IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ සූදානම කෙබඳුද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහත සමග කළ සාකච්ඡාවකි.

ඔබ දැනට පක්ෂය තුළ දරන තනතුර?
මම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා

 

ඔබ පක්ෂයේ මහ ලේකම් ධුරය ලැබෙයි කියලා බලාගෙන හිටියා. නමුත් ලැබුණේ නෑ?
මම නම් බලාපොරොත්තුවෙන් හිටියේ නෑ. නමුත් සමහර අය අතර එහෙම අදහසක් තියෙන්න ඇති.


මේක මැතිවරණ වර්ෂයක් කියලා කිව්වට මැතිවරණ තියනකම් විශ්වාස නෑ.
ඇයි එහෙම අවිශ්වාස කරන්නෙ?


රටේ ජනාධිපතිවෙලා ඉන්නේ ජේ.ආර්ගෙ බෑණා. ජනාධිපති රනිල් මොකක් හරි වංගුවක් ගහයි කියලා සමහරු කියනවා?
මට කියන්න තියෙන්නේ කාගේ බෑණා වුණත් ඡන්ද අනිවාර්යයෙන්ම තියනවා.


මුලින්ම එන ඡන්දය?
ජනාධිපතිවරණය තමයි මුලින්ම එන්නේ. ඒක අනිවාර්යයෙන්ම නියමිත කාලයේදී පවත්වනවා.


කවුද පක්ෂයේ අපේක්ෂකයා?
අපි කැමැතියි පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරන්න. නමුත්, අපි හිතන්නේ මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් කරන්නයි. ඒ නිසා පක්ෂයෙන් නොවෙයි, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් විදියට තමයි රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නේ.


පොහොට්ටුව කියනවනේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවා කියලා?
පොහොට්ටුව විතරක් නොවෙයි හැම පක්ෂයක්ම කියන්නේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමු කියලයි. මේක අපේ ඉල්ලීමක්. අපි බෙදෙන්නේ නැතිව එකට වැඩ කරමු කියලා ඉල්ලීමක් තමයි අපි කරන්නේ.
එක්කෙනෙක් දෙන්නෙක් වෙන වෙන මතවල හිටියට අනික් හැමෝම වගේ හිතන්නේ අපි එකතු විය යුතුයි කියලා. මීට මාස 24 කට කලින් රට බංකොලොත් වෙලා, ගෑස් පෝලිම්, තෙල් පෝලිම් තිබුණා. පොහොර නෑ. පැය 15 ක් 17 ක් ලයිට් කපනවා. ඒ වෙලාවේ ඒ අභියෝගය බාරගත්තේ කවුද? අපේ ජනාධිපතිතුමා.
ඒ අභියෝගය බාරගත්ත පුද්ගලයාට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හැමෝම හිතන, කතාවෙන නිසා අපි හිතනවා අපේ ඉල්ලීම සාධාරණයි කියලා.


ජනපති රනිල් හා බැසිල් රාජපක්ෂ අතර හමුවක් වුණා. නමුත් මොනවද කතා කළේ කියලා කවුරුවත් දන්නේ නෑ. ඔබ මොනවද ඒ ගැන දන්නේ?
එක පාරක් නොවෙයි තුන් පාරක් හමුවුණා. ඒ වගේම හැම පක්ෂයක්ම හමුවෙලා තියෙනවා. ඒ ඒ පක්ෂ සමග සාකච්ඡා කරලා, රටට ඔබින ප්‍රතිපත්ති මොනවද කියලා තීරණය කරනවා. ඔබ එක පක්ෂයක් ගැන ඇහුවට හැම පක්ෂයක් එක්කම කතා කරලා තියෙනවා.


ඔබලා සාකච්ඡා කරපු අනික් පක්ෂ මොනවද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සුළු ජාතික පක්ෂ සහ අනෙකුත් ප්‍රගතිශීලී ව්‍යාපාර අපි හමුවෙලා තියෙනවා.


පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ඇමැති ධුර, රාජ්‍ය ඇමැති ධුර දරන අය දැන් රනිල්ට වසඟ වෙලා ඉවරයි?
පුද්ගලයන් නොවෙයි. අපි කතා කරන්නේ පක්ෂ සමගයි. ඒ පක්ෂ කැමැතියි අපේ යෝජනාවට.


හැමතැනම සන්ධාන ගැන කතාවෙනවා යූඑන්පියෙන් නැද්ද සන්ධානයක්?
ඒක තමයි මම කිව්වේ. යම් විදියකින් මෙතැන අපි තේරුම් ගන්න ඕනෑ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි රනිල් වික්‍රමසිංහ ගැන කතා කළාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් නොවෙයි එතුමා ජනාධිපති වුණේ. එතුමා ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන්. එතැනින් පටන් අරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණය ළඟට අපි ඇවිත් ඉන්නේ. පක්ෂ සමග තමයි අපි කතා කරන්නේ. එහෙම නැතිව පක්ෂවල කෑලි ගලවන්න අපි යන්නේ නෑ. කෙළෙහිගුණයක් කියල එකක් තියෙන්න අවශ්‍යයි. අපි ඒක පෙන්වලා තියෙනවා.
කාට මොනවා වුණත් ජනතාවට අවශ්‍ය දේ තමයි අපි කළ යුත්තේ. එක එක්කෙනාට නොවෙයි රටට මොකක්ද අවශ්‍ය කරන්නේ. අපි කරන්නේ ඒකයි.


ආසියාවේ හොඳම මුදල් ඇමැතිවරයා ලෙස ඔබ සම්මානයට පාත්‍ර වුණා. ජනාධිපති රනිල් මුදල් ඇමැති විදියට මේ වෙලාවෙ රටේ ආර්ථිකය හසුරුවන ආකාරය ගැන ඔබේ අදහස?
එතුමා නිර්භීතව හුඟාක් දේවල්  කරගෙන යනවා. මම කැමැතියි ජනාධිපතිතුමා මුදල් ඇමැති විදියට කටයුතු කරගෙන යන අවස්ථාවේදි මෙන්න මෙහෙම කියන්න. රාජ්‍ය නිලධාරීන් මීට වඩා ඕනෑකමින් වැඩ කළ යුතුයි. ජනාධිපතිතුමාට හුඟාක් වැඩ කටයුතු තියෙන නිසා සමහර දේවල් නිලධාරීන්ට බාර දීලා තියෙනවා.
හැබැයි, මම හිතන විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන අවස්ථාවේදී මීට වැඩිය දේශීය වශයෙන් රටට හොඳ මොකක්ද? කියලා කල්පනා කළා නම් හොඳයි කියලා. ඒත් එතුමා නිර්භීතව අරන් තියෙන තීන්දු ඉතාම නිවැරැදියි.


රටේ ආර්ථිකය කඩා වැටීමේ වගකීම රාජපක්ෂවරුන් බාරගත යුතුයි කියලා ඔබ කියනවද?
මම හිතන විදියට මේකේ දේශපාලනඥයන් විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන්ද මේ ආර්ථික අර්බුදයට වගකිව යුතුයි කියන මතයේ මං ඉන්නවා. දේශපාලනඥයන් ඒ වගකීම බාරගත යුතු වගේ. රාජ්‍ය නිලධාරීනුත් ඒ වගකීම බාරගත යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් යම් නම් කිරීමක් කරලා තියෙනවා. එහෙම නම් කළ අය වගේම මේ අර්බුදයේ වගකීම බාර ගත යුතු නම් නොකළ පිරිසකුත් ඉන්නවා. මේ රටේ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් තමයි රට මේ තත්ත්වයට ගෙනත් තියෙන්නේ.


මගේ ප්‍රශ්නය වුණෙත් දැන්  ආර්ථිකය හරි පීල්ලේ යනවද කියලයි?
 රටේ ආර්ථිකය මෙහෙම කඩා වැටිලා තිබියදීත් ඉතාම මන්දගාමීව තමයි රජයේ නිලධාරීන් වැඩ කරන්නේ. මහ බැංකුවේ නිලධාරීන් මේ වගකීම බාරගන්න ඕනැ. ජනාධිපති, මන්ත්‍රීවරු දෙසිය විසිපහයි, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයොයි ඔක්කොම ගත්තත් නව දහස් පන්සියයයි ඉන්නේ. නමුත් රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 17 ක් ඉන්නවා. මේ ලක්ෂ 17 තමයි මේ රට කාලා තියෙන්නේ.


මහ බැංකුවෙ පඩි වැඩිවීම මහා ආන්දෝලනයක් වුණා. ​රටේ මුදල් ඇමැතිවරයා, ජනාධිපතිවරයයි. ඔහුට ඒ ගැන වගකීමක් නැද්ද?
ඒක ශීලාචාර කම පිළිබඳ ප්‍රශ්නයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා ‘මහ බැංකුවට ස්වාධීනත්වය දෙන්න’ කියලා එහෙම කියපු අවස්ථාවේ අපි සියලු දෙනාම කිව්වා එහෙම දෙන්න එපා. මොකද එහෙම දුන්නොත් ඒක අහිතකර වෙන්නත් පුළුවන් කියලා. රට බංකොලොත් වෙලා තියෙන කොට අයි.එම්.එෆ්. එකෙන් විසඳුමක් එන්න තියෙන නිසා. මොකද රට බංකොලොත් කළේ රනිල් නොවෙයිනේ. ඒ අර්බුදයෙන් ඉක්මනට එළියට එන්න ඕනෑ නිසා ඒ වෙලාවේ ඒක අනුමත කළා. ඒ වෙලාවේ ඒක කේවල් කරන්න ගියා නම් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.  
ඒකේ අතුරු පලය තමයි මේ. මම මුලදීම කිව්වා මේක වෙනවා කියලා. අපි මතක තියාගත යුතුයි. අයි.එම්.එෆ්. එක කියන්නේ හැම ප්‍රශ්නයටම උත්තර සපයන තැනක් නොවෙයි. නමුත් රට බංකොලොත් වුණාට පස්සේ වෙන විකල්පයක් නැති නිසා එතැනට ගියාම ඒ කියන දේවල් කරන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීන් නම්‍යශීලීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කළ යුතුයි කියලයි මම කියන්නේ.


ඔබ කියනවා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතුයි කියලා. ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔබේ තක්සේරුව?
අභියෝගය බාර ගන්න කිව්වම කවුද ආවේ ඉදිරියට. පරිණතභාවය තියෙන දැනුම තියෙන, ලෝකයත් සමග සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙන වෙන කෙනෙක් පේනතෙක් මානයක ඉන්නවද?
ප්‍රශ්නය ආපු වෙලාවේ විපක්ෂ නායක ‘බෑ’ කිව්වා. අනිත් අයත් පස්ස ගැහුවා. එහෙම තිබුණු වෙලාවක එක මන්ත්‍රී ධුරය තියාගෙන රනිල් වික්‍රමසිංහ ඒ අභියෝගය බාරගත්තා. බාරගත්තා විතරක් නොවෙයි ලොකු පෙරැළියක් රටේ ඇති කරලත් තියෙනවා. යන්න තියන්නේ සුවපහසු ගමනක් නොවෙයි. ලෙබනනය, සූඩානය වගේ වෙන්න ගිය රටක් තමයි එතුමා මේ තත්ත්වයට ගෙනාවේ.


රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීම ගැන සමගි ජන බලවේගය එක්ක කතා කළාද?
ඒ පක්ෂයේ ඉන්න අයත් එක්ක කතා කරලා තියෙනවා. ඒ අය හරි වෙලාවෙදි හරිම තීන්දුව ගනී.


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එනවා, එනවා කිව්වට කෝ කවුරුවත්ම නෑනේ?
ඔබතුමා ඒකට සමගි ජන බලවේගය කියලා කිව්වට ඒකේ සමගියක් නම් නෑ. එජාපයත් එක්ක විරසකයක් තියෙන එක්කෙනෙක් දෙන්නෙක් නිසානේ කඩාගෙන ගියේ. අපි යන්න කිව්වේ නෑනේ. ඒගොල්ලෝ ගියා. දැන් ඒ අයට තේරිලා තියෙන්නේ මොකක්ද වුණේ කියලා. ඔවුන් හරි අවස්ථාව එනකම් ඉන්නේ.


සමගි ජන බලවේගය නම් කියන්නේ අනාගත නියත ජනාධිපති සජිත් ප්‍රේමදාස කියලා?
 සිහින දකින්න කැමැති අයට අපි බාධා කරන්නේ නෑ.


ජාතික ජනබලවේගය ගැන මොකක්ද ඔබේ තක්සේරුව?
ඒ ගොල්ලෝ ගැන කතා කරන්න දෙයක් තියෙනවද?


ඔබ එහෙම කිව්වත් සමාජය තුළ යම් රැල්ලක් මාලිමාවට තියෙනවා?
මීට කලිනුත් රැලි පෙන්වලා තියෙනවනේ. ගෝල්ෆේස් පිරෙව්වා. ඒගොල්ලෝ කතාවට දක්ෂයි. හැබැයි වැඩට බැස්සාම තමයි ඇත්ත පේන්නේ. ෂර්ට් එක එක්කෙනෙක් දෙනවා. බෙල්ට් එක තව කෙනෙක් දෙනවා. වොච් එක තව කෙනෙක්ගෙන්. කලිසමත් අනුන්ගේ. ඔහොම කියන අය රටක් හදයිද? පිස්සුනේ.


හිටපු ජනාධිපති මෛත්‍රී කියනවා ‘මහ මොළකරු දන්නවා’ කියලා. පාස්කු ප්‍රහාරය වෙනකොට තිබුණේ ඔබලාගේ යහපාලන ආණ්ඩුව?
මම හිතන විදියට මෙවැනි ප්‍රකාශ කිරීම පුදුමාකාර විහිළුවක්. අවුරුදු 5ක් තිස්සේ ඕක දැනගෙන හිටියා නම් ඇයි දෙයියනේ, ඕක මේ මොහොතේ එළියට ගත්තේ. එක්කෝ ඔය කියන්නේ අමූලික බොරුවක්. එහෙම නැත්නම් එයා දන්නවා. දැනගෙන කිව්වේ නෑ. ඒකත් බරපතළ වරදක්.



අදහස් (0)

ආර්ථික අර්බුදයට වගකිවයුත්තේ දේශපාලනඥයන් පමණක් නෙවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site