IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෑනට වෙඩි තැබූ ඇෆ්ගන් ත්‍රස්තයෝ

 

ඇෆ්ගනිස්තානයේ සේවයේ නිරත මාධ්‍යවේදීන්ට පසුගිය සඳුදා මාරාන්තික දිනයක් විය. කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු විසින් සිදුකළ බෝම්බ ප්‍රහාරයෙන් 36 දෙනකු මරණයට පත් වූ අතර, මාධ්‍යවේදීන් 9 දෙනෙක් ද ඒ අතර වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තලෙයිබාන් පාලනයෙන් පසු මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරණයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. 


එදින සිදු වූ වෙඩි තැබීමකින් බීබීසී සේවයේ අහ්මඩ් ෂා නමැති මාධ්‍යවේදියා ඇෆ්ගන් පාකිස්තානු දේශ සීමාව අසල පිහිටි කෝස්ට් නගරයේදී මරණයට පත් වී තිබේ. 


පළමු මරාගෙන මැරෙන බෝම්බය පසුගිය සඳුදා උදෑසන 8ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් නේටෝ හමුදා මූලස්ථානය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ඇති ජාතික ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල ඉදිරිපිට පුපුරුවාගෙන ඇති අතර, දෙවැනි බෝම්බකරුවා පැමිණ ඇත්තේ මාධ්‍යවේදියකු ලෙසිනි. 


පළමු බෝම්බය පිපිරී ගිය ස්ථානයට එම සිදුවීම ආවරණය කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් අතරට කැමරාවක්ද රැගෙන පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවා පළමු බෝම්බය පිපිරී විනාඩි 20කට පමණ පසු තම බෝම්බය පුපුරුවා හැර තිබේ. මාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ අරමුණින් එම බෝම්බය පුපුරුවා හරින්නට ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන්ට අමතරව ගලවාගැනීමේ සේවයේ නිරතව සිටි පිරිසක් ද මරණයට පත් වූහ. 


මියගිය මාධ්‍යවේදීන් අතර ප්‍රංශ පුවත් සේවයේ ඡායාරූප ශිල්පියකු වූ ෂා මරායි, රේඩියෝ ෆ්‍රී යුරොප් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් තිදෙනෙකු වූ අබ්දුල්ලා හනාන්සායි, මහරාම් ඩුරානි සහ සබාවුන් කාකර්, ටොලෝ රූපවාහිනී සේවයේ කැමරා ශිල්පියකු වූ මොහොමඩ් ටොකි, ඇෆ්ගනිස්තාන් 1 රූපවාහිනියේ වාර්තාකරුවකු වූ ගහසි රසූලි සහ කැමරා ශිල්පියකු වූ නව්රෝස් අලි රජාබිද වූහ. 


ප්‍රහාරය සිදු වන අවස්ථාවේ එම ස්ථානයේ සිට දිවි ගලවා ගත් මාධ්‍යවේදී යසිෆුල්රහමන් අයියර් ගාඩියන් පුවත්පතට තම අත්දැකීම මෙලෙස විස්තර කළේය. 


“වසර 15කට පසු ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදුකෙරුණු බිහිසුණුම ප්‍රහාරය මෙයයි. පළමු බෝම්බය පිපිරීමෙන් පසු එම සිදුවීම වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණියා. ඒ අතර ඡායාරූප ශිල්පියකු ලෙස පෙනී සිටි එක්තරා පුද්ගලයෙක් එක්වරම තමා ළඟ තිබූ බෝම්බයක් පුපුරුවා ගත්තා. මා සිටියේ බෝම්බය පිපිරුණු ස්ථානයට මීටර් කීපයක් ඈතින්. ඒ නිසා මගේ දිවි ගැලවුණා. එත් මගේ පාදයකට තුවාල සිදු වුණා. එම ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන් හා අසල සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මරණයට පත් වුණා.” 

 

 

මෙම ප්‍රහාරයෙන් 45 දෙනකු පමණ තුවාල ලැබූ අතර ප්‍රහාරයේ වගකීම අයිඑස් කැරලිකරුවන් විසින් භාරගෙන තිබේ. මින් ඉහත මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනය වූයේ තලෙයිබාන් පාලන සමයේදීය. එහිදී මාධ්‍යවේදීන් ගමන්ගත් බස් රථයකට ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් මාධ්‍යවේදීහු සත් දෙනෙක් ඝාතනය වූහ. 


බෝම්බ ප්‍රහාරයෙන් පැයකට පමණ පසු කන්දහාර් ප්‍රදේශයේ නේටෝ හමුදා භට පිරිසක් රැගත් වාහන පෙළක් ඉලක්ක කර සිදු කළ තවත් බෝම්බ ප්‍රහාරයකින් පාසල් ළමුන් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර නේටෝවට අයත් රුමේනියානු සොල්දාදුවෝ සය දෙනෙක්, පොලිස් නිලධාරීහු දෙදෙනක් හා සිවිල් වැසියෝ නව දෙනෙක් තුවාල ලැබූහ. 


ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය අවසන් කෙරුණද පූර්ණ වශයෙන් රජයේ පාලනයට නතු වී ඇත්තේ ඇෆ්ගන් භූමියෙන් 30% පමණ ප්‍රමාණයක් පමණි. ඇතැම් ප්‍රදේශයන්හි තලෙයිබාන්වරු තවමත් රැඳී සිටින බවට බීබීසී වාර්තාවකින් අනාවරණ වී තිබේ. ඔවුනට අයිඑස් ත්‍රස්තවාදීන්ගේ සහයද හිමිය. කාබුල් නුවර හා වෙනත් ප්‍රදේශයන්හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කරනු ලබන්නේ තලෙයිබානුවන්ට හිතවත් අයිඑස් ත්‍රස්තවාදීන් විසිනි. අයිඑස් ත්‍රස්තවාදීහු ඇෆ්ගනිස්තානයේ පෙරටත් වඩා බලවත් වී සිටිති. බීබීසී වාර්තාව අනුව දිස්ත්‍රික්ක 14ක (සමස්ත භූමියෙන් 4%ක) පාලනය තලෙයිබාන්වරුන් සතුය. සමස්ත ජනගහනයෙන් අඩක් නොහොත් මිලියන 15ක් පමණ වන ජනතාව වාසය කරනුයේ තලෙයිබාන් පාලනයට නතුව ඇති ප්‍රදේශවල හෝ තලෙයිබාන්වරුන් විසින් ප්‍රහාර සිදු කරන ප්‍රදේශවලය. 


පසුගිය සතියේ කාබුල් නුවර ඡන්දදායකයන් ලියාපදිංචි කරන මධ්‍යස්ථානයකට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් එල්ල කළ ප්‍රහාරයකින් 60 දෙනකු ඝාතනය වූ අතර 130 දෙනෙක් තුවාල ලැබූහ. එයද අයිඑස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් විය. 


කෙසේ වුවද ඇෆ්ගනිස්තානය මාධ්‍යවේදීන්ට අනතුරුදායක කලාපයක් බැව් කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සනාථ වී තිබේ.

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

පෑනට වෙඩි තැබූ ඇෆ්ගන් ත්‍රස්තයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site