IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


මනම්පිටියේ ගොවියෙක් ජපානයේ චිත්‍රපටයක

 

ඒ තද වර්ෂාවක් ඇද හැළුණ හොත් කෙත් ඇළ දිගේ ගලාඑන ජල කඳ තම කුඹුරෙහි පැළ ගොයම වසා ගනීවිදෝ යන සැකයද හදවතේ ඉතිරිකරගෙනය. රාත්‍රියේ වන අලි රංචු කඩාවැදී තම කුඹුර දෙවනත් කරයිද යන සැකයත් හිත යට සඟවාගෙන පැළට ගොඩවුණ ටිකිරි බණ්ඩා බුලත් විටකුත් කා තද වැහි පොද අඩු වෙනතුරු දිඹුලාගල කඳු මුදුන දෙස බලා කල්පනා කරන්නට විය.
අහසෙහි තරු පායා හීන් වැහි පොද පතිත වෙන අතරේම පන්දමද අතට ගෙන ටිකිරි බණ්ඩා නියර දිගේ හීන් සීරුවේ කුඹුරට ජලය ගලා එන පෝල් බටය වැසීමට ඒ අසලට ළඟාවිය.


එක්වරම කෙත්යායට නිල්වන් දීප්තිමත් ආලෝක ධාරාවක් අහසින් කඩා වැටෙන අයුරු ටිකිරි බණ්ඩා ගොවි මහතා දුටුවේය. කිසිදා නොදුටු නිල්වන් ආලෝක ධාරාවේ කොටස් අහස් ගැබින් තම කෙතටද පතිත වෙන අයුරු ඔහු දුටුවේ තිගැස්මට ලක්කරමිනි.
පුදුමයෙන් පුදුමයට පත්වූ ටිකිරි බණ්ඩා ගොවි මහතා පසුදා උදෑසනම ගෙදර ගිය විගස තම බිරිඳගේත්, දරුවන්ගේත් කණට කෙඳිරුවේය.


සිද්ධිය ලැව්ගින්නක් සේ ගම පුරා පැතිර යන්නට වැඩි කාලයක් ගත නොවීය.


“කුඹුරු යායට ඊයේ රෑ එළි වගයක් වැටිලා. වැටුණු තැන්වල පැළ ගොයම පිච්චිලා. ටිකිරි බණ්ඩා මාමාගේ කුඹුරටත් ඒවා වැටිලා. ඒක ටිකිරි බණ්ඩා මාමා දැකලා තියෙනවා. අපි යමු බලන්න.”


ගම්මු කලබලයෙන් උදෑසනම කෙත්යායට වැටුණ දෑ සොයා කුඹුරුවල පැළ ගොයම පීරන්නට වූහ.


“පිළිස්සුණු අළු සහ කළුපාට කෑලි බෑලි කුඹුරුවල ලියැදිවලින් අහුලාගත් ගම්මුන් ඒ බව ප්‍රදේශයේ මාධ්‍යවේදින්ට දැනුම් දුන්හ.
“දිඹුලාගලට උල්කාපාත වර්ෂාවක්”. පසුදා රටෙහි ප්‍රධාන ජාතික පුවත්පත්වල සිරස්තල ලෙස පළවිය. ටී. වී., රේඩියෝවලින්ද ඒ බව ප්‍රචාරය විය. අන්තර් ජාලවලද පළවූයේ ප්‍රධාන සිරස්තලයක් ලෙසිනි.


දෙස් - විදෙස් මාධ්‍යවලද ඒ බව වාර්තා කිරීමත් සමග ඒ සම්බන්ධ පරීක්ෂණ කිරීමට ලොව පුරා තාරකා, ජීව විද්‍යා, ගවේෂකයින්, විද්‍යාඥයින්, මහාචාර්යවරුන්, ටිකිරිබණ්ඩාගේ කුඹුර පීරෙන්නට වූහ.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් මෙන්ම ඇමෙරිකාවේ නාසා ආයතනයේ විශේෂඥ කණ්ඩායමක්ද ඒ පිළිබඳව වරින්වර පරීක්ෂා කිරීමට කුඩාවැව වෙල්යායට පැමිණියහ.


පෘථිවියෙන් බැහැර අභ්‍යවකාශයේ ජීවය පැවැතිය හැකි බව ලොවට ඉදිරිපත් කෙරුණු ප්‍රථම විද්‍යා සාක්ෂිය බවට එම උල්කාපාත කොටස් පරීක්ෂණයේ අවසන් නිගමනය විය.


මේ පිළිබඳව එංගලන්තයේ බර්මිං හෑම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, නාසා ආයතනයේ මහාචාර්ය රිචඞ් බී. හූවර්, තාරකා ජීව විද්‍යා පිළිබඳ ගවේෂක කීර්ති වික්‍රමරත්න යන මහත්වරුද මේ සම්බන්ධව වරින්වර මේ දක්වාම පරීක්ෂණ සිදුකර ලොවට කරුණු රැසක් අනාවරණය කළහ.


විශ්වයේ ජීවය ඇති බවට විද්‍යාලෝකයේ වසර 500ක කාලයකදී වැදගත්ම සාක්ෂිය සනාථ කළ ටිකිරි බණ්ඩාගේ කුඹුරට මහින්ද රාජපක්ෂ රජය සමයේ පොලිස් ආරක්ෂාවද කලක් යොදවා තිබිණි.


විද්‍යා ලොව කැළඹූ දිඹුලාගල, කුඩාවැව කෙත්යායට පතිත වූ උල්කාපත කොටස් මේ අයුරින් වරින්වර ලොව පුරා රටවල් අතර පුළුල් පරීක්ෂණ සිද්ධ වෙද්දී ටිකිරි බණ්ඩා ගොවි මහතා ජපානයේ මේ ගැන නිෂ්පාදනය කළ චිත්‍රපටයකටද පෙනී සිටිමින් දායක විය.
එයා වාර්තා චිත්‍රපටයකි. ඉකුත් 29 වැනිදා ජපන් ටී. වී. ආයතනයේ විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක්ද සමග ටිකරි බණ්ඩා ගොවි මහතාගේ කුඹුරට පැමිණියහ.


මේ වසරේ ජුනි මාසයේ ජපානයේ එළිදැක්වෙන ශ්‍රී ලංකාවේ උල්කාපාත වර්ෂාව වෙනුවෙන් ගොවියකු පළමු වරට ඉදිරිපත් වීම ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් මෙන්ම ගෞරවයක් බව ජපන් ටී. වී. ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානි අයෝධ්‍යා දේවසුන්දර මහත්මිය පැවැසුවාය.


මනම්පිටිය ප්‍රදේශයට 2012 නොවැම්බර් 14 වැනිදා උදෑසන පතිත වූ රතුවැස්ස පිළිබඳවද එම චිත්‍රපටයට ඇතුළත් වන බව පැවසූ දේවසුන්දර මහත්මිය පොළොන්නරුවේ ගොවි මහතෙකු ජපන් චිත්‍රපටයක් තුළින් එළි දැක්වීම ඉතිහාසගත වන බවද ඇය සඳහන් කළාය.


“මහත්තයෝ, මම මාවනැල්ල, රඹුක්කන ඉඳලා මහවැලියෙන් ඉඩම් හම්බවෙලා මෙහාට ආවේ 1980 ගණන්වල. දැන් මම වී ගොවිතැන කරන්න පටන් අරං අවුරුදු 32ක් විතර වෙනවා. මට දැන් අවුරුදු 70යි. මගේ කුඹුරට උල්කාපාත වැටුනට පස්සේ මේ ගැන රට පුරා ලොව පුරා ප්‍රචාරය වුණා. ජපානය, ඇමෙරිකාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇවිල්ලා පරීක්ෂණ කරලා ඒ වැටුණ කෑලි අරන් ගියා. 2012දී මගේ කුඹුර විනාශ වුණා. ඒ පරීක්ෂා කරන්න ආපු මහත්වරු ගොයම් සේරම පාගලා තලලා පොඩිකරලා මට පාඩු කළා. කන්න දෙකක් ඔය නිසා මට කුඹුර කරන්න බැරිවුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මගේ කුඹුරට පොලිස් ආරක්ෂාව මාස 06ක් දාලා තිබුණා කුඹුර සංරක්ෂණය කරන්න ඕනෑ කියලා. මට ඒ කාලයේ මගේ කුඹුරටවත් යන්න පොලිසියෙන් ඉඩ දුන්නේ නැහැ. එළවළු ටිකක්වත් කුඹුරේ හදාගන්න බැරිවුණා.


රට රටවල්වලින් මේ අවුරුදු පහ පුරාවට වරින්වර පරීක්ෂා කරන්න ඇවිත් මගෙන් කතා අරංගියා. නමුත් මට ලැබුණු දෙයක් නැහැ. මට වුණේ පාඩුවක්. මගේ කුඹුරට සුදු මහත්වරු ඇවිත් මේ ගැන පරීක්ෂණ කරද්දී ඒ අයට ගමේ ගොවියෝ කීවා, ඕවා පිදුරු පිච්චුණ ඒවා කියලා. මට සල්ලි දුන්නා කියලා සමහරු කීවා. නමුත් මටවත් ගමටවත් මෙයින් ලැබුණ කෙංගෙඩියක් නැහැ. මම ඉල්ලන්නේ ලෝකයම පුදුම කරවන උල්කාපාත මගේ කුඹුරට වැටිලා සමහර අය චිත්‍රපටි ගහනවා. ඒවයෙ ආදායම් රට අය ගන්නවා.

පොළොන්නරුවෙන් පත්වුණ ගොවි පුතාගෙන් ඒ කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මම කියනවා මගේ කුඹුරේ මේ විශ්මිත සිද්ධිය ගැන පරීක්ෂා කරලා මටත් සාධාරණයක් කරලා මේක දැන්වත් සංරක්ෂණය කරන්න කියලා. ඩිස්කවරි චැනල් එකෙන් ඇවිල්ලා මට බොරු පොරොන්දු දීලා මට රුපියල් 1000ක් දීලා අත්සන් කරන්න කීවා. මම දාහ ගත්තෙත් නැහැ. අත්සන් කරේත් නැහැ.”


ටිකිරි බණ්ඩා ගොවි මහතා දැඩි වේදනා ස්වරූපයෙන් තම සංවේගය පිට කළේය.


“ඉස්කෝලේ නාට්‍යයකවත් රඟපාලා නැති මම ජපන් රටේ චිත්‍රපටියකට රඟ පෑමනම් ගොඩක් සතුටුයි. උල්කාපාත වැස්ස ගැන මට ජපන් ටී.වී. එකේ නළුවෙක් විදිහට රඟපාන්න ලැබීම සතුටු වෙනවා වගේම මේ රටවල්වලින් අපේ රජයට ණය නොවෙයි ආධාර අරං, ගොවියගේ ආර්ථිකය නංවන වැඩසටහනක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.” ආඩම්බරයක් මුහුණට එකතු කරගත් ටිකිරි බණ්ඩා ගොවි මහතා මුවඟට සිනහවක් ගනිමින් කතාව එලෙස හමාර කළේය.


ලොව කළඹන දිඹුලාගල, කුඩාවැව උල්කාපාත කොටස් මිල කළ නොහැකි තරමටම විවිධ පරීක්ෂා කරමින් විදුලොවට කරුණු රැසක් පසක් කරගෙන හමාරය.


අප රටට අගය නැති, පිටරටට අගය ඇති දිඹුලාගල උල්කාපාත හරහා දැන්වත් මෙරටට රටරටවලින් යමක් ලබාගෙන මෙම වැදගත් ඓතිහාසික සිදුවීම මතු පරපුරට දායාද කර ඉන් යම් දැනුමක් ලබාදීමට රජයේ අවධානය වහ වහා යොමු වනු ඇතැයි අපි විශ්වාස කරමු.


දෙතිස් වසරක වී ගොවිතැනේ නියැළුණ දිඹුලාගල ටිකිරි බණ්ඩාගේ නාමයෙන් “මඩ සෝදාගත් කල ගොවියා නළුවෙකුටත් සුදුසු බව” අප සාඩම්බරයෙන් වැව් බැඳි රටේ කෙත්වතු බිමේ සිට සටහන් තබන්නෙමු.

සටහන හා ඡායාරූප :
මනම්පිටිය නිමල් ජයරත්න



අදහස් (0)

මනම්පිටියේ ගොවියෙක් ජපානයේ චිත්‍රපටයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 185 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1046 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site