IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී

පාඨලී චම්පික රණවක

සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකුට කැපිලි කෙටිලි දමන්නේ ආණ්ඩු පක්ෂය වේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරන්නේ විපක්ෂයෙන් තමන්ට කැපිලි කෙටිලි එන බවය. ඒ ගැන විමසමින් මේ ඒ මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍ර: විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ‘කැපිලි’ එන්නේ ආණ්ඩු පක්ෂයෙන්. නමුත් ඔබට විපක්ෂයෙන්ම ‘කැපිලි’ එනවා කියලා ආරංචියි?


මීට කලිනුත් වෙලා තියෙනවා. මේ පළමු වැනි අවස්ථාව නොවෙයි. 2001 වසරේ ඉඳන් මම පාර්ලිමේන්තුවේ බිස්නස් කොමිටියේ හිටියා. ඊටත් උඩින් තියෙන ‘කොමිටි ඔෆ් සිලෙක්ෂන්’ එකේ හිටියා. ඒවායිනුත් මාව අයින් කළා. 2021 දී.


ප්‍ර: කවුද එහෙම අයින් කළේ?


මේ විපක්ෂනායකම තමයි. මම ඉතින් ඒවා එච්චර ගණන් ගන්නේ නෑ. රට බංකොළොත් වුණාට පස්සේ පත්කරපු ජාතික සභාවේ අගමැතියි විපක්ෂනායකයි දෙන්නම හිටියා. ඒකෙන් මට වගකීමක් දුන්නා. ආර්ථික ස්ථායිකරණ කමිටුව මෙහෙයවන්න. දහස් ගණනකගේ අදහස් අරගෙන රට ගොඩනගන වැඩපිළිවෙළක් හැදුවා. අදටත් ඒ වාර්තා වලංගුයි. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය, බලශක්ති ක්ෂේත්‍රය ඒ විදියට ගොඩක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විධිමත් විග්‍රහයක් ඒ වාර්තාවල තියෙනවා. ඊට පස්සේ මම රාජ්‍ය මූල්‍ය කාරක සභාව නියෝජනය කළා.


ප්‍ර: ඒ කමිටුවේ සභාපති වුණේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා?


ඔව්. එතෙනදී ප්‍රශ්නයක් මතුවුණා. ඒකේ සභාපතිකම එයාට දෙන්නේ නෑ කියලා. දෙවැනි වතාවේ ඔහුට දුන්නේ නෑ.


ප්‍ර: එහෙම වුණේ ආණ්ඩු පක්ෂයෙන් ඔහුට විරෝධයක් එල්ල වුණු නිසා?


එහෙම තමයි කිව්වේ. ඒ වෙලාවේ මාව තමයි තෝරාගත්තේ සභාපති හැටියට. මම ඒක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මයන්ත දිසානායක මන්ත්‍රීතුමා සභාපති හැටියට පත් කළා. නමුත් පසුව එතුමාත් අස්වුණා. පනත් සියල්ලම සලකා බලන්න ඕනෑ මේ කාරක සභාවෙන්. ඒ නිසා අපි තීරණයක් ගත්තා තාවකාලික සභාපති කෙනෙක් පත්කර ගන්න. තාවකාලික සභාපති වුණෙත් මම.


අපට තිබුණා ඕනෑ නම් සජබෙට කොකා පෙන්නලා ඔය කාරක සභාවලට යන්න. මම ජනාධිපතිතුමාටම කිව්වා සභාපතිකමට හර්ෂ ද සිල්වා පත් කරන්න කියලා. ඔය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට  ආව වෙලාවේ ඒක කළා.


ප්‍ර: ඔබව මෙවර ඉවත් කළේ ක්‍රම සහ විධි කාරක සභාවෙන්?


ඔව් ඒක අලුත් කාරක සභාවක්. ඒකේ මම හිටියා. ඒ කාරක සභාවේ විශේෂත්වයක් තියෙනවා. ඒකට විගණකාධිපතිගේ සම්බන්ධයක් නෑ. රටේ ආදායම් ආයතන ගැන සොයා බලන්න තමයි ඒකට තියෙන්නේ. අපි ඒ කාරක සභාවේ ඉඳගෙන විශිෂ්ට සේවයක් කළා.


ප්‍ර: මොනවද ඒ?


මෙහෙමයි. සමහර කාරක සභාවලට චෝදනාවක් තියෙනවා සමහර සභාපතිවරු ඒක තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය පුම්බවන්න පාවිච්චි කරනවා කියලා. නිලධාරීන් හෑල්ලුවට ලක් කරනවා කියලා. නමුත් ඔබ දන්නවා, 2018 ඉඳන් මත්පැන් ස්ටිකර් ප්‍රශ්නයක් තිබුණා. ව්‍යාජ ස්ටිකර් අලවලා කරපු මහා මත්පැන් ජාවාරමක් කළා. ඒ ජාවාරම අපි නැවැත්තුවා. රුපියල් බිලියන ගානක් සුරාබදු දෙපාර්තමේන්තුවට ආදායම ආවා.


ඒ වගේම සුරා නිපදවන්නන් බදු ගෙවන්නේ නැතිව මග ඇරලා හිටියා. මගේ නියෝගයක් මත නොවැම්බර් 1 වැනිදා ඒ අයගේ බලපත්‍ර තාවකාලිකව තහනම් කළා. ඒ අය බදු ගෙවන්න පටන් ගත්තා. බදු නොගෙවා හිටපු පිරිස් බදු ගෙවන්න පටන් ගත්තා.


හොරෙන් රත්‍රං ගෙනාවා ගුවන් තොටුපළෙන්. කට්ටිය ගිරිය පුප්පගෙන කෑගහන්න දන්නවා නමුත් ඒකෙදි අපි දැක්කා රේගු නිලධාරීන් තීරණය කළා හොරෙන් ගෙනාපු භාණ්ඩයේ මිල වගේ තුන් ගුණයක් අය කරන්න. ඒ අවස්ථාවේදී අපි නියෝගයක් දුන්නා පළමුවැනි වටයේදී සියයට බදු අයකරන්න කියලා. ජූලි 1 වැනිදා ඉඳන්. ඒක රේගු ප්‍රධානියා ක්‍රියාත්මක කළා. රේගුවේ ආදායම තුන් හතර ගුණයකින් වැඩි වුණා. ඊට පස්සේ මේ ජනවාරි 1 වැනිදා ඉඳන් අපි තුන් ගුණයකින් බදු වැඩි කළා. දැන් හොර බඩු ගේන එක නතර වෙලා. මේවා වැඩ නොවයිද?


අපි මේවා කරලා පෙන්නුවා ඒ වගේම මේ රටේ මිනිස්සු පළමු වරට දැනගත්තේ අපේ කමිටුව නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තියලා තියපු පොලු. රේගුවටත් පොලු තියලා තියෙනවා. සුරාබදු එකටත් පොලු තියලා තියෙනවා. ඒ ලැයිස්තු එළියට ආවේ අපි නිසා. කෝටි ලක්ෂයක බදු පොලු. ඒවා අය කරගන්න අපි නියෝග කරලා තියෙනවා.
කෝටි 100 ට වඩා බදු පොලු තිබ්බ අය හත් දෙනෙක් ඉන්නවා. ඒ හත් දෙනාට කේන්තියි ඉතින්. සුරාබදු නොගෙවා හිටපු අයට කේන්තියි මේ කාරක සභාව ගැන. අපි මේ කරපු දේවල්වලට ආණ්ඩුවේ කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නෑ. ඒක මම කියන්න ඕනෑ. ආණ්ඩුව දූෂිතයි කියලා කිව්වට ඔවුන් මට පූර්ණ සහයෝගයය දුන්නා මේ වැඩවලට. ඒ වගේම මේ ආයතනවලට මම පෞද්ගලිකවම ගියා. ඒ ආයතන පරීක්ෂා කරලා දුර්වලතා හඳුනා ගත්තා.


ප්‍ර: ඇයි සීනි බදු වංචාවට මැදිහත් නොවුණේ?


ඇයි මැදිහත් නොවුණේ? සීනි බදු වංචාව දෙවරක්ම වුණා. 2021 දීත් වුණා. 2023 දීත් වුණා. රුපියල් 50 ට තිබුණ බද්ද ශත 25 ට අඩු කළ ගෝඨාභයගේ යුගයෙදිත් මේ වංචාව වුණා. නැවත 25 සිට රුපියල් 50 දක්වා වැඩි කරපු රනිල් වික්‍රමසිංහ යුගයේදීත් මේ වංචාව වුණා. ඒ බදු අයකරගන්න කියලා. ‘අයි ආර්ඩ්’ එකට අපි නියෝග කළා. අන්න සීනි බදු හොරා කුපිත වුණා. මොකද මීට කලින් කෝපා කමිටුව කියලා තිබුණේ බදු අය කරගන්න කියලා නොවෙයි නීතිපති විමසන්න කියලයි. නමුත් අපි කෙළින්ම නියෝග කළා මේක අයකර ගන්න කියලා. ඒ නිසා සීනි බදු හොරුන් කේන්ති ගත්තා. ඒ වගේම පහුගිය අගෝස්තු මාසයේදී පාන්පිටිවලටත් එවැනිම තත්ත්වයක් ආවා. 


ප්‍ර: ඔය කමිටුවට නීතිමය බලයක් තියෙනවද නියෝග නිකුත් කරන්න?


ඔව් තියෙනවා. ස්ථාවර නියෝගවලින් ඒ බලය දීලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක අදාල ආයතනයේ වගකීමක්. මම මේ කියන්නේ මේ ක්‍රියාවලියට ආණ්ඩුවේ අයත් සහාය දුන්නා. විපක්ෂයේ අයත් සහාය දුන්නා. රාජ්‍ය නිලධාරීන් පිරිසකුත් සහාය දුන්නා. ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයේදී ගිය අවුරුද්දේ මම තමයි කිව්වේ බැංකු හොරු ගැන කියන්න කියලා.


ලංකා බැංකුවට මහජන බැංකුවට තියලා තියෙන පොලු ප්‍රමාණය බිලියන 616 ක්. මේ රටේ බලගතු ඇමැතිලා හිටපු ඇමැතිලා මේ ලැයිස්තුවේ ඉන්නවා. මේ ලැයිස්තුවේ පළමුවැනි විසිපස් දෙනාගේ නම් අපි ඉල්ලුවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විතරයි ඒ නම් දුන්නේ. අනික් බැංකු අපට ඒ විස්තර දුන්නේ නෑ. හැබැයි අපි දන්නවා ඒ කවුද කියලා.
පොලුකාරයන්ගේ ටින් අංක අපි ළඟ තියෙනවා. අපි මේවා රටේ ප්‍රවෘත්තියක් බවට පත් කළා. එතකොට බැංකු පොලු තියපු ඇමැතිලා, හිටපු ඇමැතිලා කෝප් වුණා. ඒ නිසා ක්‍රම සහ විධි කමිටුවෙන් මාව ඉවත් කිරීමට උවමනාව තියෙනවා නම් තියෙන්නේ ඔය මේ කියපු චෞර කප්පිත්තන්ට. ඉතින් මාව නම් නොකිරීමෙන් දැන් පේනවා මේ චෞර කප්පිත්තන් ආණ්ඩුව එක්ක විතරක් නොවෙයි විපක්ෂයේ අයත් එක්කත් ඉන්නවා කියලා.


ප්‍ර: ක්‍රම සහ විධි කමිටුවට ඔබව නම් කිරීමේ බලය තියෙන්නේ විපක්ෂනායකට?


විපක්ෂයේ ප්‍රධාන සංවිධායකනේ ඒක කරන්න ඕනෑ.


ප්‍ර: ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කරන්න ඔබේ සන්ධානය තීරණය කරනවා. ඒ අනුව විපක්ෂනායක සජිත් ඇතුළු පිරිසක් සභාවෙන් එළියට යනවා. නමුත් ඔබ, රාජිත, සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් ජනාධිපති රනිල්ගේ කතාවට සවන් දෙනවා. මේක ජනාධිපති රනිල් එක්ක කරපු ඩීල් එකක්?


ආණ්ඩුවේ ඩීල් කාරයෝ කවුද කියලා අපි දන්නවා. පළමු වැනි දේ තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට වගකීමක් තියෙනවා. ‘අපි මෙහෙම තීරණයක් ගත්තා’ කියලා අපට දැනුම් දෙන්න. අපට එහෙම දැනුම් දීමක් කළේ නැහැ. අපට එහෙම දැනුම් දීපු හැම අවස්ථාවකදීම අපි ඒ අනුව ක්‍රියා කරලා තියෙනවා. ඔවුන් නැගිටලා ගියේ ඇයිද කියලා කියන්න අපි දන්නේ නෑ.


ප්‍ර: ඔබ ඒ තීරණය දැනගෙන හිටියේ නෑ කියන එක පිළිගන්න පුළුවන්ද?


දැනගෙන හිටියේ නෑ මහත්තයෝ. අපට දැනුම්  දුන්නේ නෑ. මම ඒක වගකීමෙන් කියනවා දැනුම් දුන්නා නම් පෙන්වන්න කියන්න. මේක මේ කාලයක් තිස්සේ අපට කපන්න බලාගෙන හිටපු සමගි ජන බලවේගයේ ඉන්නවා තුන් දෙනෙකුගේ කල්ලියක්. ඒගොල්ලේ මන්ත්‍රීවරුන් නොවෙයි. එක්කෙනෙක් ඉන්නේ ආණ්ඩුව ඇතුළේ. ඒ කල්ලිය කාලයක් තිස්සේ හිතාගෙන හිටපු වැඩක් මේක. මේ තුන් කල්ලියේ ක්‍රියාකාරීත්වය නතර කිරීමේ සජබෙ සෞඛ්‍යයට ඉතාම හිතකරයි අනාගතයේදී.


ප්‍ර: ඒ තුන් කල්ලිය කවුද? ඇයි ඔබ නම් නොකියන්නේ?


අනාගතයේදී අපි කියන්නම් කවුද කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාට මම මතක් කරන්න ඕනැ ජනාධිපතිවරණය පැරදිලා ගෙදරට වෙලා එයා හිටියේ. එතැනට නැවත ගෝල්පේස් හෝටලයට ගෙනල්ලා මැති ඇමැතිවරුන්ට කතා කරලා එතුමාව විපක්ෂනායක හැටියට යෝජනා  කළේ මම. එතුමාගේ නම යෝජනා කරන්න එඩිතර වුණේ නෑ ආණ්ඩුව ගැන රනිල් ගැන කතා කරන අය. ඒ නිසා ආණ්ඩුව එක්ක ඩීල් - රනිල් එක්ක ඩීල් මගෙත් එක්ක කියන්න එන්න එපා.


රනිල් කිව්වනේ සජබෙ ඉන්නේ මම හදා වඩා ගත්ත  අය කියලා. මාව රනිල් හදාගත්ත කෙනෙක් නොවෙයිනේ. ඒක කවුරුත් දන්නවානේ. රට බංකොලොත් වෙන්න කලින් මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට මම කී වරක් අනතුරු අඟවලා තියෙනවද? 2021 වසරේදී කෝප් කමිටුව ඉදිරිපිටට  තෙල් සංස්ථාව ආපු වෙලාවෙත් ඒ තෙල් සංස්ථාවේ සභාපතිතුමාට, අමාත්‍යාංශයේ ලේකම්තුමියට මම කිව්වා ‘මේක බංකොලොත් වෙන්න යන්නේ. මේක නවත්වන්න. මේ යන ක්‍රමය  වැරැදියි.’ කියලා.


2021 නොවැම්බර් 14 මම පාර්ලිමේන්තුවේ කතාවක් කළා බැසිල්ගේ අයවැය වෙලාවේ. මම බැසිල් මහත්තයාට  කිව්වා ‘ඔයා නැවත මේ රටේ අයවැය ගේන්නේ නෑ’ කියලා. ලබන මාර්තු මාසයේ බලශක්ති අර්බුදයක් ඇතිවෙලා ඔයගොල්ලන්ගේ ආණ්ඩුවට යන්න වෙනවා කියලා. සරත් වීරසේකර මහත්තයා එදා පාර්ලිමේන්තුවේ හිටියා. එතකොට එයා පොලිස් ඇමැති, මම එයාට කිව්වා ‘ජනතා නැගිටීම ඔයාගේ පොලිසියට නවත්වන්න බෑ’ කියලා. මට තිබුණානේ කෙළවෙන්න ඇරලා බලන් ඉන්න.


මහින්ද රාජපක්ෂ මාව හිරේ දැම්මා. ගෝඨාභය රාජපක්ෂ මාව හිරේ දාම්මා. මට ඩීල් කතා කියන  අය කාවවත් හිරේ දැම්මේ නැහැනේ. නඩු දැම්මේ නැහැනේ. මගේ ප්‍රජා අයිතියනේ අහිමි කරන්න ගියේ. මම නඩු 37 ක් දැම්මා. ඔය නායකයන්ට එහෙම නඩු දාලා තියෙනවද? රාජපක්ෂලාගේ නම කියන්න හරි ඔය නායකයෝ එඩිතර වුණේ මිනිස්සු ගහලා  පැන්නුවට පස්සෙනේ. හැබැයි මාව හිරේ දැම්මා කියලා රට බංකොලොත් වෙන්න යනවා නම් ඒක දැනුම් දෙන එක මගේ වගකීමක්. මම ඒක දැනුම් දීලා තියෙනවා.


2022 ජනවාරි 23 43 සේනාංකය හැටියට අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. අපිටත් තිබුණා කෙළවෙන්න අරින්න. හැබැයි කෙළවෙන්නේ  ගෝඨාභයට නොවෙයි රටටනේ. ඒ වගකීමේ අපි ඉන්නවා.


ප්‍ර: ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධ විවාදයේදී ඔබත් කතාවක් ඉල්ලුවා. නමුත් ලැබුණේ නෑ?


ඔව් ලැබුනේ නෑ. කතාව තියෙනවා කියලා කිව්වා. නමුත් අන්තිමට කතාව කපලා.


ප්‍ර: කවුද කපලා තියෙන්නේ?


ඒක කරලා තියෙන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල.


ප්‍ර: ඔබ ඔහුගෙන් ඇහුවේ නැද්ද?


ඇහුවා. එතුමා කිව්වා නායකතුමා කිව්ව නිසා එහෙම කළා කියලා?


ප්‍ර: ඔබ කියලා තිබුණා ‘මම කාගෙවත් එහෙයියෙක් වෙන්න කැමැති නෑ’ කියලා?


පැහැදිළිවම. මම බොහෝම පැහැදිළිව කියන්න ඕනෑ අයුක්තිසහගත විදියට, ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට, ඒකාධිපති විදියට වැඩ කරන්න දෙන්න බෑ. ඇයි සජබෙ බිහි කළේ. සජබෙ බිහි කළේ රනිල් වික්‍රමසිංහ ඒකාධිපතියෙක් කියලා. රනිල් වික්‍රමසිංහගේ පිටිපස්සේ මලික් සමරවික්‍රමලා ඩීල් දානවා කියලා. එහෙමයි සජබෙ බිහි කළේ. එහෙම බිහි කරපු සජබෙ අද වැඩ කරන්නේ කොහොමද? කියලා මම සජබෙ නායකයන්ගෙන් අහනවා.


ප්‍ර: ඔබ කියලා තිබුණා ‘මත්පැන් නිෂ්පාදකයන්ගේ, සීනි බදු වංචාකාරයන්ගේ දේපළ පරිහරණය කරන අය විපක්ෂයේ ඉන්නවා.’ කියලා.


ඔව් ඉන්නවා. මම ඒක කියන්න ඕනැ නෑ. තතු දන්නෝ දන්නවා. හැබැයි නිසි වෙලාව ආවම අපි ඒවා කියන්නම්.  දැන්ම කියලා අපි ආණ්ඩුවට සේවය කරන්න ඕනෑ නෑ. දැනට අපි අවස්ථාවක් දෙනවා සජබෙට ප්‍රජාතන්ත්‍ර වෙන්න. නායකයන්ට ගහලා රාජපක්ෂ කඳවුරේ ගොට්ටන් අල්ලගෙන දිනන්න පුළුවන් තරගයක් නොවෙයි අද තියෙන්නේ. ඒ වගේම රට හදනවා නම් ඒ සඳහා විධිමත් කණ්ඩායමක්  ඉන්න ඕනැ.


ප්‍ර: ඔබ, රාජිත, ෆොන්සේකා ඉතා ඉක්මනින් රනිල් සෙවණේ දකින්න පුළුවන් වෙයි කියලා කියන අයත් ඉන්නවා.


පිළිතුර:- ඔය අර තුන් කල්ලියේ ප්‍රචාරනේ. අපි හැමදාමත් කළේ රටට වැඩපිළිවෙළක් දෙන එක. රනිල් වික්‍රමසිංහගේ හොඳ වැඩ හොඳයි කියන්න වැරැදි ඒවට වැරැදියි කියන්න අපට පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ගනුදෙනු කරන්නේ කවුද කියලා ආශු මාරසිංහ මහත්තයාගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්.


අනික අපි විවෘතව වැඩ කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට පස්සෙන් පිහියෙන් ඇන්නේ නෑ. එතුමා හමුවෙලා විවෘතව කතා කරලා අපි එළියට ආවේ. අපි ඔය යටින් වැඩ කරන්නේ නෑ. මට රාජිතයි සරත් ෆොන්සේකා ගැනයි මුකුත් කියන්න බෑ. හැබැයි ඒ වගේ පීරිස්වලට කැපිලි කෙටිලි දාලා ඒ අයව පක්ෂයෙන් පන්නන්න අර තුන් කට්ටුව වැඩ කරනවා.


ප්‍ර: ඔබ ඉන්නෙත් ජනාධිපති අපේක්ෂක සිහිනයක?


පළමුවෙන් මම අහන්න කැමැතියි ජනාධිපති ධුරය  දරන්න මට තියෙන නුසුදුසුකම මොකක්ද කියලයි. මගේ අමාත්‍යංශ මම හරියට කරලා තියෙනවා. රට අනතුරට ලක්වෙන  හැම මොහොතකදීම ඒකට කර ගහලා තියෙනවා. වසර 2000 දී මොකද වුණේ කියලා ඔබයි මමයි දන්නවා.


යුද්ධය පරාජය වෙලා. මම මේ කතා කරන්නේ සරත් ෆොන්සේකා ගැන නොවෙයි. ඔය සමහර ජෙනරාල්ලා කියලා දැන් ඉන්න අය පැනලා ගිහිල්ලා වන්නිය සම්පූර්ණයෙන්ම එල්ටීටීඊය අල්ලාගෙන, අලිමංකඩ කඳවුර මුළුමනින්ම බිඳ වැටිලා පර්සි ප්‍රනාන්දුව මරලා. මේ රටේ සිය ගාණක් විදේශීය මාධ්‍යවේදීන් ඇවිත් හිටියනේ 2000 වසරේ බිහිවන නව රාජ්‍ය ගැන වාර්තා කරන්න. එහෙම තිබුණ රට හැරෙව්වේ අපි. අපිට  එදා චන්ද්‍රිකා එක්ක ප්‍රශ්න තිබුණා. හැබැයි අපි රට මුලට තිබ්බා.


අපි තමයි වෙන පැත්තක ඉඳන් හමුදාවට උදව් කළේ. අපි බංකරයෙන් බංකරයට ගියා. ඉරට්ටපෙරිය කඳවුරේ සෙබළුන්ගේ ධෛර්ය වැඩෙන්න කතා කළේ අපි. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ඡන්දය තියන්න තිබුණේ 2006 දී කියලා මතයක් තිබුණා. ඒක 2005 ට ගත්තේ අපි. මහින්ද රාජපක්ෂගේ ඡන්ද සටනට කර ගැහුවේ අපියි. ජවිපෙයි.
මහින්ද ගෙනාවේ මොකටද එල්ටීටීඊයෙන් රට බේරාගන්න. යුද්ධ කරන්න බෑ බෑ කියද්දී මාවිල්ආරු ගිහින් ඒක පටන් ගත්තේ අපි. මේ හැම දෙයක්ම කළේ රට වෙනුවෙන්. ඒ නිසා සුදුසුකම් අහනවා නම් තව ඕනෑ තරම් කියන්නම්.

 

 

සාකච්ඡා කළේ

■ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 

 

 



අදහස් (0)

ජනාධිපති වෙන්න මට තියෙන නුසුදුසුකම මොකද්ද ?

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 223 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1199 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 992 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2326 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2173 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3696 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1763 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1594 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site