ රහසක්ව තිබිණි. ඇතැම් අවස්ථාවලදී අයවැය ඉදිරිපත් කරන අතරතුර වචන පටලැවුණු ජනාධිපතිවරුන් ගැන ද ජනතාවට මතකය. එහෙත් මෙවර මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ලැබුණේ ඊට වෙනස් අත්දැකීමකි. ජනාධිපති අනුර අයවැය ලේඛන සැකසීමට පෞද්ගලිකවම වෙහෙසවීම ඊට හේතුවය.
ඉකුත් 12 වැනිදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ අයවැය රහස් අඩංගු විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහාය. රජයේ නීතියක් බවට පත්වන දේ පළමුව කැබිනට් මණ්ඩලයෙන් අනුමත විය යුතු නිසා අයවැය ලේඛනය ඇමැතිවරුන්ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම සෑම වසරකම අයවැය දින පෙරවරුවේ සිදුවේ. ජනාධිපතිවරයා අයවැය රහස් අඩංගු කඩදාසි සියලු ඇමැතිවරුන්ගේ අතටම ලබා දී, ඉදිරි පැය කිහිපයේ තමා ඉදිරිපත් කරන කතාව ගැන කෙටියෙන් කියා සිටියේය.
“අපි ඔබතුමන්ලාත් එක්ක සෑම අමාත්‍යාංශයක්ම කැඳවලයි මේ අයවැය හැදුවේ. සාමාන්‍ය ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දෙන්න අපි උත්සාහ කළා. රජයේ සේවක වැටුප් අවුරුදු තුනක්ම එක දිගට වැඩි කරපු එකම ආණ්ඩුවක් අපි” යැයි ජනාධිපතිවරයා එහිදී කීවේය. ඇමැති මණ්ඩලය අයවැය යෝජනාවලිය සම්මත කළ පසු ජනාධිපති අනුර පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියේය.
තේ සාදයට විපක්ෂය නෑ
ජනාධිපතිවරයා පැය පහක කාලයක් ලබන වසරේ රට ගෙන යන ආකාරය ඇතුළත් අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළේය. වරින් වර ආණ්ඩු පක්ෂය මේසයට තට්ටු කරමින් තම සහයෝගය ජනාධිපතිවරයාට පුද කළේය.
දශක ගණනාවක සාමාන්‍ය සම්ප්රදාය වන්නේ අයවැයෙන් පසු මුදල් ඇමැතිවරයා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමයි. එම අවස්ථාවේ ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කරන ආකාරය ජනමාධ්‍යයට අපූරු ඡායාරූපමය ප්‍රවෘත්තියක් වුවත්, මෙවර ජනමාධ්‍යයට එම වාසනාව හිමි වූයේ නැත. විපක්ෂය ජනාධිපතිවරයාගේ තේ පැන් සංග්‍රහයට සහභාගි නොවී වෙනම ස්ථානයක තේ පානය කළ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ මුහුණු ඇදවී ඇති අයුරු ද දැකගත හැකි විය.
සජබ කෘත්‍යාධිකාරී රැස්වීම උණුසුම්
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉකුත් බදාදා පැවැත්වුණේ මාස තුනකට පමණ පසුවය. පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සභිකයන්ට පැහැදිලි කළ පක්ෂ නායක සජිත්, ඉන්පසුව එහි පැමිණ සිටි පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රධානියකු වන ආනන්ද පාලිත දෙසට හැරුණේ යම් කේන්තියකිනි.
“මොනවද පාලිත ඔයා මේ කියන කතා. අශෝක අබේසිංහ අස් කරපු එක වැරදියි කියලා ඔයා මීඩියා එකට ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. මතක තියාගන්න අපි අශෝක අබේසිංහ අස් කෙරුවේ නෑ. එයා තමයි ඉල්ලා අස්වීමේ ලිපියක් ගෙනත් දීලා තියෙන්නේ. මම ඒක භාරගෙනත් නෑ. අපි එයාව අස් කරලත් නෑ. එයා ඉල්ලා අස්වෙලත් නෑ. එහෙම නැති දෙයක් පක්ෂ තීන්දුවලට පිටින් ගිහින් තැන තැන කතා කරන්න එපා. ඔයා ඔය වැරැද්ද එක වතාවක් නෙවෙයි දෙතුන් වතාවක් කරලා තියෙනවා. යුනියන් ප්‍රශ්න ගැනත් ඔයා එළියට ඇවිත් එක එක කතා කියනවා. මීට පස්සේ එහෙම කියලා තිබුණොත් ඔයාව පක්ෂයෙන් අස් කරනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
ආනන්ද පාලිත නිහඬව සිටියේ නැත. තමා කියන්නේ රටේ ජනතාව කියන දේ බව කී ඔහු, පක්ෂය මීට වඩා පෙරළිකාර පක්ෂයක් විය යුතු බව කීවේය.
“ඔයාට මොනවා හරි කියන්න තියෙනවා නම් මෙතනට ඇවිත් කියන්න. විවේචනයක් තියෙනවා නම් මෙතන කරන්න. මයික් එකක් දෙකක් දැක්කම කියවන්න යන්න එපා” විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.
පාර්ලිමේන්තු වටරවුමේ සජබ කළ උද්ඝෝෂණය ගැන මරික්කාර් මන්ත්‍රීවරයා එම දිනවල පවසා තිබුණේ එය සජබයේ උද්ඝෝෂණයක් බවය. වෙනත් කෙනකු කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස මරික්කාර් එසේ කියා තිබිණි. එහිදී ද ආනන්ද පාලිත, මරික්කාර්ගේ ප්‍රකාශය වැරදි බවට දැඩි ලෙස විවේචනය කරමින් විපක්ෂයේ සියලු දෙනා එකමුතු වීම අවශ්‍ය බව කියා තිබිණි. මේ ආකාරයට ආනන්ද පාලිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට එරෙහිව ද වරින් වර අදහස් දක්වා තිබුණේය.
“තමන්ට ඕනෑ ඕනෑ දේ කියවන්න මීට පස්සේ කාටවත් ඉඩ දෙන්නේ නෑ” විපක්ෂ නායක සජිත් දැඩි ප්‍රකාශයක් කළේය.
ඉන්පසුව මතු වූයේ රජයේ මුදල් පෞද්ගලික රූපවාහිනියකට ලබා දී ඇති බවට වූ චෝදනාවය. මහේෂ් සේනානායක, ප්‍රසාද් සිරිවර්ධන, වරුණ රාජපක්ෂ ඇතුළු පිරිසක් කියා සිටියේ එම ආයතනයට රජයේ මුදල් ලබා දී ඇති බවත්, රජයේ මුදල් නොවන බවට නලින්ද ජයතිස්ස ඇමැතිවරයා රට නොමඟ යැවූ බවත්ය.
“ඒක වැරදියි. රජයේ මුදල් නොවේ නම් කැබිනට් එකෙන් අනුමත කළේ කොහොමද? මෙයාලා බොරු කියන්නේ. ඔය දීලා තියෙන්නේ රාජ්‍ය මුදල්. ඔය ගෲප් එකේ අය මුදල් කාරක සභාවට ගෙනත් ප්‍රශ්න කරන්න ඕනෑ. අනිත් අය සංචාරක මණ්ඩලය. එයාලත් ගෙන්වන්න ඕනෑ....” එම පිරිස කියා සිටියහ.
“හරි මෙතන හර්ෂ නෑ. මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා ආවම එයත් එක්ක කතා කරලා තීන්දුවක් ගන්න. හර්ෂ නැති තැන තීන්දු ගන්න යන්න එපා....” සජබ නායක සජිත් කීවේය.
ඉන්පසුව කතා වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නිතරම නොපැමිණෙන සාමාජිකයන් ගැන තීන්දුවක් ගත යුතු බවටය. සාමාජිකයන් පහළොවකට ආසන්න පිරිසක් රැස්වීම් වාර තුනකට පැමිණ නැති බව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේය. ඒ අනුව එදින සිට ඉදිරියට තුන් වතාවක් නොදන්වා නොපැමිණෙන සාමාජිකයන්ගේ තනතුර අහිමි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.
ආණ්ඩුව ගෙන එන අපරාධ මර්දන පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන පනත් දෙකෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කෙරෙන වගන්ති ඇති බව එහිදී තීරණය කෙරුණු අතර, එම පනත් දෙකට එරෙහිව ආසන මට්ටමින් විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට ද, ඉන්පසු දැවැන්ත විරෝධතාවක් කොළඹදී පැවැත්වීමට ද තීරණය විය.
සජිත් ඉන්පසු අශෝක අබේසිංහ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළේය.
“ඔය ප්‍රශ්නේ මං පිට දාන්න එපා. ඔය මතුවෙලා තියෙන්නේ දිස්ත්‍රික්කවල තියෙන ආරවුල්. දිස්ත්‍රික් නායකයෝ කියලා පත්වෙලා ඉන්න සමහර අය දිස්ත්‍රික්කයම තමන්ගේ අතට ගන්න හදනවා. කුරුණෑගල ඔය ආරවුල ඇති වුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් පත් කරන්න ගිහින්. ඒකට රණ්ඩු වෙලයි ඔය ගැටුම හැදුණේ. ඒක ඊට පස්සේ පක්ෂය පිට දාන්න එපා. මින් පස්සේ පුරප්පාඩුවක් තිබුණොත් අනිත් කාගෙන්වත් අනුමැතිය ගන්නේ නෑ. පක්ෂය විසින් ඒ පත් කිරීම කරනවා. සංවිධායක කෙනෙක් අලුතින් දාන්න බෑ. ඒකට රණ්ඩු වෙනවා. මේක කරන්න බෑ....” විපක්ෂ නායක සජිත් තදින්ම කීවේය. මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය දෙකක පමණ කාලයක් පැවැත්විණි.
අයවැය ගැන විපක්ෂයට වැඩමුළුවක්
කොළඹ පුල්මන් හෝටලයේදී විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් බදාදා විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ අයවැය විවාදයට මුහුණ දෙන ආකාරය ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප සභාපති කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා එහිදී මෙවර අයවැය යෝජනා සහ ඉකුත් වසරේ ඉටු නොකළ පොරොන්දු ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.
“දිට්වා විපතේදී රජය ජනතාවට බොරු කෙරුවා. දෙනවා කීව වන්දි බොහෝ දෙනකුට දීලා නෑ.... ගිය අයවැයේ වෙන් කළ සල්ලිවලින් වියදම් කරලා තියෙන්නේ බාගයයි....” විපක්ෂ නායක සජිත් කීවේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා වත්මන් රජය යටතේ ඇති වී තිබෙන බදු බර ගැන දීර්ඝ විස්තරයක් කළේය. “එක බදු සහනයක් ලබා දී තිබෙනවා. මාසික වැටුප එක්ලක්ෂයකට තිබූ පුද්ගල බද්ද රුපියල් එක්ලක්ෂ පනස් දාහට ඉහළ දාලා සහනයක් දුන්නා. හැබැයි බදු සංශෝධන එකොළහක් සිදු කරලා තියෙනවා. මේ බදුවලින් ගණනාවක්ම අයහපත්....” මහාචාර්යවරයා කීවේය.
මෙහිදී විපක්ෂ නායක කාර්යාලය මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් අයවැය සහ වත්මන් අයවැය ගැන සියලු තොරතුරු ලබා ගත හැකි නව වෙබ් අඩවියක් ද හඳුන්වා දුන්නේය. ජනතාවට ද එම තොරතුරු ලබා ගත හැකි බව එහිදී කියැවිණි. විපක්ෂ නායක කාර්යාලයට ජාතික ඵලදායිතා සම්මානයේ තුන්වැනි ස්ථානය හිමි වී තිබූ අතර මන්ත්‍රීවරු එම සම්මානය ද අගයමින් කතා කළහ. දයාසිරි ජයසේකර, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරුන් සමඟ කතා කරමින් සිටි එක් මන්ත්‍රීවරයකුගේ ප්‍රකාශයකින් හැම දෙනාම සිනා සයුරේ ගිලී ගියේය. “මේ පාර තුන. ලබන පාර පළමුවැනි තැන. එහෙම ලැබුණොත් අපි හැමදාම විපක්ෂයේ” එම මන්ත්‍රීවරයා කීවේය.
සිරි රණසිංහ සූරීන්ට ලැබුණු උපහාරය
ජනමාධ්‍ය කලාවේ විශිෂ්ටයන් ඇගයෙන ප්‍රධානතම සම්මාන උලෙළ වන “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ ” මෙවර පැවැත්වුණේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව මෙම උළෙල සංවිධානය කරයි. එහි විශේෂත්වය වූයේ වසර විසි හතක සම්මාන උත්සව ඉතිහාසය තුළ ජනමාධ්‍ය වෘත්තිය වෙනුවෙන් ඇපකැප වී මහත් සේවයක් කළ විශිෂ්ටයකුට විශේෂ සම්මානයක් හිමි වීමය. ඒ ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහයන් අගයමිනි.
සිරි රණසිංහ සූරීන්ට වේදිකාවට ආරාධනා කරද්දී මුළු සභාවම නැඟිට අත්පුඩි ගසමින් විනාඩි ගණනක් හිටපු ප්‍රධාන කර්තෘවරයාට ආචාර දැක්වීය.
ඒ වෙද්දී දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන දිලිත් ජයවීර සිටියේ සිරි රණසිංහ සූරීන් සමීපව අසුන්ගෙනය. දිලිත් වහාම සිරි රණසිංහයන්ගේ අතින් අල්ලාගෙන වේදිකාවටම කැඳවාගෙන ගියේය. දේශපාලනයෙන් තොරව දිලිත්ගේ මෙම ක්‍රියාව එහි සිටි බොහෝ දෙනකුගේ ඇගයුමට ලක් වූයේ ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨයාට දැක්වූ ගෞරවය නිසාය.
හිරේ ඉඳලා නාමල් සුදුවෙලා
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවමත් සිටින්නේ බන්ධනාගාරගතවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක, සාගර කාරියවසම්, ජානක වක්කුඹුර ඇතුළු පිරිසක් නාමල් බැලීමට බන්ධනාගාරයට ගොස් තිබිණි.
“මේ බ්‍රහස්පතින්දා අයවැය එනවනේ... අපේ අයට හොඳින් අයවැය අධ්‍යයනය කරන්න කියන්න. ඒ වගේම කමිටුවක් පත් කරලා අධ්‍යයනය කරන්න. තරුණ අයට වගකීම් භාර දෙන්න ඕනෑ....” නාමල් එහිදී තම සගයන්ට කීවේය.
“විශේෂයෙන්ම රූපවාහිනී නාළිකාවල වැඩසටහන්වලට තරුණ අය යවන්න අපි තීරණය කළා....” ජොන්ස්ටන් කීවේය.
“ඔව්... කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, අපේ ඩී.වී. චානක මේ ඔක්කොම හැදුණේ ඒ දවස්වල තරුණයන්ට වැඩි අවස්ථාවක් ලැබුණු නිසා.... මුලින්ම රූපවාහිනී වැඩසටහන්වලට යන්න කලින් හරියට දත්ත ටික එකතු කරගන්න. අනුර කුමාර වගේ කටට එන ඒවා කියන්න යන්න එපා. එතකොට නිකන්ම සවුත්තු වෙනවා....” නාමල් අතීතය මතක් කරමින් කීවේය.
“අපි දැන් කොට්ඨාස රැස්වීම් පටන් අරගෙන තියෙන්නේ....” ඩී.වී. චානක කී අතර, “යුක්තිය වෙනුවෙන් නැඟිටිමු” සම්මන්ත්‍රණයට හොඳ ප්‍රතිචාර තියෙනවා යැයි ජොන්ස්ටන් කියා සිටියේය.
“හරියට දැනගෙන කතා කරන්න කියන්න. පසුගිය අයවැයෙන් කරනවා කියලා පොරොන්දු වෙච්ච ඒවත් තාම කරලා නෑ. ඕවා ගමින් ගමට ගිහිල්ලා කියන්න” නාමල් සගයන්ට උපදෙස් දුන්නේය.
ඊට පසු දින ද නාමල් බැලීමට ඩී.වී. චානක සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ගියත්, නාමල් රඳවා සිටි බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර දෙකක සරම්ප රෝගය පැතිර යාම නිසා ඔවුන්ට ඔහු බැලීමට හැකි වූයේ නැත. ඉන්පසුදා ක්‍රිෂ් නඩුවට අදාළව කොළඹ මහාධිකරණයට නාමල් රැගෙන ඒමට නියමිතව තිබුණත් සරම්ප රෝගය නිසා එදින ද කැඳවාගෙන ආවේ නැත.
එහෙත් 12 වැනිදා අයවැය යෝජනාවලිය නිසා නාමල් පාර්ලිමේන්තුවට ආවේය. ඩී.වී. චානක සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තුව තුළට පැමිණි ඔහු දුටු මාධ්‍යවේදියකු “ආ නාමල් මන්ත්‍රීතුමා සුදුවෙලා....” යැයි කීවේය. “ඇයි ඉතින් මට ඉර එළිය වැටෙන්නේ නෑනේ. ඒ නිසා සුදුවෙලා” කියා සෙමින් කී නාමල් සභාව තුළට ගියේය.
ශ්‍රීලනිපයේ පාර්ශ්ව මැතිවරණ කොමිසමට
අවස්ථා කිහිපයක්ම මෙරට ආණ්ඩු බලය හෙබවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඇත්තේ මැතිවරණවලට තරග කළ නොහැකි “අක්‍රීය” ලැයිස්තුවේය. එම පක්ෂයට එසේ වීමට “බල ලෝභය” යන වචනය හැර අන් වචනයක් සොයා ගත නොහැකිය. මේ වන විට ශ්රීලනිපය කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති අතර මැතිවරණ කොමිසම එම කිසිදු පාර්ශ්වයක් පිළි නොගනී.
මැතිවරණ කොමිසම ඉකුත් සිකුරාදා පක්ෂයේ සියලු කණ්ඩායම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීය. දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ඇතුළු පිරිස ඊට එක්ව සිටියහ.
“ඔබතුමාලාගේ පක්ෂය දැන් අක්‍රීය පක්ෂයක්. තවදුරටත් මේ පක්ෂයෙන් ඡන්ද ඉල්ලන්න බෑ. අපි මේ ගෙන්වලා කතා කෙරුවේ පක්ෂයට මොකද කරන්නේ කියලා දැනගන්න” කොමිසමේ නිලධාරීහු විමසූහ.
“මම මේ පක්ෂයේ ලේකම් හැටියටයි හිටියේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක පාරටම මාව ඉවත් කළා. මං ඒකට උසාවි ගියා. මාව ඉවත් කිරීම වැරදියි කියලා ඒකට අතුරු තහනම් නියෝගයක් ඇවිත් තියෙනවා. එතකොට අපේ පක්ෂයෙන් පත් වූ මන්ත්‍රී පිරිසක් රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති ධුර අරගෙන. මම ලේකම් ධුරයේ වැඩ භාරගන්න එනකොට මෙයාලම මට එරෙහිව කටයුතු කළා. පොලිසිය දාලා මාව බ්ලොක් කළා. අන්තිමට මෛත්‍රීපාල සිරිසේන එක්ක රණ්ඩු වෙලා තව පිරිසක් සභාපති හා ලේකම් ලෙස පත් වුණා... මට ලේකම් ධුරය දරන්න පුළුවන් කියලා උසාවි නියෝගයක් තියෙද්දී ඔබතුමාලත් ඒකට උදව් කෙරුවේ නෑ...” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කොමිසම හමුවේ කියා සිටියේය. මේ වන විට පක්ෂයේ නිලතල දැරූ පුද්ගලයන් අතර එකිනෙකාට එරෙහිව නඩුහබ ගණනාවක් තිබේ.
“අපි නිලවරණයක් තියලා පත් වුණා. අපි දැන් තනතුරුවල ඉන්නවා. ඒ තනතුරුවලට තවම වාරණයක් දාලා නෑ. හැබැයි වාරණයක් ආවොත් අපි මෙතුමාට ඒ තනතුර භාර දෙන්න ලෑස්තියි...” නිමල් සිරිපාල කීවේ දයාසිරි පෙන්වමිනි.
“දැනට පක්ෂය අක්‍රීයයි. ඔය තනතුරු ප්‍රශ්න ඔයාලා විසඳාගෙන ආවොත් අපිට පුළුවන් පක්ෂය ක්‍රියාකාරී ලැයිස්තුවට දාන්න” මැතිවරණ කොමිසමේ නිලධාරීහු කියා සිටියහ.
“එහෙනම් නිලවරණයක් තියන්න. පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අවුරුද්දකට වතාවක් නිලවරණය තියන්න ඕනෑ. ඒත් දැන් අවුරුදු තුනකින් නිලවරණ තියලා නෑ.....” දයාසිරි ඉල්ලා සිටිය ද ඒ සඳහා කිසිවකුගේවත් එකඟතාවක් පළ නොවීය.
සියලු දෙනාම මැතිවරණ කොමිසමෙන් නික්ම ආවේ පක්ෂය තවදුරටත් අක්‍රීය ලැයිස්තුවේ රඳවමිනි. පක්ෂය ස්ථාවර කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුර භාර ගන්නැයි දයාසිරිට ඉල්ලීමක් ලැබී ඇතත්, ඔහු කියන්නේ ලේකම් තනතුරේ සිටි තමා එවැනි කුඩා තනතුරකට එක් නොවන බවයි.
අයවැයට මල් පාරෙන් ප්‍රතිඋත්තර
අයවැය ඉදිරිපත් කෙරුණු සැණින් මල් පාර දේශපාලන කාර්යාලය ප්‍රතිඋත්තර බැඳීමට ලහිලහියේ සූදානම් විය. දේශපාලන මෙන්ම ආර්ථික විශ්ලේෂකයන් විසින් අයවැය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා සවස මාධ්‍ය හමුවක් කැඳවීමට ද එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. සභාපති වජිර අබේවර්ධන මාධ්‍ය හමුව කැඳවමින් අයවැය ගැන විවරණයක් කළේය.
ආණ්ඩුවේ 2027 අයවැය ඔවුන්ගේ තේමාවට අනුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගෙන එන අයවැයක් නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම එම තේමාව හාස්‍යයට ලක් කළ එකක් බවත් ආර්ථික විශ්ලේෂකයෝ රනිල් හමුවේ පෙන්වා දුන්හ.
“ලබන වසරේ මාර්තු වන විට අයි.එම්.එෆ්. ගිවිසුම ඉවරයි. තවදුරටත් එ්කත් එක්ක කටයුතු කරනවද කියලා බලන්න කමිටුවක් දානවා කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා. මේක මහා විහිළු කතාවක්. කිසිම රටක් අයි.එම්.එෆ්. එකත් එක්ක යනව ද නැද්ද කියලා බලන්න කමිටු දාන්නේ නැහැ. අනික් ප්‍රධාන කාරණය තමයි ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් නිසා නිලධාරීන් වැඩ කරන්න බය වෙලා ඉන්නේ” යැයි එම විශ්ලේෂකයෝ කීහ.
පක්ෂයේ තරුණ යාන්ත්‍රණය යොදවා අයවැය පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද රනිල් හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට සහ හිටපු මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්නට වගකීම පැවරීය. ඒ අනුව සිකුරාදා නව පරපුර මාධ්‍ය හමුවක් කැඳවා කදිම විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.
දීපාවලී භෝජනයට ගිය ජවිපෙට සමාජ මාධ්‍යයෙන් සරදම්
සති ආරම්භයේදීම සුවිශේෂී දෛවෝපගත සිද්ධියක් විය. දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ ඉන්දීය නිල නිවසේදී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහි ආරාධිතයන් ලෙස හිටපු ජනපතිවරුන් වන රනිල් සහ මෛත්‍රී ද, ජවිපෙ නියෝජනය කරමින් ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ සහ ඩිජිටල් නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න ද සහභාගී වූහ.
එහි විශේෂත්වය වූයේ ඉල්මහ විරු සමරුව කට උඩ තියාගෙන මෙම දීපාවලී උත්සවයට ජනතා විමුක්ති පෙරමුණට සහභාගී වීමට සිදු වීමයි. ඉතිහාසය පුරාම ඉල්මහ විරු සමරුවේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රකාශ වූයේ ඉන්දීය විරෝධයයි. ඉල්මහ විරු සැමරුමට දින දෙක තුනක් තිබියදී මෙලෙස ඔවුන්ට දීපාවලී උත්සවයකට සහභාගී වීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් විය.
මේ සිදුවීම අලළා සමාජ මාධ්‍යයේ ද නොයෙක් විසුළු සහගත පුවත් පළ වී තිබිණි. ජවිපෙ නායකයන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ එක මේසයේ වාඩි වී ඉන්දියානු ආහාර ගැනීම සමාජ මාධ්‍යයෙන් හාස්‍යයට ලක් කර තිබිණි.
ශ්රීලනිපය රැකගන්න රනිල් මැදිහත් වෙයි
තම පක්ෂයේ කටයුතු කරනවාට අමතරව රනිල්ට වෙනත් පක්ෂවල අර්බුද විසඳීමට ද මැදිහත් වන්නට සිදුව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් ඉදිරියට ගියහොත් එම පක්ෂයට මැතිවරණවලට තරග කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බැවින්, රනිල් දැන් අත ගසා සිටින්නේ ශ්රීලනිපය රැක ගැනීමේ වෑයමකටය.
මේ අර්බුදයට විසඳුමක් සාකච්ඡා කරන්නට රනිල් පළමුවෙන්ම ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වය හමු විය. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් ද සහභාගී විය. ශ්‍රීලනිප අර්බුදය දුරදිග ගෙන යන්නේ නැතිව විසඳා ගත යුතු බව ඔවුන්ගේ මතය වී ඇත. ඉදිරියේදී රනිල්, නිමල් සිරිපාල පාර්ශ්වය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
කස්සප හිමිගේ උපවාසය හා කොළඹ ගංවතුර ගැන රනිල් හමුවේ කතාබහ
බලන්ගොඩ කස්සප හිමියන්ගේ අනුරාධපුර උපවාසය ගැන ආණ්ඩුවේ කිසිවකුත් කලින් දැනුවත් වී නොතිබිණි.
“ගොඩක් බෞද්ධයන් මහා සෑය ළඟ සත්යග්රහ කරනවාට විරුද්ධ වුණත් ඒ හාමුදුරුවන්ට සලකපු විදිය ගැන කැමැත්තක් නෑ. බහුතර බෞද්ධ ජනතාව පහර දීමට විරුද්ධයි. ආණ්ඩුව ආදායම හොයන්නේ කොහොම ද කියලා කල්පනා කරන්න වෙනවා. විශේෂයෙන් විදේශ ආදායම හොයන ක්‍රම තියෙන්න ඕනෑ. සහන දෙන්න තිබුණේ රුපියල ශක්තිමත් කරලා. දැන් රුපියල බාල්දු කරලා තියෙන්නේ. අනික මේ කොළඹට ආපු අමුතු වැස්සක් නෙමෙයි. හැමදාම එදා ඉඳන් කොළඹට වැස්සා. මේ කානුම තමයි තිබුණේ. හැබැයි මෙහෙම යට වුණේ නෑ. මේකෙන් පේන්නේ නගරාධිපතිනියගේ අදක්ෂ බව” රනිල් වත්මන් ප්‍රශ්න කිහිපයක් ගැන එසේ කතා කළේය.
මෙහිදී අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක, වර්තමානයේ පැන නැඟී ඇති කොළඹ වැසි වතුර අර්බුදය ගැන දීර්ඝ විවරණයක් කළේය.
“මේ ඇති වුණු වැසි නිසා කැලණි ගඟේ හෝ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් නිසා කිසිදු ගංවතුර තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි අධිකාරියට චෝදනා කරන්න අවශ්‍ය නැහැ. කොළඹ නගරයේ තිබෙන ප්‍රධාන ඇළ මාර්ග වන ශාන්ත සෙබස්තියන් ඇළ, වැල්ලවත්ත ඇළ, කටු ඇළ ආදිය පාලනය කරන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින්. පසුගිය දිනවල ඇති වුණු වර්ෂාව හේතුවෙන් මේ කිසිදු ඇළ මාර්ගයක පිටාර යාමක් සිදුවෙලා නැහැ.
එසේ නම් මොකක්ද සිදුවෙලා තිබෙන්නේ? කොළඹ මහනගර සභාව විසින් නඩත්තු කරන, සංවර්ධනය කළ යුතු කානු පද්ධති සම්පූර්ණයෙන්ම අවහිර වීම හා ඉතා අපහසුවෙන් ගොඩනඟන ලද නව කානු පද්ධති, පදික වේදිකා ආදිය පසුගිය වසර දෙකක කාලය තුළ ඉතාම බරපතළ විදිහට අවහිර වීමයි.
මුලදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ මිලිමීටර් 129ක ඉතා අධික වර්ෂාවක් වැටුණා කියලයි. නමුත් අතීත දත්ත බැලුවම 1992 දී මිලිමීටර් 396ක් වැස්සා. මට මතකයි ඒ කාලේ මහ ඇමැති සුසිල් මුණසිංහ මහත්තයාගේ ගෙදරත්, නාගරික සංවර්ධනය භාරව හිටපු සිරිසේන කුරේ මහත්තයාගේ ගෙදරත් යට වුණා. 2010 දීත් මිලිමීටර් 376ක වර්ෂාවක් ඇද වැටී පාර්ලිමේන්තුව පවා යට වුණා. ඒ අනුව ඉතිහාසයේ අවස්ථා ගණනාවකම මීට වඩා වැඩි වර්ෂාපතනයන් ඇද වැටී තිබෙනවා.
නගරාධිපතිතුමිය කිව්වා මිලිමීටර් 30කට වඩා වැස්ස වැටෙන එක කොළඹට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. නමුත් කොළඹ සියලුම ඇළ මාර්ග සංවර්ධනය කර තිබෙන්නේ පැයකට මිලිමීටර් 120ක වර්ෂාපතනයකට සහ දිනකට මිලිමීටර් 476කට ඔරොත්තු දෙන විදිහටයි. එවැනි වැස්සක් පසුගිය කාලයේ ඇති වුණේ නැහැ. එහෙම නම් ඉතාම පැහැදිලියි නගර සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේික්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘති වචනයට සහ සමාජ මාධ්‍යයට පමණක් සීමා වෙලා තිබෙන බවයි” පාඨලීගේ එම විවරණයට රනිල් ද සාවධානව ඇහුම්කන් දුන්නේය.
රාජ දූත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd