IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


පාරම්පරික වගාබිම් රැකගන්න අධිකරණයේ පිළිසරණ පැතූ වන්නිලැත්තෝ

සිය අයිතිවාසිකම් වෙනුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ විසින් අධිකරණයේ පිහිට පැතීම, ගෙවී ගිය සති අන්තයේ වඩාත් කතාබහට ලක්වූ සිද්ධියක් විණි. තමන් සතුව තිබූ ඉඩකඩම් සංවර්ධනය මුවාවෙන් පවරාගෙන ඒවා වෙනත් පෞද්ගලික සමාගම්වල උන්නතිය උදෙසා පවරාදීම සම්බන්ධයෙන් වන්නියලා ඇත්තෝ නඩුමගට පිවිසියේ මෙරට පරිසර ආරක්ෂාව වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ වගකීමෙන් කටයුතු කරන සංවිධානයක් වන පරිසර යුක්ති කේන්ද්‍රය සමගිනි. 


මහියංගණය රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්‍රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙලි කරමින් බඩඉරිඟු‍ වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබාදීම හේතුවෙන් වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාවට තර්ජනයක් එල්ල වී ඇතැයි සඳහන් කරමින්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, දඹාන කොටබකිනිය පදිංචි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ, පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. හේමන්ත සිසිර කුමාර මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර ඇත. 


එමගින් පරිසරයට සිදුවූ හානියට වන්දි ලබාදෙන ලෙසද, මෙලෙස නීතිවිරෝධී ලෙස වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත යටතේ කටයුතු කරන ලෙස බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් ඉල්ලා තිබිණි. 


නැගෙනහිර පිහිටි විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා රඹකැන් ඔය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ආශ්‍රිත වනස්පතිය පෞද්ගලික සමාගමකට බදුදීම නිසා ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවත් හා ජලාශයෙන් පානීය ජලය ලබාගන්න පවුල් සැලකිය යුතු සංඛ්‍යාවක් පීඩාවට පත්වී සිටින බව කියැවේ. 


මුන්දෙනු ආර හරහා මීටර් 1215ක් දිග මීටර් 25.7ක් උස පළල පස් වේල්ලක් බැඳ රඹකැන් ඔය ජලාශය ඉදිකර තිබෙන අතර මෙහි සම්පූර්ණ ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 129.5කි. එසේ වුවත් මේ ජල පෝෂක ප්‍රදේශයෙන් අක්කර 5620ක් දැන් රඹකැන් ඔය ජලාශයට අහිමි වෙමින් පවතින බව කනගාටුවෙන් කීමට සිදුව තිබේ. ඒ නිසා රඹකැන් ඔයෙන් අස්වද්දන අක්කර 3000 කට හා පානීය ජලය ලැබෙන පවුල් 4700කට ජලය ලැබීම අඩුවෙන ලකුණු පෙනෙන්නට තිබේ. 


ඊට ප්‍රධාන හේතුව මේ ප්‍රදේශය දැනට පාලනය කරන මහවැලි අධිකාරිය මගින් ගල්වළයාය, පොල්ලේබැද්ද ප්‍රදේශයේ අක්කර 5420 ක් මහා පරිමාණ සමාගම් කිහිපයකට බදු දී තිබීමයි. 


බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘතියක් සේ සැලකෙන රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සැපිරීමට හා වගා කටයුතු වෙනුවෙන් වුවමනා ජල ගැටළු විසඳීම සඳහා දියත් කරන ලද්දක් වේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ 10 කලාපයට අයත් වන ජලාශය බදුල්ල, මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටයි. 


ඈත අතීතය 


රඹකැන් ඔය ජලාශයේ මුල්ම ඉදිකිරීම් ආරම්භ කළ සමය සම්බන්ධව විවිධ මත පවතී. ගිරිඅභය නම් කුමරු මෙම ප්‍රදේශය පාලනය කළ ක්‍රි.පූ. 3 වැනි සියවස් සමයේ මෙම ජලාශයේ ඉදිකිරීම් ආරම්භ වූ බව එක් මතයකින් පැවසේ. තවත් මතයකට අනුව මෙම ප්‍රදේශය පසුකාලීනව පාලනය කළ සද්ධාතිස්ස කුමරු (ක්‍රි.පූ. 137-119) විසින් ජලාශය ඉදිකිරීම ආරම්භ කොට තිබේ. කෙසේ නමුදු පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව ඈත අතීත සමයේ මෙහි ජලාශයක් ඉදිකිරීමට යෙදුණු සාධක වර්තමානයේදීද දැකගත හැකිවේ. 


ජලාශයේ නව වේල්ල අසලම පැරණි වැව් බැම්මක නටබුන් දැකගත හැකිවේ. ගොරිකනකන්ද හා ගල්කන්ද යා කරමින් සැතපුමක් පමණ දිගැති වැව් බැම්මක් මනා ලෙස ඉදිකළ රළපනාවක් සමගම අතීතයේ මෙහි තිබෙන්නට ඇතැයි සාධක අනුව විශ්වාස කළ හැකිය. කෙසේ වුවද පවතින පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව මෙම පැරණි ජලාශය කිසිවිටෙක ජලය පුරවාලීම දක්වා සංවර්ධනය කර නොමැති බව ප්‍රකාශ වේ. 
පැරණි සෙරොව්ව ආසන්නයේම ක්‍රි.ව. 12-13 සියවස්වලට අයත් ශිලාමය ලේඛනයක් දැකගත හැකි අතර, එය රඹකැන් ඔය පුවරු ලිපිය ලෙස හඳුන්වනු ලැබේ. ඊට අනුව පැරණි ශිලා සොරොව් ඇළ, ගල් වැට ප්‍රදේශයේ විසූ ලියන නායකන් හා කනත්කන් වහන්සේ විසින් ඉදිකෙරූ බවට දක්වා ඇත. මෑතකාලීන රඹකැන් ඔය සංවර්ධන ව්‍යාපෘතිය 2007 පෙබරවාරි 12 වැනිද‌ා දියත් කරනු ලැබූ අතර වැඩ නිමකළ ජලාශය විවෘත කිරීම 2013 වර්ෂයේ ජූලි 20 වන දිනදී එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී. 


ආදිවාසි නායකයා අධිකරණයෙන් සහනය ඉල්ලයි 


තත්ත්වය මෙසේ තිබියදී සිය අයිතිවාසිකම් ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී. හේමන්ත ජයසිංහ, මහවැලි සංවර්ධන අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජෙනරාල් බී.ඒ. සුනිල් එස්. පෙරේරා, වනජීවී දෙපාර්තමේන්තුව, එහි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක, ආර්.ඒ.එන් ප්ලාන්ටේෂන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. 
නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය මගින් ගොනු කළ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ වැදි ජනතාවගේ ජීවන ක්‍රමය ස්වභාව සම්පත් මත රදා පවතී. පොල්ලේබැද්ද ග්‍රාමය ‘ගල්වලයාය’ රජයේ වනාන්තර ආසන්නයේ පිහිටා තිබේ. මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මෙම ප්‍රදේශය බඩඉරිඟු‍ වගා ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දී තිබේ. මේ වෙනවිට එම ප්‍රදේශයේ යන්ත්‍ර සූත්‍ර යොද‌‌ාගනිමින් එළිපෙහෙළි කරමින් සිටී. මේ වන විටත් එම ප්‍රදේශයේ වනාන්තරයේ හෙක්ටයාර 500 ක ප්‍රදේශයක් එළිපෙහෙළි කර තිබේ. එම වනාන්තර ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරිය ට පවරාගෙන බඩ ඉරිඟු‍ වගා කිරීම සඳහා මහා පරිමාණ පෞද්ගලික සමාගම්වලට ලබාදීමට කටයුතු කර ඇතැයිද පෙත්සම මගින් පෙන්වා දී තිබිණි. 


නීති වීරෝධී ලෙස මහා පරිමාණයෙන් වනාන්තරය එළි පෙහෙළි කර මෙලෙස ලබාදීම වන සංරක්ෂණ පනත සහ වෘක්ෂ සහ තුරුලතා ආඥා පනත උල්ලංඝනය කිරීමකි. මෙම කටයුත්තේ දී අලිමංකඩ එළිපෙහෙලි කිරීමක් ද සිදුවෙන අතර අලීන්ට එහා මෙහා යාමට බාධක ඇතිවීම නිසා වන අලි ගම් වැදීමේ අවදානමක් ඇති වේ. එසේම රඹකැන් ඔයට ජලය සපයන ඇළ මාර්ග අවහිර කර ගොඩකරමින් බඩඉරිඟු‍ වගා කිරීම සඳහා සූදානම් වන බව ද වාර්තා වේ. මෙම ව්‍යාපෘතියේ සඳහන් කිසිදු පරිසර ඇගයීම් වාර්තාවක් ලබා ගෙන නැතැයිද වන්නියලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙති. 


මෙම ව්‍යාපෘතිය නිසා විශාල පරිසර හානියක් සිදුවීම මෙන්ම සිය වරිගයාට එදිනෙදා ජීවිකාව කරගෙන යාමට බාධා ඇති වීම ද සිදු වන බව ආදී වාසී නායකයා පෙන්වා දේ. මෙම තත්ත්වය තුළ වැදි ජනතාවගේ සම්ප්‍රදායික ජීවන පැවැත්මට තර්ජනයක් එල්ල වී තිබේ. මෙම ක්‍රියාව ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක් වන බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මෙම ව්‍යාපෘතිය පිළිබද පරිසර වාර්තාවක් ලබාදෙන තුරු එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, සුදුසු වන අලි කළමනාකරණ සැලැස්ම සකස් කරන තුරු මෙම ප්‍රදේශය අවට අලි වැටක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. 
පොල්ලෙබැද්ද රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය විසින් ව්‍යාපාරිකයන්ට බදුදීම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රයද නඩු පැවරීමට මත්තෙන් අවස්ථා කිහිපයකදීම දැඩි විරෝධය පළකර සිටියේය. 


අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රඹකැන් ඔය ව්‍යාපෘතිය යටතේ දියවර ලබන ඉඩම් මෙසේ පවරා දී ඇති බවත් මේ වනවිට ඉඩම් ලබාදුන් 14 දෙනෙකුගේ ලැයිස්තුවක් පවතින බවත් ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය. නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මෙසේද කීය. “අක්කර 5400 ක් මේ ව්‍යාපෘතිය යටතේ බෙදාදීමට නියමිතව ඇතැයි තොරතුරු දැන ගන්නට ලැබී තිබෙනවා. 


මහවැලියට අයත් ඉඩම් වුවත් රඹකැන් ඔය ආශ්‍රිත කැලෑ ජාතික පාරිසරික පනත යටතේ ආරක්ෂා වන බවත් මෙම ඉඩම් මෙසේ බදුදීම නීති වි‍රෝධීයි. වටිනා ගස් බිම හෙළා බුල්ඩෝසර් යොදාගෙන මහා පරිමාණයෙන් ඉඩම් හෙළි පෙහෙ‍ළි කර බඩ ඉරිඟු‍ වගා කර ඇති අතර එකී වගා බිම් හරහා අලි ඇතුන් ගමන් කර ඇති පාරවල් දකිද්දී අලිමංකඩවල් හරස් කර මෙම ඉඩම් හෙළි පෙහෙළි කර ඇතැයි ද අපිට ‌පෙනී ගොස් තිබෙනවා. 
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ඇරයුමින් එහි ගොස් සිදුව ඇති විනාශය දැක බලාගත් බවත් බැර ලෝහ අවම මට්ටමක පවතින පානීය ජලය ලබාදෙන රඹකැන් ඔය ජලාශයේ විනාශය ද මෙම ඉඩම් බෙදාදීමෙන් සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම වැවේ දියවරෙන් පෝෂණයවන කෙත් යාය පුරන් කුඹුරු බවට පත්වනු ඇතැයි ද ජලාශය සිඳී යාමේ අවදානමක් පවා පවතින බව ද ඔහු කියා සිටියේය. 
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින රඹකැන් ඔය කලාපයේ ඉඩම් බඩඉරිඟු‍ වගා සඳහා බදුදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ඊට අනුව බඩඉරිඟු‍ මෙට්‍රික් ටොන් 2,50,000ක් නිෂ්පාදනය කිරීම සඳහා රඹකැන් ඔය ඉඩම් අක්කර 2,750ක් විවිධ ව්‍යාපාරිකයන්ට බදුදීමට නියමිතය. 

 

 

සටහන 
 තිළිණි ද සිල්වා



අදහස් (0)

පාරම්පරික වගාබිම් රැකගන්න අධිකරණයේ පිළිසරණ පැතූ වන්නිලැත්තෝ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

වර්ගවාදයට සහජීවනවාදී පිළිතුරක් දෙන යාපනයේ සිංහල ගම
2024 ජුලි මස 01 67 0

දමිළ ජාතිකයන්ගේ හදවත බඳු වූ යාපනය නගරය, වර්තමානයේ දමිළ ජාතිකයන් පමණක් ස්ථීර පදිංචිකරුවන් ලෙස සිටින නගරයක් ලෙස පැවතිය ද, අතීතයේ එහි සිංහල ජාතිකයන් ද ස්


පිළිකා රෝගී පවුල්වල දරුවන්ට උසස් පෙළ ශිෂ්‍යත්ව
2024 ජුලි මස 01 29 0

පිළිකා ‍රෝගය ‍ලොව පුරා ජනතාව ‍පෙළෙන ප්‍රධාන රෝගාබාධවලින් එකකි. වර්තමාන ලෝකයේ සංකීර්ණ ජීවන රටාව හා ක්ෂණික ආහාර පාන වැඩි වශයෙන් භාවිත කිරීමේ ප්‍රතිඵලය


ජයභාරති ජය ලැබුවාය
2024 ජුලි මස 01 65 0

අවුරුදු පහළොවක කාලයක් තේ දලු නෙළීමේ නිරතව සිටි කාන්තාවක දික්ඔය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේ ඇයගේ මොළේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක්


අන්තර්ජාල සල්ලි හොරු ජාලයක් අත්අඩංගුවට
2024 ජුලි මස 01 37 0

මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාසවල රැඳී සිටිමින් අන්තර්ජාතික වශයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැවැන්ත හෙළ


අසූ වියට සතුටින්ම එළැඹි සරසවිය එච්.ඩි .ප්‍රේමසිරි
2024 ජුනි මස 24 53 0

සොඳුරු පිරුණු මිනිසුන් ජීවිතයේ අපට හමුවේ. . අප ඔහු දකින්නේ එවැනි මිනිසෙකු ලෙසය. සරසවියකට එහා ගිය වටිනාකමක් , අරුතක් සමාජයට සැපයූ ඔහු අපට හමුවෙන්නේ සරසවි


යාපනයට සිංහල පත්තර බෙදන එකම තැන
2024 ජුනි මස 24 86 0

කර්මාන්තයක් සහ කලාවක් ලෙස පුවත්පත අදටත් ජනප්‍රිය මාධ්‍යයක් බව නම් නොරහසකි. කාර්යක්ෂම වූත්, ආකර්ෂණීය වූත්, නව සන්නිවේදන තාක්ෂණය හමුවේ පුවත්පත අදටත් නො


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 65 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1801 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site