ඒ සුදු අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ මීට ශත වර්ෂයකට එහා කාලයයි. වතු ආර්ථිකය ශක්තිමත්ව තිබූ ඒ සමයෙහි තෙබුවන නගරයට කළුතර දිස්ත්‍රික්කයේ වැදගත් තැනක් හිමිව තිබුණේය. සුදු වතු පාලකයින් විවේකය විනෝදයෙන් ගත කළ සමාජ ශාලාව හා ක්‍රීඩා පිටිය පිහිටා තිබුණේ තෙබුවන හන්දියේය. එකල තෙබුවන කළුතරට වඩා දියුණු නගරයක් විය. කාලයාගේ ඇවෑමෙන් වෙනත් නගර හා උප නගර දියුණු වී ගොස් තෙබුවන නගරය නටබුන් විය. විශේෂ යමක් සිදු නොවූයෙන් තෙබුවන කාටත් අමතක විය. 


එහෙත් තෙබුවන පිළිබඳව යළිත් කාගේත් කතාබහට ලක්වූ දිනයක් හදිසියේ උද‌ා විය. ඒ ඉකුත් බද‌ාද‌ා දිනයයි. වේලාව දහවල් 12 ට පමණ විය. ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් ඇතැතිව තෙබුවන හතරමං හන්දියේ සිටි තෙබුවන පොලිසියේ සාජන් මහත්තයා දෙස උසස් පොලිස් නිලධාරීන් ඇතුළු දෙනෝද‌ාහක් බලා සිටියේ මහත් භීතියෙනි. 


 පොලිස් නිලධාරියෙකු ගිනි අවියක් දරා සිටීම එතරම් අරුමයක් නොවුණ ද ඔහු සිටියේ පොලිසියටම අභියෝග කරමිනි. 


ඔහු නෑබඩ, පහළ නෑබඩ පදිංචි පොලිස් සැරයන් සනත් ගුණවර්ධනයි. ඔහුම හඬ නගා කී ආකාරයට බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් ඔහු තෙබුවන පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 29 වැනිද‌ාය. 


ඔහු බලාපොරොත්තුව සිටියේ මතුගම අධිකරණයේ තෙබුවන පොලිසියේ නඩු අසන දිනය වූ බද‌ාද‌ා (03) වැලි ප්‍රවාහනය කළ පුද්ගලයා උසාවියට ඉදිරිපත් කර දඬුවම් ලබා දීමටයි. එහෙත් ඔහුගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත වැලි ටිපරය හා සැකකරු මුද‌ාහැර තිබුණි. පොලිස් සැරයන්වරයාට යක්ෂයා ආරූඪ වූයේ තමා අත්අඩංගුවට ගත් පුද්ගලයා උසස් නිලධාරීන් නිදහස් කර හැර තිබීමත් සමඟය. 


මොහු අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව කියමින් පොලිසිය තුළ සිටම සාජන් මහත්තයා ස්ථානාධිපතිවරයාට බලපෑම් කළේය. එසේ නොවුණහොත් තමන් වෙඩි තබාගෙන මිය යන බව පවසමින් උණ්ඩ 30 ක් සහිත ටී 56 ගිනි අවිය ද සමඟ ඔහු තෙබුවන හන්දියට පැමිණියේය. 


සහෝදර පොලිස් නිලධාරීන් පැමිණ ඉල්ලීම් කළ ද ඔහුගේ තීරණය වෙනස් කළ නොහැකි විය. ඒ අනුව අවට පොලිස් ස්ථාන රැසකින් පොලිස් නිලධාරීන් තෙබුවන හන්දියට කැඳවා තිබුණි. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක්ම ඒ අතර විය. 


කාගේවත් කතාබහට ලක්ව නොතිබූ තෙබුවන හන්දිය ජනතාවගෙන් පිරී යන්නට විය. ගිනි අවියක් අත දරා පොලිසියටම අභියෝග කරන පොලිස් සැරයන්වරයා ඊළඟ මොහො​ෙත් කුමක් සිදු කරාවිදැයි සිතා ගත නොහැකිව ජනතාව ඈතටවී බලා සිටියහ. පොලිස් නිලධාරීහු පවා ඔහු සමීපයට යාමට බිය වූහ. 


‘මාව විශ්වාස කරන්න. මම ඔයත් එක්ක ඉන්නවා. වෙපන් එක පැත්තකින් තියල එන්න සාකච්ඡා කරන්න.’ කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා ඔහු ඉදිරියට පැමිණ වඩාත් ළෙන්ගතුව ඉල්ලීමක් කළේය. 


‘සර් යන්න.. වැලි ටිපරය සමඟ සැකකාරයා උසාවි ද‌ාන්න කියලයි මම ඉල්ලන්නේ. උසාවියෙන් දෙන කහපාට කොළය මට ගෙනල්ල දුන්නම මම එන්නම්.’ 


සිදුවන්නට යන දේ පිළිබඳව දැඩි අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබූ හෙයින් පොලිස් අධිකාරිවරයා වහාම පොලිස් විශේෂ කාර්ය බළකාය එහි කැඳවීය. 


පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙකු ඔහු ඉදිරියට ගොස් තම ඉණෙහි වූ පිස්තෝලය ඔහුට පෙනෙන්නටගෙන තම සගයෙකු අතට දී දෑත් දෙපසට විහිදුවා තමා සතුව වෙනත් අවි නැති බව තහවුරුකර ඔහු සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළ ද සැරයන්වරයා ඊට එකඟ නොවීය. 

 


‘වැලි ටිපර් එක උසාවි ගෙනියන්න ලෑස්ති කරනවා. තව ටිකකින් ගෙනියනවා.’ මේ අතර තෙබුවන පොලිසියේ නිලධාරියෙකු එතැනට පැමිණ කීවේ මොහු තම උත්සාහය අතහැර දමාවි යන හැඟීමෙනි. 
‘උසාවියෙන් දෙන කොළය මට පෙන්වන්න. එතකොට මම එන්නම්.’ යැයි සාජන් මහත්තයා කීවේය. 


‘මම අවුරුදු ද‌ාහතරක් කොටින්ගේ හිරේ දුක් විඳපු මිනිහෙක්. මට මාංචු හොඳට පුරුදුයි. මට අසාධාරණයක් වුණා. මගේ පඩි කැපුවා. මම ඉල්ලන්නේ මට සාධාරණය ඉටු කරල දෙන්න කියලා.’ මෙම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ හා පාසල් නිමවී පැමිණි දියණිය ද ඔහු සමීපයට ගොස් මෙම ක්‍රියාව නතර කරන ලෙස ඔහුට ආයාචනා කළහ. 


‘යන්න කිව්වේ පැත්තකට. ගෙදර යන්න කිව්වේ.’ ඔහු ඔවුන්ට ද තර්ජනය කළේය. 


 මෙම අවස්ථාවේදී උපක්‍රමශීලීව පොලිස් නිලධාරීන් මොහුට තම ක්‍රියාව නතර කරන ලෙස ආයචනා කරමින් මොහු සමීපයට එක්ව සිටියහ. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු මොහු ඉවත බලන එක් මොහොතකදී වහාම ඔහු වෙත පැන ඔහු තරයේ බද‌ා ගත්තේය. 


‘ඩෝං... ඩෝං...’ යනුවෙන් ඒ සැණින් වෙඩි හඬ දෙකක් නිකුත් වූයේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරමිනි. පොලිස් නිලධාරීන් හා සැරයන්වරයා එක පොදියේය. වෙඩි හඬත් සමඟ ඒ අසල හුන් සැරයන්වරයාගේ දියණිය, බිරිඳ ඇතුළු ඥ‌ාතීන් මහ හඬින් විලාප දුන්නා. ‘අනේ තාත්තේ’ කියා දුව කෑගැසුවාය. මොහුට පොලිස් නිලධාරීන් වෙඩි තැබුවා යැයි ඔවුන් සිතන්නට ඇත. එහෙත් සිදුවූයේ තමා අත වූ ගිනි අවිය පොලිස් සැරයන්වරයා ක්‍රියාත්මක කිරීමයි. මොකක්දෝ හේතුවකට ඉන් කිසිවෙකුටවත් තුවාලයක් සිදු වූයේ නැත. 


 පැය දෙකක පමණ කාලයක් තෙබුවන හන්දිය තම ග්‍රහණයට ගෙන සිටි පොලිස් සැරයන් සනත් ගුණවර්ධන තම සහෝදර පොලිස් නිලධාරීන්ම විසින් අල්ලාගෙන ජීප් රිය වෙත ගෙන එන ලදී. 
මෙහිදී කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ කීය. 


මේ වැලි ටිපරයට බලපත්‍රයක් තිබුණා. සැකකරු නිදහස් කරල තියෙන්නේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර නොතිබූ නිසයි. මේ සාජන් මහත්තයාට යම් ප්‍රශ්නයක් තිබුණා නම් මා සමඟ කතා කරන්න තිබුණා. එසේ නොකර ගිනි අවියත් අරන් පොලිසියට අභියෝග කිරීම වරදක්. මේක වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. ඒ නිසා මොහුගේ වැඩ තහනම් කරනවා.’ 


ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් සනත් ගුණවර්ධන ඉකුත් 03 වැනිද‌ා සවස මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 


වැලි ටිපරයේ සැකකරුට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් අරගල කළ පොලිස් සැරයන්වරයා ඔක්තෝබර් මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සුදුවාදේවගේ සනත් ගුණවර්ධන නම් වූ ඔහු එවකට පොලිස් කොස්තාපල්වරයෙකි. සේවය කළේ ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේය. 

 
මෙරට ආරක්ෂක අංශ සහ කොටි ත්‍රස්තවාදීන් සමග යුද ගිනි ඇවිලී තිබූ ඒ සමයෙහි එදා 1990 වසරේ ජූනි මස 13 වැනිදාය. ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට පහරදී එය අත්පත් කර ගත් කොටි ත්‍රස්තවාදීහු එහි සිටි පොලිස් නිලධාරීන් 44 දෙනකු තම අත්අඩංගුවට ගත්හ. සනත් ගුණවර්ධන ද ඉන් එක් අයෙකි.  


ඔවුන්ගේ අත් පාවලට විලංගු දා දම්වැල්වලින් බැඳ දැමූ කොටි ත්‍රස්තවාදීහු ඔවුන් සිර කර තැබුවේ පොළොවේ අඩි කීපයක් ගැඹුරැති විශාල වළකය. දුන්නේ දිනකට එක් ආහාර වේලක් පමණි. පානය කිරීම සඳහා ජලය දුන්නේ දිනකට එක් කුඩා වතුර වීදුරුවක් පමණකි. කොටි ත්‍රස්තවාදීන්ගේ වධ හිංසා ඉවසනු බැරිම තැන ඔවුහු තමන් නිදහස් කර හරින ලෙස ඉල්ලමින් උපවාසයක් ආරම්භ කළහ. දිනපතා ලැබෙන එකම ආහාර වේල ද ප්‍රතික්ෂේප කළ ඔවුහු වතුර වීදුරුව පමණක් පානය කළහ.  


උපවාසය හේතුකොට ගෙන කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ව යාපනයේ සුභාෂ් හෝටලයට ගෙන ගොස් ඔවුන්ගේ මාපියන් ගෙන්වා පෙන්වන ලදී.  


දින 19ක් පැවැති එම උපවාසයෙන් පසුව ද තමන් නිදහස් නොකරන බව වටහා ගත් ඔවුහු ජලය පානය කිරීම ද නතර කළහ. මේ හේතුවෙන් ඔවුන් අතර සිටි හය දෙනකු වඩාත් අසාධ්‍ය තත්ත්වයට පත්වූහ. කිසිදු අහරක් හෝ ජල බිඳක් නැතිව සිටි බඩවැල් එකට ඇලීම නිසා දෝ ඔවුනට ජලය පානය කිරීමට ද අපහසු විය. අප කතා නායකයා වූ සනත් ගුණවර්ධන ද ඒ අතර විය.  


කෙසේ හෝ 1996 ජූනි මස 03 වැනිදා ඔවුනට නිදහස ලැබුණි. කොටි සංවිධානය ඔවුන්ව ජාත්‍යන්තර රතුකුරුස සංගමයේ නිලධාරීන්ට භාර දෙන ලදුව පළමුව කන්කසන්තුරේට ද, ඉන්පසු වැල්වැටිතුරේට සහ පසුව පලාලිවලට ද ගෙන එන ලදහ.  


පලාලි සිට ගුවන් මගින් රත්මලාන ගුවන් තොටුපළට ඔවුන්ව එවන ලදී.  


මෙසේ පැමිණි පොලිස් නිලධාරීන් සැරයන් තනතුරකට උසස් කෙරිණි. සනත් ගුණවර්ධන සේවය කළේ කළුතර පොලිස් අධිකාරි කොට්ඨාසයේය.  


කළුතර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබූ අතර, එය සමනය කිරීම සඳහා කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සමග ඔහු ද ගියේය.  


එහිදී පොලිස් වෙඩි පහරකින් එක් පුද්ගලයකු මියගිය අතර, තමා වෙඩි තැබීමට අණ නුදුන් බව පොලිස් අධිකාරිවරයා කළුතර මහාධිකරණය හමුවේ කියා සිටින ලදී. සනත් ගුණවර්ධන එම නඩුවේ එක් විත්තිකරුවකු වන අතර, නඩුව තවමත් කළුතර මහාධිකරණයේ විභාග වේ.  


මෙම නඩු කටයුතු හේතුවෙන් අන් අයට උසස්වීම් ලැබුණ ද සනත් ගුණවර්ධනට උසස්වීම් ලැබුණේ නැත. ඔහු තවමත් සැරයන්ය. එපමණකුදු නොව ඔහු දැනට ලංකාවේ සිටින පැරණිම පොලිස් සාජන් මහත්තයා ද වේ. ඉකුත් 03 වැනිදා දහවල් ටී 56 වර්ගයේ ගිනිඅවියක් ​රැගෙන තෙබුවන හන්දියේ සිට පොලිසියටම අභියෝග කළේ ද ඔහුමය.  


(විශේෂ ස්තුතිය: සනත් ගුණවර්ධන මහතා සමග කොටි අත්අඩංගුවේ පසුවූ දැනට මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන උපපොලිස් පරීක්ෂක යූ. අමරසිංහ මහතාට)  

 

 

සටහන හා සේයා : කළුතර 
සුනිල් එස්. තන්ත්‍රිආරච්චි