IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගම්පහ පස් ජාවාරම 44 වැනි ගොදුරත් ගනියි

 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක පස් ජාවාරම නිසා මේ වන විට අහිමිව ඇති ජීවිත ගණන 44කි. ඉන් අවසාන ඝාතනය වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි 06 වැනිද‌ාය.  


කෙහෙල්බද්දර පදිංචිව සිටි නෙවිල් පෙරේරා ඝාතනය වාර්තා වූ 43 වැනි ඝාතනයයි. මේ මරණ ගණන 44 දක්වා ඉහළ ගියේ පසුගියද‌ා (22) අත්තනගල්ල ප්‍රදේශයේදී සංගීත සංදර්ශනයකට වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමත් සමඟය. ඉන් මිය ගියේ බියගම පදිංචි රත්න දේවප්‍රිය (37) නමැත්තෙකි.  


මුදල් යහමින් හුවමාරු වන ජාවාරමක් වන පස් ජාවාරම සියතට ගැනීම සඳහා මැර කල්ලි ගහමරා ගනිති. අතීතයේ සිටම සිදුවූ මෙම සටනට පස් ජාවාරම සඳහා වගකිවයුතු පුද්ගලයන් රැසක් මෙන්ම පස් ජාවාරමට සබඳතාවක් නොමැති අහිංසකයින්ද බිලි වී තිබේ.  


බියගම - හෙයියන්තුඩුවේ විසූ රත්න දේවප්‍රිය මුලින්ම වෘත්තියක් ලෙස කළේ දේවාලයක කපුකමයි. පසුව ඔහුද පස් කැපීමේ ව්‍යාපාරයට අත තැබුවේය. අධිවේගී මාර්ග සඳහා පස් සපයන්නෙකු ලෙස කටයුතු කළේය. ඔහු යටතේ සේවය කළ සේවක පිරිස සියයද ඉක්ම වීය. රත්න දේවප්‍රිය ඉතා හොඳින් මෙම ව්‍යාපාරය කරගෙන යාම පස් විකුණන කල්ලිවලට එතරම් සුබ ආරංචියක් නොවීය. පස් ජාවාරම ජයටම පවත්වාගෙන ගිය උදම්මිට සමරේ ද 2016 දෙසැම්බර් 24 දින වේයන්ගොඩ නගරයේදී ඝාතනය විය. ඒ වන විට සමරේද පස් ජාවාරම තුළ වැදගත් ස්ථානයක් දරමින් සිටියේය.  


මාකිලංගමුවේ සංජීව නමැත්තාගේ ගෝලයකු වන චාමර ජයසුන්දර ඇතුළු හතර දෙනකු සමරේගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත විය. ඒ අතුරින් චාමර ඇපමත නිදහස් විය. චාමර කෙළින්ම සම්බන්ධ වූයේ රත්න දේවප්‍රියගේ ව්‍යාපාරික කටයුතුවලට සහාය වීමටය.  


චාමර තම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කර ගැනීම රත්න දේවප්‍රිය කළේ කැමැත්තෙන් නොවේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මොනතරම් බරපතළද යන්න රත්න දැන සිටියේය.  


රත්නට විශ්වාසවන්ත රියැදුරකු සිටියේය. රත්නට ඉතා සමීප ලෙස කටයුතු කළ රියැදුරාට චාමර යෝජනාවක් ගෙන ආවේය. ඒ රත්න මරා දැමීමටය. තම ස්වාමියාට ඉතා ගරු කළ රියැදුරා මේ බව රත්නේට කීවේය. තමා ළඟම සේවය කරන චාමර තමා ඝාතනය කරන්නට සැලසුම් කරන බව දැනගත් රත්න දේවප්‍රිය චාමර තමා ළඟින් ඉවත්කර දැමුවේය.  


නමුත් මෙම සිදුවීම තමාගේ ජීවිතයට වඩාත් බරපතළ තර්ජනයක් එල්ල කරන බවද රත්න දැන සිටියේය.  


මෙම සිදුවීමත් සමඟ චාමරත්, රත්නත් අතර දැඩි විරසකයක් හට ගත්තේය. මැගසින් බන්ධනාගාරයේ සිටින මාකිලංගමුවේ සංජීවගේ ගෝලයකු වූ චාමරට රත්නව මරා දැමීමත් පස් ජාවාරම තමා අතට ගන්නටත් සැලසුමක් තිබූ බව පොලිසියේ අදහසයි.  


අත්තනගල්ල රජමහා විහාරය අසල අවුරුදු උත්සවයක් පැවැතියේ පසුගිය 22 දිනයේදීය. නිට්ටඹුව වෙළෙඳ ප්‍රජාව එය සංවිධානය කළේය. අවුරුදු උත්සවයේ ත්‍යාග ප්‍රද‌ානෝත්සවයට පැමිණියේද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. රාත්‍රියේදී සංගීත සංදර්ශනයක් පැවැති අතර ඒ සඳහා අනුග්‍රාහක මුදලක් ලෙස රත්න දේවප්‍රිය රුපියල් එක්ලක්ෂ පනස් දහසක් (150,000) සංවිධායකයින්ට ලබා දුන්නේය.  


සංගීත සංදර්ශනය සමාරම්භක අවස්ථාවට ආරාධිතයකු ලෙස රත්න දේවප්‍රියට ද ආරාධනා ලැබිණි. එහි පොල්තෙල් පහන් දල්වා සිටින විට ඔහුට එකවරම දැකගත හැකි වූයේ තමාගේ සතුරා වූ චාමරයි. චාමර සමඟ තවත් කිහිප දෙනෙකු සිටිනු රත්න දුටුවේය. තම ජංගම දුරකථනයෙන් බිරිඳට ඇමතුමක් ගත් රත්න මේ බව කියා සිටියේය.  


රාත්‍රී 11 ට පමණ රත්න තම රථය වූ ඩිපෙන්ඩරය ආසන්නයට ගියේය. ඩිපෙන්ඩරය අසලට යන විටම ඔහුට වෙඩි වරුෂාවක් එල්ල විය. ඩිපෙන්ඩරයට ගොඩවීමට උත්සාහ කළත් ඒ ව්‍යායාමය අසාර්ථක වූ පසුව ඔහු පොලිසිය සිටින දෙසට දිව ගියේය. එහෙත් පොලිසියටද කිසිවක් කරගන්නට නොහැකි විය.  


ඔහු ඒ අසල ඇද වැටිණි. තුවක්කුකරුවෝ අසලටම පැමිණ රත්නගේ හිසට වෙඩි පහර කීපයක් එල්ල කළහ.  


සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි කිහිප දෙනෙකුටද වෙඩි පහර වැදිණි. ගැබිණි කාන්තාවක්ද එහි වූවාය. සංගීත සංදර්ශනයට සමගාමීව මල්වෙඩි සංදර්ශනය පැවැති අවස්ථාවේම වෙඩි පහර එල්ලවීම විශේෂය. පිස්තෝල හා රිවෝල්වර වැනි කුඩා ගිනි අවිවලින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.  


මියගිය රත්න දේවප්‍රිය දෙදරු පියෙකු වන අතර ඔහු මහා පරිමාණයෙන් අධිවේගී මාර්ග සඳහා පස් සැපයූ අයෙකි. පස් ජාවාරම් කල්ලි සඳහා කප්පම් මුදල් ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව කියති. වේයන්ගොඩදී ඝාතනය කරන ලද උදම්මිට සමරේ යන අය සමඟද ඔහුගේ සමීප සබඳතාවක් පැවැති බවත් සමරේ විසින් කපන ලද අඹේපුස්ස කන්දෙන් පස් මිලදීගෙන ඇති බවත් කියැවේ.  


පසුගිය වසරේදී ගම්පහ හා අවට ප්‍රදේශවලදී ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර යන අය ඝාතනය කිරීම සඳහා මාකිලංගමුවේ සංජීවගේ උපදෙස් මත ක්‍රියාකර ඇත්තේද ප්‍රධාන සැකකරු වන චාමර නැමැත්තා බව කියැවේ.  


කෙසේ වෙතත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැඩි උද‌ාසීනත්වයක් දක්වන අතර ඔවුන් ක්ෂණික ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළේ නම් ව්‍යාපාරිකයාගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බවද කියැවේ.  


කෙසේ වෙතත් පස් ජාවාරමේ කිරුළ සඳහා මේ වන විට 44 දෙනකු බිලි ගෙන සිටින අතර රත්න දේවප්‍රිය එහි අවසන් සාමාජිකයා වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. පස් ජාවාරමත් ඒ සමඟ ක්‍රියාත්මක වන කුඩු ජාවාරම හා මිනීමැරුම්වලට තිත තැබීම පොලිසියේ තිර වගකීමක් බව සිහිකට යුතුය.

 

 

 

 


සටහන : 
දොම්පේ අජිත් මදුරප්පෙරුම



අදහස් (0)

ගම්පහ පස් ජාවාරම 44 වැනි ගොදුරත් ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 524 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site