IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රන් බඩු ගලවා දුන්නාම පරලොවම යවලා

 

මධුරි පුවනේශ්වරී වයස 61ක කාන්තාවක්. ඇය පුත්තලම වාරිමාර්ග කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියක සේ සේවය කරමින් සිට වයස සම්පූර්ණ වීම නිසා විශ්‍රාම ගොස් සිටියාය. වයස නිසා විශ්‍රාම ගියත් ඇගේ සිරුරේ තවමත් තරුණකම රැඳී ඇත. මේ නිසා ඕ විශ්‍රාම ගිය පසුව ගෙදරට වී නොසිට පුත්තලම නගරයේ පිහිටි ඉදිකිරීම් ආයතනයක ගණකාධිකාරිනියක සේ රස්සාවකට ගියාය.


මධුරිගේ උපන් ගම පුත්තලමයි. මධුරි කලින් විවාහ ජීවිතයක් ගත කළ අතර පවුල් ප්‍රශ්නයක් මත ඕ සිය සැමියාගෙන් මෙයට වසර 10 ට කලින් නිත්‍යනුකූලව වෙන්වී ඇත. රැකියාව කරන කාලයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් පුත්තලම නගරයේ ඇති නිල නිවාසයක වාසය කළ ඇය විශ්‍රාම ගිය පසු සිය අක්කා කෙනකු සමග තිල්අඩිය රත්මල්යායේ නිවසක වාසයට ආවාය.


රත්මල්යාය ප්‍රදේශයේ පදිංචි සියලු දෙනා හා ඉතා සුහදව වාසයට මධුරි සමත්ව සිටි අතර ප්‍රදේශවාසීහුද ඇගේ ඇසුරට වැඩි කැමැත්තක් දැක්වූහ.


මධුරිගේ අක්කා මන්නාරමේ පදිංචි සිය දරුවකු හමුවීම පිණිස මෙයට සති දෙකකට කලින් මන්නාරම බලා පිටත්ව ගොස් තිබුණි. මේ නිසා මධුරිට තනිවම නිවසේ දිවි ගෙවීමට සිදුව තිබුණි. තනිකම ඇයට වඩාත් සමීපව තිබුණි. ඇය උදේ රැයින් අවදිව අවශ්‍ය කෑම ටික හදාගෙන රැකියාව පිණිස ගෙදරින් පිටව යන අතර සවස අඳුර වැටෙන්න කලින් ගෙදර පැමිණීමට ද පුරුදුව සිටියාය.


පසුගිය සෙනසුරාදා (20දා) නිවාඩු දිනයක් වූ නිසා මධුරි ගෙදර රැඳී සිටියාය. එහෙත් මධ්‍යහ්න කාලයේ පටන් මධුරි ගෙදර ඉන්නා බවට කිසිදු ලකුණක් අසල්වාසීන්ට දැනී නැත. මෙදින මධුරි අසල්වැසි ගැබිනි කාන්තාවකට දිවා ආහාරය ලබාදීමේ ආශාවෙන් ආහාර පිසීමට අවශ්‍ය කළමනා සූදානම් කරමින් සිය මුළුතැන් ගෙයි සිටියාය.


මේ අතර ඇගේ නිවසේ ගේට්ටුව වෙත පැමිණි කිසියම් පිරිසක් කතා කළත් තනිවම සිටි නිසා ඕ දොර නෑර පැමිණියේ කවුරුන්දැයි විමසීමට අසල්වැසියකුට ටෙලි​ෙෆා්න් කර දන්වා ඇත. ඔහු පැමිණ බලනවිට මධුරිගේ නිවසේ ගේට්ටුව අසල මේසන් වැඩ කරන පිරිසක් රැඳී සිටි අතර ඔවුන් පානයට වතුර ටිකක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇත. ඒ අනුව පැමිණි පුද්ගලයා මධුරිට කතා කර ඔවුන්ට ජලය ලබාදීමටද පියවර ගෙන ඇත.


ඊට පසුදින (21දා) පෙරවරු පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට ලැබුණ තොරතුරක් අනුව මෙම ඝාතනය ගැන පොලිසිය මුලින්ම දැනගෙන ඇත.


සැණෙකින් පුත්තලම පොලිසියේ නිලධාරීන් නිල සුනඛ බෝස් හා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා එම නිවස කරා පැමිණ තිබුණි. නිවස තුළට ගිය නිලධාරින් සිදුකළ මූලික විමර්ශනවලින් පසු එම මුළුතැන් ගෙය තුළ බිම වැටී මියගොස් සිටි මධුරිගේ සිරුර සොයාගෙන ඇත. සිදුකළ නිරීක්ෂණ අනුව එම සිරුරේ ගෙල පෙදෙසෙහි කැපුම් තුවාලයක් තිබූ අතර එයින් ගැලූ රුධිරය මුළුතැන්ගේ පුරා පැතිර ගොස් තිබුණි.


කිසිවකු විසින් ඇගේ ගෙල කපා ඇති බව හෙළි වූ අතර ඊට අමතරව ඇයගේ පපුව පලාගෙන යන ලෙසින්ද පිහි පහරක් එල්ල කර ඇති බවද හෙළි විය. මේ නිසා මෙම මරණය සිදුව ඇති බව සිරුර සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදුකළ පුත්තලම රෝහලේ අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එස්.ආර්. වික්‍රමාරච්චි මහතා වාර්තා කර තිබුණි.


පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් කාදර් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශනයක් කර සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පිණිස පුත්තලම මූලික රෝහලට ​රැගෙන යාමට නියෝග කළේය. සිරුර රෝහලට යැවීමෙන් අනතුරුව පොලිස් නිලධාරීහු නිවස තුළ හා පිටත සියුම් විමර්ශනයක ලක් කර කරුණු විශ්ලේෂණය කළහ.


එම විමර්ශනයේදී මධුරිගේ නිවස අසල පාළු ස්ථානයක තිබී හිමිකරුවන් නොමැති පා පැදි දෙකක් සොයා ගත හැකිවී ඇත. මේ පිළිබඳව අසල්වාසීන්ගෙන් දීර්ඝ ලෙසින් ප්‍රශ්න කළත් පාපැදි දෙකේ අයිතිකරුවන් සොයාගත නොහැකි විය. එපමණක් නොවේ මෙම පාපැදි දෙක ගැන තොරතුරු රැසක්ම මෙහිදී අනාවරණය කර ගන්නට හැකිවිය. ඒ එදින දිවා කාලයේ සිටම මෙම පාපැදි දෙකේ නැග ගත් තරුණයින් දෙදෙනකු මධුරිගේ නිවස ඉදිරිපසින් විටින් විට ඒ මේ අත යනු දුටු කිහිප දෙනකුම ඒ බව පොලිසියට දන්වා ඇත.


මධුරි නිතර ආභරණ පැළඳ සිටීමට පුරුදුව සිටි අතර මෙදින ඇගේ සිරුරෙහි කිසිදු අාභරණයක් ඔවුන්ට දැක ගත නොහැකිවූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ. ඇය සමහරවිට රන් ආභරණ ගලවා තබන්නට ඇතැයි පොලිසිය සිතා ඇත. ඒ අතර ඇය ත්‍රීවීල් රථයක් මිලදී ගැනීම පිණිස ගෙදර තිබී ඇතැයි කියන පැරැණි යතුරුපැදිය විකුණූ මුදල්ද ගෙදර තිබූ බවත් හෙළි විය.


පොලිසියට ප්‍රධාන වශයෙන් සැක කිරීමට කරුණු දෙකක් බලපා ඇත. එකක් හිමිකරුවන් නැති පා පැදි දෙක අනෙක් අතට නිතර රන් ආභරණ පැලඳ සිටින ඇගේ අත කන කර පාළුවට ගොස් තිබීමයි. මේ නිසා පොලිසිය විවිධ කෝණයන්ගෙන් තොරතුරු ලබා ගනිමින් දිගින් දිගටම විමර්ශන කටයුතු කරගෙන ගියේය.

 

දිගින් දිගටම සිදුකළ විමර්ශනවලින් පසු පොලිසියට පාලවිය තිල්අඩියේ රික්සාපුරම් සරණාගත කඳවුරේ පදිංචි තරුණයන් දෙදෙනකු ප්‍රශ්න කිරීම පිණිස අත්අඩංගුවට ගත හැකි විය. මදුරිගේ නිවස අසළ පාළු තැනක දමා තිබූ පාපැදි දෙක ඔවුන්ගේ බව ඔවුන් පිළිගෙන ඇත. දිගින් දිගටම සිදුකෙරුණ ප්‍රශ්න කිරීම්වලින් පසු මධුරිගේ ඝාතනයේ සියලු තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත් වී තිබුණි. එ් අනුව එම කඳවුරේම ජීවත්වන තවත් තරුණයන් දෙදෙනකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සිද්ධියෙන් හෙළිවූ කරුණු මත මෙම තරුණයන් අවුරුදු 19 ත් 21ත් අතර වයසේ පසුවන අය බව අනාවරණය වූ අතර ඔවුන් සියලුම දෙනා යුද සමයේ සරණාගතයින් සේ මන්නාරමේ සිට පුත්තලමට පැමිණි පවුල්වල සාමාජිකයින් බවත් කියැවිණි. ස්ථිර ආදායම් මාර්ගයක් නොතිබූ නිසා මෙම තරුණයන් යම් යම් සුළු සොරකම් කර ඇති බවටද කරුණු හෙළිකරගත හැකි විය.

 


මියගිය මධුරිගේ නිවෙස කොල්ලකෑමේ අදහසින් මොවුන් සිව් දෙනාගෙන් මූලිකත්වය ගත් අය කියා තිබූ අතර ඒ අනුව ඔවුන් මේසන් වැඩ කරන්නන් ලෙසින් ගොස් මධුරිගේ නිවස සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා උපක්‍රමශීලීව එම නිවසට ඇතුළු වී ඇති බවත් හෙළි විය. ඒ වනවිට මධුරි ඉවුම් පිහුම් කටයුතුවල නිරතව සිටි අතර පිහියක් ගෙලට තබා බිය ගන්වා ඇය සතු රන් ආභරණ කොල්ල කා ගත් බවත් හෙළි වී ඇත.


පසුව ඇයගේ පපුවට පිහියෙන් ඇන ගෙදර සියල්ල අවුස්සා ​රුපියල් අසූ දහසක මුදලද කොල්ලකා ඇත. මෙම කාන්තාවට පිහියෙන් ඇන ඇත්තේ සැකකරුවන් අතර සිටින 19 වියේ පසුවන තරුණයා බවටත් හෙළි වී ඇත.
ඝාතනයට යොදා ගත් පිහිය රත්මල්යාය පල්ලියක් අසල ළිඳක දමා තිබී සොයාගෙන ඇත. මියගිය කාන්තාව කර පැළඳ සිටි පවුම් දෙකක රන්මාලය හා සෙසු ආභරණද පොලිසිය සොයාගත් අතර සොරා ගන්නා ලද මුදලින් රුපියල් අසූ දහසක්ද සැකකරුවන් වෙත තිබී සොයාගත් බවත් පොලිසිය කීය. කරුණු කාරණා කෙසේ වෙතත් මෙම ඝාතනයත් සමඟ සිදුවූ කොල්ලය සිදු කළ ඝාතකයින් පැය 48ක් යාමටත් කලින් අත්අඩංගුවට ගැනීමට සමත් වූ පුත්තලම පොලිසියට කොයි කාගෙත් ප්‍රශංසාව නම් හිමි වූ බව කිව යුතුමය.


පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන, සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර යන මහත්වරුන්ගේ උපදෙසින් පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂකවරුන් වන වන්නිනායක, උපපොලිස් පරීක්ෂක අරුණ ශාන්ත, සැරයන් පුෂ්පනාදන් 31678, කොස්තාපල්වරුන් වන ධර්මේන්ද්‍රන් 37717, තිලකසිරි 30089 හා ඒකනායක 68402 යන මහත්වරු පරීක්ෂණවලට සම්බන්ධ වී සිටියහ.

 

 

 

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

 



අදහස් (0)

රන් බඩු ගලවා දුන්නාම පරලොවම යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site