IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අපි බාල දේශපාලන වාසි ගන්න යන්නෙ නෑ

මහ මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති 
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, ​ගෝලීය පාර්ලිමේන්තු 
සංසදයේ සභාපති කබීර් හෂීම්  

 

 

දේශපාලන පොර පිටිය කැලඹෙමින් තිබේ. කුමකින් කුමක් සිදුවේදැයි සිතාගත නොහැකි තරමට තත්ත්වය වියවුල්ය. මේ ඒ දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් මහ මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, ගෝලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපති කබීර් හෂීම් මහතා සමග කළ සාකච්ඡාවකි.  

 

ප්‍රශ්නය - පෙනෙන විදියට නම් ආණ්ඩුවේ ආයු කාලය බොහොම කෙටියි?  


පිළිතුර - මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම ආණ්ඩුවේ ආයු කාලය අඩු වෙනවා. ආයු ඉවරයි කියලනේ කිව්වේ. නැති ගෝනි බිල්ලෙක් මවන්න විපක්ෂය ලොකු උත්සාහයක් ගත්තා. ඊළඟ වෙසක් පෝයට කලින් ආණ්ඩුව ගන්නවා කියලා මහින්ද මහත්තයම වෙසක් පෝයවල් කීපයකට කලින් ද කිව්වේ. මේක විහිළුවක් වෙලා. ජෝක් එකක් වෙලා. අප්‍රේල් 1 වැනිදා විහිළුව වගේ. ප්‍රාදේශීය සභා ඡන්දය ජාතික තලයට උස්සලා සියයට හතළිස් ගානක් අරගෙන කිව්වා ආණ්‍ඩුව පෙරළනවා කියලා. පෙරළුවාද? ඒ උණුසුමත් එක්කම විශ්‍වාසභංග යෝජනාවකුයි කුමන්ත්‍රණයකුයි කරලා..... විවිධ අය එකතුවෙලා කුමන්ත්‍රණය කරලා අගමැතිතුමාව එළවලා ආණ්ඩුව පෙරළන්න හැදුවානේ.  


ප්‍රශ්නය - කුමන්ත්‍රණය කරපු විවිධ අය කවුද?  


පිළිතුර - මම නම් ගම් කියන්න යන්නේ නෑ. දැන්ම හෙළි කරන්න අවශ්‍ය නෑනේ. ඒවා අපි වෙලාවට කියන්නම්. එහෙම කුමන්ත්‍රණය කරලා එළියට දාන්න ගිය එකත් අසාර්ථක වුණානේ. ඊට පස්සේ මොකද්ද කළේ‍? ජනබලය කොළඹට කියලා අපි කොළඹ අල්ලනවා. අපි පාර්ලිමේන්තුව අල්ලනවා, බලය අල්ලනවා කියලා පැහැදිලිව කිව්වා. අපි ආණ්ඩුව ගන්නේ නැතිව යන්නේ නෑ කියලා කිව්වේ. අපි එක මනුස්සයෙකුගේ මයිල් ගහකටවත් ගහන්න දුන්නේ නැහැ. ඇවිල්ලා කළානේ! ඩෝප් දාලා කණු උඩ නැග්ග එක විතර නේ වුණේ. අඩුම තරමින් සටන්කාමීත්වයක් වත් තිබුණේ නෑ. මොකද්ද සටන් පාඨය, ඉතින් කොහේද ආණ්ඩු පෙරළන්නේ? එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක ඉන්න පක්ෂයක්. සමහරුන්ට ඇත්ත කිව්වම රිදෙන්න පුළුවන්. ඒත් අපි ඇත්ත කතා කරන පක්ෂයක්. මේ වගේ බොරු කියල මිනිස්සු මුළා කරන දේවල් අපි කරන්නේ නැහැ. අපිට විපක්ෂයේ ඉඳලත් පුරුදුයි. ආණ්ඩු කරලත් පුරුදුයි. නමුත් අපි කිසිම අවස්ථාවක මිනිසුන්ව පාවා දෙන්නේ නැහැ. ඉන්දියාවට ගියාම එකක් කියන්නයි ලංකාවේ එකක් කියන්නයි අපි ළඟ නෑ ඒ ප්‍රතිපත්තිය. ඇමෙරිකාවේ ජනාධිපතිට වුණත් මූණට කියන්න ඕනෑ දේ අපි කියනවා. ලංකාවේ මිනිසුන්ටත් කියන්න ඕනෑ දේ කියනවා. ඒක තමයි අපේ වෙනස.  


ප්‍රශ්නය - මේ මොහොතේ රටේ දේශපාලනය ගිනියම් වෙලා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියනවා. බරපතළ තත්ත්වයක්?  


පිළිතුර - මම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා පිළිබඳව දැඩි විශ්‍වාසයක් තියෙන කෙනෙක්. එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා නම් කුමන්ත්‍රණකරුවන්ට නිත්‍යනුකූලව හොයාගෙන අවශ්‍ය දඬුවම් දීම හරියට කරයි කියල මම විශ්වාස කරනවා. පොලිසිය විමර්ශනය කරන දෙයක් ගැන මම විස්තරාත්මකව කතා කරන්න කැමති නෑ.  


ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ මේ සිදුවීම් මාලාව බොහොම සංවිධානාත්මක බවයි?  


පිළිතුර - ඒකාබද්ධ විපක්ෂය ඉතින් වෙන මොනවා කියන්නද? මේ වගේ දෙයකිනුත් දේශපාලන වාසියක් ගන්නයි හදන්නේ. ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිතුමාවයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවයි ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා කියනවා. ඒගොල්ලොම තමයි කිව්වේ ‘‘ජාත්‍යන්තරය මහින්ද රාජපක්ෂව විදුලි පුටුවට යවන්න හදනවා, ඒකෙන් බේරලා දෙන්න’’ කියලා. අපි ඇවිල්ලා බේරුවනේ. දැන් එතුමා අපූරුවට ලෝකය වටේ යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ජාත්‍යන්තරයට කතා කරලා එයාට තිබුණ තර්ජනය ඉවත් කළේ. ඒ නිසා කාටහරි තර්ජනයක් තියෙනවා නම් අපේ අගමැතිතුමා එයා ප්‍රතිවාදියා කියලා හිතන්නේ නැතුව එයාව බේරනවා.  


ප්‍රශ්නය - නමුත් මාධ්‍යයට නිකුත් කරපු හඬ පටයේ තියෙනවා. අගමැතිවරයාගේ ප්‍රතිරූපය පුම්බන්න ඕනෑ කියලා?  


පිළිතුර - හඬ පටය ඇත්තද බොරුද කියලා බලන්න ඕනෑ. ඒකයි මම කිව්වේ විමර්ශනයක් කළාට පස්සේ ඒකෙන් බලමු කියලා.  


ප්‍රශ්නය - චෝදනාව එල්ල වුණු නියෝජ්‍ය පොලිස්පතිවරයව අත්අඩංගුවට ගත යුතුයි. නමුත් එහෙම කරන්නේ නැහැ කියලත් චෝදනාවක් තියෙනවා?  


පිළිතුර - එක පැත්තකින් සමහරු කියනවා හමුදාවේ පොලිසියේ අය අත්අඩංගුවට ගන්න එපා කියලා. අනික් පැත්තෙන් කියනවා අත්අඩංගුවට ගන්නේ නෑ කියලා. එක තීරණයකට එන්න ඕනෑනේ. නීතිය හැමෝටම සමානයි. අපි නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙමු. දේශපාලනඥයෝ නොවෙයි නේ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ. මේකත් දේශපාලන අධිකාරියෙන් කළ යුතු දෙයක් නොවෙයි. රටේ නීතියක් තියෙනවා.  

ප්‍රශ්නය - රණවිරුවන් දඩයම් කිරීමයි මේ සිද්ධියයි දෙකක්?  


පිළිතුර - ඔක්කොම එක මතයේ ඉන්නවනේ. යුද බිමේ වෙච්ච දේවල්වලට හමුදා සෙබළුන් ගන්න එකට අපි විරුද්ධයිනේ. ඒකනේ අපි ජිනීවා වලට ගිහින් ඒක අත්හිටෙව්වේ. යුද අපරාධ සොයන අධිකරණ පිහිටුවන්න දෙන්නේ නෑ කියලා මහින්ද රාජපක්ෂ හැම ඡන්දෙදීම කිව්වා. එහෙම කිව්වේ ඒ බලපෑම දිගටම තිබුණු නිසයි. දැන් අවුරුදු දෙකක්ම ජාත්‍යන්තරය කතා කරන්නෙම නැහැනේ.  

 

අපිට වැදගත් වෙන්නේ රටයි. ඒ රට ගොඩනගන්න පුළුවන් නායකයන් තමයි රටට අවශ්‍ය. ඉන්න අයගෙන් ඒ සුදුසුකම් හොඳටම තියෙන්නේ කාටද කියල ජනතාව සිතිය යුතුයි.


ප්‍රශ්නය - නමුත් මංගල සමරවීර විදේශ ඇමැති හැටියට යුද අධිකරණ පිහිටුවන්න සම අනුග්‍රහකත්වය දෙන්න එකඟ වුණා.  


පිළිතුර - අපි ඉතාම සූක්ෂම ඒ ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගත්තා. යුද අධිකරණයක් පිහිටුවන්න අපි කටයුතු කළේ නෑ. දැන් ඒ බලපෑම නෑනේ. මේ අවුරුදු තුන හමාර තුළ කාවහරි යුද අධිකරණයට ගෙනිච්චද? නෑනේ. අපේ හමුදාව දැන් ගිහිල්ල ජාත්‍යන්තරය තුළ ආරක්ෂක කටයුතුවල නියැළිලා ඉන්නවා. ඒකට ඕනෑ විශ්වාසය. එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ශ්‍රී ලංකා හමුදාව අපි එකතු කරලා තියෙනවා. ඒ ගැන කතා කරන්නේ නැහැනේ.  


ප්‍රශ්නය - මේ ප්‍රශ්නය බරපතළයි. රාජ්‍ය නායකයාව ඝාතනය කරන්නයි, කුමන්ත්‍රණය කරන්නේ. මේක රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්? ඇයි සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නේ?  


පිළිතුර - අත්අඩංගුවට ගත යුතුනම් පොලිසිය ඒක කරයි කියලා අපි විශ්වාස කරනවා. අපිට බලපෑම් කරන්න බැහැනේ. අධිකරණයට හෝ පොලිසියට එහෙම බලපෑම් කරන්න බැහැනේ. එහෙම කළොත් ඒක දේශපාලන මැදිහත් වීමක් නේ. මේ රටේ නීතිමය ක්‍රම වේදය අපි විශ්‍වාස කරනවා නම් ඒක හරියට වැඩ කරයි. නමුත් සමහර දේශපාලනඥයන්ට ජනප්‍රිය වෙන්නයි ඒගොල්ලන්ට ලකුණු දා ගන්නයි මේ වගේ දේවල් පාවිච්චි කරන්නයි මේවා අවියක් ලෙස පාවිච්චි ක​ෙළ්. ප්‍රසිද්ධ වෙන්නයි රටේ නැති දේවල් නිර්මාණය කරන්නයි ඒ වගේම සමහර මාධ්‍යවලට මේක මුල් පිටුවේ දාල පත්තර ටික විකුණා ගන්නයි එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙම නොවුණොත් ඊළඟට පුළුවන් විරෝධතාවලට යන්න.  

ප්‍රශ්නය - පොලිස්පතිවරයාට සති දෙකක් ඇතුළත ඉල්ලා අස්වෙන්න කියලා නියෝග කළා කියලා ආරංචියක් ආවා?  


පිළිතුර - මම නම් දන්නේ නැහැ.  


ප්‍රශ්නය - පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නොයෙක් විවේචන තියෙනවා. ඔබ ප්‍රබල ඇමැතිවරයෙක්. ඔබ මොකද කියන්නේ?  


පිළිතුර - මම ඔය විස්තර වැඩිය දන්නේ නැති නිසා ඒ ගැන කියන්න මම යන්නේ නෑ. ඒ ගැන අදාළ අමාත්‍යංශයෙන් තමයි විමසිය යුත්තේ.  


ප්‍රශ්නය - ඇමැති චම්පික රණවක කියනවා ‘යුද්ධ කාලයේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම පොදු සමාවක් දිය යුතුයි’ කියලා. ඔබේ මතය?  


පිළිතුර - මමත් ඒක දැක්කා පත්තරේක. මම එක පැත්තකින් චම්පික රණවක වගේ ඇමැති කෙනෙකුගෙන් ඒ වගේ දෙයක් එන එක ගැන සතුටු වෙනවා. ඒක තමයි සංහිඳියාව කියන්නේ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන කියමන අපි ගත්තොත් මේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ. ඒ නිසා කෙනෙකුට සමාවක් දෙන එක වැරදි දෙයක් නොවේ. ජේ.අර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පිළිරුවක් ජපානයේ තියෙනවා. ඒ අර බුදු වදන ජීවමාන යථාර්ථයක් කළේ. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා චම්පික ඇමැතිතුමාගේ ඒ ප්‍රකාශය ගැන. මොකද දේශපාලනඥයකුට දේශපාලන අර්ථයෙන් එහෙම කියන්න ලෙහෙසි නෑ.  


ප්‍රශ්නය - නමුත් ආණ්‍ඩුවේ බහුතර මතය ඕක නොවෙයි?  


පිළිතුර - මෙහෙමයි? පහුගිය කාලයේ සමහර රටවල් අපේ රටවල් දඩයම් කරන්න බැලුව. රාජපක්ෂලා ඒකට අහුවුණා. දේශප්‍රේමීත්වයයි, ජාති ආලයයි මහ ලොකුවට මේක ඇතුළේ කතා කළාට ඇමෙරිකාවට ගියාම ඒ රටවල් කියන ඒවට යටත් වුණා. මෙහෙ ඇවිල්ලා වෙන සිංදුවක් කිව්වා. ඉතින් ඔය වගේ කාඩ්බෝඩ් දේශප්‍රේමීත්වය අපට වැඩක් නෑ. මොකද ඇමෙරිකන්කාරයා කියනකොට මේවා මේවා කරන්න කියලා පැන පැන කළා. දරුස්මාන් වාර්තාවයි එල්.එල්.ආර්.සී. වාර්තාවයි පැන පැන දුන්නා. ඇමෙරිකන් කාරය අද ඔහුගේ හමුදාව කරන වැරැදි වැඩවලට දඬුවම් දෙන්න කියලා කියනකොට අයි.සී.ආර්.සී. කියන ජාත්‍යන්තර අධිකරණයෙන් ඉවත් වෙනවා කියලා කියනවා. අනුන්ට කරන දේ තමන්ට වෙනකොට ඒක වැරදියි. ඒ නිසා ඔවුන් කවුද අපිට කියලා දෙන්න? ඒවට අපි යටත් වෙන්නේ නෑ. හැබැයි අපි ඒවා අරගෙන මේගොල්ලෝ වගේ බාල දේශපාලන වාසි ගන්න යන්නෙත් නෑ. ඒක තමයි අපේ වෙනස. ඒක යූඑන්පීයේ හැටි. අපිට ගහන්න පුළුවන් අපි මේ රටට ආදරය නැහැ, අපි මේ දේපොළ විකුණනවා, අපි මේ රට බෙදන්න යනවා ඕවනේ කියන්නේ, කියන්නකෝ අපි ආවට පස්සේ කොහේද රට බෙදුණේ.  


ප්‍රශ්නය - මත්තල විකුණන්න හදනවා. හම්බන්තොට වරාය වික්කා. මේවා ජාතිය සතු දේපොළ?  


පිළිතුර - අනේ දෙයියනේ. මම කියන්නම්, බොහෝම ස්තුතියි. ඒ ප්‍රශ්නය ඇහුවට. හම්බන්තොට වරාය රාජපක්ෂ උන්නැහේ අත්සන් කරලා තිබුණ ගිවිසුමට අනුව ලංකාවේ නාවික හමුදාවට කිසිම අයිතියක් නෑ ඒකට ආරක්ෂාවක් දෙන්න. ඒක ඇතුළට යන්නවත් බෑ. එතැන අක්කර දෙසියක් ලියල තිබුණ එක ඩොලරයකට. අක්කර දෙසීය රුපියල් 150යි. ඒ වගේම ඩොලර් බිලියන 1.4ක ණයක් අරගෙන තිබුණා චීන කොම්පැණියට වත් දුවාගන්න බැරිව හිටියේ. අපිට ඒ ණය ගෙවා ගන්න බැරිව හිටියේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජේ.ආර්. මහත්තයාට යම් නෑ කමකුත් තියෙන නිසා වෙන්න පුළුවන් ඔළුව පාවිච්චි කරලා කරකවලා ඔවුන්ගේ කරේම ගැහුවා. ණය ටිකත් ඔවුන්ගේ කරේ ගැහුවා. අපිට සල්ලි දුන්නා ණය පියවන්න. අපි බදු ගිවිසුමක් අත්සන් කළේත් නාවික හමුදාවට, හමුදාවට සම්පූර්ණ අයිතිය ලබා දුන්නා. මේක මහින්ද මහත්තයා අනාගත්ත එකක් අපි යම්තම් බේරා ගත්තා.  


ප්‍රශ්නය - ඇයි මත්තල දෙන්න යන්නේ?  


පිළිතුර - මත්තලට මොකද්ද කරන්නේ කියලා කියන්නකෝ. ඒ ගුවන් තොටුපළ අනාගතයේදී ඕනෑ වෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් සීමිත සම්පත් තියෙන රටකට, වෙනත් රටවලින් ණය ගන්න රටකට අවුරුදු සීයකට පස්සේ ඕනෑ වෙන දෙයක් දැන් හදනවද? ඊට වැඩිය හම්බන්තොට මිනිසුන්ට රෝහලක් හදන්න තිබුණා. ඩොලර් මිලියන 300කට වැඩි වියදමක්. ඒකත් ණයක්. ඒකත් ගෙවන්න ඕනෑ. ඉන්දියාවත් එක්ක යන්නේ පීපීපී ගිවිසුමක්. එහෙම නැතිව ඒ අයට ලියලා දෙන්නේ නැහැ. නඩත්තු කටයුතු විතරයි දෙන්නේ. ඒකෙන් ඒ ණය ටික ගෙවන්න ක්‍රමවේදයක් හදන්නයි යන්නේ. නමුත් රාජපක්ෂ උන්නැහැ කොළඹ ​ෙපා්ර්ට්සිටි එකේ අක්කර 50ක් සින්නක්කරව ලියලා දුන්නා චීන සමාගමකට. මම මේක 2014 දී පාර්ලිමේන්තුවේ කිව්වා. හැන්සාඩ් එක අරන් බලන්න. මම කිව්වා මෙහෙම පාවාදීමක් වෙනවා කියලා. ඒ කාලේ මාධ්‍ය නිදහසක් නොතිබුණ නිසා කිසිම පත්තරයක ගියේ නෑ. අපට ඒ ගිවිසුම අවලංගු කරන්න බෑ. සංශෝධනය කරලා බදු ඔප්පුවකට පරිවර්තනය කරලා පවත්වාගෙන යන්නේ. ෂැංග්‍රිලා හෝටලයට ගොඩින් කියලා දුන්නා සින්නක්කරව. මම අහන්නේ මේවා දැනගෙනද විනිස්සු කියන්නේ දේශප්‍රේමී කණ්ඩායමක් එහා පැත්තේ ඉන්නවා කියලා.  

 

ඇයි දැන් ප්‍රතිසංස්කරණ වෙලා තියෙන්නේ. පක්ෂය තුළ ප්‍රධාන නිලතල වෙනස් වුණා. සංශෝධනය වුණා. අලුත් මහලේකම් කෙනෙක් පත් වුණා. අලුත් ජාතික සංවිධායකවරයෙක් පත් වුණා.


ප්‍රශ්නය - පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න හදනවා?  


පිළිතුර - කිසිදෙයක් කාටවත් ලියලා දෙන්නේ නැහැ. සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයෝ එනවා නම් අපි කැමතියි ඒ අවස්ථාව දෙන්න. ගුවන් තොටුපොළ දුන්නා කියලා අරන් යන්නද?  


ප්‍රශ්නය - ඒ කියන්නේ පලාලි ගුවන් තොටුපළත් ඉන්දියාවට දෙනවා?  


පිළිතුර - තාම නෑ. ඒගොල්ලෝ ඉල්ලනවා. ඒක කැබිනට් එකට එයි. පාර්ලිමේන්තුවට එයි. අපිට වාසිනම් ක්‍රියාත්මක වෙයි.  


ප්‍රශ්නය - රටට ආදරය කරන දේශප්‍රේමී අගමැතිවරයෙක් ගැන සිතිය යුතුයි කියලා ජනාධිපති මෛත්‍රී කිව්වා?  


පිළිතුර - ඒක තමයි මිනිස්සු තේරුම් ගන්න ඕනෑ ඇත්තටම කවුද රටට ආදරේ කරන්නේ කියලා. ඉතාම ලස්සනට වේදිකාවල්වල සටන්කාමී දේවල් ජාති ආ​ෙලයි ජාති වාදයයි අවුස්සන දේවල් කියන සිල්ලර දේශපාලනය කරන අයද එහෙම නැත්නම් කතා නොකර තමන්ගේ රාජකාරිය හරි විදියට රටට කරන, රටේ තියෙන සම්පත් හරි විදියට ප්‍රයෝජනයට ගත හැකි පරිදි නිවැරදිව තීන්දු තීරණ ගනිමින් රටට වර්තමානයේ ගන්න සමහර තීන්දු අමාරු වුණත් අනාගතයට වාසි දායක විදියට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් භය නැතිව ඒ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්ද ඇත්තටම රටට ආදරේ කරන්නේ කියලා අපි හිතන්න ඕනෑ. ඒ නිසා අපිත් ජනාධිපතිතුමා කියන එකට එකඟයි. රටට ආදරය කරන කෙනෙක් තමයි රටේ අගමැතිවරයා බවට පත්විය යුත්තේ. ඒ වගේම ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් රටට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනෑ.  


ප්‍රශ්නය - ඒ ජනාධිපතිවරයා ළඟ තිබිය යුතු සුදුසුකම් හැටියට ඔබ දකින්නේ?  


පිළිතුර - භය නැතිව තීන්දු තීරණ ගන්න පුළුවන්. හරි තීන්දු වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්, ගත්ත තීන්දු වෙනුවෙන්ම ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෑ. මොකද මේ රට හදන්න නම් ඒ විදියට භය නැතිව තීන්දු තීරණ ගන්න හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් වෙන්න ඕනැ. 

 
ප්‍රශ්නය- ජනාධිපති මෛත්‍රී ළඟ ඒ ලක්ෂණ නැද්ද?  


පිළිතුර - නෑ. නෑ. මම කවුරු ගැනවත් කතා කරන්නේ නැහැ. මම මේ කියන්නේ අපට ඕනෑ කෙනා කවුද කියලයි. අපට ඕනෑ වෙන්නේ ඒ වගේ කෙනෙක්. අපට පුද්ගලයා නොවෙයි ප්‍රශ්නය. අපිට වැදගත් වෙන්නේ රටයි.

ඒ රට ගොඩනගන්න පුළුවන් නායකයන් තමයි රටට අවශ්‍ය. ඉන්න අයගෙන් ඒ සුදුසුකම් හොඳටම තියෙන්නේ කාටද කියල ජනතාව සිතිය යුතුයි. මම දැක්කා ඔබේ දිනපතා ලංකාදීප පත්තරේ දාලා තියෙනවා මහින්ද රාජපක්ෂ උන්නැහැහේ කියනවා ‘‘ධර්මපාල චින්තනය හරියටම වටහා ගත්තා නම් මේ විනාශය නෑ, දේශීය චින්තනය අමතක කර එතෙර නරක චින්තනයට තැන දී දරු පරපුර නොමඟ ගිහින්’’ දැන් කවුද මෙහෙම කියන්නේ? අවුරුදු 10ක් මේ රට පාලනය කරපු 94 ඉඳලම රට පාලනය කරපු පක්ෂයේ හිටපු කෙනෙක් තමයි මේ කියන්නේ. එතකොට එයාලා මොනවද කළේ.  


ප්‍රශ්නය - ඔබ පක්ෂයේ සභාපති. කෝ පක්ෂය තුළ කරනවා කියලා කියපු ප්‍රතිසංස්කරණ?  


පිළිතුර - ඇයි දැන් ප්‍රතිසංස්කරණ වෙලා තියෙන්නේ. පක්ෂය තුළ ප්‍රධාන නිලතල වෙනස් වුණා. සංශෝධනය වුණා. අලුත් මහලේකම් කෙනෙක් පත් වුණා. අලුත් ජාතික සංවිධායකවරයෙක් පත් වුණා. මාධ්‍ය ඒකකය හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාට බාර දුන්නා. බිම් මට්ටමේ සමිති සමාගම් හදන එක අපේ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම් කරගෙන යනවා. පක්ෂය ඇතුළේ වැඩ ගොඩක් වෙනවා.  


ප්‍රශ්නය - පසුපෙළ මන්ත්‍රීවරුන් කියන්නේ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලයි.  


පිළිතුර - මම හිතන්නේ දැනට කරලා තියෙන ප්‍රතිසංස්කරණ රුවන් විජයවර්ධන කමිටු වාර්තාවට අනුව සියයට 70ක් විතර කෙරිල තියෙන්නේ.  


ප්‍රශ්නය - ඉදිරි ජනාධිපතිවරණයේ කවුද ඔබේ අපේක්ෂකයා?  


පිළිතුර - එක්සත් ජාතික පක්ෂය 2015දීත්, අපේක්ෂකයා අන්තිම මොහොත වනතුරු තීරණය කළේ නෑ. අභියෝගය මොකද්ද කියලා බලලා ඒ අනුව අපි දිනන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. කිය කිය ඉන්නේ නෑ. වෙලාවට වැඩේ කරන්නම්.  

 

 

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   

 



අදහස් (0)

අපි බාල දේශපාලන වාසි ගන්න යන්නෙ නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න
2024 අප්‍රේල් මස 10 1078 7

මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිම


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි
2024 අප්‍රේල් මස 01 61 0

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන්න බෑ ඒක මිථ්‍යාවක්
2024 මාර්තු මස 19 447 0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සම


ජනපතිවරණයට කලින් මහ ඡන්දය තැබිය යුතුමයි
2024 මාර්තු මස 19 936 0

ඇමෙරිකාවේ මාස කිහිපයක් ගත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ඉකුත්දා මෙරටට පැමිණියේය. මේ ඒ මහතාගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලා


මහ බැංකුව වැටුප් වැඩිකර නොගත්තා නම් හොඳයි
2024 පෙබරවාරි මස 26 91 0

මහ බැංකු නිලධාරීන් සිය වැටුප සියයට 70 කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජයෙත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මේ ඒ ගැනත් නව දේශපාලන


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?
2024 පෙබරවාරි මස 19 123 0

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site