(අංජුල මහික වීරරත්න සහ නෙළුව පියරත්න ජයවික‍්‍රම)

”අනාගතයේ ජාත්‍යන්තරය සමග එක්වී දියුණුවන ශ්‍රී ලංකාවේ සැබෑ උරුමක්කරුවන් වීමට නම් නවීන භාෂා ඉගෙන ගන්නැයි.” අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලාංකේය තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේය. 
‘‘ආර්ථිකය දියුණු වීමත් සමඟ රැුකියා වෙළෙඳ පොළ කුමක් දැයි හඳුනාගෙන ඊට උචිත අධ්‍යාපනයක් දෙන බව ද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය. 
නෙළුව හප්පිටිය ග‍්‍රාමයේදී යෞවන සමාජ තරුණ තරුණියන් සමග සුහද සංවාදයකට එක් වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. 
ජාතික තරුණ සේවා සභාව සහ අයි.ටී.එන්. නාළිකාව එක්ව සංවිධාන කළ යූත්විත් ටැලන්ට් වැඩ සටහනේ ගමට කෝටියක් තරග ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය දිනූ හප්පිටිය රිදී තරු පාලම නිරීක්ෂණයට එක් වු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනතුරුව තරුණ තරුණියන් සමඟ සුහද සංවාදයක ද නිරත විය. 
තරුණ තරුණියන් ඉතා උනන්දුවෙන් තම ගැටලූ මෙන්ම අදහස් ද අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන අයුරු දැක ගත හැකි විණි. 
තරුණ තරුණියන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළ ප‍්‍රශ්න සහ අදහස් ද ඒවාට අග‍්‍රාමාත්‍යවරයා දුන් පිළිතුරු ද මෙසේය. 

ප‍්‍රශ්නය :- ස්වේච්ඡා සංවිධාන ක‍්‍රියාකාරීන්ට විශ්වවිද්‍යාල හෝ විද්‍යා පීඨයට හෝ ඇතුළත් වීමේදී යම් ලකුණක් දිය හැකි නම් ඉතා කාලෝචිත බව අපේ හැඟීමයි. 
පිළිතුර :- අනාගතයේදී වැඩිදුරම තැනක් ලැබෙන්නේ වෘත්තීය පුහුණුවටයි. වෘත්තීය දැනුමටයි. ප‍්‍රදේශයේ දියුණුවට නම් වෘත්තීය දැනුමක් අවශ්‍යයි.
යෞවන සමාජ මාර්ගයෙන් ගමේ කරන වැඩ කටයුතු මාර්ගයෙන් යෞවන සමාජයත් වෘත්තීය පුහුණුවට එකතු විය යුතුයි. සියලූ දෙනාටම විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව නැහැ. කිසිම රටක හැම දෙනාටම උපාධිය ලැබෙන්නෙත් නැහැ. හැමදෙනාම ගුරු වෘත්තියට යන්නෙත් නැහැ. යෞවන සමාජ, පුද්ගලික අංශය සියල්ල එකතුවී පුහුණුවීම් කටයුතු ගමේම කරන්නේ කෙසේදැයි අප සාකච්ඡා කරනවා. 

හෝටල් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ඔබ භාෂා ඉගෙන ගත යුතුයි. දෙද්දුව, අකුරල ඇතුළු ප‍්‍රදේශයේ ශීඝ‍්‍ර ආර්ථික දියුණවක් ඇති වීමට නියමිතයි. ඔබ භාෂා ඉගෙන ගත්තොත් හොඳයි නේද? ඔබට නව රැකියා අවස්ථා ලැබෙනවා. සංචාරක මඟ පෙන්වන්නකු බවට පත් වීමට හැකියාව තිබෙනවා. 
මේ ප‍්‍රදේශයෙන් සිංහරාජයට 50 දෙනෙකුවත් යන්නේ නැති බව මා සිතනවා. ඇයි ඒ? 200 ත් 500 ත් සංචාරකයන් ගෙන යන්න බැහැ. 

අනික අපට අවශ්‍ය පොල් කුඩු සංචාරකයන් නොවෙයි. සල්ලි වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගත යුතුයි. යෞවන සමාජ රජය සහ පෞද්ගලික අංශය එකතුවී ඉදිරියට යන ක‍්‍රමය ගැන අප සාකච්ඡුා කරනවා. ඔබත් ඒ වගකීම භාර ගත යුතුයි. 
ප‍්‍රශ්නය:- නියාගම යෞවන සමාජ ප‍්‍රාදේශීය බල මණ්ඩලයේ භාණ්ඩාගාරික මිලින්ද ප‍්‍රසාද් මහතා: 
ලාංකීය තාරුණ්‍යයේ මහ ගෙදරවන ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කිරීම ගැන අගමැතිතුමන්ට ස්තූති වන්ත වෙනවා. ලංකාවේ මීට පෙරත් ක‍්‍රියාත්මක වූ දේශපාලන ශිල්පායතනය නැවත ක‍්‍රියාත්මක කළ හැකි නම් එය තරුණයන්ට ආයෝජනයක් වනවා. බොහෝවිට තරුණයන් දේශපාලනයට පිවිසෙන්නේ නිසි අවබෝධයක් නැතිවයි. 
ඒ ගැන අගමැතිතුමාගේ මතය කුමක්ද? 
පිළිතුර :- තරුණ සේවා සභාව පසුගිය රජය සමයේදී දේශපාලනයට  ඕනෑවට වඩා ගාවා ගැනීම නිසා තරුණයන් එය ප‍්‍රතික්ෂේප කළා. දේශපාලන අධ්‍යාපන ආයතනයක් අවශ්‍ය නම් යොවුන් පුරයේදී ඒ අදහස ඉදිරිපත් කරන්න. එවිට ඒ ගැන සාකච්ඡුා කර පිළිතුරක් දෙන්නම්. 
ප‍්‍රශ්නය :- කරන්දෙණිය යෞවන සමාජයේ යසස් නිමන්ත මහතා: 
යූත් ටැලන්ට් වැඩ සටහන හරහා දිස්ත‍්‍රික්ක මට්ටමින් පළමු, දෙවැනි ස්ථාන තෝරා යම් ඇගැයීමක් කළ නොහැකිද? 
පිළිතුර :- දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනි තෙවැනි ස්ථාන ලැබූ අයටත් යම් විශේෂත්වයක් කරන වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරන්නම්. මේ මුදල් අප දෙන්නේ ඔබට නායකත්වය ගෙන වැඩ කිරීමටයි. අප මේ කාර්යය තවත් ඉදිරියට ගෙන යන වැඩසටහනක් ඉදිරිපත් කරන්නම්. 
ප‍්‍රශ්නය :- ගාල්ල දිස්ත‍්‍රික් සම්මේලනයේ නියෝජ්‍ය ලේකම්වරිය. 
ගාල්ල දිස්ත‍්‍රික්කය මේ වැඩ සටහනින් ජයග‍්‍රහණ රැුසක්ලැබුවා. නමුත් දිස්ත‍්‍රික් සම්මේලනය පවත්වන්නවත් ස්ථිර තැනක් නැහැනේ? 
පිළිතුර :- ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා: 
ඒ ගැටලූව ගැන අවධානය යොමුකර විසඳුමක් දෙන බව මා සමඟ පැවැසුවා. යෞවන සමාජ පමණක් නොව වෙනත් රැුස්වීම් ද පැවැත්විය හැකි කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමට අප සාකච්ඡුා කරනවා. අප ඉස්සර නම් රැුස්වීම් පැවැත්වූයේ පන්සල් සහ පල්ලියේ ශාලාවලයි. 
ප‍්‍රශ්නය :- නෙළුව ප‍්‍රාදේශීය බල මණ්ඩලයේ භාණ්ඩාගාරික: 
ශ්‍රී ලංකාවේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම තරුණ මධ්‍යස්ථානයක් ඉදි කර දෙන ලෙස මා යෝජනා කරනවා. එමෙන්ම රැුකියා විරහිත තරුණ තරුණියන්ටත් යම් ශක්තියක් දිය යුතුයි. 
පිළිතුර :- අපට ඇත්තේ සීමාසහිත සම්පත් ප‍්‍රමාණයක් පමණයි. ඒ සම්පත් විවිධ වැඩ කටයුතු වෙනුවෙන් යොදවනවා. තිබෙන පොදු ගොඩනැගිල්ලක් රැුස්වීම් මධ්‍යස්ථානය ලෙස හඳුනාගෙන එය දියුණු කරන්නේ කෙසේදැයි කල්පනා කළා. අනගතයේදී මේ ගම්වලත් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ඇරඹේ. ඒ සඳහා අපට උපකාර කළ හැකියි. ගමේ අවශ්‍යතා අනුව ගමට අවශ්‍ය පහසුකම් දෙනවා. 
ප‍්‍රශ්නය :- යොවුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායිකා තිළිණි මැදගොඩ: 
අක්මීමන පුහුණු මධ්‍යස්ථානය ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට මා ඔබේ උපකාරය ඉල්ලනවා. 
පිළිතුර:- ඒ මධ්‍යස්ථානය ඉතා උසස් අන්දමින් දියුණු කරන ලෙස මා උපදෙස් දෙන්නම්. 
ප‍්‍රශ්නය :- දිස්ත‍්‍රික් මණඩල සභාපති දෙනෙත් කවිදු පියසිරි: තරුණ ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීමට සහභාගීවීම සඳහා දෙදෛනකුට හෝ අවස්ථාවක් දෙන්න පුළුවන්ද? 
පිළිතුර :- ඒ ගැටලූව අපට ලියා එවන්න. ඒ ගැන කටයුතු කරන්නේ නම් අත්හදා බැලීම ගාලූ දිස්ත‍්‍රික්කයෙන්ම  කළ හැකියි. 

ප‍්‍රශ්නය :- බළපිටිය යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චානක මදුශාන් ද සිල්වා. 
තරුණ ගැටලූ තරුණ සේවා නිලධාරීවරයාට විධිමත්ව ඉදිරිපත් කිරීම සඳහා තරුණ මධ්‍යස්ථානයක් ඉදි කළ හැකි නම් හොඳයි. 
පිළිතුර :- ඊට විසඳුම දිය හැක්කේ කෙසේදැයි බලන්නම් තරුණයන්ගේ ප‍්‍රශ්න කතා කිරීමට පමණක් නොව සතියට එක් දිනක් වෙන් කරන්න .
ප‍්‍රශ්නය. :- යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සම්පත් ලියනගේ 
තරුණයන් අවිධිමත් අයුරින් සංචාරක ව්‍යාපාරයේ නිරතවීම ගැටලූවක් වෙලා. ඔවුන්ට යම්පුහුණුවක් දිය හැකිනම් හොඳයි නේද?
පිළිතුර:- යෞවන සමාජ තරුණ සේවා සභාව ආදී සියලූ ආයතන එක් කරගෙන ඒ සඳහා වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරනවා. 
ප‍්‍රශ්නය :-  හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමීර ප‍්‍රසාද්: 
දිස්ත‍්‍රික් මට්ටමින් රැුකියා තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවන්න. ඒ හරහා පෞද්ගලික හා රාජ්‍ය ආයතනවලට තරුණයන්ගේ තොරතුරු දැන ගැැනීමට හැකියාව ලැබෙනවා නේද?
පිළිතුර:- එය ඉතා වැදගත්. මතයක් වනවා. තරුණයන් එකතු කරගෙන මේ ප‍්‍රශ්න විසඳන්නේ කෙසේදැයි සැලසුම් කරනවා. රට සංවර්ධනය කරන අතරතුර ඊට තරුණ සහභාගීත්වය ගත යුතුයි. 
ප‍්‍රශ්නය :- ගාල්ල දිස්ත‍්‍රික් ජාතික මණ්ඩල නියෝජිත නුවන් චාමික: 
යෞවන සමාජ ව්‍යාපාරයේ පූර්ණ කාලීනව කටයුතු කරන තරුණ තරුණියන් සිටිනවා. බොහෝ තරුණ තරුණියන් අධ්‍යාපන සුදුසුකම් පරිපූර්ණ නැහැ. ඒ තරුණයින් අවුරුදු තුනෙන් පසු යෞවන සමාජවලින් ඉවත් වනවා. එයට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන වැඩ පිළිවෙළක් අවශ්‍යයි. එමෙන්ම යෞවන සමාජ විදේශ සංචිතය තවත් වැඩි කරන ලෙස ඉල්ලා සිටිනවා. 
පිළිතුර:- ඒ ගැන අවධානය යොමු කරන්නම්. තරුණ සේවා සභාව නියම වශයෙන්ම ක‍්‍රියාත්මක වන්නට පටන් ගත්තේ 2016 වසරේදීයි. දැන් තමයි අප අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට යන්නේ. යෞවන සමාජ තරුණ තරුණියන් සමඟ සාකච්ඡුා කර ඊළඟ පියවර ඉදිරියට යනවා. 
ප‍්‍රශ්නය :- සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරන මුදල් කොන්ත‍්‍රාත්කරුවන්ට නොදී ගමේ යෞවන සමාජ නිලධාරීන්ට දෙන්න. කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් දුන් විට එය නිසි අයුරින් වන්නේ නැහැ. 
පිළිතුර :- මේ පළමුවැනි වතාවනේ. මේ තරගයට හොඳට කළ අයට ඊළඟ වතාවේ කොන්ත‍්‍රාත් දිය හැකියි. මේ ආරම්භය පමණයි. දැන් ප‍්‍රතිඵල ලැබුණා. අප අවස්ථාව දෙන්නම්. ගම දියුණු කරන්නේ කෙසේදැයි බලමු. තරුණයන්ගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? ඒවාත් ඉදිරිපත් කරන්න. 
ප‍්‍රශ්නය :- (තරුණියක්) රට සංවර්ධනය විය යුත්තේ ගම සංවර්ධනය වීම තුළිනුයි. 1998 දී දුලිඇල්ලේ සිට ලංකාගම දක්වා මාර්ගය ප‍්‍රතිසංස්කරණයක් වෙලා නැහැ. 
පිළිතුර :- අමාත්‍ය සාගල රත්නායක අප දෙණියායට යන තුරුම මාර්ගය ඉදි කරනවා. 


ප‍්‍රශ්නය :- කළුබෝවිටියන තරුණයන් තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ බොහෝ තරුණ තරුණියන් දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. ඒ නිසා දහම් අධ්‍යාපනයත් අනිවාර්ය කළ යුතුයි නේද? 
පිළිතුර :- සෑම ආගමකම දහම් අධ්‍යාපනය නැංවීමට රජය ධෛර්ය ශක්තිය දෙනවා. වෙසක් උත්සව ආදියට වැඩිපුරම සහභාගී වෙන්නේ තරුණ තරුණියන් නොවේද? අප හැම විටම දහම් අද්‍යාපනයට තැන දෙනවා. 
ප‍්‍රශ්නය :- වැලිවිටිය දිවිතුර දිලංකා රුවන්ති: 
මේ වසරේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය පසුගිය වසරවලට සාපේක්ෂව අඩු වීමක් දකින්නට ලැබෙනවාද?
පිළිතුර :- සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳව සලකා බලනවා. ඇතැම් පෞද්ගලික ආයතනවලින් අධ්‍යාපනය ලැබීමට අප සහනදායී ණය දෙන්න බලාපොරොත්තු වෙනවා. 
ආර්ථිකය දියුණු වීමත් සමඟ රැුකියා බිහිවන ක්ෂේත‍්‍ර ඉලක්ක කරගෙන වෘත්තීය අධ්‍යාපනය දීම අපේ අරමුණයි. රැුකියා වෙළෙඳපොළ හඳුනාගෙන ඊට උචිත අධ්‍යාපනය දිය යුතුයි. නැතිනම් අධ්‍යාපනය ලබන අයට රැුකියා නැහැ. රැකියා අවශ්‍ය අයට පුහුණුව නැහැ. 
අදහසක් පළ කිරීම:- 80 දශකයේ යෞවන සමාජ ක‍්‍රියාකාරිකයකු වූ ග‍්‍රාම නිලධාරී ජගත් රංජි මහතා: 
මා 80 දශකයේ යෞවන සමාජ ක්ෂේත‍්‍රයේ කටයුතු කළා. 
දෙල්ලව යෞවන සමාජ සභාපති මෙන්ම නෙළුව ප‍්‍රාදේශීය බල මණ්ඩල ප‍්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළා. තරුණ සේවා සභාව ඇතිකර මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන ආවේ ඔබතුමාගේ මූලිකත්වයෙනුයි. අද අප ග‍්‍රාම නිලධාරීන් ලෙස මේ කටයුතුවලට සහාය දෙනවා. අපි රුපියල් 75,0000 ක  මූලික ධනයෙන් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමැති පාලම ඉදි කළා. මේ උත්සවයේදී ගමේ සහජීවනය ගොඩ නැගුණා. කඳුළ සිනහවක් බවට පත් කර ගන්නා ආකාරය අප අත්දුටුවා. ගමේ සමඟියක් ඇති වුණා. මෙවන් වැඩ පිළිවෙළක් අරඹා ආර්ථිකය උඩු යටිකුරු කිරීමට මුල්වීම ගැන අගමැතිතුමා ඇතුළු තරුණ සේවා සභාවට ප‍්‍රණාමය පුද කරනවා. 
අගමැති :-  සියලූ දෙනා හොරකම් නොකර ගම ගැන සිතා සාර්ථකව මේ ව්‍යාපෘතිය කළා. හොරුන්ට කරන්නේ කුමක්දැයි මෙහිදී වැඩිහිටියකු විමසුවා. හොරුන් අල්ලන්න පොලිසිය දමා ඇති නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගණනාවක් පවරා තිබෙනවා. එහෙම නඩු දැමීමට අවශ්‍යනම් හැමදාම කොළඹ උසාවියට ගිහින් නඩු අහන හැටි බලන්නත් පුළුවනි. 
මේ අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු මන්ත‍්‍රීවරු ද රාජ්‍ය නිලධාරීහුද සහභාගී වූහ.